“නියතවම ගෞරවය ලැබිය යුතු” වැඩක්
ප්‍රේරිත පේතෘස් ඔහුගේ හවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළා: “නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී [දෙවිට] ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.” (1 පේතෘස් 2:12) ඉතාලියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්, අවුරුදු ගණනාවක සිට එවැනි කදිම හැසිරීමක් ප්‍රසිද්ධියේ විදහාපෙන්වා තිබෙනවා. “ගෙවල් උඩදී ප්‍රකාශකරන්න” යන යේසුගේ උපදෙස්වල සාරයට අනුව, ඔවුන් ඔවුන්ගේ සියලුම ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් මහජනයා ඉදිරියෙහි විවෘතව සිදු කරනවා. (මතෙව් 10:27; යොහන් 18:20) ඒ හේතුවෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන්නේ “මිථ්‍යා ආගමික නිකායක්” සහ “මිනිසුන්ව මුළා කරන රහස් සංවිධානයක්” කියා ඉතාලි ජාතික නීතිඥවරයෙක් සහ පූජකයෙක් චෝදනා ප්‍රචාරය කළ විට, ඒවා අපකීර්තියට පත් කරන ප්‍රකාශයන් නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීතිමය පියවර ගන්න තීරණය කළා.
පළමුවන නඩු විභාගයේදී නීතිඥවරයා සහ පූජකයා නීතිය කඩ කර නැති බව අධිකරණය තීන්දු කළා. කොහොම වුණත් 1997 ජූලි 17වනදා, වැනිසියේ අභියාචන මහාධිකරණය විත්තිකරුවන් දෙදෙනාම වරදකරුවන් බව තීන්දු කරමින් පළමුවන අධිකරණයේ තීන්දුව නිෂ්ප්‍රභ කළා. “ ‘යෙහෝවාගේ සාක්ෂිකරුවන්’ කියන ආගමේ අනුගාමිකයන්ගේ කීර්තියට නිසැකවම හානි කළ හැකි අදහස් සහ වාක්යඛණ්ඩයන්, පළ කළ ලිපි දෙකෙහිම අන්තර්ගතයි. ලිපිවල අරමුණ එම ආගමේ අනුගාමිකයන්ව මහජන අප්‍රසාදයට ලක් කිරීම බව පැහැදිලිව පෙනෙනවා” කියා අභියාචන මහාධිකරණය ප්‍රකාශ කළා. එම ලිපි, “ඕනෑම දෙයක් වාර්තා කිරීමේ සහ විවේචනය කිරීමේ අයිතිය ඉක්මවා ගොස් ඇති” බව අධිකරණය පැවසුවා. අධිකරණය අපහාස කළ දෙදෙනාට දඩ නියම කළ අතර, නඩු දෙකම සඳහා සාක්ෂිකරුවන්ගේ නීතිමය වියදම් ඇතුළුව සියලුම උසාවි ගාස්තු ගෙවීමට අණ කළා.
වැනිසියේ අභියාචන මහාධිකරණය එහි ලිඛිත තීන්දුවේ මෙසේ පළ කළා: “විවිධාකාර ස්වරූපයන් ගන්නා නොරිස්සීම සහ ආගමික ධර්මෝන්මාදයන් වළක්වාගත හැකි වන්නේ [ඉතාලි] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙන් සහ සමව ක්‍රියාත්මක කිරීමෙන් පමණයි.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් මිථ්‍යා ආගමික හෝ රහස්‍ය දෙයක් නොවන බව එම තීන්දුව ඒත්තුගන්වනවා. “සාක්ෂිකරුවන්ව රහස් සංවිධාන අතරට වර්ග කිරීමේදී, ඔවුන් ඉතිහාසයෙහි කර තිබෙන දේටවත් ගරු කර නැහැ. මන්ද මෙම ආගම බොහෝ නගරවල තිබෙන අතර, විශේෂයෙන්ම ඉරු දිනවල සහ වෙනත් නිවාඩු දිනවල එහි සාමාජිකයන් විසින් පුළුල් ලෙස සිදු කරන ආගමට හැරවීමේ වැඩය ඉතා ප්‍රසිද්ධයි. තවද දේශනා කරනු ලබන ධර්මය ගැන යමෙක් මොනවා හිතුවත්, දරන වෑයම් හේතුවෙන් එය නියතවම ගෞරවය ලැබිය යුතු දෙයක් වී තිබෙනවා” යයි අධිකරණය අවධාරණය කළා. මෙනිසා, ඉතාලියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජ්වලිතව දේශනා කිරීමේ වාර්තාව සහ ආදර්ශවත් හැසිරීම, ඔවුන්ට විරුද්ධව පැමිණෙන අගතිය ඉවත් කරන්න උපකාරවත් වී තිබෙනවා.—මතෙව් 5:14-16; 1 පේතෘස් 2:15.