නිදහස සැමගේ කැමැත්ත
“මිනිසා නිදහස ඇතුව ඉපදුණත්, ඔහු සිටින්නේ වහල්භාවයෙයි” කියා ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ෂාන් ෂාක් රුසෝ 1762දී ලිව්වා. නිදහස ඇතුව ඉපදෙනවා. මොනතරම් චමත්කාර සිතුවිල්ලක්ද! නමුත් රුසෝ දුටු ආකාරයට, ඉතිහාසය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් කෙදිනකවත් නිදහස අද්දැක නැහැ. ඒ වෙනුවට, ඔවුන් තම ජීවිත ගත කර තිබෙන්නේ, තම ජීවිතවලින් කල්පවතින ප්‍රීතිය හා සෑහීම සොරාගෙන ඇති පිළිවෙළක හිර වී, “වහල්භාවයෙයි.”
“මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකර” ඇති බව අදදිනත් මිලියන සංඛ්‍යාතයකට දකින්න තිබෙනවා. (දේශනාකාරයා 8:9) බලය පිටුපස හඹා යෑමේදී අභිලාෂකාමී මිනිසුන් හා ස්ත්‍රීන්, වෙනත් අයගේ නිදහස සුනු විසුනු කර දැමීම ගැන අබමල් රේණුවක තරම්වත් අනුකම්පාවක් දක්වන්නේ නැහැ. “ප්‍රචණ්ඩකාරි ඝාතක කල්ලි විසින් 21දෙනෙකුව මරා දැමේ” කියා එක්තරා වාර්තාවක් පවසනවා. ආරක්ෂක බලඇණි, ‘විරුද්ධ නොවන මෙන්ම අසරණ ස්ත්‍රීන්, දරුවන් හා මහලු අයව මරා දැමීම, උගුරු කපා දැමීම, සිර කර ඇති සාමාන්‍ය පුරවැසියන්ගේ හිසට වෙඩි තබා මරා දැමීම හා ගම්මාන මුළුමනින්ම විනාශ කර දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හා කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව වෙඩි තැබීම’ සමඟින් සිදු වන “දරුණු ඝාතන” ගැන තවත් වාර්තාවක් පවසනවා.
මැඩපවත්වනු ලැබීමෙන් නිදහස් වීමට ගැඹුරු ආශාවක් ඇතුව, ජනයා ඇත්තෙන්ම ඒ සඳහා සටන් කිරීම පුදුමයක් නොවෙයි! එහෙත්, කනගාටුදායක සැබෑව නම්, එක්කෙනෙකුගේ නිදහස වෙනුවෙන් එම සටනට බොහෝවිට වෙනත් කෙනෙකුගේ අයිතිවාසිකම් හා නිදහස පාගා දැමීම ඇතුළත් වීමයි. මෙම ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම වාගේ අහිංසක පුරුෂයන්ව, ස්ත්‍රීන්ව හා දරුවන්ව පූජා කිරීමට සිදු වන අතර ඔවුන්ව ඝාතනය කිරීම සුදුසුයි මෙන්ම සිදු විය යුත්තක්යයි ප්‍රකාශ කරමින් එය “යුක්තිසහගත කරයි.” උදාහරණයක් ලෙස, ඉකුත් වසරේදී, අයර්ලන්තයේ කුඩා ගම්බද නගරයක් වන ඕමාහි “නිදහස වෙනුවෙන් සටන් කරන්නන්” මෝටර් රථයක සවි කළ බෝම්බයක් හේතුවෙන්, ඒ අසලින් ගමන් ගත් අහිංසක මිනිසුන් 29ක් මරණයට පත් වූ අතර තවත් සියගණනක් අනතුරට පත් වුණා.
තවමත් ‘වහල්භාවයේ’
සටන අවසන් වූ පසු, ඇති වී තිබෙන වාසිය කුමක්ද? “නිදහස වෙනුවෙන් සටන්කරන්නන්” තම සටන්වලින් ජයගන්න විට, යම් සීමිත නිදහසක් දිනාගත හැකියි. නමුත් ඉන්පසු, ඔවුන් ඇත්තෙන්ම නිදහස්ද? නිදහස් ලෝකය කියා හඳුන්වන ලෝකයෙහි නිදහස ලබාගෙන තිබෙන සමාජයන් බොහෝමයක පවා, ජනයා තවමත් දිළිඳුකම, අසම්පූර්ණත්වය, අසනීප හා මරණය වැනි කෲර ස්වාමීන්ට ‘වහල් වී’ සිටීම සැබෑවක් නොවෙයිද? එවැනි දේවල් තමන්ව වහල් කරගෙන සිටින තුරා තමා ඇත්තෙන්ම නිදහස් කියා පැවසීමට කෙනෙකුට හැකි වන්නේ කෙසේද?
ජීවිතය සම්බන්ධයෙන් පුරාණ බයිබල් ලේඛක මෝසෙස් නිවැරදි ලෙස විස්තර කර තිබූ දෙය ඉතිහාසය පුරා බොහෝදෙනෙකුට යථාර්ථයක්ව තිබී ඇති ආකාරයටම අදදිනත් පවතිනවා. අපි අවුරුදු 70ක් හෝ 80ක් ජීවත් විය හැකි “වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය” කියා ඔහු පැවසුවා. (ගීතාවලිය 90:10) මෙය කවදා හෝ වෙනස් වේවිද? අපි සියලුදෙනාටම අදදින බොහෝදෙනා විඳින වේදනාවෙන් හා භයංකර දේවලින් නිදහස් වී, සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් විය හැකි ජීවිතයක් ගත කිරීමට හැකි වෙයිද?
ඔව් කියා බයිබලයේ පවසනවා. එය “[දෙවිගේ] දරුවන්ගේ මහිමයේ නිදහස්කම” ගැන කතා කරනවා. (රෝම 8:21) පළමු සියවසේදී ප්‍රේරිත පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියකින් ඔහු කතා කළ එම නිදහස ගැන අපි කිට්ටුවෙන් සලකා බලමු. අපි හැම කෙනෙකුටම සැබෑ, කල්පවතින “මහිමයේ නිදහස්කම” ලබාගත හැකි ආකාරය ගැන පාවුල් මේ ලිපියෙහි මනාව පැහැදිලි කරනවා.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Beacon Lights of History, Vol. XIII යන පොත ඇසුරෙනි.