යෙහෝවාගේ සංවිධානය ඔබේ දේවසේවයට අනුබල දෙයි
“ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි.”—එළිදරව් 14:6.
1. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පරීක්ෂා කර තිබෙන්නේ කෙසේද? තවද ඔවුන් බේරී ඇත්තේ ඇයි?
ක්‍රිස්තියානි දේවසේවයට අනුබල දීමේදී යෙහෝවාගේ ස්වර්ගික සංවිධානයට අයත් කාර්යය දැනහඳුනා ගැනීම එතරම් වැදගත් වන්නේ ඇයි? ඇත්තෙන්ම යෙහෝවාගේ ස්වර්ගික සේනාවන්ගේ අනුබලය නොමැතිව සතුරු ලොවක දෙවිගේ රාජ්‍යය පිළිබඳව ශුභාරංචිය දේශනා කිරීම ඉටු කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හැකියාව තිබේවිද? අන්තයටම ගිය ජාතිවාදය, ඒකාධිපති දේශපාලන ක්‍රම, ලෝක යුද්ධ සහ විවිධාකාර විපත්තිවලින් යුත් සියවසක් තුළ සාක්ෂිකරුවන් එවන් දේශනා කිරීමක් කර තිබෙනවා. යෙහෝවාගේ උපකාරය ලැබී තිබුණේ නැත්නම්, ඔවුන්ට එරෙහිව අන්තර්ජාතික මට්ටමකින් බොහෝවිට යොමු කර ඇති අගතිය, අසාධාරණය සහ ඇතැම්විට ඉතා දරුණු පීඩා කන්දරාව දරාගන්න සාක්ෂිකරුවන්ට හැකියාවක් තිබේවිද?—ගීතාවලිය 34:7.
ලෝක ව්‍යාප්ත විරුද්ධවාදිකම් හමුවේ පවා බේරී සිටීම
2. මුල් සියවසේ සැබෑ ක්‍රිස්තියානීන් සහ අදදින සිටින අය අතර ඇති සමාන්තරය කුමක්ද?
2 මෙම විසිවන සියවසේදී, යෙහෝවාගේ වැඩ වළක්වන්න හෝ මර්දනය කරන්න නීතික හෝ වෙනයම් ක්‍රමයකින් හෝ හැකි සෑම බාධකයක්ම දැමීමට ආගමික මෙන්ම දේශපාලනමය සතුරන් කටයුතු කර තිබෙනවා. ක්‍රිස්තියානි සහෝදරයන් පීඩාවට, වරදවා දැක්වීම්වලට, අපහාසයට සහ බොහෝදෙනෙක් මරණයට පවා ලක් වී තිබෙනවා. නිතරම පාහේ මෙය සිදු වී ඇත්තේ මහ බබිලෝනියේ පූජක පක්ෂයේ උසිගැන්වීම යටතෙයි. මුල් ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් සැබෑ වුණාක් මෙන්, “මේ ලබ්ධිය [නිකාය, NW] ගැන සියලු තැන්හි විරුද්ධව කථාකරන බව අපි දනිමු” යන්න පැවසිය හැකියි. ක්‍රිස්තුස්ගේ කාලයෙහි විසූ යුදෙව් පූජක පක්ෂය ඔහුගේ දේවසේවය නතර කිරීමට වියරු සටනක නිරත වුණාක් මෙන්ම, තම දේශපාලනමය අනියම් පෙම්වතුන් සමඟ අත්වැල් බැඳගනිමින්, පූජක පක්ෂය මෙන්ම ඇදහිල්ල අත්හළවුන්, යෙහෝවාගේ ජනයාගේ මහත් අධ්‍යාපන වැඩය හිර කිරීමට වෑයම් දරා තිබෙනවා.—ක්‍රියා 28:22; මතෙව් 26:59, 65-67.
3. හෙන්රිකා සූර්ගේ අඛණ්ඩතාවෙන් අපට කුමක් උගත හැකිද?
3 නිදසුනක් හැටියට, 1946 මාර්තු 1වනදා පෝලන්තයේ සිදු වූ දේ සලකා බලන්න. කෙල්ම් ළඟ ජීවත් වූ 15 හැවිරිදි සාක්ෂිකාර ගැහැනු ළමයෙකු වූ හෙන්රිකා සූර්, සහෝදරයෙකු වූ තවත් සාක්ෂිකරුවෙක් සමඟ ළඟපාත ගමක උනන්දුව ඇති පුද්ගලයන්ව බැහැදකින්න ගියා. නරෝඩෝවෙ ෂීඊවි ස්බ්රොයින්යෙ (ජාතික සන්නාහ සේනාව) යනුවෙන් හැඳින්වූ කතෝලික යුද කණ්ඩායමක සාමාජිකයන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා. සහෝදරයා දැඩි ලෙස පහර ලැබුවත්, ඔහුගේ ජීවිතය හානියට ලක් වුණේ නැහැ. හෙන්රිකාට එවැනි භාග්‍යයක් අත් වුණේ නැහැ. කතෝලික කුරුස ලකුණ දමන්න ඇයට බල කරන්න දැරූ උත්සාහයේදී ඔවුන් ඇයව පැය ගණනාවක් තිස්සේ කුරිරු වධහිංසාවලට ලක් කළා. ඇගේ එක් වධකයෙක් මෙසේ පැවසුවා: “ඇතුළාන්තයෙන් ඔයාට ඕනෑම දෙයක් හිතන්න පුළුවන්; නිකම් මේ කතෝලික කුරුස ලකුණ විතරක් දාන්න. එහෙම නැත්නං, වෙඩි උණ්ඩයක් තමයි ලැබෙන්නේ!” ඇගේ අඛණ්ඩතාව බිඳුණාද? නැහැ. එම ආගමික බියගුල්ලන් ඇයව ළඟ පිහිටි කැලෑවකට ඇදගෙන ගොස් ඇයට වෙඩි තැබුවා. ඒ කෙසේවෙතත් ඇය ජයගත්තා! ඔවුන් අසමත් වුණා ඇගේ අඛණ්ඩතාව බිඳදමන්න.a—රෝම 8:35-39.
4. රාජ්‍ය දේශනා කිරීමේ වැඩය මර්දනය කිරීමට දේශපාලනමය සහ ආගමික කණ්ඩායම් වෑයම් කර තිබෙන්නේ කෙසේද?
4 අවුරුදු සියයකට වැඩි කාලයක් පුරා, දෙවිගේ නවීන-දින සේවකයන්ට කුරිරු ලෙස සහ අගෞරවනීය ලෙස සලකා තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සාතන්ගේ ප්‍රධාන පෙළේ ආගම්වල කොටසක් නොවන නිසාත්, එසේ වීමට කිසිම මනාපයක් නොදක්වන නිසාත්, ඕනෑම අසාධාරණ විවේචකයෙකු හෝ අන්තවාදී විරුද්ධකාරයෙකුට යෝග්‍ය ගොදුරක් සේ ඔවුන්ව සැලකේ. දේශපාලනමය කණ්ඩායම්වල දරුණු ප්රහාරවලටත් ඔවුන් ලක් වී තිබෙනවා. බොහෝ සාක්ෂිකරුවන් තම ඇදහිල්ල උදෙසා ප්‍රාණ පරිත්‍යාගි මරණයක් අද්දැක තිබෙනවා. ශුභාරංචිය දේශනා කිරීමට බාධා පමුණුවන්න නාමමාත්ර ප්රජාතන්ත්රවාදී ආණ්ඩු පවා වෑයම් දරා තිබෙනවා. වර්ෂ 1917 තරම් ඈත අතීතයේදී, කැනඩාවේ සහ එක්සත් ජනපදයෙහි එවකට බයිබල් ශිෂ්‍යයන් (දැන් සාක්ෂිකරුවන්) පෙරළිකාරයන් බවට කළ චෝදනාව පූජක පක්ෂ මගින් උසිගන්වනු ලැබුවා. වොච් ටවර් සමිතියේ නිලධාරීන්ව වැරදිසහගත ලෙස සිරගත කරනු ලැබූ අතර, පසුකලකදියි ඔවුන්ව නිදොස් කරනු ලැබුවේ.—එළිදරව් 11:7-9; 12:16ආ.
5. යෙහෝවාගේ සේවකයන්ව දිරිගැන්වීමට කුමන වදන් හේතු වී තිබෙනවාද?
5 ක්‍රිස්තුස්ගේ සහෝදරයන් සහ ඔවුන්ගේ පක්ෂපාත සහකරුවන්ගේ සාක්ෂිදැරීමේ වැඩය නතර කිරීමට උත්සාහයක් ලෙස, සාතන් තමාට උපයෝගි කරගත හැකි හැම ක්‍රමයක්ම පාහේ භාවිත කර තිබෙනවා. එහෙත්, බොහෝ අද්දැකීම්වලින් පැහැදිලි වන පරිදි, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නිශ්ශබ්ද කිරීමට, තර්ජන, භයගැන්වීම්, ශාරීරික සාහසිකකම්, සිරගත වීම්, ගාල් කඳවුරු හෝ මරණයටවත් බැරි වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය මුළු ඉතිහාසය පුරාම සැබෑ වී තිබෙන දෙයක්. නැවත නැවතත්, “භයනොවන්න. මක්නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය” යන එලිෂාගේ වදන් දිරිගැන්වීමක් සේ ක්‍රියා කර තිබෙනවා. ඊට එක් හේතුවක් නම්, යක්ෂයාගේ සමූහයන්ට වඩා විශ්වාසවන්ත දේවදූතයන්ගේ සංඛ්‍යාව අතිශයින් වැඩිවීමයි!—2 රාජාවලිය 6:16; ක්‍රියා 5:27-32, 41, 42.
යෙහෝවා ජ්වලිත දේශනා කිරීමට ආශීර්වාද කරයි
6, 7. (අ) ශුභාරංචිය දේශනා කිරීමට මුලින්ම මොන වගේ ප්රයත්නයක් දරනු ලැබුවාද? (ආ) වර්ෂ 1943 පටන් ප්‍රයෝජනදායක වූ කුමන වෙනස් වීම සිදු වූවාද?
6 අන්තිමය පැමිණෙන්න කලින්, සාක්ෂිදැරීමේ මහත් වැඩය ප්‍රගුණ කරන්නත් වේගවත් කරන්නත්, මෙම 20වන සියවස තුළදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොයෙකුත් තාක්ෂණික වර්ධනයන් උපයෝගි කරගෙන තිබෙනවා. වර්ෂ 1914දී, වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ මුල්ම සභාපති සහෝදර රසල්, ශබ්දවාහිනී තැටිවල තැටිගත කෙරූ බයිබල් විස්තරයට සමගාමීව දිවයන්න සකස් කළ ස්ලයිඩ් කාච සහ චලන චිත්‍රපට භාවිත කිරීමෙහි පුරෝගාමියෙකු ලෙස කටයුතු කරමින්, “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” යනුවෙන් හඳුන්වනු ලැබූ පැය අටක් පුරා දිවගිය බයිබල් නිෂ්පාදනයක් ඉදිරිපත් කළා. ඒ කාලයේදී බොහෝ රටවල ශ්‍රාවක පිරිස්වල පුදුමයට එය හේතු වුණා. ඉන්පසුව, 1930ගණන්වල සහ 1940ගණන්වලදී, සමිතියේ දෙවන සභාපති වූ ජේ. එෆ්. රද’ෆ’ඩ්ගේ බයිබල් කතාවල තැටිගත කිරීම් යොදාගනිමින්, පහසුවෙන් ගෙන යා හැකි තැටිවාදන යන්ත්‍ර සමඟින් ගෙයින් ගෙට දේශනා කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ වුණා.
7 වර්ෂ 1943දී සෑම සභාවකම දේවසේවකයන් වෙනුවෙන් පාසැලක් පිහිටුවන්න තීරණය කිරීමෙන්, සමිතියේ තුන්වන සභාපති වූ නේදන් එච්. නෝර්ගේ මඟ පෙන්වීම යටතේ නිර්භීත පියවරක් ගනු ලැබුවා. ශබ්දවාහිනී තැටිගත කිරීම් භාවිත නොකොට, ගෙයින් ගෙට දේශනා කරන ආකාරය ගැනත්, උගන්වන ආකාරය ගැනත් සාක්ෂිකරුවන්ට පුහුණුවක් ලැබෙන්න තිබුණා. එවක් පටන්, මිෂනාරිවරුන්, පූර්ණ කාලීන පුරෝගාමී සේවකයන්, සභා වැඩිමහල්ලන් සහ වොච් ටවර් සමිතියේ ශාඛාවල වගකීම් දරන අවේක්ෂකයන් පුහුණු කරන්න තවත් පාසැලුත් සංවිධානය කර තිබෙනවා. කවර ප්‍රතිඵල ඇතුවද?
8. වර්ෂ 1943දී සාක්ෂිකරුවන් මහත් ඇදහිල්ලක් පෙන්නුවේ කෙසේද?
8 වර්ෂ 1943දී, දෙවන ලෝක යුද්ධය මැද, දේශ 54ක ක්‍රියාශීලීව සිටියේ සාක්ෂිකරුවන් 1,29,000ක් පමණයි. එනමුත් අන්තිමය පැමිණෙන්න කලින් මතෙව් 24:14 ඉටු වන බවට ඇදහිල්ලක් සහ අධිෂ්ඨානයක් ඔවුන්ට තිබුණා. මෙම දූෂිත දේවල පිළිවෙළට අන්තිමයක් ගෙනෙන සිදුවීම් වැලට කලින්, යෙහෝවා මෙම වැදගත් අනතුරු ඇඟවීමේ පණිවිඩය ප්‍රකාශ කරවීමට සලස්වන බව ඔවුන් තදින් ඒත්තුගෙන සිටියා. (මතෙව් 24:21; එළිදරව් 16:16; 19:11-16, 19-21; 20:1-3) ඔවුන්ගේ වෑයම්වලට විපාක ලැබී තිබෙනවාද?
9. සාක්ෂිදැරීමේ වැඩය සමෘද්ධිමත් වී ඇති බව කුමන සාක්ෂිවලින් හෙළි වේද?
9 දැන් ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 1,00,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බැගින් අඩුම තරමින් රටවල් 13කවත් සිටී. මෙම දේශවලින් කිහිපයක්ම කතෝලික සභාවේ අණසක යටතෙයි තිබෙන්නේ. එහෙත්, පවතින තත්වය දෙස බලන්න. බ්‍රසීලයෙහි ශුභාරංචියේ ප්‍රචාරකයන් 4,50,000ක් පමණ සිටින අතරම, 1997දී ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 12,00,000කට වැඩි පිරිසක් පැමිණියා. මෙක්සිකෝව තවත් උදාහරණයක්; එහි ප්‍රචාරකයන් 5,00,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතරම, සිහි කිරීමේ උත්සවයට 16,00,000කට වැඩි පිරිසක් පැමිණියා. ඉතාලිය (සාක්ෂිකරුවන් 2,25,000ක් පමණ), ප්‍රංශය (1 ,25,000ක් පමණ), ස්පාඤ්ඤය (1 ,05,000ක් ඉක්මවමින්) සහ ආර්ජන්ටිනාව (1 ,15,000කට වැඩිය) වෙනත් කතෝලික රටවල් අතර වෙනවා. රෙපරමාදු, කතෝලික සහ යුදෙව් ආගම් බලපවත්වන එක්සත් ජනපදයෙහි සාක්ෂිකරුවන් 9,75,000ක් පමණ සිටින අතර, සිහි කිරීමට 20,00,000කට අධික පිරිසක් පැමිණියා. නිසැකවම, අද්භූත ඉගැන්වීම්වලින් යුත් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියෙන් මහත් සමූහයන් ඉවත්ව එන අතර, “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පිළිබඳව දෙවිගේ සරල මෙන්ම ස්ථිර පොරොන්දු වෙත ඔවුන් යොමු වෙමින් සිටිනවා.—2 පේතෘස් 3:13; යෙසායා 2:3, 4; 65:17; එළිදරව් 18:4, 5; 21:1-4.
ජනයාගේ අවශ්‍යතා අනුව සකස් වීම
10. ඇතැම් ප්‍රදේශවල තත්වයන් වෙනස් වී ඇත්තේ කෙසේද?
10 ක්‍රිස්තුස් යේසුස් තුළින් යෙහෝවා වෙත හැරී ඇති අයගෙන් බොහෝදෙනෙකුව සොයාගත්තේ ගෙයින් ගෙට යද්දී. (යොහන් 3:16; ක්‍රියා 20:20) එනමුත් වෙනත් ක්‍රමද භාවිත කර තිබෙනවා. පවතින තත්වයන් වෙනස් වී ඇති අතර, ආර්ථික තත්වයන් හේතුවෙන් බොහෝ කාන්තාවන් නිවසින් පිට වැඩ කරනවා. බොහෝවිට සතිය තුළදී නිවසේදී සොයාගත හැක්කේ මිනිසුන් අතළොස්සක් පමණයි. මේ අනුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තත්වයට සකස් වී තිබෙනවා. යේසු මෙන්ම මුල් ගෝලයන් සේ, ඔවුන් යන්නේ ජනයා සොයාගත හැකි තැන්වලටයි, එවගේම එසේ කරන්නේ ජනයාට පහසු වෙලාවලදීයි.—මතෙව් 5:1, 2; 9:35; මාර්ක් 6:34; 10:1; ක්‍රියා 2:14; 17:16, 17.
11. අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නේ මොන මොන තැන්වලද? කුමන ප්‍රතිඵල ඇතුවද?
11 සාක්ෂිකරුවන් මූලික පියවර ගනිමින්, රථ ගාල් කරන විශාල පෙදෙස්, වෙළඳ සංකීර්ණ, කර්මාන්ත ශාලා, කාර්යාල සහ ව්‍යාපාර ස්ථාන, පාසැල්, පොලිස් ස්ථාන, ඉන්ධන පිරවුම් හල්, හෝටල් සහ ආපන ශාලා මෙන්ම වීථිවල, ජනයාට නුවණැතිව දේශනා කරමින් සිටිනවා. ඇත්තෙන්ම ඔවුන් දේශනා කරන්නේ ජනයා සොයාගත හැකි ඕනෑම තැනකයි. ජනයා නිවසේ සිටින විට, සාක්ෂිකරුවන් එහිදී ඔවුන්ව හමුවීමට දිගටම යනවා. සකස් කරගත හැකි මෙන්ම ප්‍රායෝගික වූ මෙම එළඹීමේ ප්‍රතිඵලයක් වශයෙන් බයිබල් පොත් පත් සඟරා වැඩියෙන් බෙදාහරිනු ලබනවා. බැටළු ගුණැති අයව සොයාගනු ලබනවා. අලුත් බයිබල් පාඩම් ආරම්භ කරනු ලබනවා. මිනිස් ඉතිහාසයෙහි ශ්‍රේෂ්ඨතම අධ්‍යාපන වැඩසටහන ජ්වලිතව කරනු ලබන්නේ ස්වේච්ඡා දේවසේවකයන් දශලක්ෂ පහමාරකටත් වැඩි පිරිසක් විසිනුයි. ඔවුන්ගෙන් කෙනෙකු වීමේ වරප්‍රසාදය ඔබටත් ඇද්ද?—2 කොරින්ති 2:14-17; 3:5, 6.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ කුමක්ද?
12. (අ) යෙහෝවා තම සෙනඟට උගන්වමින් සිටින්නේ කෙසේද? (ආ) මෙම ඉගැන්වීමෙහි බලපෑම කුමක්ද?
12 ස්වර්ගික සංවිධානය මේ සියල්ලට සම්බන්ධ වන්නේ කොයි ආකාරයෙන්ද? “නුඹේ සියලුම දරුවෝද [යෙහෝවා] විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය” යයි යෙසායා පුරෝකථනය කළා. (යෙසායා 54:13) රාජ්‍ය ශාලාවලදී, සමුළු සහ එක්රැස්වීම්වලදී, යෙහෝවා තම දෘශ්‍යමාන සංවිධානය තුළින් මෙම ලෝක ව්‍යාප්ත එක්සත් සහෝදරත්වයට උගන්වමින් සිටිනවා. එහි ප්‍රතිඵලය එක්සත්කමයි සමාදානයයි. යෙහෝවාගේ ඉගැන්වීම් අද්විතීය ජනකායක් බිහි කර තිබෙනවා. මෙම භේදකාරි භේදභින්න වූ ලොවෙහි කොතැනක ජීවත් වුණත්, ඔවුන්ට උගන්වා තිබෙන්නේ ඔවුන්ගේ අසල්වාසීන්ට වෛර කරන්න නොව, නමුත් එකිනෙකාට ප්‍රේම කරන්න මෙන්ම තමන්ට මෙන් තම අසල්වාසීන්ට ප්‍රේම කරන්නයි.—මතෙව් 22:36-40.
13. දේශනා කිරීමේ වැඩයට දේවදූතමය මඟ පෙන්වීම ඇතුළත් බව අපට සහතික විය හැක්කේ කෙසේද?
13 උදාසීනත්වය හෝ පීඩා හමුවේ පවා දිගටම දේශනා කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ ප්‍රේමයයි. (1 කොරින්ති 13:1-8) එළිදරව් 14:6හි කියන පරිදි, ජීවිත ගළවන ඔවුන්ගේ වැඩයට ස්වර්ගයෙන් මඟ පෙන්වනු ලබන බව ඔවුන් දන්නවා. දේවදූතමය මඟ පෙන්වීම යටතේ ප්‍රකාශ කරනු ලබන පණිවිඩය කුමක්ද? ‘දෙවිට භය වී, ඔහුට ගෞරව දෙන්න; මක්නිසාද ඔහුගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැත්තාට නමස්කාර කරන්න.’ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම යෙහෝවාගේ නම මහිමවත් කරනවා. මැවිලිවලටවත් අන්ධ පරිණාමයටවත් නොව, මැවුම්කාර දෙවිට ගෞරව දෙන්න කියා ජනයාට ආරාධනා කරනු ලබනවා. තවද මෙම දේශනා කිරීමේ වැඩය මෙතරම් හදිසි ඇයි? හේතුව විනිශ්චයේ පැය, එනම් මහ බබිලෝනිය සහ සාතන්ගේ දෘශ්‍යමාන දේවල පිළිවෙළේ අන් සියලු අංගවලට එරෙහිව විනිශ්චය පැමිණ ඇති නිසයි.—එළිදරව් 14:7; 18:8-10.
14. මෙම මහත් ඉගැන්වීමේ කර්තව්‍යයට හවුල් වී සිටින්නේ කවුද?
14 කැප වූ කිසිම ක්‍රිස්තියානියෙක් මෙම දේශනා කිරීමේ වැඩයෙන් නිදහස් නැහැ. සභාව සමඟ දේශනා කිරීමෙහි පෙරමුණ ගන්නේ ආත්මික වැඩිමහල්ලනුයි. පුහුණු කළ පුරෝගාමීනුත් මෙම වැඩයෙහි සම්පූර්ණයෙන්ම නිරතව සිටිනවා. රාජ්‍ය පණිවිඩයේ ජ්වලිත ප්‍රචාරකයන්, මාසයකට පැය කිහිපයක් හෝ බොහොමයක් දේශනා කරන්න පුළුවන් වුණත්, පොළොවෙහි අස්සක් මුල්ලක් නෑර මෙම පණිවිඩය ව්‍යාප්ත කරමින් සිටිනවා.—මතෙව් 28:19, 20; හෙබ්‍රෙව් 13:7, 17.
15. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා කිරීම කාවැදී ඇති තරම ඇඟවීමට කුමක් ඉවහල් වෙනවාද?
15 මේ සියලුම වෑයම්වලින් ලෝකය කෙරෙහි යම් බලපෑමක් සිදු කර තිබෙනවාද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව රූපවාහිනි වැඩසටහන් සහ පුවත්පත්වල සඳහන් කරනු ලබන වාර ගණන එක සරල සාක්ෂියක් සේ ගත හැකියි. සෑම කෙනෙකුම කරා ළඟාවීමට දරන අපේ අඛණ්ඩ උත්සාහය සහ අධිෂ්ඨානය මේවායින් විටින් විට පැහැදිලි වෙයි. ඔව්, බහුතරය පණිවිඩය සහ පණිවිඩකාරයන් ප්‍රතික්ෂේප කළත්, අපේ ජ්වලිතයත්, නිරන්තරව පෙනී සිටීමත් ගැඹුරු ලෙස සිතට කාවදිනු ලබනවා!
සාක්ෂිය සම්පූර්ණ කිරීමට වූ අපේ ජ්වලිතය
16. ඉතිරිව ඇති සීමිත කාලය තුළ විදහාපෙන්විය යුත්තේ කුමන ආකල්පයද?
16 යෙහෝවාට සේවය කරන්න අපට තිබෙන චේතනාව නිර්මලව තිබුණොත් එය ප්‍රමාණවත්. එමනිසා මෙම දේවල පිළිවෙළ සඳහා ඉතිරිව ඇත්තේ කොපමණ කාලයක්ද කියා අප නොදන්නවා පමණක් නොව, එය දැනගැනීමටත් අපට අවශ්‍යතාවක් නැහැ. (මතෙව් 24:36; 1 කොරින්ති 13:1-3) එනමුත් අප දන්නා දේ මේකයි: යෙහෝවාගේ ප්‍රේමය, බලය සහ යුක්තිය විදහාපෙන්වනු ලැබීමට නම්, ශුභාරංචිය “පළමුකොට” දේශනා කළ යුතුමයි. (මාර්ක් 13:10) එබැවින්, මෙම දුෂ්ට, අයුක්තිසහගත මෙන්ම සාහසික ලොවෙහි අවසානය තෙක් අප අවුරුදු කොපමණ ගණනක් ඕනෑකමින් බලා සිට තිබුණත්, අපේ තත්වයන් අනුව අප අපේ කැපවීමට එකඟව ජ්වලිතව ජීවත් විය යුතුමයි. අප මහලුව හෝ අසනීපව සිටියත්, අප යෞවනව හෝ වඩාත් සෞඛ්‍යසම්පන්නව සිටි කාලයේ තිබුණු ජ්වලිතයෙන්ම යෙහෝවාට සේවය කරන්න අපට තවමත් පුළුවන්. අප කලින් කළ තරමින් දේවසේවයෙහි කාලය ගත කරන්න අපට ඇතැම්විට බැරි වුණත්, යෙහෝවාට අප පිරිනමන ප්‍රශංසා පූජාවේ ගුණය පවත්වාගැනීමට අපට නිසැකවම පුළුවන්.—හෙබ්‍රෙව් 13:15.
17. අප සැමට උපකාරයක් විය හැකි දිරිගන්වන අද්දැකීමක් විස්තර කරන්න.
17 එබැවින්, යෞවන වුණත් මහලු වුණත්, ජ්වලිතයක් පෙන්වමින්, අප හමු වන සියල්ලන් සමඟම අපේ ඒකාන්ත අලුත් ලෝකය පිළිබඳ පණිවිඩය බෙදාගනිමු. ඕස්ට්‍රේලියාවේ, තම අම්මා සමඟ වෙළඳ සැලට ගිය ලජ්ජාශීලී හත් හැවිරිදි ගැහැනු ළමයා හා සමාන වෙමු. සෑමදෙනාම දේශනා කිරීම කොතරම් වැදගත්ද කියා රාජ්‍ය ශාලාවේදී කියනවා ඇය අසා තිබුණු නිසා, ඇගේ බෑගයේ ඇය බයිබලය ගැන තිබෙන විවරණිකා දෙකක් දැම්මා. ඇගේ අම්මා මුදල් ගෙවන කවුන්ටරයේ සිටිද්දී, මේ කුඩා දැරිය අතුරුදහන් වුණා. ඇගේ අම්මා ඇයව සොයන්න ගිය විට, ඇය කාන්තාවකට විවරණිකාවක් ඉදිරිපත් කරමිනුයි සිටියේ! එම කාන්තාවට තම දියණිය අතින් යම් හිරිහැරයක් සිදු වෙන්න ඇතැයි සිතමින් සමාව ඉල්ලන්න අම්මා ඔවුන් වෙතට ගියා. එනමුත් එම කාන්තාව කාරුණිකව විවරණිකාව ලබාගත්තා. අම්මා නැවතත් තම දියණිය සමඟ තනිව සිටි විට, අමුත්තෙකු වෙත එළඹෙන්න ඇය කොහොමද ධෛර්යය උපදවාගත්තේ කියා අම්මා විමසුවා. “මම නිකම්ම එකයි දෙකයි තුනයි කියලා ගියා. එකයි දෙකයි තුනයි කියලා පටන්ගත්තා!”
18. අපට ප්‍රශංසනීය ආත්මයක් පෙන්විය හැක්කේ කෙසේද?
18 ශුභාරංචිය සමඟින් විශේෂයෙන් අමුත්තන් හෝ නිලධාරීන් වෙත පවා එළඹීම සඳහා, එම ඕස්ට්‍රේලියානු දැරිය විදහාපෙන්වූ ආකාරයේ ආත්මයක් අප හැමට අවශ්‍යයි. අපව ප්‍රතික්ෂේප කරයි කියා බිය වුණත්, යේසු පැවසූ දේ අමතක නොකරමු: “උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කියයුතු දේ ඒ පැයේදීම [ශුද්ධාත්මය] නුඹලාට උගන්වනවා ඇත.”—ලූක් 12:11, 12.
19. ඔබේ දේවසේවය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
19 එමනිසා ශුභාරංචිය සමඟින් ඔබ ජනයා වෙත කාරුණික අන්දමකින් එළඹෙද්දී දෙවිගේ ආත්මයේ උපකාරය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න. අද සිටින හෙට පහවයන බොහෝවිට ගෞරවය ලැබීමට නොවටිනා පුරුෂයන් සහ ස්ත්‍රීන් කෙරෙහි දශලක්ෂ ගණනාවක් තම දැඩි විශ්වාසය තබනවා. අප දැඩි විශ්වාසය තබන්නේ සදහටම ජීවත් වෙමින් සිටින යෙහෝවා මෙන්ම ක්‍රිස්තුස් යේසුස්, ශුද්ධ දේවදූතයන් සහ නැවත නැඟිටුවනු ලබන ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සෑදී තිබෙන ඔහුගේ ස්වර්ගික සංවිධානය කෙරෙහියි! එමනිසා, මෙය මතක තබාගන්න: “ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය”!—2 රාජාවලිය 6:16.
[පාදසටහන]
a තවත් උදාහරණ සඳහා, 1994 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (ඉංග්‍රීසියෙන්), 217-20 පිටු බලන්න.
ඔබේ පිළිතුර කුමක්ද?
◻ දෙවිගේ ස්වර්ගික සංවිධානය යෙහෝවාගේ ජනයාට බේරී සිටින්න ඉවහල් වී ඇත්තේ කුමන ආකාරයකින්ද?
◻ විසිවන සියවසේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කර ඇත්තේ මොන දේශපාලනමය සහ ආගමික කණ්ඩායම්ද?
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කාලවල අවශ්‍යතා අනුව තම දේවසේවය සකස් කර ඇත්තේ කෙසේද?
◻ දේශනා කරන්න ඔබව පොලඹවන්නේ කුමක්ද?
[17වන පිටුවේ පින්තූරය]
හෙන්රිකා සූර්
[18වන පිටුවේ පින්තූර]
ජපානය
මාර්ට්නීක්
එක්සත් ජනපදය
කෙන්යාව
එක්සත් ජනපදය
ජනයා සොයාගත හැකි මොනම වේලාවක හෝ මොනම තැනක හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරමින් සිටිනවා
[20වන පිටුවේ පින්තූරය]
මෙම සියවසේ කලින් අවස්ථාවක, රාජ්‍ය පණිවිඩය ව්‍යාප්ත කරන්න තැටිවාදන යන්ත්‍ර යොදාගනු ලැබුවා