ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 10/1 13-18 පි.
  • යෙහෝවාගේ දයාව අනුකරණය කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාගේ දයාව අනුකරණය කරන්න
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සහෝදරයෙකුගේ කිපීම
  • දෝෂ සහිත තර්ක විතර්ක
  • පියෙකුගේ දයාව
  • අදදින දෙවිගේ දයාව අනුකරණය කිරීම
  • ‘යෙහෝවා, දයාවන්ත සහ කරුණාභරිත දෙවිකෙනෙක්’
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ‘දයාවෙන් පිරුණු’ දෙවි කෙනෙක්
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ඔබේ පියාණන් දයාවන්තයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ දයාව අනුකරණය කරමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 10/1 13-18 පි.

යෙහෝවාගේ දයාව අනුකරණය කරන්න

“ඔබේ පියා දයාවන්තව සිටින්නාක් මෙන්, ඔබත් දිගටම දයාවන්ත වෙමින් සිටින්න.”—ලූක් 6:36, NW.

1. ඵරිසිවරුන් දයා විරහිත බව පෙන්වූයේ කෙසේද?

දෙවිගේ ස්වරූපයට මවා තිබුණත්, ඔහුගේ දයාව අනුකරණය කිරීමට මනුෂ්‍යයා බොහෝවිට අසමත් වෙනවා. (උත්පත්ති 1:27) උදාහරණයකට ඵරිසිවරුන්ව සලකා බලන්න. සබත් දවසේදී, යේසුස් දයාන්විත ලෙස වියළුණු අතක් ඇති මිනිසෙකුව සුව කළ විට, ඔවුන්ට කණ්ඩායමක් වශයෙන් ප්‍රීති වෙන්න බැරි වුණා. ඒ වෙනුවට, “[ඔහුව] නසන්නේ කෙසේදැයි” යේසුස්ට විරුද්ධව ඔවුන් මන්ත්‍රණය කළා. (මතෙව් 12:9-14) තවත් අවස්ථාවක, යේසුස් ජාත්‍යන්ධයෙකුව සුව කළා. නැවත වරක්, යේසුස්ගේ දයානුකම්පාව කෙරෙහි “ඵරිසිවරුන්ගෙන් සමහරෙක්” සතුටු වූයේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් මෙහෙම මැසිවිලි නැඟුවා: “ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු [දෙවි] වෙතින් ආ කෙනෙක් නොවේ.”—යොහන් 9:1-7, 16.

2, 3. “ඵරිසිවරුන්ගේ . . . මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්න” කීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

2 ඵරිසිවරුන්ගේ සිත් පිත් නැති ආකල්පය ගත් කල, එය මනුෂ්‍යත්වයටත් දෙවිටත් එරෙහිව සිදු කළ මහත් අපරාධයක්. (යොහන් 9:39-41) ඒ නිසා, හොඳ හේතු ඇතුව යේසුස් තම ගෝලයන්ට අවවාද කළේ, මේ ප්‍රභූ පැළැන්තියේ සහ අනිත් ලබ්ධිකයන් වූ සද්දුසිවරුන්ගේ “මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්න” කියායි. (මතෙව් 16:6) බයිබලයෙහි මුහුන් පාවිච්චි කරන්නේ, පාපය හෝ දූෂිතභාවය නියෝජනය කිරීමටයි. ඉතින් යේසුස් කියමින් සිටියේ, “ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද” ඉගැන්වීම් නිර්මල නමස්කාරය දූෂිත කළ හැකි බවයි. ඒ කොහොමද? දයාව ඇතුළු “වැදගත් කාරණා” නොසලකා හරිමින්, දෙවිගේ ව්‍යවස්ථාව එහෙම් පිටින්ම ඔවුන්ගේ හිතුවක්කාර නීති සහ වත්පිළිවෙත්වලට සම්බන්ධ කර සලකන්න මිනිසුන්ට ඉගැන්වීමෙනුයි. (මතෙව් 23:23) මේ වත්පිළිවෙත්වලින් පිරි ආගම, දෙවිගේ නමස්කාරය දරාගත නොහැකි බරක් බවට පත් කළා.

3 නාස්තිකාරයා පිළිබඳ යේසුස්ගේ උපමාවේ දෙවන කොටස තුළ, යුදෙව් ආගමික නායකයන්ගේ දූෂිත සිතුවිලි ඔහු අනාවරණය කළා. උපමාවෙහි යෙහෝවාව නියෝජනය කරන පියා, පසුතැවිලි වූ තම පුත්‍රයාට සමාව දෙන්න මහත් ඕනෑකමින් සිටියා. නමුත් ‘ඵරිසිවරුන්ගෙන් සහ ලියන්නන්ගෙන්’ නියෝජනය කළ වැඩිමල් සහෝදරයාට කාරණය ගැන තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් හැඟීමක්.—ලූක් 15:2.

සහෝදරයෙකුගේ කිපීම

4, 5. නාස්තිකාරයාගේ සහෝදරයා “නැතිවී” සිටියේ කිනම් අර්ථයෙන්ද?

4 “ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ළංවූ කල, තූර්යනාදයත් නැටීමත් ඇසී, දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය. ඔහුද: ඔබගේ සහෝදරයා ආවේය; ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින්, තරකළාවූ වස්සා මැරෙව්වේයයි කීවේය. එවිට ඔහු කිපී, ගෙට ඇතුල්වෙන්ට නොකැමති වූයේය.”—ලූක් 15:25-28.

5 පැහැදිලිවම, ගැටලුවක් තිබුණේ යේසුස්ගේ උපමාවේ එන නාස්තිකාරයාට පමණක්ම නෙවෙයි. එක් ආශ්‍රේය කෘතියක් කියන්නේ, “මෙහිදී පුත්‍රයන් දෙදෙනාවම නැති වී ගිය අය හැටියටයි දක්වා ඇත්තේ. එසේ වූයේ, එක් අයෙක් තම අධර්මිෂ්ඨකම හේතුවෙන් පහත වැටීමත්, අනෙකා තම ආත්ම-ධර්මිෂ්ඨකම හේතුවෙන් අන්ධ වීමත් තුළින්ය.” නාස්තිකාරයාගේ සහෝදරයා ප්‍රීතිවීම ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි, නමුත් ඔහු ‘කිපුණු’ බවත් සැලකිල්ලට ගන්න. ‘කිපීම’ සඳහා මුල් ග්‍රීක් වචනය දක්වන්නේ, කෝපයෙන් පුපුරායෑමකට වඩා, දිගටම පවත්නා මානසික තත්වයක්. පෙනෙන විදිහට, නාස්තිකාරයාගේ සහෝදරයා ගැඹුරට මුල් බැසගත් අමනාපයක් පැලපදියම් කරගත්තා; ඒ හේතුවෙන් නිවස කොහෙත්ම හැර නොයා යුතු පුද්ගලයෙක් නැවත හැරී ආ විට ඔහුගේ පැමිණීම සැමරීම සුදුසු නැති බවයි ඔහුට හැඟුණේ.

6. නාස්තිකාරයාගේ සහෝදරයාගෙන් නියෝජනය වන්නේ කව්ද? එමෙන්ම ඒ මන්ද?

6 යේසුස් පව්කාරයන් කෙරෙහි දැක්වූ දයානුකම්පාව සහ අවධානය ගැන අමනාප වුණ අයව නාස්තිකාරයාගේ සහෝදරයාගෙන් හොඳ හැටි නියෝජනය කරනවා. යේසුස්ගේ දයාවෙන් මෙම ආත්ම-ධර්මිෂ්ඨයන්ගේ හදවත් උණු වුණේවත්, පව්කාරයෙකුට සමාව දුන් විට ස්වර්ගයේ නැඟෙන ප්‍රීතිය ඔවුන් පිළිබිඹු කළේවත් නැහැ. ඒ වෙනුවට, යේසුස්ගේ දයාව ඔවුන්ගේ කෝපය ඇවිස්සූ අතර, ඔවුන්ගේ හදවත් තුළ “නපුරු දේ සිතන්න” පටන්ගත්තා. (මතෙව් 9:2-4) ඵරිසිවරුන්ගේ කෝපය කොතරම් තදින් ඇවිස්සුණාද කිව්වොත්, එක් අවස්ථාවක යේසුස් විසින් සුව කළ මිනිසෙකුව කැඳවා සිනගෝගයෙන් ‘අහක් කළා.’ පෙනෙන විදිහට ඔහුව නෙරපුවා! (යොහන් 9:22, 34) “ගෙට ඇතුල්වෙන්ට නොකැමති [වූ]” නාස්තිකාරයාගේ සහෝදරයා වගේ, “ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න” ඔවුන්ට අවස්ථාව තිබෙද්දී, යුදෙව් ආගමික නායකයන් එය එක හෙළාම ප්‍රතික්ෂේප කළා. (රෝම 12:15) උපමාව දිගටම කියාගෙන යද්දී යේසුස් ඔවුන්ගේ දුෂ්ට තර්ක විතර්ක තවදුරටත් අනාවරණය කළා.

දෝෂ සහිත තර්ක විතර්ක

7, 8. (අ) නාස්තිකාරයාගේ සහෝදරයා පුත්‍රකමේ සැබෑ අර්ථය වටහාගෙන නොසිටියේ කිනම් ආකාරයෙන්ද? (ආ) වැඩිමහල් පුත්‍රයා පියා මෙන් නොවූයේ කොහොමද?

7 “එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත්, එන මෙන් ඔහුගෙන් ඉල්ලුවේය. නුමුත් ඔහු උත්තරදෙමින්: මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවයකරමින් සිටිමි, කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙළෙමි. එසේවී නුමුත් මාගේ මිත්‍රයන් සමඟ ප්‍රීතිවෙන්ට ඔබ එළු පැටවෙකුවත් කිසිකලක මට නුදුන්නෙහිය. නුමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමඟ නාස්තිකළාවූ මේ ඔබගේ පුත්‍රයා ආ වේලේ, ඔහු නිසා තරකළ වස්සා මැරුවෙහියයි පියාට කීවේය.”—ලූක් 15:28-30.

8 නාස්තිකාරයාගේ සහෝදරයා පුත්‍රකමේ සැබෑ අර්ථය වටහාගෙන සිටියේ නැති බව ඒ වචනවලින් මනාව පැහැදිලි වුණා. ඔහු තම පියාට සේවය කළේ හරියට, සේවකයෙක් ස්වාමියාට සේවය කරනවා වගෙයි. ඔහු පියාට කීවෙත් ඒ ටිකමයි: “ඔබට සේවය [කළෙමි].” මෙම වැඩිමල් පුත්‍රයා කිසිදාක ගෙදරින් ගියේවත් පියාගේ ආඥාවලට පිටින් ගියේවත් නැති බව ඇත්තයි. නමුත් ඔහුව කීකරුකමට පෙලඹෙව්වේ ප්‍රේමයද? ඔහු තම පියාට සේවය කිරීමෙහි නියම ප්‍රීතියක් සොයාගත්තාද? එහෙම නැත්නම්, ඔහු “කෙතෙහි” වැඩකටයුතු කළ පළියට තමා යහපත් පුත්‍රයෙක්යයි සිතමින්, තමා ගැන ඕනෑවට වඩා සෑහීමට පත් වෙන්න තමාට ඉඩහැර තිබුණාද? ඔහු ඇත්තෙන්ම පක්ෂපාත පුත්‍රයෙක් නම්, තම පියාගේ මනස පිළිබිඹු කරන්න ඔහු අසමත් වුණේ ඇයි? තම සහෝදරයාට දයාව පෙන්වන්න අවස්ථාව ලබා දීලත්, ඔහුගේ හෘදයේ දයානුකම්පාවට ඉඩක් නොතිබුණේ ඇයි?—ගීතාවලිය 50:20-22 සසඳන්න.

9. යුදෙව් ආගමික නායකයන් වැඩිමහල් පුත්‍රයාට සමාන වූ ආකාරය පැහැදිලි කරන්න.

9 යුදෙව් ආගමික නායකයන් මෙම වැඩිමහල් පුත්‍රයාව නියෝජනය කළා. ඔවුන් යම් ව්‍යවස්ථා සංග්‍රහයකට තදින් ඇලී සිටි නිසා, දෙවිට පක්ෂපාතයි කියා ඔවුන් විශ්වාස කළා. කීකරුකම අත්‍යවශ්‍ය බව ඇත්තයි. (1 සාමුවෙල් 15:22) නමුත් ඔවුන් තම ධාර්මික ක්‍රියා ගැන දැක්වූ අධික අවධාරණය, දෙවිගේ නමස්කාරය සැබෑ ආත්මිකත්වයක් නැති, භක්තියේ පිටාතර පෙනුමක් විතරක්ම ඇති, පොතට සීමා වූ එකක් බවට පෙරළුණා. ඔවුන්ගේ මනස් සම්ප්‍රදායන් තුළ ගිලී තිබුණා. ඔවුන්ගේ හදවත්වල ප්‍රේමය තිබුණේ නැහැ. ඇයි, පොදු ජනයාව ඔවුන් සැලකුවේ තම පාද යට තිබෙන කුණු හැටියටයි; පහත් ලෙස පවා සලකමින් ඔවුන්ව ‘ශාප ලද්දන්’ හැටියට යොමු දැක්වූවා. (යොහන් 7:49) ඔවුන්ගේ හදවත් දෙවිගෙන් ඈත්ව තිබෙද්දී, එම නායකයන්ගේ ක්‍රියා වෙත දෙවිගේ සිත ඇදී යන්නේ කොහොමද?—මතෙව් 15:7, 8.

10. (අ) “මම පූජාවට නොව දයාවට කැමැත්තෙමි” යන වචන යෝග්‍ය උපදෙසක් වන්නේ මන්ද? (ආ) දයාවේ ඌනතාව කොතරම් බැරෑරුම් කාරණයක්ද?

10 “මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය . . . ගොස් ඉගෙනගන්න” කියා යේසුස් ඵරිසිවරුන්ට කිව්වා. (මතෙව් 9:13; හොෂෙයා 6:6) ඔවුන්ගේ ප්‍රමුඛතා පටලවාගෙන තිබුණා; මොකද දයාව නැතුව කරන ඔවුන්ගේ පූජාවන්වල කිසිම වටිනාකමක් තිබෙන්න යන්නේ නැහැ. මෙය ඇත්තෙන්ම බැරෑරුම් කාරණයක්; මන්ද බයිබලය කියන්නේ ‘දයා නැත්තන්ව’ දෙවි ‘මරණයට සුදුස්සන්’ ලෙස ගණන් ගන්න යනවා කියලයි. (රෝම 1:31, 32) එමනිසා, කණ්ඩායමක් වශයෙන් ආගමික නායකයන් සදාකාල විනාශයට කැප කර තිබෙන බව කීම, පුදුම වෙන්න දෙයක් නොවෙයි. පැහැදිලිවම, ඔවුන්ගේ දයා විරහිතකම මෙම විනිශ්චය ලැබීමට ඔවුන්ව බොහෝදුරට සුදුස්සන් බවට පත් කළා. (මතෙව් 23:33) නමුත් සමහරවිට මෙම පංතියෙන් සමහරදෙනෙකුට උපකාර ලබා දිය හැකියි. තම උපමාව අවසානයේදී, වැඩිමල් පුත්‍රයාට පියා දුන් උපදෙස් තුළින් එවැනි යුදෙව්වන්ගේ සිතුවිලි යළි සකස් කරන්න යේසුස් උත්සාහ කළා. ඒ කොහොමද කියල අපි බලමු.

පියෙකුගේ දයාව

11, 12. යේසුස්ගේ උපමාවේ එන පියා ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට කාරණා තර්කානුකූලව පැහැදිලි කිරීමට වෑයම් කරන්නේ කෙසේද? එමෙන්ම, පියා විසින් “නුඹේ සහෝදරයා” යන වාක්‍ය ඛණ්ඩය පාවිච්චි කිරීමෙහි කිනම් වැදගත්කමක් තිබිය හැකිද?

11 “ඔහුද: පුත්‍රය, නුඹ නිතරම මා සමඟ සිටිනෙහිය, මා සන්තක සියල්ලද නුඹේය. නුමුත් අප විසින් ප්‍රීති සන්තෝෂවෙන්ට යුතුව තිබුණේය. මක්නිසාද මේ නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටියි; නැතිවී සම්බවීයයි කීයේයයි [කීවේය].”—ලූක් 15:31, 32.

12 “නුඹේ සහෝදරයා” කියන ප්‍රකාශය පියා විසින් පාවිච්චි කළ බව සැලකිල්ලට ගන්න. ඒ ඇයි? කලින් පියාට කතා කරද්දී වැඩිමහල් දරුවා විසින් නාස්තිකාරයාට “මගේ සහෝදරයා” ලෙස නොව, “ඔබගේ පුත්‍රයා” ලෙස ආමන්ත්‍රණය කළ බව මතක් කරගන්න. ඔහු විසින් තමාත් තම සහෝදරයාත් අතර ඇති පවුල් බැඳීම පිළිගන්න බවක් පෙනෙන්න නැහැ. මේ නිසා, පියා දැන් තම වැඩිමහල් දරුවාට කියන්නේ, ‘මේ මගේ පුත්‍රයා විතරක් නෙවෙයි. ඔහු ඔබේ සහෝදරයා, ඔබේම ලේ, මස්, නහර. ඔහුගේ නැවත ඒම ගැන ප්‍රීති වෙන්න ඔබට ඕනෑතරම් හේතු තියෙනවා’ කියායි. යේසුස්ගේ පණිවිඩය, යුදෙව් නායකයන්ට පැහැදිලි විය යුතුව තිබුණා. ඔවුන් නොසලකා හැරි පව්කාරයන්, ඇත්තෙන්ම ඔවුන්ගේ “සහෝදරයෝ.” ඇත්තවශයෙන්ම, “පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.” (දේශනාකාරයා 7:20) එසේනම්, පව්කාරයන් පසුතැවිලි වෙද්දී ප්‍රීති වෙන්න, ප්‍රමුඛ පෙළේ යුදෙව්වන්ට හැම හේතුවක්ම තිබුණා.

13. යේසුස්ගේ උපමාව හදිසියේම අවසන් කිරීමෙන්, ගැඹුරු සැලකිල්ලට භාජන කළ යුතු කිනම් ප්‍රශ්නය ඇසීමට අපට සලස්වයිද?

13 පියාගේ කන්නලව්වෙන් පසුව උපමාව හදිසියේම නවතිනවා. ඒක හරියට, තමන්ට ඕනෙ විදිහට කතාන්තරය අවසන් කරන්න යේසුස් අසා සිටින අයට ආරාධනා කරනවා වගෙයි. වැඩිමහල් පුත්‍රයාගේ ප්‍රතිචාරය කුමක්ව තිබුණත්, එක් එක් ඇහුම්කන් දෙන්නා මත මෙම ප්‍රශ්නය තැබුවා: ‘පව්කාරයෙක් පසුතැවිලි වෙද්දී, ස්වර්ගයේ අය විඳින ප්‍රීතියෙහි ඔබ හවුල් වෙනවාද?’ එම ප්‍රශ්නයට උත්තර දෙන්න අදදින සිටින ක්‍රිස්තියානීන්ටත් ප්‍රස්තාව තිබෙනවා. ඒ කොහොමද?

අදදින දෙවිගේ දයාව අනුකරණය කිරීම

14. (අ) දයාව සම්බන්ධ කාරණාවලදී, එපීස 5:1 සොයාගත හැකි පාවුල්ගේ උපදෙස් අපට අදාළ කරගත හැක්කේ කෙසේද? (ආ) දෙවිගේ දයාව පිළිබඳ කිනම් වරදවා වටහාගැනීමට එරෙහිව අප ආරක්ෂා විය යුතුද?

14 එපීසවරුන්ට පාවුල් මෙහෙම අවවාද කළා: “නුඹලා ප්‍රිය දරුවන්මෙන් [දෙවි] අනුව යන්නෝ වෙන්න.” (එපීස 5:1) මේ අනුව, ක්‍රිස්තියානීන් හැටියට අප දෙවිගේ දයාව සඳහා කෘතඥපූර්වක විය යුතු අතර, අප හද පතුලේ එය පැලපදියම් කර, ඉන්පසු අන් අය සමඟ කටයුතු කරද්දී එය විදහාපෑ යුතුයි. එහෙත්, මෙම අවවාදය සැලකිල්ලට ගත යුතුයි. එනම්, පාපය සුළු කර තැකීම සඳහා දෙවිගේ දයාව ආයුධයක් කර නොගත යුතුයි. උදාහරණයක් හැටියට, ‘මම පවක් කළොත්, දෙවි දයාන්විත හින්දා ඕනෙ වෙලාවක යාච්ඤා කරල මට එයාගෙන් සමාව ඉල්ලගන්න පුළුවන්’ කියා ඇඟට නොදැනී හිතන සමහරෙක් ඉන්න ඉඩ තිබෙනවා. එවැනි ආකල්පයක් දැරීම, බයිබල් ලේඛක යූද් හැඳින්වූ ආකාරයට “අපගේ [දෙවිගේ ලබන්ට නොවටිනා, NW] කරුණාව සල්ලාලකමට [හරවාගැනීමට]” සමානයි. (යූද් 4) යෙහෝවා දයාවන්ත වුණත්, පසුතැවිලි නොවන වරදකරුවන් සමඟ කටයුතු කරද්දී, “කවර ප්‍රකාරයකින්වත් වරදට දඬුවම් නොකර නොසිටින්නේය.”—නික්මයාම 34:7, NW; සසඳන්න යෝෂුවා 24:19; 1 යොහන් 5:16.

15. (අ) විශේෂයෙන්ම වැඩිමහල්ලන් දයාව සම්බන්ධයෙන් සමබර ආකල්පයක් දැරිය යුත්තේ මන්ද? (ආ) හිතුවක්කාර වැරදි රුස්සන්නේ නැති වුණත්, කුමක් කිරීමට වැඩිමහල්ලන් වෑයම් කළ යුතුද? එමෙන්ම, ඒ මන්ද?

15 අනිත් අතට, අප අනික් අන්තයට යෑමට එරෙහිවත් පරෙස්සම් විය යුතුයි. ඒ තමයි, තමන්ගේ පාප ගැන අව්‍යාජ ලෙස පසුතැවිල්ල සහ දේවකැමැත්තේ හැටියට ශෝකවීම පෙන්වන අය කෙරෙහි දැඩි සහ විනිශ්චයමය ආකාරයෙන් ක්‍රියා කිරීමට නැඹුරුවාවක් දැක්වීම. (2 කොරින්ති 7:11) යෙහෝවාගේ බැටළුවන්ව රැකබලා ගැනීමේ කාර්යය වැඩිමහල්ලන්ට භාර දී ඇති නිසා, මේ කාරණා ගැන, විශේෂයෙන්ම විනිශ්චයමය කාරණා ගැන ඔවුන් සමබර දෘෂ්ටියක් ඇතුව සිටීම ඉතා වැදගත්. ක්‍රිස්තියානි සභාව පවිත්‍රව තැබිය යුතු අතර, සභා ඇසුරෙන් කපාහැරීම මගින් එම ‘දුෂ්ටයාව පහ කර දැමීම’ ශුද්ධ ලියවිල්ලට අනුව යෝග්‍යයි. (1 කොරින්ති 5:11-13) මේ අතර, පැහැදිලි පදනමක් තිබෙන විට, දයාව දැක්වීම හොඳයි. වැඩිමහල්ලන් හිතුවක්කාර වැරදි රුස්සන්නේ නැති වුණත්, යුක්තියේ සීමා තුළ ප්‍රේමයේ සහ දයාවේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න දැඩි වෑයමක් දරනවා. ඔවුන් සෑමවිටම මෙම බයිබල් ප්‍රතිපත්තිය ගැන සාවධානව සිටිනවා: “දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.”—යාකොබ් 2:13; හිතෝපදේශ 19:17; මතෙව් 5:7.

16. (අ) බයිබලය පාවිච්චි කරමින්, වරදකරුවන් නැවත තමා වෙත එනවාට යෙහෝවා සැබවින්ම කැමති වන්නේ කෙසේද කියා පෙන්වන්න. (ආ) පසුතැවිලි වූ පව්කාරයෙකුගේ හැරී ඒම අපටත් සාදරයෙන් පිළිගත හැකි බව අපට නිරූපණය කළ හැක්කේ කෙසේද?

16 වරදකරුවන් තමන් වෙත නැවත එනවාට යෙහෝවා ආශා කරන බව නාස්තිකාරයාගේ උපමාව පැහැදිලි කරනවා. ඇත්තෙන්ම, ඔවුන් කොහෙත්ම ගොඩගන්නම බැරි තත්වයට පත් වන තුරුම ඔහු එම ආරාධනය ඉදිරිපත් කරනවා. (එසකියෙල් 33:11; මලාකී 3:7; රෝම 2:4, 5; 2 පේතෘස් 3:9) නාස්තිකාරයාගේ පියා මෙන්, නැවත පැමිණෙන අයට යෙහෝවා ගෞරවයෙන් සලකනවා; එමෙන්ම සම්පූර්ණ අයිතිවාසිකම් ඇති පවුල් සාමාජිකයන් හැටියට යළිත් පිළිගන්නවා. මෙම කාරණය සම්බන්ධයෙන් ඔබ යෙහෝවාව අනුකරණය කරනවාද? කලකට සභා ඇසුරෙන් කපාහැර තිබූ සෙසු ඇදහිලිවන්තයෙක්ව යළි පිහිටෙව්වොත්, ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? “ස්වර්ගයෙහි ප්‍රීතිය” ඇති බව අප දැනටමත් දන්නවා. (ලූක් 15:7) නමුත් පොළොවෙහි ප්‍රීතිය පවතිනවාද? ඔබේ සභාව තුළ, ඔබේම හෘදය තුළ පවා ප්‍රීතිය පවතිනවාද? එහෙම නැත්නම්, උපමාවේ එන වැඩිමහල් පුත්‍රයා මෙන්, දෙවිගේ රැළ කොහෙත්ම හැර නොයා යුතු පුද්ගලයෙකුට කිසිම පිළිගැනීමක් සුදුසු නැතැයි සිතමින් යම් ආකාරයක අමනාපයක් දක්වනවාද?

17. (අ) මුල් සියවසේ කොරින්තියේ කිනම් තත්වයක් පැනනැඟුණාද? එමෙන්ම, කාරණය හසුරුවන්න පාවුල් සභාවට උපදෙස් දුන්නේ කෙසේද? (ආ) පාවුල්ගේ අනුශාසනාව ප්‍රායෝගික වූයේ මන්ද? එමෙන්ම, එය අදදින අපට අදාළ කරගත හැක්කේ කෙසේද? (දකුණින් ඇති කොටුවත් බලන්න.)

17 මේ කාරණය සම්බන්ධයෙන් අපවම පරීක්ෂා කර බැලීමට උපකාර කිරීම සඳහා, පො.යු. 55දී පමණ කොරින්තියේදී සිදු වුණේ කුමක්ද කියා සලකා බලන්න. සභාවෙන් නෙරපා අන්තිමේදී සදාචාරමය ලෙස තමන්ව පවිත්‍ර කරගත් මිනිසෙක් එහි සිටියා. සහෝදරයන් විසින් කළ යුතුව තිබුණේ කුමක්ද? ඔහුගේ පසුතැවිල්ල සැකයට භාජන කරමින්, ඔහුව දිගටම ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණාද? ඊට පටහැනිව, පාවුල් කොරින්තිවරුන්ගෙන් උදක්ම මෙසේ ඉල්ලා සිටියා: “එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය. එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.” (2 කොරින්ති 2:7, 8) පසුතැවිලි වූ වැරදිකරුවන් බොහෝවිට, ගෞරවය හීනවීමේ සහ අපේක්ෂා භංගත්වයේ හැඟීම්වලට විශේෂයෙන්ම නිරාවරණය වෙලයි ඉන්නේ. මේ හේතුවෙන්, ඔවුන්ගේ සෙසු ඇදහිලිවන්තයන් සහ යෙහෝවා ඔවුන්ට ප්‍රේම කරන බව මේ අයට යළි තහවුරු කිරීම අවශ්‍යයි. (යෙරෙමියා 31:3; රෝම 1:12) මෙය අත්‍යවශ්‍යයි. ඒ ඇයි?

18, 19. (අ) කොරින්තිවරුන් මුලින්ම ඕනෑවට වඩා බුරුලක් දුන් බව පෙන්වූයේ කොහොමද? (ආ) දයා විරහිත ආකල්පයක් දැක්වූවා නම්, කොරින්තියේ සිටි අයව ‘සාතන් විසින් වාසි ලබන’ තත්වයකට පත් කළ හැක්කේ කෙසේද?

18 සමාව දීමෙහි නිරත වන්න කියා කොරින්තිවරුන්ට අවවාද කරද්දී, පාවුල් එක් හේතුවක් මෙහෙම විස්තර කළා: “සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිස, . . . ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.” (2 කොරින්ති 2:10, 11) ඔහු අදහස් කළේ කුමක්ද? කොරින්තියේ සභාව ඕනෑවට වඩා බුරුලක් දී තිබූ නිසා ඔවුන්ව හික්මවන්න මීට කලින් පාවුල්ට සිදු වුණා. ඔවුන් මේ මිනිසාටම කිසි දඬුවමක් නොවිඳ තමාගේ පාපයේ යෙදී සිටින්න ඉඩ දී තිබුණා. එසේ කිරීමෙන්, සාතන්, සභාව විශේෂයෙන්ම එහි වැඩිමහල්ලන්ව තම ග්‍රහණයට හසු කරමිනුයි සිටියේ. එලෙස, සභාව අපකීර්තිමත් තත්වයකට පත් වෙනවා දකින්න සාතන් මහත් කැමැත්තක් දක්වන්න ඇති—1 කොරින්ති 5:1-5.

19 වැඩිමහල්ලන් දැන් අනිත් අන්තයට ගසාගෙන ගොස්, පසුතැවිලි වන අයට සමාව දීම ප්‍රතික්ෂේප කළා නම්, වෙනත් පැත්තකින් සාතන් ඔවුන්ගෙන් වාසි ලබාගන්න යනවා. ඒ කොහොමද? එසේ වීමෙන්, ඔවුන්ගේ රළුවීම සහ දයා විරහිත වීම මගින් ප්‍රයෝජන ගන්න ඔහුට හැකියි. පසුතැවිලි වූ පව්කාරයා “අධික ශෝකයෙහි ගිලී නැති” වුණොත්, එහෙම නැත්නම්, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන් දක්වන ආකාරයට, “සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තරම් අධික සේ දුක්” වුණොත්, යෙහෝවා ඉදිරියේ වැඩිමහල්ලන්ට මොනතරම් බරපතළ වගකීමක් දරන්න සිදු වේවිද! (එසකියෙල් 34:6; යාකොබ් 3:1 සසඳන්න.) “මේ කුඩා අය ගෙන් එක්කෙනෙකු” හෝ පැකිළවීමට විරුද්ධව තම අනුගාමිකයන්ට අවවාද කළාට පසු, “නුඹලා ප්‍රවේසම්වෙන්න. නුඹේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටුකරන්න; ඔහු පසුතැවිලිවේ නම් ඔහුට කමාවෙන්න” කියා යේසුස් කිව්වේ හොඳ හේතු ඇතුවයි.a—ලූක් 17:1-4, ඇල අකුරු අපේය.

20. පව්කාරයෙක් පසුතැවිලි වන විටදී, ස්වර්ගයෙත් පොළොවෙත් ප්‍රීතිය තිබෙන්නේ කිනම් ආකාරයෙන්ද?

20 සෑම අවුරුද්දකම, නිර්මල නමස්කාරය වෙත නැවත ඇදෙන දහස් ගණන් අය, තමන් වෙත යෙහෝවා ඉදිරිපත් කර ඇති දයාව සම්බන්ධයෙන් කෘතඥපූර්වක වෙනවා. එක්තරා ක්‍රිස්තියානි සහෝදරියක් තමාව යළි පිහිටුවීම ගැන කියන්නේ, “මගේ ජීවිතයේ යමක් ගැන මෙච්චරටම සතුටු වෙච්ච දවසක් ගැන නම් මට මතක නැහැ” කියායි. ඇත්තවශයෙන්ම, ඇගේ ප්‍රීතිය දේවදූතයන් අතරෙත් රැව් පිළිරැව් දෙනවා. පව්කාරයෙක් පසුතැවිලි වන විට අද්දකින ‘ස්වර්ගීය ප්‍රීතියට’ අපිත් හවුල් වෙමු. (ලූක් 15:7) එසේ කිරීමෙන්, අප යෙහෝවාගේ දයාව අනුකරණය කරන්න යනවා.

[පාදසටහන]

a කොරින්තියේ සිටි වැරදිකරුවාව සාපේක්ෂ වශයෙන් කෙටි කාලයකදී යළි පිහිටෙවූ බව පෙනී ගියත්, එය සියලුම සභා ඇසුරෙන් කපාහැරීම් සඳහා සම්මතය ලෙස භාවිත නොකළ යුතුයි. තත්වයන් එකකට එකක් වෙනස්. සමහර වැරදිකරුවන් නෙරපූ සැණින්ම අව්‍යාජ පසුතැවිල්ලක් විදහාපාන්න පටන්ගන්නවා. එවැනි ආකල්පයක් පෙන්වන්න, වෙනත් අයට යම් කාලයක් ගත වෙනවා. කොහොමවුණත්, තත්වය කුමක් වුවත්, යළි පිහිටෙවූ අය විසින් දේවකැමැත්තේ හැටියට ශෝකවීම පෙන්විය යුතු අතර, හැකි සෑමවිටම පසුතැවිල්ලට සුදුසු ක්‍රියා පිළිබිඹු කළ යුතුයි.—ක්‍රියා 26:20; 2 කොරින්ති 7:11.

පුනරීක්ෂණය

◻ නාස්තිකාරයාගේ සහෝදරයා යුදෙව් ආගමික නායකයන්ට සමාන වුණේ කිනම් ආකාරයෙන්ද?

◻ නාස්තිකාරයාගේ සහෝදරයා පුත්‍රකමේ නියම අර්ථය වටහා නොගත්තේ කොයි ආකාරවලින්ද?

◻ දෙවිගේ දයාව ගැන කල්පනා කර බලද්දී, කිනම් අන්ත දෙකෙන් අප වැළකී සිටිය යුතුද?

◻ අදදින අපට දෙවිගේ දයාව අනුකරණය කළ හැක්කේ කෙසේද?

[17වන පිටුවේ කොටුව]

‘ඔහු කෙරෙහි තිබෙන ඔබේ ප්‍රේමය ස්ථිර කරන්න’

පසුතැවිල්ල විදහාපෑ නෙරපූ වරදකරු සම්බන්ධයෙන් පාවුල් කොරින්ති සභාවට කිව්වේ මෙහෙමයි: ‘ඔහු කෙරෙහි තිබෙන ඔබේ ප්‍රේමය ස්ථිර කරන මෙන් ඔබෙන් ඉල්ලමි.’ (2 කොරින්ති 2:8) “ස්ථිර කරන්න” කියා පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය නීතික පදයක් වන අතර, එහි අර්ථය නම් “වලංගු කිරීමයි.” ඔව්, පසුතැවිලි වී යළි පිහිටෙවූ අයට, අනිත් අය තමන්ට ප්‍රේම කරන බවත් තමන්ව නැවතත් සභාවේ සාමාජිකයන් හැටියට පිළිගෙන තිබෙන බවත් දැනෙන්න අවශ්‍යයි.

කොහොමවුණත්, කෙනෙක්ව නෙරපීමට හෝ ඔහුව යළි පිහිටුවීමට හේතු වූ කාරණා, සභාවේ බොහෝදෙනෙක් දන්නේ නැති බව අප මතක තබාගත යුතුයි. ඊට අමතරව, පසුතැවිලි වූ අයගේ වැරැද්ද හේතුවෙන් පෞද්ගලිකවම බලපෑමට ලක් වූ හෝ දුක් විඳින, සමහරවිට දිගුකාලීන ප්‍රතිවිපාක අද්දකින ඇතැම් අය සභාවේ සිටිනවා විය හැකියි. එමනිසා, එවැනි කාරණා ගැන තියුණු ලෙස සංවේදී විය යුතුයි; එබැවින් යළි පිහිටුවීම සම්බන්ධ නිවේදනයක් කළ විට, එසේ කළ තැනැත්තාව ප්‍රසිද්ධියේ පිළිගන්නවා වෙනුවට පෞද්ගලිකව එසේ කිරීමට අප වගබලා යුතුයි.

තමන්ව ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් හැටියට යළිත් පිළිගත් බව දැනගැනීම, යළි පිහිටෙවූ අය සඳහා මොනතරම් ඇදහිල්ල-ශක්තිමත් කරවන්නක්ද! රාජ්‍ය ශාලාවේදී, දේවසේවයේදී සහ වෙනත් සුදුසු අවස්ථාවන්හිදී පසුතැවිලි වූ එවැනි අය සමඟ කතාබහ කිරීමෙන් සහ ඔවුන්ගේ ආශ්‍රය භුක්ති විඳීමෙන් ඔවුන්ව ධෛර්යය ගන්වන්න අපට හැකියි. මෙම හිතවතුන්ට අපේ ප්‍රේමය ස්ථිර කිරීම හෝ වලංගු කිරීම, ඔවුන් කළ පාපවල බරපතළකම අප කොයි අන්දමකින්වත් සුළු කිරීමක් නොවේ. ඒ වෙනුවට, ඔවුන් පාපතර මාර්ග ප්‍රතික්ෂේප කර යෙහෝවා වෙත නැවත පැමිණ තිබෙන නිසා, ඒ ගැන ස්වර්ගීය සමූහයා සමඟ අප ප්‍රීති වෙනවා.—ලූක් 15:7.

[15වන පිටුවේ පින්තූරය]

තම සහෝදරයාගේ හැරී ඒම ගැන ප්‍රීතිවීම වැඩිමලා ප්‍රතික්ෂේප කළා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න