පරිශුද්ධ සේවය සඳහා මහඟු විපාක
හැරි බ්ලුර් පැවසූ පරිදි
අවුරුදු සීයකට විතර ඉස්සෙල්ලා, මගේ සීයා මෙතෝදිස්ත පල්ලියේ තද මෙතෝදිස්ත සාමාජිකයෙක් වෙලා හිටියා. ගෞරවයෙන් සලකනු ලැබුව ගිහි දේශකයෙකුත් වූ ඔහු එංගලන්තයේ කුඹල් කර්මාන්තය බහුල වශයෙන් තිබූ නගරයක් වන ස්ටෝක්-ඔන්-ට්‍රෙන්ට්හි දෙව්මැදුරු බොහොමයක නඩත්තුව සඳහා ත්‍යාගශීලී ලෙස දුන්නා. ඊට පස්සේ ඔහු මුදල් අතින් අමාරු කාලවල් අද්දැක්කා. සීයාට උපකාර කිරීම සඳහා මගේ තාත්තා ගමේ කුඩා වෙළඳ සැලක් පටන්ගන්න ඔහුට අවශ්‍ය සියල්ල පිළියෙළ කර දුන්නා. වෙළඳ සැලේ බීර විකිණීමට අවසරයක් තිබුණු අතර, මෙතෝදිස්ත භක්තිකයන් මෙය දැනගත් විට, ඔවුන් වහාම සීයාව පල්ලියෙන් නෙරපා දැම්මා.
සෑහෙන කේන්තියක් ඇති වුණ තාත්තා ආගමත් එක්ක ආපහු කවදාවත් කිසිම සම්බන්ධකමක් තියාගන්නේ නැති බව තරයේ කියා සිටි අතර, ඔහුගේ වචනය කඩ කළේ නෑ. ඔහු පොලිස්භටයෙක් වෙලා හිටියත්, පස්සේ තැබෑරුමක අයිතිකරු බවට පත් වුණා. ඉතින් එතැනින් හැමූ ගන්ධයන් මෙන්ම දුම් මැද්දෙයි මම හැදී වැඩුණේ. ආගමත් එක්ක මගේ ජීවිතයට කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ; නමුත් මම ලෑලි මත ඉත්තන්ගෙන් කරන ක්‍රීඩා බොහෝමයක් අතිදක්ෂ ලෙස ඉගෙනගත්තා! කොහොමනමුත්, සීයාගේ මුල් බලපෑම හේතුවෙන්, මම බයිබලය ගැන දැනගෙන හිටියේ ටිකක් වුණත් එය කෙරෙහි සැලකිය යුතු ගෞරවයක් මා තුළ තිබුණා.
මම බයිබල් සත්‍යය ඉගෙනගත්තා
මට 24ක්ව සිටියදී, 1923දී, මම නැඟෙනහිර නොටිංහැම්වල පදිංචියට ගිය අතර, කිලෝමීටර් 40කට එහායින් ලෙස්ට’ෂය’හි නිරිතදිග පිහිටි වෙට්ස්ටෝන් ගමේ විසූ මේරි සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා. ඇගේ පියා වූ ආතර් රෙස්ට්, ප්‍රාදේශීය දෙව්මැදුරක ඕගන් වාදකයෙක්ව සිට ඇති නමුත්, මේ වන විට ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූ ලෙස ඉතා ලැදි බයිබල් ශිෂ්‍යයෙක්ව සිටියා. ආතර් හැම තිස්සෙම ඔහුගේ අලුත් විශ්වාසය ගැන මාත් එක්ක කතා කළත් මම ඒ තරම් උනන්දුවක් දැක්වුවේ නෑ. කොහොමනමුත්, මගේ උනන්දුව වැඩි වුණේ ප්‍රධාන පෙළේ බැප්ටිස්ට් භක්තිකයෙකු වූ පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් දුන් දේශනයකට සවන් දීමට, මම ඔහු සමඟ 1924 ජූලි 13වන ඉරිදා දවල් වරුවේ ප්‍රාදේශීය බැප්ටිස්ට් දෙව්මැදුරකට ගිය විටයි. “ශුද්ධ ලියවිලි පිළිබඳ අවබෝධයෙන් පාස්ටර් රසල්ගේ ඉගැන්වීම් සෝදිසි කළා” යන ඔහුගේ විෂය මා තුළ කුතුහලයක් ඇති කළා. ඒ වෙලාවේ ගත්ත සටහන් මා ළඟ තවමත් තියෙනවා.
තම විශ්වාසයන් වෙත එල්ල කරන ප්‍රහාරයට පිළිතුරු දීමට බයිබල් ශිෂ්‍යයන් කළ ඉල්ලීමක් බැප්ටිස්ට් භක්තිකයන් විසින් ප්‍රතික්ෂේප කළා. මෙයින් කෝපයට පත් වුණ මා එවැනි රැස්වීමක් තියන්න සුදුසු තැනක් සෙවීමට අධිෂ්ඨානයක් ගත්තා. ළඟපාත තිබුණු පිදුරු මඩුව ඒකට කියාපු තැනක් වුණා. අපි ඒක හොඳට අතුගාලා, මකුළුදැල් කඩලා, වී කොටන යන්ත්‍ර එක පැත්තකට තල්ලු කළා; එවිට අපි හොඳින් සූදානම්ව සිටියා. අපි පුටු 70ක් සොයාගත් අතර, අපි දැන්වීම් පත්‍රිකාත් මුද්‍රණය කළා.
කතාව ඉදිරිපත් කිරීමට ෆ්‍රෑන්ක් ෆ්‍රීයර්, ලෙස්ට’ෂය’වල ඉඳලා ආ විට ආසන 70ම පිරී තිබුණු අතර තවත් 70දෙනෙක් හිටගෙන හිටියා! ශුද්ධ ලියවිලිවලින් ෆ්‍රෑන්ක් කළ පැහැදිලි හේතු දැක්වීමට පැමිණ සිටි වෙනත් බොහෝදෙනෙකුගේ මෙන්ම මගේ සිතත් ඇදී ගියා. එදා පටන්, ලෙස්ට’ෂය’ අසල බ්ලේබිවල බයිබල් ශිෂ්‍යයන්ගේ කුඩා සභාව ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒක මගෙත්, මේරිගෙත් ජීවිතයේ සන්ධිස්ථානයකුත් වුණා. අපි දෙන්නම 1925දී යෙහෝවාට කැප වෙලා, බව්තීස්ම වූ අතර විවාහ වුණා.
ආත්මික ආශීර්වාද
ඊට පස්සේ අවුරුද්දේ, මාව බ්ලේබි සභාව සඳහා සේවා මෙහෙයවන්නෙක් හැටියට පත් කළා. කෝල්පෝටර්වරයන්ගේ අඩිපාරේ යමින් පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන් වෙන්න මගේ භාර්යාවටත්, මටත් ඕනෙ වුණ නමුත්, එවැනි වෙහෙසකර කාලසටහනකට අනුව දිගටම වැඩ කරන්න මේරිගේ සෞඛ්‍යය ඉඩහරින්නේ නැති බව විගස පැහැදිලි වෙන්න පටන්ගත්තා. වර්ෂ 1987දී ඇගේ මරණය සිද්ධ වන තෙක්ම ඈ දුර්වල සෞඛ්‍යයක් ඇතුව සිටියත්, ඇය කදිම සහකාරියක් වූ අතර අවිධිමත් ලෙස සාක්ෂිදරා, බයිබල් පාඩම් පටන්ගැනීමට තරම් දක්ෂ, විශිෂ්ට දේවසේවිකාවක්ව සිටියා. සවසක් සවසක් පාසා අපි රැස්වීම්වලට යමින්, එහෙමත් නැත්නම් අපේ අසල්වැසියන් සමඟ බයිබල් සත්‍යයන් බෙදාගනිමින් හිටියා.
මම ඉන්ජිනේරුවෙක්ව සිටි අතර, ලී ඉරන යන්ත්‍ර නිෂ්පාදනය කළ වෙළඳ සමාගමකට සම්බන්ධ වී වැඩ කළා. මගේ වැඩට බ්‍රිතාන්‍ය මෙන්ම ප්‍රංශය පුරා සෑහෙන දුරක් සංචාරය කිරීම ඇතුළත් වූ අතර, බොහෝවිට මේරිත් මාත් එක්කම ගියා. මේ ගමන්, අපිට පුළුල් ලෙස සාක්ෂිදරන්න ප්‍රස්තා උදා කර දුන්නා.
පුළුල් කිරීමට අඩිතාලම්
වර්ෂ 1925දී බ්ලේබිවල අපේ රැස්වීම් සඳහා අපි කදිම ගොඩනැඟිල්ලක් ඉදි කළ අතර, එහිදී අපි බලපෑමෙන් යුත් සාක්ෂිදැරීමේ වැඩසටහනක් සංවිධානය කළා. හැම ඉරිදා උදේකම, අපි බස් රථයක් කුලියට අරං, විසිරිලා තිබුණ ගම්මානවලටත්, වඩාත් කුඩා නගරවලටත් එයින් ගියා. යන අතරතුරේදී ප්‍රචාරකයන්ව බස්සගෙන ගිය අතර, එමින් ගමනේදී ඔවුන්ව බස් රථයට නග්ගගත්තා. උණුසුම් ග්‍රීෂ්ම මාසවලදී, අපි මෑතක පළ වූ මුරටැඹ කලාපයක් යොදාගනිමින් ඉරිදා සන්ධ්‍යා භාගයේදී බයිබල් පාඩමක් පැවැත්තුවා. ඊට පස්සේ, අටට, එළිමහන් ප්‍රසිද්ධ-කථාවක් සඳහා අපි ලෙස්ට’ෂය’ වෙළඳපොළේ රැස්වුණා. එක් රාත්‍රියකදී 200දෙනෙක් සවන් දුන්නා. මේ ක්‍රියාමාර්ගය ලෙස්ට’ෂය’ තුළත් ඒ අවටත් දැන් පවතින බොහෝ සභාවලට අඩිතාලම් දැමුවා.
වර්ෂ 1926දී, ලන්ඩන්වල ඇලෙක්සැන්ඩ්‍රා මාළිගාවේ සහ රාජකීය ඇල්බ’ට් ශාලාවේ ඒකාබද්ධව, වැදගත් යුගයක ආරම්භයක් සනිටුහන් කරන සමුළුවක් පැවැත්තුවා. ඒ අවස්ථාවේදී, එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි ජෝසෆ් එෆ්. රද’ෆ’ඩ් ගැළවීම (ඉංග්‍රීසියෙන්) නම් පොත මුදාහැරියා. “ලෝකයේ පාලකයන්ට සාක්ෂියක්” යන අධිෂ්ඨානය සහ “ලෝක බලයන් අස්ථිර වන හේතුව—ඊට පිළියම” යන සහෝදර රද’ෆ’ඩ්ගේ බලවත් ප්‍රසිද්ධ ඇමතුම ඉදිරිපත් කළාට පස්සේ ඒවා ප්‍රධාන පුවත්පතක සම්පූර්ණයෙන්ම මුද්‍රණය කර තිබුණා. දහදාහකට වැඩි පිරිසක් ප්‍රසිද්ධ දේශනයට සවන් දුන් අතර, ඉන්පසු අධිෂ්ඨානයේ පිටපත් 5,00,00,000ක් ලොව පුරා බෙදාහැරියා. බ්‍රිතාන්‍යයේ දේශනා වැඩය කඩිනම් කිරීමට එම සමුළුව දායක වුණා.
යුධ සමයේදී විශාල සමුළුව
දෙවනි ලෝක යුද්ධය 1939 සැප්තැම්බර්වලදී පටන්ගත් අතර, 1941 වන විට යුද්ධය එහි උච්ච අවස්ථාවට පත්ව තිබුණා. දිවා රාත්‍රියේ ජර්මන් බෝම්බ ප්‍රහාරකයන් ආක්‍රමණය කළ අතර, රට පුරාම අඳුර පැවතුණා. ආහාර හිඟ වුණ අතර තිබුණ ටිකත් දැඩි සලාක ක්‍රමයකටයි බෙදාහැරියේ. ගමනාගමනය, දුම්රියෙන් යෑම පවා ඉතාමත්ම සීමිතවයි තිබුණේ. දරන්ට බැරි තරම් වූ මෙවැනි බාධක මැද්දේ, අපි 1941 සැප්තැම්බර් 3-7 දක්වා දවස් පහක ජාතික සමුළුවක් පැවැත්තුවා.
ලෙස්ට’ෂය’ එංගලන්තයේ මැද පිහිටි නිසා සමුළු භූමිය වශයෙන් ලෙස්ට’ෂය’ස් ඩි මාන්ෆ’ට් ශාලාව තෝරාගෙන තිබුණා. මම දැව කර්මාන්තයේ නියැලී සිටි නිසා, දැන්වීම් සංඥා ඉදි කිරීම සම්බන්ධයෙන් උපකාර කරන්න මට පුළුවන් වුණා. සමුළුවට පැමිණෙන අයට ප්‍රාදේශීය ප්‍රවාහණ පහසුකමුත් මම පිළියෙළ කළා. කලින්ම ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමෙනුත්, සාමාන්‍ය මිලට වඩා ගෙවීමෙනුත් ඉරුදින පවා අපි ලෙස්ට’ෂය’වල ට්‍රෑම් රථ සේවය පවත්වාගත්තා.
ගමනාගමනය සම්බන්ධයෙන් සීමා පනවා තිබුණ නිසා, අපේ බලාපොරොත්තුව වුණේ සමහරවිට සාක්ෂිකරුවන් 3,000ක් එයි කියායි. නියෝජිතයන් 10,000ක් එන බව පැවසුවහම ඇති වුණ සතුට මොනතරම්ද කියලා කල්පනා කරලා බලන්න! නමුත් ඔවුන් ඉන්න යන්නේ කොහේද? ලෙස්ට’ෂය’ වාසීන් තම නිවෙස්වල නවතින්න කියලා බොහෝදෙනෙක්ට කාරුණිකව ආරාධනා කළා. ඊට අමතරව, සමුළු භූමියට කිලෝමීටර් 3ක් ඈතින් පිහිටි භූමියක ඉදි කළ කූඩාරම්වල දාහකට පමණ නවතින්න පුළුවන් වුණා. ගිඩියොන්ගේ කූඩාරම වශයෙන් අප හැඳින්වූ එය, ඒ පළාතේ වැසියන් තුළ සෑහෙන උනන්දුවක් ඇති කළා.
සමුළු අංශ ලෙස යොදාගන්නත්, පිරී ඉතිර යන විශාල ජනකායකට නවාතැන් දීමටත් විශාල සුදු කූඩාරම් කුලියට ගෙන තිබුණා. දීප්තිමත් චන්ද්‍රාලෝකයේදී නාට්සි බෝම්බ ප්‍රහාරකයන්ට කූඩාරම් ඉලක්කයක් විය හැකි බව තීරණය කළ විට, විගස ඒවා වෙනස් කළා. යුද්ධය සහ විශේෂයෙන්ම සාක්ෂිකරුවන් ඊට සහභාගි නොවීම මහජන සැලකිල්ලට භාජන වන කරුණක් වුණා. මධ්‍යස්ථභාවය රැකීමට බයිබලය මත පදනම් තම ස්ථාවරය නිසා ඒ වන විට සාක්ෂිකරුවන් සියගණනක් සිර කර සිටියා.—යෙසායා 2:4; යොහන් 17:16.
වර්ෂ 1941 සැප්තැම්බර් 7වෙනිදා, ද ලෙස්ට’ෂය’ ම’කරි මෙසේ වාර්තා කළා: “දහදාහක ජනතාවක්, වැඩි වශයෙන් යෞවනයන්, යුද්ධය ගැන හදිසියේ කියවුණොත් ඇරෙන්න ඒ ගැන සඳහන් නොකර ආගම ගැන කතා කරමින් සතියක් ගත කිරීම පුදුම එළවන්නක් වුණා.
“සාක්ෂිකරුවන්ගේ සාමාජිකයන් කවුරුහරි ජර්මනියේ ඉන්නවද කියලා මම ඇහැව්වා. ඔව්, කියා මට පැවසූ අතර ඔවුන් හැමදෙනාම වාගේ, එනම් 6,000ක් විතර වධක කඳවුරුවලයි හිටියේ.”
වාර්තාකරු මෙසේත් පැවසුවා: “ඔව්, නාට්සිවරු සතුරන් බව ඇත්තයි; නමුත් පත්‍රිකා විකුණනවාට සහ කතාවලට ඇහුම්කන් දෙනවාට අමතරව, සතුරා සමඟ සටන් කරන්න ඔවුන් කිසි දෙයක් කරන්නේ නැහැ.”
අප සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් ප්‍රකාශයන් සාමාන්‍යයෙන්ම නිෂේධාත්මක ඒවා වූ අතර, විරුද්ධකාරයන් අපේ සමුළුව කඩාකප්පල් කරන්න අසාර්ථක උත්සාහයන් දරමින් ප්‍රචණ්ඩ උපක්‍රම පවා යෙදුවා. එහෙත්, අකමැත්තෙන් වුවත් ලන්ඩන්හි ඩේලි මේල් මෙසේ පිළිගත්තා: “සන්සුන්, කලහකාරිත්වයෙන් තොර, කාර්යක්ෂම සංවිධානයක්.”
දුම්වැටි සැපයුමේ හිඟයක් නගරය පුරා තිබීම සම්බන්ධයෙන් වගකිව යුතුයි කියා අපට දොස් පැවරුවා. නමුත් ද ඩේලි මේල් මෙසේ පැහැදිලි කළා: “ලෙස්ට’ෂය’වලටවත්, දුම්කොළ සැපයුම් පාලකයාටවත් සාක්ෂිකරුවන් ලෙස්ට’ෂය’හි දුම්වැටි පාවිච්චි කරන බවට දොස් පවරන්න බැහැ. ඔවුන් දුම්පානය කරන්නේ නෑ.” ඒ වගේම, ඔවුන් තමන්ට අවශ්‍ය ආහාරපාන වැඩිහරියක් ගෙනැවිත් තිබෙන බව පැහැදිලි කළ විට, සාක්ෂිකරුවන් රටවැසියන්ගේ ආහාර අහිමි කර තිබෙන බවට කළ චෝදනා නිෂ්ප්‍රභ වුණා. ඇත්තෙන්ම, සමුළුව අවසානයේදී, ලෙස්ට’ෂය’ රෝයල් ඉන්ෆ’මරි (ලෙස්ට’ෂය’ රාජකීය ආබාධිතායතනය) වෙත කිලෝග්‍රෑම් 1.8ක පාන් ගෙඩි 150ක් පරිත්‍යාග කළා—ආහාර හිඟ ඒ සමයේදී එය සැලකිය යුතු සම්මාදමක්.
බ්‍රිතාන්‍යයේ සාක්ෂිකරුවන් 11,000කට විතර සමුළුව මහත් ආත්මික නඟාසිටුවීමක් ලබා දුන්නා. දොළොස්දාහක් පමණ පැමිණ සිටීමෙන් ඔවුන් ඉතා සතුටට පත් වුණා! ලෙස්ට’ෂය’වල කලින් නොකළ ප්‍රමාණයේ වීදි සාක්ෂිදැරීමෙහි ප්‍රීතියෙන් සහභාගි වූ නියෝජිතයන් ඈත ගම්මානවලට ගිහින් ශබ්දවාහිනී කතා ඉදිරිපත් කළා.
මේ සමුළුවේ ප්‍රධාන කතාවල් වූයේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කලින් මාසයේදී අ.එ.ජ., මිසූරි, ශා. ලුවිස්හි පැවැත්වූ පස්-දින සමුළුවේදී පටිගත කළ කතායි. සහෝදර රද’ෆ’ඩ්ගේ “රජුගේ දරුවන්” යන පටිගත කළ කතාව සමුළු විශේෂාංගයක් වුණා. ශා. ලුවිස්හිදී මුදාහළ දරුවන් (ඉංග්‍රීසියෙන්) නමැති පොත ආනයනය කිරීමට හැකිකමක් නොතිබුණ නිසා, පසුව බ්‍රිතාන්‍යයේදී කඩදාසි බැම්ම සහිත විශේෂ පිටපතක් නිෂ්පාදනය කළා. සමුළුවට සහභාගි වී තිබුණු සියලුම දරුවන්ට එයින් පිටපතක් යවනු ලැබුවා.
ලෙස්ට’ෂය’හි අද්විතීය වාර්ෂික රැස්වීම
යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වර්ධනය මවිතාකාර එකක් වුණා! ලෙස්ට’ෂය’හි සභා ගණන 1980 ගණන්වල මුල් භාගයේදී දහය දක්වා වර්ධනය වෙලා තිබුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය 1983දී, වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ වාර්ෂික රැස්වීම ලෙස්ට’ෂය’හි පැවැත්වීමට තීරණය කර ඇති බව අපිට දැනුම් දෙනු ලැබුවා. ලෙස්ට’ෂය’හි නගර භාර අවේක්ෂක වශයෙන් මම විගස සූදානම් කිරීම් පටන්ගත් අතර යළිත් ඩි මාන්ෆ’ට් ශාලාව කුලියට ගත්තා.
සමිතියේ බෘක්ලින් මූලස්ථානයෙන් පාලක මණ්ඩලයේ සාමාජිකයන් දහතුන්දෙනෙක් මේ රැස්වීමට ආවා. නියෝජිතයන් 3,671දෙනෙකුගේ මුළු එකතුවකින්—මේ අවස්ථාවේදී ලෝකෙ වටෙන්ම පැමිණි අයගෙන් සහ ප්‍රධාන වශයෙන් සෑහෙන කාලයක සිට සාක්ෂිකරුවන්ව සිටින්නන්ගෙන්—ශ්‍රවණාගාරය පිරී ගියා. ළඟපාත පිහිටි එක්රැස්වීම් ශාලාවකදී 1,500ක අමතර සංඛ්‍යාවක් වැඩසටහනට සවන් දුන්නා.
අපේ යුධ සමයේදී, ලෙස්ට’ෂය’ සමුළුව පවත්වද්දී ලන්ඩන්හි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ වැඩ භාරව සිටි ඇල්බට් ඩී. ෂ්‍රෝඩ’ මේ වාර්ෂික රැස්වීමේ මුලසුන දැරුවා. වර්ෂ 1941 සමුළුව මතකයට නඟමින්, සහෝදර ෂ්‍රෝඩ’ මෙසේ ඇසුවා: “අද මෙතන ඉන්න ඕගොල්ලන්ගෙන් කීදෙනෙක් එතකොට ඇවිත් හිටියද?” ශ්‍රාවකයන්ගෙන් අඩකටත් වඩා ඔවුන්ගේ අත් එසෙව්වා. “බලන්න! ඇදහිලිවන්ත, පක්ෂපාත ඔබ සියල්ලන්ටම මොනතරම් ප්‍රීතිමත් යළි එක්වීමක්ද!” කියා ඔහු ප්‍රකාශ කළා. ඇත්තෙන්ම එය අමතක කළ නොහැකි අද්දැකීමක්.
මට වයස 98ක් වුණත්, තවමත් මම අපේ සභාවේ ලේකම් හැටියට සේවය කරන අතර, මට දැන් කතා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඉඳගෙන වුණත්, තවමත් ප්‍රසිද්ධ කතා දෙනවා. එක්දාස් නවසිය අසූහතේදී මේරිගේ මරණයෙන් පස්සේ, මම බටීනව විවාහ කරගත්තා; ඇය, මේරියි, මායි අවුරුදු ගානක ඉඳන් දැනගෙන හිටිය වැන්දඹුවක්. ශාරීරිකවත්, ආත්මිකවත් මාව හොඳින් රැකබලාගෙන තිබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේරිගේ දුර්වල සෞඛ්‍යයෙන් සහ දැන් මගේම මහලු වයසෙන් යම් බාධාවන් ඇති වුණත්, පරිශුද්ධ සේවයේ බහුලව නියැලීමට ලැබීම හැමවිටම මට මහඟු විපාකයක් වී තිබෙනවා.—1 කොරින්ති 15:58.
[26වන පිටුවේ පින්තූරය]
1920 ගණන්වල සේවයේ හවුල් වීමට සූදානම්ව
[26වන පිටුවේ පින්තූරය]
ලෙස්ට’ෂය’ සමුළුවේ දර්ශන