“එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
“එකිනෙකා ගැන නොනවත්වාම ඉවසමින්, . . . එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න.”—කොලොස්සි 3:13, NW.
1. (අ) අප අනුන්ට “සත්වරක් දක්වා” සමාව දිය යුතු බව පේතෘස් යෝජනා කළ විට, ඔහු ත්‍යාගශීලී වෙනවායයි කල්පනා කරන්න ඇත්තේ ඇයි? (ආ) අප ‘සැත්තෑ සත්වරක්’ දක්වා සමාව දිය යුතු බව පැවසූ විට යේසු අදහස් කළේ කුමක්ද?
“ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාද”? (මතෙව් 18:21) මෙම යෝජනාවෙන් තමා ඉතා ත්‍යාගශීලී වෙනවායයි පේතෘස්ට කල්පනා වෙන්න ඇති. ඒ කාලයේදී, එකම වරදට තුන් වරකට වඩා යමෙකු සමාව නොදිය යුතු බව රබ්බිවරුන්ගේ සම්ප්රදායේ පවසා තිබුණා.a “සත්වරක් නොව සැත්තෑ . . . සත්වරක්යයි කියමි” යනුවෙන් යේසු පිළිතුරු දුන් විට, පේතෘස්ගේ පුදුමය මොනතරම්දැයි සිතා බලන්න! (මතෙව් 18:22) සත නැවත සඳහන් කිරීම “සීමාවක් නැතුව” කියා කීමට සමාන වුණා. යේසුගේ දෘෂ්ටියට අනුව, ක්‍රිස්තියානියෙකු අනුන්ට සමාව දිය යුතු සංඛ්‍යාව ගත්තොත්, සීමාවක් නැති තරම්.
2, 3. (අ) අනුන්ට සමාව දීම අමාරු විය හැකියයි පෙනෙන ඇතැම් තත්වයන් මොනවාද? (ආ) අනුන්ට සමාව දීම අපේම යහපතට හේතු වන බව අපට නිසැක විය හැක්කේ ඇයි?
2 කෙසේවෙතත්, එම උපදෙස් අදාළ කරගැනීම හැමවිටම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. අසාධාරණ වරදක වේදනාව නොදැනී ඇත්තේ අපෙන් කාටද? ඇතැම්විට ඔබ විශ්වාස කළ කෙනෙකු ඔබේ රහසක් හෙළි කළා වෙන්න පුළුවන්. (හිතෝපදේශ 11:13) කිට්ටු මිත්‍රයෙකු නොසැලකිලිමත් ලෙස පැවසූ දේවල් “කඩුවෙන් අනින්නාක්මෙන්” ඔබට බලපාන්න ඇති. (හිතෝපදේශ 12:18) ඔබ ප්‍රේම කළ හෝ විශ්වාස කළ කෙනෙකු ඔබට අනිසි ලෙස සැලකූ නිසා, ඇතැම්විට ගැඹුරු තුවාල සිදු වෙලා ඇති. එවන් දේවල් සිදු වන විට, ඇතැම්විට අපේ ස්වාභාවික ප්‍රතික්‍රියාව කෝපය දැනීම වෙන්න පුළුවන්. වරදකරුවා සමඟ කතා කිරීම නතර කිරීමට, හැකි නම් ඔහුව සම්පූර්ණයෙන්ම මඟහරින්න පවා නැඹුරු වෙන්න අප පෙලඹෙනවා ඇති. පෙනෙන විදිහට, ඔහුට සමාව දුන්නොත්, අපට කළ වේදනාවෙන් ඔහුට බේරෙන්න ඉඩ දෙනවා වගෙයි. එනමුත්, අමනාපය පැසවන්න ඉඩහැරීමෙන්, අන්තිමට සිදු වන්නේ අප අපටම හානි සිදු කරගැනීමයි.
3 එමනිසා ‘සැත්තෑ සත්වරක්’ දක්වා සමාව දීමට යේසු අපට උගන්වයි. ඔහුගේ ඉගැන්වීම් අපේ හානියට හේතුවක් නොවන බව සහතිකයි. ඔහු ඉගැන්වූ සෑම දෙයක්ම නික්මුණේ ‘ප්‍රයෝජන ලබාගැනීමට අපට උගන්වන’ යෙහෝවාගෙන්. (යෙසායා 48:17; යොහන් 7:16, 17) එසේනම් තර්කානුකූලව අනුන්ට සමාව දීම අපේම යහපතට විය යුතුයි. අප සමාව දිය යුත්තේ ඇයි, එසේ කළ හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කරන්න කලින්, සමාව දීම කියන්නේ කුමක්ද, කුමක් නොවේද යන්න මුලින්ම පැහැදිලි කරගැනීම උපකාරවත් විය හැකියි. අනුන් අපට විරුද්ධව වරදක් කරන විට ඔවුන්ට සමාව දෙන්න අප සතු හැකියාවට සමාව දීම පිළිබඳ අපේ සංකල්පය යම් දුරකට බලපෑ හැකියි.
4. අනුන්ට සමාව දීමෙන් අදහස් නොකරන්නේ කුමක්ද? නමුත් සමාව නිර්වචනය කර තිබෙන්නේ කොහොමද?
4 අපට විරුද්ධව කර තිබෙන වැරදි සඳහා අනුන්ට සමාව දීම, ඔවුන් කර ඇති දේ නොසලකා හරිනවා හෝ සුළුකොට සලකනවා යන්න අදහස් කරන්නේ නැහැ; අපෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට අනුන්ට ඉඩ දෙනවා යන්න එයින් අදහස් කරන්නෙත් නැහැ. ඇත්තෙන්ම, යෙහෝවා අපට සමාව දෙන විට, ඔහු ඇත්තවශයෙන්ම අපේ පව් සුළුකොට තකන්නේ නැති අතර, තම දයාව පාගාදැමීමට ඔහු කිසිදාක පව්කාර මනුෂ්‍යයන්ට ඉඩ දෙන්න යන්නෙත් නැහැ. (හෙබ්‍රෙව් 10:29) ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියට (ඉංග්‍රීසියෙන්) අනුව, සමාව දීම, “වරදකරුවෙකුට සමාව දීමේ ක්‍රියාව, ඔහු කළ වරද නිසා ඔහු කෙරෙහි ඇති වන අමනාප හැඟීම් අයින් කරගැනීම සහ ප්‍රතිඵල දීමට තිබෙන සෑම අයිතිවාසිකමක්ම අත්හැරීම” හැටියට නිර්වචනය කර තිබෙනවා. (1 වෙළුම, 861 පිටුව)b අනුන්ට සමාව දීම සඳහා බයිබලය අපට හොඳ හේතු සපයනවා.
අනුන්ට සමාව දිය යුත්තේ ඇයි?
5. අනුන්ට සමාව දීම සම්බන්ධයෙන් එපීස 5:1හි තිබෙන්නේ කුමන වැදගත් හේතුවද?
5 අනුන්ට සමාව දීම සඳහා වැදගත් හේතුවක් එපීස 5:1හි අඟවා තිබෙනවා: “එබැවින් නුඹලා ප්‍රිය දරුවන්මෙන් [දෙවි] අනුව යන්නෝ වෙන්න.” අප ‘දෙවි අනුව යන්නෝ විය’ යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද? “එබැවින්” යන වචනය මෙම ප්‍රකාශය කලින් පදයට සම්බන්ධ කරයි; එහි මෙසේ පවසනවා: “එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, [ක්‍රිස්තුස්] තුළ [දෙවි] නුඹලාට [නොමසුරුව, NW] කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට [නොමසුරුව, NW] කමාවෙන්න.” (එපීස 4:32, ඇල අකුරු අපේය.) ඔව්, සමාව දීම සම්බන්ධයෙන් ගත් කල, අප දෙවි අනුව යන්නන් විය යුතුයි. කුඩා දරුවෙක් තම පියා මෙන් වීමට වෑයම් කරනවා වගේ, යෙහෝවා ඉමහත් සේ ප්‍රේම කරන දරුවන් ලෙස, අපේ සමාව දෙන ස්වර්ගික පියා මෙන් වීමට අපට ඕනෑ විය යුතුයි. ස්වර්ගයේ සිට බලන විට, තම භූමික දරුවන් එකිනෙකාට සමාව දීමෙන්, ඔහු වගේ වෙන්න වෑයම් කරනවා දැකීම යෙහෝවාගේ හෘදයට මොනතරම් ප්‍රීතියක් ගෙන දෙනවා ඇද්ද!—ලූක් 6:35, 36; සසඳන්න මතෙව් 5:44-48.
6. යෙහෝවාගේ සහ අපේ සමාව දීම අතර විශාල වෙනසක් ඇත්තේ මොන ආකාරයෙන්ද?
6 යෙහෝවා කරන්නාක් මෙන් පරිපූර්ණ ආකාරයකින් සමාව දෙන්න අපට කිසිවිටකත් බැරි බව පිළිගත යුතුයි. එනමුත්, අප එකිනෙකාට සමාව දිය යුත්තේ ඇයි කියන එකට එය අමතර හේතුවක් සපයනවා. මෙය සලකා බලන්න: යෙහෝවා සමාව දෙන විදිහ සහ අප එසේ කරන විදිහ අතර ඉමහත් වෙනසක් තිබෙනවා. (යෙසායා 55:7-9) අපට විරුද්ධව පව් කර තිබෙන අයට අප සමාව දෙන විට, බොහෝවිට එසේ කරන්නේ, කවදාහරි ඔවුන් අපට සමාව දීමෙන් එසේම කරන්න අවශ්‍ය වෙයි යන අවබෝධය ඇතුවයි. මනුෂ්‍යයන් සම්බන්ධයෙන් ගත් කල, හැමවිටම පව්කාරයන් පව්කාරයන්ට සමාව දෙනවා. කෙසේවෙතත්, යෙහෝවා සම්බන්ධයෙන් ගත් කල, සමාව දීම එක පැත්තකට පමණයි දිවයන්නේ. ඔහු අපට සමාව දුන්නත්, අප ඔහුට සමාව දෙන්න කිසිදාක අවශ්‍ය වෙන්නේ නැහැ. පව් නොකරන යෙහෝවාට මෙතරම් ප්‍රේමයකින් සහ පූර්ණකමකින් සමාව දෙන්න පුළුවන් නම්, පව්කාර මනුෂ්‍යයන් වන අප එකිනෙකාට සමාව දෙන්න වෑයම් කළ යුතු නැද්ද?—මතෙව් 6:12.
7. දයාව සඳහා පදනමක් තිබෙන විට අනුන්ට සමාව දෙන්න අප ප්‍රතික්ෂේප කරනවා නම්, යෙහෝවා සමඟ ඇති අපේ සම්බන්ධයට එය අහිතකර ලෙස බලපෑ හැක්කේ කෙසේද?
7 ඊටත් වඩා වැදගත් දේ නම්, දයාව සඳහා පදනමක් තිබෙන විට අනුන්ට සමාව දෙන්න අප ප්‍රතික්ෂේප කළොත්, දෙවි සමඟ ඇති අපේම සම්බන්ධයට එය අහිතකර ලෙස බලපෑ හැකිවීමයි. එකිනෙකාට සමාව දෙන්න කියා යෙහෝවා අපෙන් නිකම්ම ඉල්ලනවා විතරක් නොව, එසේ කිරීම ඔහු අපෙන් අපේක්ෂා කරනවා. ශුද්ධ ලියවිල්ලට අනුව නම්, සමාව දෙන්න යම් දුරකට අප පෙලඹෙන්නේ, යෙහෝවා අපට සමාව දෙන පිණිසයි, එසේ නැතහොත් ඔහු අපට සමාව දී ඇති නිසයි. (මතෙව් 6:14; මාර්ක් 11:25; එපීස 4:32; 1 යොහන් 4:11) අනුන්ට සමාව දෙන්න හොඳ හේතු තිබෙද්දීත් එසේ කිරීමට අප අකමැති නම්, යෙහෝවා අපට එලෙස සමාව දෙයි කියා අපට ඇත්තෙන්ම අපේක්ෂා කළ හැකිද?—මතෙව් 18:21-35.
8. සමාව දීම අපේම යහපතට වැඩ කරන්නේ ඇයි?
8 යෙහෝවා තම සෙනඟට “ඔවුන් විසින් යා යුතු යහපත් මාර්ගය” උගන්වයි. (1 රාජාවලිය 8:36) එකිනෙකාට සමාව දෙන්න කියා ඔහු අපට දැනමුතුකම් දෙන විට, ඔහු අපේම යහපත පෙරදැරි කරගෙන කටයුතු කරන බවට නිසැක වෙන්න අපට හැකියි. “උදහසට ඉඩහරින්න” කියා බයිබලය අපට පවසන්නේ හොඳ හේතු ඇතුවයි. (රෝම 12:19) අමනාපය කියන්නේ ජීවිතයෙහි උසුලන්න අපහසු දැඩි බරක්. එය පැසවන්න ඉඩ දෙන විට, එය අපේ කල්පනා කා දමනවා, අපෙන් සමාදානය සොරාගන්නවා. එමෙන්ම අපේ ප්‍රීතිය යටපත් කරනවා. ඊර්ෂ්‍යාව මෙන්, දිග්ගැස්සී පවතින කෝපයත් අපේ කායික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකියි. (හිතෝපදේශ 14:30) එමෙන්ම මේ සියල්ල අතරතුරේදී, අප විඳින හිරිහැරය ගැන වරදකරු නොදැන කල් ගෙවනවා විය හැකියි. අප අනුන්ට විවෘතව සමාව දිය යුත්තේ ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් නොව අපේම ප්‍රයෝජනය සඳහාත් බව අපේ ප්‍රේමනීය මැවුම්කරු දනී. ඇත්තවශයෙන්ම, සමාව දීමට බයිබලයෙහි දී ඇති උපදෙස්, ‘යා යුතු යහපත් මාර්ගයයි.’
‘එකිනෙකා ගැන නොනවත්වාම ඉවසන්න’
9, 10. (අ) විධිමත් ලෙස සමාව දීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන්නේ නැත්තේ මොන මොන තත්වයන්වලදීද? (ආ) ‘එකිනෙකා ගැන නොනවත්වාම ඉවසන්න’ යන ප්‍රකාශයෙන් ගෙනහැර දක්වන්නේ කුමක්ද?
9 ශරීරයේ තුවාල සුළු කැපීම්වල සිට ගැඹුරු තුවාල දක්වා පරාසයක් ගත හැකි අතර, හැම එකකටම එකම ආකාරයේ අවධානයක් අවශ්‍ය වන්නේ නැහැ. තුවාල වූ හැඟීම් සම්බන්ධයෙනුත් කියන්න තිබෙන්නේ ඒ දේමයි. සමහරක් තුවාල වෙනත් ඒවාට වඩා ගැඹුරුයි. අනුන් සමඟ අපේ සම්බන්ධතාවලදී අපට විඳින්න සිදු වන සෑම කුඩා තැළීමක් ගැනම ආන්දෝලනයක් ඇති කරන්න අපට ඇත්තටම අවශ්‍යද? පොඩි පොඩි හිරිහැර, මදිපුංචිකම් සහ නුරුස්නා දේවල් ජීවිතයේ අංගයක් වන අතර, විධිමත්ව සමාව දීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන්නේ නැහැ. හැම පොඩි බලාපොරොත්තු කඩ කිරීමකටම අනුන්ව මඟහරිමින්, ඔවුන්ට ආචාරසම්පන්න ආකාරයකින් සලකන්න පෙර ඔවුන් සමාව ඉල්ලිය යුතුයයි බල කර ඉල්ලා සිටින කෙනෙකු වශයෙන් අප ප්‍රසිද්ධ වී ඇත්නම්, ඔවුන් අප වටා ගැවසෙන විට පරෙස්සමින් කටයුතු කරන්න හෝ අපව අතේ දුරින් තබාගන්න හෝ පෙලඹෙන්න පුළුවන්.
10 ඒ වෙනුවට, “සාධාරණව සිටීමට නම් දරා සිටීම” ඊටත් වඩා හොඳ දෙයක්! (පිලිප්පි 4:5, ෆිලිප්ස්) උරෙන් උර ගැටී සේවය කරන අසම්පූර්ණ පුද්ගලයන් වශයෙන්, විටින් විට අපේ සහෝදරයන් නුරුස්සන යමක් කරයි කියා හෝ අපත් ඔවුන්ට එසේම කරයි කියා හෝ අපට සාධාරණව අපේක්ෂා කළ හැකියි. කොලොස්සි 3:13 අපට මෙසේ අවවාද කරයි: ‘එකිනෙකා ගැන නොනවත්වාම ඉවසන්න.’ අප අනුන් සමඟ ඉවසිලිවන්ත විය යුතු බව සහ ඔවුන් තුළ දකින ආශා නොකරන දේවල් හෝ අපව කුපිත කළ හැකි ගතිපැවතුම් දරාගැනීම එම ප්‍රකාශය ගෙනහැර දක්වයි. එලෙස ඉවසීම සහ දරා සිටීම, සභාවේ සමාදානය කඩාකප්පල් නොකර, අනුන් සමඟ කටයුතු කරන විට ඇති වන සුළු සීරීම් සහ තුවාලවලට උර දෙන්න අපට උපකාර කළ හැකියි.—1 කොරින්ති 16:14.
තුවාල වඩාත් ගැඹුරු වෙද්දී
11. අනුන් අපට විරුද්ධව පව් කරන විට, ඔවුන්ට සමාව දෙන්න අපට උපකාර කළ හැක්කේ කුමකටද?
11 කෙසේවෙතත්, සැලකිය යුතු ප්‍රමාණයේ තුවාලයක් සිදු කරමින් අනුන් අපට විරුද්ධව පව් කළොත් කුමක් කිව හැකිද? පාපය එතරම් බරපතළ එකක් නොවේ නම්, ‘එකිනෙකාට නොමසුරුව කමා වෙන්න’ යන බයිබලයේ උපදෙස් අදාළ කරගැනීම අපට එතරම් අපහසු වෙන එකක් නැහැ. (එපීස 4:32) සමාව දීමට එලෙස සූදානම්ව සිටීම පේතෘස්ගේ මෙම දේවානුභාවය ලත් වචනවලට එකඟයි: “ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.” (1 පේතෘස් 4:8) අපත් පව්කාරයන් බවට වූ කාරණය සිහියේ තබාගැනීම, අනුන්ගේ වැරදි එතරම් ලොකුවට ගණන් නොගන්න අපට උපකාරවත් වෙනවා. අප මෙසේ සමාව දෙන විට, එම අමනාපය පැසවන්න ඉඩ දෙනවා වෙනුවට, එය අත්හරිනවා. ප්‍රතිඵලයක් වශයෙන්, වරදකරුවා සමඟ අපේ සම්බන්ධයට කල් පවතින හානියක් සිදු විය නොහැකි අතර, සභාවේ අනගි සමාදානය රැකගැනීමටත් අප උපකාර කරනවා. (රෝම 14:19) කල් යත්ම, ඔහු කළ දේ පිළිබඳ මතක සටහන මැකී යන්නත් පුළුවන්.
12. (අ) අපව ගැඹුරින් වේදනාවට පත් කර ඇති කෙනෙකුට සමාව දීම සඳහා, අපට ඇතැම්විට ගන්න සිදු වන්නේ කවර මූලික පියවරද? (ආ) අප කාරණා ඉක්මනින්ම සමථයකට පත් කරගත යුතු බව එපීස 4:26හි වදන් අඟවන්නේ කෙසේද?
12 කෙසේනමුත්, යමෙකු අපට ගැඹුරු ලෙස තුවාල කරමින් අපට විරුද්ධව වඩාත් බරපතළ අන්දමකින් පව් කළොත් කුමක් කිව හැකිද? නිදසුනක් හැටියට, ඔබ විශ්වාස කළ මිත්රයෙකුට විශ්වාසයෙන් පැවසූ ඉතා පෞද්ගලික කාරණා කිහිපයක් ඔහු හෙළි කර තිබෙනවා විය හැකියි. ඔබට මහත් වේදනාවක්, ලජ්ජාවක් සහ පාවා දුන් බවක් දැනෙනවා. එය අමතක කර දමන්න ඔබ වෑයම් කර තිබුණත්, කාරණය ඔබේ මනසින් ඉවත්ව යන්නේ නැහැ. එවන් අවස්ථාවකදී, ඇතැම්විට වරදකරුවා සමඟ කතා කරමින්, ගැටලුව සමථයකට පත් කරගන්න යම් දුරකට මූලික පියවර ගන්න ඔබට අවශ්‍ය විය හැකියි. කාරණය ඔඩු දුවන්න අවස්ථාව එළඹෙන්න කලින් මෙසේ කිරීම නුවණට හුරුයි. පාවුල් අපට මෙසේ අවවාද කළා: “කෝපවුණත් පව් නොකරන්න [ඒ කියන්නේ, අපේ කෝපය පැසවීමට ඉඩහැරීමෙන් හෝ ඒ අනුව ක්‍රියා කිරීමෙන්]. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.” (එපීස 4:26) යුදෙව්වන් අතර, හිරු බැසයෑම එක් දවසක අවසානයත් අලුත් දවසක ආරම්භයත් සනිටුහන් කළ බවට වූ කාරණය පාවුල්ගේ වදන්වලට අමතර අර්ථයක් එකතු කරනවා. එබැවින්, අවවාදය මෙයයි: කාරණා ඉක්මනින්ම සමථයකට පත් කරගන්න!—මතෙව් 5:23, 24.
13. අපට විරුද්ධව වරදක් කළ කෙනෙකු වෙත එළඹෙද්දී, අපේ පරමාර්ථය කුමක් විය යුතුද? එය ඉටු කරගැනීමට අපට උපකාර කළ හැක්කේ මොන යෝජනාවලටද?
13 ඔබ වරදකරුවා වෙත එළඹිය යුත්තේ කෙසේද? පළමුවන පේතෘස් 3:11 මෙසේ පවසයි: “සමාදානය සොයා, එය පස්සේ දුවාවා.” එසේනම්, ඔබේ පරමාර්ථය ඔබේ කෝපය ප්‍රකාශ කිරීම නොව, නමුත් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වීමයි. එය පෙරදැරි කරගෙන, කර්කශ වචනයෙන් මෙන්ම හැසිරීමෙන් වැළකී සිටීම හොඳම දෙයයි; එසේ කළොත් අනික් පුද්ගලයාත් එලෙසම ප්‍රතික්‍රියා කළ හැකියි. (හිතෝපදේශ 15:18; 29:11) මීට අමතරව, “ඔයා හැමතිස්සෙම . . . !” හෝ “ඔයා කවදාකවත් . . . !” වැනි දේවල් වැඩි කර කියන ප්රකාශයන්ගෙන් වැළකී සිටින්න. දේවල් වැඩි කර කියන එවන් ප්‍රකාශයන් කීමෙන් සිදු විය හැකි එකම දේ නම්, ඔහු තමා සම්බන්ධයෙන් ආරක්ෂාකාරි පියවර ගැනීමට පෙලඹීමයි. ඒ වෙනුවට, ඔබව ගැඹුරින් වේදනාවට පත් කර ඇති කාරණයක් සමථයකට පත් කරන්න ඔබට වුවමනා බව ඔබේ කටහඬේ ස්වරයෙන් සහ මුහුණේ ඉරියව්වෙන් පෙන්නුම් කරන්න බලන්න. සිදු වූ දේ ගැන ඔබට හැඟෙන ආකාරය පැහැදිලි කිරීමේදී කෙළින්ම කාරණයට බසින්න. තම ක්‍රියාවන් පැහැදිලි කිරීමට අනික් පුද්ගලයාට අවස්ථාවක් දෙන්න. ඔහුට කියන්න තිබෙන දේට සවන් දෙන්න. (යාකොබ් 1:19) එයින් වන යහපත කුමක්ද? හිතෝපදේශ 19:11 [NW] මෙසේ පැහැදිලි කරයි: “මනුෂ්‍යයෙකුගේ තීක්ෂ්ණ බුද්ධිය ඔහුගේ කෝපය ඇත්තවශයෙන්ම ප්‍රමාද කරන අතර, අයුතුකම නොසලකා හැරීම ඔහු අතින් සිදු වන ශෝභමාන දෙයකි.” අනික් පුද්ගලයාගේ හැඟීම් මෙන්ම ඔහුගේ ක්‍රියාවලට හේතු තේරුම්ගැනීම, ඔහු කෙරෙහි තිබෙන නිෂේධාත්මක සිතුවිලි සහ හැඟීම් පලවාහරින්න දායක විය හැකියි. සමාදානය ඇති කිරීමේ ඉලක්කය ඇතුව අප තත්වය වෙත එළඹෙන විටත්, එම ආකල්පය පවත්වාගන්නා විටත්, බොහෝදුරට වරදවා වටහාගැනීම් සමථයකට පත් කළ හැකියි, සමාව යෝග්‍ය ලෙස ඉල්ලිය හැකියි, එමෙන්ම සමාව දිය හැකියි.
14. අප අනුන්ට සමාව දෙන විට, අප අමතක කර දැමිය යුත්තේ මොන අර්ථයෙන්ද?
14 සිදු වූ දේ අප ඇත්තෙන්ම අමතක කළ යුතු බව අනුන්ට සමාව දීමෙන් අදහස් කරනවාද? කලින් ලිපියේ සාකච්ඡා කළ පරිදි, මේ සම්බන්ධයෙන් යෙහෝවාගේම ආදර්ශය සිහියට නඟන්න. යෙහෝවා අපේ පව් අමතක කර දමනවා කියා බයිබලය පවසන විට, ඒවා නැවත සිහි කරන්න ඔහුට බැරි බව ඉන් අදහස් කරන්නේ නැහැ. (යෙසායා 43:25) වරක් සමාව දුන්නායින් පසු, ඔහු අමතක කර දමන්නේ, යම් අනාගත අවස්ථාවකදී ඔහු මෙම පව් අපට විරුද්ධව ගෙනෙන්නේ නැහැයි යන අදහසිනුයි. (එසකියෙල් 33:14-16) ඒ හා සමානව, සෙසු මනුෂ්‍යයන්ට සමාව දෙද්දී, ඔවුන් කළ දේ සිහි කරන්න අපට බැරි බව අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ නැහැ. කෙසේවෙතත්, එය වරදකරුවාට විරුද්ධව ගෙනෙන්නේ නැති බව හෝ අනාගතයේදී එය නැවත ඉස්මතු නොකරනවා යන අදහසින් අපට අමතක කර දැමිය හැකියි. කාරණය මේ අයුරින් සමථයකට පත් කර තිබෙන නිසා, ඒ ගැන ඕපාදූප පැතිර වීම යෝග්‍ය දෙයක් වෙන්නේ නැහැ; වරදකරුවා සභා ඇසුරෙන් කපාහැරිය කෙනෙකු ලෙස සලකමින් ඔහුව සම්පූර්ණයෙන්ම මඟහැරීමත් ප්‍රේමනීය දෙයක් වෙන්නේ නැහැ. (හිතෝපදේශ 17:9) ඔහු සමඟ තිබූ අපේ සම්බන්ධය යථා තත්වයට පැමිණෙන්න යම් කාලයක් ගත විය හැකි බව සැබෑයි; කලින් තිබුණු සමීපත්වය අප භුක්ති නොවිඳිනවා වෙන්නත් පුළුවන්. එනමුත් අපේ ක්‍රිස්තියානි සහෝදරයෙකු වශයෙන් අප තවමත් ඔහුට ප්‍රේම කරන අතර, සාමදායී සම්බන්ධකම් පවත්වාගැනීමට අපේ උපරිමය කරන්න යනවා.—ලූක් 17:3 සසඳන්න.
සමාව දෙන්නම බැරි බවක් පෙනෙන විට
15, 16. (අ) පසුතැවිලි නොවන අයුතුකම් කරන්නෙකුට සමාව දීම ක්‍රිස්තියානීන්ගෙන් අවශ්‍ය කර තිබෙනවාද? (ආ) ගීතාවලිය 37:8හි සොයාගත හැකි බයිබලයේ අවවාදය අපට අදාළ කරගත හැක්කේ කෙසේද?
15 ගැඹුරුම තුවාල සිදු කරන ආකාරයකින් අනුන් අපට විරුද්ධව පව් කර ඇතත්, වරදකරුවාගේ පැත්තෙන් පාපය පිළිගැනීමක්වත්, පසුතැවිල්ලක්වත්, සමාව ඉල්ලීමක්වත් නැති විටක කුමක් කිව හැකිද? (හිතෝපදේශ 28:13) පසුතැවිලි නොවන, දැඩි වූ පව්කාරයන්ට යෙහෝවා සමාව නොදෙන බව ශුද්ධ ලියවිල්ල පැහැදිලිවම ගෙනහැර දක්වනවා. (හෙබ්‍රෙව් 6:4-6; 10:26, 27) එතකොට අපේ තත්වය ගැන කුමක් කිව හැකිද? ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය මෙසේ පවසයි: “කිසිදු පසුතැවිල්ලක් නොමැතිව නපුරු අදහසින්, හිතාමතාම පුරුද්දක් ලෙස පව් කරන අයට සමාව දෙන්න ක්‍රිස්තියානීන්ගෙන් අවශ්‍ය කරන්නේ නැහැ. එවන් අය දෙවිගේ සතුරන් බවට පත් වේ.” (1 වෙළුම, 862 පිටුව) ඉතා අයුක්තිසහගත, පිළිකුල්සහගත හෝ අතිදරුණු ක්‍රියාවලට ගොදුරු වී ඇති කිසිම ක්‍රිස්තියානියෙකුට පසුතැවිලි නොවන අයුතුකම් කරන්නෙකුට සමාව දෙන්න හෝ ක්ෂමා කරන්න බල කර තිබෙන බව හැඟෙන්න අවශ්‍යතාවක් නැහැ.—ගීතාවලිය 139:21, 22.
16 කෲර අවකල් ක්‍රියාවලට ගොදුරු වී තිබෙන අයට වේදනාවක් සහ කෝපයක් ඇතැම්විට දැනීම තේරුම්ගත යුතුයි. කෙසේවෙතත්, කෝපය සහ අමනාපය අත්හරින්නේ නැතුව තියාගැනීම අපට ඉතා හානිකර විය හැකි බව සිහියේ තබාගන්න. කිසිදාක නොපැමිණෙන වරද පිළිගැනීමක් හෝ සමාව ඉල්ලීමක් එන තෙක් බලා සිටීමෙන්, අප තව තවත් කැලඹීමට පත් විය හැකියි. සිදු වූ අයුක්තිය ගැන විතරක්ම කල්පනා කිරීම අප තුළ ඒ කෝපය කැකෑරෙමින් පැවතීමට සැලැස්විය හැකියි; මෙය අපේ ආත්මික, චිත්තවේගීය සහ කායික සෞඛ්‍යයට ඉතා හානිකර ලෙස බලපායි. ඇත්තෙන්ම, අපට වේදනාව ගෙන දුන් තැනැත්තාට දිගින් දිගටම අපට වේදනාව ගෙන එන්න අප ඉඩහරිමින් සිටිනවා. ප්‍රඥාවන්ත ලෙස, බයිබලය මෙසේ අවවාද කරයි: “තරහෙන් වැලකී උදහස අත්හරුව.” (ගීතාවලිය 37:8) එමනිසා, කල් යත්ම සමාව දීමට, ඒ කියන්නේ අමනාපය පැසවීම අත්හැරීම සඳහා තීරණයක් ගන්න ඔවුන්ට හැකි වී තිබෙන බව ඇතැම් ක්‍රිස්තියානීන්ට පෙනී ගොස් තිබෙනවා. ඔවුන් සිදු වූ දෙයෙහි බරපතළකම සුළු කොට නොතැකුවත්, කෝපයෙන් දැවීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කාරණය සම්පූර්ණයෙන්ම යුක්තියේ දෙවිගේ අත්වල තැබීමෙන්, ඔවුන්ට මහත් සහනයක් අද්දකින්න පුළුවන් වූ අතර, අවහිරයක් නැතුව දිගටම ජීවත් වන්න හැකි වුණා.—ගීතාවලිය 37:28.
17. එළිදරව් 21:4හි වාර්තා වී තිබෙන යෙහෝවාගේ පොරොන්දු සපයන්නේ මොන සැනසීම ගෙන දෙන සහතිකයක්ද?
17 තුවාලයක් ඉතා ගැඹුරු වන විට, අඩුම තරමින් මේ දේවල පිළිවෙළ තුළදී එය අපේ මනසින් සම්පූර්ණයෙන්ම මකා දැමීමට අප සමත් නොවෙනවා විය හැකියි. එනමුත් යෙහෝවා නව ලොවක් ගැන පොරොන්දු වන අතර, එහිදී ‘ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහවගියේය.’ (එළිදරව් 21:4) ඒ කාලයේදී අපට සිහි වන මොනම දෙයකින්වත්, අපේ හෘදවලට දැන් ඉමහත් බරක් විය හැකි ගැඹුරු රිදීම හෝ වේදනාව අපට ගෙන දෙන්න යන්නේ නැහැ.—යෙසායා 65:17, 18.
18. (අ) අපේ සහෝදර සහෝදරියන් සමඟ කටයුතු කරද්දී, සමාව දීමට කැමති වීම සඳහා අවශ්‍යතාවක් ඇත්තේ ඇයි? (ආ) අනුන් අපට විරුද්ධව පව් කරන විට, අපට සමාව දී අමතක කර දැමිය හැක්කේ මොන අර්ථයෙන්ද? (ඇ) මෙය අපට ප්‍රයෝජන ගෙන දෙන්නේ කෙසේද?
18 ඒ අතරවාරයේදී, අසම්පූර්ණ වූ, පව්කාර මනුෂ්‍යයන් වන සහෝදර සහෝදරියන් වශයෙන් අප එකට ජීවත් වෙමින් වැඩ කළ යුතුයි. අප සෑමදෙනා අතින්ම වැරදි සිදු වෙනවා. විටින් විට, අප එකිනෙකාගේ බලාපොරොත්තු කඩ කරනවා; ඇතැම්විට එකිනෙකාට වේදනාව ගෙන දෙනවා. අප අනුන්ට ‘සත්වරක් නොව සැත්තෑ සත්වරක්’ සමාව දීම කළ යුත්තක් බව යේසු කොතරම් හොඳින් දැනසිටියාද! (මතෙව් 18:22) යෙහෝවා කරන්නාක් මෙන් පූර්ණ ලෙස සමාව දෙන්න අපට බැරි බව ඇත්තයි. එහෙත්, අපේ සහෝදරයන් අපට විරුද්ධව පව් කරන අවස්ථා වැඩිහරියකදී, අමනාපය යටපත් කරදැමීමේ අදහසින් සමාව දිය හැකි අතර, කිසිදාක අනාගතයේදී ඔවුන්ට විරුද්ධව ඒ කාරණය ගෙන නොඑන අදහසින් අපට එය අමතක කර දැමිය හැකියි. මෙලෙස සමාව දී අමතක කර දමන විට, අප සභාවේ සමාදානය පමණක් නොව, අපේම මනසේ සහ හෘදයේ සමාදානය පවත්වාගැනීමටත් සහය වෙනවා. ඒ සියල්ලට ඉහළින්, අපේ ප්‍රේමනීය දෙවි යෙහෝවාට පමණක් සපයා දිය හැකි සමාදානය අප භුක්ති විඳින්න යනවා.—පිලිප්පි 4:7.
[පාදසටහන්වල]
a බබිලෝනීය තල්මුඩයට අනුව, රබ්බිවරුන්ගේ එක් සම්ප්රදායක මෙසේ පවසා තිබුණා: “මනුෂ්‍යයෙකු අයුතුකමක් කළොත්, පළමුවන, දෙවන සහ තුන්වන වතාවලදී ඔහුට සමාව ලැබෙනවා; හතරවන වතාවේදී ඔහුට සමාව ලැබෙන්නේ නැහැ.” (යෝමා 86b) ආමොස් 1:3; 2:6 සහ යෝබ් 33:30 වැනි පද වරදවා තේරුම්ගැනීම මත මෙය යම් දුරකට පදනම් වුණා.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ අනුන්ට සමාව දෙන්න අප කැමති විය යුත්තේ ඇයි?
◻ ‘එකිනෙකා ගැන නොනවත්වාම ඉවසන්න’ අපට සිදු වෙන්නේ මොන වගේ තත්වයන් ඉස්මතු වන නිසාද?
◻ අනුන්ගේ පව් හේතුවෙන් අප ගැඹුරින් වේදනාවට පත්ව සිටින විට, කාරණය සමාදානයෙන් සමථයකට පත් කරගන්න අපට කුමක් කළ හැකිද?
◻ අප අනුන්ට සමාව දෙන විට, අප අමතක කර දැමිය යුත්තේ මොන අර්ථයෙන්ද?
[16වන පිටුවේ පින්තූරය]
අප අමනාපය පැසවන්න ඉඩහරින විට, අප විඳින හිරිහැරය ගැන වරදකරු නොදැන කල් ගෙවනවා විය හැකියි
[17වන පිටුවේ පින්තූරය]
සමාදාන වීමට ඔබ අනුන් වෙත එළඹෙද්දී, වරදවා වටහාගැනීම් පහසුවෙන්ම නිරාකරණය කළ හැකියි