අයුක්තිය නැති කර දැමිය නොහැකිද?
“මොනව වුණත් මිනිසුන්ගේ හිත හොඳයි කියල මම තවමත් විශ්වාස කරනවා. ඒ වුණත් අවුල්සහගතබව, දුක හා මරණය යනාදි දේවලින් සමන්විත පදනමක් මත මගේ බලාපොරොත්තු ගොඩනඟාගන්න මට නම් කොහොමටවත් බැහැ.”—ආන ෆ්‍රාන්ක්.
පහළොස් හැවිරිදි යුදෙව් දැරියක් වූ ආන ෆ්‍රාන්ක් මියයන්න ටික වේලාවකට කලින් එම ඛේදජනක වදන් ඇගේ දිනපොතේ ලිව්වා. අවුරුදු දෙකකට වැඩි කාලයක් ඇගේ පවුලේ අය ඇම්ස්ට’ඩෑම්හි අට්ටාලයක සැඟවී සිටියා. මිනිසෙක් ඔවුන් සැඟවී සිටි ස්ථානය ගැන නාට්සිවරුන්ට දැනුම් දුන් අවස්ථාවේදී, වඩාත් හොඳ ලෝකයක් ගැන තිබූ ඇගේ බලාපොරොත්තු සුනුවිසුනු වී ගියා. ඊළඟ අවුරුද්දේ, එනම් 1945දී ටයිපස් උණ වැළඳීමෙන් ආන, බ’ගන් බෙල්සන්හි පිහිටි ගාල්කඳවුරේදී මියගියා. තවත් යුදෙව්වන් දශලක්ෂ හයක් එම ඉරණමටම ගොදුරු වුණා.
මිනිස් ජාතියක් සමූලඝාතනය කර දැමීමට සැලසුම් කළ හිට්ලර්ගේ අතිදුෂ්ට ක්‍රියාමාර්ගය අපේ සියවසේ සිදු වූ දරුණුතම වාර්ගික අයුක්තිය විය හැකියි; ඒ වුණත්, සිදු වූ එකම වාර්ගික අයුක්තිය එය නොවෙයි. රුවන්ඩාවේ දශලක්ෂ භාගයකට වැඩි ප්‍රමාණයක ටුට්සිවරුන්ව 1994දී මරා දමනු ලැබුවා; එයට හේතුව ඔවුන් “වෙනස්” ගෝත්‍රයකට අයත් වීමයි. පළමු ලෝක මහා යුද්ධය පැවති කාලයේ සිදු වූ වාර්ගික ශෝධනයේදී ආමේනියානුවන් දශලක්ෂයක් පමණ මියගියා.
අයුක්තිය සිදු වන කුරිරු ආකාර
අයුක්තිය සිදු වන එකම ආකාරය ජනසංහාරය නොවෙයි. සමාජ අයුක්තිය මගින් මානව වර්ගයාගෙන් පහෙන් එකක් පමණ ජීවිත කාලීන දිළිඳුකමට ඇද දමා තිබෙනවා. ඊටත් වඩා කනගාටුදායක දෙය නම්, මිනිසුන් 20,00,00,000කට වැඩිදෙනෙක් වහල්භාවයේ සිටින බව මානව හිමිකම් සුරකින කණ්ඩායමක් වන වහල් විරෝධී ජාත්‍යන්තර සංවිධානය මගින් ගණන් බලා තිබීමයි. ඉතිහාසයේ වෙන කිසිම කාලයකට වඩා වත්මන් ලෝකය තුළ වහලුන් සිටිය හැකියි. ඔවුන්ව ප්‍රසිද්ධ වෙන්දේසිවල විකුණන්නේ නැති වෙන්න පුළුවන්; ඒත් මුල් යුගවල සිටි වහලුන් වැඩිදෙනෙකුගේ තත්වයට වඩා ඔවුන් වැඩ කරන තත්වයන් ඉතාමත් දරුණුයි.
නීතිමය පැත්තෙන් සිදු වන අයුක්තිසහගත දේවල් මගින් දශලක්ෂ ගණනකගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කෙරෙනවා. “ලෝකයේ සෑම තැනකම මිනිස් අයිතිවාසිකම් සෑම දවසකම වගේ දරුණු ලෙස උල්ලංගනය කෙරෙනවා” කියා ජාත්‍යන්තර ඇම්නෙස්ටි/ක්ෂමා ආයතනය 1996 සඳහා නිකුත් කළ එහි වාර්තාවේ සඳහන් කරනවා. “වැඩියෙන්ම ගොදුරු වන්නේ දිළිඳු හා වරප්‍රසාද නොලත් පන්තියේ අයයි; විශේෂයෙන්ම ස්ත්‍රීන්, දරුවන්, මහලු අය හා සරණාගතයන් ඊට ගොදුරු වෙනවා.” එම වාර්තාවේ මෙසේද සඳහන් වෙනවා: “ප්රබලයන්ගෙන් දුබලයන්ව ආරක්ෂා කරගැනීමට නීතියට නොහැකි වන ලෙස, සමහර රටවල ජාතික රජය සකස් වී තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම වගේ බිඳ වැටී තිබෙනවා.”
වර්ෂ 1996දී රටවල් සියයකට වැඩි ගණනක දසදහස් ගණන්දෙනෙකුව රඳවා තබාගෙන වධහිංසා පමුණුවා තිබෙනවා. ඒ වගේම මෑත වර්ෂවලදී මිනිසුන් සියදහස් ගණනක් අතුරුදහන් වී තිබෙනවා; පෙනෙන විදිහට ඔවුන්ව ආරක්ෂක හමුදා විසින් හෝ ත්‍රස්තවාදී කල්ලි විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මියගොස් ඇතැයි සිතනවා.
ඇත්තෙන්ම යුද්ධ, නොවැළැක්විය හැකි ආකාරයකින් අයුක්තිසහගත දෙයක් වන අතර ඒවා තව තවත් වැඩි වෙනවා. ස්ත්‍රීන් හා දරුවන් ඇතුළු සාමාන්‍ය වැසියන් වර්තමානයේ සිදු වන සටන්වල ඉලක්කය වෙනවා. මෙය හුදෙක් වගවිභාගයකින් තොරව නගරවලට බෝම්බ හෙළීම නිසා සිදු වන දෙයක් නොවෙයි. යුධ මෙහෙයුම්වලදී සිදු කෙරෙන සාමාන්‍ය ක්‍රියාපිළිවෙතක් හැටියට ස්ත්‍රීන්ව හා ගැහැනු ළමුන්ව දූෂණය කරන අතර, කැරලිකාර කණ්ඩායම් විසින් දරුවන්ව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මිනිස් ඝාතකයන් හැටියට පුහුණු කරනවා. එවන් ප්රවණතා ගැන අදහස් දක්වමින්, “සන්නද්ධ අරගල ළමුන් කෙරෙහි ඇති කරන බලපෑම” යනුවෙන් එක්සත් ජාතීන් ඉදිරිපත් කළ වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා: “සදාචාරයේ හිස්කමක් ඇති වන සේ ලෝකවාසීන්ගේ සදාචාරය උරාගෙන තිබෙන අතර, මෙය දිගටම වැඩි වෙමින් පවතිනවා.”
මේ සදාචාර හිස්කමේ ප්‍රතිඵලයක් හැටියට ලෝකය අයුක්තියේ ගිලී පවතින බවට කිසිම සැකයක් නැහැ; එය වාර්ගික, සමාජීය, නීතිමය හෝ යුද්ධමය අතින් සිදු වෙයි. ඇත්තෙන්ම, මෙය අලුත් දෙයක් නොවෙයි. අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි කලකට පෙර, හෙබ්‍රෙව් අනාගතවක්තෘවරයෙකු මෙසේ පවසමින් ශෝකය පළ කළා: “නීතිය දුර්වල වී ඇත. යුක්තිය කිසි කලෙක ඉටු නොවේ. දුෂ්ටයන් ධර්මිෂ්ඨයන් යටපත් කර ඇත. යුක්තිය නොපිට පෙරළා ඇත.” (හබක්කුක් 1:4, නව අනුවාදය) අයුක්තිය කවදත් සෑම තැනකම පැතිරී තිබුණත්, 20වන සියවස, අයුක්තියේ නව ඉහළ වර්ධනයන් කරා එළඹි යුගය ලෙස නම් කළ යුතුයි.
අයුක්තිය ගණන් ගත යුතුද?
අයුක්තිය නිසා ඔබ පෞද්ගලිකව වේදනාකාරි දේවල් අද්දකින විට එය ගණන් ගත යුතු දෙයක් වෙනවා. සන්තෝෂයෙන් ජීවත් වීමේ අයිතිය මිනිසුන් වැඩිදෙනෙකුගෙන් සොරාගන්න නිසා එය ගණන් ගත යුතුයි. ඒ වගේම එය ලේ වගුරුවන යුද්ධවලට ගිනි අවුළවන නිසා එය ගණන් ගත යුතුයි; ඒ අයුක්තියේ ගිනිදැල් දිගටම පත්තු වෙනවා.
සාමය හා සතුට, යුක්තිය සමඟ වෙන් කළ නොහැකි සේ බැඳී තිබුණත්, අයුක්තිය බලාපොරොත්තු සුනුවිසුනු කර ශුභවාදී සිතුවිලි යටපත් කර දමනවා. ආන ෆ්‍රාන්ක් තම ශෝචනීය අද්දැකීමෙන් වටහාගත්තාක් මෙන්, අවුල්සහගතබව, දුක හා මරණය යනාදි දේවලින් සමන්විත පදනමක් මත මිනිසුන්ට තමන්ගේ බලාපොරොත්තු ගොඩනඟාගත නොහැකියි. ඈ මෙන්, අපි සියලුදෙනාගේම පැතුම වඩාත් යහපත් දෙයක් සිදු වේවා යන්නයි.
යම් ප්‍රමාණයක හෝ යුක්තියක් මිනිස් සමාජය තුළ ඇති කිරීම සඳහා වෑයමක් දරන්න එම ආශාව අවංක මිනිසුන්ව පොලඹවා තිබෙනවා. ඒ අරමුණ සපුරාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය මගින් 1948දී සම්මත කරගන්නා ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙනවා: “සියලු මිනිසුන් ගෞරවයෙන් හා අයිතිවාසිකම්වලින් නිදහස්ව හා සමානකමකින් යුතුව ඉපද සිටියි. විමර්ශනාත්මක හැකියාව සහ හෘදය සාක්ෂිය උරුම කරගෙන සිටින ඔවුන් සහෝදරත්වයේ හැඟීමකින් යුතුව එකිනෙකා සමඟ කටයුතු කළ යුතුයි.”
ඇත්තෙන්ම මේවා උතුම් වදන් වුණත්, තවමත් මිනිසාට ඒ උදාර ඉලක්කය සපුරාගන්න හැකි වී නැහැ; එම ඉලක්කය වන්නේ සෑම කෙනෙක්ම අයිතිවාසිකම් සමව භුක්ති විඳින, සෑම කෙනෙක්ම තමාගේ අසල්වාසියාව තමාගේ සහෝදරයා මෙන් සලකන සාධාරණ සමාජයක් බිහි කිරීමයි. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයෙහි පූර්විකාවේ පෙන්වා දෙන්නාක් මෙන් එම පරමාර්ථය ඉටු කරගැනීම, “නිදහස, යුක්තිය හා සාමය යනාදියේ පදනම” හැටියට ක්‍රියා කරනවා.
කවදාවත් නැති කර දැමිය නොහැකි සේ අයුක්තිය මිනිස් සමාජය තුළ මුල් බැසගෙන තිබෙනවාද? නැත්නම්, නිදහස, යුක්තිය හා සාමය සඳහා ශක්තිමත් පදනමක් කෙසේ හෝ දමනු ඇද්ද? එසේ වෙනවා නම්, ඒ සඳහා පදනමක් දමා, සියලුදෙනාටම එයින් ප්‍රයෝජන සැලසෙන බවට සහතික වන්න පුළුවන් කාටද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
UPI/Corbis-Bettmann