සාමකාමීව ගැටලු විසඳාගත හැකි අයුරු
මනුෂ්‍ය සැහැසියාව බොහෝදුරට මානව සංහතිය තරම්ම පැරණියි. බයිබලයට අනුව සැහැසියාවේ මූලාරම්භය පළමු මනුෂ්‍ය යුවළගේ වැඩිමහල් දරුවා වූත්, ආබෙල්ගේ සහෝදරයා වූත්, කායින් දක්වා දිව යනවා. දෙවි කායින්ගේ පඬුරට වඩා ආබෙල්ගේ පඬුරට අනුග්‍රහය දැක්වූ විට, ඔහු “අතිශයෙන් කෝප” වුණා. මේ අවස්ථාවේදී ඔහු කටයුතු කළේ කොහොමද? “කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේය.” තමා බරපතළ ලෙස දෙවිගේ අප්‍රසාදයට ලක් වන තත්වයකට පත් වුණු බව පසුව ඔහුට වැටහුණා. (උත්පත්ති 4:5, 8-12) තම මැවුම්කරු ඉදිරියෙහි තිබුණු කායින්ගේ අයහපත් ස්ථාවරය පිළිබඳ ප්රශ්නය සැහැසියාව මගින් විසඳුණේ නැහැ.
කායින් මෙන්, ප්‍රශ්න විසඳීමට කාය බලය උපයෝගී කරගැනීමේ ක්රියාමාර්ගයකින් අප වළකින්නේ කොහොමද?
සැහැසියාවෙන් ඉවසීමට
පළමු ශතවර්ෂයේ ප්‍රාණ පරිත්යාගිවරයෙක් වූ ස්තේපන්ව ඝාතනය කිරීමට අනුමැතිය දෙමින් බලා සිටි මනුෂ්‍යයාව සැලකිල්ලට ගන්න. (ක්‍රියා 7:58; 8:1) තාර්සස්හි සාවුල් නම් වූ මේ මනුෂ්‍යයා, ස්තේපන්ගේ ආගමික ස්ථාවරය සම්බන්ධයෙන් එකඟ නොවුණ අතර, ස්තේපන්ගේ ක්‍රියාකාරකම් නවතාලීමේ සාධාරණ මාර්ගයක් හැටියට සැහැසික ඝාතනයකට අනුබල දුන්නා. ඇත්තවශයෙන්ම, සාවුල් තමාගේ ජීවිතයේ සෑම අංගයකදීම සැහැසික වී නොසිටින්න ඇති. නමුත් ඔහු ප්‍රශ්න විසඳීමේ මාර්ගයක් හැටියට සැහැසියාව යොදාගැනීමට සූදානමින් සිටියා. ස්තේපන්ගේ මරණයත් සමඟම, සාවුල් “ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, [ක්‍රිස්තියානි] සභාව වනසන්නට දිරි දැරී ය.”—ක්‍රියා 8:3, න.අ.
බයිබල් විශාරද ඇල්බට් බාන්ස්ට අනුව, “වනසන්න” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙන්, සිංහයන් සහ වෘකයන් වැනි වන මෘගයන් විසින් සිදු කළ හැකි විනාශ කිරීම් අඟවනවා. බාන්ස් මෙසේ පැහැදිලි කරනවා: “සාවුල් හරියට වන මෘගයෙක් වගේ සභාවට විරුද්ධව කෝප වුණා කියන ප්‍රබල ප්‍රකාශයෙන්, ඔහු හවුල් වී සිටි වධ හිංසා කිරීම් සම්බන්ධයෙන් තිබුණු ඔහුගේ උනන්දුව සහ වියරුව අඟවනවා.” තව ක්‍රිස්තු අනුගාමිකයන්ව රැස් කරගැනීමේ අටියෙන් සාවුල් දමස්කයට ගිය විට, ඔහු “තව දුරටත් [ස්වාමි වූ ක්‍රිස්තුස්ගේ] ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, [මරමින්ද]” සිටියා. ඔහු ගමන් කරමින් සිටියදී, නැවත නැඟිටුණු යේසු ඔහුට කතා කළ අතර, ක්‍රිස්තියානි ධර්මය වෙත පාවුල්ගේ හැරීමට මෙය හේතු වුණා.—ක්‍රියා 9:1-19.
එම පරිවර්තනයෙන් පසුව, අනිත් අය සමඟ සාවුල්ගේ කටයුතු කිරීමේ විලාසය වෙනස් වුණා. අවුරුදු 16කට පමණ පසුව සිදු වුණු සිද්ධියකින් ඔහුගේ එම වෙනස පෙන්නුම් කළා. අන්තියෝකියේ පිහිටි ඔහුගේ මව් සභාවට මිනිසුන් කණ්ඩායමක් ඇවිත්, එහි සිටි ක්‍රිස්තියානීන්ට මෝසෙස්ගේ ව්‍යවස්ථාව පවත්වන්න බල කළා. එහි ප්‍රතිඵලය හැටියට “මහත් භේදයක් සහ වාදයක්” ඇති වුණා. මේ වන විට පාවුල් ලෙස වඩාත් ප්රකටව සිටි සාවුල්, වාදයේදී යම් මූලිකත්වයක් අරගෙන කටයුතු කළා. පෙනෙන විදිහට දැඩි විවාදයක් හටගෙන තිබුණා. නමුත් පාවුල් සැහැසියාවට යොමු වුණේ නැහැ. ඒ වෙනුවට යෙරුසලම් සභාවේ සිටින ප්‍රේරිතයන්ට සහ වැඩිමහල්ලන්ට කාරණය භාර දීමට වූ සභාවේ තීරණයට ඔහු එකඟ වුණා.—ක්‍රියා 15:1, 2.
යෙරුසලමෙහි වැඩිමහල්ලන්ගේ රැස්වීමේදී නැවතත් “බොහෝ වාද” හටගත්තා. “මුළු සමූහයා නිශ්ශබ්දව” සිටින තෙක් පාවුල් බලා සිට, පසුව අචර්මච්ඡේදිත ඇදහිලිවන්තයන් අතරේ දෙවිගේ ආත්මය සිදු කළ පුදුමාකාර ක්‍රියා වාර්තා කළා. ශුද්ධ ලියවිලිමය සාකච්ඡාවකින් පසුව අචර්මච්ඡේදිත ඇදහිලිවන්තයන් පිට අනවශ්‍ය ලෙස බර නොපැටවීමට ප්‍රේරිතයන් සහ යෙරුසලමේ වැඩිමහල්ලන් “එක්සිත්ව” නිගමනයකට පැමිණි අතර, ඔවුන්ට “රූපවලට පූජාකළ දේවලින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද” වැළකී සිටින ලෙස අවවාද කළා. (ක්‍රියා 15:3-29) සැබවින්ම පාවුල් වෙනස් වී තිබුණා. ප්‍රශ්න සැහැසියාවෙන් තොරව නිරාකරණය කරගැනීමට ඔහු ඉගෙනගත්තා.
සැහැසියාවේ නැඹුරුවාවන් සමඟ කටයුතු කිරීම
“[ස්වාමින්ගේ] දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ, උගන්වන්ට සමර්ථවූ, ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට, විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිස . . . මෘදුකමින් ඔවුන්ට තරවටුකරන්ට” කියා පාවුල් පසුව අවවාද කළා. (2 තිමෝති 2:24-26) අපහසු අවස්ථාවන් සන්සුන්ව හසුරුවන ලෙස තරුණ අවේක්ෂකයෙක් වූ තිමෝතිට පාවුල් දිරිගැන්වූවා. පාවුල් යථාර්ථවාදී වුණා. ක්‍රිස්තියානීන් අතර පවා කෝපය ඇවිස්සිය හැකි බව ඔහු දැන සිටියා. (ක්‍රියා 15:37-41) හොඳ හේතුවක් ඇතුව ඔහු මෙසේ උපදෙස් දුන්නා: “කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.” (එපීස 4:26) එවැනි චිත්තවේගයන් පාලනය කිරීමේදී හොඳම ක්‍රමය නම් පාලනයෙන් තොර කෝපයට පිපිරෙන්න ඉඩ නොදී උදහස පාලනය කරගැනීමයි. නමුත් මෙය අත් කරගන්නේ කොහොමද?
අදදින කෝපය පාලනය කර තබාගැනීම ලේසි නැහැ. “චණ්ඩිකම් පෑම හරිම ජනප්‍රිය දෙයක්” යයි මහජන සෞඛ්‍යය පිළිබඳ හාවඩ් පාසැලේ සහකාර පීඨාධිපතිනිය වන වෛද්‍ය ඩෙබෝරා ප්රෝත්රෝ ස්ටිත් පැවසුවා. “ඇත්තෙන්ම එකිනෙකා සමඟ පෑහී කටයුතු කිරීමට අවශ්‍ය වන ගුණාංග වන සාකච්ඡා කිරීම, සමතයකට ඒම, සංවේදනය, සමාව දීම ආදිය සාමාන්‍යයෙන් බියගුල්ලන්ට ආවේණික වූ දේවල් හැටියට හඳුන්වනවා.” එසේ වූවත් ඒවා පුරුෂ ගුණාංග වන අතරම, අපේ අභ්‍යන්තරයෙන් මතු විය හැකි සැහැසියාවේ නැඹුරුවාවන් පාලනය කිරීමේ යතුර වෙනවා.
පාවුල් ක්‍රිස්තියානිවරයෙක් වීමෙන් පසු, එකඟ නොවීම් සමඟ කටයුතු කිරීමේ වඩා හොඳ මාර්ගයක් ඉගෙනගත්තා. එය බයිබලයේ ඉගැන්වීම් මත පදනම් වුණා. යුදෙව් ආගම පිළිබඳව උගත් විශාරදයෙක් හැටියට පාවුල්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ගැන හොඳින් දැන සිටියා. නිසැකවම ඔහු මෙවැනි ශුද්ධ ලියවිලි පද දැන සිටින්න ඇති: “බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.” “බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.” “තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.” (හිතෝපදේශ 3:31; 16:32; 25:28) එසේ වුණත් ඔහුගේ හැරීමට ප්‍රථමයෙන්, ක්‍රිස්තියානීන්ට එරෙහිව සැහැසියාව යොදාගැනීමෙන් පාවුල්ව වළකාලීමට එම දැනුම සමත් වුණේ නැහැ. (ගලාති 1:13, 14) ක්‍රිස්තියානිවරයෙක් හැටියට පාවුල්, මත භේදවලට තුඩු දිය හැකි කාරණා සැහැසියාවෙන් විසඳනවා වෙනුවට, හේතු දක්වමින් හා තර්කානුකූලව ඒත්තුගන්වමින් විසඳාගැනීමට ඔහුට උපකාර වුණේ කුමක්ද?
පාවුල් මෙසේ පැවසූ විට, ඔහු අපට හෝඩුවාවක් දුන්නා: “මා [ක්‍රිස්තුස්ව] ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න.” (1 කොරින්ති 11:1) යේසුස් ක්‍රිස්තුස් තමා වෙනුවෙන් කර තිබුණු දෙය ඔහු මහත් සේ අගය කොට සැලකුවා. (1 තිමෝති 1:13, 14) ක්‍රිස්තුස් ඔහුට අනුගමනය කළ හැකි ආදර්ශය බවට පත් වුණා. පව්කාර මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් යේසු දුක් වින්ද ආකාරය ඔහු දැන සිටියා. (හෙබ්‍රෙව් 2:18; 5:8-10) මෙසියස් සම්බන්ධයෙන් වූ යෙසායාගේ අනාවැකිය යේසු තුළ ඉටු වූ බව ස්ථිර කරන්න පාවුල්ට හැකි වුණා. එහි මෙසේ සඳහන් වෙනවා: “[ඔහුට] පීඩාකළ විට, [ඔහු] යටත්වී තමාගේ මුඛය නෑර [සිටියේය]; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද [ඔහු] තමන් මුඛය නෑර [සිටියේය.]” (යෙසායා 53:7) එමනිසා, ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘ඔහු නින්දා කරනු ලැබූ කල නින්දා නොකළේය; වධ වින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තාට කාරණය භාර දුන්නේය.’—1 පේතෘස් 2:23, 24.
පීඩිත තත්වයන් යටතේ යේසුස් ක්‍රිස්තුස් කටයුතු කළ ආකාරය පිළිබඳ පාවුල්ගේ අගය කිරීම, ඔහුට වෙනස් වීමට මඟ පෑදුවා. ඔහුට තම සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ දැනමුතුකම් දීමට හැකි වුණා: “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; [යෙහෝවා] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.” (කොලොස්සි 3:13) සැහැසික නොවීමේ අවශ්‍යතාව පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. අප වෙනුවෙන් යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් කර තිබෙන දේවල් අගය කිරීම, සැහැසික නැඹුරුවාවන් ජයගැනීමට අවශ්‍ය පෙලඹවීම සපයනවා.
ඒක කරන්න පුළුවන්ද?
ජපානයේ සිටි එක් මිනිසෙකුට එවැනි ශක්තිමත් පෙලඹවීමක් අවශ්‍ය වුණා. යුධ භටයෙක් වූ ඔහුගේ පියා ඉතා ඉක්මනින් කිපෙන, සැහැසියාවෙන් තම පවුල මත ආධිපත්‍යය පවත්වාගෙන ගිය තැනැත්තෙක් වුණා. සැහැසියාවේ ගොදුරක් බවට පත්වීම නිසාත්, තමාගේ මව එයාකාරයෙන්ම දුක් ගැහැට විඳිනවා දැකීම නිසාත්, මේ මනුෂ්‍යයා තුළ සැහැසික චරිත ස්වභාවයක් ගොඩනැඟුණා. ඔහු, ආරවුල් විසඳාගැනීමට මෙන්ම මිනිසුන්ට තර්ජනය කිරීමට උපයෝගී කරගත් වෙනස් දිග ප්‍රමාණයන්ගෙන් යුත් සමූරායි කඩු දෙකක් රැගෙන ගියා.
ඔහුගේ භාර්යාව බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් විට, ඔහු එය කිසි බරපතළකමකට ගන්නේ නැතුව පාඩමට සහභාගි වුණා. කෙසේවුණත්, රාජ්‍යයේ මේ ශුභාරංචියa (ඉංග්‍රීසියෙන්) යන මාතෘකාවෙන් යුත් පොත් පිංචය කියවීමෙන් පසු, ඔහු වෙනස් වුණා. ඇයි ඒ? “ ‘ක්‍රිස්තුස් යේසුස්’ සහ ‘මිදීමේ මිලය’ කියන උපමාතෘකා යටතේ තියෙන දේවල් කියෙව්වම, මට මහ ලැජ්ජාවක් දැනුණා” යයි ඔහු පැහැදිලි කරනවා. “මම ගත කෙරුවේ දරදඬු ජීවිත ක්‍රමයක් වුණත්, මාත් එක්ක ආරවුලක් ඇති කරගන්නේ නැතුව හිටපු අයට කරුණාව පෙන්වන්න මම කැමැත්තෙන් හිටියා. මගේ යාළුවන්ව සන්තෝස කරන්න මම කැමති වුණා; හැබැයි මම ඒක කෙරුවේ ඒකෙන් මගේ ජීවිතේට හානියක් නොවන තාක් කල් විතරයි. ඇත්තටම දෙවිගේ පුත් යේසු මං වගේ අයත් ඇතුළුව මුළු මනුෂ්‍යවර්ගයා වෙනුවෙන්ම එයාගේ ජීවිතය දෙන්න කැමති වුණා. හරියට පොල්ලකින් ඔළුවට ගැහුවා වගේ මම අන්දුන්කුන්දුන් වෙලා හිටියා.”
කලින් ඔහුගේ යාළුවන්ව සිටි අය සමඟ ආශ්‍රය කිරීම ඔහු නවතා දැමූ අතර, ඉක්මනින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වුණා. අන් අයට බයිබලය ඉගැන්වීමේ කලාව අත් කරගන්න මේ පාසැල උපකාර වෙනවා. මෙම මනුෂ්‍යයාට පාසැල තුළින් අමතර වාසියක් ගෙන ආවා. තම අද්දැකීම ඔහු මෙසේ සිහිපත් කරනවා: “අනිත් අයත් එක්ක මගේ හැඟීම් ප්‍රකාශ කරගන්න බැරි වෙච්ච හින්දා, මම මගේ තරුණ කාලෙදී තර්ජනය කිරීම්වලටත්, සැහැසියාවටත් යොමු වුණා. මගේ අදහස් අනිත් අයත් එක්ක හුවමාරු කරගන්න ඉගෙනගත්තම, සැහැසියාවට යොමු වෙනවා වෙනුවට මම, අනිත් අයත් එක්ක තර්කානුකූලව කතා කරන්න පටන්ගත්තා.”
පාවුල් වගේ ඔහුත් ක්‍රිස්තුස්ගේ ජීවන මඟ තමාගේම කරගෙන තියෙනවාද? මැරෙන තුරා සොයුරන් සේ බැඳී සිටීමට අන්‍යොන්‍ය ලෙස දිවුරූ ඔහුගේ කලින් යාළුවෙක්, ඔහු ක්‍රිස්තියානිවරයෙක් වීමෙන් වැළැක්වීමට උත්සාහ දැරූ විට, ඔහුගේ ඇදහිල්ල පරීක්ෂණයට භාජන වුණා. ඔහුගේ “යාළුවා” ඔහුට පහර දී ඔහුගේ දෙවි යෙහෝවාව අපහාසයට ලක් කළා. මුලින් සැහැසිකව සිටි මනුෂ්‍යයා තමාවම පාලනය කරගත් අතර, දිවුරුම පවත්වාගෙන යෑමට නොහැකි වීම ගැන සමාව ඉල්ලුවා. බලාපොරොත්තු සුන් වූ “සොහොයුරා” ඔහුගෙන් සමුගත්තා.
කලින් කෝපයට පත් වන මේ මනුෂ්‍යයා, තමාගේ සැහැසික නැඹුරුවාවන් ජයගැනීම මගින් දෙවි කෙරෙහිත්, අසල්වාසීන් කෙරෙහිත් තිබෙන ප්‍රේමයෙන් එක්සත් වන ආත්මික සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක්ව දිනාගත්තා. (කොලොස්සි 3:14) ඔහු කැප වූ ක්‍රිස්තියානියෙක් වීමෙන් අවුරුදු 20කටත් වඩා කාලයක් ගතවීමෙන් පසු, දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කරනවා. හරියට ඔහු ඉගෙනගත්තා වගේ, මෘග ගති ඇති චරිත ස්වභාවයන් තිබෙන මිනිසුන්ට සැහැසියාවෙන් තොරව මතභේද නිරාකරණය කරගත හැකි බව බයිබලයෙන් පෙන්වා දීමට හැකිවීම ඔහුට මොනතරම් ප්‍රීතියක්ද! මෙසේ සඳහන් වන අනාවැකි වදන්වල උදාර ඉෂ්ට වීම පෙන්වා දීමට හැකිවීම, ඔහුට කොයිතරම් වරප්‍රසාදයක්ද: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය”!—යෙසායා 11:9.
ප්‍රේරිත පාවුල් සහ මුලින් සැහැසික මේ මනුෂ්‍යයා වගේ ඔබටත් කෝපය අවුස්සන අවස්ථාවන් හසුරුවන්නත්, සාමකාමීව ප්‍රශ්න විසඳාගන්නත් ඉගෙනගන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට උපකාර කරන්න කැමැත්තෙන් සිටිනවා.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
පාවුල් යථාර්ථවාදී වුණා. ක්‍රිස්තියානීන් අතර පවා කෝපය පුපුරා යා හැකි බව ඔහු දැන සිටියා
[7වන පිටුවේ පින්තූරය]
දෙවි අප සඳහා කර තිබෙන දෙයට අගය දැක්වීම, සාමකාමී සබඳතාවලට මඟ පාදයි