ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 10/15 25-29 පි.
  • ගල් හිත් මෘදු වේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගල් හිත් මෘදු වේ
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • වැඩය ආරම්භ කිරීම
  • ප්‍රතිඵලදායි අධ්‍යාපනික වැඩසටහනක්
  • විශේෂ එක්රැස්වීම් ප්‍රීතිය ගෙන එයි
  • මවිතාකාර පරිවර්තනයක් සිදු කෙරේ
  • කලින් මිතුරන්ගෙන් පීඩන
  • දෙවිට කැප වූ සේවකයන් වීම
  • බන්ධනාගාර අධිකාරීන්ගේ පිළිගැනීම
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 10/15 25-29 පි.

ගල් හිත් මෘදු වේ

පෝලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව 1989දී ආගමික සංවිධානයක් හැටියට නීතියෙන් පිළිගත්තා. තම ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සඳහා සිරගත වූ සාක්ෂිකරුවන් ක්‍රම ක්‍රමයෙන් නිදහස් වී යද්දී, ඔවුන්ගෙන් බයිබලය ගැන තවත් දේ ඉගෙනගන්න ආශාවෙන් සිටි සිරකරුවන් බොහෝදෙනෙක් එහි දමා යන්න ඔවුන්ට සිදු වුණා. එවැනි බන්ධනාගාරයකදී, ගල් හිත් තිබූ අයව දේවවචනයේ බලයෙන් මෘදු කිරීමට උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් පරිශ්‍රමයක් දරන ආකාරය පිළිබඳ වාර්තාවක් මෙන්න.

පෝලන්තයේ දරුණුම අපරාධකාරයන්ගෙන් සමහරෙකුව දමා ඇති අවුරුදු 200ක් පරණ බන්ධනාගාරයක්, නිරිතදිග පෝලන්තයේ 12,000දෙනෙක් සිටින නගරයක් වන වෝවූෆ්හි තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ වැඩය සම්බන්ධයෙන් නිල වශයෙන් පිළිගැනීමක් ලැබුණු දා සිට එහි සිටින සිරකරුවන්ට ශුභාරංචිය දීමට ඔවුන් පරිශ්‍රමයක් දරා තිබෙන අතර, ඔවුන් එසේ කරන්නේ ඉමහත් උද්‍යෝගයකින්.

පෝලන්තයේ බන්ධනාගාර අධ්‍යක්ෂකයන් සියලුදෙනාටම 1990 පෙබරවාරියේදී යුක්තිය පිළිබඳ අමාත්‍යාංශය මගින් නිකුත් කළ ලිපියක් තමයි ඒ සඳහා මාර්ගය විවෘත කර දුන්නේ. වොච් ටවර් ප්‍රකාශන ලබාගන්න හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න ඕනෑ වන මොනම සිරකරුවෙකුටවත් ඔවුන් “හානියක් නොකළ යුතුයි” යනුවෙන් ලිපිය උපදෙස් දුන්නා. වෝවූෆ් බන්ධනාගාරයේ දිගු කලක් ගත කර ඇති සාක්ෂිකරුවන්, එහි සිටි දරුණු සිරකරුවන්ව හොඳින් දැන සිටියා. කෙසේවෙතත්, බයිබල් සත්‍යය මගින් වෙනත් සිරකරුවන්ගේ ගල් හිත් මෘදු කරන්න ඔවුන් දරන වෑයම්වලදී ඔවුන් යෙහෝවාගේ ආශීර්වාදය මත රඳා සිටියා.

වැඩය ආරම්භ කිරීම

“වැඩසටහන ආරම්භ කරන එක පහසු වුණේ නැහැ” කියා වෝවූෆ් බන්ධනාගාරයේ සිටින්නන්ව බැලීමට අවසර ලබාගෙන සිටි, කිලෝමීටර් 40ක් පමණ ඈත ව්‍රොට්ස්ලෞ නගරයේ සහෝදර චෙස්වොෆ් පවසනවා. “අපේ ‘ආගමික මෙහෙයන්’ සිරකරුවන්ට ප්‍රයෝජනවත් බව බන්ධනාගාරයේ නිලධාරීන්ට ඒත්තුගැන්වීමට බොහෝ දීර්ඝ සාකච්ඡා පවත්වන්න සිද්ධ වුණා.”

කාරණා සංකීර්ණ කිරීම සඳහා, “වරදකරුවන් ද්‍රව්‍යමය වාසි ලබාගැනීමේ අටියෙන් ආගමික මෙහෙයන් යොදාගන්නවා කියා උසස් නිලධාරියෙක් තරයේ කියූ දේ” චෙස්වොෆ්ගේ සහකාරයා වූ පාවෙයු සිහිපත් කරයි. නමුත් කලින් දරුණු අපරාධකාරයන්ව සිටි තුන්දෙනෙක් 1991දී බව්තීස්මය සඳහා ඉදිරිපත් වූ විට, බන්ධනාගාර අධිකාරීන් ඔවුන්ගේ ආකල්පය වෙනස් කරගත් අතර හොඳ සහයෝගයක් දැක්වුවා.

“වරදකරුවන්ට, බන්ධනාගාරයේ සිටි ඔවුන්ව බලන්න ආව ඔවුන්ගේ නෑදෑයන්ට මෙන්ම බන්ධනාගාරයේ නිලධාරීන්ට සාක්ෂිදරමින් අපි පටන්ගත්තා” කියා චෙස්වොෆ් පැහැදිලි කරයි. “මැදිරියෙන් මැදිරියට ශුභාරංචිය දේශනා කරන්න එවිට අපට ඉඩහැරියා; හරිම අසාමාන්‍ය දෙයක් ඒක. අන්තිමේදී, උනන්දුව දැක්වූ අයව අපට සොයාගන්න ලැබුණහම, බයිබල් පාඩම් පැවැත්වීමටත්, ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීමටත් කුඩා ශාලාවක් පාවිච්චි කරන්න අපට අවසර දුන්නා.” ඔව්, සිරකරුවන්ගේ ගල් හිත්වලට පිවිසෙන්න යෙහෝවා මාර්ගය විවෘත කළා.

ප්‍රතිඵලදායි අධ්‍යාපනික වැඩසටහනක්

වැඩි කල් යෑමට පෙර ඒ ශාලාවේ ඉඩ මදි වුණා. බව්තීස්ම වූ සිරකරුවන් හා පිටින් ආ සාක්ෂිකරුවන් යන දෙගොල්ලන්ම දේශනා වැඩයෙහි හවුල් වූ නිසා, වරදකරුවන් 50දෙනෙක් පමණ රැස්වීම්වලට පැමිණෙන්න පටන්ගත්තා. “අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් අපි රැස්වීම් ඔක්කොම එතන තිබ්බා; ඒ වගේම සිරකරුවන් සතිපතා රැස්වීම්වලට නොකඩවාම ආවා” කියා එක් ප්‍රාදේශීය වැඩිමහල්ලෙක් පැහැදිලි කරයි. එනිසා 1995 මැයිවලදී ඔවුන්ට වඩාත් විශාල ශාලාවක් පාවිච්චි කරන්න දුන්නා.

බන්ධනාගාරයේ පැවැත්වෙන රැස්වීම්වලට පැමිණිය හැක්කේ කාටදැයි වගකීමෙන් යුතු සහෝදරයන් තීරණය කරන්නේ කෙසේද? “සත්‍යය කෙරෙහි අවංක උනන්දුවක් පෙන්වන සිරකරුවන්ගේ ලැයිස්තුවක් අපි ළඟ තියෙනවා” යයි චෙස්වොෆ් හා ස්ජෂ්වාෆ් යන සහෝදරයන් පැහැදිලි කරයි. “වරදකරුවෙක් ප්‍රගතියක් ලබන්නේ නැත්නම් හෝ හොඳ හේතුවක් නැතුව රැස්වීම් අතපසු කරනවා නම්, එවැනි සැපයුම් සඳහා අගය කිරීමේ ඌනතාවක් අඟවන නිසා අපි ඔහුගේ නම ලැයිස්තුවෙන් අයින් කරලා, බන්ධනාගාර අධ්‍යක්ෂකට දැනුම් දෙනවා.”

ඔවුන්ගේ බයිබල් පාඩම්වලදී, රැස්වීම්වලට හොඳින් සූදානම් වන ආකාරය හා අපේ පොත් පත් බලපෑමෙන් යුතුව යොදාගන්නා ආකාරයත් සහෝදරයන් උගන්වනවා. මෙලෙස, සිරකරුවන් රැස්වීම්වලට පැමිණෙන විට, ඔවුන් හොඳින් සූදානම් වී සිටින අතර ඔවුන් චකිතයකින් තොරව සහභාගි වෙනවා. ගොඩනංවනසුලු අදහස් ප්‍රකාශ කරන ඔවුන් දක්ෂ ලෙස තම බයිබල් පාවිච්චි කරන අතර, ‘මම අරක කරන්න ඕනෙ නැත්නම් මේක කරන්න ඕනෙ කියන එක මට වැටහෙනවා’ කියන නිරීක්ෂණයන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශයන්ට බොහෝවිට ඇතුළත් කරමින් උපදෙස් ඔවුන්ටම අදාළ කරගන්නවා.

“ඔක්කොම බැලුවොත්, වෝවූෆ් බන්ධනාගාරයේ බයිබල් පාඩම් 20ක් පවත්වනවා. ප්‍රචාරකයන් වූ සිරකරුවන් තුන්දෙනෙක් ඒවායින් අටක් පවත්වනවා” කියා සභාවේ ලේකම් පවසනවා. මැදිරියෙන් මැදිරියට දේශනා කිරීමේදී හා බන්ධනාගාර භූමියේ ඇවිදින අවස්ථාවල දේශනා කිරීමේදී ඔවුන් හොඳ ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට, මාස දහයක් ඇතුළතදී, එනම් 1993 සැප්තැම්බර්වල සිට 1994 ජූනි දක්වා මාසවලදී පොත් 235ක්, විවරණිකා 300ක් පමණ හා සඟරා 1,700ක් ඔවුන් බෙදාහැරියා. මෑතකදී, බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙක් බයිබල් පාඩම් කරන්න කැමැත්ත පළ කළා.

විශේෂ එක්රැස්වීම් ප්‍රීතිය ගෙන එයි

කල් යත්ම, ඒ බන්ධනාගාරයෙහි අධ්‍යාපන වැඩසටහනට විශේෂ එක්රැස්වීම් නමැති තවත් අංගයක් එකතු කළා. සංචාරක අවේක්ෂකයන් හා වෙනත් සුදුසුකම් ලත් සහෝදරයන් බන්ධනාගාර සරඹ ශාලාවේදී චාරිකා එක්රැස්වීමේ හා එක්දින විශේෂ එක්රැස්වීමේ වැඩසටහන්වල ප්‍රධාන කොටස් ඉදිරිපත් කළා. මුල්ම විශේෂ එක්රැස්වීම 1993 ඔක්තෝබර්වලදී පවත්වනු ලැබුවා. සිරකරුවන් පනස්දෙනෙක් පැමිණි අතර, “ස්ත්‍රීන් කුඩා දරුවන් සමඟින් පවුල් පිටින්ම ව්‍රොට්ස්ලෞවලින් පැමිණ තිබෙනවා” කියා ස්වෝවො පෝල්ස්කි පුවත්පත වාර්තා කළා; පැමිණි මුළු සංඛ්‍යාව 139යි. එක්රැස්වීම් වැඩසටහනේ විවේක වේලාව, සහෝදරියන් පිළියෙළ කළ ආහාර ගැනීමටත්, කදිම ක්‍රිස්තියානි ආශ්‍රයටත් ප්‍රස්තාව සැලසුවා.

එදා පටන් විශේෂ එක්රැස්වීම් හතක් පවත්වා ඇති අතර, බන්ධනාගාරයේ සිටි අයට පමණක් නොව නමුත් පිටත සිටි අයටත් ප්‍රයෝජන ලැබී තිබෙනවා. දැන් නගරයෙහි ජීවත් වන කලින් වෝවූෆ්හි බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකුට සාක්ෂිකාර සහෝදරියක් සාක්ෂිදැරූ විට මුලින්ම ඔහු සැකයෙන් බැලුවා. නමුත් එක්තරා සිරකරුවෙක් සාක්ෂිකරුවෙක් වී ඇති බව ඔහුට පැවසූ විට, එම මිනිසා අදහාගත නොහැකිව මෙසේ ප්‍රකාශ කළා: “ඒ මිනීමරුවා දැන් සාක්ෂිකාරයෙක්?” ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු බයිබල් පාඩමක් කරන්න කැමති වුණා.

මවිතාකාර පරිවර්තනයක් සිදු කෙරේ

මහා-පරිමාණයෙන් කෙරෙන මේ අධ්‍යාපන වැඩසටහන ඇත්තෙන්ම සිරකරුවන්ගේ ගල් හිත් මෘදු කර තිබෙනවාද? ඔවුන්ගේ කතාවල් කියන්න ඔවුන්ට ඉඩ දෙන්න.

“මගේ කුඩා කාලේදීම මගේ දෙමාපියන් මාව අත්හැරලා දාපු නිසා මගේ දෙමාපියන් කවුද කියලා මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ; මට ආදරයක් නොලැබුණු එකත් ලොකු වේදනාවක්” කියා සාමාන්‍යයෙන්ම ගැඹුරට හිතා බලන කෙනෙක් වූ ස්ජෂ්වාෆ් කියා සිටිනවා. “මගේ බාල කාලේදී, මම අපරාධ කරන්න හවුල් වුණා; අන්තිමේදී මිනියකුත් මැරුවා. වරදකාරි හැඟීම නිසා මට දිවි නහගන්න හිතුණා; සැබෑ බලාපොරොත්තුවක් අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඊට පස්සේ, 1987දී, මට මුරටැඹ සඟරාව කියවන්න ලැබුණා. නැවත නැඟිටීමේ හා සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ගැන මම ඒකෙන් ඉගෙනගත්තා. බලාපොරොත්තුවක් තියෙන බව වටහාගත් මම දිවි නහගන්න අදහස අත්ඇරලා බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ආදරය කියන්නේ මොකක්ද කියන එක යෙහෝවාගෙන් හා සහෝදරයන්ගෙන් මම දැන් ඉගෙනගෙන තියෙනවා.” කලින් මිනීමරුවෙකු වූ මෙම තැනැත්තා, 1993 සිට බන්ධනාගාරයේ උපස්ථායක සේවකයෙකු හා උපකාරික පුරෝගාමියෙකුව සිට තිබෙන අතර, ගිය අවුරුද්දේ ඔහු ස්ථාවර පුරෝගාමියෙකු බවට පත් වුණා.

අනිත් අතට, ටොමෂ්, කැමැත්තෙන්ම බයිබල් පාඩමක් පිළිගත්තා. “කොහොමනමුත් ඒක අවංක පියවරක් නෙවෙයි” කියා ඔහු පැවසුවා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් අනිත් අයට පැහැදිලි කරද්දී, දන්නවයි කියලා පෙන්නන්න ඕනෙ වුණ නිසයි මම පාඩම් කළේ. නමුත් මම බයිබල් සත්‍යය සම්බන්ධයෙන් වැඩි දෙයක් කළේ නැහැ. දවසක්, මම මගේ හිත හදාගෙන ක්‍රිස්තියානි රැස්වීමකට ගියා. බව්තීස්ම වෙලා හිටිය සිරකරුවන් මාව උණුසුම් ලෙස පිළිගත්තා. දැනුම පෙන්නන්න උත්සාහ කරනවා වෙනුවට මගේ ගල් හිත මොළොක් කරගෙන මගේ මනස වෙනස් කරන්න තිබුණ බව මට වැටහුණා.” ටොමෂ් අලුත් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය පැළඳගන්න පටන්ගත්තා. (එපීස 4:22-24) අදදින, කැප වූ බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් වන ඔහු මැදිරියෙන් මැදිරියට දේශනා කරමින් යන්නේ ප්‍රීතියෙන්.

කලින් මිතුරන්ගෙන් පීඩන

බන්ධනාගාරයේදී බයිබල් සත්‍යය ඉගෙනගත් අයට මැදිරියෙහි කලින් සිටි මිතුරන්ගෙන් හා බන්ධනාගාර නිලධාරීන්ගෙන් දැඩි පීඩන පැමිණුණා. ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ සිහියට නඟනවා: “මාව නිතරම උපහාසාත්මක හා නින්දාසහගත දේවලට ලක් කළා. නමුත් මම සහෝදරයන්ගේ දිරිගන්වන වදන් මගේ හිතේ තබාගත්තා. ‘නොකඩවම යෙහෝවාට යාච්ඤා කරන්න,’ ‘ඔයාගේ බයිබලය කියවන්න; ඔයාට ඇතුළාන්තයෙන්ම සාමයක් දැනෙයි’ කියා ඔවුන් මට කිව්වා. ඒක ඇත්තෙන්ම උපකාර වුණා.”

“මගේ සෙසු සිරකරුවන් මට විරුද්ධව නරක දේවල් ඇති තරම් කිව්වා” යයි බව්තීස්ම වූ ශක්ති සම්පන්න සහෝදරයෙක් වන රිෂාඩ් පවසනවා. “මෙහෙම කියමින් ඒගොල්ලෝ මට තර්ජනය කළා: ‘ඔයාගේ රැස්වීම්වලට ඔයාට යන්න පුළුවන්; ඒත් කැපීපෙනෙන්න හදන්න එපා; ඔයා අනිත් අයට වඩා හොඳයි කියලා පෙන්නන්න හදන්න එපා, හරිද?’ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන මම මගේ ජීවිතයේ වෙනස්කම් කළ නිසා මට දුක් විඳින්න සිද්ධ වුණා. ඒගොල්ලෝ මගේ ඇඳ පෙරළුවා; මගේ බයිබල් පොත් පත් විසි කළා; මැදිරියේ මම හිටිය තැන අවුල් කළා. මාව පාලනය කරගන්න ශක්තිය දෙන්න කියලා මම යෙහෝවාට යාච්ඤා කරලා, හෙමින් සීරුවේ ගිහින් අවුල් කළ ඒවා අස් කළා. ටික කාලෙකට පස්සේ, හිරිහැර කිරීම නැවැත්තුවා.”

“යෙහෝවාට සේවය කරන්න අපි ස්ථිර තීරණයක් අරන් තියෙන බව සෙසු සිරකරුවන් දකින විට, වෙනත් ආකාරයකින් පීඩනය ගෙනෙනවා” කියා බව්තීස්ම ලත් වෙනත් සිරකරුවන් සමහරෙක් විස්තර කරයි. “ ‘මතකනේ, ඔයාට බොන්න, දුම්පානය කරන්න, බොරු කියන්න තහනම් බව’ කියලා සමහරවිට ඒගොල්ලෝ කියනවා. මොනයම් හෝ දුෂ්චරිතයකින් නැතහොත් ඇබ්බැහි වීමකින් ඉක්මනින්ම ඉවත් වෙන්න උපකාර කරමින් තමන්ව පාලනය කරගන්න එවැනි පීඩනයක් උපකාර කරනවා. කෙනෙකුට ආත්මයේ ඵල වර්ධනය කරගන්නත් එය උපකාර කරනවා.”—ගලාති 5:22, 23.

දෙවිට කැප වූ සේවකයන් වීම

බන්ධනාගාර අධිකාරීන්ගේ අවසරය ඇතුව, 1991 වසන්තයේදී සරඹ ශාලාවෙහි මුල් බව්තීස්මය සිදු කෙරුණා. එහිදී සන්තෝෂයෙන් බව්තීස්ම වූ තැනැත්තා වූයේ ස්ජෂ්වාෆ්ය. මේ අවස්ථාවට සිරකරුවන් දොළොස්දෙනෙක් සහභාගි වුණ අතර සහෝදර සහෝදරියන් 21ක් පිට සභාවලින් පැමිණුණා. සිරකරුවන්ට ඒ රැස්වීම දිරිගන්වන බලපෑමක් වුණා. ඔවුන්ගෙන් කීපදෙනෙක් කොයිතරම් විශිෂ්ට ප්‍රගතියක් ලැබුවාද කියනවා නම්, ඒ අවුරුද්ද අවසානයේදී තවත් වරදකරුවන් දෙදෙනෙක් බව්තීස්ම වුණා. අවුරුදු දෙකකට පසුව, 1993දී, දෙවරක් බව්තීස්මය පැවැත්වූ අතර, තවත් වරදකරුවන් හත්දෙනෙක් යෙහෝවාට තමන්ගේ කැපවීම සංකේතවත් කළා!

දෙසැම්බරයේ පැවැත්වූ බව්තීස්මය ගැන වාර්තා කරමින් වයෙෂෝඩ ව්‍රොට්ස්වාවිආ ප්‍රාදේශීය දිනපතා පුවත්පත, මෙසේ නිරීක්ෂණය කළා: “සරඹ ශාලාවට වැල නොකැඩී සෙනඟ ඇදී එනවා; ආචාර කරමින්, එකිනෙකාට අතට අත දෙමින් සියල්ලන්වම පිළිගන්නවා. මෙහෙ කිසිම කෙනෙක් අමුත්තෙක් නෙවෙයි. සිතන විදිහෙන්, ඔවුන්ගේ ජීවිත ගත කරන ආකාරයෙන් හා එක දෙවි කෙනෙක් වන යෙහෝවාට සේවය කිරීමෙහි එක්සත්ව සිටීමෙන් ඔවුන් ක්‍රියා කරන්නේ එක විශාල පවුලක් වගෙයි.” එවිට ඒ “එක විශාල පවුල” පුද්ගලයන් 135දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඊට වරදකරුවන් 50දෙනෙක් ඇතුළත් වුණා. අපි ඔවුන්ගෙන් කීපදෙනෙක් මුණගැහෙමු.

ජූනිවලදී බව්තීස්ම වූ ය’සි මෙසේ විස්තර කරයි: “අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා මට බයිබල් සත්‍යය දැනගන්න ලැබුණත්, මට ඇත්තෙන්ම තිබුණේ ගල් හිතක්. වංචාව, මගේ මුල් භාර්යාවගෙන් දික්කසාද වීම, ක්‍රිස්ටිනා සමඟ දුරාචාරයේ යෙදීම, අවජාතක දරුවෙක් ඇතිවීම හා නිතර බන්ධනාගාර ගතවීම යන සියල්ලයි මගේ ජීවිතය වී තිබුණේ.” බන්ධනාගාරයේ සිටිද්දී දැඩි හිත් තිබූ අනිත් අය යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වෙනවා දුටු ඔහු තමාගෙන් මෙසේ ඇසීමට පටන්ගත්තා: ‘ඇයි මටත් හොඳ මිනිහෙක් වෙන්න බැරි?’ ඔහු බයිබල් පාඩමක් කිරීමට කැමැත්ත පළ කර, රැස්වීම්වලට පැමිණෙන්නත් පටන්ගත්තා. අවුරුදු තුනකට කලින් ක්‍රිස්ටිනා යෙහෝවාගේ සාක්ෂිකාරියක් වී තිබෙන බව රජයේ පැමිණිලිකරුවෙකුගෙන් ඔහු දැනගත් විටයි සැබෑ වෙනසක් ඇති වුණේ. “මම ඇත්තෙන්ම පුදුම වුණා!” යයි ය’සි පවසයි. “මම හිතුවා, ‘ඇයි මම මෙහෙම ඉන්නේ? මම මේ මොනවාද කරන්නේ?’ කියලා. යෙහෝවාගෙන් අනුමැතිය ලබාගන්න නම් මගේ ජීවිතය හරිගස්සවාගන්න මට සිද්ධ වෙන බව මට වැටහුණා.” ප්‍රතිඵලයක් වශයෙන්, බන්ධනාගාරයේදී ක්‍රිස්ටිනා හා ඔවුන්ගේ 11-හැවිරිදි දියණිය වූ මාර්සෙනා සමඟ නැවත සතුටුදායක එකතු වීමක් සිදු වුණා. වැඩි කල් යන්න පෙර ඔවුන්ගේ විවාහය නීත්‍යනුකූල කළා. තවදුරටත් හොඳ සහ නරක තත්වයන් අද්දකිමින් බන්ධනාගාරයේ සිටියත්, බිහිරි සිරකරුවන්ට උපකාර කිරීමට හැකිවීම සඳහා මෑතකදී ය’සි සංඥා භාෂාව ඉගෙනගත්තා.

ප්‍රාථමික පාසැලේ සිටිද්දීම මිරෝස්වාෆ් අපරාධ ක්‍රියාවල හවුල් වෙන්න පටන්ගත්තා. ඔහුගේ මිතුරන් කළ දේවල් බෙහෙවින් අගය කළ ඔහු වැඩි කල් නොගොස් ඔවුන් කරන දේවල්ම කරන්න පටන්ගත්තා. ඔහුගෙන් සොරකමට ලක් වූ හෝ පහර ලැබූ අය බොහෝයි. අන්තිමේදී ඔහු නතර වුණේ බන්ධනාගාරයට ගිහින්. “මාව හිරේ දැම්මහම මම පූජකයා ළඟට ගියා උපකාරයක් ගන්න” කියා මිරෝස්වාෆ් පවසයි. “නමුත් මම අන්තයටම කලකිරුණා. ඒ නිසා වහ බීලා මැරෙන්න තීරණය කළා.” ඔහුගේ ජීවිතය නැති කරගන්න ඔහු අදහස් කළ මුල් දවසේදීම ඔහුව වෙනත් මැදිරියකට මාරු කළා. එහිදී ඔහුට ජීවිතයේ අරමුණ ගැන කතා කළ මුරටැඹ පිටපතක් හම්බ වුණා. “මට අවශ්‍ය වෙලා තිබුණේ ඒ වගේ සරල හා පැහැදිලි තොරතුරුයි” කියා ඔහු තවදුරටත් පවසනවා. “ඊට පස්සේ මට ජීවත් වෙන්න ඕනෙ වුණා! ඉතින් මම යෙහෝවාට යාච්ඤා කරලා, සාක්ෂිකරුවන්ගෙන් බයිබල් පාඩමක් ඉල්ලා හිටියා.” ඔහු බයිබලය පාඩම් කරද්දී ශීඝ්‍ර ප්‍රගතියක් ලැබූ අතර 1991දී බව්තීස්ම වුණා. මැදිරියෙන් මැදිරියට දේශනා කිරීමේ වරප්‍රසාදය ඇතුව සිටින ඔහු දැන් බන්ධනාගාරයේ උපකාරික පුරෝගාමියෙකු හැටියට සේවය කරනවා.

මේ දක්වා සිරකරුවන් 15දෙනෙක් බව්තීස්ම ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ දණ්ඩන කාලයේ එකතුව අවුරුදු 260කට ආසන්නයි. සමහරුන්ව නියමිත දණ්ඩන කාලයට පෙර නිදහස් කරනු ලැබුවා. එක සිරකරුවෙකුගේ වසර 25ක දණ්ඩන කාලය වසර 10කින් අඩු කළා. එමෙන්ම බන්ධනාගාරයේ සිටිද්දී උනන්දුව පෙන්වූ කීපදෙනෙක් නිදහස් වුණාට පසුව බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් බවට පත් වුණා. මීට අමතරව, බන්ධනාගාරයේ සිටින තවත් සිරකරුවන් හතරදෙනෙක් බව්තීස්මය සඳහා සූදානම් වෙමින් සිටිනවා.

බන්ධනාගාර අධිකාරීන්ගේ පිළිගැනීම

“වරදකරුවන්ගේ ආකල්පයේ වෙනස විශේෂයෙන්ම දකින්න ලැබී තිබෙනවා” කියා බන්ධනාගාර වාර්තාවක් ප්‍රකාශ කරනවා. “හුඟදෙනෙක් දුම්පානය අත්හරින අතර, ඔවුන්ගේ මැදිරි පිරිසිදුව තබාගන්නවා. බොහෝ වරදකරුවන්ගේ හැසිරීමේ එවැනි වෙනස් කිරීම් පැහැදිලිව දකින්න තියෙනවා.”

“හැරුණු අය විනයගරුකව ඉන්නවා; ඔවුන් බන්ධනාගාර මුරකාරයන්ට කරදර දෙන්නේ නැහැ” කියා වෝවූෆ්හි බන්ධනාගාරයේ පරිපාලකයන් පිළිගත් බවට ස්චි වාර්ෂාවේ යන පුවත්පත වාර්තා කරනවා. තමන්ගේ දණ්ඩන කාලය සම්පූර්ණ වීමට පෙර නිදහස් වූ අය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සෙනඟ අතරට හොඳින් එකතු වී සිටින අතර, අපරාධ කිරීමේ මාර්ගයට හැරී යන්නේ නැති බවත් ලිපිය තවදුරටත් සඳහන් කරයි.

එමෙන්ම බන්ධනාගාරයේ අධ්‍යක්ෂකගේ අදහස මොකක්ද? “මෙම බන්ධනාගාරයෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය, සිත්ගන්නා මෙන්ම උපකාරවත් එකක්” කියා ඔහු පවසයි. “වරදකරුවන් [සාක්ෂිකරුවන් සමඟ] බයිබලය පාඩම් කරද්දී, ඔවුන්ගේ ජීවිතවලට අලුත් මඟ පෙන්වීමේ බලයක් දෙමින්, ඔවුන්ගේ සාරධර්ම හා ප්‍රමිති වෙනස් වෙනවා. ඔවුන්ගේ හැසිරීම බෙහෙවින් උපායශීලී වන අතර ආචාරසම්පන්නයි. ඔවුන් කිසිම ගැටලුවක් ඇති නොකරන තරම් වූ උත්සාහවන්ත සේවකයන්” බව අධ්‍යක්ෂක පිළිගනියි. අධිකාරීන් විසින් අනුග්‍රහය දක්වමින් කරන එවැනි ප්‍රකාශයන් ඇත්තෙන්ම, වෝවූෆ්හි බන්ධනාගාරයේ සිරකරුවන් සමඟ වැඩ කරන සාක්ෂිකරුවන්ට සතුටක්.

බැහැදැකීමට පැමිණෙන සාක්ෂිකරුවන් යේසුගේ මෙම වචන මුළුමනින්ම අගය කරනවා: “මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති; . . . ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.” (යොහන් 10:14-16) යහපත් බැටළු එඬේරා වන යේසුස් ක්‍රිස්තුස් බැටළු ගුණැති අයව එක්රැස් කිරීම වැළැක්වීමට බන්ධනාගාර බිත්තිවලට පවා නොහැකියි. තමන්ට මේ ප්‍රීතිමත් සේවයේ හවුල් වීමට ලැබී තිබෙන වරප්‍රසාදය ගැන වෝවූෆ්හි සාක්ෂිකරුවන් සතුටු වෙනවා. එමෙන්ම අවසානය එන්න කලින් රාජ්‍යයේ ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වීම සඳහා තවත් බොහෝ ගල් හිත්වලට උපකාර කිරීමේදී දිගටම යෙහෝවාගේ ආශීර්වාදය දෙස ඔවුන් බලා සිටිනවා.—මතෙව් 24:14.

[27වන පිටුවේ කොටුව]

“වැඩිහිටියෙක් වුණත් දරුවෙක්”

“යම් කාලයක් බන්ධනාගාරයේ හිටියට පස්සේ, නිදහසේ ජීවත් වෙනවා නැත්නම් තමන්ගේම වැඩ කටයුතු කරගන්නවා කියන දෙයෙහි අර්ථය සිරකරුවෙකුට බොහෝවිට අමතක වී යන බව” වෝවූෆ් බන්ධනාගාරයේ වැඩ කරන සාක්ෂිකරුවන් නිරීක්ෂණය කරනවා. “ඉඳුරාම අපට සිටින්නේ ‘වැඩිහිටියෙක් වුණත් දරුවෙක්,’ එනම් බන්ධනාගාරයෙන් නිදහස් වී සිටින තමන්ව රැකබලා ගන්නා ආකාරය නොදත් පුද්ගලයෙක්. ඔහුට බයිබල් සත්‍යය උගන්වනවාට වඩා වැඩි දෙයක් සභාවේ කාර්යභාරයට ඇතුළත් වන්නේ ඒ නිසායි. ඔහු මුහුණ දිය හැකි අලුත් අනතුරු හා පරීක්ෂාවන් ගැන ඔහුට අවවාද කරමින් සමාජයේ කොටසක් වීමට ඔහුව සූදානම් කිරීමට අපට සිදු වෙනවා. ඕනෑවට වඩා ආරක්ෂා කරන්න නොයා, ජීවිතය අලුතෙන් පටන්ගන්න අපි ඔහුට උපකාර කළ යුතුයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න