නවාජෝ දේශයෙහි බැටළුගුණැති අයට තණබිමක්
නවාජෝ ඉන්දියානුවන්ගේ භාෂාවෙන් හසෝනි යන්නෙන් අදහස් කරන්නේ “අලංකාර” යන්නයි; නවාජෝ ජනයා ඔවුන්ගේ දේශය හඳුන්වන්නේ ඒ අයුරිනුයි. වර්ෂ 1868 පටන් එක්සත් ජනපද රජය, නවාජෝවලට ඊසානදිග ඇරිසෝනාවලින් වර්ග කිලෝමීටර් 62,000ක පමණ සුරැකුම් ස්ථානයක් වශයෙන් දේශයක් වෙන් කර දුන්නා; එය පිහිටා තිබුණේ මුළු හතර ලෙසින් හැඳින්වෙන ඇරිසෝනා, කොලරාඩෝ, නිව් මෙක්සිකෝ සහ උටා යන ජනපද හතර මුණගැසෙන තැනයි. බටහිර චිත්‍රපට මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන ස්මාරක මිටියාවත, දැන් නවාජෝ ගෝත්‍රික උද්‍යානයක් වශයෙන් වෙන් කර තිබෙන අතර ලෝකයේ සිව් දෙසින් සංචාරකයෝ ඇදී එයි. රතු වැලිගල්වලින් තැනී ඇති මීටර් 300ක් උස විශාල කුලුනු, උස් ශුෂ්ක තැනිතලාවල තනිවම තේජමානව නැඟී සිටිනවා. යෝග්‍ය ලෙස, මිටියාවත සඳහා නවාජෝ යෙදුමින් අදහස් කරන්නේ “පර්වත අතර අවකාශයයි”.
තම නිහතමානී ආචාර විධි, උණුසුම් ආගන්තුක සත්කාරය සහ ළඟ නෑදෑයන්ද පවුලට ඇතුළත් කරගෙන කිට්ටු සම්බන්ධකමක් පවත්වන අය වශයෙන් පොදුවේ නවාජෝ ජනයා ප්‍රසිද්ධයි. සම්ප්‍රදායි මාර්ග අනුගමනය කරමින්, සුරැකුම් ස්ථානයේ වෙසෙන පදිංචිකරුවන් 1,70,000ක් පදිංචි වී සිටින්නේ ප්‍රධාන වශයෙන් හුදකලා ස්ථානවලයි. සමහරු තවමත්, හෝගන් ලෙසින් හැඳින්වෙන කොටවලින් සාදපු, පොළොවට බර වූ පැලවල්වල වෙසෙමින්, බැටළුවන් ඇති කරනවා. නවාජෝ චිත්‍ර සහ අත්කම්වලට පුළුල් ජනප්‍රියත්වයක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ බුමුතුරුණු සහ වර්ණවත් ජ්‍යාමිතික හෝ සම්ප්‍රදායි මෝස්තර දමා බැටළු ලොම්වලින් වියන ලද බ්ලැන්කට්ටු මිල අධිකයි. නිල් මැණික් සහ වෙනත් ස්වාභාවික ද්‍රව්‍යවලින් තැනූ රිදී ආභරණවලටද නවාජෝ ඒ හා සමානවම ප්‍රසිද්ධයි.
නවාජෝ දේශයට ශුභාරංචිය ගෙන ඒම
වර්ෂ 30කට වැඩි කාලයක් පුරා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නවාජෝ දේශයට පැමිණ තිබෙන්නේ, නිකම් සෞන්දර්යය බලන්නම නෙවෙයි, නමුත් මේ ඈත ප්‍රදේශයේ ජනයාට දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියද ගෙන ඒමටයි. (මතෙව් 24:14) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවර සහ විශේෂ පුරෝගාමී දේවසේවකයන් දේශනා වැඩයෙහි පෙරමුණ ගෙන තිබෙනවා. අවශ්‍යතාව වැඩි තැන්වල උපකාරය සඳහා ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පැමිණ තිබෙන්නේ සංචාරක අවේක්ෂකයන්ගේ සහ ප්‍රාදේශීය සාක්ෂිකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් වශයෙනුයි. සමහරු ළඟපාත සභාවලින් පැමිණ ඇති අතර, ස්වදේශීය අමෙරිකානු ගෝත්‍රවල විවිධ සාමාජිකයන් ඇතුළු වෙනත් අය එක්සත් ජනපදයේ නොයෙක් කොටස්වලින් පැමිණ තිබෙනවා.
මේ ආත්ම-පරිත්‍යාගී පුරුෂයන් සහ ස්ත්‍රීන් මෙහි ඔවුන්ගේ සේවය මිෂනාරි පැවරුමකට සමාන කර තිබෙනවා. ඇයි? මුලින්ම, ස්වදේශීය භාෂා ඉගෙනීමට අතිශයින්ම අමාරුයි; හේතුව ඒවාවල පැටලිලි සහිත ශබ්දය, සැකැස්ම සහ වාක්‍ය විධි නිසා. ඒ වගේම, සමස්තයක් වශයෙන් ස්වදේශීය ජනයා, තමන්ගේ ආගමේ, පවුල් සැකැස්මේ සම්ප්‍රදායි මාර්ගවලට ඇලී, ජීවිකාව සඳහා භූමියෙන් යැපෙමින් සිටිනවා. ඊට අමතරව, ඉන්දියානුවන් නොවන්නන්ට නිවාස සහ රැකියා හිඟ නිසා, මෙහි නැවතීමට පැමිණ සිටින්නන්ට දුෂ්කරතා ඇති වෙනවා. අන්තිමට, මේ ජනයාට සුදු මිනිසුන්ගෙන් දිගු ඉතිහාසයක් පුරා ලැබී ඇති අනිසි සැලකීම හේතුවෙන්, විදේශිකයන් ගැන යම් දුරකට අවිශ්වාසයක් පැලපදියම් වී තිබීම තේරුම්ගත හැකියි.a
මුලදී, සාක්ෂිකරුවන් ටයිපටියක් දමා හොඳින් ඇඳ පැළඳ ගෙයින් ගෙට ගිය විට, ඔවුන් මෝර්මන්ලා කියා වරදවා සිතාගෙන, වැඩිදෙනෙක් දොර ඇරියේ නෑ. ඔවුන් සාමාන්‍ය විදිහට ඇඳ පැළඳ යන්න පටන්ගත්තහම, ඔවුන්ව සාදරයෙන් පිළිගෙන ඇතුළට කැඳවූ අතර, බොහෝවිට පැයක් හෝ ඊට වැඩි වෙලාවක් ඔවුන් එහි රැඳී සිටියා. දැන් යළිත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් රාජකාරි කටයුත්තක යෙදෙන අයුරින් දේවසේවයේදී සැරසී සිටිනවා වුවත්, ජනයා ඔවුන්ව හඳුනාගන්නවා.
නවාජෝ සුරැකුම් ස්ථානයේ ජීවත් වෙන ජනයා වෙත එළඹීමම ඇත්තෙන්ම අභියෝගයක්. සාමාන්‍යයෙන් ගල්, වැලි සහ මඩ සහිත විය හැකි, සලකුණු නොකළ පාරවල්වල කිලෝමීටර් ගානක් රිය පදවන්න සිදු වෙනවා. මේ නිසා නිතැතින්ම වාහන පහසුවෙන්ම ගෙවී යන අතර මඟීන්ට බලවත් වෙහෙසක්ද ඇති වෙනවා. වාහන මඩේ එරිය හැකි වුණත්, පසු කර යන්නන් සාමාන්‍යයෙන්ම අත් උදව්වට එන්න සූදානම්. උනන්දුව දක්වන අයව හමුවීම, නිවාස බයිබල් පාඩමකට යෑම හෝ යමෙකුව ක්‍රිස්තියානි රැස්වීමකට ගෙන යෑම සඳහා බොහෝවිට පැය කීපයක වටයක් යන්න සිදු වෙනවා. නමුත් සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම තමන්වම යොදවන අතර, එමගින් ස්වදේශීය ජනයාට ඇති තමන්ගේ ප්‍රේමය විදහාපානවා.—1 තෙසලෝනික 2:8 සසඳන්න.
බයිබල් සාකච්ඡා පැවැත්වීමෙන් නවාජෝ වැසියන් සතුටක් ලබනවා. මනුෂ්‍යවර්ගයා සඳහා අනාගත පාරාදීස නිවසක බලාපොරොත්තුව ගැන සවන් දීමට, සාමාන්‍යයෙන්ම ඔවුන් දරුවන්, දෙමාපියන් සහ ආච්චි, සීයා ඇතුළු මුළු පවුලම එක්කාසු කරගන්නවා. පාරාදීසය කොයි වගේ එකක් වෙයි කියලද ඔබ හිතන්නේ කියා නවාජෝ පුරුෂයෙක්ගෙන් ඇසූ විට, දේශයට සහ ඔවුන්ගේ රැළවලට ප්‍රේමය පිළිබිඹු කරමින් “බැටළුවෝ ගොඩක් ඉන්න තණබිමක්” යයි ඔහු පිළිතුරු දුන්නා. ඔවුන් බයිබල් පොත් පත්ද අගය කරන අතර, ඒ බව පෙන්වන්නේ පබළු, සබන් කැටයක්, ටින් කළ කිරි පරිත්‍යාග කරමින් සහ රාජ්‍ය සේවයට සහාය දීමෙනුයි. විශේෂ පුරෝගාමියෙක් වර්ෂයක් තුළදී මුරටැඹ සහ පිබිදෙව්!වලට දායක 200ක් විතර ලබාගත්තා; අශ්වයෙකු පිට යන මනුෂ්‍යයෙකුගෙන් ලබාගත් දායක දෙකත් ඊට ඇතුළත්.
“බැටළු කඳවුරක්” පිහිටුවීම
ගිම්හානය පැමිණෙන විට, එය නවාජෝ එඬේරෙකුට—එනම් ඔහුට හෝ ඇයට—තම රැළ බැටළු කඳවුරකට ගෙන යෑමට කාලයයි. නිල් තණබිම් සහ ජලය හොඳින් එන උල්පතක් ඇති තත්වයකට ආසන්න තත්වයක් ඇති කිරීමටයි, බැටළුවන් සඳහා මේ ගිම්හාන නිවස තෝරගෙන තිබෙන්නේ; රැළේ වර්ධනයට මෙය උපකාර වෙනවා. උපමාලංකාරයෙන් පවසනවා නම්, රාජ්‍ය ශාලාවක් එවැනි කඳවුරකට සමාන කළ හැකියි—එය ආත්මික තණබිමක් සහ සැබෑවේ ජලයෙහි උල්පතක්. තමන්ට ආත්මිකව සෞඛ්‍යසම්පන්නව හා ශක්තිමත්ව සිටින්ට සලස්වන ආත්මික පෝෂණයක් ලබාගැනීමට එහි පැමිණෙන ජනයාට හැකියි.
යම් කාලයකට, රැස්වීම් පැවැත්තුවේ කේන්ටහි, ඇරිසෝනාවල පංති කාමරයකයි. ඉන්පසු 1992 අගෝස්තුවලදී ජනපද කීපයකින් පැමිණි සාක්ෂිකාර ස්වේච්ඡා සේවකයන් සිය ගණනකගේ උපකාරයෙන් කේන්ටවල අලුත් රාජ්‍ය ශාලාවක් ගොඩනැඟුවා. ප්‍රදේශයෙහි මේ රාජ්‍ය ශාලාව සහ වෙනත් ඒවා කීපයක්, ප්‍රාදේශීය වැසියන්ගේ මනස්වල දේශනා වැඩයට ස්ථිරත්වයේ හැඟීමක් ලබා දෙනවා. මේ විශාල ප්‍රදේශය වෙනුවෙන් සේවය කරන අනිත් රාජ්‍ය ශාලාවලට, සුරැකුම් ස්ථානයට අයත් ටූබා සහ චින්ලෙ නගරවල පිහිටි ඒවා ඇතුළත් වෙනවා; එකක් නවාජෝ සුරැකුම් ස්ථානය තුළ තිබෙන හෝපි ගෝත්‍රික දේශයෙහි, කීම්ස් කැන්යොන්වල පිහිටා ඇති අතර, තවත් ඒවා කීපයක් සුරැකුම් ස්ථානයේ සීමාවල පිහිටි නගරවල පිහිටුවා තිබෙනවා. ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?
රාජ්‍ය පණිවිඩයට පිරී ඉතිරෙන ප්‍රතිචාරයක්
කේන්ටවල රාජ්‍ය ශාලාව සෑදූ දා පටන් ප්‍රාදේශීය වැසියන් දොළහකට වඩා බව්තීස්ම කර තිබෙනවා; එය මෙම සත්‍ය නමස්කාරයේ ස්ථානයට යෙහෝවාගේ ආශීර්වාද තිබෙන බව ඇඟවීමක්. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙහි සිටින්නේ, ඔවුන් දේශනා කරන රාජ්‍ය ශුභාරංචිය කෙරෙහි විශ්වාසය ගොඩනැඟීමට බව ශාලාව සාක්ෂි දෙනවා. මෑතකදී එහි නවාජෝ භාෂාවෙන් ප්‍රථම ප්‍රසිද්ධ බයිබල් අනුශාසනාව දී තිබුණා. දෙමාපියභාවයේ වගකීම් සම්බන්ධයෙන් දුන් කතාවට 245දෙනෙක් සාදරයෙන් පිළිගැනීමට සභාවේ සාමාජිකයන් 40දෙනා සතුටු වුණා. අටදෙනෙකුගෙන් සමන්විත එක පවුලක් අගය කිරීමේ හෘද ඇතුව මේ කතාව ඇසීමට, යන්නයි එන්නයි පැය 3 බැගින් වූ ගමනක යෙදුණා—එය ඔවුන් රාජ්‍ය ශාලාවකට ගිය පළමු අවස්ථාවයි.
නවාජෝ භාෂාවෙන්, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! විවරණිකාව, යෙහෝවා සපයා තිබෙන තවත් ප්‍රයෝජනවත් මෙවලමක්. විවරණිකාව අතිශයින්ම සංකීර්ණ භාෂාවක් වන නවාජෝවලට පරිවර්තනය කිරීම අතිවිශාල අභියෝගයක් ඉදිරිපත් කළා. විවරණිකාව නිවැරදිව රාජ්‍ය පණිවිඩය ඉදිරිපත් කරන බවට සහතික කරගැනීමට පරිවර්තකයන් එකතුව පැය 1,000කට වඩා ගත කළා. එය 1995 අවසාන භාගයේදී මුදාහැරීමත් සමඟම, ප්‍රාදේශීය සාක්ෂිකරුවන් එහි පිටපත් දාහේ ඒවා කීපයක් බෙදාහැර ඇති අතර, සත්‍යය සොයන්නන් සමඟ බයිබල් පාඩම් ගණනාවක් පටන්ගැනීම ප්‍රතිඵලය වී තිබෙනවා.
රාජ්‍ය ප්‍රචාරකයෝ නවාජෝ භාෂාව ඉගෙනගනිද්දීම එය පාවිච්චි කිරීම වැඩි වී තිබෙනවා. ප්‍රදේශයේ තිබෙන සභා, දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී නවාජෝ පාවිච්චි කරන්න පටන්ගෙන තිබෙන අතර, ප්‍රචාරකයන්ව පුහුණු කිරීමට නවාජෝ භාෂා පංති පවත්වමින් තිබෙනවා. ඊට අමතරව, ප්‍රාදේශීය එක්රැස්වීම්වල වැඩසටහනත් නවාජෝවලට පරිවර්තනය කළා. මේ සියලු වෑයම්, සුරැකුම් ස්ථානයේ ඊටත් වඩා වැඩි ප්‍රතිචාරයකට මඟ පාදන බවට නිසැකයි.
මෙම ඉන්දියානු සුරැකුම් ස්ථානයේ රාජ්‍ය ඵලදාව අතරේ අපේ නවාජෝ සහෝදරයන් විදහාපාන අව්‍යාජ ආත්මික ගුණාංග නොසලකා නොහැරිය යුතුයි. ජිමී සහ සැන්ඩ්‍රා අවුරුදු හතක් පුරා යන්නයි, එන්නයි කිලෝමීටර් 120 බැගින් ගෙවමින් ඔවුන්ගේ දරුවන්ව සතිපතා රැස්වීම්වලට ගෙන ගියා. ඔවුන්ගේ දිගු ගමන්වලදී රාජ්‍ය ගීතිකා ගැයීම සහ එකට බයිබලය පාඩම් කිරීම සම්බන්ධයෙන් පවුල තුළ ඉමිහිරි මතකයන් තිබෙනවා. සත්‍යයට ලැදි මෙන්ම ජ්වලිත දෙමාපියන්, යෙහෝවාගේ කැප වූ ප්රශංසාකරුවන් බවට පත්වීමේ තම ආදර්ශය අනුගමනය කිරීමට දරුවන්ව පෙලඹෙව්වා. ඔවුන්ගෙන් හතරදෙනෙක් දැන් ස්ථාවර පුරෝගාමීන් හැටියට සේවය කරන අතර ජිමී වැඩිමහල්ලෙක්. මේ පවුලේ ප්‍රීතිය තවත් වැඩි කරමින්, ජිමීගේ සහෝදරිය එල්සි, මෑතකදී නවාජෝ පමණක් කතා කරන අයගෙන් බව්තීස්ම වීමට සිටින පළමු තැනැත්තිය බවට පත් වුණා.
දේශයේ එඬේරුන් සහ ඔවුන්ගේ රැළ, නවාජෝ සුරැකුම් ස්ථානය අලංකාර කරන ගල් ස්මාරකවලට එඬේර ජීවිතයේ ශාන්තභාවයේ සේයාවක්ද එකතු කරනවා. ප්‍රොපේත යෙසායා බොහෝ කලකට පෙර යෙහෝවා ගැන මෙසේ පුරෝකථනය කළා: “එඬේරෙකු මෙන් [ඔහු] තමන්ගේ රැළ පෝෂ්‍යකර[යි], බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනය[යි].” (යෙසායා 40:11) ශුභාරංචිය අහන්න කැමති, යෙහෝවාගේ සදාකාල ආශීර්වාද ලබාගැනීමේ තත්වයට පත් වෙන නවාජෝ සුරැකුම් ස්ථානයේ සිටින සියල්ලන්වම, යෙහෝවා ස්වකීය යහපත් එඬේරා වන යේසු මගින් ඔහුගේ ආත්මික තණබිම තුළට එක්රැස් කරමින් සිටිනවා.
[පාදසටහන]
a 1948 මැයි 8; 1952 පෙබරවාරි 22; 1954 ජූනි 22 සහ 1996 සැප්තැම්බර් 8 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) කලාප බලන්න.
[24වන පිටුවේ පින්තූරය]
නවාජෝ බැටළු පාලිකාව ශුභාරංචිය අසයි