බොහෝදෙනෙක් ඇදහිල්ල කියාපායි
“යේසු නම් හරිම පුදුමාකරයි!” බ්‍රසීලයේ සිටින භක්තිමත් ස්ත්‍රියක් හැඟීම්බරව එලෙස පැවසුවා. ඇත්තෙන්ම යේසුගේ නාමයෙහි තිබෙන බලය කිසිවිටකත් අපට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතිහාසය පුරා ඔහු වෙනුවෙන් මනුෂ්‍යයන් කැමැත්තෙන්ම පීඩා විඳ තිබෙන අතර, මරණයට පවා පත්ව තිබෙනවා.
යෙරුසලමේදී, ප්‍රේරිත පේතෘස් සහ යොහන් ‘යේසුගේ නාමය සම්බන්ධයෙන්’ දේශනා කළා. එය කිරීම නිසා ඔවුන්ට සිර භාරයේ සිටීමටත් තැළුම් කන්නත් සිදු වුණා. ඒ වුණත් ඔවුන් “[ඔහුගේ] නාමය නිසා නින්දාවිඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව” ගියා.—ක්‍රියා 5:28, 41.
පළමුවන ශතවර්ෂයේ සිටි අන්තිපස් යේසුගේ නාමය උසස් කොට සැලකූ තවත් තැනැත්තෙක්. “සාතන් වාසයකරන ස්ථානයෙහිදී නුඹලා අතරෙහි මරනු ලැබූ මාගේ විශ්වාස [සාක්ෂිකාරයා]” ලෙස, බයිබලයේ අවසාන පොත වන එළිදරව් පොතේ යේසු ඔහුට යොමු දක්වනවා. (එළිදරව් 2:13) පර්ගමම්හි සිටින සෙසු ක්‍රිස්තියානීන් සමඟ අන්තිපස්ද, ක්‍රිස්තුස් කෙරෙහි තිබෙන තම ඇදහිල්ල පාවා දීම ප්‍රතික්ෂේප කළා. තම ජීවිතය පුදමින් පවා අන්තිපස් යේසුගේ නාමයට පක්ෂපාතව සිටියා!
අඩ සියවසකට පමණ පසු, පො.යු 155දී, තමා ක්රිස්තියානිවරයෙක්යයි කියාගත් පොලිකාප් නමැත්තාට යේසුට නින්දා කරන ලෙස අණ කළ විට, ඒ හා සමාන පරීක්ෂණයකට ඔහු මුහුණ දුන්නා. ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙයයි: “අවුරුදු අසූහයක් මම ඔහුට සේවය කරලා තියනවා, ඔහු මට කිසිම වරදක් කරලා නැහැ. ඉතිං මාව බේරගත්ත මගේ රජුට මම කොහොමද අවමන් කරන්නේ.” යේසුව ප්‍රතික්ෂේප නොකළ නිසා, පොලිකාප්ව කණුවක පුලුස්සනු ලැබුවා.
ප්‍රේරිතයන්, අන්තිපස් සහ වෙනත් අය ජීවිතය පූජා කරමින් පවා ක්‍රිස්තුස් සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ සාක්ෂිදැරීම ස්ථිර කරන්න සූදානමින් සිටියා. අදදින සිටින ජනයා ගැන කුමක් කිව හැකිද?
අදදින යේසුගේ නාමය
යේසුගේ නාමය බලවත් චිත්තවේගීය හැඟීම් නොකඩවා පුබුදුවාලනවා. ලතින් අමෙරිකාවේ, යේසුව විශ්වාස කරනවායයි ප්‍රසිද්ධියේ කියා සිටින්නාවූ පල්ලිවල වර්ධන අනුපාතය මෑත දශකවල එහි හිණිපෙත්තටම ළඟා වී තිබෙනවා. කුඩාම ගම්මානයක පවා පෙන්තකොස්ත පල්ලියක් තිබෙනවා. ඒත් එක්කම එවැනි පල්ලිවල තිබෙන දේශපාලන බලය වැඩි වෙමින් තිබෙනවා. උදාහරණයකට බ්‍රසීල කොන්ග්‍රසයේ සහ සෙනට් මණ්ඩලයේ ආසන 31ක්ම දරන්නේ මෙම පල්ලිවල සාමාජිකයන් විසිනුයි.
එක්සත් ජනපදයේ තිබෙන නව ආගමික සංවිධානයකද ප්‍රධාන තැන හිමි වන්නේ යේසුටයි. එහි අනුගාමිකයන් පොරොන්දු රකින්නන් ලෙස තමන්වම හඳුන්වා දෙනවා. ඔවුන්ගේ රැස්වීම්වලට පැමිණීම, 1991දී 4,200ක් වූ අතර, 1996 වන විට එය මිලියන 1.1 දක්වා වැඩි වී තිබෙන බව 1997දී ටයිම්ස් සඟරාව වාර්තා කළා. එහි ඇති එක් ගීතිකාවක මෙසේ සඳහන් වෙනවා: “මාගේ ගැළවුම්කාර යේසු තුළ ගැළවීම සදාකාලිකයි.”
කොහොම වුණත් යේසුගේ නාමය නිසා පුබුදුවා තිබෙන සියලුම හැඟීම් යහපත් ඒවා වී නැහැ. යේසුගේ නාමයෙන් නිතරම යුධ කොඩි ලෙළ දී තිබෙනවා; යුදෙව්වරුන්ව කෲර ලෙස මරා දමා තිබෙනවා; ක්‍රිස්තියානීන් නොවන්නන්ව දරුණු ලෙස ඝාතනය කර තිබෙනවා; කැරලිගසන්නන්ට බලවත් ලෙස හිංසා කර තිබෙනවා; එමෙන්ම එවැන්නන්ගේ අත්පා ආදිය කපා දමා, කණුවල පුලුස්සා තිබෙනවා. මේ සියල්ලක්ම කර තිබෙන්නේ යේසුගේ නාමයෙන්. ඉතා මෑත කාලයේ වානිජ්‍යකරණයට ලක් කර තිබෙන ක්‍රිස්තු ධර්මය අපකීර්තියට පත්ව තිබෙනවා. මේ සියල්ලක්ම, යේසුගේ නාමය සහ ඇත්තටම එයින් නියෝජනය කරන දේ හිතුවක්කාර මෙන්ම පිළිකුල්සහගත ලෙස යොදාගැනීමක්!
ඒ නිසා මීට අදාළ ප්‍රශ්න කීපයක්ම මතු වෙනවා. යේසුගේ නාමය කෙරෙහි ඇදහිල්ල තැබීමට ඇතුළත් වන්නේ මොනවාද? එමෙන්ම මේ කාරණය සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මතය කුමක්ද? ඊළඟ ලිපියෙන් මෙම ප්‍රශ්නවලට උත්තර සපයනවා.