ඓතිහාසික බැහැදැකීමක් නිසා දූපතක් ප්‍රීතියෙන් ඉපිල යයි
කැරිබියන් මුහුදේ රමණීය දූපතක් වන කියුබාව, මෑතකදී මීට කලින් නොදුටුවිරූ ආත්මික නැවුම්බවක් අද්දැක්කා. වර්ෂ 1998හි අවසානය, මෙම බටහිර ඉන්දීය කොදෙව් රටේ ජීවත් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බොහෝ කලක ඉඳන් බලා සිටි ආශීර්වාද ගෙන දී තිබෙනවා. අවුරුදු 30කටත් වැඩි කාලයකට පසු පළමු වතාවට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් එම රට බැහැදුටු අතර, ඔවුන් සමඟ තවත් නියෝජිතයන් 15දෙනෙක්වද කැටුව ගියා. අමුත්තන්, ඉතාලිය, ඔස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පුවටෝ රිකෝ, බෙල්ජියම හා මහා බ්‍රිතාන්‍යය යන රටවල පුරවැසියන් වුණා.
එහි සිටින රාජ්‍ය ප්‍රචාරකයන් 82,258දෙනාට හා 1998 වසන්තයේ පැවති ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සැමරීමට සහභාගි වූ 87,890දෙනාටත් මෙය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා!
වර්ෂ 1998 දෙසැම්බර් 1 සිට 7 යන දිනයන් දක්වා, ලොයිඩ් බැරි, ජෝන් බාර් හා ජෙරිට් ලෝෂ් යන අය හවෑනාහි බෙතෙල් නිවස බැහැදැක, කියුබාවේ පැවැත්වූ “ජීවිතය සඳහා දෙවිගේ මඟ” දිස්ත්‍රික් සමුළු සමහරකට සහභාගි වුණා. සංචාරක වැඩිමහල්ලන් හමුවීමටත් කියුබානු නිලධාරීන් හඳුනාගැනීමටත් ලැබූ ප්‍රස්තාව ගැන ඔවුන් ප්‍රීති වුණා.
“මෙය මටත් මගේ භාර්යාවටත් දිව්‍යාණ්ඩු ජීවිතයේ විශේෂ අවස්ථාවක් වුණා” කියා ජෝන් බාර් පැවසුවා. “කියුබාවේ ඉන්න අපේ ප්‍රේමනීය සහෝදර සහෝදරියන්ට සත්‍යය ගැන තියෙන්නේ පුදුමාකාර ජ්වලිතයක්! අපේ ලෝක ව්‍යාප්ත සහෝදර සංගමය මොනතරං අනර්ඝ දෙයක්ද කියලා මට හිතුණේ එතකොටයි!” “අපේ සහෝදරයන් එහෙ අද්දකින තත්වය ගැන වඩා හොඳ අවබෝධයක් ලබාගන්න මෙම විශේෂ සතිය මට උපකාර වුණා” කියා ලොයිඩ් බැරි එයට එකතු කරයි.
පසුගිය වසර පහ පුරා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කියුබාවෙහි වැඩි නිදහසක් ලැබී තිබෙන අතර, කියුබානු අධිකාරීන් දක්වන අදහස්වලට අනුව, මෙම තත්වය දිගටම පවත්වාගැනීමට ඔවුන් කැමති බව පෙනී යයි.
වර්ෂ 1994 සැප්තැම්බර් මාසයේදී මුද්‍රණ කටයුතු හවෑනාහි බෙතෙල් නිවසෙහි යළි ආරම්භ කරනු ලැබුවා. නැවතත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ප්‍රසිද්ධියේ රැස්වීම් පැවැත්වීමටත්, ගෙයින් ගෙට සේවයේ යෑමටත් පුළුවන් වුණා. අනතුරුව, 1998දී, පාලක මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු ඇතුළුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර නියෝජිතයන් 18දෙනෙකුට එරට බැහැදැකීමට අවසර දෙනු ලැබුවා.
ප්‍රීතිමත් යළි එකතු වීමක්
නියෝජිත පිරිස, හවෑනාහි හොසේ මාර්තීහි ගුවන් තොටුපොළට පැමිණි විට, මහජන නිලධාරී පිරිසක් හා බෙතෙල් නිවසෙන් පැමිණි කණ්ඩායමක් ඔවුන්ව සාදරයෙන් පිළිගනු ලැබුවා. ඒ අතර, 1961දී කියුබාව බැහැදැකීමට පාලක මණ්ඩලයෙන් අවසන් වරට ආ මිල්ටන් හෙන්ෂල්ගේ පැමිණීම මතකයේ රැඳි සහෝදරයෙක්ද සිටියා. එවිට ඔහුට අවුරුදු 12ක් වූ අතර දැන් ඔහු සංචාරක අවේක්ෂකයෙක්.
නියෝජිත පිරිස බෙතෙල් නිවසට පැමිණි විට ඔවුන් ග්ලැඩියෝලා, රෝස, පිච්ච සහ කහ හා රතු ඩේසි මල්වලින් සෑදූ මල් පොකුරු දීමෙන් ඔවුන්ව පිළිගත්තා; තවද මේවා මේ සඳහාම සහෝදරයෙකු විසින් වවා තිබුණා. බෙතෙල් සාමාජිකයන් නියෝජිතයන්ව පිළිගනිද්දී සැමගේ දෙනෙත්වල කඳුළු පිරී තිබුණා. පසුව ඔවුන් කියුබානු කෑම වේලක් අපිට දුන්නා. ඒකට අයත්ව තිබූ පිලිස්සූ ඌරු මස්, බත්, බෝංචි, සලාද, මඤ්ඤොක්කා, මෝහෝ (සුදු ලූනු හා රට ඔලිව තෙල්වලින් සෑදූ සෝස් වර්ගයක්) හා පලතුරු ආහාරයට ගැනීමෙන් පසු, බෙතෙල් සේවයේ ඇති අනර්ඝත්වය පිළිබඳ වර්ධනය ගෙන දෙන කතාවක් පාලක මණ්ඩලයේ සෑම සාමාජිකයෙක් විසින්ම දෙනු ලැබුවා. සහෝදර ලෝෂ් කී දේවල් විශේෂයෙන්ම හැඟීමකින් යුතු වූයේ ඔහු සහෝදරයන්ට ස්පාඤ්ඤ බසින් කතා කළ නිසාය. බෙතෙල් පවුල සෑදී තිබෙන්නේ නිතිපතා වැඩ කරන ස්වේච්ඡා සේවකයන් 48දෙනෙකුගෙන් සහ තාවකාලිකව උපකාර කරන 18දෙනෙකුගෙන්ය.
කියුබාවේ සහෝදරයන් සඳහා පොත් සහ බයිබල් මුද්‍රණය කරන්නේ ඉතාලිය වුවත්, මුරටැඹ හා පිබිදෙව්!හි කළු සුදු පිටපත් එරටේම නිපදවන අතර, මෙය කරන්නේ රෝනියෝ යන්ත්‍ර දෙකක් ආධාරයෙනි. මසකට දෙවතාවක් අවශ්‍ය වන සියලුම සඟරා නිපදවීම සඳහා, දීර්ඝ වේලාවක් ගත වන, නැවත නැවත සිදු කරන වැඩ සිදු කරනු ලබන්නේ ඉඩ පහසුකම් අඩු ගොඩනැඟිලිවලයි. ස්වේච්ඡා සේවකයන් යෙහෝවාට වූ තම සේවය විශේෂාකාරයකින් අගය කරයි.—2 කොරින්ති 4:7.
සමුළු විශේෂාංග
සාමාජිකයන් 18දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස, හවෑනා, කමග්වේ හා හෝල්ජින්හි යන ස්ථාන තුනේ පැවති දිස්ත්‍රික් සමුළුවලට සහභාගි වීම සඳහා කණ්ඩායම් තුනකට බෙදුණා. දින තුනෙන් සෑම දවසකම, වැඩිමහල්ලන් හා පුරෝගාමීන් ඇතුළු සහෝදර සහෝදරියන් විශාල පිරිසකට එක් එක් ස්ථානයට පැමිණීමට ආරාධනා කරනු ලැබුවා. මෙය විශේෂ අවස්ථාවක් වන බව ප්‍රාදේශීය සාක්ෂිකරුවන්ට පවසා තිබුණත්, පාලක මණ්ඩලයේ සාමාජිකයන් පැමිණ සිටීවිය කියා ඔවුන් දැන සිටියේ නැහැ. මෙම හිතවත් සහෝදරයන් හා ඔවුන්ගේ භාර්යාවන් කුලියට ගත් බස් රථවලින් සිකුරාදා උදෑසන බසිනවා දකිද්දී ඇති වුණ පුදුමය මොනතරම්ද කියා කල්පනා කර බලන්න!
අධිකාරීන්ගේ අනුමැතිය ඇතුව, සහෝදරයන් විසින් ගොඩනඟන ලද එළිමහන් ගොඩනැඟිලිවල සමුළු පවත්වනු ලැබුවා. හවෑනා සමුළු භූමියේ, ඇතුල් වන විට තිබෙන ගලක මෙසේ කොටා තිබුණා: “ගීතාවලිය 133:1.” මෙය සහෝදරයන්ට එම බයිබල් පදයේ සඳහන්ව ඇති පාඨය මතක් කරනු ලැබුවා. “බලව! සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්රසන්නද!” ඇත්තෙන්ම, සමුළුව තුළදී, එම ප්‍රදේශයේ හොඳ කදිම ක්‍රිස්තියානි ඇසුරක් දක්නට ලැබුණා.
ඉදිරිපත් කළ කදිම කතා හා සම්මුඛ සාකච්ඡා ගැන පැමිණ සිටි අය අදහස් දැක්වූ අතර, පුරාණ බබිලෝනිය පසුබිම් කරගත් දානියෙල් 3වන පරිච්ඡේදයේ බයිබල් කතාන්තරය මත පදනම් වූ නාට්‍යය ඔවුන්ගේ සිත්ගත්තා. එක් සහෝදරියක් මෙසේ අදහස් දැක්වූවා: “නළු නිළියෝ ටික නියමයි. ඒවගේම කට හඬවල් කොයිතරං හොඳට පටිගත කරල තිබුණද කියනව නං ඒක කලින් කරපු එකක් කියල කියන්නවත් බැහැ. . . . දුෂ්ට බබිලෝනියවරුන් ඇත්තෙන්ම දුෂ්ටයි වගෙයි පෙනුණේ. ඒ වගේම හෙබ්‍රෙව්වරුන් තුන්දෙනා ස්ථිරව අධිෂ්ඨානපූර්වකව හිටියා.”
සමුළුව බැලීමට පැමිණි ආගමික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජිතයන් හා රජයේ වෙනත් බලධාරීන්, සහෝදරයන්ගේ සංවිධානාත්මක බව හා කදිම හැසිරීම අගය කළා. කියුබානු අධිකාරීන් විසින් බැහැදැකීමට පැමිණි නියෝජිතයන්ට පිරිනැමූ කදිම සැලකිල්ල වෙනුවෙන් සහෝදර බැරි තම අගය පළ කළා. ඉදිරිපත් කළ කතාවලට හා සමුළු පැවැත්වීමට අධිකාරීන් අවසර දීම වෙනුවෙන් අගය පෙන්වීමක් හැටියට, නිතර නිතර විනාඩි කිහිපයක් පුරා සහෝදරයන් සිටගෙන තම අගය අත්පොළොසන් නාදයෙන් ඉදිරිපත් කළා. “මේක අපි හිතුවාටත් වඩා පුදුමයි. හරියට නිකං පොඩි ජාත්‍යන්තර සමුළුවක් වගෙයි” කියා එක් ක්‍රිස්තියානි පවුලක් පැවසුවා. “මේක නං හරිම පුදුමයි. මොකද යෙහෝවා පොරොන්දු වෙන දේවල් සිදු කරන්න ඔහුට මහත් බලයක් තියෙන බව මේකෙං හොඳට පැහැදිලි වුණා.”
වෙනත් අයට සාක්ෂිකරුවන්ව වඩා හොඳින් දැනගැනීමට හැකි කරවීමට මේ සමුළු ප්‍රස්තාවක් සැපයුවා. බස් රියැදුරෙකුගෙන් එක්කෙනෙක් සෙනසුරාදා හා ඉරිදා සමුළුවට පැමිණියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ඔහු බොහෝ දේවල් අසා තිබුණත්, දැන් ඒ මිනිසුන් හොඳ සාමකාමී මිනිසුන් කියා ඔහුට වැටහුණු බව ඔහු පැවසුවා.
“අපිට කිසිදාක අමතක නොවන දේවල්”
කියුබාවේ මිනිසුන්ගේ උණුසුම්බව හා සුහදශීලිබව නියෝජිතයන්ගේ සිත්ගත්තා. කියුබානුවන් මහන්සි වී වැඩ කරන, ප්‍රතිපත්තිගරුක මෙන්ම කරුණාවන්ත පිරිසකි. “ගොඩක් අවස්ථාවලදී, අපිව කොහොමටවත් දන්නේ නැති අය අපිට උදව් කළා” කියා එක් නියෝජිතයෙක් පැවසුවා.
කියුබාවේ සිටින සෙසු සාක්ෂිකරුවන් විදහාපෑ ඇදහිල්ල, සන්තෝෂය හා ප්‍රේමය නියෝජිතයන්ට ගැඹුරින් කාවැදුණා. විශාල බාධකයන් මැද ඔවුන් යෙහෝවාව තමන්ගේ බලකොටුව කරගෙන තිබෙනවා. (ගීතාවලිය 91:2) “මං කියුබාවට ගිය පළවෙනි වතාවෙන්ම මාව ගොඩක් පුදුම කරපු දේවල් තිබුණා. රටේ ලස්සන, මිනිසුන්ගේ තියෙන හොඳ ස්වභාවය වගේම ඔක්කෝටමත් වඩා කියුබානු සාක්ෂිකරුවන්ගේ තියෙන උද්යෝගය ගොඩක් කැපීපෙනෙනවා. අපේ රාජ්‍ය ගීතිකා ඒ තරං හෘදයාංගම උද්යෝගයකින් කියනවා මම නං අහල නැහැ! ඒ විතරක්ද, ආත්මික කාරණා ඒගොල්ලන්ගේ හදවතට වැදුණාම කොයිතරං වේලාවක් අත්පුඩි ගැහුවද! මේවා අපිට කිසිදාක අමතක නොවන දේවල්. ඒවා අපි හැමදාම සන්තෝෂයෙන් මතක් කරන්න යනවා” කියා ජෝන් බාර් පැවසුවා.
ගීතාවලිය 97:1හි මෙසේ පවසනවා: “ද්වීප සමූහය සන්තෝෂවෙත්වා.” ඇත්තෙන්ම, දෙවිට නමස්කාර කිරීම සඳහා වැඩියෙන් ලබා දී ඇති නිදහස ගැනත්, ජාත්‍යන්තර නියෝජිත පිරිසකගේ ඓතිහාසික බැහැදැකීම ගැනත්, කියුබානු දූපතේ ඉන්න සාක්ෂිකරුවෝ ප්‍රීතියෙන් ඉපිල ගියා.
[8වන පිටුවේ පින්තූර]
“ජීවිතය සඳහා දෙවිගේ මඟ” යන විශේෂ දිස්ත්‍රික් සමුළුවට කියුබාවේ පවුල් බොහොමයක් සහභාගි වුණා
[8වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1994 හවෑනා බෙතෙල් නිවස යළි විවෘත කරන ලදි
[8වන පිටුවේ පින්තූරය]
මහජන නිලධාරීන්ට තෑගි වශයෙන් දෙනු ලැබූ බයිබල්, පාලක මණ්ඩලයේ සාමාජිකයන් අත්සන් කරමින් සිටියි