යහපත් දරුවන් ඇති දැඩි කිරීම එය තවමත් කළ හැක්කක්ද?
“අද අපි ජීවත් වෙන්නේ සදාචාරය පිළිබඳ ස්ථිර නීති පද්ධතියක් නොමැති ඉතාමත් සංකීර්ණ සමාජයකයි, මිශ්‍ර සංස්කෘතියකයි” කියා කැනඩාවේ ඔටාවාහි පිහිටි පවුල් සඳහා පිහිටුවා තිබෙන වාන්යෙ ආයතනයේ රොබට් ග්ලොසප් ප්‍රකාශ කරනවා. කුමන ප්‍රතිඵල ඇතුවද? “නහඹර වියේ ගැබ්ගැනීම්, තරුණයන්ගේ සැහැසිකකම් සහ නහඹරයන්ගේ සියදිවි හානි කරගැනීම් යන සියල්ලම වැඩි වෙමින් පවතිනවා” කියා ද ටොරොන්ටො ස්ටා’ නමැති පුවත්පතේ පළ වූ වාර්තාවක සඳහන් වෙනවා.
මේ ගැටලු උතුරු අමෙරිකාවට පමණක් සීමා වී නැහැ. අමෙරිකා එක්සත් ජනපදයට අයත් රොඩ් දිවයිනේ පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මානව සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක බිල් ඩේමන්, බ්‍රිතාන්‍යය හා වෙනත් යුරෝපීය රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායෙලය හා ජපානය වැනි රටවලද මේ ගැටලු ගැන අධ්‍යයනය කර තිබෙනවා. තරුණයන්ට මඟ පෙන්වීම සැපයීමේදී, දේවස්ථාන, පාසැල් සහ වෙනත් ආයතනවල පසුබෑම ඔහු අවධානයට ලක් කරනවා. අපේ සංස්කෘතිය “දරුවන් තුළ යහපත් චරිතයක් හා කුසලතා බිහි කිරීමට අවශ්‍ය දේවල් පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කර නැහැ” කියා ඔහු විශ්වාස කරනවා. “හික්මවීම දරුවන්ගේ සෞඛ්‍යයට හා ශුභසිද්ධියට හානි කරයි” කියා උපදෙස් සපයන දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ ප්‍රවීණයන් ගැන සඳහන් කරමින් ඩේමන් තරයේ කියා සිටින්නේ, එය “හිතුවක්කාර, අකීකරු දරුවන් ඇති කිරීමේ වට්ටෝරුවක්” බවයි.
අද සිටින තරුණයන්ට අවශ්‍ය කරන්නේ මොනවාද? මනස හා හදවත නිවැරදිව සකස් කරන ප්‍රේමනීය පුහුණුව ඔවුන්ට නිරතුරුවම අවශ්‍යයි. විවිධ තරුණයන්ට හික්මවීම විවිධාකාරයෙන් අවශ්‍ය කරනවා. ප්‍රේමයෙන් පෙලඹෙන විට, හික්මවීම නිතරම හේතු සාධක දැක්වීමෙන් ලබා දිය හැකියි. ඒ නිසා තමයි හිතෝපදේශ 8:33 අපට කියන්නේ, “හික්මවීමට සවන් දෙන්න [NW]” කියා. ඒ වුණත් සමහරුන්ව “නිකම්ම වචනවලින් පමණක් නිවැරදි කරන්න” බැහැ. අකීකරු වීම නිසා යෝග්‍ය පරිදි ලබා දෙන දඬුවම ඒ අයට අවශ්‍ය විය හැකියි. (හිතෝපදේශ 17:10; 23:13, 14; 29:19) මෙම නිර්දේශය සැපයීමේදී, බයිබලය අනුමත කරන්නේ නැහැ, දරුවෙකුට තැලීම් සීරීම් ඇති වෙන විදිහට කෝපයෙන් පහර දීම හෝ දරුණු ලෙස තැලීම. (හිතෝපදේශ 16:32) ඒ වෙනුවට, ඔහුව නිවැරදි කරන්නේ ඇයි කියා දරුවාට තේරුම් යා යුතුයි; ඒ වගේම එසේ කරන්නේ දෙමාපියන් ඇත්තෙන්ම දරුවාගේ යහපත ගැන උනන්දු වන නිසා බව දරුවාට හැඟී යා යුතුයි.—හෙබ්‍රෙව් 12:6, 11 සසඳන්න.
එවන් ප්‍රායෝගික මෙන්ම නැණවත් බයිබල් උපදෙස් පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ කැපීපෙනෙන්න සලස්වා තිබෙනවා.