දිව්‍ය තන්ත්රයට සමීපයෙන් සිටින්න
‘යෙහෝවා අපේ විනිශ්චයකාරයාය, යෙහෝවා අපේ නීතිදායකයාය, යෙහෝවා අපේ රජ්ජුරුවෝය.’—යෙසායා 33:22.
1. ආණ්ඩුව යන කාරණය බොහෝ මිනිසුන්ගේ සැලකිල්ලට භාජන වන්නේ මන්ද?
ආණ්ඩුව පිළිබඳ විෂය සැමගේ සැලකිල්ලට හේතු වන කාරණයකි. හොඳ ආණ්ඩුක්‍රමයක් සැමට සාමයත් සෞභාග්‍යයත් ගෙන දෙයි. බයිබලයේ මෙසේ පැවසෙයි: “රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි.” (හිතෝපදේශ 29:4) අනික් අතට, නරක ආණ්ඩුවක් අයුක්තියට, දූෂණයට හා පීඩනයට මඟ පාදයි. “දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනග සුසුම්ලති.” (හිතෝපදේශ 29:2) ඉතිහාසය පුරා මිනිසුන් විවිධාකාර ආණ්ඩු ක්‍රම අත්හදා බලා තිබෙනවා; තවද කනගාටුවට කරුණක් නම් තමන්ගේ පාලකයන්ගේ පීඩාව නිසා ඔවුන් ‘සුසුම්ලා’ තිබීමයි. (දේශනාකාරයා 8:9) මොනයම් ආණ්ඩු ක්රමයකටවත් එහි යටත් වැසියන්ට කල්පවතින සන්තෘප්තියක් ගෙනඒමට හැකි වෙයිද?
2. “දිව්‍ය තන්ත්රය” යන්න පුරාණ ඉශ්රායෙල්හි ආණ්ඩු ක්‍රමය මැනවින් විස්තර කරන්නක් වන්නේ ඇයි?
2 ඉතිහාසඥ ජොසීෆස් මෙසේ ලියද්දී එක්තරා සුවිශේෂී ආණ්ඩුවක් ගැන කතා කළා: “සමහරක් මිනිසුන් පූර්ණ දේශපාලනමය බලය, ඒකාධිකාරිත්වයටත් තවත් අය රදළ ආණ්ඩු ක්රමයටත්, අන් අය ජන සමූහයාටත් පවරා තිබෙනවා. කොහොම වුණත් අපේ නීතිදායකයා [මෝසෙස්], මින් එක දේශපාලනික සංවිධානයකින්වත් තෘප්තියට නොපැමිණ, තම ව්‍යවස්ථාවට (දුරවබෝධ යෙදුමක් භාවිත කළොත්) ‘දිව්‍ය තන්ත්රය’ යයි හැඳින්විය හැකි සැකැස්මක් දෙමින්, මුළු පරමාධිපත්‍යයත් අධිකාරීත්වයත් දෙවිගේ හස්තයට භාර කළා.” (ඒපියන්ට විරුද්ධව, II, 164-5) සංක්ෂිප්ත ඔක්ස්ෆඩ් ශබ්දකෝෂයට (ඉංග්‍රීසියෙන්) අනුව දිව්‍ය තන්ත්රය කියන්නේ “දෙවි විසින් මෙහෙයවන ලද ආණ්ඩු ක්රමයකි.” එම වචනය බයිබලයේ දක්නට නොලැබුණත්, එය පුරාණ ඉශ්රායෙල් ආණ්ඩුව මැනවින් විස්තර කරයි. ඉශ්‍රායෙලිතයන්ට දෘශ්‍යමාන රජෙකු සිටියත්, ඔවුන්ගේ සැබෑ පාලකයා වූයේ යෙහෝවායි. ඉශ්රායෙල් ප්‍රොපේත යෙසායා මෙසේ පැවසුවා: ‘යෙහෝවා අපේ විනිශ්චයකාරයාය, යෙහෝවා අපේ නීතිදායකයාය, යෙහෝවා අපේ රජ්ජුරුවෝය.’—යෙසායා 33:22.
සැබෑ දිව්‍ය තන්ත්රය කුමක්ද?
3, 4. (අ) සැබෑ දිව්‍ය තන්ත්රය යනු කුමක්ද? (ආ) අනාගතයේ එක් දවසකදී දිව්‍ය තන්ත්රය මගින් ගෙනෙනු ලබන්න යන ආශීර්වාද මොනවාද?
3 ජොසීෆස් එම වචනය වාග් මාලාවට එකතු කළ දා පටන්, සමාජ ක්රමයන් බහුතරයක් දිව්‍ය තන්ත්ර හැටියට හඳුන්වා තිබෙනවා. සමහරක් ඒවා නුරුස්සනසුලු, අන්තවාදී හා කුරිරු අන්දමින් පීඩාකාරි ඒවා සේ දිස් වුණා. ඒවා ඇත්තෙන්ම දිව්‍ය තන්ත්‍රයන්ද? ජොසීෆස් එම වචනය පාවිච්චි කළ අරුතෙන් නම් නෙවෙයි. ගැටලුව වී ඇත්තේ “දිව්‍ය තන්ත්රය” යන වචනයෙහි අදහස පුළුල් වී තිබීමයි. ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා නිර්වචනය කරන අන්දමට එය හරියට “පූජකයෙක් හෝ පූජක පිරිසකගෙන් පාලනය වන්නාවූද සිවිල් හා ආගමික කාරණා කෙරෙහි පූජක පිරිසේ සාමාජිකයන්ට අධිකාරියක් ඇත්තාවූද ආණ්ඩු ක්‍රමයකට සමානයි.” කොහොම වුණත්, සැබෑ දිව්‍ය තන්ත්රය පූජකයන්ගෙන් පාලනය වන ආණ්ඩු ක්‍රමයක් නෙවෙයි. එය ඇත්තෙන්ම දේවපාලනයයි; එනම් විශ්වයේ මැවුම්කරු වන යෙහෝවා දෙවි විසින් ස්ථාපිත කරන ලද ආණ්ඩු ක්‍රමයයි.
4 අනාගතයේ එක් දවසකදී, මුළු පොළොවම දිව්‍ය තන්ත්රය යටතේ තිබෙන්න යන අතර එය මොනතරම් ආශීර්වාදයක් වේවිද! ‘දෙවිම [මනුෂ්‍යවර්ගයා] සමඟ සිටින්නේය; ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’ (එළිදරව් 21:3, 4) එවන් සන්තෝෂයක් මනුෂ්‍යයන් විසින් කරන කිසිම පූජකමය පාලනයකට ගෙන දෙන්න බැහැ. දේවපාලනයට පමණයි එය කළ හැක්කේ. එහෙයින් සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලනමය ක්‍රියාමාර්ග මගින් දිව්‍ය තන්ත්රය හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. දෙවි තමාට නියමිත කාලයේදී තමාගේම ක්‍රමයට ලොව පුරා දිව්‍ය තන්ත්රය ස්ථාපිත කරන තුරු ඔවුන් ඉවසිල්ලෙන් යුතුව බලා සිටිනවා.—දානියෙල් 2:44, 45.
5. අදදින සැබෑ දිව්‍ය තන්ත්රය ක්‍රියාත්මක වන්නේ කොහේද? එමෙන්ම ඒ සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න මොනවාද?
5 කොහොම වුණත්, ඒ අතරතුර කාලයේදී, සැබෑ දිව්‍ය තන්ත්රයක් ක්‍රියාත්මක වෙයි. කොහේද? දෙවිගේ පාලනයට සිය කැමැත්තෙන්ම යටත් වන හා ඔහුගේ කැමැත්ත කිරීමට එකට වැඩ කරන අය අතරෙයි. එවන් ඇදහිලිවන්ත අය ලෝක ව්‍යාප්ත ආත්මික “ජාතියක්” හැටියට එහි ආත්මික ‘දේශයේ’ එකතු වී සිටිනවා. ඔවුන් ‘දෙවිගේ ඉශ්රායෙලයේ’ ඉතිරි කොටස වන අතර, ඔවුන් හා එකතුව ක්‍රිස්තියානි ආශ්‍රිතයන් මිලියන පහමාරකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. (යෙසායා 66:8, NW; ගලාති 6:16) මේ අය ‘සදාකාල රජ්ජුරුවන්’ වන යෙහෝවා දෙවි විසින් සිංහාසනාරූඪ කරන ලද ස්වර්ගීය රජු වන යේසුස් ක්‍රිස්තුස්ට යටත් වෙයි. (1 තිමෝති 1:17; එළිදරව් 11:15) මොන ආකාරයෙන්ද මෙම සංවිධානය දිව්‍ය තාන්ත්‍රික එකක් වන්නේ? එහි සාමාජිකයන් ලෞකික ආණ්ඩු ක්රමයන්ගේ අධිකාරිත්වය සලකන්නේ කොහොමද? තවද එම ආත්මික ප්‍රජාව තුළ අධිකාරිත්වය හොබවන මනුෂ්‍යයන් විසින් දිව්‍ය තන්ත්රය නමැති ප්‍රතිපත්තිය පවත්වාගන්නේ කොහොමද?
දිව්‍ය තාන්ත්‍රික සංවිධානයක්
6. දෘශ්‍යමාන මනුෂ්‍ය සංවිධානයක් දෙවි අතින් පාලනය විය හැක්කේ කොහොමද?
6 අදෘශ්‍යමාන ස්වර්ගවල වාසය කරන යෙහෝවා අතින් මනුෂ්‍ය සංවිධානයක් පාලනය විය හැක්කේ කොහොමද? (ගීතාවලිය 103:19) එය කළ හැක්කක්. මන්දයත් එයට සම්බන්ධ වී සිටින අය මෙම ආනුභාව ලත් උපදේශය අනුගමනය කරයි: ‘නුඹේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු හෘදයෙන් යෙහෝවාව විශ්වාස කරන්න.’ (හිතෝපදේශ 2:6; 3:5) ඔවුන් ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව’ පවත්වන නිසාත් ආනුභාව ලත් බයිබල් ප්‍රතිපත්ති ඔවුන්ගේ දෛනික ජීවිතයේදී අදාළ කරගන්න නිසාත් දෙවිට තමන්වම පාලනය කරන්න ඔවුන් ඉඩ දෙනවා. (ගලාති 6:2; 1 කොරින්ති 9:21; 2 තිමෝති 3:16; බලන්න මතෙව් 5:22, 28, 39; 6:24, 33; 7;12, 21.) මෙය කිරීම සඳහා ඔවුන් බයිබලයේ ශිෂ්‍යයන් විය යුතුයි. (ගීතාවලිය 1:1-3) පුරාණයේ සිටි “බුද්ධිමත් මනසක් ඇති” බෙරීයවරුන් හා සමානව, ඔවුන් මනුෂ්‍යයන් අනුගමනය කරන්නේ නැති අතර ඒ වෙනුවට ඔවුන් ඉගෙනගනිමින් සිටින දේවල් සහතික කරගන්නවා. (ක්‍රියා 17:10, 11, NW; ගීතාවලිය 119:33-36) ඔවුන් ගීතිකාකරුට සමානව මෙසේ යාච්ඤා කරයි: “යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි.”—ගීතාවලිය 119:66.
7. දිව්‍ය තන්ත්රයේ අධීක්ෂණය සිදු වන අනුපිළිවෙළ කුමක්ද?
7 අධිකාරිත්වය හොබවන මෙන්ම මඟ පෙන්වීම සපයන අය ඕනෑම සංවිධානයක සිටිය යුතුයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද මේ සම්බන්ධයෙන් වෙනස් නොවන අතර, ප්‍රේරිත පාවුල් විසින් විශේෂ කොට දැක්වූ අධිකාරිත්වමය ව්‍යූහය ඔවුන් අනුගමනය කරනවා: ‘නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස් බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.’ (1 කොරින්ති 11:3) මෙයට එකඟව සභාවල වැඩිමහල්ලන් හැටියට සේවය කරන්නේ සුදුසුකම් ලත් පුරුෂයන් පමණයි. තවද එක එක පුරුෂයාගේ හිස වන යේසුස් ස්වර්ගයේ සිටියද, ස්වර්ගවල පාලනය කිරීමේ බලාපොරොත්තුව ඇති අභිෂේක ලත් අයගේ “ඉතිරි අය” තවමත් පොළොව මත සිටියි. (එළිදරව් 12:16ආ; 20:6) සංයුක්තයක් හැටියට ගත් කල “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මේ අයගෙන් සෑදෙයි. ‘දාසයාගේ’ අධික්ෂණය පිළිගැනීමෙන් ක්‍රිස්තියානීන් යේසුස්ට යටත් බව පෙන්වන අතර එමගින් යේසුස්ගේ හිස වන යෙහෝවාටත් යටත් බව පෙන්වයි. (මතෙව් 24:45-47; 25:40) මේ ආකාරයෙන්, දිව්‍ය තන්ත්රය පිළිවෙළකින් යුක්ත වෙයි. ‘මක්නිසාද දෙවි වියවුල්කමේ නොව සමාදානයේ දෙවිය.’—1 කොරින්ති 14:33.
8. දිව්‍ය තන්ත්රය නමැති ප්‍රතිපත්තියට ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සහය දෙන්නේ කොහොමද?
8 තමන්ගේ සීමාකාරි අධිකාරිත්වය හොබවන ආකාරය සම්බන්ධයෙන් තමන් යෙහෝවාට ගණන් දිය යුතු බව ඔවුන් හඳුනාගෙන ඇති නිසා ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දිව්‍ය තන්ත්රය නමැති ප්‍රතිපත්තියට සහය දක්වයි. (හෙබ්‍රෙව් 13:17) තවද ඔවුන් ගන්නා තීරණ සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රඥාව මත නොව නමුත් දෙවිගේ ප්‍රඥාව මත රඳා පවතිනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරනවා. ජීවත්ව සිටි ප්රඥාවත්ම මිනිසා ඔහුයි. (මතෙව් 12:42) කොහොම වුණත්, ඔහු යුදෙව්වන්ට මෙසේ පැවසුවා: “[පියා] යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය.” (යොහන් 5:19) දාවිත් රජුට තිබෙන ආකල්පයම වැඩිමහල්ලන්ටද තිබෙනවා. ඔහු දිව්‍ය තන්ත්රයක භාරදූර අධිකාරිත්වයක් හෙබෙව්වා. එහෙත් ඔහු කැමති වුණේ දෙවිගේ ක්‍රමය යොදාගැනීමට මිස, තම ක්‍රමය යොදාගැනීමට නෙවෙයි. ඔහු මෙසේ යාච්ඤා කළා: ‘යෙහෝවා, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; . . . සමතලා මාර්ගයෙක්හි මා ගෙනගිය මැනව.’—ගීතාවලිය 27:11.
9. දිව්‍ය තන්ත්රයේ ඇති විවිධ බලාපොරොත්තු හා සේවාමය වරප්‍රසාද සම්බන්ධයෙන් කැප වූ ක්‍රිස්තියානීන්ට ඇත්තේ කෙබඳු සමබර දෘෂ්ටියක්ද?
9 සභාව තුළ අධිකාරිත්වය, සුදුසුකම් ලත් පුරුෂයන් විසින් පමණක් හෙබවීම සාධාරණද කියාත් සමහරක් අයට ස්වර්ගික බලාපොරොත්තුව තිබියදී වෙනත් අයට භූමික බලාපොරොත්තුව තිබීම සාධාරණද කියාත් යම් අය විසින් ප්‍රශ්න කර තිබෙනවා. (ගීතාවලිය 37:29; පිලිප්පි 3:20) කොහොම වුණත්, මෙම විධිවිධාන දේවවචනය තුළ සඳහන්ව තිබෙන බව කැප වූ ක්‍රිස්තියානීන් වටහාගන්නවා. මේවා දිව්‍ය තාන්ත්‍රික වෙයි. ඒවා ප්‍රශ්නයට නඟතත් එසේ කරනු ලබන්නේ බොහෝවිට බයිබල් ප්‍රමිති නාඳුනන අය විසිනුයි. ඊට අමතරව, යෙහෝවාගේ ඇස් හමුවේ ගැළවීම සම්බන්ධයෙන් ගත් කල, පුරුෂයන් හා ස්ත්‍රීන් යන සියලුමදෙනා එකම තලයක සිටින බව ක්‍රිස්තියානීන් දන්නවා. (ගලාති 3:28) සැබෑ ක්‍රිස්තියානීන්ට, විශ්වයේ සිටින පරමාධිපතිගේ නමස්කාරකයන් වීම අත් කරගත හැකි ඉහළම වරප්‍රසාදය වන අතර යෙහෝවා ඔවුන් වෙනුවෙන් දෙන ඕනෑම පැවරුමක යෙදී සිටින්න ඔවුන් කැමතියි. (ගීතාවලිය 31:23; 84:10; 1 කොරින්ති 12:12, 13, 18) තවදුරටත්, සදාකාල ජීවනය ස්වර්ගයේ හෝ පොළොවේ හෝ වේවා එය ඇත්තෙන්ම මවිතකර බලාපොරොත්තුවකි.
10. (අ) යොනාතාන් විදහාපෑවේ කෙබඳු කදිම ආකල්පයද? (ආ) යොනාතාන්ට සමාන ආකල්පයක් අදදින සිටින ක්‍රිස්තියානීන් පෙන්වන්නේ කොහොමද?
10 එහෙයින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සාවුල් රජුගේ දේවභයැති පුතා වන යොනාතාන්ගෙන් නිරූපණය වෙනවා. යොනාතාන්ට විශිෂ්ට රජෙක් වෙන්න බොහෝවිට ඉඩ තිබුණා. කොහොම වුණත්, සාවුල්ගේ නොඇදහිලිවන්තකම නිසා යෙහෝවා ඉශ්රායෙලයේ දෙවන රජු හැටියට දාවිත්ව තෝරාගත්තා. මෙයින් යොනාතාන්ට තික්තකමේ හැඟීමක් ඇති වුණාද? නැහැ. ඔහු දාවිත්ගේ හොඳ මිතුරෙක් බවට පත් වූ අතර සාවුල් රජුගෙන් ඔහුට ආරක්ෂාවද සැපයුවා. (1 සාමුවෙල් 18:1; 20:1-42) එයාකාරයෙන්ම, භූමික බලාපොරොත්තුවක් ඇති අය ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති අය ගැන ඊර්ෂ්‍යා වන්නේ නැහැ. තවද සැබෑ ක්‍රිස්තියානීන් සභාවේ දිව්‍ය තාන්ත්‍රික අධිකාරිත්වය හොබවන අය ගැනද ඊර්ෂ්‍යා වන්නේ නැහැ. ඒ වෙනුවට, තමන්ගේ ආත්මික සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුන් මහන්සි වී කරන වැඩ හඳුනාගෙන “ප්‍රේමයෙන් ඔවුන්ට සාමාන්‍යයට වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා.”—1 තෙසලෝනික 5:12, 13, NW.
ලෞකික පාලනය පිළිබඳ දිව්‍ය තාන්ත්‍රික දෘෂ්ටිය
11. දිව්‍ය තාන්ත්‍රික පාලනයට යටත් වන ක්‍රිස්තියානීන් ලෞකික අධිකාරිත්වය දෙස බලන්නේ කොහොමද?
11 යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිව්‍ය තන්ත්රය එනම් දේවපාලනය යටතේ සිටී නම්, ඔවුන් ලෞකික පාලකයන් දෙස බලන්නේ කොහොමද? යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන් “ලෝකයේ කොටසක් නොවන බව.” (යොහන් 17:16, NW) කොහොම වුණත්, ලෞකික ආණ්ඩු ක්‍රම වන “කායිසර්” කෙරෙහි ඔවුන්ට ඇති ණයගැතිබව ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ‘කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවිගේ දේ දෙවිටත්’ දිය යුතු බව යේසුස් කිව්වා. (මතෙව් 22:21) බයිබලයට අනුව, මනුෂ්‍ය ආණ්ඩු ක්‍රම ‘තිබෙන්නේ දෙවි විසින් ඒවාට නියම කර ඇති සාපේක්ෂ තත්වයන්වලයි.’ සියලු අධිකාරිත්වයන්හි උල්පත වන යෙහෝවා, ආණ්ඩු ක්‍රම පැවතීමට ඉඩ දෙයි. තවද ඔවුන්ගේ බලය යටතේ සිටින අයට යහපත කිරීමද දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙයි. ඔවුන් එසේ කරන විට ඔවුන් ‘දෙවිගේ සේවකයෝ’ බවට පත් වෙයි. තමන් ජීවත් වන දේශයේ ආණ්ඩු ක්‍රමයට ක්‍රිස්තියානීන් යටත් විය යුත්තේ තමන්ගේ “හෘද සාක්ෂිය හේතුවෙනි.” (රෝම 13:1-7, NW) නමුත් දෙවිගේ නීතියට පටහැනි යමක් කිරීමට ආණ්ඩුව ඉල්ලන්නේ නම්, ක්‍රිස්තියානීන් ‘මනුෂ්‍යයන්ට වඩා දෙවිට . . . කීකරු’ වෙයි.—ක්‍රියා 5:29.
12. ක්‍රිස්තියානීන් අධිකාරීන් අතින් පීඩාවට ලක් වන විට, ඔවුන් අනුගමනය කරන්නේ කාගේ ආදර්ශයද?
12 නමුත් ආණ්ඩුවේ අධිකාරීන් විසින් සැබෑ ක්‍රිස්තියානීන්ට පීඩා කරන්නේ නම් කුමක් කිව හැකිද? එවිට ඔවුන් මහත් පීඩා කන්දරාවක් විඳදරාගත් මුල් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අනුගමනය කරනවා. (ක්‍රියා 8:1; 13:50) ඇදහිල්ලේ එවන් පරීක්ෂා පැමිණෙන බව යේසුස් අනතුරු අඟවා තිබුණු හෙයින්, ඒවා අනපේක්ෂිතව කඩා වැටුණු ඒවා නොවෙයි. (මතෙව් 5:10-12; මාර්ක් 4:17) එනමුත්, එම මුල් ක්‍රිස්තියානීන් ඔවුන්ට පීඩා කළ අයට විරුද්ධව නැඟී සිටියේ නැහැ. පීඩනය යටතේ ඔවුන්ගේ ඇදහිල්ල දුබල වුණෙත් නැහැ. ඊට වෙනස්ව, ඔවුන් යේසුස්ගේ මෙම ආදර්ශය අනුගමනය කළා: ‘ඔහු නින්දා කරනු ලැබූ කල නින්දා නොකළේය. වධ වින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තාට කාරණය භාර දුන්නේය.’ (1 පේතෘස් 2:21-23) ඔව්, සාතන්ගේ උසිගැන්වීම් අබිබවා ජයග්‍රහණය අත් වුණේ ක්‍රිස්තියානි ප්රතිපත්තිවලටයි.—රෝම 12:21.
13. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එල්ල වන පීඩා හා නිග්‍රහාත්මක වැඩ පිළිවෙළවල්වලට ඔවුන් ප්‍රතිචාරය දක්වා ඇත්තේ කොහොමද?
13 අදදිනත් මෙය සැබෑවක් වෙනවා. මෙම සියවස තුළදී, යේසුස් පුරෝකථනය කළාක් මෙන්, ඒකාධිපත්‍යයක් දැරූ පාලකයන් අතින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝ සෙයින් දුක් විඳ ඇත. (මතෙව් 24:9, 13) සමහරක් රටවල, මෙම අවංක ක්‍රිස්තියානීන්ට විරුද්ධව ක්‍රියා කිරීමට අධිකාරීන්ව උසිගැන්වීම සඳහා උත්සාහ කරන අය බොරු සහ වරදවා දැක්වීම් පතුරුවා තිබෙනවා. ඒ වුණත් මෙලෙස “අපකීර්තිය” පැතිරුණත්, සාක්ෂිකරුවන් තම කදිම හැසිරීමෙන් දෙවිගේ සේවකයන් හැටියට තමන්වම පිළිගන්වමින් සිටිනවා. (2 කොරින්ති 6:4, 8, 10ආ) හැකි අවස්ථාවලදී, චෝදනාවලින් තමන් නිදොස් බව ඔප්පු කර පෙන්වීමට ඔවුන් නිලධාරීන් සහ රටේ උසාවිවලට තම තත්වය පැහැදිලි කර දෙනවා. ශුභාරංචිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට, ඔවුන් තමුන්හට විවෘත වී තිබෙන හැම මාර්ගයක්ම ප්‍රයෝජනයට ගන්නවා. (පිලිප්පි 1:7) එනමුත් නීතියෙන් තමුන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමෙන් පසු, ඔවුන් කාරණා යෙහෝවාට භාර කරනවා. (ගීතාවලිය 5:8-12; හිතෝපදේශ 20:22) මුල් ක්‍රිස්තියානීන් වගේ, අවශ්‍ය නම් ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳීමට ඔවුන් භය වන්නේ නැහැ.—1 පේතෘස් 3:14, 17; 4:12-14, 16.
දෙවිගේ මහිමයට ප්‍රමුඛත්වය දෙන්න
14, 15. (අ) දිව්‍ය තන්ත්රය නමැති ප්‍රතිපත්තියට සහය දක්වන අයට වැදගත්ම දෙය වන්නේ කුමක්ද? (ආ) සාලමොන් අධීක්ෂණය සම්බන්ධයෙන් තමාට තිබූ ස්ථානය සම්බන්ධයෙන් නිහතමානිකමේ කදිම ආදර්ශයක් සැපයුවේ කිනම් අවස්ථාවේදීද?
14 යේසුස් තම අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ විට ඔහු පළමුවෙන්ම සඳහන් කළේ යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම ගැනයි. (මතෙව් 6:9) මෙයට එකඟව, දිව්‍ය තන්ත්රය යටතේ ජීවත් වන්නන් තම මහිමය නොව දෙවිගේ මහිමය සොයයි. (ගීතාවලිය 29:1, 2) යේසුස්ව අනුගමනය කිරීමට අසමත් වූ පළවන ශතවර්ෂයේ අයට මෙය බාධාවට හේතුවක් වූ බව බයිබලය වාර්තා කරනවා. මෙයට හේතුව ඔවුන් “මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට [මහිමයට, NW] ප්‍රියවූ” නිසයි. එනම් මනුෂ්‍යයන්ගේ පැසසුම් ලබන්න ඔවුන් කැමැත්තක් දැක්වූවා. (යොහන් 12:42, 43) ඒ හේතුවෙන් තමාගේ ගෞරවයට ඉහළින් යෙහෝවාව තැබීම සඳහා ඇත්තෙන්ම නිහතමානීකම අවශ්‍ය වෙනවා.
15 සාලමොන් මේ සම්බන්ධයෙන් කදිම ආකල්පයක් පෙන්වූවා. තමන් ගොඩනැඟූ මහිමාන්විත දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී ඔහු පැවසූ දේ සමඟ, තමන්ගේ ගොඩනැඟීමේ වික්‍රමයන් සම්බන්ධයෙන් නෙබුකද්නෙශර්ට පැවසීමට තිබූ දේ සසඳා බලන්න. හිස උදුම්මවාගත් අහංකාරයෙන් යුතුව නෙබුකද්නෙශර් මෙසේ උදම් ඇනුවා: “මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේද”? (දානියෙල් 4:30) ඊට වෙනස්ව, සාලමොන් තම අත් කරගැනීම නිහතමානීව සලකමින් මෙසේ පැවසුවා: ‘දෙවි සැබවින්ම මනුෂ්‍යයන් සමඟ වසන්නේද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබට ඉඩ මදිය; එසේනම් මා විසින් ගොඩනැඟූ මේ ගෘහය ඊටත් වඩා කොපමණ මදිද!’ (2 ලේකම් 6:14, 15, 18; ගීතාවලිය 127:1) සාලමොන් තමන්වම උසස් කරගත්තේ නැහැ. තමා යෙහෝවාගේ හුදු නියෝජිතයෙක් පමණක් බව ඔහු දැන සිටි අතර, ඔහු මෙසේ ලීවා: “උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.”—හිතෝපදේශ 11:2.
16. තමන්වම ගෞරවයට පමුණුවා නොගැනීම මගින් වැඩිමහල්ලන් ඇත්තෙන්ම ආශීර්වාදයක් බවට ඔප්පු වී ඇත්තේ කොහොමද?
16 එයාකාරයෙන්, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තමන්වම නොව යෙහෝවාව උසස් කරයි. ඔවුන් පේතෘස්ගේ මෙම උපදෙස අනුගමනය කරයි: ‘යමෙක් සේවය කෙරේ නම්, දෙවි සපයා දෙන ශක්තියේ ප්‍රකාර සේවය කරාවා. දෙවිට යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේ කරන්ට ඕනෑය.’ (1 පේතෘස් 4:11) “අවේක්ෂකයෙකුගේ කාර්යභාරය” ප්රමුඛත්වයෙන් යුතු තැනක් හැටියට නොව නමුත් “යහපත් වැඩක්” හැටියට ප්‍රේරිත පාවුල් විස්තර කළා. (1 තිමෝති 3:1, NW) වැඩිමහල්ලන්ව පත් කර ඇත්තේ සේවය කරන්න මිස පාලනය කරන්න නෙවෙයි. ඔවුන් දෙවිගේ රැළේ ගුරුවරුන් හා එඬේරුන් වෙයි. (ක්‍රියා 20:28; යාකොබ් 3:1) නිහතමානි ආත්ම පරිත්‍යාගී වැඩිමහල්ලන් සභාවට ඇත්තෙන්ම ආශීර්වාදයකි. (1 පේතෘස් 5:2, 3) ‘එවැනි අයට ගරු කරමින්’ මෙම “අන්තිම දවස්වල” දිව්‍ය තන්ත්රය තහවුරු කිරීමට මෙතරම් සුදුසුකම් ලත් වැඩිමහල්ලන් ප්‍රමාණයක් සැපයීම ගැන යෙහෝවාට ස්තුතිවන්ත වන්න.—පිලිප්පි 2:29; 2 තිමෝති 3:1.
‘දෙවි අනුව යන්නෝ වෙන්න’
17. දිව්‍ය තන්ත්රය යටතේ සිටින අය කිනම් ආකාරවලින්ද දෙවිව අනුකරණය කරන්නේ?
17 ‘නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවි අනුව යන්නෝ වෙන්න’ කියා ප්‍රේරිත පාවුල් දැඩි සේ උනන්දු කළා. (එපීස 5:1) අසම්පූර්ණ මනුෂ්‍යයෙකුට විය හැකි ප්‍රමාණයට දෙවි මෙන් වීමට දිව්‍ය තන්ත්රයට යටත් වන අය තැත් කරනවා. උදාහරණයක් හැටියට බයිබලයේ යෙහෝවා ගැන මෙසේ පවසනවා: ‘ඔහු පර්වතයය, ඔහුගේ ක්‍රියා සම්පූර්ණය; මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවි කෙනෙකි. ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.’ (ද්විතීය කථාව 32:3, 4) මේ සම්බන්ධයෙන් දෙවිව අනුකරණය කිරීම සඳහා, ක්‍රිස්තියානීන් විශ්වාසවන්තකම, ධර්මිෂ්ඨකම හා සමබරින් යුතු යුක්තියද සොයනවා. (මීකා 6:8; 1 තෙසලෝනික 3:6; 1 යොහන් 3:7) ඔවුන් දුරාචාරය, ඊර්ෂ්‍යාව හා තණ්හාව වැනි ලෝකයේ පිළිගත් බොහෝ දේවලින් වැළකෙයි. (එපීස 5:5) යෙහෝවාගේ සේවකයන් මනුෂ්‍ය ප්‍රමිති නොව නමුත් දිව්‍යමය ඒවා අනුගමනය කරන නිසා ඔහුගේ සංවිධානය දිව්‍ය තාන්ත්‍රික, පවිත්‍ර හා යහපත් එකක් වෙයි.
18. දෙවිගේ විශිෂ්ටතම ගුණාංගය කුමක්ද? තවද ක්‍රිස්තියානීන් මෙම ගුණාංගය පිළිබිඹු කරන්නේ කොහොමද?
18 යෙහෝවා දෙවිගේ විශිෂ්ටතම ගුණාංගය වන්නේ ප්‍රේමයයි. ‘දෙවි ප්‍රේමය’ කියා ප්‍රේරිත යොහන් පවසයි. (1 යොහන් 4:8) දිව්‍ය තන්ත්රයෙන් අදහස් වන්නේ දේවපාලනය නිසා, ඉන් අර්ථවත් වන්නේ ප්‍රේමයෙන් යුතු පාලනයක්. යේසුස් මෙසේ කිව්වා: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයන් බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) මෙම අසීරු අන්තිම දවස්වලදී, මෙම දිව්‍ය තාන්ත්‍රික සංවිධානය කැපීපෙනෙන අන්දමින් ප්‍රේමය පෙන්වා තිබෙනවා. අප්‍රිකාවේ සිදු වූ සමූලඝාතනයේදී, මනුෂ්‍යයන්ගේ කුල ගෝත්‍ර නොසලකා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සැමට ප්‍රේමය විදහාපෙන්වූවා. කලින් යුගෝස්ලාවියාවේ පැවති යුද්ධය තුළදී, ජනවාර්ගික ශෝධනයයයි හැඳින්වූ දෙයෙහි වෙනත් ආගමික කණ්ඩායම් යෙදී සිටි අතරතුරේදී, සෑම ප්‍රදේශයකම විසූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් එකිනෙකාට උපකාර කරගත්තා. පෞද්ගලික මට්ටමකින් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පාවුල්ගේ මෙම උපදේශය පිළිපැදීමට යත්න දරනවා: ‘සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව, අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස් තුළ දෙවි නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න.’—එපීස 4:31, 32.
19. දිව්‍ය තන්ත්රයට යටත් වන අයට අදටත් අනාගතයටත් ලැබෙන්නේ කිනම් ආශීර්වාදද?
19 දිව්‍ය තන්ත්රයට යටත් වන අය මහඟු ආශීර්වාද භුක්ති විඳිනවා. ඔවුන්ට දෙවි සමඟත් සෙසු ක්‍රිස්තියානීන් සමඟත් සාමය තිබෙනවා. (හෙබ්‍රෙව් 12:14; යාකොබ් 3:17) ඔවුන්ට ජීවිතය සඳහා අරමුණක් තිබෙනවා. (දේශනාකාරයා 12:13) ඔවුන්ට ආත්මික සුරක්ෂිතභාවයක් තිබෙන අතර අනාගතය සඳහා ස්ථිර බලාපොරොත්තුවක්ද තිබෙනවා. (ගීතාවලිය 59:9) සියලුම මනුෂ්‍යවර්ගයා දිව්‍ය තාන්ත්‍රික පාලනය යටතේ සිටින විට අද්දකින්න යන තත්වය දැන්ම රස බලමින් සිටියි. බයිබලය පවසන හැටියට, ඒ කාලයේදී “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:9) එය මොනතරම් මහිමාන්විත කාලයක් වේවිද! අප සියලුදෙනාම දිව්‍ය තන්ත්රයට දැන් සමීපව සිටීමෙන් එම අනාගතික පාරාදීසයේ අපට ඇති තැන සහතික කරගනිමු.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ සැබෑ දිව්‍ය තන්ත්රය යනු කුමක්ද? තවද එය අද සොයාගත හැක්කේ කොතැනද?
◻ මිනිසුන් තම ජීවිතයේදී දිව්‍ය තාන්ත්‍රික පාලනයට යටත් වන්නේ කොහොමද?
◻ දිව්‍ය තන්ත්රය යටතේ සිටින සියල්ලන් තම මහිමයට ඉහළින් දෙවිගේ මහිමය සොයන්නේ කිනම් ආකාරවලින්ද?
◻ දිව්‍ය තන්ත්රයට සහය දෙන අය අනුකරණය කරන සමහරක් දිව්‍යමය ගුණාංග මොනවාද?
[17වන පිටුවේ පින්තූරය]
සාලමොන් තමාගේ මහිමයට ඉහළින් දෙවිගේ මහිමය තැබුවා