මහත් ක්‍රියාකාරකම්හි දොරකඩ අභියස සිටගෙන
“කිසි තරඟයක් නැහැ. හැමදෙනාටම ඕනෙ, හැමදෙනාම සාර්ථක වෙනවා දකින්න.” ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙහි 105වන පංතියේ සිටි තම සෙසු ශිෂ්‍යයන් ගැන විස්තර කරමින්, රිචඩ් සහ ලූෂා එසේ පැවසුවා. “අපි එක් එක්කෙනා හරිම වෙනස්, ඒත් හැම ශිෂ්‍යයෙක්ම අපිට වටිනවා” කියා එකඟ වෙමින් තවත් ශිෂ්‍යයෙක් වන ලෝඑල් ඊට එකතු කළේ, “අපේ වෙනස්කම් අපි එකිනෙකා වෙතට ඇදගත්තා” කියායි.
වර්ෂ 1998 සැප්තැම්බර් 12වනදා උපාධි ලැබූ පංතිය තුළ ඇත්තෙන්ම විවිධත්වයක් තිබුණා. සමහර ශිෂ්‍යයන්, රාජ්‍ය ප්‍රචාරකයන්ගේ විශාල අවශ්‍යතාවක් ඇති ප්‍රදේශවල පුරෝගාමී සේවය කර තිබුණා. අනිත් අය තමන්ගේ රට තුළම ඇදහිලිවන්තව සේවය කර තිබුණා. මැට්ස් සහ රෝස්මරී වැනි කිහිපදෙනෙකුට, පාසැලට පැමිණීමට පෙර ඉංග්‍රීසි භාෂාවෙහි දියුණු වීම සඳහා බොහෝ සේ වෙහෙසී වැඩ කිරීමට සිදු වුණා. බොහෝ ශිෂ්‍යයන් මිෂනාරි සේවය ගැන කල්පනා කරමින් සිටියේ බාල අවදියේ සිටය. එක් යුවළක් 12 වතාවක් අයැදුම් කළා. එකසිය පස්වන පංතිය සඳහා ඇරයුම් ලැබීම ගැන ඔවුන් මොනතරම් සතුටු වුණාද!
සති 20ක දැඩි පුහුණුව, ඉතා ඉක්මනින් ඉකුත්ව ගියා. කාලය කොතරම් වේගයෙන් ගෙවී ගොස් තිබුණාද කිවහොත්, තම අන්තිම ලිඛිත අභ්‍යාස සහ වාචික වාර්තා ඉදිරිපත් කිරීමට අවස්ථාව මෙන්ම උපාධි දිනයද එළඹී තිබුණේ ඔවුන්ටත් හොරාය.
ගිලියද් පාසැලට කලින් පැමිණි තවත් 7,000කට වැඩිදෙනෙකුව අනුගමනය කරමින්, “බයිබල් අධ්‍යාපන ක්ෂේත්රයේ මහත් ක්‍රියාකාරකම්හි දොරකඩ අභියස [ඔවුන්] සිටගෙන” සිටින බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම වැඩසටහනේ සභාපති වූ ඇල්බට් ෂ්‍රෝඩ’ මතක් කර දුන්නා. ජාත්‍යන්තර සමුළු හේතුවෙන් ලෝක මූලස්ථානය බැහැදැකීමට පැමිණි දිගු කාලීන මිෂනාරිවරුන් සමඟ ඇසුරු කිරීමේ අද්විතීය ප්‍රස්තාව ග්‍රීෂ්මයේදී මෙම ශිෂ්‍යයන් භුක්ති විඳි බව ඔහු විශේෂයෙන්ම සඳහන් කළා.
ඉන්පසු, සහෝදර ෂ්‍රෝඩ’, බෙතෙල් මෙහෙයුම් කමිටුවේ සාමාජික මැක්ස් ලාසන්ව හඳුන්වා දුන් අතර, ඔහු “සදාකාල ජීවනයට මඟ පෙන්වන අධ්‍යාපනය” යන තේමාවෙන් යුත් කතාව ඉදිරිපත් කළා. “ප්‍රඥාවන්තයා ඇහුම්කන් දී උපදෙස් වැඩියෙන් ලබාගන්නේය. එමෙන්ම, නිපුණ මඟ පෙන්වීම අත් කරගන්නේ තේරුම්ගැනීමේ ශක්තිය ඇති මනුෂ්‍යයෙකු විසිනි” යනුවෙන් සඳහන් හිතෝපදේශ 1:6 [NW] සහෝදර ලාසන් උපුටා දැක්වූවා. ඵලදායී මිෂනාරිවරයෙකු වීමට නිපුණත්වය අවශ්‍යය. නිපුණ මනුෂ්‍යයන් රජුන් ඉදිරියෙහි සිටියි. (හිතෝපදේශ 22:29, NW) පස්මසක් පුරා උපදෙස් ලැබීමෙන් පසු, ශ්‍රේෂ්ඨතම රජුන් වන යෙහෝවා දෙවි සහ ක්‍රිස්තුස් යේසුස්ව නියෝජනය කරන්න ශිෂ්‍යයන් සන්නාහ සන්නද්ධව සිටියා.
මීළඟට, සේවා අංශයේ සාමාජික ඩේවිඩ් ඕල්සන් “යෙහෝවාගේ හද සතුටු කිරීමට සහය වන්න” යන විෂය මත කතාව ගොඩනැඟුවා. “දෙවිගේ හද සතුටු කිරීමට අසම්පූර්ණ මනුෂ්‍යයන්ට කළ හැක්කේ කුමක්ද?” කියා ඔහු ඇසුවා. පිළිතුර වූයේ, ඔහුට විශ්වාසවන්තව, පක්ෂපාතව සහ ප්‍රීතියෙන් සේවය කිරීමට ඔවුන්ට හැකිය යන්නයි. තම සෙනඟ තමන්ට සේවය කරද්දී සතුට භුක්ති විඳිනවා දකින්න යෙහෝවා කැමතියි. අප ප්‍රීතියෙන් දෙවිගේ කැමැත්ත කරද්දී, අප ඔහුගේ හද සතුටු කරනවා. (හිතෝපදේශ 27:11) ගිලියද්හි 104වන පංතියෙන් උපාධි ලැබූ මිෂනාරි යුවළක් එවූ ලිපියක් සහෝදර ඕල්සන් කියෙව්වා. තම අලුත් පැවරුම ඔවුන් ප්‍රීතියෙන් භුක්ති විඳිමින් සිටීද? ඔවුන්ගේ සභාව ගැන මෙසේ ලිව්වා: “අපිට ප්‍රචාරකයන් 140ක් පමණ සිටිනවා. රැස්වීම්වලට පැමිණීමේ සාමාන්‍යය 250ත් 300ත් අතර වෙනවා. හොඳම හරිය නම් ක්ෂේත්‍ර සේවයයි. අපි දෙන්නාටම බයිබල් පාඩම් හතර බැගින් තියෙනවා. සමහරු දැනටමත් රැස්වීම්වලට එනවා.”
පාලක මණ්ඩලයේ ලයිමන් ස්විංග්ල්, “නැවතී ඔබේ ආශීර්වාද ගණින්න කාලයක්” යන මැයෙන් යුත් කතාවක් ඉදිරිපත් කළා. ගිලියද් පුහුණුව බොහෝ ආශීර්වාද ගෙනැවිත් තිබේ. දැනුම වැඩි දියුණු කරගන්න, යෙහෝවාගේ සංවිධානය කෙරෙහි අගය කිරීම වැඩි කරගන්න මෙන්ම නිහතමානීකම වැනි අත්‍යවශ්‍ය ගුණාංග වගා කරගන්න එය ශිෂ්‍යයන්ට උපකාර කර තිබෙනවා. “මෙහි පැමිණ උපදෙස්වලට ඇහුම්කන් දීමට කාලය ගැනීම නිහතමානීකම වඩවන අද්දැකීමක්” යයි සහෝදර ස්විංග්ල් පැවසූ අතර, ඔහු තවදුරටත් පැවසුවේ, “යෙහෝවාව මහිමවත් කිරීමට වඩාත් සන්නද්ධව ඔබ මෙහෙන් පිට වෙනවා” කියාය.
“ඔබේ සතුට මොනතරම්ද! ඉතින් කනස්සලු වෙන්නේ ඇයි?” එය පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙක් වන ඩැනියෙල් සිඩ්ලික්ගේ කතාවක මාතෘකාව විය. ගැටලු මතු වූ විට, බයිබලයෙන් මඟ පෙන්වීම සොයන්නැයි ඔහු උදක්ම ඉල්ලා සිටියා. මතෙව් හයවන පරිච්ඡේදයෙන් තෝරාගත් පද කිහිපයක් පාවිච්චි කරමින්, එසේ කරන්නේ කෙසේදැයි සහෝදර සිඩ්ලික් පෙන්වා දුන්නා. කෑම ඇඳීම වැනි ලෞකික කාරණා ගැන කනස්සලු වීමට සලස්වන්න ඇදහිල්ලේ ඌනතාවට හැකියි. කෙසේවෙතත්, අපට අවශ්‍ය කුමක්දැයි යෙහෝවා දන්නවා. (මතෙව් 6:25, 30) කනස්සලු වීම දෛනිකව එන ගැටලු තවත් වැඩි කරනවා පමණයි. (මතෙව් 6:34) අනිත් අතට, යම් යම් දේ සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. (ලූක් 14:28, සසඳන්න.) “වැළකී සිටින්න කියද්දී යේසුස් අදහස් කළේ, අනාගතය ගැන ගැඹුරට සැලකීම අඥානයයි කියා නොව, නමුත් ඒ ගැන කනස්සලු වීම අඥානය කියායයි” සහෝදර සිඩ්ලික් පැහැදිලි කළා. “කනස්සල්ලට හොඳම පිළියමක් වන්නේ, ඊට එරෙහිව ක්‍රියාත්මක වීමයි. අප කනස්සලු වන විට, සත්‍යය ගැන කතා කරන්න පටන්ගන්න එක හොඳයි.”
උපදේශකයන්ගෙන් සමුගැනීමේ වදන්
ගිලියද් පීඨයේ සාමාජිකයන් තිදෙනාගේ කතා මීළඟට පැමිණියා. මුලින්ම, “ඔබ යෙහෝවාට ආපසු දෙන්නේ මොනවාද?” යන විෂය මත කාල් ඇඩම්ස් කතා කළා. ඔහුගේ කතාව, ඇතැම්විට යේසුස් තම මරණයට පෙරදා රැයේදී ගැයුවා විය හැකි ගීතාවලිය 116වන පරිච්ඡේදය මත පදනම් විණ. (මතෙව් 26:30, පාදසටහන, NW) “[යෙහෝවා] විසින් මට කළාවු සියලු යහපත්කම් ගැන [ඔහුට] කුමක් දෙම්ද?” යන වදන් තෙපලද්දී, යේසුස්ගේ මනස හරහා දිව ගියේ කුමක්ද? (ගීතාවලිය 116:12) යෙහෝවා තමන්ට දී තිබූ පරිපූර්ණ ශරීරය ගැන ඔහු කල්පනා කරමින් සිටියා විය හැකියි. (හෙබ්‍රෙව් 10:5) තමාගේ ප්‍රේමයේ මහත විදහාපාමින් පසු දිනයේදී, ඔහු තම ජීවිතය ඔප්පු කරන්නයි සිටියේ. ගෙවී ගිය මාස පහේදී, 105වන පංතියේ ශිෂ්‍යයන් යෙහෝවාගේ යහපත්කම රස බලා තිබුණා. දැන් ඔවුන් තම මිෂනාරි පැවරුමේ වෙහෙසී වැඩ කිරීම මගින් දෙවිට වූ ඔවුන්ගේ ප්‍රේමය පෙන්වාවි.
කතා කළ දෙවන ගිලියද් උපදේශකයා වූ මාක් නූමැ ශිෂ්‍යයන්ට දැනමුතුකම් දුන්නේ, “දිගටම හරි දේ කරන්න” කියායි. යෝසෙප්ව වහලෙක් ලෙස මිසරයට විකුණණු ලැබූ පසු, අසාධාරණ ලෙස අවුරුදු 13ක් දුක් වින්දා. තමාව නවත්වන්න ඔහු අනිත් අය කරන වැරදිවලට ඉඩහැරියාද? නැහැ. ඔහු දිගටම හරි දේ කළා. ඉන් පසු, දෙවිගේ නියමිත කාලයේදී, යෝසෙප්ව ඔහුගේ පරීක්ෂාවලින් මිදුවා. ඔහුගේ ජීවිතය හදිසියේම සිර ගෙදර සිට රජ ගෙදරට මාරු කළා. (උත්පත්ති 37-50 පරිච්ඡේද) “ඔබේ මිෂනාරි පැවරුමේදී, බලාපොරොත්තු ඉටු නූණොත්, ඔබ එය අත්හැර දමනවාද? බලාපොරොත්තු සුන් කරගන්නවාද? එහෙම නැත්නම්, යෝසෙප් වගේ විඳදරාගන්නවාද?” යයි උපදේශකයා ඔහුගේ ශිෂ්‍යයන්ගෙන් ඇසුවා.
අන්තිමට, ගිලියද් පාසැලේ රෙජිස්ට්‍රාර් ලේකම් වන වොලස් ලිවරන්ස් පංති සාමාජිකයන් සමඟ “රජු සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න” යන තේමාවෙන් යුත් උද්යෝගිමත් සාකච්ඡාවක් කළා. ගෙයින් ගෙට, සාප්පු සහ වීථි සේවයේ යෙදෙද්දී ලැබූ අද්දැකීම් සමහර ශිෂ්‍යයන් ප්‍රකාශ කළා. වෙනත් භාෂාවක් කතා කරන සෙනඟට දේශනා කළේ කොයි ආකාරයෙන්ද කියා තවත් අය පැවසුවා. විවිධ ආගමික පසුබිම් ඇති අයට දේශනා කරන්නේ කෙසේද කියා තවත් සමහරුන් පැවසුවා. මිෂනාරි ක්ෂේත්රයේ සේවය තුළ මුළුමනින්ම හවුල් වෙන්න සියලුම උපාධිධාරීන් ඕනෑකමින් සිටියා.
දිගුකාලීන මිෂනාරිවරු ප්‍රීතිමත්ව
ඊළඟ කොටසේ තේමාව වූයේ, “මිෂනාරි සේවය ගෙනෙන ප්‍රීතිමත් ප්‍රතිඵල” යන්නයි. එය ඉදිරිපත් කළේ, රොබට් වෝලන් විසිනි. අද්දැකීම් ලත් මිෂනාරිවරුන් සමඟ මෑතකදී ගොඩනඟනසුලු ඇසුරක් පැවැත්වූ මූලස්ථාන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හතරදෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඊට ඇතුළත් විය. අලුත් භාෂාවක් ඉගෙනගැනීම, වෙනත් සංස්කෘතියකට හැඩගැසීම සහ නුහුරු දේශගුණයකට හුරුවීම පහසු දෙයක් නොවූ බව ඔවුන් එකහෙළාම පිළිගත්තා. නෑදෑ හිතවතුන් මතක් වීමෙන් හටගැනෙන දුක නමැති වේදනා විඳගැනීමටත් සිදු වුණා. ඇතැම් අවස්ථාවලදී සෞඛ්‍ය ගැටලු පැනනැඟුණා. එහෙත්, එම කාලය පුරාම මිෂනාරිවරුන් ඒකාන්ත ආකල්පයක් පවත්වාගත් අතර, ඔවුන්ගේ විඳදරාගැනීම හේතුවෙන් විපාක ලැබුණා. ඔවුන්ගෙන් සමහරෙකු විසින් බොහෝදෙනෙකුට යෙහෝවා පිළිබඳ දැනුම ලබාගැනීමට උපකාර කර තිබුණා. අනිත් අය ඔවුන්ගේ රට තුළ රාජ්‍ය වැඩය වැඩි දියුණු කිරීමේ සමස්ත වැඩයට නන් අයුරින් දායක වී තිබුණා.
අන්තිමටම කතා කළේ, පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන කැරී බාබ’. “ජීවිතය සඳහා දෙවිගේ මඟ” සමුළු වැඩසටහනේ විශේෂාංග ඔහු සමාලෝචනය කළා. “යෙහෝවා සමඟ ඇති ඔබේ සම්බන්ධයට සමුළු වැඩසටහන කිනම් බලපෑමක් කළාදැයි” ඔහු සබයෙන් ඇසුවා. දෙවිගේ මඟ අනුගමනය කිරීමේ ඇති ආශීර්වාද සහ ලෝකයේ මඟ අනුගමනය කිරීමේ විනාශකාරි අවසානය අතර ඇති වෙනස ඔහු ගෙනහැර දැක්වූවා. මෙරිබාහිදී මෝසෙස්ගේ පව් කිරීම ගැන යොමු දක්වමින් ඔහු අවවාද කළේ, “කෙනෙක් බොහෝ අවුරුදු ගණනක් ඇදහිලිවන්තව සේවය කළත්, දෙවිගේ ධර්මිෂ්ඨ නීති සුළුවෙන් හෝ උල්ලංගනය කිරීම, දෙවි සුළුවට තකන්නේ නැහැ” කියායි. (ගණන් කථාව 20:2-13) සෑම තැන්හි සිටින දෙවිගේ සේවකයන් සියලුදෙනාම සේවය නමැති ඔවුන්ගේ අනගි වරප්‍රසාදය තදින් අල්ලාගෙන සිටිත්වා!
ශිෂ්‍යයන්ට තමන්ගේ ඩිප්ලෝමා සහතික ලැබීමට කාලය එළඹුණා. ඉන්පසු, පංති නියෝජිතයෙක් විසින් ශිෂ්‍යයන් ලද පුහුණුව ගැන ඇගයීමේ ලිපියක් කියවනු ලැබුවා. අවසාන ගීතිකාවෙන් සහ හෘදයාංගම යාච්ඤාවකින් පසු, උපාධි වැඩසටහන අවසන් වුණා. එහෙත්, 105වන පංතියට නම්, මෙය ආරම්භයක්ම පමණක් වුණා. මන්ද, අලුත් මිෂනාරිවරුන් “මහත් ක්‍රියාකාරකම්හි දොරකඩ අභියස සිටගෙන” සිටි බැවිනි.
[23වන පිටුවේ කොටුව]
පංතියේ දත්ත
නියෝජිත රටවල් සංඛ්‍යාව: 9
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 17
ශිෂ්‍ය සංඛ්‍යාව: 48
විවාහක යුවළයන් සංඛ්‍යාව: 24
වයස් සාමාන්‍යය: 33
සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 16
පූර්ණ කාලීන සේවයේ සිටි අවුරුදු සාමාන්‍යය: 12
[24වන පිටුවේ කොටුව]
ඔවුන් පූර්ණ කාලීන සේවය තෝරාගත්තා
“කාලෙකට ඉස්සර, පූර්ණ කාලීන සේවය කිරීම ගැන මට කිසිම අදහසක් තිබුණේ නැහැ” කියා 105වන පංතියේ උපාධිධාරියෙක් වන බෙන් පවසයි. “විශේෂ හැකියාවන් තියෙන, තත්වයන් තිතටම ගැළපෙන අයට විතරයි පුරෝගාමී සේවය කරන්න පුළුවන් කියල මම හිතුවා. ඒත්, මම ක්ෂේත්‍ර සේවයට ඇලුම් කරන්න ඉගෙනගත්තා. පුරෝගාමියෙක් කියන්නේ සේවයේ වැඩි හරියක් හවුල්වන්නෙක් විතරයි කියල මේ අතරෙදි මට වැටහුණා” කියා ඔහු තවදුරටත් කියයි. “පුරෝගාමි සේවයේ යෙදෙන්න පුළුවන් බව තේරුම්ගත්තේ එතකොටයි.”
“පූර්ණ කාලීන සේවකයන්ව අපේ ගෙදර අය කොයිවෙලේත් මහ ඉහළින් සැලකුවා” කියා ලූෂා පවසයි. ඇගේ සභාව බැහැදකින්න මිෂනාරිවරුන් පැමිණි හැම අවස්ථාවකම සභාව පුරා ගලා ගිය උද්යෝගය ගැන ඇය සිහිපත් කළා. “මම ලොකු වෙද්දී, මගේ සැලසුම් අතර, පූර්ණ කාලීන සේවයත් තිබෙන බව මම තේරුම්ගත්තා” කියා ඇය පවසනවා.
තියඩිස්ගේ අම්මා මැරෙද්දී, ඔහුට වයස අවුරුදු 15යි. “ඒ අවස්ථාවේදී, සභාවේ අය මට ගොඩක් උපකාර කළා. ‘මගේ අගය කිරීම පෙන්වන්න මම මොකද කරන්නේ’ කියල මම කල්පනා කළා” කියා ඔහු පවසයි. එය ඔහුව පූර්ණ කාලීන සේවයටත් දැන් මිෂනාරි වැඩයටත් මඟ පෙන්වූවා.
[25වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 105වන පංතිය
පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර ඇත.
(1) සැම්ප්සන්, එම්.; බ්‍රවුන්, අයි.; හෙග්ලි, ජී.; අබූයන්, ඊ.; ඩේබ්වා, එම්.; පූර්ටිඑ, පී. (2) කසම්, ජී.; ලින්බ’ග්, ආර්.; ඩපූසෝ, ඒ.; ටේලර්, සී.; ලෆෙව්ර, කේ.; වෝකර්, එස්. (3) බේකර්, එල්.; පෙලස්, එම්.; වෝගන්, ඊ.; බහ්න, සී.; අස්ප්ලන්ඩ්, ජේ.; හයිල, ජේ. (4) පූර්ටිඑ, ටී.; විටක’, ජේ.; පාම’, එල්.; නෝට්න්, එස්.; ගේරිං, එම්.; හයිල, ඩබ්. (5) වෝකර්, ජේ.; බහ්න, ඒ.; ගෲන්වෙල්ඩ්, සී.; වොෂිංටන්, එම්.; විටක’, ඩී.; අබූයන්, ජේ. (6) ගේරිං, ඩබ්.; වොෂිංටන්, කේ.; පෙලස්, එම්.; ඩේබ්වා, ආර්.; හෙග්ලි, ටී.; අස්ප්ලන්ඩ්, ඕකෙ. (7) වෝගන්, බී.; ලෆෙව්ර, ආර්.; ටේලර්, එල්.; බ්‍රවුන්, ටී.; ගෲන්වෙල්ඩ්, ආර්.; පාම’, ආර්. (8) නෝට්න්, පී.; සැම්ප්සන්, ටී.; බේකර්, සී.; ලින්බ’ග්, එම්.; කසම්, එම්.; ඩපූසෝ, එම්.