“සෝදිසි කිරීමේ විනිශ්චය”—බයිබලය මත පදනම් මූලධර්මයක්ද?
එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළ පෙදෙසෙහි සිටි 50,000ක් පමණ දෙනාට 1844 ඔක්තෝබර් 22වනදා මහත් බලාපොරොත්තුවේ දවසක් වුණා. එදා යේසුස් ක්‍රිස්තුස් නැවත පැමිණෙන බව ඔවුන්ගේ ආත්මික නායකයා වන විලියම් මිලර් කියා තිබුණා. මිලර්වාදීන් ලෙස හඳුන්වනු ලැබූ ඔවුන් අඳුර වැටෙන තුරුම ඔවුන්ගේ රැස්වීම් ස්ථානවල බලාගෙන සිටියා. ඊළඟ දවසටත් එළිය වැටුණා, ඒත් තවම ස්වාමීන් ඇවිත් තිබුණේ නැහැ. සිතේ පැවති මායාවෙන් මිදී ඔවුන් නිවෙස් කරා ගොස්, පසුව එය “මහත් බලාපොරොත්තු සුන්වීමේ” දවස ලෙස සිහි කළා.
කෙසේවෙතත්, බලාපොරොත්තු සුන්වීම, ඉක්මනින්ම බලාපොරොත්තු ඇති කළා. දෙවි තමාට දර්ශනය වූ බවත් ඔවුන්ගේ කාලගණනය නිවැරදි බවත් කුඩා මිලර්වාදීන් කණ්ඩායමකට එලන් හාර්මන් නමැති තරුණ කාන්තාව ඒත්තුගැන්වූවා. ඒ දවසේදී වැදගත් සිදුවීමක් සිදු වූවායයි ඇය විශ්වාස කළා—ක්‍රිස්තුස් “ස්වර්ගීය ශුද්ධස්ථානයේ ඇති අතිශුද්ධස්ථානයට” ඇතුල් වුණා.
දශකයකට වැඩි කාලයකට පසු, ඇඩ්වෙන්ටිස්ට් දේශකයෙක් වූ ජේම්ස් වයිට්, (එලන් හාර්මන්ව විවාහ කරගත්) 1844 ඔක්තෝබර් සිට ක්‍රිස්තුස්ගේ වැඩයේ ස්වභාවය විස්තර කරන්න කියමනක් ගෙතුවා. වර්ෂ 1857 ජනවාරි 29වනදා, රිවියූ ඇන්ඩ් හෙරල්ඩ්හි වයිට් ප්‍රකාශ කළේ, යේසුස් “සෝදිසි කිරීමේ විනිශ්චය” පටන්ගෙන ඇති බවයි. මේ විදිහට මෙය අදදින සිටින මිලියන හතක් පමණ වන සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන් අතර මූලික විශ්වාසයක්ව පවතිනවා.
කෙසේවෙතත්, සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් (සෙඩේඇ) සභාවේ සමහර උසස් විශාරදයන් මෙම “සෝදිසි කිරීමේ විනිශ්චය” බයිබලය මත පදනම් මූලධර්මයක්ද කියා සැක කරමින් සිටිනවා. ඔවුන් ඒ ගැන දෙසැරයක් සිතන්නේ ඇයි? ඔබ සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරයෙක්ව සිටී නම් ඔබට මේ ප්රශ්නය බලපානවා. කෙසේවෙතත් මුලින්ම, “සෝදිසි කිරීමේ විනිශ්චය” කියන්නේ මොකක්ද?
ඒ මොකක්ද?
මේ මූලධර්මයට සහය වන්නාවූ මූලික පාඨය වන්නේ දානියෙල් 8:14යි. එහි මෙසේ කියනවා: “ඔහුද: දවස් දෙදාස් තුන්සියයක් පසු වන තුරුය; එවිට ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේයයි මට කීවේය.” (කිං ජේම්ස් වර්ෂන්) ‘එවිට ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබනවා’ කියන කියමන නිසා බොහෝ ඇඩ්වෙන්ටිස්ට්වරු මේ පාඨය ලෙවී කථාව 16වන පරිච්ඡේදයට සම්බන්ධ කරනවා. සමගි කිරීමේ දවසේදී යුදෙව් උත්තම පූජකයා විසින් ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම එහි පැහැදිලි කරනවා. ඔවුන් දානියෙල්ගේ වචන, යේසුස් ස්වර්ගයේ වඩා ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙක් ලෙස විස්තර කරන හෙබ්‍රෙව් 9වන පරිච්ඡේදයටද සම්බන්ධ කරනවා. එක්තරා සෙඩේඇ විශාරදයෙක් කියන්නේ, මේ තර්කය පදනම් වෙලා තියෙන්නේ “සාක්ෂි-පාඨ” ක්‍රමයට කියලයි. “ශුද්ධස්ථානය වැනි වචනයක් දානි. 8:14නුත් එම වචනයම ලෙවී. 16නුත් හෙබ්‍රෙ. 7, 8, 9නුත්” සොයාගන්නා පුද්ගලයෙක් “ඒ ශුද්ධ ලියවිලි කතා කරන්නේ එකම දේ ගැන” කියා නිගමනය කරනවා.
ඇඩ්වෙන්ටිස්ට්වරු මේ විදිහට තර්ක කරනවා: පුරාණ ඉශ්රායෙලයේ පූජකයෝ දේවමාළිගාවේ ශුද්ධස්ථානය කියන කොටසේ දවස්පතා සේවයේ යෙදුණු අතර, එහි ප්‍රතිඵලය වුණේ පව්වලට සමාව දීමයි. සමගි කිරීමේ දවසේදී උත්තම පූජකයා වාර්ෂික සේවාවක් සඳහා අතිශුද්ධස්ථානයට (දේවමාළිගාවේ අභ්‍යන්තරයේම ඇති කාමරයට) යන අතර, එහි ප්‍රතිඵලය වන්නේ පව් මැකීමයි. ක්‍රිස්තුස්ගේ ස්වර්ගීය පූජක සේවය අංග දෙකකින් සමන්විත බවට ඔවුන් නිගමනය කරනවා. ඉන් පළමුවැන්න මුල් සියවසේදී යේසුගේ ස්වර්ගාරෝහණය සමඟ ආරම්භ වී 1844දී අවසන් වූ අතර, පව්වලට සමාව දීම එහි ප්‍රතිඵලය වුණා. දෙවැන්න, එහෙම නැත්නම් “සෝදිසි කිරීමේ විනිශ්චය” 1844 ඔක්තෝබර් 22වනදායින් පටන්ගෙන තවමත් සිදු වන අතර, පව් මකා දැමීම එහි ප්රතිඵලයයි. පව් මකා දැමීම ඉටු කරන්නේ කොහොමද?
යේසුස් 1844 සිට, විශ්වාසිකයන් (මුලින්ම මළවුන්, පසුව ජීවතුන්) යයි කියාගන්නාවූ සියලුදෙනාවම සදාකාල ජීවනයට සුදුසුද කියා නිශ්චය කරගැනීමට ඔවුන්ගේ ජීවිත වාර්තාවන් සෝදිසි කරනවායයි කියනවා. මෙම පරීක්ෂණය “සෝදිසි කිරීමේ විනිශ්චයයි.” මිනිසුන්ව තවදුරටත් විනිශ්චය කළායින් පසුව, පරීක්ෂණය සමත් වන අයගේ පාප වාර්තා පොත්වලින් මකා දමනවා. නමුත් එලන් වයිට් පැහැදිලි කරන්නේ, එයින් සමත් නොවන ‘අයගේ නාමයන් ජීවන පොතෙන් මැකී’ යනවා කියලයි. මෙලෙස, “සියලුදෙනාගේම ඉරණම ජීවනය හෝ මරණය සඳහා තීරණය වෙනවා.” ඒ අවස්ථාවේදී, ස්වර්ගීය ශුද්ධස්ථානය පවිත්‍ර වී, දානියෙල් 8:14 ඉටු වෙනවා. සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන් උගන්වන්නේ එයයි. එසේවුණත්, “සෝදිසි කිරීමේ විනිශ්චය කියන වචනය බයිබලය තුළ සොයාගැනීමට නැහැ” කියලයි සෙඩේඇ ප්රකාශනයක් වන ඇඩ්වෙන්ටිස්ට් රිවියූ පිළිගන්නේ.
භාෂාමය දෝෂයක්
සමහර ඇඩ්වෙන්ටිස්ට්වරුන්ට මේ ඉගැන්වීම ගැටලුවක් වුණා. එක් නිරීක්ෂකයෙක් කියන්නේ මෙහෙමයි: “ඉතිහාසය පෙන්වන්නේ, අපේ සාමාජිකයන්ව සිටි පක්ෂපාත නායකයන් සෝදිසි කිරීමේ විනිශ්චය මත අපේ පාරම්පරික ඉගැන්වීම්වල යෙදී සිටීමෙන් තමන්ටම දැඩි වේදනාවක් අත් කරගෙන තියෙන බවයි.” මෑත වසරවලදී විශාරදයන් “අපේ ශුද්ධස්ථානය සම්බන්ධ ඉදිරිපත් කිරීම පිළිබඳ බොහෝ ප්‍රධාන කණු ගැන ප්‍රශ්න කරන්න” පටන්ගත් විට, ඒ දැඩි වේදනාව සැකයට හැරුණා කියා ඔහු එයට එකතු කරනවා. ඉන් කාරණා දෙකක් අපි දැන් සලකා බලමු.
පළමුවන කණුව: දානියෙල් 8වන පරිච්ඡේදය ලෙවී කථාව 16වන පරිච්ඡේදය හා සම්බන්ධයි. මේ පූර්ව නිගමනය ප්‍රධාන ගැටලු දෙකකින් දුර්වල කෙරුවා—භාෂාව සහ පාඨ සම්බන්ධය. මුලින්ම, භාෂාව සලකන්න. ඇඩ්වෙන්ටිස්ට්වරු විශ්වාස කරනවා දානියෙල් 8වන පරිච්ඡේදයේ සඳහන් ‘පවිත්‍ර කරන ලද ශුද්ධස්ථානය’ කියන්නේ ලෙවී කථාව 16වන පරිච්ඡේදයේ සඳහන් ‘පවිත්‍ර කරන ලද ශුද්ධස්ථානයේ’ අනාවැකිමය ඉටුවීම කියල. දානියෙල් 8:14හි පාවිච්චි කර ඇති හෙබ්‍රෙව් ක්‍රියාපදයේ එක් ස්වරූපයක් වන ට්ස·ඪක්ʹ (තේරුම “ධර්මිෂ්ඨ වීමට”) යන්න කිං ජේම්ස් වර්ෂන්හි “පවිත්‍ර කරන ලද” ලෙස පරිවර්තනය කර ඇති අතර, එය පරිවර්තන දෝෂයක් බව පරිවර්තකයන් හඳුනාගන්නා තුරු මේ සමානකම පිළිගත් එකක් ලෙස පෙනෙන්න තිබුණා. දේවධර්ම මහාචාර්යවරයෙක් වන ඇන්තනි ඒ. හෝකම දකින්නේ, “පවිත්‍ර කරන ලද [ට·හර්ʹ] යන හෙබ්‍රෙව් ක්‍රියාපදය මෙහිදී කොහොමටවත් පාවිච්චි කර නැති විට පවිත්‍ර වෙන්න ලෙස පරිවර්තනය කර තිබීම අවාසනාවක්”a හැටියටයි. ලෙවී කථාව 16වන පරිච්ඡේදය තුළ එය [ටහීර්] පාවිච්චි කරන අතර, කිං ජේම්ස් වර්ෂන් “පවිත්‍ර කරන්න” සහ “පිරිසිදු වෙන්න” යන්න ට·හර්ʹහි ස්වරූප ලෙස යොමු දක්වනවා. (ලෙවී කථාව 16:19, 30) මේ අනුව ආචාර්ය හෝකම නිවැරදි ලෙස නිගමනය කරන්නේ මෙහෙමයි: “දානියෙල් අදහස් කළේ, සමගි කිරීමේ දවසේදී සිදු වූ ආකාරයේ පවිත්‍ර කිරීමක් ගැන නම්, ට්සඩක් [ට්ස·ඪක්ʹ] වෙනුවට ඔහුට ටහීර් [ට·හර්ʹ] පාවිච්චි කරන්න තිබුණා.” නමුත් ලෙවී කථාවේ ට්ස·ඪක්ʹ යන්න සොයාගන්න නැහැ වගේම දානියෙල් පොතේ ට·හර්ʹ යන්න සොයාගන්නත් නැහැ. භාෂාමය දෝෂයක් තියෙනවා.
පාඨ සම්බන්ධය හෙළි කරන්නේ මොකක්ද?
දැන් පාඨ සම්බන්ධය සලකා බලන්න. දානියෙල් 8:14 කලින් පාඨ සමඟ කිසිම සම්බන්ධයක් නැති “පාඨ සම්බන්ධයෙන් හුදකලා වූ” පදයක් බව ඇඩ්වෙන්ටිස්ට්වරු කියා සිටිනවා. නමුත් මේ සමඟම ඇති “දානියෙල් 8:14හි පාඨ සම්බන්ධය ගත් කල” යන කොටුවේ දානියෙල් 8:9-14 දක්වා ඔබ කියවද්දී ඔබට එවැනි අදහසක් එනවාද? නවවන පදය දබරකාරයෙක්, කුඩා අඟක් හඳුන්වා දෙනවා. දහය සිට 12 දක්වා මේ දබරකාරයා ශුද්ධස්ථානය ආක්‍රමණය කරන බව හෙළි කරනවා. දහතුන්වන පදය අහනවා, ‘මේ දබරය කොපමණ කල් පවතිනවාද’ කියලා. දහහතරවන පදය [NW] මෙහෙම කියනවා: “සන්ධ්‍යාවන් සහ උදෑසන දෙදහස් තුන්සියයක් පසු වන තුරුය; එවිට ශුද්ධස්ථානය නිසැකවම යථා තත්වයට ගෙනෙනු ලබන්නේය.” පැහැදිලිවම 14වන පදයේ පිළිතුරු සපයා ඇති ප්‍රශ්නයක් 13වන පදයේ නඟා තියෙනවා. දේවධර්මාධර ඩෙස්මන්ඩ් ෆෝඩ් මෙහෙම කියනවා: “මේ හඬ [‘කොපමණ කල්ද?’ 13වන පදය] දානියෙල් 8:14න් වෙන් කිරීම සඳහා වැදගත් විවරණාත්මක යමක් නැහැ.”b
ඇඩ්වෙන්ටිස්ට්වරු 14වන පදය පාඨ සම්බන්ධයෙන් ඉවත් කර තියෙන්නේ ඇයි? අපහසුවට පත් කරවන අවසානයක් වළක්වාගන්නයි. දහහතරවන පදයේ පාඨ සම්බන්ධය ශුද්ධස්ථානය කෙලෙසීම සහ කුඩා අඟේ ක්‍රියාකාරිත්වය වෙත යොමු දක්වනවා. කෙසේවෙතත්, “සෝදිසි කිරීමේ විනිශ්චය” සම්බන්ධ මූලධර්මය ශුද්ධස්ථානය කෙලසීම සහ ක්‍රිස්තුස්ගේ ක්‍රියාකාරිත්වය කිට්ටුවෙන් සම්බන්ධ වෙනවා. ඔහු විශ්වාසිකයන්ගේ පව් ස්වර්ගීය ශුද්ධස්ථානයකට මාරු කරන බව කියවෙනවා. මේ විදිහට, ඇඩ්වෙන්ටිස්ට්වරු මූලධර්මය සහ පාඨ සම්බන්ධය යන දෙකම පිළිගත්තොත් වෙන්නේ මොකක්ද? සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරයෙක් සහ සෙඩේඇ බයිබල් කමෙන්ට්රිහි හිටපු සහය සංස්කාරකවරයෙක් වන ආචාර්ය රේමන්ඩ් එෆ්. කෝට්‍රල් මෙහෙම ලියනවා: “අපි සෙඩේඇ විග්‍රහය විශ්වාස කරන්න ගියොත් දානියෙල් 8:14 පාඨ සම්බන්ධයේ සඳහන් කුඩා අඟ ක්‍රිස්තුස් බව පිළිගන්න සිදු වෙනවා.” ආචාර්ය කෝට්‍රල් අවංකව මෙහෙම පිළිගන්නවා: “අපිට පාඨ සම්බන්ධයත් ඇඩ්වෙන්ටිස්ට් විග්රහයත් දෙකම තියාගන්න බැහැ.” ඒ නිසා “සෝදිසි කිරීමේ විනිශ්චය” වෙත ඇලී සිටීමට ඇඩ්වෙන්ටිස්ට් සභාවට තේරීමක් කරන්න සිද්ධ වුණා—එක්කො මූලධර්මය පිළිගන්න නැත්නම් දානියෙල් 8:14 පාඨ සම්බන්ධය පිළිගන්න. අවාසනාවකට, එය කලින් සඳහන වැලඳගෙන පසු සඳහන අතහැරියා. ආචාර්ය කෝට්‍රල් කියන්නේ මෙහෙමයි: ඇඩ්වෙන්ටිස්ට්වරුන් “ශුද්ධ ලියවිලිවලින් ලබාගන්න” බැරි දෙයක් “ශුද්ධ ලියවිලි කියවා ලබාගන්න හදනවා” කියා උගත් බයිබල් ශිෂ්‍යයන් දොස් නැඟීම පුදුමයක් නෙවෙයි!
වර්ෂ 1967දී ආචාර්ය කෝට්‍රල් දානියෙල් පොත ගැන සබත් පාසැල් පාඩමක් සූදානම් කර, ලෝක ව්‍යාප්ත සෙඩේඇ සභාවලට යැව්වා. දානියෙල් 8:14 එහි පාඨ සම්බන්ධයට සම්බන්ධ බවත්, එහි එන ‘පවිත්‍ර කිරීම’ ඇදහිලිවන්තයන්ට යොමු දක්වන්නේ නැති බවත් ඉගැන්වූවා. සැලකිය යුතු ලෙස, එම පාඩම “සෝදිසි කිරීමේ විනිශ්චය” ගැන ඕනෑම සඳහනක් ඉවත් කර තියෙනවා.
සමහර විශිෂ්ට පිළිතුරු
“සෝදිසි කිරීමේ විනිශ්චය” යන මූලධර්මයට සහය වන්න මේ කණුව කොපමණ දුර්වලද යන්න ගැන ඇඩ්වෙන්ටිස්ට්වරුන්ගේ අවධානය කොපමණ මහත්ද? ‘දානියෙල් 8 සහ ලෙවී කථාව 16 අතර සම්බන්ධය ගැන කුමන භාෂාමය හෝ පාඨ සම්බන්ධමය හේතු දෙන්න ඔබට පුළුවන්ද?’ කියා ආචාර්ය කෝට්‍රල් ප්රමුඛ පෙළේ ඇඩ්වෙන්ටිස්ට් දේවධර්මාධරයන් 27දෙනෙකුගෙන් ඇසුවා. ඔවුන්ගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?
“සෝදිසි කිරීමේ විනිශ්චයට සහ ප්‍රතිරූපී සමගි කිරීමේ දවසට දානි. 8:14 අදාළ කිරීම පිළිබඳ භාෂාමය හෝ පාඨ සම්බන්ධිත හේතු නොපවතින බව 27දෙනාම ස්ථිර කළා.” ඔහු ඔවුන්ගෙන් මෙහෙම ඇසුවා: ‘මේ සම්බන්ධය ඇති කිරීම ගැන ඔබට වෙනත් කිසිම ආකාරයක හේතු තියෙනවාද?’ තමන්ට වෙනත් හේතු නැති බවයි ඇඩ්වෙන්ටිස්ට් විශාරදයන් බොහෝදෙනෙක් කියා සිටියේ. එලන් වයිට් එසේ කළ නිසා මේ සම්බන්ධය ඇති කෙරුවා කියල පස්දෙනෙක් කී අතර, දෙදෙනෙක් කියා සිටියේ, පරිවර්තනයේ “වාසනාවකට පැවති දෝෂය” මත ඔවුන් මේ මූලධර්මය පදනම් කළ බවයි. දේවධර්මාධර ෆෝඩ් මෙහෙම සටහන් කරනවා: “ඉහළම ගණයේ අපේ පාණ්ඩිත්‍යයෙන් ඉදිරිපත් වෙන එවන් නිගමනයන්වල ප්‍රතිඵලයක් හැටියට, දානි. 8:14 අපේ පාරම්පරික ඉගැන්වීම තහවුරු කළ නොහැකි දෙයක් වෙනවා.”
හෙබ්‍රෙව් පොතෙන් පිහිටක් තියෙනවාද?
දෙවන කණුව: දානියෙල් 8:14, හෙබ්‍රෙව් 9වන පරිච්ඡේදය සමඟ සම්බන්ධයි. “දානි. 8:14 ගැන පැහැදිලි කිරීමේදී අපේ සියලුම මුල් සොයාගැනීම් සඳහා හෙබ්‍රෙ. 9 බොහෝ සේ යොදාගත්තා” කියා දේවධර්මාධර ෆෝඩ් කියනවා. මේ සම්බන්ධය ආරම්භ වුණේ, 1844 “මහත් බලාපොරොත්තු සුන්වීමේ” දවසෙන් පසුවයි. මඟ පෙන්වීමක් සොයමින් මිලර්වාදී හයිරම් එඩ්සන්, දිග හැරෙන විදිහට ඔහුගේ බයිබලය මේසයක් මතට අතහැරියා. ප්‍රතිඵලය? ඔහු ඉදිරියේ දිග හැරී තිබුණේ හෙබ්‍රෙව් 8 සහ 9වන පරිච්ඡේදයි. ෆෝඩ් මෙහෙම කියනවා: “1844 සහ දානි. 8:14හි අර්ථයට විසඳුම මෙම පරිච්ඡේදවල තියෙනවායයි කියා සිටින ඇඩ්වෙන්ටිස්ට් ප්‍රකාශයට මීට වඩා සුදුසු සහ සංකේතාත්මක යමක් තියෙන්න පුළුවන්ද?”
“මේ ප්‍රකාශය සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන්ට තීරණාත්මක යමක් වුණා” කියා දානියෙල් 8:14, සමගි කිරීමේ දවස සහ සෝදිසි කිරීමේ විනිශ්චය නම් ඔහුගේ පොතේ ආචාර්ය ෆෝඩ් එකතු කර තියෙනවා. “ශුද්ධස්ථානය සම්බන්ධ මූලධර්මයේ අපිට ඉතා වැදගත් . . . සැලකිය යුතු සවිස්තරයක් සොයාගන්න පුළුවන් වෙන්නේ . . . හෙබ්‍රෙ. 9වන පරිච්ඡේදයෙන් පමණයි.” ඔව්, ලෙවී කථාව 16වන පරිච්ඡේදයේ අනාවැකිමය අර්ථය පැහැදිලි කරන “අලුත් ගිවිසුමේ” එකම පරිච්ඡේදය හෙබ්‍රෙව් 9වන පරිච්ඡේදයයි. නමුත් එසේ කරන “පරණ ගිවිසුමේ” තියෙන එකම පදය දානියෙල් 8:14 බව ඇඩ්වෙන්ටිස්ට්වරු තවදුරටත් කියා සිටිනවා. මේ කියමන් දෙකම හරි නම් හෙබ්‍රෙව් 9වන පරිච්ඡේදයත් දානියෙල් 8වන පරිච්ඡේදයත් අතර සම්බන්ධයක් තිබිය යුතුයි.
ඩෙස්මන්ඩ් ෆෝඩ් මෙහෙම නිරීක්ෂණය කරනවා: “කෙනෙක් හෙබ්‍රෙ. 9වන පරිච්ඡේදය කියවූ ගමන්ම සමහර දේවල් පැහැදිලි වෙනවා. දානියෙල් පොත ගැන යොමු දක්වන යමක් නැති අතර, දානි. 8:14 පැහැදිලි කරන කිසිම දෙයක් නැහැ. පරිච්ඡේදය සම්පූර්ණ වශයෙන් ලෙවී. 16ට අදාළයි.” ඔහු මෙහෙම සඳහන් කරනවා: “ශුද්ධස්ථානයේ සේවයේ වැදගත්කම සාකච්ඡා කරන අලුත් ගිවිසුමේ ඇති එකම පොතේවත් අපේ ශුද්ධස්ථානය පිළිබඳ ඉගැන්වීම සොයාගන්න බැහැ. මෙය ලොව වටා සිටින ප්‍රසිද්ධ ඇඩ්වෙන්ටිස්ට් ලේඛකයන් පිළිගෙන තියෙනවා.” මෙලෙස දෙවන කණුවත්, ගැටලු සහිත මූලධර්මයට සහය වීම සඳහා දුර්වල වැඩියි.
කෙසේවෙතත්, මේ නිගමනය අලුත් නැහැ. ආචාර්ය කෝට්‍රල් කියන්නේ මෙහෙමයි: වසර ගණනාවක් පුරා, “සභාවේ බයිබල් විශාරදයෝ දානියෙල් 8:14 සහ හෙබ්‍රෙව් 9 පිළිබඳ අපේ පාරම්පරික විවරණය පැහැදිලි කිරීම සම්බන්ධ ගැටලුව ගැන සාවධානවයි සිටින්නේ.” දැනට වසර 80කට විතර කලින් ප්‍රබල සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරයෙක් වන ඊ. ජේ. වැගනර් මෙහෙම ලිව්වා: “ශුද්ධස්ථානය සමඟ එහි ‘සෝදිසි කිරීමේ විනිශ්චය’ සම්බන්ධ ඇඩ්වෙන්ටිස්ට් ඉගැන්වීම . . . , සමගි කිරීම මුළුමනින්ම වගේ එපා කිරීමක්.” (කන්ෆෙෂන් ඔෆ් ෆේත් [ඇදහිල්ලේ පාපෝච්චාරණය]) වසර 30කට කලින් එවැනි ගැටලු සෙඩේඇ සභාවේ නායකත්වයේ සාමාන්‍ය සම්මේලනයට ඉදිරිපත් කළා.
ගැටලු සහ අවහිරය
සාමාන්‍ය සම්මේලනය මගින් “දානියෙල් පොතේ ගැටලු පිළිබඳ කමිටුව” කියා කමිටුවක් නම් කළා. දානියෙල් 8:14ට මැදි වූ දුෂ්කරතා විසඳන්නේ කොහොමද කියල වාර්තාවක් සකස් කරන්න එයට තිබුණා. කමිටු සාමාජිකයන් 14දෙනා වසර 5ක් පුරා මේ ප්‍රශ්න සාකච්ඡා කළත් එකඟත්වයෙන් යුත් විසඳුමක් ඉදිරිපත් කරන්න අසමත් වුණා. වර්ෂ 1980දී, කමිටු සාමාජිකයෙකු වන කෝට්‍රල් කිව්වේ, “උපකල්පනය කළ හැකි” කරුණු මාලාවකින් දානියෙල් 8:14 පිළිබඳ ඇඩ්වෙන්ටිස්ට් විග්‍රහය “තෘප්තිකර ලෙස තහවුරු කළ” හැකි බවත්, කලින් ගැටලු “අමතක කළ යුතු” බවත් බොහෝ සාමාජිකයන්ට හැඟුණා කියලයි. ඔහු ඊට එකතු කරන්නේ මෙහෙමයි: “ඒ කමිටුවේ නම දානියෙල් පොතේ ගැටලු පිළිබඳ කමිටුව බව මතකයිනෙ. ඒ විතරක් නෙවෙයි, බහුතරයක් කියා සිටිනවා අපි ගැටලු අමතක කරල ඒ ගැන කිසිවක් කතා නොකර සිටිය යුතුයි කියල. ඒත් අපිට උත්තරයක් නැහැ කියන එකයි ඒකෙන් ඒත්තුගැනෙන්නේ.” මෙලෙස බහුතරයකගේ අදහස සුළුතරය විසින් ප්‍රතික්ෂේප කළ නිසා නිල වාර්තාවක් තිබුණේ නැහැ. ගැටලු නොවිසඳී මූලධර්මය දිගටම පැවතුණා.
මේ අවහිරය ගැන කරුණු දක්වමින් ආචාර්ය කෝට්‍රල් කියන්නේ මෙහෙමයි: “දානියෙල් 8:14 පිළිබඳ වාදය අප අතර තවමත් පවතින්නේ, විවරණය පිළිබඳ ඉතා සැබෑ ගැටලුවට මුහුණ දීමට අපි ඊටත් වඩා අකමැති නිසයි. ගැටලුවක් නැහැයි කියල අපි සිතාගෙන සිටින තුරු සහ පෞද්ගලිකව මෙන්ම සමූහයක් වශයෙන් කලින් මුල් බැසගත් අදහස් නමැති වැල්ලේ අපේ ඔළුගෙඩි ගසාගෙන ඉන්න තුරු මේ වාදය අවසන් වෙන්නේ නැහැ.”—ස්පෙක්ට්‍රම්, ඇසෝසියේෂන් ඔෆ් ඇඩ්වෙන්ටිස්ට් ෆෝරම්ස් මගින් ප්‍රකාශිත ජ’නලයක්.
“ඇඩ්වෙන්ටිස්ට්වරුන් හැටියට ඉවතලිය නොහැකි මේ ශුද්ධ ලියවිලි පාඨය පදනම් වී ඇති මූලික උපකල්පනයන් සහ විවරණය සම්බන්ධ මූලධර්මයන් පිළිබඳව ආයෙත් පරෙස්සමින් සෝදිසියක” යෙදෙන ලෙස ඇඩ්වෙන්ටිස්ට්වරුන්ගෙන් ආචාර්ය කෝට්‍රල් ඉල්ලා සිටිනවා. මේ “සෝදිසි කිරීමේ විනිශ්චය” පිළිබඳ මූලධර්මයෙහි කණු පදනම් වී තියෙන්නේ, ශක්තිමත් ආකාරයෙන් බයිබලය මතද නැත්නම් පාරම්පරික වූ වැල්ල මතද කියා බලන ලෙස අපි ඇඩ්වෙන්ටිස්ට්වරුන්ව දිරිගන්වනවා.c ප්‍රේරිත පාවුල් ඥානවන්ත විදිහට මෙහෙම උනන්දු කළා: “සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න.”—1 තෙසලෝනික 5:21.
[පාදසටහන්වල]
a විල්සන්ස් ඕල්ඩ් ටෙස්ටමන්ට් ව’ඩ් ස්ටඩීස්, ට්සඩක් (හෝ, ට්ස·ඪක්ʹ) යන්න, “ධර්මිෂ්ඨ වෙන්න, නිර්දෝෂ වෙන්න” ලෙසටත් ටහීර් (හෝ, ට·හර්ʹ) යන්න, “පැහැදිලි වෙන්න, දීප්තිමත් වෙන්න සහ බැබළෙමින් සිටීම; පිරිසිදු වෙන්න, පවිත්‍ර වෙන්න, පහ වෙන්න; සියලු ආකාර දූෂණයෙන් හෝ කෙලසීමෙන් පවිත්‍රව සිටින්න” ලෙසටත් විග්රහ කරනවා.
b ආචාර්ය ෆෝඩ් සභාවේ අනුග්‍රහයෙන් පවත්වන අ.එ.ජ. පැසිෆික් යූනියන් කොලිජ්හි ධර්මය පිළිබඳ මහාචාර්යවරයෙක්. වර්ෂ 1980දී සෙඩේඇ නායකත්වය, මූලධර්මය ගැන අධ්‍යයනය කරන්න මාස 6ක නිවාඩුවක් ඔහුට ලබා දුන්නත් ඔහුගේ සොයාගැනීම් ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඩැනියෙල් 8:14, ද ඩේ ඔෆ් අටෝන්මන්ට්, ඇන්ඩ් දි ඉන්වෙස්ටිගේටිව් ජජ්මන්ට් (දානියෙල් 8:14, සමගි කිරීමේ දවස සහ සෝදිසි කිරීමේ විනිශ්චය) නම් පොතෙහි ඔහු මේවා ප්‍රකාශයට පත් කළා.
c දානියෙල් 8වන පරිච්ඡේදය පිළිබඳ හේතු සහිත විස්තරයක් අවශ්‍ය නම් Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත “ඔබගේ කැමැත්ත පොළොව මත සිදු වේවා” (ඉංග්‍රීසියෙන්) යන පොතේ 188-219 දක්වා පිටු බලන්න.
[27වන පිටුවේ කොටුව]
දානියෙල් 8:14හි පාඨ සම්බන්ධය ගත් කල
දානියෙල් 8:9 “එයින් එකකින් කුඩා අඟක් නික්මී, දකුණත් නැගෙනහිරත් අලංකාර දේශයත් දෙසට ඉතා මහත්විය. 10 ඒක ස්වර්ගයේ සේනාව දක්වාත් මහත්වී, සේනාවෙන්ද තාරකාවලින්ද සමහරක් පොළොවට හෙළා, ඒවා පෑගුවේය. 11 ඒක සේනාවේ අධිපතියාටත් විරුද්ධව උසස්වුණේය; [ඔහුගෙන්] දවස්පතා පූජාවද පහකරනු ලැබීය, [ඔහුගේ] ශුද්ධස්ථානයද හෙළනු ලැබීය. 12 දවස්පතා පූජාව ඇතුළුව සේනාව අපරාධය නිසා පාවාදෙනු ලැබීය; එය වනාහි සත්‍යය බිම හෙළුවේය, එසේ කරලාත් සඵලවුණේය.
“13 එවිට ශුද්ධවන්තයෙක් කථාකරනවා ඇසීමි; තවත් ශුද්ධවන්තයෙක් කථාකළ තැනැත්තාට කියනුයේ: දවස්පතා පූජාවත් නාස්තිකරන අපරාධයත් ගැන පෙනුණු දර්ශනයේ හැටියට ශුද්ධස්ථානය සහ සේනාවත් පාගාදැමීමට කොපමණ කල් යනවා ඇද්දැයි ඇසුවේය. 14 ඔහුද: [‘සන්ධ්‍යාවන් සහ උදෑසන දෙදහස් තුන්සියයක් පසු වන තුරුය; එවිට ශුද්ධස්ථානය නිසැකවම යථා තත්වයට ගෙනෙනු ලබන්නේයයි,’ NW] මට කීවේය.”