මරණින් පසු ජීවිතයක්—ජනයා විශ්වාස කරන්නේ කුමක්ද?
“මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද?”—යෝබ් 14:14.
1, 2. මරණය හේතුවෙන් ප්‍රේමනීයයෙකු අහිමි වූ විට, බොහෝදෙනා සැනසිල්ල සොයන්නේ කෙසේද?
නියූ යෝක් නගරයේ අවමඟුල් ශාලාවක, 17 හැවිරිදි තරුණ පිරිමි ළමයෙකුගේ මළ සිරුර විවෘත මිනී පෙට්ටියක තැන්පත් කොට තිබෙනවා. අවසන් ගෞරවය දක්වමින් හිතමිතුරන් සහ පවුලේ සාමාජිකයන් නිහඬව එය පසු කර ගමන් කරනවා. ඔහුගේ තුරුණු දිවිය ඩැහැගෙන ඇත්තේ මාරාන්තික පිළිකාවක්. උහුලන්න බැරි තරම් දුකකින් පෙළෙන මව නැවත නැවතත් මුමුණමින් මෙසේ කියයි: “ටොමි දැන් සන්තෝසෙන් ඇති. දෙවියන්ට ඕනෑ වුණා ටොමිව ස්වර්ගයට ගන්න.” විශ්වාස කිරීමට ඇයට උගන්වා තිබුණේ එලෙසයි.
2 කිලෝමීටර් 11,000කට ඈතින් පිහිටි, ඉන්දියාවේ ජම්නගාර්හි, පුතුන් තිදෙනාගෙන් වැඩිමලා, මියගොස් ඇති තම පියාගේ චිතකයට ගිනි දල්වයි. ගින්න ඇවිළෙද්දී, බමුණෙක් සංස්කෘත භාෂාවෙන් මන්ත්‍ර ජප කරයි. එයින් කියන්නේ, “කිසිදා නොමියෙන ආත්මය, බ්‍රාහ්මණයා හා එකතු වීමට දරන උත්සාහය සඵල වේවා” කියායි.
3. ජනයා වකවානු ගණනාවක් පුරා කල්පනා කර ඇත්තේ කුමන ප්‍රශ්න ගැනද?
3 මරණය නමැති යථාර්ථය අප හාත්පස පැතිර පවතිනවා. (රෝම 5:12) එමනිසා, මරණය සම්පූර්ණ අවසානයක්දැයි කල්පනා කිරීම ස්වාභාවිකයි. ශාකවල ස්වාභාවික චක්‍රය ගැන මෙනෙහි කරමින්, යෙහෝවා දෙවිගේ පුරාණ විශ්වාසවන්ත සේවකයෙකු වූ යෝබ් මෙසේ නිරීක්ෂණය කළා: “ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය.” එසේ නම් මනුෂ්‍යයන් ගැන කුමක් කිව හැකිද? යෝබ් මෙසේ විමසුවා: “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද?” (යෝබ් 14:7, 14) මරණින් පසු ජීවිතයක් තිබේද? තිබේ නම් එය මොන වගේ ජීවිතයක්ද? මිනිසුන්ගේ විශ්වාසයන් මොනවාද? එසේ විශ්වාස කිරීමට හේතුව කුමක්ද? ගෙවී ගොස් ඇති වකවානු ගණනාව පුරා, සෑම සමාජයකම ජනයා මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවා.
එකම පැනයට පිළිතුරු රැසක්
4. මරණින් පසු ජීවිතය ගැන විවිධ ආගම්වල ජනයා විශ්වාස කරන්නේ කුමක්ද?
4 මරණින් පසු, මිනිස්සු එක්කෝ ස්වර්ගයට එහෙමත් නැත්නම් නරකාදියට යන බව නාමික ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් විශ්වාස කරනවා. අනික් අතට, හින්දු භක්තිකයන් පුනරුත්පත්තිය විශ්වාස කරනවා. ඉස්ලාම් ධර්මයේ විශ්වාසයට අනුව, මරණයෙන් පසු විනිශ්චයේ දවසක් තිබෙන අතර, එදාට අල්ලා සෑම කෙනෙකුගේම ජීවිතය කිරා මැන බලා හැම පුද්ගලයෙකුවම එක්කෝ ස්වර්ගයට (ජන්නත්) නැත්නම් නරකාදියට (දෝසක්) නියම කරනවා. ඇතැම් රටවල, මළවුන් පිළිබඳ විශ්වාසයන් දේශීය සම්ප්රදාය සහ නාමමාත්ර ක්‍රිස්තු ධර්මයේ පුදුම දනවන සංකලනයක් කියා පැවසුවොත් නිවැරදියි. නිදසුනකට, ශ්‍රී ලංකාවේ නිවසක මරණයක් සිදු වන විට, බෞද්ධ කතෝලික දෙපාර්ශ්වයම එම නිවසේ දොරවල් ජනේල් විවෘත කර තබනවා. තවද ඔවුන් මිනි පෙට්ටිය තබන්නේ මෘත දේහයේ පය පිහිටි දිශාව නිවසේ ඉදිරිපස දොරටුවට මුහුණලා සිටින පරිදියි. මෙවැනි ක්‍රියාමාර්ගයක් මියගිය තැනැත්තාගේ ආත්මය පිටවීමට දායක වන බව ඔවුන් විශ්වාස කරනවා. බටහිර අප්‍රිකාවේ කතෝලිකයන් සහ රෙපරමාදුවන් බොහෝදෙනෙකු අතර, කෙනෙකු මියගිය විට කැඩපත් ආවරණය කිරීම සිරිතකි. එසේ කරන්නේ කැඩපතක් දෙස බලා මළ තැනැත්තාගේ ආත්මය නොදක්නා පිණිසයි. දින 40කට පසුව, පවුලේ අය සහ හිතමිතුරන් ආත්මයේ ස්වර්ගස්ථ වීම සඳහා උත්සවයක් පවත්වනවා.
5. ආගම් වැඩි හරියක් එකඟ වන්නේ කුමන මූලික විශ්වාසය සම්බන්ධයෙන්ද?
5 විවිධාකාර මතයන් තිබුණත්, ආගම් වැඩි හරියක් අඩුම තරමින් එක කාරණයක් සම්බන්ධයෙන් එකඟ වන බව පෙනෙනවා. එනම් පුද්ගලයෙකු තුළ ඇති යම් කිසිවක් අමරණීය බවටත් ශරීරය මියයෑමෙන් පසු එය දිගටම ජීවත් වන බවටත් වූ විශ්වාසය. මිනිසා තුළ යම්කිසි අමරණීය දෙයක් ඇති බවට වූ විශ්වාසය ක්‍රිස්තියානි ලෝකයේ ආගම් සහ නිකායන් සිය ගණනින් සැමෙකක්ම පාහේ අනුමත කරනවා. මෙම විශ්වාසය යුදෙව්වාදයේද නිල ඉගැන්වීමක් වෙනවා. තවද පුනරුත්පත්තිය පිළිබඳව හින්දු ධර්මයේ ඉගැන්වීමේ අත්තිවාරම වන්නේද මෙයයි. ශරීරය මියගියායින් පසු රූහ් යන්න දිගටම ජීවත් වන බව මුස්ලිම් ජනතාව විශ්වාස කරනවා. ඕස්ට්‍රේලියාවේ ඇබොරිජිනි ආදිවැසියන්, අප්‍රිකාවේ ජීවවාදීන්, ෂින්ටෝ බැතිමතුන්, බෞද්ධයන් පවා එකම පදනම මත විවිධාකාර දේවල් උගන්වනවා.
6. මිනිසා තුළ අමරණීය ආත්මයක් තිබෙනවාය යන අදහස ඇතැම් විශාරදයන් සලකන්නේ කෙසේද?
6 අනික් අතට, සචේතනික ජීවිතය මරණයේදී නිමා වන බවට වූ මතය දරන අයද සිටිනවා. චිත්තවේගීය මෙන්ම බුද්ධියෙන් යුත් ජීවිතයක්, ශරීරයෙන් බැහැර වූ පෞද්ගලිකත්වයක් නොමැති අවතාරයක් බඳු යම් කිසිවක් තුළ දිගටම ජීවත් වනවා යන අදහස ඔවුන්ට විකාරයක් මෙනි. පුද්ගලයන් තුළ අමරණීයත්වයක් ඇති බව විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ අය වශයෙන්, සුප්‍රසිද්ධ දාර්ශනිකයන් වූ ඇරිස්ටෝටල් සහ එපිකියුරස්, වෛද්‍යවර හිපොක්‍රටීස්, ස්කොට්ලන්ත දාර්ශනික ඩේවිඩ් හ්යූම්, අරාබි විශාරද ඇවරෝවෙස් සහ නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ මුල්ම අගමැති බවට පත් වූ ජවහර්ලාල් නේරුව සඳහන් කළ හැකියි.
7. ආත්මය පිළිබඳ ඉගැන්වීම ගැන දැන් සලකා බැලිය යුත්තේ කුමන වැදගත් ප්‍රශ්නද?
7 පරස්පර විරෝධී වූ මෙවන් අදහස් සහ විශ්වාසයන් හමුවේ අපි මෙසේ ඇසිය යුතුයි: අප තුළ ඇත්තටම අමරණීය ආත්මයක් ඇද්ද? එසේ නැත්නම්, වර්තමානයේ මෙතරම් ආගම් රැසකට එවැනි බොරු ඉගැන්වීමක් ඇතුල් වී ස්ථාපිත වුණේ කෙසේද? එම අදහස පැමිණියේ කොහෙන්ද? මෙම ප්‍රශ්න මත අපේ අනාගතය රඳා පවතින බැවින්, ඒවාට සත්‍යවාදී මෙන්ම සෑහීම ගෙන දෙන උත්තර ලබාගැනීම අත්‍යවශ්‍යයි. (1 කොරින්ති 15:19) එනමුත්, මුලින්ම ආත්මය පිළිබඳ ඉගැන්වීමේ මූලාරම්භය පරීක්ෂා කර බලමු.
ඉගැන්වීමේ උපත
8. අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම පෝෂණය කිරීමේදී සොක්රටීස් සහ ප්ලේටෝ ඉටු කළ කාර්යය කුමක්ද?
8 පොදු යුගයට පෙර පස්වන සියවසේ විසූ ග්‍රීක් දාර්ශනිකයන් වූ සොක්රටීස් සහ ප්ලේටෝ අමරණීය ආත්මයක් ඇති බවට වූ විශ්වාසය පෝෂණය කිරීමට මුල් වූ අය ලෙස ගෞරවයට පාත්‍ර වී සිටිනවා. එනමුත් මෙම අදහසට මුල් වුණේ ඔවුන් නොවෙයි. ඒ වෙනුවට, ඔවුන් එය ඔප දමා දාර්ශනික ඉගැන්වීමක් දක්වා පරිවර්තනය කරමින්, ඔවුන්ගේ කාලයේ විසූ මෙන්ම මතුවට පැමිණෙන දැන උගත් පංතියට සිත්ගන්නා යමක් බවට පත් කළා. පිළිගත යුතු දේ නම්, මිනිසා තුළ අමරණීය යමක් ඇතැයි යන විශ්වාසය පුරාණ පර්සියාවේ ශරතුස්ත්රවාදීන්ට සහ ඔවුන්ටත් කලින් මිසරවරුන්ටද තිබීමයි. එසේ නම් ප්රශ්නය මේකයි: මෙම ඉගැන්වීමේ මූලාරම්භය කුමක්ද?
9. මිසරයේ, පර්සියාවේ සහ ග්‍රීසියේ පුරාණ සංස්කෘතීන්ට පොදුවේ බලපෑම් කිරීමට මුල් වූ එක් ප්‍රභවයක් සඳහන් කරන්න.
9 බබිලෝනියෙහි සහ අෂූරියෙහි ආගම (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි මෙසේ පැවසේ: “පුරාණ ලෝකයේ මිසරය, පර්සියාව සහ ග්‍රීසියට බබිලෝනීය ආගමේ බලපෑම දැනුණා.” මිසරයේ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන්, එම පොතෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා: “එල්-අමාර්නා පුවරුවලට අනුව, මිසරය සහ බබිලෝනිය අතර මුල් කාලයේදීම යම් සම්බන්ධකමක් පැවති නිසා, බබිලෝනීය මතයන් සහ වත් පිළිවෙත් මිසරයේ ලබ්ධීන් තුළට පිවිසෙන්න ප්‍රස්තා රැසක් උදා වුණ බව කිසිම සැකයක් නැතුව පැවසිය හැකියි.”a පුරාණ පර්සියාවේ සහ ග්‍රීසියේ සංස්කෘතීන් ගැනත් ඒ දේම පැවසිය හැකියි.
10. මරණින් පසු ජීවිතය ගැන බබිලෝනිවරුන් දැරූ මතය කුමක්ද?
10 එනමුත් මිනිසා තුළ යම් අමරණීය දෙයක් ඇති බව පුරාණ බබිලෝනිවරුන් විශ්වාස කළාද? මෙම කාරණය සම්බන්ධයෙන්, අ.එ.ජ. පෙන්සිල්වේනියා සරසවියේ මහාචාර්ය මොරිස් ජැස්ට්‍රෝ කනිෂ්ඨ මෙසේ ලිව්වා: “[බබිලෝනියෙහි] ජනතාව හෝ ආගමික චින්තනයේ මූලිකයන්, යමක් පවතින්න පටන්ගත්තායින් පසු එය සම්පූර්ණයෙන් විනාශ විය හැකිය යන අදහසවත් දැරුවේ නැහැ. [ඔවුන්ගේ මතයට අනුව] මරණයෙන් අදහස් කළේ, වෙනත් ජීවිතයකට පිවිසීමේ මාර්ගයයි. තවද [වර්තමාන ජීවිතයේ] අමරණීයත්වයක් නොතිබුණු නිසා, මරණය පැවැත්මෙහි වෙනසකට අනිවාර්යයෙන්ම තුඩු දෙනවා යන අදහස පමණයි ඉන් අවධාරණය කෙරුණේ.” ඔව්, මරණින් පසු යම් ආකාරයකින් මෙන්ම යම් ස්වරූපයකින් ජීවිතය දිගටම පැවති බව බබිලෝනිවරුන් විශ්වාස කළා. මතු ජීවිතයෙහි ඔවුන්ගේ පාවිච්චිය සඳහා මළවුන් සමඟ වස්තූන් වැළලීමෙන් ඔවුන් මෙම විශ්වාසය තහවුරු කළා.
11, 12. ජලගැල්මෙන් පසු, මිනිසාට අමරණීය ආත්මයක් ඇති බවට වූ ඉගැන්වීම ජනිත වූයේ කොහෙන්ද?
11 මිනිසා තුළ යම්කිසි අමරණීය දෙයක් ඇති බවට වූ ඉගැන්වීම පුරාණ බබිලෝනිය දක්වා දිවෙන බව පැහැදිලියි. මෙය වැදගත් කාරණයක්ද? ඔව්, ඇත්තෙන්ම වැදගත්. බයිබලයට අනුව, බාබෙල් නොහොත් බබිලෝනිය යන නුවර පිහිටෙව්වේ, නෝවාගේ මුනුපුරාගේ පුතෙකු වූ නිම්රොද් විසිනුයි. නෝවාගේ දවසේ සිදු වූ සමස්ත ලෝක ජලගැලීමෙන් පසු, සියලුම ජනයාට තිබුණේ එකම භාෂාවක් සහ එකම ආගමක්. නිම්රොද් “යෙහෝවාට විරුද්ධ” [NW] කෙනෙකුව සිටියා පමණක් නොව, ඔහුට සහ ඔහුගේ අනුගාමිකයන්ට කීර්තිමත් ‘නාමයක් සාදාගැනීමටත්’ වුවමනාවක් තිබුණා. එබැවින්, එතැන නුවරක් පිහිටුවා කොතක් ගොඩනැඟීමෙන්, නිම්රොද් වෙනම ආගමක් බිහි කළා.—උත්පත්ති 10:1, 6, 8-10; 11:1-4.
12 ජනප්රවාදයට අනුව නිම්රොද් දරුණු මරණයක් අද්දුටුවා. ඔහුගේ මරණයෙන් පසු, ඔහුව බබිලෝනිය කියන නුවර පිහිටෙවූ තැනැත්තා, ඉදිකරන්නා සහ මුල් රජ වශයෙන් ජනයාගේ පිළිගැනීමට ලක් වී, ඔවුන්ගේ ගරු බුහුමනට පවා පාත්‍ර වන්න ඇතැයි සිතාගත හැකියි. ඇත්තෙන්ම මාර්ඩුක් (මෙරොදක්) යන දෙවියා, බබිලෝනිය පිහිටෙවූ තැනැත්තා ලෙස සලකා ඇති නිසාත්, බබිලෝනීය රජුන් කිහිපදෙනෙකුට ඔහුගේ නම දී ඇති නිසාත්, මාර්ඩුක් දේවත්වය ආරෝපණය කළ නිම්රොද් විය හැකි බව ඇතැම් විශාරදයන් යෝජනා කරනවා. (2 රාජාවලිය 25:27; යෙසායා 39:1; යෙරෙමියා 50:2) මෙය සැබෑවක් නම්, අඩුම තරමින් නිම්රොද්ගේ මරණය වෙද්දී, පුද්ගලයෙකුගේ මරණින් පසු යම් කිසිවක් නොනැසී පවතිනවා යන අදහස ප්‍රචලිත වන්න ඇති. කොහොම වුණත්, ජලගැල්මෙන් පසු, මිනිසාට අමරණීය ආත්මයක් ඇතැයි යන ඉගැන්වීම ජනිත වූයේ බාබෙල් නොහොත් බබිලෝනියෙන් බව ඉතිහාසයේ පිටුවල සනිටුහන් වෙනවා.
13. අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම පොළොව පුරා පැතිරුණේ කෙසේද? එමෙන්ම කුමන ප්‍රතිඵලයක් ඇතුවද?
13 දෙවි බාබෙල් කොත ගොඩනැඟූවන්ගේ භාෂාව අවුල් කිරීමෙන් ඔවුන්ගේ ඉදි කිරීමට බාධා කළ බව බයිබලයෙහි සඳහන් වෙනවා. එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමට තවදුරටත් ඔවුන්ට බැරි වුණ නිසා, ඔවුන් තම ව්‍යාපෘතිය අත්හැර ‘එතැනින් මුළු පොළෝතළයෙහි විසිර ගියා.’ (උත්පත්ති 11:5-9) කොතක් ගොඩනැඟීමට වෑයම් දැරූ එම ගොඩනඟන්නන්ගේ භාෂාව වෙනස් වුණත්, ඔවුන්ගේ කල්පනාවන් සහ සංකල්ප වෙනස් නොවූ බව අප මතක තබාගත යුතුයි. එබැවින්, ඔවුන් කොහේ ගියත්, ඔවුන්ගේ ආගමික අදහසුත් ඔවුන් සමඟ ගියා. මෙයාකාරයෙන් අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම ඇතුළුව බබිලෝනීය ආගමික ඉගැන්වීම් මුළු පොළොව පුරාම ව්‍යාප්ත වී ලෝකයේ ප්‍රධාන ආගම්වල අත්තිවාරම බවට පත් වුණා. මෙලෙස, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයක් පිහිටුවනු ලැබුවා. බයිබලයෙහි එය යෝග්‍ය ලෙස විස්තර කර ඇත්තේ, “මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවු” වශයෙනුයි.—එළිදරව් 17:5.
බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය පෙරදිගට පැතිරේ
14. බබිලෝනීය ආගමික විශ්වාසයන් ඉන්දීය අර්ධද්වීපය පුරා පැතිරුණේ කෙසේද?
14 අවුරුදු 3,500කට ඉහතදී, සුදු හම ඇති ආර්ය ජනතාවක් වයඹ දෙසින් දැන් පකිස්ථානය සහ ඉන්දියාවෙහි පිහිටා ඇති ඉන්දු නිම්නයට විශාල වශයෙන් සංක්‍රමණය වූ බව ඇතැම් ඉතිහාසඥයන් පවසනවා. එතැන් සිට ඔවුන් ගංගා නම් ගඟේ නිම්නවලට සහ ඉන්දියාව පුරාම ජනාවාස වුණා. සංක්‍රමණය වූ අයගේ ආගමික අදහස් පුරාණ ඉරානයේ සහ බබිලෝනියේ ඉගැන්වීම් මත පදනම් වූ බව ඇතැම් ප්‍රවීණයන් කියා සිටිනවා. ඊළඟට මෙම ආගමික අදහස් හින්දු ධර්මයේ අත්තිවාරම බවට පත් වුණා.
15. අමරණීය ආත්මය පිළිබඳ අදහස වත්මන් හින්දු ධර්මයට බලපෑම් කරන්න පටන්ගත්තේ කෙසේද?
15 ඉන්දියාවේදී අමරණීය ආත්මය පිළිබඳ අදහස පුනරුත්පත්තිය පිළිබඳ ඉගැන්වීම තුළින් ප්‍රකාශ වුණා. නපුර සහ මනුෂ්‍යයන් අතර පවතින දුක් ගාවිනා කියන සර්වලෝක ගැටලුව සමඟ පොර බදමින් සිටි හින්දු ඍෂිවරයන්, ඔබ වපුරන දේ කපාගන්නවා යන්න අඟවන කර්මය පිළිබඳ ඉගැන්වීම ප්‍රබන්ධ කළා. මෙම ඉගැන්වීම අමරණීය ආත්මය පිළිබඳ විශ්වාසය සමඟ මුසු කරමින්, ඔවුන් පුනරුත්පත්තිය නමැති ඉගැන්වීම ප්‍රබන්ධ කළා. එනම්, යමෙකුගේ ජීවිතයෙහි කුසල් සහ අකුසල් අනුව, ඊළඟ ජීවිතයෙහි විපාක හෝ දඬුවම් ලබන බවයි. බැතිමතුන්ගේ ඉලක්කය වන්නේ මෝක්ෂය, එනම් පුනරුත්පත්ති චක්‍රයෙන් මිදී බ්‍රාහ්මණයා හා එක්වීම හෝ නිවන් දැකීමයි. සියවස් ගණනාවක් ගෙවී යද්දී, හින්දු ධර්මයේ ව්‍යාප්තියත් සමඟම පුනරුත්පත්තිය පිළිබඳ ඉගැන්වීමද පැතිරුණා. දැන් මෙම ඉගැන්වීම වත්මන් හින්දු ධර්මයේ ප්‍රධාන ඉගැන්වීමක්ව පවතිනවා.
16. පෙරදිග ආසියාවේ වෙසෙන ඉමහත් ජනකායකගේ ආගමික චින්තනයට සහ වත් පිළිවෙත්වලට බලපාන්න පටන්ගත්තේ මරණින් පසු ජීවිතය පිළිබඳ කුමන විශ්වාසයද?
16 හින්දු ධර්මයෙන්, බෞද්ධ ධර්මය, ජෛන ධර්මය සහ සීක් ධර්මය වර්ධනය වුණා. මේ ධර්මයනුත් පුනරුත්පත්තිය විශ්වාස කරනවා. තවද, බෞද්ධ ධර්මය, චීනය, කොරියාව, ජපානය සහ වෙනත් ස්ථානවල එනම් පෙරදිග ආසියාවේ වැඩි ප්‍රදේශයක් පුරා පැතිරුණ විට, එය එම ප්‍රදේශ සියල්ලේම සංස්කෘතියට සහ ආගමට ගැඹුරින්ම බලපෑම් කළා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්වාසයන් සංකලනයකින් යුත් ආගම් බිහි වුණා. ඒවායේ බෞද්ධ ධර්මයේ, භූතවාදයේ සහ මුතුන්මිත්තන්ට නමස්කාර කිරීමේ අංග ඇතුළත් වුණා. මේවා අතුරින් ටාඕවාදය, කොන්ෆියුෂියානුවාදය සහ ෂින්ටෝ ධර්මය කැපීපෙනුණා. මෙයාකාරයෙන්, ශරීරය මියයෑමෙන් පසු ජීවිතය දිගටම පවතින බවට වූ විශ්වාසය ලෝකයෙහි එම ප්‍රදේශවල වෙසෙන මනුෂ්‍යවර්ගයාගෙන් බහුතරයකගේ ආගමික චින්තනයට සහ වත් පිළිවෙත්වලට බලපා තිබෙනවා.
යුදෙව්වාදය, ක්‍රිස්තියානි ලෝකයේ ආගම් සහ ඉස්ලාම් ධර්මය ගැන කුමක් කිව හැකිද?
17. මරණින් පසු ජීවිතය ගැන පුරාණ යුදෙව්වන් විශ්වාස කළේ කුමක්ද?
17 යුදෙව්වාදය, ක්‍රිස්තියානි ලෝකයේ ආගම් සහ ඉස්ලාම් ධර්මය අනුගමනය කරන ජනයා මරණින් පසු ජීවිතය ගැන විශ්වාස කරන්නේ කුමක්ද? මෙම ආගම් අතුරින් පැරණිතම එක වන්නේ යුදෙව්වාදයයි. එහි මූලාරම්භය අවුරුදු 4,000ක් ආපස්සට ආබ්‍රහම්ගේ කාලය දක්වා විහිදෙනවා. එනම් සොක්රටීස් සහ ප්ලේටෝ අමරණීය ආත්මය පිළිබඳ මතයට යම් පැහැදිලි මුහුණුවරක් දෙන්න බොහෝ කලකට කලිනුයි. පුරාණ යුදෙව්වන් විශ්වාස කළේ මනුෂ්‍යයන්ට සහජ අමරණීයත්වයක් ඇති බව නොව, නමුත් මළවුන්ට නැවත නැඟිටීමක් ඇති බවයි. (මතෙව් 22:31, 32; හෙබ්‍රෙව් 11:19) එසේ නම්, අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම යුදෙව්වාදය තුළට ප්‍රවේශ වුණේ කොහොමද? ඉතිහාසය එයට පිළිතුරු සපයයි.
18, 19. අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම යුදෙව්වාදයට ඇතුල් වුණේ කෙසේද?
18 පොදු යුගයට පෙර 332දී මහ ඇලෙක්සැන්ඩර් යෙරුසලම ඇතුළුව මැද පෙරදිග ප්‍රදේශය යටත් කරගත්තා. ග්‍රීක් සංස්කෘතිය මුසු කිරීමේ ඇලෙක්සැන්ඩර්ගේ වැඩ පිළිවෙළ ඔහුගේ අනුප්රාප්තිකයන් විසින් දිගටම ගෙන යද්දී, ග්‍රීක සහ යුදෙව් සංස්කෘතීන් දෙකේ සම්මිශ්‍රණය වීමක් සිදු වුණා. කල්යත්ම, යුදෙව්වන් ග්‍රීක් චින්තනයේ නිපුණයන් බවට පත් වූ අතර, ඇතමුන් දාර්ශනිකයන් බවටත් පත් වුණා.
19 පොදු යුගයේ පළමු සියවසේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ ෆිලෝ, ඒ අතුරින් එක් යුදෙව් දාර්ශනිකයෙක්. ඔහු ප්ලේටෝට මහත් ගෞරවයක් දැක්වූ අතර, යුදෙව්වාදය ග්‍රීක් දාර්ශනික පසුබිමක් යොදා පහදා දීමට වෑයම් කළා. මෙයාකාරයෙන්, පසුව බිහි වූ යුදෙව් චින්තකයන්ට ඔහු මඟ සලසා දුන්නා. රබ්බිවරුන් විසින් වාචික නීති පිළිබඳව ලියන ලද විවරණයක් වන තල්මුඩයද ග්‍රීක් චින්තයේ බලපෑමට යටත්. “තල්මුඩයේ රබ්බිවරුන් මරණින් පසු ආත්මයේ අඛණ්ඩ පැවැත්ම විශ්වාස කළ” බව ජුඩෙයිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසයි. කබාලා වැනි පසුකාලීන යුදෙව් ගුප්ත සාහිත්‍ය ග්‍රන්ථවල පුනරුත්පත්තිය පවා ඉගැන්වූවා. මේ අනුව, ග්‍රීක් චින්තනය නමැති වක්රාකාර ක්‍රමය තුළින්, අමරණීය ආත්මය පිළිබඳ අදහස යුදෙව්වාදය තුළට ප්‍රවේශ වුණා. මෙම ඉගැන්වීම ක්‍රිස්තියානි ලෝකය තුළට ඇතුල් වූ ආකාරය ගැන කුමක් පැවසිය හැකිද?
20, 21. (අ) ප්ලේටෝගේ හෝ ග්‍රීක් දර්ශනය සම්බන්ධයෙන් මුල් ක්‍රිස්තියානීන් දැරූ ස්ථාවරය කුමක්ද? (ආ) ප්ලේටෝගේ අදහස් සමඟ ක්‍රිස්තියානි ඉගැන්වීම් සම්මිශ්‍රණය කිරීමට මඟ පෑදුවේ කුමක්ද?
20 සැබෑ ක්‍රිස්තු ධර්මය ආරම්භ වුණේ යේසුස් ක්රිස්තුස්ගෙනුයි. සුප්‍රකට ස්පාඤ්ඤ විශාරදයෙක් යේසුස් ගැන මෙසේ ලිව්වා: “[ග්‍රීක] ප්ලේටෝගේ ක්‍රමයට අනුව අමරණීය ආත්මය විශ්වාස කරනවා වෙනුවට, ඔහු විශ්වාස කළේ යුදෙව් ක්‍රමය අනුව ඉගැන්වූ මාංසයේ නැවත-නැඟිටීමක් කෙරෙහියි.” ඔහුගේ නිගමනය: “අමරණීය ආත්මය යනු . . . ක්‍රිස්තියානි නොවන දාර්ශනික සිද්ධාන්තයකි.” මෙම කාරණා සැලකිල්ලට ගන්නා විට, “[ක්‍රිස්තුස්ට] එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද” සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට දැඩි අවවාද දීමට හේතුව අපට දැකගත හැකියි.—කොලොස්සි 2:8.
21 කෙසේවෙතත්, මෙම “ක්‍රිස්තියානි නොවන දාර්ශනික සිද්ධාන්තය” රහසින් මෙන් ක්‍රිස්තියානි ලෝකය තුළට පිවිසුණේ කෙසේද, කවදාද? නව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පැහැදිලි කරයි: “ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ මැද භාගයේ සිට, ග්‍රීක් දර්ශනය පිළිබඳ අධ්‍යාපනයක් ලැබූ ක්‍රිස්තියානීන් තම ඇදහිල්ල එම දර්ශනයේ සංකල්ප අනුව පළ කළ යුතු බව සිතන්න පටන්ගත්තා. මෙසේ කිරීමට පෙලඹුණේ ඔවුන්ගේ බුද්ධියට යම් තෘප්තියක් ලබා දීමට සහ දැන උගත් ක්‍රිස්තියානි නොවූ අයව හැරවීමටයි. ඔවුන්ට මැනවින් ගැළපුණ දර්ශනය ප්ලේටෝ වාදයයි.” ක්‍රිස්තියානි ලෝකයෙහි ධර්මයන් කෙරෙහි සෑහෙන බලපෑමක් කළ මුල් දාර්ශනිකයන් දෙදෙනෙක් නම් කරනවා නම්, ඒ තමයි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඔරිගන් සහ හිපෝහි ඔගස්ටින්. මේ දෙදෙනාම ප්ලේටෝගේ අදහස්වල බලපෑමට ප්‍රබල ලෙස හසු වූ අතර, එම අදහස් ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට මුසු කිරීමෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා.
22. ඉස්ලාම් ධර්මය තුළ අමරණීය ආත්මය නොහොත් රූහ් පිළිබඳ ඉගැන්වීම ප්රමුඛව පැවත ඇත්තේ කෙසේද?
22 යුදෙව්වාදයේ සහ ක්‍රිස්තියානි ලෝකයේ අමරණීය ආත්මයක් පිළිබඳ අදහස ප්ලේටෝගේ බලපෑම හේතුවෙන් ඇති වූවක් වුවද, එම සංකල්පය ඉස්ලාම් ධර්මයේ ආරම්භයේ පටන්ම පැවතුණා. මිනිසාට මරණින් පසු දිගටම ජීවත් වන ආත්මයක් (අරාබි, රූහ්) ඇති බව ඉස්ලාම් ධර්මයේ ශුද්ධ පොත වන කුරානය උගන්වනවා. ස්වර්ගික පාරාදීස උද්‍යානයක (ජන්නත්) ජීවිතය ලැබීම හෝ දැවෙන නරකාදියක (දෝසක්) දඬුවම් ලැබීම ආත්මයට තිබෙන අවසාන ඉරණම බව එය කියා සිටී. අරාබි පඬිවරුන් ඉස්ලාම් ඉගැන්වීම් සහ ග්‍රීක් දර්ශනය සංකලනය කිරීමට වෑයම් දරා නැති බව මින් අදහස් කරන්නේ නැහැ. ඇත්තෙන්ම, අරාබි ලෝකය ඇරිස්ටෝටල්ගේ කෘතිවලින් යම් දුරකට බලපෑම් ලැබුවා. කෙසේවෙතත්, ආත්මයේ නොහොත් රූහ්හි අමරණීයත්වය මුස්ලිම්වරුන්ගේ විශ්වාසයක්ව පවතිනවා.
23. මීළඟ ලිපියෙහි සලකා බලන්න යන්නේ මරණින් පසු ජීවිතය පිළිබඳ කුමන බලපවත්වන ප්‍රශ්නද?
23 මිනිසාට අමරණීය යමක් ඇති බවට වූ ඉගැන්වීම පදනම් කරගෙන, මරණින් පසු ජීවිතය ගැන සිත අවුල් කරවන විශ්වාසයන් රැසක් ලොව පුරා ආගම්වල වර්ධනය වී ඇති බව මේ සියල්ලෙන් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම මෙවැනි විශ්වාසයන් දශලක්ෂ ගණන් ජනතාවකට බලපාමින්, බලපවත්වමින්, සමහරවිට ඔවුන්ව වහල් කරගෙන තිබෙනවා. මේ සියල්ල හමුවේ මෙසේ ඇසීමට අපට මහත් පෙලඹීමක් ඇති වෙනවා: අප මියයන විට සිදු වන දේ පිළිබඳ සත්‍යය දැනගත හැකිද? මරණින් පසු ජීවිතයක් තිබේද? මේ ගැන බයිබලය පවසන්නේ කුමක්ද? මෙය මීළඟ ලිපියෙහි අපි සලකා බලමු.
[පාදසටහන]
a එල්-අමාර්නා යනු ආඛටාටන් යන මිසර නගරයේ නටබුන් ඇති ස්ථානයයි. එය පො.යු.පෙ. 14වන සියවසේ ගොඩනැඟූ බවට පැවසේ.
ඔබට පහදා දිය හැකිද?
◻ බොහෝ ආගම්වල, මරණින් පසු ජීවිතය පිළිබඳ විශ්වාසයන් තුළ පොදුවේ දිවයන්නේ කුමන තේමාවද?
◻ අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම ජනිත වූ ස්ථානය වශයෙන් පුරාණ බබිලෝනිය වෙත ඉතිහාසය සහ බයිබලය අපේ අවධානය යොමු කරන්නේ කෙසේද?
◻ අමරණීය ආත්මය නමැති බබිලෝනීය ඉගැන්වීමෙන් පෙරදිග ආගම් බලපෑම් ලැබ ඇත්තේ කුමන ආකාරයෙන්ද?
◻ අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම යුදෙව්වාදය, ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ධර්මය තුළට රහසින් මෙන් ඇතුල් වුණේ කෙසේද?
[12, 13වන පිටුවේ පින්තූර]
මහ ඇලෙක්සැන්ඩර්ගේ යටත් කිරීමේ ව්‍යාපාරය හේතුවෙන්, ග්‍රීක් සහ යුදෙව් සංස්කෘතීන් සම්මිශ්‍රණය වුණා
ඔගස්ටින්, ප්ලේටෝගේ දර්ශනය ක්‍රිස්තුස්ගේ ධර්මයට ඇතුල් කරන්න වෑයම් කළා
[හිමිකම් විස්තර]
ඇලෙක්සැන්ඩර්: Musei Capitolini, Roma; ඔගස්ටින්: Great Men and Famous Women යන පොතෙනි