ඔබේ ජීවිතයෙන් උපරිමය නෙළාගන්න
පියා පිළිකාවෙන් මියැදෙමින් ඇඳේ වැතිර සිටියා. ඔහුගේ පුතා පට්ටලයෙහි තම පියාගේ වඩු උපකරණ අස් කරමින් සිටියා. ඔහු එසේ අස් කරද්දී, ඒවායින් පියා සාදා තිබූ පුදුමාකාර දේවල් ගැන සිතුවා. පට්ටලය නිවසට යාබදව පිහිටියත්, පියා යළි කවදාවත් එයට ඇතුල් වන්නේ හෝ ඔහු ඉතා දක්ෂ ලෙස පාවිච්චි කළ උපකරණ යළි කවදාවත් අල්ලන්නේ හෝ නැති බව ඔහු දැනගෙන සිටියා. ඒ කාලය පසු වී ගිහින්.
පුතා දේශනාකාරයා 9:10හි ශුද්ධ ලියවිලි පදය ගැන සිතුවා: “කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” ඔහු ඒ ශුද්ධ ලියවිලි පදය හොඳින් දැනගෙන හිටියා. මරණය ක්‍රියා විරහිත තත්වයක්ය යන බයිබල් සත්‍යය අන්‍යයන්ට උගන්වද්දී ඔහු බොහෝ වර එය යොදාගෙන තිබුණා. මේ අවස්ථාවේදී, සාලමොන්ගේ බලවත් තර්කය ඔහුගේ හෘදයට කාවැදුණා—අපට කිසිවක් කර කියාගත නොහැකි කාලයක් එන නිසා අපි ජීවිතයෙන් පූර්ණ ප්‍රයෝජන ගත යුතු අතර, අපට හැකියාව තිබෙද්දී අපේ දවස් භුක්ති විඳිය යුතුයි.
ජීවිතය භුක්ති විඳින්න
දේශනාකාරයා පොත පුරාම, ජීවිතයෙහි ප්‍රීතිය සොයාගන්න කියා ඥානවන්ත සාලමොන් රජ ඔහුගේ පාඨකයන්ට අවවාද කරනවා. උදාහරණයකට 3වන පරිච්ඡේදය මෙසේ ප්‍රකාශ කරනවා: “[ජනයා] තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි. තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය [දෙවිගේ] දීමනාවක්ය.”—දේශනාකාරයා 3:12, 13.
මේ අදහස යළිත් ප්‍රකාශ කිරීමට දෙවි විසින් සාලමොන්ව පෙලඹෙව්වා: “බලව, මා දුටු කාරණයක් නම් [දෙවි] යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.”—දේශනාකාරයා 5:18.
එලෙසම, ඔහු යෞවනයන්ට මෙසේ අවවාද කරනවා: “තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න.” (දේශනාකාරයා 11:9අ) යෞවන ශක්තිය හා බලය පූර්ණ වශයෙන් භුක්ති විඳීම කොයිතරම් කදිම දෙයක්ද!—හිතෝපදේශ 20:29.
‘ඔබේ මැවුම්කරුවා සිහි කරන්න’
ඇත්තෙන්ම, අපේ හෘදයට හෝ ඇස්වලට ප්‍රිය වන ඕනෑම දෙයක් ලුහුබැඳීම ඥානවන්ත බව සාලමොන් අදහස් කළේ නැහැ. (1 යොහන් 2:16 සසඳන්න.) ඔහු ඊළඟට ලියන දෙයින් මෙය පැහැදිලි වෙනවා: “මේ සියල්ල [ඔබේ ආශාවන් ඉටු කළ හැකි ලුහුබැඳීම්] ගැන [දෙවි] නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.” (දේශනාකාරයා 11:9ආ) අපේ වයස කුමක් වුවත්, අපේ ජීවිත සම්බන්ධයෙන් අප කරන දේ නිරීක්ෂණය කරන දෙවි, ඒ ඒ අනුව අපව විනිශ්චය කරනු ඇති බව අප මතක තබාගත යුතුයි.
අප වටාම ගෙතුණ ජීවිතයක් ගත කර ජීවිතයේ පසු කාලෙකදී දේවභක්තික ජීවිතයක් ගත කළ හැකියි කියා තර්ක කරමින් එය කල් දැමීම මොනතරම් මෝඩකමක්ද! අපේ ජීවිතය කොයි මොහොතක හෝ නැති වෙන්න පුළුවන්. එසේ නොවුණත්, මහලු වියේදී දෙවිට සේවය කිරීම එතරම් පහසු එකක් වන්නේ නැහැ. මේ සත්‍යය වටහාගනිමින්, සාලමොන් මෙසේ ලියයි: “නුඹේ යෞවන දවස්වලදී නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.”—දේශනාකාරයා 12:1.
වයස්ගත වන කාලපරිච්ඡේදයේදී බොහෝ වේදනා ඇති වෙනවා. සාලමොන් සංකේත යෙදුම්වලින් වයස්ගත වර්ෂවල ප්‍රතිඵල ඊළඟට විස්තර කරනවා. අත් වෙව්ලන්න ගන්නවා; කකුල් දුර්වල වෙනවා; ඒ වගේම දත් වැටී යනවා. හිසකේ සුදු වී, හැලෙනවා. කුරුල්ලෙකුගේ හඬින් පවා අවදි වන තරමේ සුළු නින්දක් ලැබෙන්නේ. පෙනීම, ඇසීම, ස්පර්ශය, ගඳ සුවඳ හා රස දැනීමේ පංචේන්ද්‍රියන් සියල්ල දුර්වල වෙනවා. දුර්වල වූ ශරීරය හේතුවෙන් වැටෙයිද යන බිය ඇති කරන අතර, ප්‍රසිද්ධ මාර්ගවලදී වෙනත් ‘භයානකකම්වලට’ ලක් විය හැකියි. අන්තිමේදී පුද්ගලයා මියයනවා.—දේශනාකාරයා 12:2-7.
තම යෞවන කාලයේදී ‘තම උදාර මැවුම්කරු සිහි කිරීමට’ අසමත් වී ඇති අයට මහලු වයස විශේෂයෙන්ම විපත්තිදායකයි. ඔහු හෝ ඈ තමාගේ ජීවිත කාලය නාස්ති කරන නිසා, එවැනි පුද්ගලයෙකුට වයස්ගත වන කාලයේදී ‘සතුටක් ලැබෙන්නේ නැහැ’. අභක්තික ජීවන-රටාවක්ද, මහලු වියේ ගැටලු හා වේදනාවන් තවත් වැඩි කළ හැකියි. (හිතෝපදේශ 5:3-11) කනගාටුවට කරුණක් නම්, ඉදිරිය දෙස බලද්දී, එවැන්නන්ට තිබෙන්නේ අනාගතයක් නොව, නමුත් මිනීවළයි.
මහලු වියේදී ප්‍රීතිවීම
වයසක අයට ජීවිතය භුක්ති විඳිය නොහැකි බවක් මින් අදහස් කරන්නේ නැහැ. බයිබලයෙහි, ‘දවස් ගණන හා ජීවිතයේ අවුරුදු’ දෙවිගේ ආශීර්වාද සමඟත් සම්බන්ධ කර තිබෙනවා. (හිතෝපදේශ 3:1, 2) යෙහෝවා තම මිත්‍ර ආබ්‍රහම්ට මෙසේ පැවසුවා: “නුඹ . . . හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.” (උත්පත්ති 15:15) යෙහෝවාට කැප කළ ජීවිතයක් දෙස හැරී බලද්දී, ආබ්‍රහම්ට වයස්ගත අවුරුදුවල අපහසුතා තිබියදීත් ඔහුගේ අවසාන අවුරුදුවලදී ඔහුට සාමය හා සන්සුන්බවක් ලැබුණා. ඔහු ඇදහිල්ලෙන් යුතුව ‘සැබෑ අත්තිවාරම් ඇති නුවරකට,’ එනම් දේවරාජ්‍යයට ඇතුල් වීමට ආශාවෙන් බලා සිටියා. (හෙබ්‍රෙව් 11:10, NW) මෙලෙස, ඔහු “මහලුව සෑහීමට පත්ව” මියගියා.—උත්පත්ති 25:8, NW.
එබැවින් සාලමොන් මෙසේ අවවාද කළා: “මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා.” (දේශනාකාරයා 11:8) අප තරුණ වුවත්, මහලු වුවත්, සැබෑ ප්‍රීතිය ලැබෙන්නේ දෙවි සමඟ ඇති අපේ සබඳතාවෙනුයි.
යෞවනයා, පට්ටලයේ තිබූ පියාගේ අන්තිම උපකරණය ඉවත් කරද්දී මේ දේවල් ගැන සිතුවා. තමන්ගේ ජීවිතයේ උපරිමය නෙළාගැනීමට වෑයම් කළ නමුත්, තමන්ගේ මැවුම්කාරයා සමඟ සබඳතාවක් පවත්වාගෙන නොතිබූ නිසා සන්තෝෂය නොලැබූ තමා දන්නා හඳුනන හැම කෙනෙක් ගැනම ඔහු කල්පනා කළා. කෙනෙකුගේ ජීවිතයේදී ප්‍රීතිවීමට දිරිගැන්වීමෙන් පසුව, “සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: [දෙවිට] භයව [ඔහුගේ] ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය” යනුවෙන් සාලමොන් කාරණා සියල්ල කැටිකොට දැක්වීම කෙතරම් යෝග්‍යද!—දේශනාකාරයා 12:13.