නාට්සි වධ හිංසා හමුවෙහි ඔවුන් නොසැලී සිටියා
නාට්සි ජර්මනියේ විසූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිර්භීත අඛණ්ඩතාව මගින් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි විසින් ගත් ස්ථාවරයට වඩා සම්පූර්ණ වෙනසක් කැපීපෙනෙන්න සැලැස්සුවා. ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ජොන් වයිස් අයිඩිඔලජි ඔෆ් ඩෙත් (මරණය පිළිබඳ සංකල්පය) නමැති තමාගේ පොතේ මේ බව සඳහන් කර තිබෙනවා. ඔහු මෙහෙම ලියනවා:
“වර්ෂ 1934දී එවැන්ජලිස්ත පල්ලිය, නාට්සි පාලනය ‘ලුතරන්වරුන් විසින් පිළිගත යුතු’ බවට බල කර සිටි අතර, ජර්මානුවන්ට ‘ධාර්මික හා විශ්වාසවන්ත උත්තමයෙක්’ ලබා දීම ගැන ‘ස්වාමි වූ දෙවිට’ ස්තුති කළා. . . . ‘[හිට්ලර්ව] අපිට ලබා දී තිබෙන්නේ දෙවියි’ කියා රෙපරමාදු බිෂොප්වරයෙක් ඔහුගේ පූජකයන්ට ලිව්වා.” වයිස් තවදුරටත් මෙසේ පවසනවා: “සාමය හා ස්ථාවරත්වය ගෙන ඒමෙන්, සිදුවීමට ආසන්නව තිබූ බෝල්ෂෙවික් විප්ලවයකින් හිට්ලර් ජර්මනිය බේරාගෙන තිබෙන බවට, ජර්මානු මෙතෝදිස්ත පල්ලිය ඩිබේලියස් නම් බිෂොප් සමඟ එකඟ වුණා. . . . හිට්ලර්ට විරුද්ධ වීම මෝමන් ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් වූ බවට මෝමන් පල්ලිය එහි ඇදහිලිවන්තයන්ට උපදෙස් දුන්නා.” එමෙන්ම ඔහු ඊට මෙසේද එකතු කරනවා: “නව නාට්සි රජයට කීකරු වීම පරිශුද්ධ යුතුකමක්, එනම් නැඟෙනහිර යුරෝපයේ අතිභයානක දේවල් සිදු වන බව පූජකයන්ට දැන්වීමෙන් පසුව පවා අත් නොහැරිය යුතු යුතුකමක් වූ බව කතෝලිකයන්ට පවසා තිබුණා.”
නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන කියන්න පුළුවන් මොනවාද? “කණ්ඩායමක් හැටියට නාට්සි බලපෑම්වලට යටත් නොවී සිටියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විතරයි” කියා මහාචාර්ය වයිස් පෙන්වා දෙනවා. ඔවුන්ගෙන් දහස් ගණනක් සිරගත කළා; “ඒත් ඔහුගේ හෝ ඇයගේ ඇදහිල්ල අත්හැරීමේ ලියවිල්ලකට අත්සන් කිරීමෙන් පමණක් නිදහස ලබන්නට ගාල් කඳවුරකට යැවූ ඕනෑම සාක්ෂිකරුවෙකුට හැකියාව තිබුණා” කියා මහාචාර්ය වයිස් තවදුරටත් සඳහන් කරනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අඛණ්ඩතාව ගැන මහාචාර්ය වයිස් මෙසේ අදහස් දක්වනවා: “මුල් ක්‍රිස්තියානි ධර්මය නිල වශයෙන් පිහිටුවීමට කලින්, එහි දකින්න තිබූ අසහාය නිර්භීතකම හා වික්‍රමාන්විත බලය මෙන්ම ප්‍රතිපත්ති පාවා නොදී ජීවත් වීමට වූ ආශාව සමාජීය බැඳීම් මගින් මැඩලිය නොහැකි වීම, ඔවුන්ගේ ආදර්ශයෙන් මනාව පැහැදිලි වෙනවා. රෙපරමාදු පූජකයෙක් ඔවුන් ගැන ලියා තිබෙන්නාක් මෙන්, ‘ප්‍රචලිත නොවූ ආගමික සංවිධානයක් වුවත්, වියරු වැටුණු නාට්සින්ට එරෙහිව මුලින්ම නැඟීසිටියේ, නින්දා අපහාසවලට මුහුණ දුන් මේ මිනිස්සුයි; එමෙන්ම ඔවුන්ගේ ඇදහිල්ලට පටහැනි වූ දේවලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට පවා නිර්භීතව සිටියා.’”