ඔබේ දරුවාගේ ජීවිතය රැකගන්න!
මයිකල් සහ ඇල්ෆින ජීවත් වෙන්නේ දකුණු අප්‍රිකාවේ ක්වාසුලු-නටාල් කියන නිල්වන් කඳුකරයේ ඇති පිටිසරබද තැනිතලාවකයි. දරුවන් හත්දෙනෙක් හදා වඩාගනිද්දී ඔවුන් බොහෝ අභියෝගවලට මුහුණ දුන්නා. මයිකල් ඔහුගේ බිරිඳගේ පූර්ණ සහයෝගය ඇතුව පියවරුන් සඳහා ඇති බයිබල් අණට කීකරු වන්න ඔහුට හැකි උපරිමය කළා: “යෙහෝවාගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද [ඔබේ දරුවන්] දිගටම ඇති දැඩි කරන්න.” (එපීස 6:4, NW) නමුත් සමහර අවස්ථාවල ගැටලු වර්ධනය වෙනවා.
උදාහරණයක් හැටියට, වැඩි කාලයක් එකට සෙල්ලම් කර කර ඉන්න පුළුවන් වෙන විදිහට, තම පවුලේ ගවයන් එකට ගාල් කරන එක අප්‍රිකානු ගොපලු කොලුවන් අතර සාමාන්‍ය දෙයක්. සමහර අවස්ථාවල දඟකාරකමට වැටිල, කතා නොකළ යුතු දේවල් පවා ඔවුන් කතා කරනවා. පවුලේ ගවයන් බලාගන්න යද්දී, සමහර දරුවන් එක්ක ආශ්‍රය නොකිරීමට මයිකල් ඔහුගේ පුතුන්ට දැඩි උපදෙස් දුන්නා. (යාකොබ් 4:4) ඒත්, සමහර වෙලාවට වැඩ ඇරිල ගෙදර එනකොට ඔවුන් එසේ කරමින් ඉන්නවා මයිකල්ට අහු වෙනවා. ප්‍රතිඵලයක් හැටියට, ඔවුන්ව හික්මවන්න ඔහුට සිද්ධ වුණා.—හිතෝපදේශ 23:13, 14.
මයිකල් ඔහුගේ දරුවන්ට ඕනෑවට වඩා තදයි කියා ඔබ සිතනවාද? සමහරු එහෙම හිතන්න පුළුවන් වුණත් යේසුස් ක්‍රිස්තුස් කිව්වේ මෙහෙමයි: “ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියා වලින් ඔප්පුවී තිබේ.” (මතෙව් 11:19) මයිකල් සහ ඇල්ෆින තම දරුවන් සමඟ කාලය ගත කරමින් සහ බයිබල් වාර්තා මෙන්ම සත්‍යතාවන් ඔවුන්ට උගන්වමින්, ඔවුන්ගේ නිවසේ ප්‍රේමනීය වාතාවරණයක් සකස් කළා.
මයිකල් සහ ඇල්ෆිනට දූවරුන් හතරදෙනෙක් ඉන්නවා—ඔවුන් ටිම්බකීලි, සෆීවා, ටෝලකෙලී සහ ටිම්බකානී. ඔවුන් සියලුදෙනාම දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියේ පූර්ණ කාලීන දේශනාකරුවන්. ඔවුන්ගේ පුතුන් දෙදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සභාවල මුලසුන භාර අවේක්ෂකයන් හැටියට සේවය කරනවා. ඔවුන්ගේ තුන්වන පුතුගේ බිරිඳ පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියක් වන අතර, ඔහු උපස්ථායක සේවකයෙක් ලෙස සේවය කරනවා.
විශාල පවුල් ඇති බොහෝ ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන් ඇති දැඩි කිරීමේදී සාර්ථකත්වය තුළින් ආශීර්වාද ලබා තියෙනවා. කෙසේවෙතත්, හොඳ මාපිය ඇති දැඩි කිරීමක් ලබන සමහර දරුවන් සත්‍යය අත්හරිනවා. එවැනි දෙමාපියන් අකීකරු පුත්‍රයා පිළිබඳ යේසුගේ උපමාව මතකයේ තියාගෙන, තමන්ගේ පුතා හෝ දුව පසුතැවිලි වී අන්තිමේදී ගැළවීම ලබාගනීවිය කියන බලාපොරොත්තුවෙන් ඉන්නවාට කිසිම සැකයක් නැහැ.—ලූක් 15:21-24.
කෙසේවෙතත් කනගාටුදායක ලෙස, සමහර ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ දරුවන් සියලුදෙනාවම ලෝකයට හසුවීමට ඉඩහැර තියෙනවා. මෙය විශේෂයෙන්ම දරුවන් ඔවුන්ගේ නහඹර විය එළඹෙන තුරු දේවල් හොඳින් කරනවායයි පෙනෙන අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල අයගේ සැලකිල්ලට බඳුන් විය යුතු කරුණක්. මෙලෙස, යෞවනයේ මල් පූදින අවස්ථාවට ඔවුන් පැමිණි විට සාතන්ගේ ලෝකයේ දුරාචාර මාර්ග ඔවුන්ව වශී කරගන්නවා. (1 යොහන් 5:19) ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ පියවරුන් සභා වැඩිමහල්ලන් හැටියට සේවය කරන්න සුදුසුකම් ලබන්නේ නැහැ. (1 තිමෝති 3:1, 4, 5) පැහැදිලිවම, ක්‍රිස්තියානි පියෙක් තම ගෙවැසියන්ගේ ගැළවීම මහත් වැදගත්කමකින් යුත් කාරණයක් ලෙස සැලකිය යුතුයි. ඒ නිසා, තම දරුවන්ගේ ජීවිත රැකගැනීම සඳහා දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවාද?
කිට්ටු මිතුරෙක් වෙන්න
යේසුස් පරිපූර්ණව සිටියා විතරක් නෙවෙයි, නමුත් දැනුමෙන් සහ අද්දැකීමෙන් වෙන කිසිදු මිනිසෙකුට වඩා ඉතා උසස්ව සිටියා. එසේවුණත්, ඔහු ඔහුගේ අසම්පූර්ණ ගෝලයන්ව කිට්ටු මිතුරන් හැටියට සැලකුවා. (යොහන් 15:15) ඔවුන් ඔහු සමඟ ඉන්න කැමති වුණෙත් ඒ වගේම ඔහුගේ ඇසුරෙන් සමෘද්ධිය ලැබුවෙත් ඒ නිසයි. (යොහන් 1:14, 16, 39-42; 21:7, 15-17) දෙමාපියන්ට මෙයින් ඉගෙනගන්න පුළුවන්. පුංචි පැළෑටිවල පත්‍ර උණුසුම් හිරු එළිය දෙසට ඇදෙනවා වගේ නිවසේ ප්‍රේමනීය, මිත්‍රශීලී වාතාවරණයක් තියෙනවා නම් දරුවන් ඒ වෙත ඇදෙනවා.
දෙමාපියෙනි, ඔබේ දරුවන් ඔවුන්ගේ සියලු කාරණාවලදී ඔබ වෙතට නිදහසේ එළඹෙනවාද? ඔබ ඔවුන්ට ඇහුම්කන් දෙනවාද? නිගමනවලට බහින්න කලින්, වඩා සම්පූර්ණ පින්තූරයක් ලබාගැනීමට ඔබ ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් ඇදගන්නවාද? බයිබල් ප්‍රකාශන ඔවුන් සමඟ පර්යේෂණය කර, සමහර ප්‍රශ්නවලට උත්තර සොයාගැනීම සඳහා ඔබ ඔවුන්ට ඉවසිලිවන්තව උපකාර කරනවාද?
දකුණු අප්‍රිකානු මවක් මෙහෙම විස්තර කළා: “අපේ දුව ඉස්කෝලේ ගිය මුල් දවසේ ඉඳලා දවසේ සිද්ධ වෙන දේවල් අපි එක්ක කියන්න කියලා ඇයව දිරිගැන්නුවා. උදාහරණයක් හැටියට මම මෙහෙම අහනවා: ‘කාත් එක්කද විවේක කාලයේ හිටියේ? ඔයාගෙ අලුත් ටීචර් ගැන කියන්න. එයා මොන වගේද? සති අන්තයට මොනවාද සැලසුම් කරල තියන්නේ?’ බලලා ආවට පස්සේ ඒ ගැන විචාරයක් ලිවීම සඳහා, ඉංග්‍රීසි ගුරුවරයා පන්තියේ ළමුන්ව චිත්‍රපටයක් බලන්න ගෙනයන බව දවසක්දා අපේ දුව ගෙදර ඇවිත් කිව්වා. චිත්‍රපටයේ තේමාව සැක සහිත එකක්. තවදුරටත් තොරතුරු සොයා බලද්දී, ක්‍රිස්තියානියෙකුට එය සුදුසු එකක් නොවන බව අපි සොයාගත්තා. පවුලක් හැටියට අපි ඒක සාකච්ඡා කළා. ඊළඟ දවසේ අපේ දුව ගුරුවරයා වෙත ගිහිල්ලා, එම චිත්‍රපටයේ පිළිබිඹු කරන සදාචාරය ඇගේ ක්‍රිස්තියානි විශ්වාසයන් සමඟ පෑහෙන්නේ නැති හින්දා ඒ චිත්‍රපටය බලන්න ඇයට ඕනෙ නැති බව පැහැදිලි කළා. ගුරුතුමා කාරණය ගැන නැවත සලකා බලා, ඇයව කනගාටුවට පත් කරන යමක් පෙන්වන්න පන්තියේ අයව අරගෙන යන්න ඕනෙත් නැති බව කියමින් පසුව ඇයට ස්තුති කළා.” තම දියණියගේ ගැළවීම සඳහා මේ දෙමාපියන් නිබඳව පෙන්වූ ප්‍රේමනීය උනන්දුව යහපත් ඵලදැරුවා. ප්‍රීතිමත් සහ ඒකාන්ත ස්වභාවයක් ඇති ඇය, දැන් වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ දකුණු අප්‍රිකානු ශාඛාවේ ස්වේච්ඡා සේවිකාවක් ලෙස සේවය කරනවා.
අනිත් අයගේ දරුවන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් යේසු විශිෂ්ට ආදර්ශයක් තැබුවා. ඔවුන්ගේ ඇසුර ඔහු භුක්ති වින්දා. (මාර්ක් 10:13-16) තමන්ගේම දරුවන් සමඟ දේවල් කරන්න දෙමාපියන් මොනතරම් සතුටු විය යුතුද! අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල තම පුතුන් සමඟ ප්‍රසිද්ධියේ බේස් බෝල් ක්‍රීඩාව හෝ වෙනත් ක්‍රීඩා කරමින් සිටිනවා දැකීම පියෙකුට ලජ්ජාවක්. නමුත් තම දරුවන් සමඟ දේවල් කරනවා දැකීම තමන්ට මදි පුංචිකමක් කියල ක්‍රිස්තියානි පියෙකුට කිසිදා නොහැඟිය යුතුයි. බාලයන්ට අවශ්‍ය කරන්නේ තමන් සමඟ කාලය ගත කිරීම භුක්ති විඳින දෙමාපියන්වයි. මෙය, තමන්ගේ සැලකිල්ලට භාජන වන දේවල් ප්‍රකාශ කරන්න දරුවන්ට වඩාත් පහසු කරවනවා. එවැනි චිත්තවේගීය අවශ්‍යතා නොසලකා හරින විට, විශේෂයෙන්ම ඔවුන්ව කොයිවෙලේත් නිවැරදි කරන්න ගියොත්, ඔවුන් කුපිත වීමට හෝ පසුබැසීමට පටන්ගන්න පුළුවන්.
පවුල් සම්බන්ධකම් ගැන කොලොස්සිවරුන්ට ලියමින් පාවුල් මෙහෙම කිව්වා: “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.” (කොලොස්සි 3:21) සමහරවිට ඕනෑවට වඩා හික්මවීමක් සහ ඉතා අඩු මිත්‍රත්වයක් තියෙන නිසා, අසමබරතාවක් මෙයින් ඇඟවෙනවා වෙන්න පුළුවන්. ආදරය සහ අගය කිරීම ලද නහඹරයන් ඇතුළු දරුවන්, අවශ්‍ය හික්මවීමට වැඩි ප්‍රතිචාරය දක්වන බව පෙනෙනවා.
දෙවිට ප්‍රේමය
දෙමාපියන්ට තම දරුවන්ට දෙන්න පුළුවන් ඉතා වටිනාම උරුමය වන්නේ තමන්ගේම ආදර්ශය තුළින් ප්‍රේමය පෙන්වීමයි. තම දෙමාපියන් දෙවිට සැබෑ ප්‍රේමය පෙන්වනවා සහ ප්‍රකාශ කරනවා කියා දරුවන් දකින්න සහ අහන්න අවශ්‍යයි. වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ දකුණු අප්‍රිකානු ශාඛාවේ සේවය කරන තරුණයෙක් මෙහෙම පැහැදිලි කරනවා: “මම ළමයෙක්ව ඉන්නකොට ගෙදරදොරේ වැඩ කරන්න තාත්තාට උදව් වෙනවා. ඔහුට උදව් කරන්න මම ආසා කළා, මොකද මම කරපු පුංචි දෙයක් වුණත් තාත්තා ඇත්තටම අගය කෙරුවා. යෙහෝවා ගැන ගොඩාක් දේවල් මට කියන්න තාත්තා ඒ වෙලාව පාවිච්චි කළා. උදාහරණයක් කියනවා නම්, මට මතකයි එක සෙනසුරාදා දවසක වත්තේ තණකොළ කපන්න අපි හොඳටම මහන්සි වුණා. එදා හරිම රස්නෙයි. තාත්තාට දාඩිය දානවා, ඉතිං මං දුවල ගිහිල්ලා වතුර වීදුරු දෙකකට අයිස් කැට දාගෙන ආවා. තාත්තා කිව්වා: ‘පුතා, ඔයාට පේනවාද යෙහෝවා කොයිතරං ඥානවන්තද කියල? අයිස් වතුරේ පාවෙනවා. ඒවා ගිලුණනං වැව්වලයි පොකුණුවලයි ඉන්න ඔක්කොම ජීවීන් මැරිල යනවා. එහෙම වෙනවා වෙනුවට අයිස් ආරක්ෂක බ්ලැන්කෙට්ටුවක් වගේ ක්‍රියා කරනවා! ඒක යෙහෝවා ගැන වැඩිය හොඳින් දැනගන්න අපිට උදව් වෙන්නේ නැද්ද?’a පසුව මධ්‍යස්ථභාවය රැකීම නිසා මාව හිරගත කළාම, මට හිතන්න කාලය තිබුණා. එක දවසක් රෑක මම කලකිරිලා හිර කුටියේ ඉඳගෙන තාත්තා කියපු ඒ වචන සිහි කෙරුවා. ඒවාට මොනතරම් අර්ථයක් තිබුණාද! මට පුළුවන් නම් සදාකාලයටම යෙහෝවාට සේවය කරනවා.”
ඔව්, තම දෙමාපියන් කරන සෑම දෙයකින්ම දෙවිට ඇති ප්‍රේමය පිළිබිඹු වෙනවා දරුවන් දකින්න අවශ්‍යයි. ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණ සිටීම, ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම, පවුලේ බයිබල් කියවීම සහ පවුලේ පාඩම පිටුපස තියෙන පොලඹවන්නාවූ බලය, දෙවිට තියෙන ප්‍රේමය සහ කැමැත්තෙන් කීකරු වීම බව විශේෂයෙන්ම පෙනිය යුතුයි. (1 කොරින්ති 13:3) ඉතා වැදගත් ලෙස, හෘද පූර්ණ පවුලේ යාච්ඤා තුළින් දෙවිට ඇති ප්‍රේමය පිළිබිඹු විය යුතුයි. එවන් උරුමයක් ඔබේ දරුවන්ට දීමේ වැදගත්කම නැවත නැවත කිව යුතුයි. ඒ නිසයි ඉශ්‍රායෙල්වරුන්ට මෙහෙම ආඥා කළේ: “නුඹේ දෙවිවූ [යෙහෝවාට] නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න. මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.”—ද්විතීය කථාව 6:5-7; සසඳන්න, මතෙව් 22:37-40.
දෙවිට ප්‍රේම කිරීමට සහ කීකරු වීමට ඇති මහත්ම බාධකයක් තමයි, අපි උරුම කරගෙන තියෙන පව්කාර ස්වභාවය. (රෝම 5:12) එමනිසා බයිබලයත් ආඥා කරන්නේ, “[යෙහෝවාට] ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්” කියලයි. (ගීතාවලිය 97:10) නපුරු සිතුවිලි බොහෝවිට නපුරු ක්‍රියාවලට මඟ පෙන්වනවා. මේවා වළක්වාගන්න, දරුවෙක් තව වැදගත් ගුණාංගයකුත් දියුණු කරගත යුතුයි.
දෙවිට භයවීම
ප්‍රේමය සමඟින් මුසු වී ඇති යෙහෝවාව අසතුටු කිරීමේ ගෞරවාන්විත බියක් ඉතා යෝග්‍යයි. ‘යෙහෝවා කෙරෙහි භයවීමෙන්’ ප්‍රීතිය සොයාගත් තැනැත්තෙකු පිළිබඳ සම්පූර්ණ ආදර්ශය අපිට තැබුවේ යේසුස් ක්‍රිස්තුස්මයි. (යෙසායා 11:1-3) දරුවෙකු යෞවනයේ මල් පූදින අවස්ථාවට ළඟා වන විට සහ බලවත් ලිංගික හැඟීම් අද්දකින්න පටන්ගන්න කොට එවැනි බියක් අත්‍යවශ්‍යයි. දුරාචාර හැසිරීමට මඟ පෙන්වීමට ඉඩ තියෙන ලෝකයේ පීඩනවලට විරුද්ධව සිටින්න, යෞවනයෙකුට දෙවිට ඇති භය උපකාර කරන්න පුළුවන්. (හිතෝපදේශ 8:13) සමහර සමාජවල දෙමාපියන්, ලිංගික පරීක්ෂා සමඟ කටයුතු කරන්නේ කොහොමද කියල තම දරුවන්ට ඉගැන්වීමෙන් වළකිනවා. ඇත්තවශයෙන්ම, මෙවැනි කාරණා සාකච්ඡා කිරීම වැරදියි කියල බොහෝදෙනෙක් හිතනවා. නමුත් එවැනි දෙමාපිය නොසැලකිලිමත්කමේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මොකක්ද?
බූග්, අමෝකෝ සහ ට්සායියාන නම් වෛද්‍ය විශේෂඥයන් තිදෙනා, දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කේ නම් පිටිසර ප්‍රදේශයේ සිටින ගැහැනු ළමුන් 1,702ක් සහ පිරිමි ළමුන් 903ක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළා. සවුත් ඇෆ්‍රිකන් මෙඩිකල් ජ’නල් මෙහෙම වාර්තා කරනවා: “මේ පරීක්ෂණයට හවුල් වූ ගැහැනු ළමුන් 76%කට සහ පිරිමි ළමුන් 90.1%කට දැනටමත් ලිංගික අද්දැකීම් තියෙනවා.” ගැහැනු ළමුන්ගේ සාමාන්‍ය වයස් මට්ටම 15ක් වූ අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව ලිංගික සංසර්ගය සඳහා බල කර තිබුණා. දෙසීය පනහකට වඩා වැඩිදෙනෙක් වතාවක් හෝ ඊට වැඩියෙන් ගැබ්ගැනීම් අද්දැක තියෙනවා. තවත් ප්‍රතිඵලයක් වුණේ ලිංගිකව පැතිරෙන රෝගවල වැඩිවීමයි.
පෙනෙන විදිහට, විවාහයට පෙර ලිංගික සම්බන්ධකම්වලින් තම දරුවන් වැළකෙන්නේ කොහොමද කියල තම දරුවන්ට ඉගැන්වීමේ අවශ්‍යතාවක් බොහෝ දෙමාපියන්ට පෙනෙන්නේ නැහැ. ඒ වෙනුවට කලින් සඳහන් කළ ජ’නලය පැහැදිලි කරන්නේ මෙහෙමයි: “දරුවන් බිහි කිරීම සහ මාතෘත්වය පිටිසර ට්‍රාන්ස්කේ සමාජය ගෞරවනීය දෙයක් විදිහට සලකනවා; ඉතිං ගැහැනු ළමුන් මල්වර වියට එළඹුණු විගසින් එය අත් කරගන්නවා.” එම ගැටලුවම ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් පවා වාර්තා වෙනවා.
තම ලිංගිකත්වය තේරුම් කරගැනීමට උපකාර නොකිරීම ගැන බොහෝ තරුණ අප්‍රිකානුවන් ඔවුන්ගේ දෙමාපියන්ව විවේචනය කරනවා. සමහර ක්‍රිස්තියානි දෙමාපියන් ඔබේ යෞවනය—ඉන් උපරිමය නෙළාගන්න (ඉංග්‍රීසියෙන්) යන පොත පාවිච්චි කරන්න පවා අකමැති වී තියෙනවා.b එහි 20-3 දක්වා පිටුවල, ගෞරවනීය ලෙස ලිංගික අවයව යොදාගැනීම සහ මල්වර වියේදී ඇති වන වෙනස්කම් පැහැදිලි කරනවා.
තම දරුවන් සමඟ ලිංගික කාරණා පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය සාකච්ඡා කිරීමේ අභියෝගයට මුහුණ දෙන ක්‍රිස්තියානි දෙමාපියන්ට ප්‍රශංසා කළ යුතුයි. කාරණා තේරුම්ගැනීම සඳහා දරුවාට ඇති හැකියාවට එකඟව ක්‍රමානුකූලව එය කිරීම හොඳම ක්‍රමයයි. දරුවාගේ වයස වැනි සාධකයක් පදනම් කරගෙන, ශාරීරික අවයව සහ ඒවායේ ක්‍රියාකාරිත්වයට යොමු දක්වද්දී නිශ්චිත වීමට දෙමාපියන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම නොකළොත් අද්දැකීම් අඩු යෞවනයෙකුට, කියපු දේ නොවැටහී යන්න පුළුවන්.—1 කොරින්ති 14:8, 9.
දූවරුන් දෙදෙනෙක් සහ පුතෙකු සිටින දකුණු අප්‍රිකානු පියෙක් මෙහෙම පැහැදිලි කරනවා: “විටින් විට සංවේදී ලිංගික කාරණා සම්බන්ධයෙන් දූල එක්ක වුණත් කතා කරන්න මට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. කොහොමවුණත්, ඔබේ යෞවනය—ඉන් උපරිමය නෙළාගන්න කියන පොත පාවිච්චි කරමින් මගේ බිරිඳ මගේ දූවරුන්ට වැඩි අවධානයක් දුන්නා. [පිටු 26-31 බලන්න.] මගේ පුතාට අවුරුදු 12ක් වන විට, එයත් එක්ක කඳුකරයේ දිග ගමනක් ඇවිදගෙන යන්න මම තීරණය කළා. ඒ අවස්ථාවේදී පිරිමි ළමයෙකුගේ සිරුරේ වර්ධනය ගැනත් පසු කාලයේදී ඒක විවාහයේ විශේෂ අරමුණ සඳහා එය දායක වන්නේ කොහොමද කියලත් අපි සවිස්තරව සාකච්ඡා කළා. ස්වයංවින්දනය කියන පහත් පුරුද්දෙන් වැළකී සිටීම ගැනත් අම්මා සහ සහෝදරියන් දිහා එයා බලන විදිහටම ගෞරවයෙන් යුතුව ගැහැනු ළමුන් දිහා බැලීම ගැනත් මම සාකච්ඡා කළා.”
ප්‍රීතිමත් විපාක
මේ දැන් සඳහන් කළ මවයි පියයි මහන්සි වී වැඩ කර, තම දරුවන් තිදෙනා ඇති දැඩි කිරීමෙන් ලද හොඳ ප්‍රතිඵලවලින් ප්‍රීති වෙනවා. තුන්දෙනාම දැන් වැඩිහිටියන් වන අතර, විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් සමඟ විවාහ වී සිටිනවා. ඔවුන්ගේ පුතා සහ බෑනාවරුන් යන සියලුදෙනාම ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන් ලෙස සේවය කරන අතර, ඉන් යුවළයන් දෙකක් අවුරුදු ගණනාවක් පුරා පූර්ණ කාලීන එවැන්ජලිස්ත වැඩයේ යෙදී සිටිනවා.
ඔව්, තමන්ගේ පවුලේ ගැළවීම සඳහා මහන්සි වී වැඩ කරන දෙමාපියන්ට, එම බයිබල් ඉගැන්වීම්වලට ප්‍රතිචාරය දක්වන්න තෝරාගන්නාවූ දරුවන්ගෙන් ප්‍රීතිමත් විපාක බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ගැන හිතෝපදේශ 23:24, 25 කියන්නේ මෙහෙමයි: “ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය. නුඹේ පියාද මවුද සතුටුවෙත්වා.” මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ විශාල පවුල ගැන සලකා බලන්න. ඇල්ෆින මෙහෙම කියනවා: “මගේ දරුවන් අත් කරගෙන තියෙන ආත්මික ප්‍රගතිය ගැන හිතනකොට, මගේ හදවත ප්‍රීතියෙන් පිනා යනවා.” මේ ප්‍රීතිමත් විපාකය සඳහා සියලුම ක්‍රිස්තියානි දෙමාපියන් මහන්සි වී වැඩ කරත්වා!
[පාදසටහන්වල]
a වතුර මිදෙන උෂ්ණත්වයට පැමිණි විට, එහි ඝනත්වය අඩු වෙලා මතුපිටට එනවා. Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) යන පොතේ 137-8 දක්වා පිටු බලන්න.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතද බලන්න.
[23වන පිටුවේ පින්තූරය]
ලිංගික කාරණා පැහැදිලි කරන්න සුදුසු වාතාවරණයක් සැලසුම් කරන්න පියෙකුට පුළුවන්