ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 12/15 8-10 පි.
  • ඔවුන් ‘සත්‍යය මිල දී ගත්තා’!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔවුන් ‘සත්‍යය මිල දී ගත්තා’!
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • බයිබල් ඉගැන්වීම් මගින් ආකර්ෂණය වී
  • තමාටම සත්‍යය තහවුරු කරගැනීම
  • බොරු ආගම මගින් මුළා වී
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 12/15 8-10 පි.

ඔවුන් ‘සත්‍යය මිල දී ගත්තා’!

‘සත්‍යය මිල දී ගෙන, නොවිකුණා තබාගන්න.’ (හිතෝපදේශ 23:23) මෙසේ අනුශාසනා කළේ, සාලමොන් නම් නැණවත් මිනිසායි. සාමාන්‍යයෙන් මෙය සත්‍යය සම්බන්ධයෙන් පැවසිය හැකි වුවත්, මෙය විශේෂයෙන්ම සැබෑවක් වන්නේ, දේවවචනය වන බයිබලයේ සඳහන් සත්‍යය ගැන සලකා බැලීමේදීයි. එවන් සත්‍යයක් මඟ පෙන්විය හැක්කේ සදාකාල ජීවනයටයි! (යොහන් 17:3, 17) කොහොමවුණත්, එවන් සත්‍යයක් අත් කරගැනීම, වියදමක් නොදරා කළ නොහැකි බව සැලකිල්ලට ගන්න. යමෙකු එය ‘මිල දී ගන්න’ කැමති විය යුතුයි; එනම්, එය ලබාගැනීම සඳහා යම් දෙයක් කැප කළ යුතුයි, නැත්නම් අත්හැරිය යුතුයි. (මතෙව් 13:45, 46, සසඳන්න.) සාමාන්‍යයෙන් මිනිසුන් එසේ කිරීමට කැමති නැහැ. නමුත් බොහෝ රටවල එඩිතර පුද්ගලයන්ගේ වැඩි වන ගණනක්—බොහෝවිට විශාල පෞද්ගලික කැප කිරීම් කරමින්—බයිබල් සත්‍යය මිල දී ගනිමින් සිටිනවා.

උදාහරණයක් හැටියට, බටහිර අප්‍රිකාවේ පිහිටි රටක් වන ඝානාව සලකා බලන්න. වර්ෂ 1989 ජූනි මාසය වන විට, ඒ රටෙහි 34,000කට වැඩි පිරිසක් බයිබල් සත්‍යය වැලඳගෙන, එය අනිත් අය සමඟ ක්‍රියාශීලී ලෙස බෙදාගනිමින් සිටියා. පසුව ප්‍රසිද්ධ දේශනා කිරීමේ වැඩය මත නීතිමය සීමාවන් පනවනු ලැබුවා. කොහොමවුණත්, අවංක හදවත් ඇති අය නීතිමය බාධාවන් නොතකා ‘සත්‍යය මිල දී ගැනීම’ දිගටම සිදු කළා. මෙම සීමාවන් 1991 ඔක්තෝබර් 31වන දින අවසන් වූ අතර, 1995 වසරේ මැදභාගය වන විට, එනම් එම නීතිමය සීමාවන් ඉවත් කර අවුරුදු තුනහමාරකට පසු, ඝානාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරි සාමාජිකයන්ගේ ගණන 46,104 දක්වා වැඩි වී තිබුණා! එමෙන්ම මේ අවුරුද්දේදී එම සංඛ්‍යාව 52,800 තෙක් වැඩි වී තිබෙනවා.

දේවවචනයෙහි සත්‍යය වෙත මිනිසුන්ව ආකර්ෂණය කර තිබෙන්නේ කුමක්ද? ‘සත්‍යය මිල දී ගැනීම’ සඳහා සමහරුන්ට මොන වගේ කැප කිරීම් කරන්න සිදු වූවාද? මෙයට උත්තර සැපයීමේදී, අපි ඝානාවේ වෙසෙන ක්‍රිස්තියානීන් තිදෙනෙකුගේ අද්දැකීම් සලකා බලමු.

බයිබල් ඉගැන්වීම් මගින් ආකර්ෂණය වී

අපි මුලින්ම විසිගණන්වල පසු වන කාන්තාවක් ගැන සලකා බලමු. ඇගේ පියා දේවගැතියෙකු වුණත්, පියාගේ ආගමෙන් ඉවත් වීමට ඇය තීරණය කළා. හේතුව? සත්‍යය කෙරෙහි වූ ඇගේ ප්‍රේමයයි.

ඈ වරක් මෙසේ පැහැදිලි කළා: “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යද්දී, අපේ නිවසටත් එන්න පුරුදු වෙලා සිටියා. ඔවුන් උගන්වමින් සිටි දේවල් බයිබලය මත හොඳින් පදනම් වෙලා තිබුණු බව ඔවුන් සමඟ සාකච්ඡා කිහිපයක් කිරීමෙන් පස්සේ මම තේරුම්ගත්තා. ත්‍රිත්වය, නිරාගින්න, ප්‍රාණයේ අමරණීයත්වය හා විශේෂයෙන්ම ඇදහිල්ලෙන් සුව කිරීම වැනි විෂයන් ගැන මම ප්‍රශ්න නැඟුවා. මෙම ඉගැන්වීම් බයිබලයෙන් රැගෙන තිබෙන බව මම තදින්ම විශ්වාස කළා. නමුත් එය එසේ නොවන බව තේරුම්ගන්න සාක්ෂිකරුවන් මට උපකාර කළා.”—එම විෂයන් පිළිබඳ බයිබලයේ දෘෂ්ටිකෝණය පිළිබඳ ඇඟවීමක් සඳහා කරුණාකර මාර්ක් 13:32; රෝම 6:23; ක්‍රියා 10:40 සහ 1 කොරින්ති 13:8-10 බලන්න.

මේ තරුණ කාන්තාව තවදුරටත් මෙසේ පැවසුවා: “ඒත් මගේ පවුලෙන්, විශේෂයෙන්ම මගේ පියාගෙන් දැඩි විරුද්ධවාදිකම් එල්ල වුණා. ඔහු හිතුවේ මං මුළා වෙමින් සිටියා කියලයි. කොහොමවුණත්, මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් ඉගෙනගනිමින් සිටි දේවල් සත්‍යය බව මං තේරුම්ගත්තා. බයිබලයේ තිබෙන මේ දේවල් මගේ පියාට කියා දෙන්න මං උත්සාහ කළත්, ඔහු සවන් දුන්නේ නැහැ. ඇත්තෙන්ම, විරුද්ධවාදිකම් වැඩි වුණා.

“කොහොමවුණත්, ධෛර්යයෙන් යුක්තව මුහුණ දෙන්න මං අදිටන් කරගත්තා. පාරාදීසයේ සදාකාල ජීවනයට මඟ පෙන්වන්නේ සැබෑ දැනුම විතරයි කියා තේරුම්ගෙන, එයට ඇලී සිටින්න අදිටන් කරගත්තා. මං මුහුණ දෙමින් සිටි ගැටලු ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන් දැනගත් විට, මාව දිරිගන්වමින් හා යම් අවශ්‍යතා සපයමින් ඔවුන් ප්‍රේමනීය ලෙස මට උදව් කරන්න ආවා. යොහන් 13:35හි සඳහන් යේසුගේ මෙම වදන්වල වැදගත්කම තේරුම්ගන්න එය මට උපකාර කළා: ‘නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.’ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සැබෑ ආගම අනුගමනය කරන බවට වූ මගේ විශ්වාසය ගැඹුරට කාවැදුණා. පසුව, මගේ ජීවිතය වඩාත් හොඳ තත්වයකට මං වෙනස් කරගෙන තිබෙන බව මගේ දෙමාපියන්ගේ අවධානයට ලක් වෙද්දී, ඔවුන් දැක්ක දේවලට කැමැත්තක් දැක්වූ අතර, මා කෙරෙහි තිබුණු ඔවුන්ගේ ආකල්පය වෙනස් වුණා; එය මොනතරම්ද කියනවා නම්, මාගේ ලොකු අයියා එක්ක බයිබල් පාඩමක් පවත්වන්න කියලා මාගේ තාත්තා සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටියා!”

තමාටම සත්‍යය තහවුරු කරගැනීම

සාක්ෂිකාර දෙමාපියන් විසින් ඇති දැඩි කර තිබෙන සමහර තරුණයන්ට ‘සත්‍යය මිල දී ගැනීම’ අභියෝගයක් වී තිබෙනවා. බයිබල් සත්‍යයන් සැහැල්ලුවට ගැනීමට සමහර යෞවනයන් නැඹුරු වී තිබෙනවා. එවන් සත්‍යයන් තමන්ගේම කරගැනීමට ඔවුන් අසමත් වන්නේ නම්, ඔවුන්ගේ ඇදහිල්ල දුර්වල වීමට, මතුපිටට පමණක් සීමා කිරීමට නැඹුරු වෙනවා. (මතෙව් 13:20, 21 සසඳන්න.) තමා කුඩා ළමයෙකුව සිටි කාලයේදී ‘සත්‍යය මිල දී ගත්’ ආකාරය ගැන, තිස්ගණන්වල පසු වන ඝානාවේ වෙසෙන නතානයල් නම් මිනිසා පවසනවා.

“මම ළදරුවෙක්ව සිටි කාලයේ පටන් මගේ දෙමාපියන් මට බයිබලය ඉගැන්වුවා” කියා ඔහු සිහිපත් කරනවා. “මම වයසින් වැඩෙත්ම, ඔවුන් එක්ක දේශනා සේවයේ ගියත්, ඇත්තෙන්ම සාක්ෂිකරුවෙක් වෙන්න මං තීරණය කරල තිබුණේ නැහැ. මමම දේවල් සෝදිසි කරල බලන්න ඕනෙ කියලා කාලයක් ගත වෙද්දී මං තේරුම්ගත්තා.

“මුලින්ම, බයිබලය කියන්නේ තවත් ආගමික ශුද්ධ පොතක් නොවෙයි, එය දේවවචනය කියා තහවුරු කරගන්න මට අවශ්‍ය වුණා. නිවැරදිව ඉටු වෙලා තියෙන පැහැදිලි අනාවැකි බොහොමයක් අඩංගු වන එකම ශුද්ධ පොත එය බව මාගේ පෞද්ගලික පාඩමෙන් මම ඉගෙනගත්තා. විද්‍යාත්මක සත්‍යයන් ගණනාවක් බයිබලයේ අඩංගු වන බවත්—උදාහරණයක් හැටියට පොළොව ‘අවකාශයේ එල්ලා තිබෙන’ බව මම ඉගෙනගත්තා. (යෝබ් 26:7) මේ වචන ලියලා තිබුණේ, අපේ ග්‍රහ මණ්ඩලය ගැන විද්‍යාඥයන් දැනගන්න අවුරුදු දහස්ගණනකට කලිනුයි. ඒ වගේ දේවල් ලියන්න මිනිසුන්ට ආනුභාවය සපයන්න පුළුවන් වුණේ දෙවිට පමණයි!a

“ඊළඟට, මට වුවමනා වුණා, බයිබලය උගන්වන සත්‍යයන් උගන්වන්නෙත් ක්‍රියාවට නඟන්නෙත් මොන ආගමික සංවිධානයද කියල සොයා බලන්න. නිරාගින්න, ත්‍රිත්වය සහ මරණින් පසු නොනැසී පවතින අමරණීය ප්‍රාණයක් ගැන බොහෝ ආගම්වල උගන්වනවා. ඒත් මේ ඉගැන්වීම් මගින් මට කිසිම අර්ථයක් ගෙන දුන්නේ නැහැ. මම මේ විදිහට තර්ක කළා: දඬුවමක් හැටියට තමාගේ පුතාගේ අත නටන උණු වතුරේ දමන්නේ නපුරු පියෙක් නෙමෙයිද? එහෙමනම්, තම දරුවන්ව ගිනිමය නිරයකට දමා වේදනා විඳින්න ඉඩහරින්න ප්‍රේමනීය දෙවිකෙනෙකුට පුළුවන් වෙන්නේ කොහොමද? කොහොම වුණත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් රෝම 6:23 වැනි බයිබල් පාඨවලට එකඟව උගන්වනවා; එහි මේ විදිහට කියනවා: ‘පාපයේ කුලී නම් මරණයයි’—යම් ගිනිමය නිරයක් නෙමෙයි. මෙය මට යම් අර්ථයක් ගෙන දුන්නා.

“සාමාජිකයන් සියලුදෙනාම බයිබල් ප්‍රමිති අනුව ජීවත් වීම යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපේක්ෂා කරන බවත්, පසුතැවිලි නොවෙමින් පාපයේ නියැලෙන ඕනෑම කෙනෙකුව ඔවුන් සභා ඇසුරෙන් කපාහරින බවත් මම නිරීක්ෂණය කළා. මේ සෑම දෙයක්ම සලකා බලද්දී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුව සත්‍යය තිබෙන බව මම නිගමනය කළ අතර, ඔවුන්ගෙන් කෙනෙක් වීම සඳහා පෞද්ගලිකව ගත යුතු තීරණය මම ගත්තා. සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්මය සඳහා සුදුසුකම් අත් කරගන්න මං වෙහෙස මහන්සි වෙලා කටයුතු කළා.”—1 කොරින්ති 5:11-13.

ක්‍රිස්තියානි දෙමාපියන් විසින් ඇති දැඩි කරනු ලබන යෞවනයන් පවා ‘සත්‍යය මිල දී ගත’ යුතු බව නතානයල්ගේ අද්දැකීමෙන් මැනවින් පැහැදිලි වෙනවා. ඔවුන් නිකම්ම උදාසීන ලෙස සභා රැස්වීම්වලට නොපැමිණිය යුතුයි. පුරාණ බෙරීයවරුන් මෙන්, ඔවුන් ‘මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ශුද්ධ ලියවිලි පරෙස්සමින් පරීක්ෂා කර බැලිය’ යුතුයි. (ක්‍රියා 17:11, NW) මෙසේ කිරීමට කාලය හා වෑයම අවශ්‍ය වුණත්, ශක්තිමත් ඇදහිල්ලක් හා ස්ථිර විශ්වාසයක් එහි ප්‍රතිඵලය විය හැකියි.—එපීස 3:17-19 සසඳන්න.

බොරු ආගම මගින් මුළා වී

ඝානාවේ වෙසෙන ගොඩ්වින් නම් මිනිසා ප්‍රෙස්බිටේරියානු පල්ලියෙන් හා ෆ්‍රී මෙසන්වරුන්ගේ ලැගුම්හලෙන් ඉවත් වන විට ඔහුගේ වයස අවුරුදු 70කට ආසන්නයි. “විරුද්ධ විය යුතුයි කියා මට වැටහී ගිය දේවල් පල්ලියේ සිදු වෙමින් තිබුණා” කියා ගොඩ්වින් පවසනවා. “උදාහරණයක් හැටියට අභ්‍යන්තර ගැටුම් බොහොමයක් තිබුණා, ඒවා තවමත් තියෙනවා. සමහර අවස්ථාවලදී සාමය හා විනය නැවත ඇති කරන්න පොලීසියට එන්න සිද්ධ වුණා! ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට මෙය සුදුසු ක්‍රියාවක් කියා මං සිතුවේ නැහැ. පසුව, තවත් ප්‍රෙස්බිටේරියානුවරයෙක් හා මා අතර ගැටලුවක් ඇති වුණා. මහජන උසාවියකදී නඩුව විභාග කළ අතර, අනිත් තැනැත්තා වරදකරු බවට තීන්දු වුණා. කොහොමවුණත්, පල්ලියේ දේවගැතිවරයා අසාධාරණ ලෙස මේ තැනැත්තාගේ පැත්ත ගෙන, මුළු සභාවම ඉදිරියේ මාව දෝෂාරෝපණයට ලක් කරන්න උත්සාහ කළා! මම ඔහුට මේ කාරණය ගැන මාගේ අදහස වහෙං ඔරො නැතුව ඉදිරිපත් කරල—කවදාවත් නැවත නොයන්න—පල්ලියෙන් එළියට ආවා.

“කාලයක් ගත වුණාට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මගේ ගෙදරට ආවා. මුලදී, දෙවි ගැන කතා කරන අයව පිටමං කරන්න මම කැමති වුණේ නැති හින්දා මං නිකමට වගේ ඇහුම්කන් දුන්නා. ඒත්, මං දශක ගණනාවක් ප්‍රෙස්බිටේරියානුවරයෙක් වෙලා හිටියත්, බයිබලය ගැන මං නොදැන හිටිය දේවල් හුඟාක් තිබුණු බව මගේ සැලකිල්ලට යොමු වෙන්න පටන්ගත්තා. උදාහරණයක් හැටියට, පොළොව මත පාරාදීසයක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවක් බයිබලයේ තියෙනවා කියල මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ.b ඒ වගේම මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තාම, ආචාර විධි, විශේෂයෙන්ම ඔවුන් අතර සිටි යෞවනයන්ගේ ඇඳුම් පැළඳුම් හා හිසකෙස් සැකසීම මාගේ සිතට තදින්ම කාවැදුණා. බයිබල් ප්‍රමිති අනුව ඇත්තටම ජීවත් වූ සෙනඟ මේ අය වුණා!”

ඒත්, ‘සත්‍යය මිල දී ගැනීම’ සඳහා මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ ජීවිතයේ සකස් කිරීම් කරන්න අවශ්‍ය වුණා. ගොඩ්වින් මෙසේ සිහිපත් කරනවා: “මම ෆ්‍රී මෙසන්වරුන්ගේ ලැගුම්හලක සාමාජිකයෙක්ව සිටියා. ඒ වගේම එය, එහි සාමාජිකයන්ට උපකාර කරන සහෝදරත්වයකින් යුත් සමිතියක් හැටියට ප්‍රසිද්ධව තිබුණත්, හිස්කබල් හා ඇටකටු යොදාගෙන ආත්මයන්ට යදින වත් පිළිවෙත් මම දැක්කා. මෙම ආත්ම සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරන අයට ආත්මිකව වර්ධනය වෙන්න ඔවුන් උපකාර කරනවා කියල කියනවා.

“භූතවාදය සාතන්ගේ හා ඔහුගේ දුෂ්ට ආත්ම බලයන්ගේ බලපෑමට යමෙකුව යටත් කළ හැකි නිසා, ඊට ඕනෑම ආකාරයකින් සම්බන්ධ වෙන එක යෙහෝවා දෙවි පිළිකුල් කරන බව තේරුම්ගන්න මාගේ පාඩම් මට උපකාර වුණා.c එහි තිබෙන හැම ගුප්ත භාවනාවක් සමඟින් මම ෆ්‍රී මෙසන්වරුන්ගේ ලැගුම්හලේ සාමාජිකයෙක් හැටියට දිගටම සිටිනවාද, නැත්නම් මම ඒවායින් නිදහස් වෙලා යෙහෝවාව සතුටු කරනවාද? මම පසුව සඳහන් කළ එක තෝරාගත්තා. මම ෆ්‍රී මෙසන්වරයෙකුට ලැබෙන මෙවලම් ඔක්කොම විනාශ කර දැම්මා; ලැගුම්හලේ රැස්වීම්වලට අඳින ඇඳුම පවා විනාශ කර දැම්මා. ‘සැබෑව ඔබව නිදහස් කරයි’ කියා යේසු පවසද්දී දුන් පොරොන්දුවේ සත්‍යතාව මම අද්දැක්කා. (යොහන් 8:32) දැන් මම ඉගෙනගෙන තියෙන දේවල් අනිත් අය එක්ක සතුටින් බෙදාගන්නවා. මට කොහොමටවත් කනගාටුවක් දැනෙන්නේ නැහැ.”

අවංක හදවත් ඇති දහස්ගණනක් ඒ හා සමානව ‘සත්‍යය මිල දී ගැනීම’ සඳහා විශාල කැප කිරීම් කර තිබෙනවා. මෙහිදී සාකච්ඡා කළ ක්‍රිස්තියානීන් තිදෙනා මෙන්, තමන් කළ වෙනස්කම් ගැන ඔවුන්ටද කිසිම කනගාටුවක් දැනෙන්නේ නැහැ. බයිබල් සත්‍යය, “සැබවින් ජීවනයවූ ඒ ජීවනය [සැබෑ ජීවනය, NW] අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක්” ඔවුන්ට දමා දී තිබෙනවා. (1 තිමෝති 6:19) ඔබ ‘සත්‍යය මිල දී ගන්නේ’ නම්, එම “සැබෑ ජීවනය” මෙන්ම ඒ හා බැඳි සියලුම ආශීර්වාද සදාකාලයෙන් සදාකාලයටම ඔබේ විය හැකියි.

[පාදසටහන්වල]

a වැඩි විස්තර සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? නමැති පොත බලන්න.

b උදාහරණයක් හැටියට, ගීතාවලිය 37:9-11, 29 බලන්න.

c ද්විතීය කථාව 18:10-12 සහ ගලාති 5:19-21 බලන්න.

[9වන පිටුවේ පින්තූරය]

නතානයල්

[9වන පිටුවේ පින්තූරය]

ගොඩ්වින්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න