දොස් පැවරිය යුත්තේ කවරෙකුටද?
බොහෝදෙනෙක් තම ගැටලුවලට දොස් පවරන්නේ දෙවිටයි. බයිබල් හිතෝපදේශයක් මෙසේ ප්‍රකාශ කරනවා: “මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත [යෙහෝවාට] විරුද්ධව කිපෙයි.” (හිතෝපදේශ 19:3) එහෙත්, මිනිසාගේ ව්‍යසනයන් සඳහා දෙවි වගකිව යුතුයි කියා පැවසීම හරියට, බීමත්ව රිය පැදවීමෙන් අනතුරු පැතිර පැවතීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයාට දොස් පවරනවා හා සමානයි.
දෙවි තම වචනය වන බයිබලයෙහි මනුෂ්‍යවර්ගයාට අගනා උපදෙස් දී තිබෙනවා. මෙම දිව්‍ය උපදෙස් සම්භාරය හැදෑරීමෙන් මෙන්ම එහි දී ඇති නීති හා ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන්ද, ජීවිතයේ බොහෝ බොරු වළවල්වලින් බේරෙන්න අපිට පුළුවන්. ඊට පටහැනිව, දෙවිගේ උපදෙස්වලට විරුද්ධව ක්‍රියා කිරීම විපත්තිදායකයි. උදාහරණයක් වශයෙන්, අධික ලෙස කන අය, දුම්පානය කරන්නන්, අධික ලෙස බොන අය හෝ දුරාචාරයේ යෙදෙන අය බොහෝවිට ඛේදජනක සෞඛ්‍ය විපාක විඳිනවා. (ලූක් 21:34; 1 කොරින්ති 6:18; 2 කොරින්ති 7:1) ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; [ආත්මය] සඳහා වපුරන්නා [ආත්මයෙන්] සදාකාල ජීවනය කපාගන්නේය.”—ගලාති 6:7, 8.
දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීම කෙතරම් හොඳද! අපි එසේ කරනවා නම්, ප්‍රොපේත යෙසායා මගින් දෙවි ප්‍රකාශ කළ මෙම පොරොන්දුවේ යථාර්ථය අපි අද්දකින්නෙමු: “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය. අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.”—යෙසායා 48:17, 18.