ෂුනෙම් ප්‍රේමය සහ සාහසිකකම මගින් කැපීපෙනෙයි
යෙස්‍රෙයෙල්හි පහත් මිටියාවතේ නැඟෙනහිර කෙළවරේ ෂුනෙම් නගරය පිහිටා තිබේ. මේ කුඩා නගරය බයිබල් ඉතිහාසයේ ඉතා වැදගත් සටන් දෙකක් අද්දැක්ක නමුත්, එය පක්ෂපාත ප්‍රේමයේ ආදර්ශය විදහාපෑ ස්ත්‍රීන් දෙදෙනා උපන් ස්ථානය ලෙසටද ප්‍රසිද්ධියක් ඉසුලුවා.
ෂුනෙම් පිටුපස මොරේ කන්ද කියා සිතූ කන්දද, ඊට කිලෝමීටර් 8ක් පමණ එහායින්, මිටියාවතේ අනික් පැත්තේ ගිල්බෝවා කන්දද පිහිටා තිබුණා. ඒ කඳු දෙක අතර, මනා-ජල සැපයුමක් ඇති සශ්‍රීක දේශයක් තිබුණා; එය මුළු ඉශ්රායෙලයටම තිබූ ඉතාමත්ම ඵලදායී දේශවලින් එකක්.
ෂුනෙම් වටා ඇති මේ සාරවත් කඳු ප්‍රදේශය මේ තාක් පවසා ඇති ඉතා මනබඳින කතාවලින් එකක් වන සාලමොන්ගේ ගීතිකාවට පසුබිම සපයනවා. සාලමොන් රජගේ භාර්යාවක් වීමට පිරිනමන ලද වරප්‍රසාදය පිළිගන්නවා වෙනුවට, තමාගේ එඬේර යහළුවා සමඟ විවාහ වෙන්න කැමති වුණ ප්‍රියකරු ගම්බද තරුණියක් ගැන මේ ගීතිකාවේ පවසනවා. සාලමොන් ඇගේ සිත දිනාගැනීමට ඔහුගේ මුළු ප්‍රඥාවද, ධන සම්පත්ද යෙදෙව්වා. යළි යළිත් ඔහු ඇයව වර්ණනා කළා: “අරුණාලෝකය මෙන් නැගීඑන්නාවූ, සඳ මෙන් රුව ඇත්තාවූ, ඉර මෙන් දිළෙන්නාවූ, . . . මෑ කවුද?” තවද ඇයට හිතාගත හැකි හැම ස්වර්ණාභරණයක්ම ලබා දෙන බවට ඔහු පොරොන්දු වුණා.—සාලමොන්ගේ ගීතිකාව 1:11; 6:10.
ඇයට රාජකීය ජීවිතයේ රසය යන්තමින් හෝ ලබා දෙන්න, සාලමොන් ඔහුගේ හොඳම සොල්දාදුවන් 60ක් පිරිවරාගත් පෙරහැරකින් ඇයව යෙරුසලමට කැඳවාගෙන ආවා. (සාලමොන්ගේ ගීතිකාව 3:6-11) රජ ඇයට රාජ මන්දිරය නිවස කර දුන්නා; මේ රාජ මන්දිරය කොයිතරම් සිත් ඇදගන්නා එකක්ද කිවහොත්, ෂෙබාහි බිසව එය දුටු විට, “ඈ අතිශයින් මවිත” වුණා.—1 රාජාවලිය 10:4, 5.
නමුත් ෂුනෙම් තරුණිය එඬේර තරුණයාට පක්ෂපාතව සිටියා. “වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය” කියා ඈ පැවසුවා. (සාලමොන්ගේ ගීතිකාව 2:3) සාලමොන් ඔහුගේ මිදි වතු දාහෙන් සන්තෝෂ වුණාවේ. ඇගේ ප්‍රේමවන්තයත් එක්ක එක මිදිවත්තක් ඇයට සෑහුණා. ඇගේ ප්‍රේමය සසල කරන්න නොහැකි වුණා.—සාලමොන්ගේ ගීතිකාව 8:11, 12.
ෂුනෙම්හි තවත් ප්‍රියකරු ස්ත්‍රියක් ජීවත් වුණා. අපි ඇගේ බාහිර පෙනුම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා නමුත් හදවතින් ඇය ඇත්තෙන්ම ප්‍රියකරු තැනැත්තියක්ව සිටියා. අනාගතවක්තෘ එලිෂාට නිතිපතා කෑම සහ ඉඳුම් හිටුම් සැපයීමට තරම් “කරදර වෙන්න” ඇය සතුටු වුණා—නැතහොත් බොහෝ වෙහෙසක් දැරුවා කියා බයිබලය පවසනවා.—2 රාජාවලිය 4:8-13, NW.
ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා එලිෂා සඳහා සූදානම් කර තිබෙන කුඩා උඩුමහලට, දීර්ඝ, වෙහෙසකර ගමනකින් පසු එලිෂා ස්තුතිපූර්වකව යළි පැමිණෙන විදිහ අපට සිතින් මවාගන්න පුළුවන්. ඔහුගේ මෙහෙය අවුරුදු 60ක කාලයකට පැවති බැවින්, ඔහු සමහරවිට ඔවුන්ගේ නිවසට නිතර නිතර ගියා විය හැකියි. ඔහු ඒ පැත්තෙන් ගිය හැම වතාවකම තමන්ගේ ගෙදර නැවතී යන්න කියා මේ ෂුනෙම්මිය ස්ත්‍රිය එලිෂාට බල කළේ ඇයි? ඇය එලිෂාගේ වැඩය අගය කළ නිසායි. මේ යටහත් පහත්, පරාර්ථකාමී අනාගතවක්තෘවරයා රජවරුන්ට, පූජකයන්ට සහ සාමාන්‍ය ජනතාවට යෙහෝවාට සේවය කිරීමට ඇති ඔවුන්ගේ වගකීම ගැන මතක් කරමින් ජාතියේ හෘද සාක්ෂිය හැටියට ක්‍රියා කළා.
“අනාගතවක්තෘ කෙනෙක් නිසාම අනාගතවක්තෘ කෙනෙකු පිළිගන්නාට අනාගතවක්තෘ කෙනෙකුගේ විපාකය ලැබේ” කියා යේසු පැවසූ විට, ෂුනෙම්මිය ස්ත්‍රිය ඔහුගේ මතකයේ තිබූ අයගෙන් කෙනෙක් වූ බවට කිසි සැකයක් නෑ. (මතෙව් 10:41) මේ දේව-බියැති ස්ත්‍රියට යෙහෝවා විශේෂ විපාකයක් දානය කළා. ඇය අවුරුදු ගණනාවක් වඳව සිටියත්, ඇය පුතෙක් වැදුවා. අවුරුදු ගණනාවකට පසු අවුරුදු-හතක සාගතය දේශය පාළු කළ විට, ඇයටත් දිව්‍යමය උපකාරය ලබා දුන්නා. අපි දෙවිගේ සේවකයන්ට දක්වන කරුණාව අපේ ස්වර්ගික පියාගේ අවධානයට ලක් නොවී නොයන බවට මේ හැඟීම් දනවන වාර්තාව අපට සිහිගන්වනවා.—2 රාජාවලිය 4:13-37; 8:1-6; හෙබ්‍රෙව් 6:10.
තීරණාත්මක සටන් දෙකක්
ෂුනෙම් මේ පක්ෂපාත ස්ත්‍රීන් දෙදෙනාගේ නිවහන වශයෙන් මතකයට නඟාගත්තත්, එය ඉශ්රායෙල් ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ සටන් දෙකක්ද අද්දැක්කා. ඒ අසල කදිම සටන් බිමක්—එනම් මොරේ සහ ගිල්බෝවා කඳු අතර මිටියාවත තිබුණා. බයිබල් කාලවල අණ දෙන යුධ නිලධාරීන්, බහුල ජල සැපයුමක් ඇති, ආරක්ෂාව සඳහා උස් බිමක් ඇති මෙන්ම හැකි නම්, සේනාවන්, අශ්වයන් සහ යුධ රථ පාලනය කිරීමට ප්‍රමාණවත් ඉඩ කඩක් ඇති වියළි මිටියාවතකට මුහුණලා අණ දිය හැකි උස් ස්ථානයක හැමවිටම කඳවුරු බැඳගත්තා. ෂුනෙම් සහ ගිල්බෝවා එවැනි වාසි සැපයුවා.
විනිශ්චයකාරයන්ගේ කාලයේදී මිදියන්වරු, අමලෙක්වරු සහ වෙනත් අයගෙන් සමන්විත 1,35,000ක හමුදාවක් මොරේ ඉදිරිපිට මිටියාවතේ කඳවුරු බැඳගත්තා. ඔවුන්ගේ ඔටුවෝ “මුහුදු වෙරළේ වැලිමෙන් බොහෝව සිටියෝය.” (විනිශ්චයකාරයා 7:12) මිටියාවත හරහා ඔවුන්ට මුහුණලා, ගිල්බෝවා කන්ද පාමුල හාරොද්හි උල්පත ළඟ විනිශ්චයකාර ගිඩියොන් යටතේ ඉශ්රායෙල්වරු සිටියා; ඔහුට හිටියේ යුධභටයන් 32,000ක් පමණයි.
සටනකට පෙර දවස් කීපයේදී, විරුද්ධ පැත්ත අනික් පැත්ත අධෛර්යයට පත් කිරීමට වෑයම් කරමින් සිටියා. සරදම් කරන යුධ සේනාවන්ට, යුධ ඔටුවන්ට, යුධ රථවලට සහ අශ්වයන්ට, පාබළ හමුදාව බියගැන්වීමට හැකි වුණා. ඉශ්රායෙල්වරුන් එක්රැස් වෙමින් සිටින අතරතුර ඒ වන විටත් සටනට සැරසී සිටි මිදියන්වරුන් බියගන්වන දර්ශනයක් බව ඔප්පු වූවාට කිසිම සැකයක් නෑ. “භයද තැතිගැන්මද ඇති කවුරු[ත්]” සිටිනවාද කියා ගිඩියොන් ඇසූ විට, ඔහුගේ හමුදාවෙන් තුනෙන් දෙකක් සටන්බිම හැර යමින් ප්‍රතිචාරය දැක්වූවා.—විනිශ්චයකාරයන් 7:1-3.
සතුරු භටයන් 1,35,000දෙනා දෙස මිටියාවත හරහා මෙවිට විමසිල්ලෙන් බලා සිටියේ ඉශ්රායෙල් යුධ සේනාවෙන් 10,000ක් පමණක් වූ අතර, යෙහෝවා විගස ඉශ්රායෙල්වරුන්ගේ ගණන 300ක සුළු සංඛ්‍යාවක් දක්වා අඩු කළා. ඉශ්රායෙල්වරුන්ගේ සම්ප්රදාය අනුගමනය කරමින් මේ කුඩා කණ්ඩායම කොටස් තුනකට බෙදුණා. අන්ධකාරයෙන් වැසී තිබුණු ඒ මොහොතේ සතුරු කඳවුරේ තුන්පැත්තකට විසිර ගිය ඔවුන් තම තමන්ගේ ස්ථානයේ සැරසී සිටියා. ඉන්පසු ගිඩියොන්ගේ අණ ලැබුණු වහාම 300දෙනා පන්දම් සඟවා තිබූ කළගෙඩි බිඳ, එම පන්දම් ඉහළට ඔසවාගෙන, “[යෙහෝවාගේද] ගිඩියොන්ගේද කඩුව” කියා කෑගැසුවා. ඔවුන් තම හොරණෑ දිගටම පිඹිමින් සිටියා. අන්ධකාරයේ තැතිගත් මිශ්‍ර වූ යුධභට සේනාව, 300දෙනාගේ කණ්ඩායම් තමන්ට පහර දෙනවා කියා සිතන්ට වුණා. යෙහෝවා එක් එක්කෙනාව අනිකාට විරුද්ධව හැරෙවූ අතර “මුළු සේනාවද දිව කෑගසමින් පලාගි[යා].”—විනිශ්චයකාරයා 7:15-22; 8:10.
දෙවන සටන හටගත්තේ සාවුල් රජගේ කාලයේදී ෂුනෙම් අසලයි. “පිලිස්තිවරු රැස්වී ඇවිත් ෂූනෙම්හි කඳවුරු බැඳගත්[තා].” ගිඩියොන්ගේ හමුදාව අවුරුදු ගණනකට පෙර කළාක් මෙන් “සාවුල්ද සියලු ඉශ්රායෙල්වරුන් රැස්කෙළේය, ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්තෝය” කියා බයිබලය වාර්තා කරයි. නමුත් ගිඩියොන් මෙන් නොව, යෙහෝවා කෙරෙහි සුළු විශ්වාසයක් තැබූ සාවුල් ඒන්දොර්හි ආත්ම බන්ධනකාරියකගෙන් විචාරන්න කැමැත්තක් දැක්වූවා. ඔහු පිලිස්තිවරුන්ගේ කඳවුර දුටුවහම, ‘භය වී, ඔහුගේ සිතද බොහෝ සෙයින් වෙවුලුවා.’ සටනෙන් පසු, ඉශ්රායෙල්වරු පලාගිය අතර අන්තයටම පරාජය වුණා. සාවුල් සහ යොනාතාන් යන දෙදෙනාගේම ජීවිත අහිමි වුණා.—1 සාමුවෙල් 28:4-7; 31:1-6.
එබැවින් ෂුනෙම්හි ඉතිහාසය ප්‍රේමය සහ සාහසිකකමත්, යෙහෝවා කෙරෙහි විශ්වාසය සහ භූතයන් කෙරෙහි විශ්වාසය තැබීමත් මගින් කැපීපෙනුණා. මේ මිටියාවතේ ස්ත්‍රීන් දෙදෙනෙක් ප්‍රේමය සහ ආගන්තුක සත්කාරය නිරතුරුවම පෙන්වූ අතර, ඉශ්රායෙල් නායකයන් දෙදෙනෙක් තීරණාත්මක සටන් දෙකක යෙදුණා. මේ ආදර්ශ හතරම තමන්ට සේවය කරන්නන්ට විපාක දීමට කවදාවත් අසමත් නොවන යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමේ වැදගත්කම පැහැදිලි කරනවා.
[31වන පිටුවේ පින්තූරය]
පැරණි ෂුනෙම් පිහිටි තැන දැන් නවීන සූලම් ගම්මානය; පසුබිමෙහි මොරේ
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.