“මහත් ඕනෑකමින් යුතුව” බලාසිටීම
“මැවිල්ල දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම මහත් ඕනෑකමින් යුතුව බලා සිටියි.”—රෝම 8:19, NW.
1. අදදින සිටින ක්‍රිස්තියානීන් හා පළවන ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් අතර පවතින සමානතා මොනවාද?
අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ව නිදර්ශනය වෙයි. එදා සිටි යෙහෝවාගේ සේවකයන්ට මෙසියස් පෙනී සිටින්න යන්නේ කවදාද යන්න හඳුනාගැනීමට එක් අනාවැකියක් උපකාරවත් වුණා. (දානියෙල් 9:24-26) එම අනාවැකියම යෙරුසලමේ විනාශය කලින් පුරෝකථනය කළ නුමුදු, එම නගරය විනාශ වනු ඇත්තේ කවදාද යන්න ක්‍රිස්තියානීන්ට කලින් දැනගැනීමට අවශ්‍ය තරම් කරුණු එහි අන්තර්ගත වූයේ නැහැ. (දානියෙල් 9:26ආ, 27) එයාකාරයටම, 19වන ශතවර්ෂයේ සිටි අවංක බයිබල් ශිෂ්‍යයන්ට ඕනෑකමින් යුතුව බලා සිටීමට එක් අනාවැකියක් උපකාරයක් වුණා. එය දිව්‍ය මැදිහත් වීමක් සේ සැලකිය හැකියි. දානියෙල් 4:25හි ඇති “කාලවල් සත” ‘අන්‍යජාතීන්ගේ කාලවලට’ සම්බන්ධ කිරීමෙන් ක්‍රිස්තුස්ට 1914දී රාජ්‍ය බලය ලැබෙයි කියා ඔවුන් අපේක්ෂා කළා. (ලූක් 21:24; එසකියෙල් 21:25-27) දානියෙල් පොතෙහි අනාවැකි රැසක් පැවතියත්, සාතන්ගේ මුළු දේවල පිළිවෙළම විනාශ කරනු ලබන්නේ කවදාද යන්න ගණනය කිරීමට මෙයින් එකක්වත් වත්මන් දින බයිබල් ශිෂ්‍යයන්ට උපකාර වෙන්නේ නැහැ. (දානියෙල් 2:31-44, 45ආ; 8:23-25; 11:36, 44, 45) කොහොම වුණත්, මෙය ඉක්මනින් සිදු වෙනවා; මන්දයත් අප ජීවත් වන්නේ ‘අන්තිම කාලයෙයි.’—දානියෙල් 12:4.a
ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේදී විමසිලිමත්ව සිටීම
2, 3. (අ) රාජකීය බලයෙන් යුක්තව සිටින ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේ කාලයේ අප ජීවත් වන බවට තිබෙන ප්‍රබලතම සාක්ෂිය කුමක්ද? (ආ) ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේ කාලය තුළදී පවා ක්‍රිස්තියානීන් විමසිලිමත්ව සිටිය යුතු බව අඟවන්නේ කුමකින්ද?
2 ක්‍රිස්තුස්ට 1914දී රාජ්‍ය බලය ප්‍රදානය කිරීමට පෙර, අනාවැකියක් මගින් ක්‍රිස්තියානීන්ව යම් බලා සිටීමේ තත්වයකට පත් කළ බව ඇත්තයි. නමුත් තම පැමිණ සිටීම හා දේවල පිළිවෙළේ නිමාව සම්බන්ධයෙන් ක්‍රිස්තුස් දුන් “ලකුණ” තුළ සිදුවීම් විශේෂ කොට දක්වා තිබුණා. තවද මෙයින් බොහොමයක්ම දැකිය හැකි වනු ඇත්තේ ඔහුගේ පැමිණ සිටීම පටන්ගත්තායින් පසුවයි. යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා, වසංගත, වැඩි වූ නොපනත්කම, ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම හා රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලු ජාතීන්ට ලොව වටා දේශනා කිරීම එම සිදුවීම්වලට අයත් වෙයි. ඒවා රාජකීය බලයෙන් යුත් ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම තුළ අප දැන් ජීවත් වන බවට වූ ප්‍රබලතම සාක්ෂියයි.—මතෙව් 24:3-14, NW; ලූක් 21:10, 11.
3 තම වෙන්වීමේදී යේසුස් තම ගෝලයන්ට දුන් උපදේශයේ ගැබ් වූ අදහස වූයේ: “දිගටම බලා සිටිමින්, අවදිව ඉඳ . . . විමසිලිමත්ව සිටින්න” යන්නයි. (මාර්ක් 13:33, 37, NW; ලූක් 21:36) විමසිලිමත්ව සිටීමට වූ මෙම ප්‍රබල උනන්දු කිරීම්වල අවට පාඨ සම්බන්ධය අප පරෙස්සමින් කියවා බැලුවොත්, ක්‍රිස්තුස් මූලික වශයෙන් කතා කරමින් සිටියේ, තම පැමිණ සිටීමේ ආරම්භය පිළිබඳ ලකුණ ගැන විමසිලිමත්ව සිටීම සම්බන්ධයෙන් නෙවෙයි කියන එක අපට තේරෙනවා. ඒ වෙනුවට, තම පැමිණ සිටීම තුළදී අවදිව සිටීමට ඔහු තම සැබෑ ගෝලයන්ට ආඥා කරමින් සිටියා. කුමක් ගැනද සැබෑ ක්‍රිස්තියානීන් අවදිව සිටිය යුත්තේ?
4. යේසුස් දුන් ලකුණින් ඉටු කරනු ඇති අරමුණ කුමක්ද?
4 යේසුස් තම ප්‍රබල අනාවැකිය ඉදිරිපත් කළේ මෙම ප්‍රශ්නයට උත්තරයක් වශයෙනි: “මෙම දේවල් [යුදෙව් දේවල පිළිවෙළේ විනාශයට මඟ පාදන සිදුවීම්] සිදු වනු ඇත්තේ කවදාද, තවද ඔබගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද?” (මතෙව් 24:3, NW) පුරෝකථනය කළ ලකුණ ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම හඳුනාගැනීමට උපකාර කරනවා පමණක් නොව, නමුත් වත්මන් දුෂ්ට දේවල පිළිවෙළේ නිමාවට තුඩු දෙන සිදුවීම්ද හඳුනාගැනීමට උපකාර කරනවා.
5. ආත්මික ආකාරයෙන් පැමිණ සිටියත් තමා ‘පැමිණෙන’ බව යේසුස් පෙන්නුම් කළේ කොහොමද?
5 යේසුස් තමන්ගේ “පැමිණ සිටීම” (ග්‍රීක්, පරූසියා) තුළදී, බලයෙන් හා තේජසින් යුක්තව පැමිණෙන බව පෙන්නුම් කළා. එවන් ‘පැමිණීමක්’ (එර්කොමායි යන ග්‍රීක වචනයේ ස්වරූපවලින් දැක්වේ) ගැන ඔහු මෙසේ පැවසුවා: “එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය; ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුළු පිට පැමිණෙනවා දකින්නෝය. . . . අත්තික්කා ගහේ උපමාවෙන් ඉගෙනගන්න. එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව ඔබ දන්නේය. එසේම ඔබ මේ සියල්ල දකින කල, ඔහු දොරටු සමීපයෙහිම බවත් දැනගන්න. . . . එබැවින් විමසිලිමත්ව සිටින්න. මක්නිසාද ඔබගේ ස්වාමියා කොයි දවසේ පැමිණෙන්නේදැයි ඔබ දන්නේ නැත . . . ඔබත් සෑදී සිටින්න. මක්නිසාද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන්නේය.”—මතෙව් 24:30, 32, 33, 42, 44, NW.
යේසුස් ක්‍රිස්තුස් පැමිණෙන්නේ ඇයි?
6. ‘මහා බබිලෝනියේ’ විනාශය හටගනු ඇත්තේ කොහොමද?
6 වර්ෂ 1914 සිට රජ හැටියට පෙනී සිටියත්, තමා දුෂ්ටයන්යයි සොයාගනු ලබන අයට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කරන්න පෙර, පළමුවෙන් ඔහු සමාජ පිළිවෙත් හා පුද්ගලයන්ව විනිශ්චය කළ යුතුයි. (2 කොරින්ති 5:10 සසඳන්න.) බොරු ආගමේ අධිරාජ්‍යය වූ “මහා බබිලෝනිය” විනාශ කිරීමේ අදහස යෙහෝවා ඉක්මනින්ම දේශපාලනඥයන්ගේ මනස්වලට දමයි. (එළිදරව් 17:4, 5, 16, 17) ‘මහා බබිලෝනියේ’ ප්‍රමුඛ පෙළේ කොටසක් වන්නාවූ ‘නොපනත්කමේ මනුෂ්‍යයා’ එනම්, ක්‍රිස්තියානි ලෝකයේ ඇදහිල්ල අත්හළ පූජක පක්ෂය යේසුස් ක්‍රිස්තුස් විනාශ කිරීමට යන බව ප්‍රේරිත පාවුල් නිශ්චිතවම පෙන්නුම් කළා. පාවුල් මෙසේ ලිව්වා: ‘එවිට නොපනත්කම් කරන්නා එළිදරව් වන්නේය. ස්වාමි වූ යේසුස් තමන්ගේ මුඛයේ හුස්මෙන් ඔහු නසා, තමන්ගේ ඊමේ [පැමිණ සිටීමේ, NW] ප්‍රකාශ වීමෙන් නාස්ති කරන්නේය.’—2 තෙසලෝනික 2:3, 8.
7. මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය තේජසින් එන කල, ඔහු කරන්න යන්නේ කුමන විනිශ්චයක්ද?
7 නුදුරු අනාගතයේදී, පොළොව මත සිටින තම සහෝදරයන් සමඟ ක්‍රියා කර ඇති ආකාරය පදනම් කරගෙන ක්‍රිස්තුස් ජාතීන්ට අයත් මිනිසුන්ව විනිශ්චය කරන්න යනවා. අපට මෙසේ කියවන්න තිබෙනවා: ‘මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳින්නේය. එවිට සියලු ජාතීහු ඔහු ඉදිරියට රැස් කරනු ලබන්නෝය. ඔහු එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔවුන් වෙන් කොට, බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවන්නේය. . . . එවිට රජ්ජුරුවෝ [බැටළුවන්ට] උත්තර දෙමින්: සැබවක් නුඹලාට කියමි—මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියන්නේය. . . . [එළුවන්] සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝය.’—මතෙව් 25:31-46.
8. ක්‍රිස්තුස් අභක්තිකයන්ට විනිශ්චය ප්‍රකාශ කිරීමට යන ආකාරය පාවුල් විස්තර කරන්නේ කොහොමද?
8 බැටළුවන් සහ එළුවන්ගේ උපමාවෙන් පෙන්නුම් කොට ඇති පරිදි, යේසුස් සියලු අභක්තිකයන්ට අවසාන විනිශ්චය පමුණුවයි. ‘කුමක් හෙයින්ද ස්වාමි වූ යේසුස් තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව් වී, දෙවිව නාඳුනන්නන්ටත් අපගේ ස්වාමි වූ යේසුස්ගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල, . . . නුඹලාට අප සමඟ සහනය දීම දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ වූ කාරණයක්ය. ඒ දවසේදී ස්වාමීන් තමන් ශුද්ධවන්තයන් තුළ මහිමය ලබන්ටත් අපේ සාක්ෂිය අදහාගත් නුඹලා සමඟ අදහාගත් සියල්ලන් තුළ මවිත ලෙස පෙනෙන්ටත් එන කල්හි, ඒ තැනැත්තෝ ඔහුගේ අභිමුඛයෙන්ද ඔහුගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය’ කියා දුක් විඳින සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේරිත පාවුල් සහතික කළා. (2 තෙසලෝනික 1:6-10) මෙවැනි උද්‍යෝගය දනවන සිදුවීම් අප ඉදිරියේ තිබෙද්දී, අපත් ඇදහිල්ල ක්‍රියාවට නංවා ක්‍රිස්තුස්ගේ පැමිණීම සිදු වන තුරු අවදියෙන් සිටිය යුතු නැද්ද?
ක්‍රිස්තුස්ගේ එළිදරව් වීම දෙස මහත් ඕනෑකමින් යුතුව බලා සිටීම
9, 10. පොළොවේ සිටින ආලේප ලත් අය යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් වීම මහත් ඕනෑකමින් යුතුව බලා සිටින්නේ ඇයි?
9 ‘ස්වාමි වූ යේසුස් . . . ස්වර්ගයෙන් එළිදරව් වීම’ දුෂ්ටයන්ට විනාශය ගෙනෙනවා පමණක් නොව නමුත් ධර්මිෂ්ඨයන්ට විපාකයත් ගෙන ඒවි. පොළොව මත තවමත් ඉතුරුව සිටින ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන් ක්‍රිස්තුස්ගේ එළිදරව් වීම පැමිණෙන තුරු දුක් විඳීමට ඉඩ ඇතත්, තම තේජවත් වූ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන ඔවුන් ප්‍රීතිමත් වෙනවා. ප්‍රේරිත පේතෘස් ආලේප ලත් ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා: “[ක්‍රිස්තුස්ගේ] තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස [ඔහුගේ] දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.”—1 පේතෘස් 4:13.
10 ක්‍රිස්තුස් “ඔහු තුළට තමන්ව රැස් කරන” තුරු ඇදහිලිවන්තව සිටීමට ආලේප ලත් අය අධිෂ්ඨාන කරගෙන ඇති අතර, එසේ සිටින්නේ “ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් [ක්‍රිස්තුස්ගේ] එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.” (2 තෙසලෝනික 2:1, NW; 1 පේතෘස් 1:7) එවැනි ඇදහිලිවන්ත ආත්මයෙන් උත්පාදිත ක්‍රිස්තියානීන් ගැන මෙවැන්නක් පැවසිය හැකිය: ‘ක්‍රිස්තුස්ගේ සාක්ෂිය නුඹලා තුළ ස්ථිර වූ ලෙසම, . . . නුඹලා කිසි දීමනාවකින් අඩු නොව අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් වීම [මහත් ඕනෑකමින්, NW] බලා සිටින්නහුය.’—1 කොරින්ති 1:5, 7.
11. යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් වීම බලා සිටින අතරතුරේදී, ආලේප ලත් ක්‍රිස්තියානීන් කරන්නේ කුමක්ද?
11 මෙසේ ලිවූ පාවුල්ගේ හැඟීමම ආලේප ලත් අයටද තිබේ: “මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමානකරනු ලබන්ට නොවටීයයි සිතමි.” (රෝම 8:18) ඔවුන්ගේ ඇදහිල්ල පවත්වාගැනීම සඳහා කාල ගණනය අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් යෙහෝවාගේ සේවය තුළ කාර්ය බහුලව සිටින අතර, එමගින් තම සහකාරයන් වන ‘වෙනත් බැටළුවන්ට’ කදිම ආදර්ශයක්ද සපයමින් සිටියි. (යොහන් 10:16) මෙම ආලේප ලත් අය දුෂ්ට පිළිවෙළේ අවසානය ළඟ බව දන්නා අතර, ඔවුන් පේතෘස්ගේ මෙම ප්‍රබල අවවාදය පිළිගනියි: “නුඹලාගේ සිත් නැමති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් [ක්‍රිස්තුස්ගේ] එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.”—1 පේතෘස් 1:13.
‘මැවිල්ලේ මහත් ඕනෑකම’
12, 13. මනුෂ්‍ය මැවිල්ල “නිෂ්ඵල භාවයට යටත්” වුණේ කොහොමද? තවද වෙනත් බැටළුවන් මහත් ආශාවකින් යුතුව බලා සිටින්නේ කුමක් දෙසද?
12 මහත් ඕනෑකමින් යුතුව බලා සිටීමට යමක් වෙනත් බැටළුවන්ටත් තිබෙනවාද? සහතිකවම, ඔව්. ආත්මයෙන් උත්පාදනය ලත් ‘පුත්‍රයන්’ මෙන්ම “[ක්‍රිස්තුස්] හා සමඟ හවුල් උරුමක්කාරයෝ” හැටියට ස්වර්ගීය රාජ්‍යයේ පාලනය කරනු ඇති යෙහෝවා විසින් හදාගැනීමට ගත් අයගේ තේජාන්විත බලාපොරොත්තුව ගැන කතා කිරීමෙන් පසු, පාවුල් මෙසේ පැවසුවා: ‘මැවිල්ල දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම [මහත් ඕනෑකමින් යුතුව, NW] බලා සිටියි. මක්නිසාද මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරන ලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස් වී, දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත් කළාවූ තැනැත්තා නිසාය.’—රෝම 8:14-21; 2 තිමෝති 2:10-12.
13 ආදම්ගේ පාපය හේතුවෙන්, ඔහුගේ සියලු පැවතෙන්නන් “නිෂ්ඵල භාවයට යටත්” වූ අතර, එනයින් පාපයේ හා මරණයේ වහල්භාවය යටතේ ඉපදුණා. ඔවුන්ට එවැනි වහල්භාවයකින් තමන්වම මුදවාගැනීමට නොහැකි වී තිබෙනවා. (ගීතාවලිය 49:8; රෝම 5:12, 20) වෙනත් බැටළුවන් ‘ජරාවේ වහල්කමින් නිදහස’ ලබන්න මොනතරම් කැමතිද! නමුත් එය සිදුවීමට පෙර, යෙහෝවාගේ කාලයන් හා ප්‍රස්තාවන්ට අනුව යම් යම් දේවල් සිදු විය යුතුයි.
14. ‘දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීමට’ අයත් වනු ඇත්තේ මොනවාද? තවද මනුෂ්‍යවර්ගයාව ‘ජරාවේ වහල්කමින් නිදහස් කිරීම’ ප්‍රතිඵලය වනු ඇත්තේ කොහොමද?
14 ‘දෙවිගේ [ආලේප ලත්] පුත්‍රයන්ගේ’ ඉතිරි කොටස පළමුවෙන්ම “එළිදරව්” විය යුතුයි. මෙයට ඇතුළත් වන්නේ කුමක්ද? දෙවිගේ නියමිත කාලයේදී, ආලේප ලත් අයව අන්තිම වශයෙන් “මුද්‍රාකර” ක්‍රිස්තුස් සමඟ පාලනය කිරීමට මහිමවත් කොට ඇති බව වෙනත් බැටළුවන්ට පැහැදිලි වනු ඇති. (එළිදරව් 7:2-4) ‘දෙවිගේ’ නැවත නැඟිටුවනු ලැබූ “පුත්‍රයන්,” සාතන්ගේ දුෂ්ට දේවල පිළිවෙළ විනාශ කිරීමට ක්‍රිස්තුස් සමඟ හවුල් වන විටද, ඔවුන්ව “එළිදරව්” වේ. (එළිදරව් 2:26, 27; 19:14, 15) ඉන්පසු ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී, යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ ප්‍රයෝජන මනුෂ්‍ය “මැවිල්ල” අතරේ බෙදා දීම සඳහා ඔවුන්ව පූජකමය මාධ්‍යයන් හැටියට තවදුරටත් “එළිදරව්” වෙන්න යනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ මිනිසාව ‘ජරාවේ වහල්කමින් නිදහස් කිරීම’ හා අන්තිමේදී ‘දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට’ පැමිණවීමයි. (රෝම 8:21; එළිදරව් 20:5; 22:1, 2) එවැනි පුදුමාකාර බලාපොරොත්තු ඇතුව, වෙනත් බැටළුවන් “දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම මහත් ඕනෑකමින් යුතුව බලා” සිටින එක පුදුමයක්ද?—රෝම 8:19, NW.
යෙහෝවාගේ ඉවසීමෙන් අර්ථවත් වන්නේ ගැළවීමයි
15. යෙහෝවා සිදුවීම් ඉටු කරන වේලාවන් ගැන අප කිසිවිටෙකත් අමතක නොකළ යුත්තේ කුමක්ද?
15 යෙහෝවා ශ්‍රේෂ්ඨ කාලගණිතයා වෙයි. ඔහුගේ සිදුවීම් ඉටු කිරීමට යන නිශ්චිත කාලයන් නොවරදින ඒවා බව ඔප්පු වෙයි. අප සිතූ ආකාරයට දේවල් සිදු නොවන වග අපට පෙනෙන්න පුළුවන්. කොහොම වුණත්, දෙවිගේ සියලුම පොරොන්දු ඉටු වන බවට පූර්ණ ඇදහිල්ලක් තබාගන්න පුළුවන්. (යෝෂුවා 23:14) බොහෝදෙනෙක් සිතුවාටත් වඩා වැඩි කාලයක් දේවල් පැවතීමට දෙවි ඉඩ දෙනවා විය හැකියි. එනමුත් අප ඔහුගේ මාර්ග තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔහුගේ ප්‍රඥාව ගැන ගෞරවාදරයෙන් ඉතිරී යන්නෙමු. පාවුල් මෙසේ ලිව්වා: ‘අහෝ, දෙවිගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැනීමත් ඔහුගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද! එසේය, යෙහෝවාගේ සිත දැනගත්තේ කවුද? නොහොත් ඔහුට මන්ත්‍රියා [උපදේශකයා, NW] වුණේ කවුද?’—රෝම 11:33, 34.
16. යෙහෝවාගේ ඉවසීමෙන් ප්‍රයෝජන ලබන්න යන්නේ කවුද?
16 පේතෘස් මෙසේ ලිව්වා: “ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් [පරණ ‘අහසේ’ හා ‘පොළොවේ’ විනාශයත්, ඒවා වෙනුවට දෙවි පොරොන්දු කර ඇති “අලුත් අහස” සහ අලුත් පොළොව”] බලාසිටින බැවින්, [ඔහු] ඉදිරියෙහි [අන්තිමේදී, NW] කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහ කරන්න. . . . අපගේ [ස්වාමීන්ගේ] ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න.” යෙහෝවාගේ ඉවසිලිවන්තකම නිසා, “සොරෙකුමෙන්” අනපේක්ෂිතව පැමිණීමට නියමිත ‘යෙහෝවාගේ දවසින්’ ගැළවීමට මිලියන සංඛ්‍යාතයකට ප්‍රස්තාවක් ලබා දෙමින් තිබෙනවා. (2 පේතෘස් 3:9-15) ‘භයෙනුත් වෙවුලුමෙනුත් අපගේම ගැළවීම ඉෂ්ට’ කරගැනීම සඳහා ඔහුගේ ඉවසීම අප සෑම කෙනෙකුටම ප්‍රස්තාවක් සලසනවා. (පිලිප්පි 2:12) යේසුස් විනිශ්චය කිරීමට පැමිණෙන විට, අප අනුමැතිය ලබාගැනීමටත් ‘මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමේදී’ සාර්ථක වීමටත් කැමති නම්, “අප ගැනම අවධානය යොමු කරමින් [NW],” ‘අවදිව සිටිය’ යුතු බව යේසුස් පැවසුවා.—ලූක් 21:34-36; මතෙව් 25:31-33.
විඳදරාගැන්මෙන් යුක්තව බලා සිටින්න
17. අප අපේ හිතට ගත යුත්තේ ප්‍රේරිත පාවුල්ගේ කුමන වචනද?
17 “පෙනෙන දේ [මත] නොව නොපෙනෙන දේ” මත ඔවුන්ගේ නෙත් තබාගැනීමට පාවුල් තම ආත්මික සහෝදරයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. (2 කොරින්ති 4:16-18) ඔවුන් ඉදිරියේ තබා තිබූ ස්වර්ගීය විපාකයේ දසුන මොනයම් දෙයකින් හෝ බොඳ වී යනවාට ඔහු කැමති වුණේ නැහැ. ආලේප ලත් අය හෝ වේවා වෙනත් බැටළුවන් හෝ වේවා, අප ඉදිරියේ තබා ඇති කදිම බලාපොරොත්තුව මනසේ තබාගනිමින් අත් නොහැර කටයුතු කරමු. “විඳදරාගැනීමෙන් යුතුව බලාසිටිමින්,” “අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිති” වන අය බව ඔප්පු කරමු.—රෝම 8:25, NW; හෙබ්‍රෙව් 10:39.
18. කාලයන් හා ප්‍රස්තාවන් අපට විශ්වාසයෙන් යුතුව යෙහෝවා අත තැබිය හැක්කේ ඇයි?
18 අපට විශ්වාසයෙන් යුතුව කාලයන් හා ප්‍රස්තාවන් යෙහෝවා අත තබන්න පුළුවන්. ඔහුගේ කාලසටහනට අනුව තම පොරොන්දුවල ඉටුවීම් “ප්‍රමාද වෙන්නේ නැහැ.” (හබක්කුක් 2:3, NW) තවද පාවුල් තිමෝතිට කළ ප්‍රබල උනන්දු කිරීම් අපට වඩාත් ගැඹුරු අර්ථයක් ලබා දෙනවා. ඔහු මෙසේ පැවසුවා: ‘දෙවි ඉදිරියෙහිද, ජීවත්ව සිටින්නන් සහ මළවුන්ද විනිශ්චය කරන්ට සිටින යේසුස් ක්‍රිස්තුස් ඉදිරියෙහිද, ඔහුගේ ප්‍රකාශ වීම හා ඔහුගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණ කරන්නේ නම්: වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න . . . ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණ කරන්න.’—2 තිමෝති 4:1-5.
19. යෙහෝවාගේ සෙනඟට කුමක් කිරීමටද තවමත් කාලය ඉතිරිව ඇත්තේ? තවද මන්ද?
19 අපේ මෙන්ම අපේ අසල්වාසීන්ගේ ජීවිතත් අනතුරේ පවතී. පාවුල් මෙසේ ලිව්වා: “නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම්වෙන්න. ඒවායේ පවතින්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.” (1 තිමෝති 4:16) මෙම දුෂ්ට දේවල පිළිවෙළට ඇත්තේ ඉතාමත්ම කෙටි කාලයයි. අප ඉදිරියේ ඇති උද්‍යෝගය දනවන සිදුවීම් දෙස අප ඉතා ඕනෑකමින් යුතුව බලා සිටින අතරේදී, දෙවිගේ සෙනඟ විසින් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළ යුතු යෙහෝවාගේ කාලය හා ප්‍රස්තාවද දැන් බව මතක තබාගනිමු. එම වැඩය ඔහුව සෑහීමට පත් කරන අයුරින් කළ යුතුයි. එවිට යේසුස් පැවසූ පරිදි “අන්තිමය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතෙහි 10වන සහ 11වන පරිච්ඡේද බලන්න.
පුනරීක්ෂණයක් හැටියට
◻ කාල ගණනයන් ගත් කල, අපගේ තත්වය පළවන ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට සමාන වන්නේ කොහොමද?
◻ ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම තුළදී පවා අප ‘විමසිලිමත්ව සිටිය’ යුත්තේ ඇයි?
◻ ‘දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම’ දෙස මනුෂ්‍ය මැවිල්ල මහත් ඕනෑකමින් යුතුව බලා සිටින්නේ ඇයි?
◻ කාලයන් හා ප්‍රස්තාවන් අපට විශ්වාසයෙන් යුතුව යෙහෝවා අත තැබිය හැක්කේ ඇයි?
[17වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම බලා සිටිමින් ක්‍රිස්තියානීන් අවදිව සිටිය යුතුයි
[18වන පිටුවේ පින්තූරය]
තම ඇදහිල්ල කාල ගණනය මත පදනම් කරන්නේ නැතුව ආලේප ලත් ඉතිරි කොටස යෙහෝවාගේ සේවය තුළ කාර්ය බහුලව සිටිනවා