එවුනීකි හා ලොයිස් ආදර්ශවත් ශික්ෂිකාවන්
යෙහෝවාගේ සේවකයන් හැටියට, අපේ දරුවන් සඳහා බලපෑමෙන් යුත් ආගමික අධ්‍යාපනයක් සැපයීම බැරෑරුම් වගකීමක් බව අපි දන්නවා. සියල්ල යහපත්ව තිබෙන කාලවලදී පවා, මේ කාර්යය සියලු ආකාර බාධක හා දුෂ්කරතාවලින් පිරි එකක් විය හැකියි. ක්‍රිස්තියානි දෙමාපියෙක් ආගමිකව බෙදුණු නිවසක එම අභියෝගයට මුහුණ දෙන විට එය ඊටත් වඩා දුෂ්කරයි. එවැනි තත්වයක් අලුත් තත්වයක් නොවෙයි. පොදු යුගයේ පළමු සියවසේදී එවැනිම තත්වයක සිටි දෙමාපියෙක් ගැන ශුද්ධ ලියවිලි අපට පවසයි.
දකුණු-මධ්‍යම සුළු ආසියාවේ ලුකෝනිය ප්‍රදේශයේ නගරයක් වූ ලුස්ත්‍රාවේ එවුනීකි නම් ස්ත්‍රියකගේ පවුල ජීවත් වුණා. ලුස්ත්‍රා, ඒ තරම් වැදගත්කමක් නැති කුඩා පිටිසර නගරයක්. අවට ප්‍රදේශවල මංකොල්ලකරුවන්ගේ ක්‍රියාකලාපයන් මර්දනය කිරීමට අගොස්තුස් කායිසර් විසින් පිහිටෙවූ ජූලියා ෆීලික්ස් ජෙමිනා ලුස්ත්‍රා ලෙසින් හැඳින්වූ රෝමානු ජනපදයකි එය. එවුනීකි තම ග්‍රීක් ස්වාමිපුරුෂයා, තම පුතා තිමෝති හා තම මව ලොයිස් සමඟ ආගමිකව බෙදුණු නිවසක ජීවත් වූ යුදෙව් ක්‍රිස්තියානි ස්ත්‍රියක්.—ක්‍රියා 16:1-3.
ලුස්ත්‍රාවට කිලෝමීටර් 30ක් පමණ ඈතින් පිහිටි ඉකෝනියේ යුදෙව් ජනතාවක් සිටියත්, ලුස්ත්‍රාවේ සිනගෝගයක් තිබුණ බව බයිබලයේ සඳහන් නොකරන බැවින්, එහි සිටියේ යුදෙව්වන් ස්වල්පදෙනෙක් විය හැකියි. (ක්‍රියා 14:19) එබැවින් එවුනීකිට තම ඇදහිල්ල ක්‍රියාවට නැංවීම පහසු කාර්යයක් නොවන්න ඇති. තිමෝති ඉපදුණ විට, ඔහුව චර්මච්ඡේදනය කර නොතිබෙනවා යන කාරණය, එවුනීකිගේ ස්වාමිපුරුෂයා එම අදහසට විරුද්ධ වුණ බව අනුමාන කිරීමට ඇතැම් උගතුන්ට මඟ පාදා තියෙනවා.
කෙසේවුවත්, එවුනීකි ඇගේ විශ්වාසය සම්බන්ධයෙන් තනි වී සිටියේ නැහැ. තම මව හා තම මවගේ පැත්තෙන් ආච්චි වූ ලොයිස් යන දෙදෙනාගෙන්ම, තිමෝති “ශුද්ධලියවිලි” තුළින් තම උපදෙස් ලැබුව බව පෙනෙන්න තිබෙනවා.a ප්‍රේරිත පාවුල් තිමෝතිට මෙසේ අවවාද කළා: “නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ [ඔබව විශ්වාස කිරීමට නම්මාගත්, NW] කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්, ක්‍රිස්තුස් [යේසුස්] කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ [බිළිඳු වයසේ, NW] පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.”—2 තිමෝති 3:14, 15.
“බිළිඳු වයසේ පටන්” අධ්‍යාපනය
“ශුද්ධලියවිලි” පිළිබඳ තිමෝතිගේ අධ්‍යාපනය දී තිබෙන්නේ “බිළිඳු වයසේ පටන්” කියා පාවුල් කිවූ විට පැහැදිලිවම ඉන් අදහස් වුණේ ළදරු කාලයේ පටන් බවයි. ඔහු භාවිත කළ ග්‍රීක් වචනය (බ්රේෆොස්), සාමාන්‍යයෙන් අලුත උපන් දරුවෙකුට යොමු දක්වන ග්‍රීක් වචනයකට සමානයි. (ලූක් 2:12, 16 සසඳන්න.) මෙබැවින් තිමෝතිට දෙවිගේ කැප වූ සේවකයෙකු බවට වැඩීමට උපකාර වනු ඇති පුහුණුව දීම පටන්ගැනීමට එවුනීකි පමා නොවී, දෙවි තමාට දුන් වගකීම ඇය බැරෑරුම් ලෙස සැලකුවා.—ද්විතීය කථාව 6:6-9; හිතෝපදේශ 1:8.
ශුද්ධ ලියවිලි සත්‍යතාවන් “විශ්වාස කිරීමට” තිමෝතිව ‘නම්මාගෙන’ තිබුණා. ග්‍රීක් ශබ්ද සංග්‍රහයකට අනුව, මෙහිදී පාවුල් භාවිත කළ වචනයෙන් අදහස් කරන්නේ, යමක් “ස්ථිරයෙන්ම නම්මාගැනීමයි; සහතික කිරීමයි.” දේවවචනය මත කරුණු විමසා බැලීමට හා එය කෙරෙහි ඇදහිල්ල පවත්වාගැනීමට ඔහුට උපකාර කරමින් එවැනි ස්ථිර ඒත්තුගැන්වීමක් ඔහුගේ හෘදයෙහි පිහිටුවීමට සැලකිය යුතු ප්‍රමාණයකට කාලය හා වෑයම අවශ්‍ය වූ බවට සැකයක් නැහැ. එසේනම්, පෙනෙන විදිහට, එවුනීකි හා ලොයිස් යන දෙදෙනාම තිමෝතිට ශුද්ධ ලියවිලි තුළින් ඉගැන්වීමට වෙහෙසී ක්‍රියා කළා. තවද එම භක්තිවන්ත ස්ත්‍රීන් මොනතරම් කදිම විපාකයක් නෙළාගත්තාද! තිමෝති ගැන පාවුල්ට මෙසේ ලිවිය හැකි වුණා: “ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. නුඹ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි.”—2 තිමෝති 1:5.
එවුනීකි හා ලොයිස් තිමෝතිගේ ජීවිතය තුළ මොනතරම් වටිනා කාර්යභාරයක් ඉටු කළාද! මේ සම්බන්ධයෙන්, ලේඛක ඩේවිඩ් රීඩ් මෙසේ ප්‍රකාශ කරයි: “තිමෝතිගේ හැරීම පිළිබඳ පෞද්ගලික අද්දැකීම ඒ තරම් වැදගත් නැහැයි කියලා ප්‍රේරිතයා විශ්වාස කළා නම්, ඔහු ඒ මොහොතේම ඔහුට ඒ ගැන මතක් කර දෙන්න තිබුණා. නමුත් තිමෝතිගේ ඇදහිල්ල ගැන ඔහුට මුලින්ම කියන්න තිබුණේ එය ඒ වන විටත් ‘ලොයිස් . . . සහ එවුනීකි තුළ ජීවමානව තිබූ බවයි.’ ” යෞවනයෙකුගේ ආත්මික අපේක්ෂා තීරණය කිරීමේදී ප්‍රධාන දෙය වන්නේ දෙමාපියන් හා ආච්චිලා සීයලා පවා නිවසේදී දෙන මුල් ශුද්ධ ලියවිලි අධ්‍යාපනය බව ලොයිස්, එවුනීකි හා තිමෝතිගේ ඇදහිල්ල සම්බන්ධයෙන් පාවුල්ගේ ප්‍රකාශය පෙන්නුම් කරයි. දෙවි සහ තම දරුවන් කෙරෙහි තම වගකීම ඉටු කිරීමට තමන් කරන්නේ කුමක්ද යන්න ගැන පවුල් සාමාජිකයන්ට බැරෑරුම් ලෙස සිතා බැලීමට මෙය සැලැස්විය යුතු නැද්ද?
සමහරවිට ලොයිස් හා එවුනීකි බිහි කර තිබූ නිවාස වාතාවරණය ගැනද පාවුල් සිතමින් සිටියා විය හැකියි. පොදු යුගයේ 47/48දී පමණ ප්‍රේරිතයා ලුස්ත්‍රාවේ සිටි මුල් අවස්ථාවේදී ඔහු ඔවුන්ව බලන්න ඔවුන්ගේ නිවසට යන්න ඇති. ස්ත්‍රීන් දෙදෙනා ක්‍රිස්තියානි ධර්මයට හැරෙන්න ඇත්තේ ඒ කාලයේදීයි. (ක්‍රියා 14:8-20) සමහරවිට තිමෝතිගේ “ආච්චි” වශයෙන් ලොයිස්ට යොමු දක්වන විට පාවුල්ට එම වචන තෝරාගැනීමට හේතු වුණේ ඒ නිවසේ භුක්ති වින්ද උණුසුම්, සන්තෝෂවත් සබඳතාව විය හැකියි. උගතෙකු වූ සෙස්ලා ස්පික් පවසන පරිදි, ඔහු පාවිච්චි කළ ග්‍රීක් යෙදුම (සම්භාව්‍ය, ගෞරවනීය ටේතෙ යන්නට වෙනස්ව මම්මේ) තම ආච්චිට “දරුවෙකුගේ ස්නේහවන්ත වචනයක්” වන අතර, මෙම පාඨ සම්බන්ධයේදී “දැඩි මිත්‍රත්වය හා ස්නේහය අතර සියුම් වෙනස” කියාපායි.
තිමෝතිගේ පිටවීම
දෙවන වතාවේදී (පො.යු. 50 පමණ) පාවුල් ලුස්ත්‍රාවට ගිය අවස්ථාවේදී එවුනීකිගේ විවාහක තත්වය කුමක් වූවාදැයි පැහැදිලි නැහැ. ඇය වැන්දඹුවක් වී සිටියා කියා බොහෝ උගතුන් උපකල්පනය කරයි. කොහොමවුණත්, තම මව හා ආච්චිගේ මඟ පෙන්වීම යටතේ තිමෝති සමහරවිට ඒ වන විට වයස අවුරුදු 20ක විතර කදිම යොවුන් පුරුෂයෙකු බවට වැඩී සිටියා විය හැකියි. ඔහු “ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්රසිද්ධවූ කෙනෙක්” වුණා. (ක්‍රියා 16:2) පැහැදිලිවම, රාජ්‍යයේ ශුභාරංචිය පැතිරවීමට ආශාවක් තිමෝතිගේ හෘදයෙහි පැලපදියම් වී තිබුණ නිසා, පාවුල් හා සීලස් සමඟ මිෂනාරි ගමනට හවුල් වීම සඳහා පාවුල්ගේ ආරාධනය ඔහු පිළිගත්තා.
තිමෝතිට පිටත්ව යෑමට මොහොත පැමිණි විට එවුනීකි හා ලොයිස්ට හැඟුණ ආකාරය ගැන සිතා බලන්න! තම නගරයට පාවුල් පළමු වතාවේදී පැමිණි විට, ප්රේරිතයාට ගල් ගසා, මැරෙන්න ඉඩහැර තිබූ බව ඔවුන් දැනගෙන හිටියා. (ක්‍රියා 14:19) එනිසා යෞවන තිමෝතිට යන්න හැරීම ඔවුන්ට පහසු දෙයක් නොවුණා විය යුතුයි. ඔහු කොයිතරම් කාලයක් පිටව සිටියිද කියා මෙන්ම ඔහුට කරදරයක් නොවී ආපහු එයිද කියා ඔවුන් කල්පනා කරන්න ඇති. එවැනි කාන්සාවන් තිබියදීත්, ඔහුට වඩාත් පූර්ණ ලෙස යෙහෝවාට සේවය කිරීමට හැකි කරවනු ඇති මෙම විශේෂ වරප්‍රසාදය පිළිගැනීමට ඔහුගේ මව හා ආච්චි දිරිගැන්වූ බව නොඅනුමානයි.
වටිනා පාඩම්
එවුනීකි හා ලොයිස් ගැන පරෙස්සමින් සලකා බැලීමෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි. තිමෝතිව ආත්මික වශයෙන් මනා ලෙස ඇති දැඩි කිරීමට ඇදහිල්ල ඔවුන්ව පෙලඹෙව්වා. ආච්චිලා සීයලා තම මුනුබුරු මිනිබිරියන්ට හා වෙනත් අයට මේරූ, දේවභක්තියේ ස්ථිර ආදර්ශයක් තැබීම මුළු ක්‍රිස්තියානි සභාවටම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් විය හැකියි. (තීතස් 2:3-5) එවුනීකිගේ ආදර්ශය, නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයන් සිටින මව්වරුන්ට තම දරුවන් තුළ ආත්මික උපදෙස් පැලපදියම් කිරීමේ වගකීම හා විපාක සම්බන්ධයෙන් එලෙසම සිහිගන්වයි. මෙසේ කිරීමට ඇතැම් අවස්ථාවලදී ලොකු ධෛර්යයක් අවශ්‍ය විය හැකියි; විශේෂයෙන්ම පියා තම භාර්යාවගේ ආගමික විශ්වාසයන්වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත්නම් එසේ විය හැකියි. ක්‍රිස්තියානි භාර්යාවක් තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට ගරු කළ යුතු බැවින් උපායශීලී වීමත් අවශ්‍ය වෙනවා.
කදිම මිෂනාරිවරයෙක් හා අවේක්ෂකයෙක් බවට පත් වෙන තරමටම තිමෝති ආත්මික ප්‍රගතියක් ලබනවා දැකීමෙන් ලොයිස්ගේ හා එවුනීකිගේ ඇදහිල්ල, වෑයම හා ආත්ම-පරිත්‍යාගයට විපාක ලැබුණා. (පිලිප්පි 2:19-22) එමෙන්ම අදදින, අපේ දරුවන්ට ශුද්ධ ලියවිලිමය සත්‍යයන් ඉගැන්වීමට කාලය, ඉවසීම හා අධිෂ්ඨානය අවශ්‍ය නමුත්, කදිම ප්‍රතිඵල මුළු වෑයම සැබවින් වටිනා එකක් වීමට සලස්වනවා. ආගමික වශයෙන් බෙදුණු නිවසක ‘බිළිඳු වයසේ පටන් ශුද්ධ ලියවිලි’ උගන්වනු ලැබූ ආදර්ශවත් ක්‍රිස්තියානි යෞවනයන් බොහෝදෙනෙක් තම භක්තිවන්ත දෙමාපියන්ට මහත් ප්‍රීතියක් ගෙනෙනවා. තවද මෙසේ පවසන මෙම හිතෝපදේශය මොනතරම් සැබෑවක්ද: ‘ඥානවන්තයෙකු උපදවන තැනැත්තී සන්තෝෂවත් වනු ඇත’!—හිතෝපදේශ 23:23-25.
ප්‍රේරිත යොහන් තම ආත්මික දරුවන් ගැන මෙසේ පැවසුවා: “මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.” (3 යොහන් 4) තමන් ආදර්ශවත් ශික්ෂිකාවන් දෙදෙනා වූ එවුනීකි හා ලොයිස් වැනි අය බවට ඔප්පු කර ඇති බොහෝදෙනා එම වචනවල ප්‍රකාශ කර ඇති අදහසට එකඟ වෙන බව ස්ථිරයි.
[පාදසටහන]
a සිරියානු භාෂාවෙන් 2 තිමෝති 1:5හි “මවගේ මව” වශයෙන් යොමු දක්වා තිබීම මගින් ඇඟවෙන්නේ ලොයිස් තිමෝතිගේ පියාගේ පැත්තෙන් ආච්චි නොවූ බවයි.