අමතක කළ නොහැකි සිද්ධියක් ප්‍රංශයෙහි
“යෙහෝවාගේ නගරයක් එපා!” කියා ප්‍රකාශ කළ පෝස්ටර, නගරය පුරා ප්‍රදර්ශනය කර තිබුණා. “අපි යෙහෝවාගේ ව්‍යාපාරයට එරෙහිව නැඟී සිටිමු” කියා එක විරුද්ධවාදී කණ්ඩායමක් උපදෙස් දුන්නා. ඇත්තවශයෙන්ම පුවත්පත් මණ්ඩලයේ ලිපි සිය ගණනක් මගින් මෙම කාරණය මහජනතාවගේ අවධානයට ලක් කළා. පෙත්සම්වලට අත්සන් තැබූ අතර, ව්‍යාපෘතිය ගැන සඳහන් පත්‍රිකා මිලියන භාගයකට වඩා ප්‍රමාණයක් ප්‍රාදේශීය තැපැල් පෙට්ටිවලට ගලා ආවා. වයඹදිග ප්‍රංශයේ ලූවිඒ නගරයේ තිබුණු ශාන්තදායකබව නැති කර නොසන්සුන්බවක් ඇති කළ මෙම ව්‍යාපාරය කුමක්ද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ශාඛා කාර්යාලයක් හා නිවසක් ඉදි කිරීමට යෝජනා කර තිබීමයි.
යෙහෝවා එය වර්ධනය වෙන්න සලස්වයි
ප්‍රංශයෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම 19වන සියවසේ අවසානය දක්වා දිවයයි. වර්ෂ 1905දී, දකුණු ප්‍රංශයේ බෝවන්හි බයිබල් පොත් පත් සඳහා මුල්ම ගබඩාව විවෘත කළ අතර, 1919 වන විට පැරිස්වල කුඩා කාර්යාලයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. එක්දාස් නවසිය තිහේදී මේ නගරයේ නිල ලෙස ශාඛා කාර්යාලයක් විවෘත කළ අතර, ඊළඟ වසරේදී උතුරු පැරිස්වල, ආන්ගාන්ලේබෑන්හි පිහිටි බෙතෙල් නිවසෙහි, කාර්ය මණ්ඩලය පදිංචි වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ, බෙතෙල් පවුල යළි පැරිස්වලට මාරු වුණ අතර, 1959දී අගනුවරේ බටහිර සීමාවෙහි බූලෝන්-බියාන්කුර්හි පිහිටි තට්ටු පහක ගොඩනැඟිල්ලකට ශාඛා කාර්යාලය ගෙන ගියා.
රාජ්‍ය දේශනා වැඩයේ පුළුල් වීම නිසා, 1973දී මුද්‍රණ මෙන්ම ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ පහසුකම්, පැරිස්වලින් කිලෝමීටර් 100ක් ඈත ලූවිඒවලට ගෙන ගිය අතර, බූලෝන්-බියාන්කුර්හි දිගටම කාර්යාල තිබෙන්න ඉඩහැරියා. කෙසේවුවත්, 1978දී හා 1985දී විශාල කරනු ලැබුවත්, ප්‍රංශයෙහි ප්‍රචාරකයන්ගේ ගණන වැඩිවීම හේතුවෙන් ලූවිඒවල පහසුකම් ප්‍රමාණවත් නොවන බව ඇඟවුණා. එබැවින් විශාල කර මුළු බෙතෙල් පවුලම එක තැනකට ගෙන ඒමට තීරණය කරනු ලැබුවා. මුලදී සඳහන් කළ පරිදි, මේ ව්‍යාපෘතියට සෑමදෙනෙකුම කැමැත්තක් දැක්වුවේ නැහැ. එවැනි විරෝධය මැද, මුද්‍රණාලයෙන් කිලෝමීටර් එකහමාරකට එපිටින් භූමිභාගයක් සොයාගනු ලැබුවා. වසර හයක දුෂ්කර වැඩවල ප්‍රතිඵලයක් වශයෙන්, අවසානයේදී, වසර 23ක වෙන්ව සිටීමකින් පසුව 1996 අගෝස්තුවලදී ලූවිඒහි මුළු බෙතෙල් පවුලම එක්වූවා.
පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ සහෝදර ලොයිඩ් බැරි විසින් දුන් කැප කිරීමේ කතාවට සවන් දීමට, 1997 නොවැම්බර් 15වන සෙනසුරාදා ප්‍රංශ බෙතෙල් පවුලේ සාමාජිකයන් 300ක් සහ වෙනත් ශාඛා කාර්යාල 42කින් පැමිණි 329දෙනෙක් ඇතුළු සන්තෝෂවත් 1,187දෙනෙකුගෙන් යුත් විශාල සමූහයක් එක්රැස් වුණේ ඉමහත් ප්‍රීතියකින්. කෙසේවුවත්, මේ කැප කිරීම සිදු වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව විරුද්ධවාදිකම් හා දිගු කාලීනව සිදු කෙරුණ ජනසන්නිවේදන මාධ්‍ය ව්‍යාපාරය හමුවේ බවට වූ සත්‍යය ගැන සලකා බලද්දී, මේ විජයග්‍රහණය සැමරීමේ හවුල් වීමට ප්‍රංශයේ සියලුම සාක්ෂිකරුවන්ට හැකි විය යුතු බව හැඟුණා. ප්‍රතිඵලයක් වශයෙන්, නොවැම්බර් 16වන ඉරිදා හරියටම උතුරු පැරිස්වල විල්පැන්ට් ප්‍රදර්ශන මධ්‍යස්ථානයෙහි “ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙහි පවතින්න” යන තේමාවෙන් යුත් විශේෂ රැස්වීමක් සංවිධානය කරනු ලැබුවා. බෙල්ජියමේ හා ස්විට්සර්ලන්තයේ මෙන්ම බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ, ලක්සෙම්බර්ග්හි සහ නෙදර්ලන්තයේ සභාවල ප්‍රංශ භාෂාව කතා කරන සාක්ෂිකරුවන් ඇතුළු ප්‍රංශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාටම ආරාධනා කරනු ලැබුවා.
වැදගත් එක්රැස්වීමක්
එක්රැස්වීමට සූදානම් කිරීම් ඇරඹුවේ මාස හයකට පෙරයි. ඉන්පසු, කැප කිරීමට සති දෙකකට පෙර, ප්‍රංශ ට්‍රක් රථ රියැදුරන් ප්‍රධාන මාර්ග හා ඉන්ධන සැපයුම් අවහිර කරමින් වර්ජනයක් ඇරඹුවා. පුටු හා වෙනත් උපකරණ කලට වේලාවට ලබාගන්න පුළුවන් වෙයිද? මාර්ග අවහිරතා සහෝදරයන්ගේ පැමිණීම වළක්වයිද? සියල්ලන්ටම සහනයක් සලසමින්, සතියක් ඇතුළතදී වර්ජනය අවසන් වූ අතර, යන එන වාහනවලට යළිත් පාරවල් ඇරුණා. කැප කිරීමේ සති අන්තයට පෙර සිකුරාදා සැන්දෑවේදී, උත්සවය සඳහා කුලියට ගත් ඉඩ පහසු ශාලා දෙකට ට්‍රක් රථ 38න් පුටු 84,000ක් ගෙන ආවා. සහෝදර සහෝදරියන් 800කට වැඩි පිරිසක් සෙනසුරාදා උදේ නමයහමාර වන තෙක් ආසන, වේදිකාව, ශබ්ද විකාශන යන්ත්‍ර හා යෝධ වීඩියෝ තිර නවයක් ඉදි කරමින් වෙහෙසී වැඩ කළා.
ඉරිදා උදේ 6.00ට දොරටු විවෘත වූ අතර සෙනඟ ගලා එන්න පටන්ගත්තා. විශේෂයෙන් කුලියට ගත් දුම්රිය 17ක් මාර්ගයෙන් සාක්ෂිකරුවන් 13,000කට වැඩි සංඛ්‍යාවක් අගනුවරට ගෙන ආවා. ප්‍රාදේශීය සහෝදර සහෝදරියන් දෙසීයකට වැඩිදෙනෙක්, සංචාරකයන්ව පිළිගැනීමට හා ඔවුන්ව සමුළු භූමියට කණ්ඩායම් වශයෙන් කැටුව ඒමට දුම්රිය ස්ථානවලට පැමිණ සිටියා. මේ ප්‍රේමනීය සැලැස්ම ඔවුන්ට “සුරක්ෂිතභාවයේ හා ශුභසිද්ධියේ හැඟීමක්” ලබා දුන් බව එක සහෝදරියක් පැවසුවා.
වෙනත් අය ගුවන් යානයෙන් හෝ මෝටර් රථයෙන් පැරිස්වලට ආවා. කෙසේවුවද, පැරිස් ප්‍රදේශයේ සාක්ෂිකරුවන් වැඩිදෙනෙක් පොදු ගමනාගමනය යොදාගෙන බස් රථ 953කින් ප්‍රදර්ශන මධ්‍යස්ථානයට ගමන් කළා. බොහෝදෙනෙක් මුළු රාත්‍රිය පුරාම ගමන් කර, එසේත් නැත්නම් හිමිදිරි පාන්දරින්ම නිවෙස්වලින් පිටත්ව තිබූ නමුත්, මේ රැස්වීමට සහභාගි වීමට තිබූ ඔවුන්ගේ ප්රබෝධය පැහැදිලිව පෙනෙන්න තිබුණා. උද්යෝගවත් පිළිගැනීම් හා උණුසුම් වැලඳගැනීම්, වසර ගණනකට දකින්න නොලැබුණු මිත්රයන්ව යළි එකතු කිරීමේ සලකුණක් වුණා. වර්ණවත් ජාතික ඇඳුම් ප්‍රීතිමත් සෙනඟට ජාත්‍යන්තර ස්වභාවයක් ලබා දුන්නා. නිසැකවම, අතිවිශේෂ යමක් ඇරඹී තිබුණා.
වැඩසටහන ඇරඹුණු අවස්ථාව, එනම් පෙ.ව. 10.00 වන විට ආසන එකක්වත් ඉතිරිව තිබුණේ නැතත් සිය ගණන් ජනයා සෑම විනාඩියකදීම පැමිණෙමින් සිටියා. බලන බලන හැම පැත්තෙම සිනාමුසු මුහුණු දකින්න තිබුණා. දහස් ගණනක් එක්කෝ හිටගෙන එහෙමත් නැත්නම් සිමෙන්ති පොළොවේ ඉඳගෙන හිටියා. එක්රැස්වීම් තේමාවේ ස්ප්‍රීතුව විදහාපාමින්, යෞවනයන් බොහෝදෙනෙක් වයසක අයට ඉඳගන්න සලස්වා ප්‍රේමනීය ලෙස හිටගත්තා. “අපි අඳුරන්නේ නැති වුණත්, අපට කරුණාව දක්වන සහෝදර සහෝදරියන්ට අපේ ආසන දෙන්න අපි මොනතරම් සතුටු වුණාද!” කියා එක් යුවළක් ලිව්වා. හුඟදෙනෙක් කදිම ආත්ම-පරිත්‍යාගී ආකල්පයක් විදහාපෑවා: “සිකුරාදා මුළු රාත්‍රියේම අපි සකස් කිරීමට උපකාර කළ පුටු ළඟ, අපි මුළු දවසෙම හිටගෙන හිටියා. නමුත් පැමිණ සිටීමම, අපව යෙහෝවාට කෘතඥතාවෙන් පූර්ණ වීමට සැලැස්සුවා.”
විඩාව හෝ අපහසුතාව තිබියදීත්, පැමිණ සිටි අය වෙනත් රටවල වාර්තාවලට හා පාලක මණ්ඩලයේ සාමාජිකයන් වූ ලොයිඩ් බැරි හා ඩැනියල් සිඩ්ලික් විසින් දුන් කතාවලට ප්‍රමෝදවත් අවධානයකින් යුතුව සවන් දුන්නා. “යෙහෝවා බලය නැත්තාට සවිය වැඩි කරයි” යන විෂය ඔස්සේ සහෝදර බැරි කතාව ගොඩනැඟූ අතර, විවිධ පරීක්ෂා වැඩි වෙමින් තිබුණත් යෙහෝවා තම සෙනඟට ආශීර්වාද කර තිබෙන ආකාරය ඔහු විචිත්රාකාරව හුවා දැක්වුවා. සහෝදර සිඩ්ලික්ගේ කතාවේ තේමාව “යෙහෝවා තම දෙවි කරගන්නාවූ ජනතාව සන්තෝෂවත්ය!” යන්නයි. ප්‍රංශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැනට මුහුණ දෙමින් සිටින විරුද්ධවාදිකම් ගැන බලද්දී කතා දෙකම විශේෂයෙන්ම කාලෝචිතයි. සැබෑ සන්තෝෂය රඳා පවතින්නේ බාහිර හේතු මත නොව, නමුත් යෙහෝවා සමඟ අපේ සබඳතාව හා ජීවිතය කෙරෙහි අපේ ආකල්පය මතයි කියා සහෝදර සිඩ්ලික් පෙන්වා දුන්නා. “ඔබ සන්තෝෂයෙන් සිටිනවාද?” යනුවෙන් ඔහු ඉදිරිපත් කළ ප්‍රශ්නයට උත්තර වශයෙන් මහ හඬින් අත්පොළසන් දෙනු ලැබුවා.
“තම ප්‍රීතිය අහිමිව” සිට ඇති එක් සහෝදරියක් ඉන්පසු මෙසේ ලිව්වා: “සන්තෝෂය මා කරා ළඟා වෙමින් තිබෙන බව එකපාරටම මට වැටහුණා. මම මගේ වෑයම් වැරදි අතකට යොමු කරමින් සිටි අතර, මේ කතාව මගින්, මා වෙනස් විය යුතු ආකාරය යෙහෝවා මට පෙන්වා දුන්නා.” තවත් සහෝදරයෙක් මෙසේ ප්‍රකාශ කළා: “යෙහෝවාගේ හෘදය ප්‍රීති කරවීමට මම දැන් සටන් කරන්න ඕනෙ. ඇතුළාන්තයෙන් මට දැනෙන්න පටන්ගත් ප්‍රීතිය ඉවත් කර දාන්න කිසිවකට ඉඩ දෙන්න මට ඕනෙ නැහැ.”
රැස්වීම අවසානය කරා ළඟා වෙද්දී, පැමිණ සිටින සංඛ්‍යාව 95,888යි—මෙතෙක් ප්‍රංශයේ තිබූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශාලම එක්රැස්වීම මෙයයි කියා සභාපති නිවේදනය කළේ ඉමහත් උනන්දුවකින්!
බොහෝදෙනෙක් තම ඇස්වල සතුටු කඳුළු පුරවගෙන ගැයූ අවසාන ගීයෙන් හා යාච්ඤාවෙන් පසු, සහෝදරයන් මිශ්‍ර චිත්තවේගයන් ඇතුව නිවෙස්වලට යෑමට පටන්ගත්තා. එක්රැස්වීමේ උණුසුම්, මිත්‍රශීලී වාතාවරණය අවධානයට ලක් නොවී තිබුණේ නැහැ. බස් රියැදුරන් විසින් පැමිණියවුන්ගේ ආකල්පය සම්බන්ධයෙන් බොහෝ ඒකාන්ත ප්‍රකාශයන් ඉදිරිපත් කළා. කිසිම වාහන තදබදයකින් තොරව පැය දෙකක් ඇතුළතදී ප්‍රදර්ශන මධ්‍යස්ථානයෙන් බස් රථ 953ටම පිටව යෑමට හැකි කළාවූ සංවිධානාත්මකභාවය නිසාද ඔවුන්ගේ සිත ඇදී ගියා! දුම්රිය හා පොදු ප්‍රවාහණ සේවකයන් විසින් පැමිණසිටියවුන්ගේ හැසිරීමත් අගය කළා. ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ කදිම සාකච්ඡාවන් ඇති වූ අතර, හොඳ සාක්ෂියක් දරනු ලැබුවා.
“කාන්තාරයෙහි ක්ෂේමභූමියක්”
ප්‍රේරිත පාවුල් බලවත් ඕනෑකමකින් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ ඉල්ලා සිටියා: “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. . . . ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.” (හෙබ්‍රෙව් 10:24, 25) ඇත්තෙන්ම, මෙම විශේෂ රැස්වීම සියල්ලන්ටම මහඟු දිරිගැන්වීමේ මූලාශ්‍රයක්, එනම් “කාන්තාරයෙහි ක්ෂේමභූමියක්” වූ බව එක සහෝදරියක් විස්තර කළා. “අපි ඉවත්ව ගියේ ප්‍රාණවත්ව, දිරිගැන්වී, ශක්තිමත් වී හා වෙන කවදාටත් වඩා යෙහෝවාගේ සේවයෙහි ප්‍රීතිවීමට තීරණය කරගනිමිනුයි” කියා ටෝගෝ ශාඛාවේ සහෝදරයන් ලිව්වා. “අධෛර්යයට පත්ව සිටි අය සතුටින් ගෙදර ගියා” කියා චාරිකා අවේක්ෂකයෙක් පැවසුවා. “සහෝදරයන් උනන්දු හා ශක්තිමත් වූ” බව තව අයෙක් ප්‍රකාශ කළා. “මීට කලින් අපිට කවදාවත් යෙහෝවාගේ සංවිධානයට මේ තරම් කිට්ටු බවක් දැනිලා නැහැ” කියා ලිවීමට යුවළක් පෙලඹුණා.
“මගේ පය සමබිමෙක්හි පිහිටා තිබේ. සභාවලදී [යෙහෝවාට] ප්‍රශංසාකරන්නෙමි” කියා ගීතිකාකරු ප්‍රකාශ කළා. (ගීතාවලිය 26:12) එවැනි ක්‍රිස්තියානි එක්රැස්වීම් සියල්ලන්ටම බාධක හමුවේ ස්ථිර ආත්මික ස්ථාවරයක් යළි ලබාගැනීමට හැකි කරවනවා. “මොන පීඩාවක් ආවත් මේ අතිවිශේෂ අවස්ථාවල් අපේ හදවත්වල ගැඹුරට කෙටිලා තියෙනවා; අපව සනසන්න හැමවිටම ඒක ඒ විදිහටම තිබේවි” කියා සහෝදරියක් ස්ථිරයෙන්ම පැවසුවා. සමානාකාරයකින්, සංචාරක අවේක්ෂකයෙක් මෙසේ ලිව්වා: “අමාරු කාලවල් ඇති වෙන විට, ඒවා එක්ක සාර්ථකව කටයුතු කිරීමට පාරාදීසය පිළිබඳ මේ කලින් රස විඳීමේ මතකය අපට උපකාර කරයි.”
“මනුෂ්‍ය වර්ගයෙනි, [යෙහෝවාට] දෙව්, මහිමයත් බලයත් [යෙහෝවාට] දෙව්” කියා ගීතාවලිය 96:7 අවවාද කරයි. ප්‍රංශයේ නව ශාඛා පහසුකම් කැප කිරීම, යෙහෝවා සඳහා විජයග්‍රහණය දිගින් දිගටම හඬ නංවන බවට සැකයක් නැහැ. එවැනි තීරණාත්මක හා පැතිර පවත්නා විරුද්ධත්වය හමුවේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කළ හැකිව තිබුණේ ඔහුට පමණි. ප්‍රංශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙන කවරදාකටත් වඩා ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙහි පවතින්න’ හා ‘තමන්ගේ ආලෝකය බබළවන්න’ වැඩි අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා. (යොහන් 15:9; මතෙව් 5:16) කැප කිරීමේ වැඩසටහනට සහභාගි වූ සියලුදෙනාම ගීතිකාකරුගේ මෙම හැඟීම මුළුමනින්ම දැරුවා: “මේක [යෙහෝවාගේ] ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය.”—ගීතාවලිය 118:23.
[26වන පිටුවේ පින්තූරය]
ලොයිඩ් බැරි
[26වන පිටුවේ පින්තූරය]
ඩැනියල් සිඩ්ලික්
[26වන පිටුවේ පින්තූරය]
විල්පැන්ට් ප්‍රදර්ශන මධ්‍යස්ථානයෙහි විශේෂ වැඩසටහනට 95,888ක් සහභාගි වුණා
[28වන පිටුවේ පින්තූර]
පැමිණියවුන්ගෙන් දහස් ගණනක් සවන් දීමට, එක්කෝ හිටගෙන එහෙමත් නැත්නම් බිම ඉඳගෙන හිටියා