මිනිස් සංහතියේ ආශ්චර්යවත් සුව වීම ළඟයි
“මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමු.” යේසු ආශ්චර්යවත් ලෙස අංශභාග රෝගියෙකු ක්ෂණිකව සුව කරනවා සියැසින් දුටු අය එසේ පැවසුවා. (මාර්ක් 2:12) යේසු අන්ධයන්, බීරන් හා කොරුන්වද සුව කළ අතර, ඔහුගේ අනුගාමිකයනුත් එලෙසම කළා. යේසු එසේ කළේ මොන බලයෙන්ද? ඇදහිල්ල කුමන කාර්යභාරයක් ඉටු කළාද? අදදින ආශ්චර්යවත් සුව කිරීම මත මෙම පළමු-ශතවර්ෂයේ අද්දැකීම් විහිදුවන්නේ මොන ආලෝකයක්ද?—මතෙව් 15:30, 31.
“නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේය”
වසර 12ක් පුරා ලේ ගැලීමකින් වේදනා විඳි ස්ත්‍රියක් සුවය ලබාගන්න යේසු වෙතට ආ විට ඔහු පැවසූ මේ වචන සඳහන් කරන්න අදදින ඇදහිල්ලෙන් සුවකරන්නන් මහත් කැමැත්තක් දක්වනවා: “නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේය.” (ලූක් 8:43-48) ඇගේ සුවවීම රඳා පැවතුණේ ඇගේ ඇදහිල්ල මත බව යේසුගේ ප්‍රකාශයෙන් ඇඟෙව්වාද? එය අදදින සිදු කෙරෙන “ඇදහිල්ලෙන් සුව කිරීම” පිළිබඳ ආදර්ශයක්ද?
රෝගියා සුවවීමට පෙර තමාගේ ඇදහිල්ල ප්‍රකාශ කළ යුතුයි කියා යේසුවත්, ඔහුගේ ගෝලයන්වත් බොහෝ අවස්ථාවලදී නොඉල්ලූ බව අපි බයිබල් වාර්තාව පරෙස්සමෙන් කියවන විට දකිනවා. ඉහත සඳහන් ස්ත්‍රිය යේසුගේ පිටුපසින් පැමිණ, යේසුට කිසිවක් නොකියා හෙමින් සීරුවේ ඔහුගේ වස්ත්‍රය ඇල්ලූ ‘කෙණෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණා.’ තවත් අවස්ථාවකදී, යේසු තමාව අත්අඩංගුවට ගන්න පැමිණි අය අතරේ සිටි මිනිසෙකුව සුව කළා. යේසු කවුදැයි කියා නොදැන සිටි මිනිසෙකුව පවා යේසු සුව කළා.—ලූක් 22:50, 51; යොහන් 5:5-9, 13; 9:24-34.
එහෙමනම්, ඇදහිල්ල ඉටු කළ කාර්යභාරය මොකක්ද? යේසු හා ඔහුගේ ගෝලයන් තීර් හා සීදොන් දිස්ත්‍රික්කයේ සිටිද්දී, කානානිය ස්ත්‍රියක් ඇවිත් “දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි” කිව්වා. “ස්වාමිනි, මට පිහිටවුව මැනවයි” කියා ඈ අයැදූ විට ඇගේ බලාපොරොත්තු සුන්භාවය ගැන කල්පනා කරන්න. අනුකම්පාවෙන් පූර්ණව, යේසු මෙහෙම පිළිතුරු දුන්නා: “ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම නුඹට වේ[වා].” එවිට “ඒ පැයේ පටන්” ඇගේ දියණිය සුව වුණා. (මතෙව් 15:21-28) පැහැදිලිවම, ඇදහිල්ල ඇතුළත්ව තිබුණා; නමුත් කාගේ ඇදහිල්ලද? හොඳට බලන්න, යේසු ප්‍රශංසා කළේ රෝගී දරුවාගේ නොව මවගේ ඇදහිල්ලටයි. තවත් කුමක් කෙරෙහි ඇදහිල්ලද? “දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි” කියා යේසුව ඇමතීමෙන්, යේසු පොරොන්දු වූ මෙසියස් බව ස්ත්‍රිය ප්‍රසිද්ධියේ පිළිගත්තා. එය දෙවි කෙරෙහි ඇදහිල්ල හෝ සුවකරන්නාගේ බලය කෙරෙහි ඇදහිල්ල පිළිබඳ සරල ප්‍රකාශයක් වුණේ නෑ. “නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේය” කියා යේසු පැවසූ විට ඔහු අදහස් කළේ, මෙසියස් හැටියට තමා කෙරෙහි ඇදහිල්ල නොමැතිව, රෝගී තැනැත්තන්ට සුවය සඳහා ඔහු වෙතට එන්න බැරි බවයි.
යේසු විසින් සිදු කළ සුව කිරීම, අදදින පොදුවේ දකින්න හෝ අහන්න තියෙන දේට හාත්පසින්ම වෙනස් බව මේ ශුද්ධ ලියවිලිමය ආදර්ශවලින් අපිට දකින්න පුළුවන්. සෙනඟගේ පැත්තෙන් බලවත් චිත්තවේගීය හැඟීම් විදහාදක්වන කෑගැසීම, මැතිරීම, විලාප කීම, මූර්ඡා වීම හා තවත් එවැනි දේවල්වත්, යේසුගේ පැත්තෙන් වියරු වැටුණු ස්වභාවයක් විදහාදැක්වීමක්වත් දකින්න තිබුණේ නෑ. ඊට අමතරව, ඔවුන්ගේ ඇදහිල්ල මදි කියා හෝ ඔවුන්ගේ පරිත්‍යාගයන් ප්‍රමාණවත් නෑ කියා නිදහසට හේතුවක් දීම මත ආබාධිතයන්ව සුව කිරීමෙන් යේසු වැළකී සිටියේ නෑ.
දෙවිගේ බලයෙන් සුවවීම්
යේසුගේ හා ඔහුගේ ගෝලයන්ගේ සුව කිරීම් සිදු වුණේ කොහොමද? “සුව කරන පිණිස යෙහෝවාගේ ආනුභාවය ඔහු සමඟ වූයේය” කියා බයිබලය පිළිතුරු දෙයි. (ලූක් 5:17, NW) එක් සුව කිරීමකින් පසු ලූක් 9:43 පවසන්නේ, “ඔවුන් සියල්ලෝම [දෙවිගේ] මහන්තත්වය ගැන විස්මයට පත්වූවෝය” කියායි. සුවකරන්නා හැටියට යේසු තමන් වෙතටම අවධානය යොමු නොකිරීම යෝග්‍යයි. භූත හිරිහැර විඳීමකින් නිදහස් වෙන්න සැලැස්වූ මිනිසෙක්ට ඔහු එක් අවස්ථාවකදී මෙහෙම පැවසුවා: ‘නුඹ ගෙදර නුඹේ නෑ මිතුරන් ළඟට ගොස්, යෙහෝවා නුඹට කොපමණ මහත් දේවල් කළාද කියාත් ඔහු නුඹට කරුණා කළ හැටිත් ඔවුන්ට දන්වන්න.’—මාර්ක් 5:19.
යේසු හා ප්‍රේරිතයන් සුව කළේ දෙවිගේ බලයෙන් බැවින්, සුව වෙන තැනැත්තාගේ පැත්තෙන් සුවවීම සඳහා හැමවිටම ඇදහිල්ල අවශ්‍ය වුණේ නැති බව පහසුවෙන්ම දකින්න තියෙනවා. කෙහොමවුණත්, සුවකරන්නාගේ පැත්තෙන් ශක්තිමත් ඇදහිල්ලක් අවශ්‍යව තිබුණා. මේ නිසා, එක්තරා බලවත් භූතයෙකුව පහ කරන්න යේසුගේ අනුගාමිකයන් අපොහොසත් වූ අවස්ථාවේදී, යේසු ඔවුන්ට මෙසේ හේතුව දැක්වුවා: “නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය.”—මතෙව් 17:20.
ආශ්චර්යවත් සුව කිරීමේ අරමුණ
යේසු තම මෙහෙයේදී සුව කිරීම් කළත්, ඔහු මූලික වශයෙන් ‘සුව කිරීමේ මෙහෙයක’ යෙදී සිටියේ නෑ. ඔහු සුව කිරීම්වලට කවදාවත් ගාස්තුවක් අය කළේවත්, කිසිම පරිත්‍යාගයක් ඉල්ලා සිටියේවත් නැහැ; ඔහුගේ ආශ්චර්යවත් සුව කිරීම්, “රාජ්‍යයේ ශුභාරංචිය දේශනා [කිරීම]” සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රධාන වැඩයට දෙවනි වුණා. (මතෙව් 9:35) එක් අවස්ථාවකදී “[ඔහු] ඔවුන් පිළිගෙන, [දෙවිගේ] රාජ්‍යය ගැන ඔවුන්ට කථාකොට, සුවය ඕනෑ අය[ව] සුවකළ” බව වාර්තාව පවසයි. (ලූක් 9:11) සුවිශේෂයේ වාර්තාවල, යේසුව නිතර අමතා තිබෙන්නේ “ආචාරිනි” කියා මිසක කිසිවිටකත් “සුවකරන්නා” කියා නොවෙයි.
එහෙමනම්, යේසු ආශ්චර්යවත් සුව කිරීම් කළේ ඇයි? ප්‍රධාන වශයෙන් එහෙම කළේ, පොරොන්දු වූ මෙසියස් හැටියට ඔහුගේ අනන්‍යතාව ස්ථාපිත කිරීම සඳහායි. යොහන් බව්තීස්තව අයුක්තිසහගත ලෙස සිර කළ විට, දෙවි තමාගෙන් අපේක්ෂා කළ දේ තමා කර ඇති බවට සහතිකයක් ඔහුට ඕනෑ වුණා. ඔහුගේම ගෝලයන්ව යේසු ළඟට යවා ඔහු මෙහෙම ඇහැව්වා: “එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමු[ද?]” යොහන්ගේ ගෝලයන්ට යේසු කිවූ දේ සැලකිල්ලට ගන්න: “නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.”—මතෙව් 11:2-5.
එසේය, යේසු සුව කිරීම් විතරක් නෙවෙයි, නමුත් සුවිශේෂවල වාර්තා කර තිබෙන වෙනත් ආශ්චර්යවත් ක්‍රියාත් සිදු කළාය යන කාරණයෙන්, පොරොන්දු වූ මෙසියස් එනම් ‘එන්නාවූ තැනැත්තා’ වශයෙන් වූ ඔහුගේ අනන්‍යතාව ස්ථිරයෙන්ම ස්ථාපිත කෙරෙනවා. කිසිම කෙනෙකුට ‘වෙන කෙනෙකු කෙරෙහි බලා සිටින්න’ අවශ්‍යතාවක් තිබුණේ නෑ.
අදදින ආශ්චර්යවත් සුව කිරීම්?
එසේනම්, අදදින සුව කිරීම් තුළින් දෙවි තම බලය ඔප්පු කරයි කියා අපි අපේක්ෂා කළ යුතුද? නෑ. දෙවිගේ බලයෙන් යේසු සිදු කළ ආශ්චර්යවත් ක්‍රියා මගින්, පැමිණෙයි කියා දෙවි පොරොන්දු වූ මෙසියස් තමා බවට අංශු මාත්‍රයක හෝ සැකයක් නැතුව ඔහු ඔප්පු කර තිබුණා. සියල්ලන්ටම කියවීම සඳහා යේසුගේ බලවත් ක්‍රියා බයිබලයේ වාර්තා කර තිබෙනවා. සෑම මිනිස් පරම්පරාවකටම නැවත නැවතත් එවැනි ක්‍රියා කර පෙන්වමින් තම බලය පෙන්වන්න දෙවිට අවශ්‍යතාවක් නෑ.
සුව කිරීම් සහ වෙනත් ආශ්චර්යවත් ක්‍රියාවලින් යමක් ඒත්තුගන්වන්නේ, යම් තාක් දුරකට බව සැලකිල්ලට ගත යුතුයි. යේසුගේ ආශ්චර්යයන් ඇසින් දුටු සමහරු පවා ඔහුට සිය ස්වර්ගික පියාගේ උපකාරය තිබුණ බව විශ්වාස කළේ නෑ. “[ඔහු] ඔවුන් ඉදිරියෙහි මෙපමණ ලකුණු දැක්වූ නුමුත් ඔව්හු [ඔහු] කෙරෙහි අදහා නොගත්තෝය.” (යොහන් 12:37) පළමු-ශතවර්ෂයේ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ට දෙවි දුන් අනාවැකි කීම, අන්‍ය භාෂාවලින් කතා කිරීම, සුව කිරීම සහ තවත් එවැනි විවිධ ආශ්චර්යවත් දීමනා ගැන කතා කළාට පස්සේ, ප්‍රේරිත පාවුල් “අනාගතවාක්‍යකීම් වුවත්, නැතිවන්නේය; භාෂා වුවත්, නවතින්නේය; දැනගැන්ම වුවත්, නැතිවන්නේය. මක්නිසාද අපේ දැනගැන්ම මඳය, අනාගතවාක්යකීමත් මඳය. නුමුත් සම්පූර්ණ එක පැමුණුණාම මඳක්ව තිබෙන දේ නැතිවන්නේය” කියලා පවසන්න ආනුභාවය ලැබුවේ ඒ නිසයි.—1 කොරින්ති 12:28-31; 13:8-10.
දෙවි කෙරෙහි ඇදහිල්ල තිබීම අපේ ශුභසිද්ධිය සඳහා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නෑ. කෙසේනමුත්, සුව කිරීම් සම්බන්ධයෙන් බොරු පොරොන්දු මත කෙනෙකු ඇදහිල්ල තැබීමෙන් මඟ පාදන්නේ අධෛර්යයට පත්වීමටයි. ඒ විතරක් නෙවෙයි, අවසාන කාලය සම්බන්ධයෙන් යේසු මේ අනතුරු ඇඟවීම දුන්නා: “බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.” (මතෙව් 24:24) බොරුව හා වංචාවට අමතරව, භූතමය බලයේ පිළිබිඹු කිරීම්ද තිබේවි. ප්‍රතිඵලයක් වශයෙන්, පැහැදිලි කළ නොහැකි සිද්ධීන් පිළිබඳ ප්‍රකාශයන් අපව පුදුමයට පත් නොකළ යුතු අතර, මේවා දෙවි කෙරෙහි අව්‍යාජ ඇදහිල්ල සඳහා ඇත්තෙන්ම පදනමක් නෙවෙයි.
යේසු කළාක් මෙන් අදදින කිසිවෙක් සුව කිරීම් සිදු නොකරන බැවින්, අපි අවාසිදායක තත්වයකද ඉන්නේ? කොහෙත්ම නෑ. ඇත්තෙන්ම, යේසුගෙන් සුවය ලැබූ අය ආපහු අසනීප වුණා වෙන්න පුළුවන්. ඔවුන් හැමෝම වයසට ගිහින් මියගියා. ඔවුන් ලැබූ සුවවීමේ ප්‍රයෝජන පැවතුණේ සාපේක්ෂ වශයෙන් කෙටි කාලයකටයි. එහෙත්, යේසුගේ ආශ්චර්යවත් සුව කිරීම්වලට අනාගත ආශීර්වාද පූර්වාදර්ශනය කරන කල්පවතින අර්ථයක් තියෙනවා.
මේ හේතුවෙන්, කලින් සඳහන් කළ ආලීෂන්ඩ්ර සහ බෙනෙඩීට දෙවිගේ වචනය වන බයිබලය පරීක්ෂා කිරීමෙන් පස්සේ, නවීන දින ඇදහිල්ලෙන් සුව කිරීම හා ආත්ම බන්ධන සුව කිරීම් කෙරෙහි තමන්ගේ විශ්වාසය තැබුවේ නෑ. ඒත් එක්කම, ආශ්චර්යවත් සුව කිරීම් අතීතයට පමණක් සීමා වූ දේවල් නොවන බව ඔවුන්ට ඒත්තුගොස් තියෙනවා. ඒ ඇයි? ලොව පුරා මිලියන සංඛ්‍යාතයක් මෙන්, ඔවුන් දෙවිගේ රාජ්‍යය යටතේ සුව කිරීමේ ආශීර්වාද ලැබෙන තෙක් ආශාවෙන් බලා සිටිනවා.—මතෙව් 6:10.
අසනීප හා මරණය තවත් නෑ
අපි කලින් දැක ඇති පරිදි, යේසුගේ මෙහෙයේ ප්‍රධාන පරමාර්ථය රෝගීන් සුව කිරීම හා වෙනත් ආශ්චර්යයන් සිදු කිරීම නෙවෙයි. ඒ වෙනුවට, ඔහු දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම ඔහුගේ ප්‍රධාන වැඩය කරගත්තා. (මතෙව් 9:35; ලූක් 4:43; 8:1) මිනිස් සංහතියේ ආශ්චර්යවත් සුවය ඉටු කිරීම සඳහාත්, පාපය හා අසම්පූර්ණකම මිනිස් පවුල මත පමුණුවා තිබෙන හානි සියල්ල ඉවත් කිරීම සඳහාත් දෙවි යොදාගන්නේ එම රාජ්‍යයයි. ඔහු මෙය ඉටු කරන්නේ කොහොමද? කවදාද?
ශතවර්ෂ ගණනක් ඉදිරියට බලමින්, යේසුස් ක්‍රිස්තුස් තම ප්‍රේරිත යොහන්ට අනාවැකිමය දර්ශනයක් දුන්නා: “ගැළවීමද බලයද රාජ්‍යයද තමන් [ක්‍රිස්තුස්ගේ] ආණ්ඩුබලයද දැන් පැමුණුණේය.” (එළිදරව් 12:10) වර්ෂ 1914 පටන් දෙවිගේ මහත් විරුද්ධකාරයා වූ සාතන්ව පොළොවට හෙළා තිබෙන බව සියලු සාක්ෂි පෙන්නුම් කරන අතර, දැන් යථාර්ථයක් වශයෙන් රාජ්‍යය ක්‍රියාත්මක වෙමින් පවතිනවා! යේසුව මෙසියානු රාජ්‍යයේ රජු වශයෙන් පත් කර තිබෙන අතර, පොළොව මත දැන් විශාල වෙනස් කිරීම් කිරීමට සූදානම්ව තිබෙනවා.
ඉතා නුදුරු අනාගතයේදී, යේසුගේ ස්වර්ගික ආණ්ඩුව ධර්මිෂ්ඨ අලුත් මිනිස් සමාජය කෙරෙහි පාලනය කරයි; ප්‍රතිඵලය “අලුත් පොළොවක්.” (2 පේතෘස් 3:13) එවිට තත්වයන් මොන වගේ වේවිද? මෙන්න අනාගතය පිළිබඳ තේජාන්විත එළිදරව්වක්: “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහවගියේය; . . . [දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදම[න්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:1, 4.
මිනිස් සංහතියේ ආශ්චර්යවත් සුවවීම සැබෑ වන විට ජීවිතය මොන වගේ එකක් වෙයිද කියලා ඔබට හිතාගන්න පුළුවන්ද? “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි වාසයකරන සෙනගගේ අයුතුකම කමාකරනු ලබන්නේය.” එසේය, ඇදහිල්ලෙන් සුවකරන්නන්ට කවදාවත් කළ නොහැකි දේ දෙවි ඉටු කරයි. “ඔහු මරණය සදාකාලයටම ගිලදැමුවේය.” ඇත්තෙන්ම, “පරමාධිපති ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිසදමයි”.—යෙසායා 25:8, NW; 33:24.
[7වන පිටුවේ පින්තූරය]
දෙවිගේ රාජ්‍යය යටතේ මිනිස් සංහතිය ආශ්චර්යවත් ලෙස සුව වෙයි