ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 9/15 4-7 පි.
  • අවදි වීම හදිසි කාරණයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවදි වීම හදිසි කාරණයක්!
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සෑම දෙයක්ම තවමත් නොවෙනස්ව පවතිනවාද?
  • අවදියෙන් සිටීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ
  • ලෝක විනාශය ළං වෙලාද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • “සෝදිසියෙන් සිටින්න”
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නියෝජිතයන් ලකුණක් ඉල්ලයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 9/15 4-7 පි.

අවදි වීම හදිසි කාරණයක්!

“අප ජීවත් වන යුගය වරදවා වටහා නොගන්න; අප නින්දෙන් අවදි වීම හදිසි කාරණයක්.” (රෝම 13:11, නොක්ස්) පොදු යුගයේ 70දී යුදෙව් දේවල පිළිවෙළ අවසානයට පත් කළ මහත් ව්‍යසනයට අවුරුදු 14කට පමණ කලින් ප්‍රේරිත පාවුල් එම වදන් ක්‍රිස්තියානීන්ට ලිව්වා. යුදෙව් ක්‍රිස්තියානීන් ආත්මිකව අවදිව සිටි නිසා, එම තීරණාත්මක කාලයේදී යෙරුසලමේ නොසිටීම හේතුවෙන්, ඔවුන් මරණයට පත්වීමෙන් හෝ වහලුන් බවට පත්වීමෙන් බේරුණා. ඒත් නගරය අතහැර දමා යෑමේ අවශ්‍යතාව ඔවුන් දැන සිටියේ කොහොමද?

සතුරන් යෙරුසලම වටලන්න යන බවටත් එහි වැසියන්ව පොළොවේ ගසා දමන්න යන බවටත් යේසුස් ක්‍රිස්තුස් අනතුරු අඟවා තිබුණා. (ලූක් 19:43, 44) පසුව, යේසු තේරුම්ගැනීමට පහසු සංයුක්ත ලකුණක් තම විශ්වාසවන්ත අනුගාමිකයන්ට දුන්නා. (ලූක් 21:7-24) යෙරුසලමෙහි ජීවත් වූ ක්‍රිස්තියානීන් නගරය අතහැර යෑමේදී, නිවාස හා රැකියා අත්හැර යෑමද එයින් අදහස් කළා. කොහොමවුණත්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වුණේ, විමසිලිමත්ව සිටීම හා පලා යෑම නිසයි.

යේසු යෙරුසලමේ විනාශය ගැන පුරෝකථනය කළ අවස්ථාවේදී, ඔහුගේ ගෝලයන් මෙසේ ඇසුවා: “මෙම දේවල් සිදු වනු ඇත්තේ කවදාද, තවද ඔබගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද?” (මතෙව් 24:3, NW) එයට පිළිතුරු දීමේදී යේසු, තම අනාගතික පැමිණසිටීම නෝවාගේ දවස්වල ලෝක ව්‍යාප්ත ජලගැල්ම සිදු වූ කාලපරිච්ඡේදය සමඟ සැසඳුවා. දුෂ්ටයන් සියලුදෙනාවම ජලගැල්මෙන් ගසාගෙන ගිය බව යේසු පෙන්වා දුන්නා. (මතෙව් 24:21, 37-39) දෙවි නැවතත් මිනිසාගේ කටයුතුවලට මැදිහත් වෙන්න යන බව ඔහු ඇඟෙව්වා. කොතරම් ප්‍රමාණයකටද? මුළු නපුරු ලෝකයම නැතහොත් දේවල පිළිවෙළ ඉවත් කර දමන මට්ටම දක්වායි! (2 පේතෘස් 3:5, 6 සසඳන්න.) එය අපේ කාලයේදී සිදු විය හැකිද?

සෑම දෙයක්ම තවමත් නොවෙනස්ව පවතිනවාද?

ජතමන්ගේ ශුද්ධ නගරය වන යෙරුසලම විනාශ වෙයි කියා පළමු සියවසේ විසූ යුදෙව්වන් වැඩිදෙනෙක් හීනෙකින්වත් සිතුවේ නැහැ. ගිනි කන්දක් අසල ජීවත් වුණත් කවදාවත් එය පිපිරෙනවා දැක නැති මිනිසුන් අතර බොහෝවිට ඒ හා සමාන අවිශ්වාසයක් තිබෙනවා. “මං ජීවත් වෙලා ඉන්නකං නම් සිද්ධ වෙන්නේ නැහැ” කියා පැවසීම, අනතුරු ඇඟවීම් කරන විට දක්නට තිබෙන පොදු ප්‍රතිචාරයයි. “සාමාන්‍යයෙන් ගිනි කඳු පුපුරන්නේ සියවස් දෙකතුනකට වරක්” කියා ගිනි කඳු පිළිබඳ විද්‍යාඥයෙකු වන ලයනල් විල්සන් පැහැදිලි කරනවා. “පිපිරීමක් ඔබේ දෙමාපියන්ගේ කාලයේ සිදු වුණා නම්, ඔබ ඒ ගැන දෙපාරක් සිතනවා. ඒ වුණත්, එය ඔබේ සීයලාගේ කාලයේ සිදු වුණා නම්, ඒක ඔබට නිකම්ම විශ්වාස කරන්න බැරි ජනකතාවක් විතරයි.”

කොහොමවුණත්, අනතුරුදායක ඇඟවීම් තේරුම්ගෙන ඒවා බැරෑරුම් ලෙස සැලකීමට නිවැරදි තොරතුරු අපට උපකාරවත් විය හැකියි. පෙලි කන්ද අසලින් පලා ගිය අයගෙන් එක් අයෙක් ගිනි කඳු ගැන හොඳින් දැන සිටියා. ඔහු අනතුරුදායක ඇඟවීම් තේරුම්ගත්තා. පිනටූබෝ කන්ද පුපුරා යෑමට කලින් අනතුරු ඇඟවීමේ සංඥා නිවැරදිව පැහැදිලි කර දුන්නා. කන්ද ඇතුළේ සිදු වන බාහිරට නොපෙනෙන ප්‍රබල ක්‍රියාකාරිත්වයන් අධීක්ෂණය කළ ගිනි කඳු පිළිබඳ විද්‍යාඥයන්, ප්‍රදේශවාසීන් එම ප්‍රදේශය අතහැර යා යුතු බව ඔවුන්ට ඒත්තුගැන්වූවා.

සමහරුන් අනතුරුදායක ඇඟවීම් නිතරම නොසලකා හරිමින් කිසි දෙයක් වෙන්නේ නැහැ කියන මතයේ එල්බගෙන සිටිනවා. ඔවුන් ඒකාන්ත ක්‍රියා මාර්ගයක් ගන්න අයට සමච්චල් කරන්න පවා පුළුවන්. අප ජීවත් වන කාලයේ එවැනි මත දැරීම සාමාන්‍ය දෙයක් වන බවට ප්‍රේරිත පේතෘස් අනාවැකි පළ කළා. “අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, [ඔහුගේ පැමිණසිටීමේ] පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න” කියා ඔහු පැවසුවා.—2 පේතෘස් 3:3, 4.

අපි ජීවත් වෙන්නේ “අන්තිම දවස්වල” කියා ඔබ විශ්වාස කරනවාද? කොලම්බියා ලෝක ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ ජෝන් ඒ. ගැරටි හා පීට’ ගේ මෙසේ අසනවා: “ශිෂ්ටාචාරයේ බිඳ වැටීම අපි දකිනවාද?” අනතුරුව මෙම ඉතිහාසඥයන් දෙදෙනා ආණ්ඩුව මුහුණපාන ගැටලු, අපරාධ මෙන්ම මහජනයා රජයට කීකරු වෙන්න දක්වන අකමැත්ත ලෝක ව්‍යාප්ත පරිමාණයකින් වැඩිවීම, පවුල් ජීවිතයේ බිඳ වැටීම, සමාජයේ පවතින ගැටලු විසඳීමට විද්‍යාව හා තාක්ෂණය අසමත් වීම, බලතල හා සම්බන්ධ අර්බුදය, සදාචාරය හා ආගම ලොව පුරා පිරිහීමට ලක්වීම විග්‍රහ කරනවා. ඔවුන් මෙසේ නිගමනය කරනවා: “ඒවා නිශ්චිත අවසානයක ලක්ෂණ බව කිසිම සැකයක් නැතුව පැවසිය හැකියි.”

‘අවසානයක්’ අත ළඟ තිබෙන බව විශ්වාස කරන්න අපිට හොඳ හේතු තිබෙනවා. දෙවි ‘පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස ඒකේ අත්තිවාරම් දමා තිබේ’ කියා බයිබලය පවසන බැවින් මුළු පොළොවම විනාශ වෙයි කියා අප බිය විය යුතු නැහැ. (ගීතාවලිය 104:5) ඒ වුණත්, මනුෂ්‍යවර්ගයාට මෙතරම් දුක් පීඩා ඇති කර තිබෙන දුෂ්ට දේවල පිළිවෙළ ඉක්මනින් අවසන් වෙයි කියා අපි අපේක්ෂාවෙන් සිටිය යුතුයි. ඒ ඇයි? මොකද, යේසුස් ක්‍රිස්තුස් සඳහන් කළාක් මෙන් මේ පිළිවෙළේ අන්තිම දවස් හඳුනාගැනීමේ පැහැදිලි සාක්ෂි බොහොමයක් අපිට දැකගන්න පුළුවන්. (“අන්තිම දවස්වල අංග ලක්ෂණ කිහිපයක්” නමැති කොටුව බලන්න.) යේසු පැවසූ වදන් ලෝක සිද්ධීන් සමඟ සසඳා බැලීම හොඳ අදහසක් නොවේද? එසේ කිරීම, ඔබ හා ඔබේ පවුලේ අය වෙනුවෙන් නැණවත් තීරණයක් ගැනීමට ඔබට උපකාරවත් විය හැකියි. ඇයි දැන්ම ක්‍රියාමාර්ගයක් ගත යුත්තේ?

අවදියෙන් සිටීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ

ගිනි කන්දක් පිපිරීමට ආසන්න කාලය විද්‍යාඥයන්ට දැනගත හැකි වුණත්, එය සිදු වන්නේ කවදාද කියා හරියටම කියන්න ඔවුන්ට බැහැ. ඒ හා සමානව, මේ දේවල පිළිවෙළේ අවසානය ගැන යේසු මෙසේ පැවසුවා: “ඒ දවස හා පැය මාගේ [පියා] මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.” (මතෙව් 24:36) වර්තමාන දේවල පිළිවෙළ නිමාවට පත් වන්නේ කවදාද කියා අපි හරියටම දන්නේ නැති නිසා, යේසු මේ අනතුරු ඇඟවීම අපට දුන්නා: “සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න. එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා [එන්නේය].”—මතෙව් 24:43, 44.

මේ පිළිවෙළේ විනාශකාරි අවසානය ලෝකය පිටට හදිස්සියෙන් පැමිණෙන්න යන බව යේසුගේ වදන්වලින් පෙනෙනවා. අපි ඔහුගේ අනුගාමිකයන් වුණත්, ‘සෑදී සිටීම’ අවශ්‍යයි. අපේ තත්වය, සොරෙකු හදිස්සියේම කඩා වැදීම හේතුවෙන් අසරණ වූ ගෙවැසියෙකුගේ තත්වය හා සමානයි. මොකද සොරා තමාගේ ගෙට කඩා වදින්නේ කොයි වේලාවේද කියා ඔහු දන්නේ නැහැ.

ඒ සමානව, ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා: ‘රාත්‍රියේ සොරෙකු එන්නාක් මෙන් යෙහෝවාගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳ හැටි දන්නේය. සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති.’ පාවුල් මෙසේද උදක්ම ඉල්ලා සිටියා: “වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව [සිහි ඇතුව, NW] සිටිමු.” (1 තෙසලෝනික 5:2, 4, 6) ‘අවදිව සිහි ඇතුව සිටීම’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් යෙරුසලමෙන් පලා ගියාක් මෙන් ආරක්ෂාව සඳහා අපේ පලා යෑමට යම් නගරයක් අත්හැර යෑම අදහස් කරන්නේ නැහැ. නින්දෙන් අවදි වන්න කියා තම සෙසු ක්‍රිස්තියානීන්ට අවවාදානුශාසනා කිරීමෙන් පසුව, “අන්ධකාරයේ ක්‍රියා අහකදමා,” ‘ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගන්න’ කියා පාවුල් ඔවුන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා. (රෝම 13:12, 14) යේසුගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කිරීමෙන් අප කාලවල් ගැන අවදියෙන් සිටින බව පෙන්වන අතර, එසේ ආත්මිකව විමසිලිමත්ව සිටීම මගින් මේ දුෂ්ට දේවල පිළිවෙළේ නිමාව සිදු වන කාලයේදී, දිව්‍ය ආරක්ෂාව ලැබිය හැකි තත්වයක අප සිටින්න යනවා.—1 පේතෘස් 2:21.

යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කරන අය අර්ථවත් හා තෘප්තිමත් ජීවිත ගත කරනවා. ක්‍රිස්තියානි ගෝලත්වයේ වියගහ කාරුණික මෙන්ම ප්‍රබෝධජනක එකක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දශලක්ෂ ගණනක් සොයාගෙන තිබෙනවා. (මතෙව් 11:29, 30, NW පාදසටහන) ගෝලයෙක් බවට පත්වීමේ ප්‍රථම පියවර වන්නේ ‘දෙවි හා ඔහු විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන දැනුම ලබාගැනීමයි.’ (යොහන් 17:3, NW) “සත්‍යය පිළිබඳ ඒකාන්ත දැනුමක්” ලබාගැනීමට ජනයාට උපකාර කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම සතියකම දශලක්ෂ ගණනකගේ නිවෙස්වලට යනවා. (1 තිමෝති 2:3, NW) ඔබ සමඟ ඔබේ නිවසේදී නොමිලේ බයිබල් පාඩමක් පවත්වන්න ඔවුන් සතුටින් සිටිනවා. දේවවචනය පිළිබඳ දැනුමෙන් ඔබ වර්ධනයක් ලබන විට, අපි ජීවත් වන දවස් වෙනස් බව ඔබ ඒත්තුගන්නවාට කිසිම සැකයක් නැහැ. ඇත්තෙන්ම, නින්දෙන් අවදි වීම හදිසි කාරණයක්!

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

අන්තිම දවස්වල අංග ලක්ෂණ කිහිපයක්

‘ජාතියක් ජාතියකට විරුද්ධව නැඟිටිනවා ඇත;’ ‘පොළොවෙන් සමාදානය දුරු කරනු ලබන්නේය.’ (මතෙව් 24:7; එළිදරව් 6:4)

මේ සියවසේ සිදු වූ ලෝක මහා යුද්ධ දෙක ඇතුළු වෙනත් සටන් ගණනාවක් මගින් පොළොවෙන් සමාදානය දුරු කර තිබෙනවා. “පළමු ලෝක මහ යුද්ධයත්, පසුව සිදු වූ දෙවන ලෝක මහා යුද්ධයත්, ඊට කලින් පැවති යුද්ධ සියල්ලටම වඩා වෙනස්; එනම් පරිමාණයෙන්ද, ප්‍රබලත්වයෙන්ද, ව්‍යාප්තියෙන්ද, මිනිස් ජීවිත හා දේපොළ විනාශයෙන්ද, වැය කළ දේවල් අතින්ද වෙනස්. . . . ඊට කලින් පැවති කිසිම යුද්ධයකට වඩා එම ලෝක යුද්ධ මගින් වැඩි මිනිසුන් පිරිසක්ව ඝාතනය කළා, විශාල ධනයක් නාස්ති කළා, ලෝකයේ වැඩි ප්‍රදේශයක් පුරා දුක් ගාවිනා ඇති කළා” කියා ඉතිහාසඥ ජෝන් කීගන් ලියනවා. මේ කාලයේ යුද්ධවලින් සොල්දාදුවන්ට වඩා පීඩා විඳින්නේ ස්ත්‍රීන් හා දරුවනුයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් සිදු කළ ගණන් බැලීමට අනුව පසුගිය අවුරුදු දහය ඇතුළත යුද්ධවලින් දරුවන් දශලක්ෂ දෙකක් මරුමුවට පත් වී තිබෙනවා.

“ආහාර හිඟකම්” (මතෙව් 24:7, NW; එළිදරව් 6:5, 6, 8)

වර්ෂ 1996දී තිරිඟු හා ඉරිඟුවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියා. හේතුව? මේ ධාන්‍ය වර්ගවල ලෝක සංචිත ප්‍රමාණවත් වුණේ තව දින 50කට පමණක් වීමයි. වාර්තාගත අඩුම අගය එයයි. මූලික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑමෙන් අදහස් කරන්නේ ලෝකයේ දශලක්ෂ සියගණනක් වන දිළිඳු ජනයා කුසගින්නේ නින්දට යන බවයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දරුවන්.

‘එක් තැනක් පාසා තවත් තැනක පොළෝකම්පා’ (මතෙව් 24:7, NW)

පසුගිය අවුරුදු 2,500 ඇතුළත එක් අවස්ථාවකදී මිනිසුන් 1,00,000කට වැඩිදෙනෙකුව බිලිගත් භූමිකම්පා නවයක් පමණයි සිදු වී තිබෙන්නේ. මේවායින් හතරක්ම සිදු වී තිබෙන්නේ 1914න් පසුවයි.

“නොපනත්කම වැඩි වන්නේය” (මතෙව් 24:12, NW)

විසිවන සියවස එහි නිමාව කරා ඇදෙද්දී, නොපනත්කම නැතහොත් නීති කඩ කිරීම පුළුල්ව පැතිරී තිබෙනවා. ත්‍රස්තවාදීන් සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම, ලේ පිපාසිත ඝාතකයන් හා සමූහ මිනීමැරුම්, මේ සාහසික අන්තිම දවස්වල දරුණු ලක්ෂණ අතර දක්නට තිබෙනවා.

‘එක් තැනක් පාසා තවත් තැනක වසංගත’ (ලූක් 21:11, NW)

එක්දහස් නවසිය අනූ ගණන්වල අවසානයේදී, පෙනෙන විදිහට මිනිසුන් දශලක්ෂ 30ක් පමණ ක්ෂය රෝගයෙන් මිය යාවි. රෝග වාහක බැක්ටීරියා එන්න එන්නම ඖෂධවලට ඔරොත්තු දෙන තත්වයට පත් වෙනවා. තවත් මාරාන්තික රෝගයක් වන මැලේරියාව සෑම අවුරුද්දකම මිනිසුන් දශලක්ෂ 300 සිට 500ක අතර ප්‍රමාණයකට පහර දෙන අතර, ගණන් බැලීම්වලට අනුව ඉන් දශලක්ෂ 2ක් මිය යනවා. මේ දශකය අවසාන වන විට, ඒඩ්ස් රෝගය මගින් අවුරුද්දකට දශලක්ෂ 1.8ක් මරුමුවට පත් වෙයි කියා අපේක්ෂා කරනවා. “අද මනුෂ්‍යවර්ගයා වසංගත පිට වසංගත අද්දකිමින් සිටිනවා” කියා ලෝකයේ තත්වය 1996 (ඉංග්‍රීසියෙන්) නමැති ප්‍රකාශනයේ ප්‍රකාශ කරනවා.

‘රාජ්‍යයේ මේ ශුභාරංචිය ජනාවාස පොළොව මුළුල්ලෙහි දේශනා කරනු ලබන්නේය.’ (මතෙව් 24:14, NW)

වර්ෂ 1997දී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහිලා පැය බිලියනයකට වැඩි ප්‍රමාණයක් වැය කළා. සාක්ෂිකරුවන් දශලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් මේ පණිවිඩය රටවල් 232ක සිටින ජනයා වෙත නිතිපතා ගෙන යනවා.

[හිමිකම් විස්තර]

FAO photo/B. Imevbore

U.S. Coast Guard photo

[4, 5වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානීන් ආත්මිකව අවදියෙන් සිටි නිසා යෙරුසලමෙන් පලා ගියා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න