මරියා මියගියේ ස්වාභාවික හේතුවලින්ද?
වතිකානු පුවත්පතක් වන ලොසේවාටෝරේ රොමානෝට අනුව, ස්වර්ගාරෝහණය වීම සම්බන්ධයෙන් කතෝලික ඉගැන්වීම මෙසේ ප්‍රකාශ කරයි: “ජන්ම පාපයේ සියලු කැළැල්වලින් තොරව ආරක්ෂා වුණ නිර්මල කන්‍යාවගේ භූමික ජීවිතය අවසන් වූ විගස, ඇගේ ශරීරය හා ආත්මය ස්වර්ගික තේජස තුළට ගනු ලැබුවා.” “මරියා මියගියේ නැති අතර භූමික ජීවිතයෙන් කෙළින්ම ස්වර්ගික තේජසට ඔසවාගනු ලැබූ” බව ප්‍රකාශ කිරීමටත් ඇතැම් කතෝලික දේවධර්මාධරයන්ට මේ ඉගැන්වීම මඟ පාදා තිබෙනවා.a
මෑතකදී, IIවන ජුවාම් පාවුලු පාප් කාරණය සම්බන්ධයෙන් වෙනස් අදහසක් ගෙනහැර දැක්වුවා. වර්ෂ 1997 ජූනි 25වනදා වතිකානුවේ මහ සභාව ඉදිරියේ ඔහු මෙසේ පැවසුවා: “මරියාගේ මරණය පිළිබඳ තත්වයන් සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් නව ගිවිසුමේ සපයා නැහැ. එය සිද්ධ වුණේ සඳහන් කිරීමට තරම් වටිනා විශේෂ විස්තරයක් නැතුව ස්වාභාවිකව යන්න සිතීමට එම නිහැඬියාව මඟ පාදනවා. . . . ස්වාභාවික හේතු මගින් ඇති වන මරණයෙන් ඇයව බැහැර කිරීමට අදහස් කරන මතයන් පදනම් රහිත ඒවා බව පෙනෙන්න තිබෙනවා.”
ජුවාම් පාවුලු පාප්ගේ ප්‍රකාශය නිර්මල පිළිසිඳගැනීම පිළිබඳ සිද්ධාන්තයෙහි ගැඹුරු දෝෂයක් තිබෙන බවට අනාවරණය කරනවා. යේසුගේ මව ‘ජන්ම පාපයේ සියලු කැළැල්වලින් තොරව ආරක්ෂා වුණා’ නම්, පව් කළ ආදම්ගෙන් උරුම වූ පාපය නිසා ඇති වන “ස්වාභාවික හේතු” මගින් මරියා මියයා හැක්කේ කෙසේද? (රෝම 5:12) මෙම දේවධර්ම උභතෝකෝටික ප්රශ්නය පවතින්නේ කතෝලික සභාව යේසුගේ මව පිළිබඳ දෘෂ්ටිය විකෘති කිරීම හේතුවෙනුයි. මේ කාරණය සම්බන්ධයෙන් කතෝලික සභාව තුළම භේද හා වියවුල පැනනැඟී තිබීම පුදුමයක් නොවෙයි.
මරියා යටහත් පහත්, විශ්වාසවන්ත හා භක්තිවන්ත කෙනෙකු හැටියට බයිබලය පැහැදිලිව පෙන්වන අතරතුරේදී, එහි මේ ගුණාංග ‘නිර්මල පිළිසිඳගැනීමට’ සම්බන්ධ කරන්නේ නැහැ. (ලූක් 1:38; ක්‍රියා 1:13, 14) බයිබලය සරලව මෙසේ පවසනවා: “සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව සිටිති.” (රෝම 3:23) ඔව්, අන් සියලු මනුෂ්‍යයන්ට වගේම මරියාටත් පාපය හා අසම්පූර්ණත්වය උරුම වී තිබුණු අතර, ස්වාභාවික හේතුවලින් ඇය මියගියේ නැහැ කියා පවසන්න කිසිම සාක්ෂියක් නැහැ.—1 යොහන් 1:8-10 සසඳන්න.
[පාදසටහන]
a 1994 පෙබරවාරි 15, මුරටැඹ 26-9 පිටුවල ‘මරියාගේ ස්වර්ගාරෝහණය දෙවි විසින් හෙළි කරන ලද සිද්ධාන්තයක්ද?’ යන ලිපිය බලන්න.