ඔබේ දෘෂ්ටිය ඔබ පුළුල් කළ යුතුද?
බටහිර ජපානයේ කෝබේ නගරය දරුණු භූමිකම්පාවකින් පහර ලැබුවා. වෙහෙස මහන්සිය නොබලා කටයුතු කළ ස්වේච්ඡා සේවකයන්, පීඩිත වැසියන්ට උපකාර කිරීමට ක්ෂණිකව පැමිණියා. කොහොම වුණත්, එතැනට පැමිණි වෛද්‍යවරුන් කණ්ඩායමක් බේත් හේත් සඳහා කළ ඉල්ලීම එම නගරයේ සෞඛ්‍ය කාර්යංශයේ නිලධාරියෙකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එම නිලධාරියා විශාල නගර සභා රෝහලක අධ්‍යක්ෂකවරයෙකුවද සිටියා. ඔහුට වුවමනා වුණේ වෛද්‍යවරුන් සහනාධාර මධ්‍යස්ථානවල රෝගීන්ට මිල අධික බෙහෙත් විදිනවා හෝ වෙනත් ද්‍රාවණ නහර තුළින් යවනවා දකින්න නොව, නමුත් කෝබේ රෝහල්වලට යවන්නයි. කොහොම හරි වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉටු වුවද, එම නිලධාරියා මුලින්ම දැඩි ආකල්පයක් දරමින්, පෙනෙන විදිහට අනුකම්පාවේ ඌනතාවක් පෙන්නූ නිසා, ඔහුව සෑහෙන විවේචනයට ලක් වුණා.
ඇතැම්විට අධිකාරයක් හොබවන යමෙකුගේ මුරණ්ඩුකමට ඔබත් ගොදුරු වී ඇති. සමහරවිට ඔබ වුණත් එසේ කර ඇති. වඩාත් පුළුල් දෘෂ්ටියක් දැරීමට ඉගෙනගැනීමෙන් ඔබට ප්‍රයෝජන ලැබිය හැකිද?
සම්පූර්ණ පින්තූරේම දකින්න බලන්න
පුද්ගලයන් යම් කාරණයක් දෙස එක කෝණයකින් හෝ දෘෂ්ටියකින් පමණක් බැලීම පොදු දෙයක්. ප්‍රතිඵලයක් වශයෙන් එම කාරණය ගැන ඔවුන්ගේ වැටහීම සහ අවබෝධය සීමා වෙනවා. බොහෝදුරට මෙයට අධ්‍යාපනය, ජීවිතයේ අද්දැකීම් සහ පසුබිම වැනි සාධක හේතු වෙනවා. පුද්ගලයෙක් සම්පූර්ණ පින්තූරයම දකින්න උත්සාහ කරන විට, වඩාත් නුවණට හුරු තීරණ ගත හැකියි. ඔබ මාර්ග සංඥා එළි නොමැති මංසන්ධියකට පැමිණියොත්, ඉදිරිය දෙස පමණක් බැලීම ඥානවන්ත දෙයක්ද? කිසිසේත් නැහැ! සමානාකාරයෙන්, තීරණ ගැනීම සහ වගකීමේ හැඟීමකින් ක්‍රියා කිරීම සඳහා සම්පූර්ණ පින්තූරයම දැකගැනීමට ඔබේ දෘෂ්ටිය පුළුල් කිරීම මහෝපකාරි විය හැකියි. එය ජීවිත ගළවන දෙයක් පවා විය හැකියි.
මේ සම්බන්ධයෙන් අප සියලුදෙනාටම පාහේ වැඩිදියුණු වන්න පුළුවන්. එමනිසා ඔබෙන් මෙසේ අසන්න: ‘මගේ දෘෂ්ටිය පුළුල් කරගැනීමෙන් මට ප්‍රයෝජන ලබාගත හැකි ඇතැම් ක්ෂේත්‍රයන් මොනවාද?’
අනුන් සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය
අනුන් දෙස බලද්දී ඔබ මොනවාද දකින්නේ? අතරමැද කිසිම වර්ණ මට්ටමක් නැතුවාක් මෙන්, ඔවුන් කරන කියන දේ කළු සුදු තරම් පැහැදිලිව විනිශ්චය කළ හැකි දේවල් සේ තැකීමට ඔබ නැඹුරු වෙනවාද? යමෙක් ඔබට යම් කිසිවක් පැවසුවොත්, ඔබ එය ගණන් ගන්නේ එක්කෝ ප්‍රශංසාවක් නැත්නම් නින්දාවක් හැටියට පමණක්ද? යම් කිසිවෙකු සම්පූර්ණයෙන්ම වැරදියි නැත්නම් සම්පූර්ණයෙන්ම හරි යන ගණයට දමන්න විතරද ඔබ සීමා වී සිටින්නේ? මෙවැනි දෘෂ්ටියක් දැරීම, කළු සහ සුදු රූප පමණක් පවතින අයුරින්, සරත් සමයේ දසුනක වර්ණ සහ සේයා රැස නොසලකා හරින ඡායාරූප ශිල්පියෙකුට සමානයි. එසේ නැත්නම්, නොසැලකිලිමත් සංචාරකයන් දමා ගිය කුණු කසළ ස්වල්පයක් නිසා, රමණීය දසුනකින් ආස්වාදය නොලබන සංචාරකයෙකු මෙන්, ඔබ ඇතමෙකුගේ පෞද්ගලිකත්වය දෙස වපර ඇසින් පමණක් බැලීමට නැඹුරුව සිටිනවාද?—දේශනාකාරයා 7:16 සසඳන්න.
මනුෂ්‍යයන් අතින් සිදු වන වැරදි දෙස යෙහෝවා බලන ආකාරය සලකා බැලීමෙන් බොහෝ දෑ උගත හැකියි. මිනිසාට බොහෝ දුර්වලකම් සහ අඩුපාඩුකම් ඇති බව දැන සිටියද, ඔහුගේ දෘෂ්ටිය ඒවාට පමණක් සීමා නොකරන්න ඔහු වගබලා ගන්නවා. ඉමහත් අගයකින් යුතුව ගීතිකාකාරයා මෙසේ නිරීක්ෂණය කළා: “ඔබ අයුතුකම් ගණනට [ගත්තා] නම්, [යෙහෝවා], කාට සිටින්ට හැක්කේද?” (ගීතාවලිය 130:3) පසුතැවිලි වන පව්කාරයන්ගේ අයුතුකම් දුරු කිරීමට යෙහෝවා කැමතියි. ඔව්, ඔහු ඒවා මහත්මාගතියෙන් යුතුව මකා දමන්නේ, ඔහු සමඟ අපේ සම්බන්ධතාවට පලුද්දක් නොවන පරිද්දෙනි. (ගීතාවලිය 51:1; 103:12) බැත්-ෂෙබා සමඟ එක් අවස්ථාවක බරපතළ පාපවල නිරත වූ දාවිත් රජ ගැන යෙහෝවා පවසද්දී, ඔහු “මාගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේවල් පමණක් කරමින් තමාගේ මුළු සිතින් මා අනුව ආවාවූ” පුරුෂයෙකු ලෙස හඳුන්වන්න ඔහුට පුළුවන් වුණා. (1 රාජාවලිය 14:8) දාවිත් ගැන මෙසේ පැවසීමට දෙවිට හැකි වූයේ මන්ද? ඒ, ඔහු පසුතැවිලි වූ දාවිත්ගේ යහපත් ගුණාංගවලට වැඩි අවධානයක් දුන් නිසයි. අදාළ සියලු සාධක සලකා බැලුවායින් පසු, තම සේවකයාට දයාව පෙන්වන්න ඔහු තෝරාගත්තා.
අනුන්ගේ දෝෂ පිළිබඳ මෙම පුළුල් දෘෂ්ටිය ක්‍රිස්තුස් යේසුස් නොමදව පිළිබිඹු කළා. (යොහන් 5:19) තම ප්‍රේරිතයන්ගේ අඩුපාඩුකම් දකිද්දී, යේසුස් දයාවෙන් සහ අවබෝධයෙන් කටයුතු කළා. අසම්පූර්ණ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් බලද්දී, ‘ආත්මය කැමති වුණත් මාංසය බෙලහීන’ බව ඔහු තේරුම්ගත්තා. (මතෙව් 26:41) මෙම අවබෝධය ඇතුව, තම ගෝලයන්ගේ දුර්වලකම් සහ දෝෂයන් සම්බන්ධයෙන් ඉවසිලිවන්ත සහ තේරුම්ගන්නා ආකාරයකින් කටයුතු කරන්න යේසුස්ට පුළුවන් වුණා. යේසුස් ඔවුන් අතින් සිදු වූ අඩුපාඩුකම්වලට නොව, ඔවුන්ගේ යහපත් ගුණාංගවලට අවධානය යොමු කළා.
ප්‍රේරිතයන් උතුම්ම තැනැත්තා කවුදැයි වාද කළ අවස්ථාවකදී, ඔවුන්ව නිවැරදි කිරීමෙන් පසු, යේසුස් මෙසේ පැවසුවා: “මාගේ පරීක්ෂාවලදී මා සමඟම [රැඳී, NW] සිටි අය නම් නුඹලාය. එබැවින් මාගේ [පියා] මට රාජ්‍යයක් නියම කළාක්මෙන්ම, මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.” (ලූක් 22:24-30) ඔව්, ප්‍රේරිතයන් අතින් බොහෝ අඩුපාඩුකම් සිදු වුවත්, යේසුස්ගේ සිහියේ තිබුණේ ඔවුන්ගේ විශ්වාසවන්තකම සහ ඔවුන් ඔහුට පෙන්වූ ප්‍රේමයයි. (හිතෝපදේශ 17:17) ඔවුන්ට කළ හැකි සහ ඔවුන් කරන්න යන දේ සම්බන්ධයෙන් යේසුස්ට නිසැකකමක් තිබුණු නිසා, ඔවුන් සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් කළා. ඔව්, යේසුස් ‘තම ගෝලයන්ට අන්තිමය දක්වාම ප්‍රේම කළා.’—යොහන් 13:1.
ඉතින්, යමෙකුගේ පෞද්ගලිකත්වයේ දෝෂ හෝ අඩුපාඩුකම් ඔබ තුළ කෝපයක් ඇති කරනවා නම්, යෙහෝවා සහ යේසුස්ට සමාන වන්න උත්සාහ කරන්න. ඔබේ දෘෂ්ටිය පුළුල් කොට සියලුම සාධක සැලකිල්ලට ගන්න වෑයම් කරන්න. නිසි දෘෂ්ටියට අනුව දේවල් දෙස බැලීමෙන්, ඔබේ සහෝදරයන්ට ප්‍රේම කරන්නත් ඔවුන්ව අගය කරන්නත් වඩාත් පහසු වෙයි.
ද්‍රව්‍යමය ලෙස දීමේදී
දීමේ වරප්‍රසාදය, ක්‍රිස්තියානීන්හට දී ඇති වරප්‍රසාදවලින් එකකි. එනමුත් අපේ දීම එකම එක ක්‍රියාවකට, උදාහරණයකට ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වීමට පමණක් සීමා කළ යුතුද? (මතෙව් 24:14; 28:19, 20) එසේ නැත්නම්, අනුන්ගේ ශාරීරික අවශ්‍යතා සහ ශුභසිද්ධිය ගැන තැකීමට හැකි වන පරිද්දෙන් ඔබේ දෘෂ්ටිය පුළුල් කළ හැකිද? ආත්මිකව දීම අතිශයින් වැදගත් බව සෑම ක්‍රිස්තියානියෙකුම අගය කරන බව ඇත්තයි. (යොහන් 6:26, 27; ක්‍රියා 1:8) එහෙත්, ආත්මිකව දීම වැදගත් වන්නා සේම, ද්‍රව්‍යමය ලෙස දීමත් නොසලකා නොහැරිය යුතු බව ස්ථිරයි.—යාකොබ් 2:15, 16.
අපේම සභාවේ සහ ලොව පුරාම සිටින අපේ සහෝදරයන්ගේ හදිසි අවශ්‍යතා ගැන සිතා බලද්දී, ඔවුන්ට උපකාර කිරීම සඳහා කුමක් කළ යුතුදැයි වඩාත් පැහැදිලිව දැකගැනීමට අපට පුළුවන්. අනුන් සමඟ ත්‍යාගශීලීව බෙදාගැනීමට හැකියාවක් ඇති අය එසේ කරන විට, සමකමක් ඇති වෙනවා. මෙයාකාරයෙන් අපේ සියලුම සහෝදරයන්ගේ අවශ්‍යතා පිරිමැසෙනවා. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් එම කාරණය මෙලෙස පැහැදිලි කළා: “ලෝකයේ එක ප්‍රදේශයක අවශ්‍යතාවක් පැනනැග්ගොත්, වෙනත් ප්‍රදේශයක සහෝදරයන් ඔවුන්ගේ පිළිසරණට පැමිණෙනවා. එසේ කිරීමට ඔවුන්ට බැරි නම්, තවත් ප්‍රදේශයක සහෝදරයන් එහෙම කරනවා. මෙතුළින් ලොව පුරා අපේ සහෝදරයන්ගේ අවශ්‍යතා පිරිමැසෙනවා. ලෝක ව්‍යාප්ත සහෝදරත්වය ඇත්තෙන්ම ආශ්චර්යයක්.”—2 කොරින්ති 8:13-15; 1 පේතෘස් 2:17.
නැඟෙනහිර යුරෝපයේ පැවති ජාත්‍යන්තර සමුළුවකට යන්න දැඩි ආශාවකින් සිටි ක්‍රිස්තියානි සහෝදරියකට එසේ කරන්න කොහොමටවත් බැරි වුණා. කොහොම වුණත්, එහි විසූ සහෝදරයන් බයිබල් සඳහා මහත් අවශ්‍යතාවකින් පෙළුණු බව ඇයට ආරංචි වූ නිසා, යෑමට හැකි වූ කෙනෙකු මාර්ගයෙන් ඇය සම්මාදමක් වශයෙන් බයිබල් යැව්වා. මෙලෙස විදේශ රටක විසූ ඇගේ සහෝදරයන් සමඟ බෙදාගැනීමෙන්, දීමේ සන්තෝෂය අද්දැකීමට ඇයට හැකි වුණා.—ක්‍රියා 20:35, NW.
ඇතැම්විට, ඔබේ දෘෂ්ටිය පුළුල් කිරීමෙන්, ඔබේ සහ අනුන්ගේ ප්‍රීතියට නිතැතින්ම දායක වෙමින්, කවදත් පුළුල් වන බයිබල් අධ්‍යාපන වැඩයට වැඩියෙන් දායක වන්න ඔබට පුළුවන්.—ද්විතීය කථාව 15:7; හිතෝපදේශ 11:24; පිලිප්පි 4:14-19.
උපදෙස් දීමේදී
උපදෙස් දීමට හෝ නිවැරදි කිරීමට සිදු වන අවස්ථාවන්හිදී, සැලකිලිමත්ව සහ සමබරව කාරණා තර්කයෙන් ඒත්තුගැන්වීම, අපේ ආත්මික සහෝදරයන්ගේ ගෞරවය දිනාගැනීමට සහ සැබවින්ම සාර්ථක වන උපකාරය පිරිනැමීමට අපට උපකාර කරන්න යනවා. කාරණා කිහිපයකට සීමා වී හදිස්සි අසාධාරණ නිගමනයකට එළඹීම කොතරම් පහසුද! මෙසේ කළොත්, යේසුස්ගේ කාලයේ නිමක් නැති රෙගුලාසි අනුන් පිට පැටවීමට යොමු වූ ආගමික නායකයන් මෙන්, පටු ආකල්ප දැරීමට හෝ අපේ ඇස් සම්පූර්ණයෙන් වසා දැමීමට අප නැඹුරු වන බවයි පෙනී යන්නේ. (මතෙව් 23:2-4) අනික් අතට, අප අන්තයට යන්නේ නැතුව, යෙහෝවාගේ ධර්මිෂ්ඨ මෙන්ම දයාන්විත දෘෂ්ටිය පිළිබිඹු කරන ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති මත ස්ථිරව පදනම් වූ කදිම උපදෙස් දීමට බලනවා නම්, අනුන්ට අපේ යෝජනා පිළිගෙන අදාළ කරගැනීම වඩාත් පහසු වෙන්න යනවා.
අවුරුදු කිහිපයකට කලින්, සභා කිහිපයකින්ම තරුණ සහෝදරයන් ක්‍රීඩා කිරීමට එකතු වුණා. අවාසනාවකට මෙන්, ඔවුන් අතර තරඟකාරි ස්වභාවයක් වර්ධනය වූ අතර, කලහකාරි ස්වභාවයක් ජනිත වුණා. අවට සභාවල වැඩිමහල්ලන් එම ගැටලුව නිරාකරණය කළේ කෙසේද? යෞවනයන්ට විනෝදය අවශ්‍ය බව තේරුම්ගත් ඔවුන්, ක්‍රීඩා සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බව නිර්දේශ කළේ නැහැ. (එපීස 5:17; 1 තිමෝති 4:8) ඒ වෙනුවට, තරඟකාරි ස්වභාවයක් කුමකට මඟ පෑදිය හැකිද කියා පෙන්වමින් ඔවුන් ස්ථිර නමුත් සාධාරණ අවවාද කිහිපයක් ඉදිරිපත් කළා. වයසින් මුහුකුරා ගොස් ඇති, වගකීම් දරන අය සිටීම හොඳයයි පෙන්වමින්, ඔවුන් උපකාරවත් යෝජනාද ඉදිරිපත් කළා. ලැබූ උපදෙස්වල ප්‍රඥාව සහ සමබරකම අගය කළ එම යෞවනයන් ඊට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. එපමණක්ද නොව, වැඩිමහල්ලන් සඳහා ඔවුන්ගේ ගෞරවය සහ ඇල්මද වර්ධනය වුණා.
පුළුල් වීමට වෙර දරන්න
දැනුවත්ව හෝ හිතාමතාම ඔබ තුළ අගතිසහගත හැඟීම් පෝෂණය නොවුණාට, ඔබේ දෘෂ්ටිය පුළුල් කරගැනීමට අධිෂ්ඨානපූර්වක වෑයමක් දැරිය යුතුයි. දෙවිගේ වචනය අධ්‍යයනය කරන අතරතුර, යෙහෝවාගේ චින්තනය තේරුම්ගෙන අගය කිරීමට හැකි වන පරිද්දෙන් එමත මෙනෙහි කරන්න. (ගීතාවලිය 139:17) බයිබලයෙහි සඳහන් දේවලට හේතු සහ අදාළ ප්‍රතිපත්ති තේරුම්ගැනීමට උත්සාහ කර, යෙහෝවා කරන්නාක් මෙන් කාරණා කිරා මැන බලන්න වෙර දරන්න. “[යෙහෝවා] ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව” යන දාවිත්ගේ යාච්ඤාවට මෙය එකඟ වෙනවා.—ගීතාවලිය 25:4, 5.
ඔබ වඩාත් පුළුල් දෘෂ්ටියක් දැරීමට සමත් වෙනවා නම්, ඔබට ආශීර්වාද ලැබෙයි. වඩා පුළුල් වූ දෘෂ්ටියක් දැරීමෙන් ලබන එක් ආශීර්වාදයක් වන්නේ, සමබර තේරුම්ගන්නා කෙනෙක් ලෙස ඔබහට කීර්තියක් ලැබීමයි. විවිධාකාර තත්වයන්වලදී උපකාර පිරිනමන විට, වඩාත් සාධාරණ මෙන්ම තේරුම්ගන්නාසුලු අන්දමකින් ප්‍රතිචාරය දැක්වීමටත් ඔබට පුළුවන් වෙයි. මෙය ක්‍රිස්තියානි සහෝදරත්වයේ දක්නට ලැබෙන පුදුමාකාර එක්සත්කමට සහ සමඟියට දායක වෙනවා.
[12වන පිටුවේ පින්තූර]
ත්‍යාගශීලීව දීම අනුන්ට උපකාර කරයි, දෙන කෙනාට ප්‍රීතිය ගෙන දෙයි එමෙන්ම අපේ ස්වර්ගික පියාව සතුටු කරයි