ඔබේම ගැළවීම ඉෂ්ට කරගනිමින් සිටින්න!
‘ප්‍රේමවන්තයෙනි, භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ට කරගන්න.’—පිලිප්පි 2:12.
1, 2. තම ජීවිත කොයි අතට හැරෙයිද කියන එක තමන්ට පාලනය කළ නොහැකියි කියා බොහෝ ජනයාට හැඟෙන්න කිනම් ජනප්‍රිය සංකල්ප හේතු වී තිබේද?
“ඔබ ඉපදුණේ එලෙසද?” මෑතකදී, ජනප්‍රිය සඟරාවක පිටකවරය එම ප්රශ්නය නඟා තිබුණා. මාතෘකාවට යටින් මෙම වචන දිස් වුණා: “පෞද්ගලිකත්වය, ගතිලක්ෂණ, ජීවිතයේ ඔබේ තේරීම් පවා. නවීන අධ්‍යයන පෙන්වන්නේ, එය බොහෝදුරට ඔබේ ජාන තුළ පවතින බවයි.” එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශන හේතුවෙන්, තම ජීවිතයේ තේරීම් සඳහා තමන්ට ඇත්තේ ඉතා අල්ප පාලනයක් පමණයි කියා සිතන්න සමහරෙකුට සලස්වා තිබෙනවා විය හැකියි.
2 දෙමාපියන්ගෙන් තමන් ලද ගුණයෙන් අඩු පුහුණුව හෝ තම ගුරුවරුන්ගේ දුර්වල ඉගැන්වීම් තමන්ව යම් ආකාරයකින් අසන්තෝෂයෙන් පිරි ජීවිතයකට හෙළා දමයි කියා තවත් අය භය වෙනවා. තම දෙමාපියන්ගේ වැරදි තමනුත් කරන්න, ඔවුන්ගේ නපුරු ආවේගයන්ට අනුව ක්‍රියා කරන්න, යෙහෝවාට අවිශ්වාසවන්ත වෙන්න, කොටින්ම කියනවා නම්, නරක තේරීම් සිදු කරන්න තමන්ට නියම වී තිබෙනවා කියා සමහරුන් තැතිගැන්වී සිටිනවා. බයිබලය උගන්වන්නේ එයද? ඒ හා සමාන දෙයක්, එනම්, දෛව මූලධර්මය බයිබලයෙහි උගන්වනවායයි තරයේ කියන ධාර්මිකයන් සිටින බව ස්ථිර විය හැකියි. මෙම මූලධර්මයට අනුව, දෙවි බොහෝ කාලයකට පෙර ඔබගේ ජීවිතයේ සෑම සිදුවීමක්ම නියම කර තිබෙනවා.
3. අපේ අනාගතය පිළිබඳ වගකීම භාරගැනීමේ අපේ හැකියාව ගැන බයිබලයේ ඇත්තේ කිනම් දිරිගන්වන පණිවිඩයද?
3 මේ සෑම සංකල්පයක්ම පොදුවේ එක පණිවිඩයක් දරනවා: ඒ, ඔබේ ජීවිතය හැරෙන්නේ කොයි අතටද යන්න ගැන අල්ප තේරීමක් සහ පාලනයක් ඔබට ඇති බවයි. එය අධෛර්යය කරවන පණිවිඩයක්. එසේ නොවෙයිද? එමෙන්ම අධෛර්යයසුලුභාවය ගැටලුව තවත් වැඩි කරවනවා. හිතෝපදේශ 24:10 මෙසේ කියනවා: “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි [අධෛර්යය වන්නේ, NW] නම් නුඹේ ශක්තිය අල්පය.” කෙසේවෙතත්, බයිබලයට අනුව, ‘අපේම ගැළවීම ඉෂ්ට කරගන්න’ අපට හැකියි කියා දැනගන්න ලැබීම දිරිගන්වනසුලුයි! (පිලිප්පි 2:12) මෙම ඒකාන්ත බයිබල් ඉගැන්වීම මත අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අපට හැක්කේ කෙසේද?
අප තුළම සිදු කරගන්නාවූ ‘ගොඩනැඟීමේ’ වැඩය
4. ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලින් තැනූ ගොඩනැඟිලි ගැන 1 කොරින්ති 3:10-15 කතා කළත්, එය කුමක් නොඅඟවයිද?
4 පළමුවන කොරින්ති 3:10-15 ඇති ප්‍රේරිත පාවුල්ගේ නිදර්ශනය සලකා බලන්න. එහිදී, ඔහු ක්‍රිස්තියානි ගොඩනැඟීමේ වැඩයක් ගැන කතා කරනවා. එමෙන්ම, ඔහුගේ නිදර්ශනයේ ප්‍රතිපත්තිය, අභ්‍යන්තරව සහ බාහිරව කරන සේවයට අදාළ කළ හැකියි. ගෝලයෙක් අවසානයේදී, යෙහෝවාට සේවය කරන්න තෝරාගෙන එම තේරීම තුළ දිගටම ඉන්නවාද නැද්ද යන්නෙහි පූර්ණ වගකීම, ඔහුට උගන්වා පුහුණු කළ තැනැත්තා මත වැටෙනවා කියා ඔහු ඇඟෙව්වාද? නැහැ. ගුරුවරයා විසින් ඔහුගේ උපරිමයෙන් කළ යුතු ගොඩනැඟීමේ වැඩයේ ඇති වැදගත්කම ගැනයි පාවුල් කාවද්දමින් සිටියේ. එහෙත්, අප කලින් ලිපියෙහි ඉගෙනගත් ආකාරයට, ශිෂ්‍යයා හෝ ගෝලයාට තේරීමක් නැහැයි කියා ඔහු කියන්නේ නැහැ. පාවුල්ගේ නිදර්ශනය අවධානය යොමු කරවන්නේ අප තුළ සිදු කරන ගොඩනැඟීමකට නොව, නමුත් අප අනිත් අය තුළ කරන වැඩයකට බව ඇත්තයි. මෙසේ කියන්නේ, නොසැලකිලිමත් වැඩය විනාශ වෙද්දී, ගොඩනඟන්නා ගැළවෙනවා කියා පාවුල් කිවූ නිසායි. කෙසේවෙතත්, අප තුළම සිදු කරන වැඩයට, ඇතැම් අවස්ථාවල බයිබලය එම වාක්යාලංකාරයම පාවිච්චි කරනවා.
5. ක්‍රිස්තියානීන් තමන් තුළම ‘ගොඩනැඟීමේ’ වැඩක් කළ යුතු බව කිනම් ශුද්ධ ලියවිලි පද පෙන්වයිද?
5 උදාහරණයක් හැටියට, යූද් 20, 21 සලකන්න: “නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමින්, [ශුද්ධාත්මය] තුළ සිට යාච්ඤාකරමින්, . . . [දෙවිගේ] ප්‍රේමයෙහි පවතින්න.” පළමුවන කොරින්ති තුන්වන පරිච්ඡේදයේ ‘ගොඩනැඟීම’ සඳහා පාවුල් පාවිච්චි කර ඇති ග්‍රීක් වචනයම යූද් මෙහිදී පාවිච්චි කළත්, අපේ ඇදහිල්ලේ පදනම මත අපවම ගොඩනඟාගැනීමට යොමු දක්වන බව පෙනෙන්න තිබෙනවා. පර්වතයක් මත තම නිවස සෑදූ මිනිසා පිළිබඳ යේසුස්ගේ නිදර්ශනය ලූක් වාර්තා කරමින්, පාවුල් ක්‍රිස්තියානි ගොඩනැඟිල්ල පිළිබඳ නිදර්ශනයේදී “අත්තිවාරම” සඳහා පාවිච්චි කළ ග්‍රීක් වචනයම පාවිච්චි කරනවා. (ලූක් 6:48, 49) තවදුරටත්, පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට ආත්මික ප්‍රගතියක් ලැබීම සඳහා අනුශාසනා කරද්දී, ‘අත්තිවාරමක්’ පිහිටුවීම ගැන සංකේතාත්මක භාෂාවක් පාවිච්චි කරනවා. ඔව්, අප අප තුළම ‘ගොඩනැඟීමේ’ වැඩක් කරන බව දෙවිගේ වචනය අපට උගන්වනවා.—එපීස 3:15-19; කොලොස්සි 1:23; 2:7.
6. (අ) එක් එක් ක්‍රිස්තියානි ගෝලයා, හවුල් ගොඩනැඟිලි ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වන්නේ කෙසේද කියා නිදර්ශනය කරන්න. (ආ) එක් එක් ගෝලයාට ඇත්තේ කිනම් වගකීමද?
6 ක්‍රිස්තියානියෙකුව ගොඩනැඟීම තනි පුද්ගලයෙකුගේ වැඩක්ද? හිතන්න, ඔබ ගෙයක් හදන්න තීරණය කළා කියා. ඔබ සැලැස්ම සකස් කිරීමට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙතට යනවා. වැඩි වැඩ කොටසක් කිරීමට ඔබ කැමති වුණත්, ඔබ කොන්ත්‍රාත්කරුවෙක් සමඟ වැඩ කරන අතර, හොඳම ක්‍රම සම්බන්ධයෙන් ඔහුගේ උපදෙස් ගන්නවා. ඔහු ශක්තිමත් අත්තිවාරමක් දමා, සැලැස්ම තේරුම්ගන්න ඔබට උපකාර කර, මිල දී ගැනීම සඳහා හොඳම ද්‍රව්‍ය යෝජනා කර, ගොඩනැඟීම සම්බන්ධයෙන් බොහෝ දේ පවා ඔබට උගන්වනවා නම්, ඔහු හොඳ වැඩක් කර තිබෙන බව ඔබ පිළිගන්නවා. එහෙත්, ඔබ ඔහුගේ උපදේශය නොසලකා හැර, ලාභ හෝ බාල වර්ගයේ ද්‍රව්‍ය මිල දී ගෙන, ගෘහ නිර්මාණ ශිල්පියාගේ සැලසුම්වලින් පිට පනිනවා නම්, තත්වය කුමක්ද? නිවස කඩා වැටුණොත්, පැහැදිලිවම කොන්ත්රාත්කරුවාටවත්, ගෘහ නිර්මාණ ශිල්පියාටවත් දොස් කියන්න ඔබට හැකියාවක් නැහැ! ඊට සමානව, සෑම ක්‍රිස්තියානි ගෝලයෙක්ම, හවුල් ගොඩනැඟීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්. යෙහෝවා තමයි, ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා. ඔහු ශිෂ්‍යයෙකුට උගන්වා ගොඩනැඟීමට ‘දෙවිගේ හවුල් වැඩකරන්නෙක්’ වන ඇදහිලිවන්ත ක්‍රිස්තියානිවරයාට සහය වෙනවා. (1 කොරින්ති 3:9) එසේ නමුත්, ශිෂ්‍යයාත් ඊට ඇතුළත්. අන්තිමේදී, තමාගේ ජීවිත මාර්ගය සම්බන්ධයෙන් ඔහු වගකියන්න අවශ්‍යයි. (රෝම 14:12) ඔහුට යහපත් ක්‍රිස්තියානි ගුණාංග අවශ්‍ය නම්, ඒවා අත් කරගන්නත්, ඔහු තුළ ඒවා ගොඩනඟාගන්නත් මහන්සි වී වැඩ කළ යුතුයි.—2 පේතෘස් 1:5-8.
7. සමහර ක්‍රිස්තියානීන් මුහුණ දෙන්නේ කිනම් අභියෝගද? එමෙන්ම, කුමක් ඔවුන්ට සැනසිල්ල ලබා දේද?
7 එසේනම්, ප්රවේණි, වටා පිටාව සහ ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය අර්ථ ශුන්‍යයි කියා මෙයින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ. මේ සෑම එකක්ම වැදගත් සහ බලපෑම් කළ හැකි ඒවා බව දෙවිගේ වචනය පිළිගන්නවා. බොහෝ පව්කාර, නිෂේධාත්මක නැඹුරුවාවන් අප උරුම කරගෙන ඇති අතර, සටන් කිරීම ඉතාම දුෂ්කරයි. (ගීතාවලිය 51:5; රෝම 5:12; 7:21-23) දෙමාපිය පුහුණුව සහ නිවසේ වාතාවරණය, හොඳට හෝ නරකට, යෞවනයන් මත අතිප්රබල බලපෑමක් ඇති කරන්න ඉඩ තිබෙනවා. (හිතෝපදේශ 22:6; කොලොස්සි 3:21) ඔවුන්ගේ ඉගැන්වීම් අන් අය මත එල්ල කළ නරක බලපෑම් නිසා යේසුස් යුදෙව් ආගමික නායකයන්ව හෙළා දැක්කා. (මතෙව් 23:13, 15) අදදිනත්, එවැනි කාරණා අප සියලුදෙනාටම බලපාමින් තිබෙනවා. උදාහරණයක් හැටියට, දෙවිගේ ජනයාගෙන් සමහරෙක් ළමා කාලයේදී අද්දුටු දුෂ්කරතාවල ප්‍රතිඵලයක් හැටියට අභියෝගවලට මුහුණ දෙනවා. මේ අයට අපගේ කරුණාවන්තභාවය සහ සංවේදනය අවශ්‍ය කරනවා. තම දෙමාපියන්ගේ වැරදි තමන් විසින් කිරීම හෝ අවිශ්වාසවන්ත වීම නියම කළ දෙයක් නෙවෙයි යන බයිබල් පණිවිඩයෙන් ඔවුන්ට සැනසිල්ල ලබන්න හැකියි. පුරාණ යූදාහි සිටි සමහර රජවරු මෙම කාරණය නිදර්ශනය කරන්නේ කෙසේද කියා සලකා බලන්න.
යූදාහි රජවරු—ඔවුන් ඔවුන්ගේම තේරීම් කළා
8. යෝතාම්ගේ පියා පෙන්වූයේ කිනම් දුර්වල ආදර්ශයක්ද? එහෙත්, ඔහුගේ තේරීම කුමක්ද?
8 අවුරුදු 16 තරම් ළාබාල වයසේදී උස්සියා යූදාහි රජ බවට පත් වී අවුරුදු 52ක් රජකම් කළා. මෙම කාලය පුරාම වගේ, “ඔහු තමාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස [යෙහෝවාගේ] ඇස් හමුයෙහි හරිව තිබුණු දේ කෙළේය.” (2 රාජාවලිය 15:3) විස්මිත හමුදාමය ජයග්‍රහණ රැසකින් යෙහෝවා ඔහුට ආශීර්වාද කළා. කෙසේවෙතත්, කනගාටුදායක ලෙස, සාර්ථකත්වයෙන් උස්සියාගේ හිස ඉදිමුණා. ඔහු උඩඟු වී, පූජකයන්ට වෙන් කර තිබූ රාජකාරියක් වන පූජාසනය මත සුවඳ දුම් ඔප්පු කිරීමෙන් යෙහෝවාට විරුද්ධව කැරලි ගැසුවා. උස්සියාට තරවටු කළත්, ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෝපයෙන්. ඉන්පසු, ඔහු ලාදුරු රෝගයෙන් පහර කා, මැරෙන තුරු හුදකලාවේ සිටීමට සිදුවීම මගින් ඔහුව ලජ්ජාවට පත් කළා. (2 ලේකම් 26:16-23) මේ සියලුම දේ සම්බන්ධයෙන් ඔහුගේ පුත් යෝතාම් ක්‍රියා කළේ කෙසේද? මෙම තරුණ මිනිසා, පහසුවෙන්ම ඔහුගේ පියාගේ බලපෑමට යටත් වෙන්නත් යෙහෝවාගේ නිවැරදි කිරීම ගැන විරසක වෙන්නත් ඉඩ තිබුණා. පොදු ජනයා වැරදි ආගමික සිරිත් විරිත් පැවැත්වූ නිසා ඔවුන් නිෂේධාත්මක බලපෑමක් වෙන්න ඉඩ තිබුණා. (2 රාජාවලිය 15:4) එහෙත්, යෝතාම් ඔහුගේම තේරීම සිදු කළා. “ඔහු [යෙහෝවාගේ] ඇස් හමුයෙහි හරිව තිබුණු දේ [කළා].”—2 ලේකම් 27:2.
9. ආහාස්ට තිබුණාවූ හොඳ බලපෑම් සමහරක් මොනවාද? එහෙත්, ඔහුගේ ජීවිතය හැරුණේ කොයි අතටද?
9 සෑමවිටම යෙහෝවාට ඇදහිලිවන්තව සිටිමින්, යෝතාම් අවුරුදු 16ක් පාලනය කළා. මේ හේතුවෙන්, ඔහුගේ පුත් ආහාස්ට තම ඇදහිලිවන්ත පියාගේ විශිෂ්ට ආදර්ශය තිබුණා. එමෙන්ම, ආහාස්ට වෙනත් යහපත් බලපෑම්ද තිබුණා. ඇදහිලිවන්ත අනාගතවක්තෲන් වූ යෙසායා, හොෂෙයා සහ මීකා දේශය තුළ ක්‍රියාශීලීව අනාවැකි ප්‍රකාශ කරන කාලයේදී ජීවත් වීමට ඔහු ආශීර්වාද ලැබුවා. එහෙත්, ඔහු නරක තේරීමක් කළා. ‘ඔහු තමාගේ පිය වූ දාවිත් කළාක් මෙන් යෙහෝවාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළේ නැහැ.’ ඔහු බාල් දේවතා පිළිම සාදා, ඒවාට වැඳ නමස්කාර කරමින්, මිථ්‍යා දෙවිවරුන් ඉදිරියේ ඔහුගේ සමහර පුතුන්ව පවා ගින්නෙන් පූජා කළා. මෙපමණ හොඳ බලපෑම් තිබෙද්දීත්, රජෙක් හැටියටත්, යෙහෝවාගේ සේවකයෙක් හැටියටත්, ඔහු ඛේදනීය ලෙස අසමත් වුණා.—2 ලේකම් 28:1-4.
10. ආහාස් මොන වගේ පියෙක්ද? එහෙත්, ඔහුගේ පුත් හෙසකියා කළ තේරීම කුමක්ද?
10 නිර්මල නමස්කාරයේ දෘෂ්ටියෙන් බලද්දී, ආහාස් තරම් නරක පියෙක් ගැන සිතාගැනීම දුෂ්කරයි. කෙසේවෙතත්, තම පියා කව්ද කියා තේරීමක් කරන්න ඔහුට හැකියාවක් තිබුණේ නැහැ! බාල් පූජා සඳහා ආහාස් මරා දැමූ තම බාල පුතුන්, පෙනෙන විදිහට හෙසකියාගේම සහෝදරයන් විය හැකියි. මෙම දරුණු පසුබිම, යෙහෝවාට නොඇදහිලිකාර ජීවිතයක් ගත කිරීමට හෙසකියාට නියම කෙරෙව්වාද? ඊට පටහැනිව, හෙසකියා යූදාහි සිටි සැබවින්ම ශ්‍රේෂ්ඨ රජවරුන් කිහිපදෙනාගෙන් කෙනෙක් වුණා. එනම් ඇදහිලිවන්ත, ඥානවන්ත සහ ප්‍රේමනීය මිනිසෙක් වුණා. ‘යෙහෝවා ඔහු හා සමඟ සිටියේය.’ (2 රාජාවලිය 18:3-7) ඒ වන විටත්, තරුණ කුමරුවෙක්ව සිටි හෙසකියා, ගීතාවලියේ 119වන ගීතිකාවේ ආනුභාවය ලත් ලේඛකයා බව විශ්වාස කරන්න හේතු තිබෙනවා. එහෙමනම්, ඔහු මෙම වචන ලිව්වේ ඇයි කියා සිතාගන්න අමාරු නැහැ: “ශෝකය නිසා මාගේ ආත්මය දියවේ [මට නින්දක් නැත, NW].” (ගීතාවලිය 119:28) හෙසකියා මෙතරම් දුඃඛිත ගැටලු මධ්‍යයෙහිත් තම ජීවිතයෙහි මඟ පෙන්වීම සඳහා යෙහෝවාගේ වචනයට ඉඩහැරියා. ගීතාවලිය 119:105 මෙසේ කියනවා: “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.” ඔව්, හෙසකියා තම තේරීම කළා. එනම් නිවැරදි තේරීම.
11. (අ) පියාගේ හොඳ බලපෑම තිබියදීත්, යෙහෝවාට විරුද්ධව මනස්සේගේ කැරලිකාරකම කොතරම් බරපතළ වුණාද? (ආ) ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී, මනස්සේ කළ තේරීම කුමක්ද? එමෙන්ම, අප මෙයින් ඉගෙනගන්නේ කුමක්ද?
11 කෙසේවෙතත්, පරස්පර විරෝධී යමක් සේ පෙනුණත්, යූදාහි සිටි හොඳම රජෙකුගෙන්, නරකම කෙනෙක් බිහි වුණා. හෙසකියාගේ පුත් මනස්සේ, පෙර නොවූ විරූ ආකාරයෙන් පිළිම නමස්කාරයට, භූතවාදයට සහ මහත් පරිමාණයෙන් සැහැසියාවට අනුබල දුන්නා. පෙනෙන විදිහට, අනාගතවක්තෘවරු මාර්ගයෙන්, “[යෙහෝවා] මනස්සේටත් ඔහුගේ සෙනඟටත් කථාකළ” බව වාර්තාව කියනවා. (2 ලේකම් 33:10) යුදෙව් සම්ප්‍රදායට අනුව, මනස්සේ යෙසායාව කියතෙන් ඉරා, මරා දැමීමෙන් ප්‍රතිචාරය දැක්වූවා. (හෙබ්‍රෙව් 11:37 සසඳන්න.) එය සැබෑවක් වෙතත් නැතත්, කිසිම දිව්‍ය අනතුරු ඇඟවීමකට ඇහුම්කන් දෙන්න මනස්සේ සමත් වුණේ නැහැ. ඇත්තෙන්ම, ඔහුගේ සීයා වූ ආහාස් කළා වගේ, ඔහුත් ඔහුගේ පුතුන් සමහරෙකුව අමු අමුවේ ගින්නෙන් දවා පූජා කළා. එහෙත්, මෙම දුෂ්ට මිනිසා, ඔහුගේ ජීවිතයේ පසු කාලයේදී, දරුණු පරීක්ෂා හමුවේ, පසුතැවිලි වී ඔහුගේ මාර්ගය වෙනස් කරගත්තා. (2 ලේකම් 33:1-6, 11-20) පුද්ගලයෙක් දරුණු තේරීමක් කළත් ඔහුට ගැළවීමක් ළඟා කරගත හැකි බව ඔහුගේ ආදර්ශය අපට උගන්වනවා. ඔහුට වෙනස් විය හැකියි.
12. යෙහෝවාට කළ සේවය සම්බන්ධයෙන්, ආමොන් සහ යොෂියා සිදු කළේ කිනම් ප්‍රතිවිරුද්ධ තේරීම් දෙකක්ද?
12 මනස්සේගේ පුත් ආමොන්ට, තම පියාගේ පසුතැවිල්ලෙන් බොහෝ දේ ඉගෙනගන්න තිබුණා. එහෙත්, ඔහු වැරදි තේරීම් කළා. ඇත්තෙන්ම, ආමොන්, අවසානයේදී ඔහුව මරා දමන තුරු, ‘වඩ වඩා අපරාධ කළා.’ ඔහුගේ පුත් යොෂියා සැනසුම්දායක ලෙස සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වුණා. පෙනෙන විදිහට, ඔහුගේ සීයාට සිදු වූ දෙයින් පාඩමක් ඉගෙනගන්න තෝරාගත්තා. වයස අවුරුදු අටක් වූ සැණින්ම ඔහු රජකම් කරන්න පටන්ගත්තා. ඔහුට වයස අවුරුදු 16ක් වුණා විතරයි, ඔහු යෙහෝවාව සොයන්න පටන්ගත් අතර, එතැන් සිට ආදර්ශවත් සහ ඇදහිලිවන්ත රජෙක් ලෙස ක්‍රියා කරන්න පටන්ගත්තා. (2 ලේකම් 33:20–34:5) ඔහු තේරීමක් කළා. එනම් නිවැරදි තේරීම.
13. (අ) අප සලකා බැලූ යූදාහි රජවරුන්ගෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? (ආ) දෙමාපිය පුහුණුව කොපමණ වැදගත්ද?
13 යූදාහි රජවරුන් හත්දෙනා ගැන කළ මෙම කෙටි අධ්‍යයනය, ඉතා ප්‍රබල පාඩමක් උගන්වනවා. ඇතැම් අවස්ථාවල, නරකම රජවරුන්ට හොඳම පුතුන් සිටියා. අනිත් අතට, හොඳම රජවරුන්ට නරකම පුතුන් සිටියා. (දේශනාකාරයා 2:18-21 සසඳන්න.) මේ හේතුවෙන් දෙමාපිය පුහුණුවේ වැදගත්කම බාල කරන්න යන්නේ නැහැ. යෙහෝවාගේ මාර්ගවලට අනුව තම දරුවන්ව පුහුණු කරන දෙමාපියන්, නිසැකවම ඔවුන්ට යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් වීම සඳහා දිය හැකි හොඳම ප්‍රස්තාව ලබා දෙනවා. (ද්විතීය කථාව 6:6, 7) එහෙත්, සමහර දරුවන්, ඇදහිලිවන්ත දෙමාපියන්ගේ හොඳම ප්රයත්නයන් මධ්‍යයෙහි, වැරදි මාර්ගයේ යන්න තෝරාගන්නවා. වෙනත් දරුවන්, දෙමාපියන්ගේ නරකම බලපෑම් යටතේ, යෙහෝවාට ප්‍රේම කරන්නත් සේවය කරන්නත් තෝරාගන්නවා. ඔහුගේ ආශීර්වාද මධ්‍යයෙහි, ඔවුන් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා. ඔබ වැටෙන්නේ කිනම් පැත්තටද කියා ඔබ කල්පනා කරනවාද? එසේනම්, නිවැරදි තේරීම කිරීමට ඔබට හැකි බවට, යෙහෝවා කර ඇති පෞද්ගලික සහතිකයන් සමහරක් සලකා බලන්න.
යෙහෝවා ඔබව විශ්වාස කරනවා!
14. යෙහෝවා අපේ සීමාවන් තේරුම්ගන්නා බව අප දන්නේ කොහොමද?
14 යෙහෝවා සෑම දෙයක්ම දකිනවා. හිතෝපදේශ 15:3 මෙසේ කියනවා: “[යෙහෝවාගේ] ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.” දාවිත් රජ යෙහෝවා ගැන මෙසේ කිව්වා: “ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය, ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය.” (ගීතාවලිය 139:16) ඉතින් ඔබ පොරබදින නිෂේධාත්මක නැඹුරුවාවන්, එනම් ඔබ විසින් උරුම කරගෙන තිබෙන ඒවාද, නැත්නම් ඔබට සිතාගත නොහැකි බලපෑම් නිසා ප්‍රතිඵල වූ ඒවාද කියා යෙහෝවා දන්නවා. මේ දේවල් හරියටම ඔබට බලපා ඇති ආකාරය ඔහුට තේරෙනවා. ඔබගේ සීමාවන් ඔබට වඩා හොඳින් ඔහුට තේරෙනවා. එමෙන්ම ඔහු දයාන්විතයි. අපට සාධාරණ ලෙස කළ හැකි ප්‍රමාණයට වඩා ඔහු අපෙන් කිසිමදාක බලාපොරොත්තු වෙන්නේ නැහැ.—ගීතාවලිය 103:13, 14.
15. (අ) අනිත් අය විසින් හිතාමතා වේදනාවට පත් කළ අයට ඇති එක් සැනසීමේ උල්පතක් වන්නේ කුමක්ද? (ආ) කිනම් වගකීමක් දීමෙන් යෙහෝවා අපව ගෞරවයට පත් කරනවාද?
15 අනිත් අතට, විවිධ තත්වයන්වලට ගොදුරු වූ අසරණයන් හැටියට යෙහෝවා අපව සලකන්නේ නැහැ. අපට අතීත නරක අද්දැකීම් තිබුණා නම්, හිතාමතාම වේදනා ගෙන දෙන හැසිරීම යෙහෝවා ද්වේෂ කරන බවට නිසැක සැනසීම අපට සොයාගන්න පුළුවන්. (ගීතාවලිය 11:5; රෝම 12:19) නමුත්, අපි දැන දැන, මාර්ගයෙන් හැරී වැරදි තේරීම් කළොත්, ඒවායේ ප්රතිවිපාකවලින් යෙහෝවා අපව නිදහස් කරයිද? ඇත්තෙන්ම නැහැ. ඔහුගේ වචනය කියන්නේ මෙසේයි: “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.” (ගලාති 6:5) හරි දේ කිරීමට සහ ඔහුට සේවය කිරීමට වගකීම දීමෙන් යෙහෝවා ඔහුගේ සෑම බුද්ධිමත් මැවිල්ලක්ම ගෞරවයට පත් කරනවා. එය හරියට ඉශ්රායෙල් ජාතියට මෝසෙස් කිවූ දේ වගෙයි: “මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය [තෝරාගන්න.]” (ද්විතීය කථාව 30:19) අපටත් නිවැරදි තේරීම කළ හැකි බව යෙහෝවාට නිසැකයි. අපි එය දන්නේ කෙසේද?
16. ‘අපේම ගැළවීම ඉෂ්ට කරගැනීමේ’ සාර්ථක වීමට අපට හැක්කේ කෙසේද?
16 ප්‍රේරිත පාවුල් ලිවූ දෙය සලකා බලන්න: “එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, . . . භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න; මක්නිසාද [තමන්ගේ] යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩ කරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ [දෙවිමය].” (පිලිප්පි 2:12, 13) “ඉෂ්ටකරගන්න” සඳහා භාවිතා වෙන මුල් ග්‍රීක් වචනයෙන් අඟවන්නේ, යමක් සම්පූර්ණත්වය කරා ගෙන ඒමයි. එමනිසා, අප කිසි කෙනෙකුව අසමත් වීමටවත් අත්හැරීමටවත් නියම කරවා නැහැ. අපට දී ඇති වැඩය, එනම්, අපේ ගැළවීම සඳහා මඟ පෙන්වන වැඩය සම්පූර්ණ කරන්න අපට හැකියි කියා යෙහෝවා දෙවිට නිසැකභාවයක් තිබිය යුතුයි. එසේ නොවුණා නම්, ඔහු එවැනි කියමනකට ආනුභාවය නොදී ඉන්න තිබුණා. එහෙත්, අප සාර්ථක වන්නේ කෙසේද? අපේම ශක්තියෙන් නොවෙයි. අපේ ශක්තිය ප්‍රමාණවත් වුණා නම්, “භයෙනුත් වෙවුලුමෙනුත්” සිටින්න අවශ්‍යතාවක් නැහැ. ඒ වෙනුවට, යෙහෝවා ‘අප තුළ ක්‍රියා කරමින්,’ ඔහුගේ ශුද්ධාත්මය අපගේ මනසෙහි සහ හෘදය තුළ ක්‍රියාත්මක කරමින්, “කැමතිවෙන්ටත් වැඩ කරන්ටත්” අපට උපකාර කරනවා. එම ප්‍රේමනීය උපකාර තිබෙද්දී, නිවැරදි තේරීම් නොකරන්නත්, ඒවාට එකඟව ජීවත් නොවෙන්නත් කිසිම හේතුවක් තිබෙනවාද? නැහැ!—ලූක් 11:13.
17. අපේ ජීවිතවල කිනම් වෙනස්කම් කරගත හැකිද? එමෙන්ම, එසේ කිරීමට යෙහෝවා අපට උපකාර කරන්නේ කෙසේද?
17 පරාජය කිරීමට බාධා අපට තිබෙන්න යනවා. ඒ සමහරවිට ජීවිත කාලයක් පුරා තිබූ අපේ සිතුවිලි ව්‍යාකූල කරන පුරුදු සහ හානිකර බලපෑම් විය හැකියි. කෙසේවෙතත්, යෙහෝවාගේ ආත්මයේ උපකාරය ඇතුව, මේවා පරාජය කිරීමට අපට හැකියි! කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් ලියූ ආකාරයට, දෙවිගේ වචනය “[ශක්තිමත්, NW] බලකොටු” බිඳ හෙළීමට තරම් බලවත්. (2 කොරින්ති 10:4) ඇත්තෙන්ම, අප තුළ මහත් වෙනස්කම් සිදු කිරීමට උපකාර කරන්න යෙහෝවාට හැකියි. “පරණ මනුෂ්‍යයා පහකරදමා, . . . සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [පක්ෂපාතකමින්ද, NW] [දෙවිට] සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙස” ඔහුගේ වචනය අපට උනන්දු කරනවා. (එපීස 4:22-24) එවැනි වෙනස්කම් කිරීමට උපකාර කරන්න යෙහෝවාගේ ආත්මයට ඇත්තෙන්ම හැකිද? නිසැකවම! දෙවිගේ ආත්මය අප තුළ ඵල නිපදවනවා. ඒවා අප සියලුදෙනාම වගා කරන්න කැමති ලස්සන, අනර්ඝ ගුණාංගයි. මෙයින් මුල් එක නම් ප්‍රේමයයි.—ගලාති 5:22, 23.
18. සිහි බුද්ධියෙන් යුත් සියලුදෙනාටම කිරීමට හැකිව තිබෙන පූර්ණ තේරීම කුමක්ද? එමෙන්ම, මෙය අපට උපකාර කළ යුත්තේ කුමක් කිරීමට අධිෂ්ඨාන කිරීම සඳහාද?
18 නිදහස් කරවන මහත් සත්‍යතාවක් ගැබ්ව තිබෙන්නේ මෙතැනයි. ප්‍රේම කිරීම සඳහා අසීමිත හැකියාවක් ඇති යෙහෝවා අපව මවා තිබෙන්නේ ඔහුගේ ස්වරූපයෙන්. (උත්පත්ති 1:26; 1 යොහන් 4:8) ඉතින්, යෙහෝවාට ප්‍රේම කරන්න තෝරාගැනීමට අපට හැකියි. එමෙන්ම, අපේ අනාගතය සඳහා එකම යතුර වන්නේ, එම ප්‍රේමය මිස, මීට පෙර ගෙවූ ජීවිත ක්‍රමයවත්, අප ඇති කරගත් දෝෂසහගත තත්වයන්වත්, වැරදි කිරීමට අප උරුම කරගත් නැඹුරුවාවවත් නොවෙයි. ඒදන් උයනෙහි ඇදහිලිවන්තව සිටීම සඳහා ආදම් සහ ඒවට අවශ්‍ය කළේ, යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයයි. අර්මගෙදොනයෙන් ගැළවීම සඳහාත්, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය අග ඇති අවසාන පරීක්ෂණයෙන් සමත් වීම සඳහාත් අප එක් එක්කෙනාට අවශ්‍ය කරන්නෙත් එවැනි ප්‍රේමයක්. (එළිදරව් 7:14; 20:5, 7-10) අප එක් එක්කෙනාට, අපේ තත්වයන් කුමනාකාර වුණත්, එවැනි ප්‍රේමයක් වගා කරගත හැකියි. (මතෙව් 22:37; 1 කොරින්ති 13:13) යෙහෝවාට ප්‍රේම කරන්නත්, එම ප්‍රේමය මත සදාකාලයෙන් සදාකාලයට ගොඩනැඟෙන්නත් අපි අධිෂ්ඨාන කරගනිමු.
ඔබ හිතන්නේ මොකක්ද?
◻ පෞද්ගලික වගකීම පිළිබඳව බයිබලයේ ඇති ඒකාන්ත ඉගැන්වීම්වලට පරස්පර විරෝධීව යන්නේ කිනම් ජනප්‍රිය සංකල්පද?
◻ සෑම ක්‍රිස්තියානියෙක්ම තමන් තුළ සිදු කළ යුත්තේ කිනම් ගොඩනැඟීමේ වැඩයක්ද?
◻ සෑම පුද්ගලයෙක්ම තමන්ගේම තේරීම කරන බව යූදාහි රජවරුන්ගේ ආදර්ශයෙන් නිරූපණය කරන්නේ කෙසේද?
◻ අප අවට ඇති නිෂේධාත්මක බලපෑම් අභිභවා, ජීවිතයේ නිවැරදි තේරීම කරන්න අපට හැකි බවට යෙහෝවා සහතික කරන්නේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
ඔබේ අනාගතය ප්රවේණි මගින් තීරණය වෙනවාද?
[17වන පිටුවේ පින්තූරය]
තම පියාගේ නරක ආදර්ශය තිබියදීත්, දෙවිට සේවය කිරීමට යොෂියා රජ තෝරාගත්තා