රාෂි බලපෑමෙන් යුතු බයිබල් විචාරකයෙක්
හෙබ්‍රෙව් බසින් මුද්‍රණය කරන ලද මුල් පොත්වලින් එකක් නම් කළ හැකිද? එය පංච පුස්තකය (මෝසෙස්ගේ පළමු පොත් පහ) පිළිබඳ විචාරයකි. එය මුද්‍රණය කරන ලද්දේ වර්ෂ 1457දී ඉතාලියේ රෙජ්ජෝ කලබ්රියාහිදීයි. එහි කර්තෘ? රාෂි නම් ලත් මිනිසෙක්.
විචාරයකට මෙතරම් කීර්තියක් ලැබෙන්නේ ඇයි කියා ඔබ අසන්න පුළුවන්. රාෂි—ඔහු සහ ඔහුගේ ලෝකය (ඉංග්‍රීසියෙන්) යන පොතේ එස්රා ෂෙරසෙව්ස්කි කියා සිටියේ රාෂිගේ විචාරය, “සෑම යුදෙව් නිවෙසකම මෙන්ම අධ්‍යයන කුටියකම වාගේ මූලික පොතක් බවට පත් වුණා. යුදෙව් සාහිත්‍යයේ මොනයම් කෘතියකටවත් මෙවන් ප්රණාමයක් හිමි වී නැහැ. . . . පංච පුස්තකය පිළිබඳ රාෂිගේ විචාර ගැන ඍජුව කරන ඇගයීම් 200කටත් වඩා තිබෙනවා” කියායි.
රාෂිගේ විචාරයෙන් බලපෑම් ලබා ඇත්තේ යුදෙව්වන් පමණද? බොහෝදෙනෙක් නොදැන සිටියත්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පිළිබඳ ඔහුගේ විචාරයන් ශතවර්ෂ ගණනාවක් පුරා බයිබල් පරිවර්තකයන්ට බලපෑම් කොට තිබෙනවා. නමුත් රාෂි කියන්නේ කවුද? තවද ඔහු මෙතරම් බලපෑමක් ඇති කළේ කොහොමද?
රාෂි කියන්නේ කවුද?
රාෂි වර්ෂ 1040දී ප්‍රංශයේ ට්රවාහි ඉපදුණා.a තරුණයෙක් හැටියට, රයින්ලන්තයේ වර්ම්ස් හා මේන්ස්හි යුදෙව් ආගමික ශාස්ත්රාලවලට ඔහු ගියා. එහිදී ඔහු අධ්‍යාපනය ලැබුවේ එවකට යුරෝපයේ සිටි ප්‍රධාන පෙළේ යුදෙව් විශාරදයන්ගෙනි. ඔහුට වයස අවුරුදු 25දී, නැවත ට්රවා වෙත යෑමට අත්‍යවශ්‍ය කරවන සිදුවීම් පැනනැඟුණා. ඒ වෙද්දිත් විශිෂ්ට විශාරදයෙක් හැටියට පිළිගෙන තිබූ රාෂි, ප්‍රාදේශීය යුදෙව් ප්‍රජාවේ ආගමික නායකයා බවට පත් වූ අතර, ඔහු තමාටම ආගමික ශාස්ත්රාලයක් පිහිටුවාගත්තා. කාලයත් සමඟ, ජර්මනියේ සිටි රාෂිගේ ගුරුවරුන්ගේ ඒවාටත් වඩා මෙම යුදෙව් අධ්‍යාපන කේන්ද්‍රය බලපෑමෙන් යුතු එකක් වුණා.
එවකට ප්‍රංශයේ සිටි යුදෙව්වන් ක්‍රිස්තියානියයි කියාගත් අසල්වාසීන් සමඟ සාමකාමීව කල් ගෙව්වා. එනයින් විශාරදයෙක් වීමට තිබූ තම ආශාව පසුපස හඹා යෑම රාෂිට වඩා පහසු කළා. එහෙත් ඔහු හුදකලාවේ විසූ විශාරදයෙක් නොවෙයි. ගුරුවරයෙක් හා ශාස්ත්රාලයේ ප්‍රධානියා හැටියට නම් දරා සිටියද, රාෂි තම ජීවනෝපාය සොයාගත්තේ මුද්‍රිකපානය සෑදීමෙනි. පොදු වෘත්තීන් සම්බන්ධව තිබූ ඔහුගේ මෙම තියුණු දැනුම ඔහුව සාමාන්‍ය යුදෙව්වා හා සමඟ කිට්ටු ආශ්රයකට ගෙනාවා. මෙතුළින් ඔවුන්ගේ තත්වයන් තේරුම්ගැනීමටත්, ඒ ගැන අනුකම්පාවක් පෙන්වීමටත් ඔහුට හැකි වුණා. ට්රවා පිහිටා තිබූ ස්ථානයද රාෂිගේ මෙම ගැඹුරු ඥානයට මඟ පෑදුවා. ප්‍රධාන වෙළඳ මාර්ග ඔස්සේ පිහිටා තිබූ මෙම නගරය නානාවිධ ජාතීන් ගැවසුණු කේන්ද්‍රයක් වූ අතර, මෙමගින් විවිධ ජාතීන්ගේ හැසිරීම් රටා හා චාරිත්‍ර ගැන හොඳ අදහසක් ලබාගැනීමට ඔහුට හැකි කෙරෙව්වා.
විචාරයක් අවශ්‍ය වූයේ ඇයි?
යුදෙව්වන්ව හැඳින්වූයේ පොතටම ඇලුණු මිනිසුන් හැටියටයි. නමුත් බයිබලය යන “පොත” හෙබ්‍රෙව් භාෂාවෙන් තිබූ අතර, “මිනිසුන්” ඒ වන විට, අරාබියානු ජර්මානු, ප්‍රංශ, ස්පාඤ්ඤ හා වෙනත් භාෂාවන් රැසක් කතා කරමින් සිටියා. යුදෙව්වන් බහුතරයකට ළමා වියේ සිට හෙබ්‍රෙව් බස කියා දුන්නද ඔවුන්ට බයිබල් වදන් පැහැදිලිව තේරුම්ගියේ නැහැ. මීට අමතරව සියවස් ගණනාවක් පුරා රබ්බිවරුන්ගේ යුදෙව් ධර්මයේ පැවති දැඩි බලපෑම හේතුවෙන්, බයිබල් පාඨයේ නියම අර්ථය පරීක්ෂා කර බැලීම මිනිසුන්ව අධෛර්යයට පත් කළා. බයිබල් වචන හා පද සම්බන්ධයෙන් පැවති උපමා කතා හා පුරාවෘත්ත සුලභ වුණා. මෙවන් අදහස් හා කතාන්තරයන් කුඩා කොටස් ගණනාවක වාර්තා වී තිබූ අතර මේවා සමූහයක් වශයෙන් ගත් කල මිඩ්රාෂ් ලෙසින් හැඳින්වූවා.b
රාෂිගේ මුනුපුරා වූ, රබ්බි සැමුවෙල් බෙන් මේඊර්ද (රාෂ්බාම්) බයිබල් විශාරදයෙක් වුණා. ගීතාවලිය 37:2 පිළිබඳ ඔහුගේ විචාරයේදී ඔහු මෙසේ පැවසුවා: “[රාෂිට කලින් සිටි] පැරණි විචාරකයන් . . . තමන් වඩා වැදගත්ම අරමුණයයි සිතා සිටි, දේශනා (ඩෙරාෂොට්) පැවැත්වීමට නැඹුරුව [සිටියත්], බයිබල් පාඨයේ සැබෑ තේරුම දැනගැනීම සඳහා එය ගැඹුරින් හාරා බැලීමට පුරුදුව සිටියේ නැහැ.” මෙම නැඹුරුවාව ගැන අදහස් දක්වමින්, ආචාර්ය ඒ. කෝහන් (බයිබලයේ සොන්සීනෝ පොත්හි ප්‍රධාන කර්තෘ) [ඉංග්‍රීසියෙන්] මෙසේ ලීවා: “පෙෂාට් හෝ පාඨයේ සරල අදහසට එකඟ නොවන මොනයම් තේරුම් කර දීමක් හෝ පිළි නොගත යුතුය කියා රබ්බිවරුන් දැඩි නීතියක් පැනවූ බව ඇත්තයි; නමුත් යථාර්ථය ගත් කල, ඔවුන් මෙම නීතියට සැලකිල්ලක් දැක්වූයේ නැති තරම්.” මෙවන් ආගමික වාතාවරණයක, බයිබල් පාඨය කියවීමේදී අතරමං වී ඇති බවක් යුදෙව්වන්ට හැඟුණු අතර, යම් පැහැදිලි කිරීමේ මෙවලමක් අවශ්‍ය වූ බව ඔවුන්ට හැඟුණා.
රාෂිගේ ඉලක්කය හා ක්‍රම
රාෂිගේ ජීවිත කාලීන ඉලක්කය වූයේ හෙබ්‍රෙව් ලියවිල්ලේ පාඨය සියලුමදෙනාට තේරුම්ගැනීමට හැකි කරවීමයි. මෙය ඉටු කරගැනීම සඳහා, පාඨකයාට යම් අසීරුතාවක් ඇති කළ හැකියයි ඔහු සිතූ විශේෂ වචන හා පද සම්බන්ධයෙන් ඇති අදහස් දැක්වීම් ඔහු එකතු කරන්න පටන්ගත්තා. රාෂිගේ සටහන්වල ඔහුගේ ගුරුවරයාගේ පැහැදිලි කිරීම් දක්වා ඇත. මෙහිදී රබ්බි සාහිත්‍යයේ මුළු පරාසයම ඇතුළත් ඔහුගේ විශිෂ්ට දැනුමෙන්ද ඔහු ප්‍රයෝජන ගනියි. භාෂාමය ගවේෂණයේදී ඔහු ලබාගත හැකි සියලුම මූලාශ්‍රවලින් උකහාගත්තා. මැසරීට්වරුන් යොදාගත් විරාම ලකුණු හා ස්වර ලකුණු, පාඨය තේරුම්ගැනීමට ඉවහල් වන්නේ කෙසේදැයි යන්නට ඔහු අවධානය දුන්නා. යම් වචනයක තේරුම හොඳින් පැහැදිලි කර දීම සඳහා ඇරමයික පරිවර්තනයට (ඕන්කලාස්හි ටාර්ගම්) ඔහු බොහෝවිට යොමු දක්වයි. මීට කලින් පැහැදිලි කිරීමට යොදා නොගත් ක්‍රම මගින් සම්බන්ධකාරක පද, ක්‍රියා පද තේරුම් කර දීම හා ව්‍යාකරණය, වාක්‍ය හැසිරවීම යනාදියේ වෙනත් පැති පරීක්ෂා කිරීමේදී ඔහු නම්‍යසුලු බව හා හසළ බුද්ධියක් පිළිබිඹු කළා. හෙබ්‍රෙව් භාෂාවේ වාක්‍ය රටාව හා ව්‍යාකරණ තේරුම්ගැනීමට මෙවැනි අදහස් අගනා ලෙස දායක වුණා.
රබ්බිවරුන්ගේ යුදෙව්වාදයේ පැවති බලපවත්වන නැඹුරුවාවට වෙනස්ව, පාඨයක ඇති සරල හා සැබෑ අදහස කාවැද්දවීමට රාෂි සැමවිටම උත්සාහ කළා. නමුත් යුදෙව්වන් අතරේ ප්‍රචලිතව පවතින මිඩ්රාෂියානු සාහිත්‍යය කොහෙත්ම නොසලකා හැරිය නොහැකියි. රාෂිගේ විචාරයේ අද්විතීය අංගයක් වන්නේ, කලින් බොහෝදුරට බයිබල් පාඨවල සැබෑ අර්ථය බොහෝ අවස්ථාවනදී බොඳ කර තිබූ මිඩ්රාෂියානු ලියවිලිවලටම ඔහුගේ ලියවිලිත් සම්බන්ධ කරන ආකාරයයි.
උත්පත්ති 3:8හි තම විචාරයේදී රාෂි මෙසේ පැහැදිලි කරයි: “දැනටමත් අපේ පාණ්ඩිත්යයන් යෝග්‍ය ලෙස බෙරෙෂිට් රාබා හා වෙනත් මිඩ්රාෂියානු කාව්‍ය සංග්රහයන්හි පිළියෙළ කර ඇති ඇගඩික්c මිඩ්රාෂිම් ගණනාවක් තිබෙනවා. කොහොම වුණත්, මා සැලකිලිමත් වන්නේ පදයේ ඇති ඍජු අරුත (පෙෂාට්) මෙන්ම ශුද්ධ ලියවිල්ල අවට පාඨ සම්බන්ධය යොදාගනිමින් පැහැදිලි කරන ආගාඩොට් ගැනයි.” ඔහුගේ මතයට අනුව, පදයක අර්ථය හෝ අවට පාඨ සම්බන්ධය පැහැදිලි කිරීමට ඉවහල් වූ මිඩ්රාෂිම් පමණක් තෝරාගැනීමෙන් හෝ ඒවා වෙනස් කිරීමෙන්, පරස්පර විරෝධී බවක් හා ව්‍යාකූලත්වයක් ඇති කළ අතර, රාෂි විසින් එය වෙනස් කළා, එසේත් නැතිනම් අයින් කළා. මෙම වෙනස්කම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට, මිඩ්රාෂ් සම්බන්ධයෙන් කළ රාෂිගේ තේරීම්වලටයි යුදෙව් අනාගත පරම්පරාවන්ගෙන් වැඩි හරියක් හුරු වූයේ.
තම ගුරුවරුන්ට නොමඳව ප්‍රශංසා කළද, යම් පාඨයක් සම්බන්ධව ඇති අවබෝධයට පරස්පර විරෝධී වන ඔවුන්ගේ පැහැදිලි කිරීම් සමඟ එකඟ නොවීමට රාෂි පසුබට වූයේ නැහැ. ඔහුට යම් වාක්‍ය ඛණ්ඩයක් නොවැටහුණු විට හෝ කලින් තමා එය වැරදි ආකාරයට තේරුම් කර දුන්නායයි හැඟුණු විට, ඔහු එය පිළිගැනීමට කැමති වූවා. තවද තම ශිෂ්‍යයන් තමාගේ තේරුම්ගැනීම නිවැරදි කරගැනීමට උපකාර කළ ආකාරය පවා ඔහු එහිදී සඳහන් කළා.
තම කාලවලින් බලපෑම් ලැබ
රාෂි බොහෝදුරට තම කාලයට ඔබින අයුරින් ජීවත් වූ අයෙකි. එක් කර්තෘවරයෙක් එය මෙලෙස කැටි කොට දැක්වූවා: “යුදෙව් ජීවිතයට [රාෂිගෙන්] උරුම වූ මහත්ම දායාදය වූයේ අදාළ සියලුම වාක්‍ය ඛණ්ඩයන් එදා භාෂාවට සරිලන පරිදි තේරුම් කර දීමයි; ඒවා කොතරම් පැහැදිලි, බුද්ධිගෝචර භාෂා ශෛලියකින් යුත්, උණුසුම් හා මානුෂික දයාවෙන් යුතු, දුලභව දක්නට ලැබෙන කුසලතාවකින් හා ප්‍රවීණත්වයකින් සකස් කළාද යත්, ඔහුගේ විචාරයන්ට ශුද්ධ ලියවිලිවලට මෙන් ගෞරව කරමින් සාහිත්‍යයට මෙන් ඇලුම් කළා. හාස්‍ය රසය හා වාක්යාලංකාරයෙන් යුතුව ප්‍රංශ බස මෙන් හෙබ්‍රෙව් බස ලීවා. ඔහුට නියම හෙබ්‍රෙව් වචනය සොයාගැනීමට නොහැකි වූ විට, ඔහු ඒ වෙනුවට ප්‍රංශ වචනයක් භාවිත කරමින් එය හෙබ්‍රෙව් අකුරුවලින් උච්චාරණය කළා.” මෙයාකාරයට කළ පරිවර්තන 3,500කට අධික සංඛ්‍යාවක් පුරාණ ප්‍රංශ සාහිත්‍ය හා උච්චාරණය අධ්‍යයන කරන සිසුන්ට අගනා මූලාශ්‍රයක් වී තිබෙනවා.
සාපේක්ෂ වශයෙන් නිස්කලංකභාවයකින් යුත් කාලයකින් රාෂිගේ ජීවිතය ඇරඹුණත්, ඔහුගේ ජීවිතයේ පසු කාලයේදී යුදෙව්වන් හා ක්‍රිස්තියානීන්යයි කියාගත් අය අතරේ එන්න එන්නම වැඩි වූ ගැටුම් ඔහු අද්දුටුවා. රාෂි අධ්‍යයනය කළ රයින්ලන්තයේ යුදෙව් ප්‍රජාවන් නැති නාස්ති කළ පළමු කුරුස යුද්ධය 1096දී ආරම්භ වුණා. යුදෙව්වන් දහස් ගණනක්ව මරණයට පත් කළා. මෙම ඝාතන පිළිබඳ විත්ති, රාෂිගේ සෞඛ්‍යයට ප්‍රබල බලපෑමක් ඇති කළා (තවද 1105දී ඔහුගේ මරණය සිදු වන තෙක් ඔහු දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසු වුණා). එතැන් පටන්, ඔහුගේ ශුද්ධ ලියවිලිමය විචාරයන්ගේ සැලකිය යුතු වෙනසක් දක්නට තිබුණා. මෙයට කදිම උදාහරණයකි, යෙසායා 53වන පරිච්ඡේදය. එහි යෙහෝවාගේ දුක් විඳින සේවකයා ගැන කතා කරයි. මුලදී, තල්මුඩය කරන්නාක් මෙන් රාෂි එය අදාළ කළේ මෙසියස්ටයි. නමුත් පෙනෙන ප්‍රකාරයට, කුරුස යුද්ධවලින් පසු, අයුක්තිසහගත දුක් විඳීමක් අත්විඳි, යුදෙව් මිනිසුන්ට යම් අදාළ වීමක් තිබෙනවාය කියා ඔහු සිතුවා. මෙමගින් මෙම පාඨයන් යුදෙව්වන් අදාළ කළ ආකාරයේ සැලකිය යුතු වෙනසක් ඇති කළා.d එහෙයින්, ක්‍රිස්තියානි ලෝකයේ ක්‍රිස්තියානි නොවන හැසිරීම නිසා, යුදෙව්වන් ඇතුළු බොහෝදෙනෙකුව යේසුස් පිළිබඳ සත්‍යයෙන් වෙනතකට යොමු වුණා.—මතෙව් 7:16-20; 2 පේතෘස් 2:1, 2.
ඔහු බයිබලයට බලපෑමක් ඇති කළේ කොහොමද?
වැඩි කලක් යන්න මත්තෙන්, රාෂිගේ බලපෑම යුදෙව් ධර්මයෙන් ඔබ්බටත් විහිදී ගියා. ප්‍රංශ ෆ්රැන්සිස්කන් නිකායට අයත් බයිබල් විචාරකයෙක් වන ලයිරාහි නිකෝලා (1270-1349) කොතරම් “රබ්බි සොලමන්ගේ [රාෂි]” මතයන්ට යොමු දැක්වූවාද කිවහොත්, ඔහුට “සොලමන්ගේ ප්‍රතිරූපය” යන නම පටබැඳුණා. මෙමගින් විචාරකයන් හා පරිවර්තකයන් බොහෝදෙනෙක් ලයිරාගෙන් බලපෑම් ලැබූ අතර, ඉංග්‍රීසි කිං ජේම්ස් අනුවාදයේ පරිවර්තනයේ පුරෝගාමීන් ඇතුළු ජර්මනියේ බයිබල් පරිවර්තනය පුනරුත්ථාපනයකට ලක් කළ මාටින් ලූතර් වැනි අයද ඔහුගෙන් බලපෑම් ලැබුවා. ලූතර් කොයිතරම් පුදුමාකාර අන්දමින් ලයිරා මත රඳා සිටියාදයත්, මෙවැනි ප්‍රසිද්ධ පිරුළක් පවා පැතිරී තිබුණා: “ලූතර්ට ලයිරාගේ වීණා වාදනය නැත්නම් පදේට නටන්නත් බැහැලු.”
ක්‍රිස්තියානි සත්‍යයට එකඟව නොයන රබ්බිවරුන්ගේ මතයන්ගෙන් රාෂි මහත් සේ බලපෑම් ලැබුවා. එහෙත්, හෙබ්‍රෙව් වදන්, වාක්‍යය හැසිරවීම හා ව්‍යාකරණ යන දේවල් ගැන විශේෂ සැලකිල්ලක් දක්වමින්, පදයේ ඇති සාමාන්‍ය හා සැබෑ අරුත තේරුම්ගැනීමට දරන අඛණ්ඩ උත්සාහයකින් යුතු වූ අරුත්බර සන්සන්දනයක් බයිබල් පර්යේෂකයන්ට හා පරිවර්තකයන්ට රාෂි ඇත්තෙන්ම සපයා දෙයි.
[පාදසටහන්වල]
a “රාෂි” යන නම හෙබ්‍රෙව් සංකේත නාමයක් වන අතර, එය සෑදෙන්නේ “රබ්බි ෂ්ලෝමෝ යිට්ස්ඛාකි [රබ්බි සොලමන් බෙන් අයිසැක්]” යන වචනවල මුල් අකුරුවලිනි.
b “විමසා බැලීමට, අධ්‍යයනය කිරීමට, සෝදිසි කිරීමට” හා ඊට අමතරව “දේශනා කිරීමට” යන අරුත් දෙන හෙබ්‍රෙව් මූලයකින් “මිඩ්රාෂ්” යන වචනය පැමිණ තිබෙනවා.
c ආගඩා (බහු වචන ස්වරූපය වන්නේ ආගාඩොට්) වචනයේ පරිසමාප්තියෙන්ම ගත් කල “කතාන්තරය” යන්න අදහස් වෙයි. තවද බයිබලය ආශ්රිත චරිත පිළිබඳ ඇති කතාන්තර හෝ රබ්බිවරුන් පිළිබඳ පුරාවෘත්ත හා සම්බන්ධව පවතින රබ්බිවරුන්ගේ ලියවිලිවල ඇති නීතිමය නොවන පැත්තට ඉන් යොමු දක්වයි.
d මෙම ශුද්ධ ලියවිලිමය පාඨයේ වැඩි විස්තර දැනගැනීම සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යුද්ධයෙන් තොර ලොවක් කවදා හෝ පවතීද? (ඉංග්‍රීසියෙන්) යන විවරණිකාවේ 28වන පිටුවේ ‘මාගේ සේවකයා’—ඔහු කවුද? යන කොටුව බලන්න.
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
මූලාශ්‍රය: Per gentile concessione del Ministero dei Beni Culturali e Ambientali