ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 4/1 27-29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලිංගික හිරිහැර—සමස්ත ලෝක ගැටලුවක්
    1996 පිබිදෙව්!
  • කායිසර්ගේ දේ කායිසර්ට දීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුක්තිය පෙරළූ නඩුවක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 4/1 27-29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ජූරි සභාවක රාජකාරිය කරන්න කියා ඉල්ලා සිටි විට, ක්‍රිස්තියානියෙක් කළ යුත්තේ මොකක්ද?

සමහර රටවල පවතින අධිකරණ ක්‍රමය මගින්, රටේ සිටින පුරවැසියන්ගෙන් තෝරාගත් ජූරි සභිකයන්ව සේවය සඳහා යොදවාගනියි. මෙය පවතින රටවල වෙසෙන ක්‍රිස්තියානියෙකුට ජූරි සභිකයෙකුගේ රාජකාරිය සඳහා වාර්තා කරන්න කියා නියෝග කළ විට, ඊට ප්‍රතිචාරය දැක්විය යුතු ආකාරය ගැන ඔහු තීරණය කළ යුතුයි. දූරා සමභූමියෙහි පෙනී සිටීම සඳහා බබිලෝනීය ආණ්ඩුව කළ නියෝගයට ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ එකඟ වූවාක් මෙන් හා රෝම අධිකාරින්ගේ නියෝගය පිට යෝසෙප් සහ මරියා බෙත්ලෙහෙමට ගියාක් මෙන්, එසේ කිරීම බයිබල් ප්‍රතිපත්ති මගින් තහනම් නොකරන බව ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු යහපත් හෘදය සාක්ෂියක් ඇතුව තීරණය කර තියෙනවා. (දානියෙල් 3:1-12; ලූක් 2:1-4) කොහොම වුණත්, අවංක ක්‍රිස්තියානීන්ට සලකා බැලිය හැකි සාධක තියෙනවා.

ජූරි සභාවල සේවය ලබාගැනීම සෑම තැනම සිදු වෙන්නේ නැහැ. සමහර රටවල, සිවිල් හා අපරාධ නඩුවලට තීන්දුව දෙන්නේ වෘත්තීමය විනිසුරුවෙක් විසින් හෝ විනිසුරු මඩුල්ලක් විසිනුයි. පොදු නීතිය යනුවෙන් හඳුන්වනු ලබන දෙය පවතින තැන්වල, ජූරි සභාවන් විනිශ්චය ක්‍රියාවලියේ කොටසක් වෙනවා. ජූරි සභිකයන්ව තෝරාගන්නා ආකාරය හා ඔවුන් කරන දේවල් ගැන තවමත් හුඟදෙනෙකුට ඇත්තේ මඳ අවබෝධයකි. එනිසා ඔබ ජූරි සභිකයෙක් හැටියට පෙනී සිටියත් නැතත්, ඒ ගැන දළ විස්තරයක් ලබාගැනීම ප්‍රයෝජනවත් වේවි.

යෙහෝවා උත්තරීතර විනිශ්චයකරු බව දෙවිගේ සෙනඟ පිළිගන්නවා. (යෙසායා 33:22) මත භේද සමථයකට පත් කරන්නත්, ව්‍යවස්ථාව හා සම්බන්ධව පැනනඟින ප්‍රශ්න විසඳන්නත්, අවංක මෙන්ම අපක්ෂපාති අද්දැකීම් ලත් පුරුෂයන් පුරාණ ඉශ්‍රායෙල්හි විනිසුරුවන් හැටියට කටයුතු කළා. (නික්මයාම 18:13-22; ලෙවී කථාව 19:15; ද්විතීය කථාව 21:18-21) යේසු මිහිපිට ජීවත් වූ කාලය වන විට, විනිශ්චය කටයුතු හසුරුවනු ලැබුවේ, යුදෙව් මහාධිකරණය වූ සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාව විසිනුයි. (මාර්ක් 15:1; ක්‍රියා 5:27-34) සිවිල් ජූරියක සාමාජිකයෙකු හැටියට කටයුතු කිරීමට සාමාන්‍ය යුදෙව් වැසියෙකුට කිසිම ඉඩක් තිබුණේ නැහැ.

වෙනත් රටවල්, පුරවැසියන්ගෙන් සැකසුණු ජූරි සභාවන්වල සේවය ලබාගත්තා. ජූරි සභිකයන් 501දෙනෙක් විසින් සොක්‍රටීස්ගේ නඩුව විභාග කළා. අධිරාජ්‍යවරුන්ගේ පාලන කාලවලදී ජූරි සභාවන් ඉවත් කර දැමුවත්, රෝම සමූහාණ්ඩුව පැවති කාලයේදී ජූරිය විසින් විභාග කළ නඩු තිබුණා. පසුව, චූදිතයාව ඔහුගේ අසල්වැසියන් විසින් විනිශ්චය කිරීමේ ක්‍රමයක් එංගලන්තයේ IIIවන හෙන්රි රජු ඉදිරිපත් කළා. ඔවුන් චූදිතයාව දැන සිටි නිසා, සටන් කිරීමෙන් හෝ ඉතාමත් කටුක වධ හිංසාවකින් බේරී ජීවත්වීමෙන් චූදිතයා තමාගේ නිර්දෝෂභාවය ඔප්පු කිරීමට ගත් ක්‍රියාමාර්ගයන් මගින් සිදු කරන විනිශ්චයකට වඩා, ඔවුන්ගේ විනිශ්චය වඩාත් සාධාරණ වෙන්න පුළුවන් කියල තේරුම්ගත්තා. කාලයාගේ ඇවෑමෙන්, පුරවැසියන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් නඩුව අසා, සාක්ෂි මත පදනම් වූ තීන්දුවකට එළඹීම සඳහා පිළියෙළ කළ විධිවිධානයක් බවට ජූරි ක්‍රමය වෙනස් වුණා. සාක්ෂිවලට අදාළ කරුණු විමසීමේදී, වෘත්තීය විනිසුරුවෙකු විසින් ඔවුන්ට මඟ පෙන්වීම සපයනු ලැබුවා.

ජූරිවල ස්වභාවය, සාමාජික සංඛ්‍යාව සහ තීන්දුවකට එළඹීම හා සම්බන්ධව පවතින දේවල විවිධත්වයක් තියෙනවා. උදාහරණයක් හැටියට, එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන සාමාජිකයන් 12 සිට 23 දක්වා පිරිසකගෙන් සමන්විත මහ ජූරි සභාවක් විසින්, අපරාධයක් සඳහා පුද්ගලයෙකුට චෝදනා කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තියෙනවාද නැද්ද කියා තීරණය කරනු ලබනවා. ඒ හා සමානව, මරණ පරීක්ෂණයකදී (මරණ පරීක්ෂණ ජූරිය), අපරාධයක් කරලා තියෙනවාද නැද්ද කියා තීරණය කිරීම සඳහා ජූරි සභිකයන් පරෙස්සමින් සාක්ෂි සලකා බලයි.

ජූරි සභාවක් ගැන සිතන විට, බොහෝදෙනෙකුගේ මනසේ තියෙන්නේ, සිවිල් ආරවුලකට හෝ අපරාධ නඩුවකට අදාළ සාක්ෂිවලට සවන් දී වරදකාරිත්වය හෝ නිර්දෝෂභාවය තීරණය කිරීම සඳහා නඩු විභාගයක පෙනී සිටින පුරවැසියන් 12දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගැනයි. මෙය මහ ජූරියකට වඩා වෙනස් වන සුළු ජූරියක්. සාමාන්‍යයෙන් කෙරෙන්නේ, ඡන්ද දායකයන්ගේ, බලපත්‍රලාභී රියැදුරන්ගේ හෝ ඒ හා සමාන වෙනත් අයගේ ලැයිස්තුවලින් තෝරාගත් පුද්ගලයන්ට, ජූරි සභාවේ රාජකාරිය කිරීම සඳහා පෙනී සිටින ලෙස අදාළ අධිකරණය විසින් නිවේදන යැවීමයි. අපරාධවලට වගකිව යුත්තන් හැටියට හා මානසිකව නුසුදුසුයයි ඔප්පු වන පුද්ගලයන් වැනි අයව ඉබේම ඒ සඳහා නුසුදුස්සන් බවට පත් වෙන්න පුළුවන්. වෛද්‍යවරුන්, පූජකයන්, නීතිඥයන් හෝ කුඩා ව්‍යාපාර හිමියන් වැනි වෙනත් පුද්ගලයන් දේශීය නීතිය ඉඩ දෙන පරිදි, ජූරි සභිකයෙකුගේ රාජකාරියෙන් නිදහස් කරන්න කියා ඉල්ලා සිටින්න පුළුවන්. (පෞද්ගලික දේවලට පමණක් දැඩි සේ සීමා වී සිටින නිසාත්, ජූරි සභාවක සිදු වන කටයුතු තම හෘද සාක්ෂිය මගින් ප්‍රතික්ෂේප කරන නිසාත්, සමහර අයව එයින් නිදහස් කරන්න පුළුවන්.) කොහොම වුණත්, හැම කෙනෙක්ම ජූරි සභාවක රාජකාරිය කරන්න, සමහරවිට අවුරුදු ගණනාවක්ම නිතර නිතර එසේ කරන්න බැඳී සිටීමට හැකි වෙන විදිහට, එම වගකීමෙන් නිදහස් කිරීම් ඉවත් කිරීම අධිකාරින් විසින් වැඩි කරමින් සිටිනවා. සමහර අවස්ථාවලදී අදාළ නඩු විභාගය පවතින අවුරුදුවල නිතර නිතර වාර්තා කිරීමට සිදු වෙන්න පුළුවන්.

ජූරි සභාවක රාජකාරිය සඳහා වාර්තා කරන හැම කෙනෙක්ම නඩු විභාගයකදී ජූරි සභිකයන් හැටියට සෑම අවස්ථාවකදීම කටයුතු කරන්නේ නැහැ. ජූරි සභාවක රාජකාරිය කිරීම සඳහා කැඳවා තිබෙන පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් අතුරින්, යම් විශේෂ නඩු විභාගයක් සඳහා යොදවාගැනීමට ඉඩ තිබෙන අයව ජූරි සභිකයන් හැටියට අහඹු ලෙස තෝරාගන්නවා. ඉන්පසු, විනිසුරු නඩුවේ අදාළ පාර්ශ්වයන් හා ඔවුන්ගේ නීතිඥවරුන්ව හඳුන්වා දී, නඩුවේ ස්වභාවය විස්තර කරනවා. විනිසුරු සහ නීතිඥවරුන් විසින් ජූරි සභිකයන් හැටියට කටයුතු කිරීමට ඉඩ කඩ තියෙන හැම කෙනෙක්වම පරීක්ෂා කරනු ලබනවා. නඩුවේ ස්වභාවය නිසා ජූරි සභිකයෙකු හැටියට කටයුතු කිරීමට පුද්ගලයෙකුට තම හෘද සාක්ෂිය ඉඩ නොදෙන හේතු තිබේ නම්, ඒ ගැන තම අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අවස්ථාව මෙයයි.

අදාළ නඩුව විභාග කරන අවස්ථාවේදී පෙනී සිටීමට නියමිත සංඛ්‍යාව දක්වා කණ්ඩායම අඩු කරන්න සිදු වෙනවා. අදාළ නඩුවේ එක් පැත්තකට වැඩි සැලකිල්ලක් දැක්වීමට ඉඩ තිබෙන නිසා, අපක්ෂපාතිත්වය ගැන සැකයක් මතු වන ඕනෑම කෙනෙකුව විනිසුරු විසින් ජූරි සභාවෙන් ඉවත් කර දමන්න යනවා. ඒ වගේම, ජූරි සභිකයන් කිහිපදෙනෙකුව ඉවත් කර දැමීම සඳහා දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ට විශේෂ බලතල තියෙනවා. එම ජූරි සභාවෙන් ඉවත් කර දැමූ කෙනෙක්, වෙනත් නඩුවලට අහඹු ලෙස තෝරාගන්නා තෙක් ජූරි කණ්ඩායමට වී බලා සිටියි. සමහර ක්‍රිස්තියානීන් අවිධිමත්ව සාක්ෂිදැරීම සඳහා මේ කාලය යොදාගෙන තියෙනවා. දවස් ගණනකට පසු, ඇත්තටම ජූරි සභිකයෙක් ලෙස කටයුතු කළත් නැතත්, ජූරි සභිකයෙකු හැටියට පුද්ගලයෙකුගේ රාජකාරිය සම්පූර්ණ වෙනවා.

‘තමන්ගේම කාරණා බලාගැනීමට’ මිසක් “අනුන්ගේ කාරණාවලට” පැටලෙන්නේ නැතුව ඉන්න ක්‍රිස්තියානීන් දැඩි ලෙස උත්සාහ කරනවා. (1 තෙසලෝනික 4:12; 1 පේතෘස් 4:15) උරුමය හා සම්බන්ධ කාරණාවක් විනිශ්චය කරන්න කියා යුදෙව්වෙක් යේසුගෙන් ඉල්ලා සිටි විට, ඔහු මෙසේ කියමින් ඊට ප්‍රතිචාරය දැක්වුවා: “මනුෂ්‍යය, නුඹලා කෙරෙහි විනිශ්චයකාරයෙකු නොහොත් බෙදන්නෙකු කොට මා පත්කළේ කවුද?” (ලූක් 12:13, 14) යේසු ආවේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න මිසක්, නීතිමය කාරණා සමථයකට පත් කරන්න නොවෙයි. (ලූක් 4:18, 43) යේසු දුන් උත්තරයෙන්, දෙවිගේ ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙන විදිහට ආරවුල් විසඳගන්න ඒ මනුෂ්‍යයා පෙලඹෙන්නට ඇති. (ද්විතීය කථාව 1:16, 17) ඒ වගේ හේතුවලට වලංගුතාවක් තිබුණත්, ජූරි සභාවක රාජකාරිය සඳහා වාර්තා කරන්න කියා කරන නියෝගයට ප්‍රතිචාරය දැක්වීම, යමෙක් අනිත් අයගේ කාරණාවලට පැටලීමට වඩා වෙනස්. එය දානියෙල්ගේ මිත්‍රයන් තුන්දෙනා මුහුණ දුන් තත්වයට හුඟක් දුරට සමානයි. දූරා සමභූමියෙහි පෙනී සිටින්න කියා බබිලෝනීය ආණ්ඩුව විසින් ඔවුන්ට අණ කළ අතර, ඔවුන් එසේ කිරීම දෙවිගේ ව්‍යවස්ථාව කඩ කිරීමක් වුණේ නැහැ. බයිබලයේ පැහැදිලි කරන විදිහට, ඉන්පසුව ඔවුන් කළ දෙය වෙනම කාරණයක්.—දානියෙල් 3:16-18.

දෙවිගේ සේවකයන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට යටත් වීම තවදුරටත් අවශ්‍ය නොවීමෙන් පසු, ඔවුන්ට විවිධ දේශවලදී ලෞකික අධිකරණ සමඟ කටයුතු කරන්න සිදු වුණා. මත භේද සභාව ඇතුළතම සමථයකට පත් කරගන්න කියා ප්‍රේරිත පාවුල් කොරින්තියේ සිටි “ශුද්ධවන්තයන්[ගෙන්]” ඕනෑකමින් ඉල්ලා සිටියා. ලෞකික අධිකරණවල සිටින විනිසුරුවන්ව “අධර්මිෂ්ඨයන්” හැටියට යොමු දැක්වුවත්, ලෞකික කාරණා හැසිරවීමේදී ඒවාට නිසි තැනක් හිමි වී තිබූ බව පාවුල් ප්‍රතික්ෂේප කළේ නැහැ. (1 කොරින්ති 6:1) තමාගේ නඩුව කායිසර්ට යොමු කරන මෙන් ඉල්ලා සිටිමින්, රෝම අධිකරණය ඉදිරියෙහි ඔහු විසින්ම තමාට ඉදිරිපත් කළ චෝදනා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා. ලෞකික අධිකරණ සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්ව තිබුණා නම් ඔහු එහෙම කරන්නේ නැහැ.—ක්‍රියා 24:10; 25:10, 11.

ලෞකික අධිකරණ, “බලයලත් මුලාදෑනීන්” විසින් පිහිටුවා තිබෙන දෙයක්. “දෙවි විසින් ඒවායේ සාපේක්ෂ තත්වයන්හි [ඒවා] පිහිටුවා තිබෙන [NW]” අතර, ඔවුන් නීති සාදා ඒවා ක්‍රියාත්මක කරයි. පාවුල් මෙහෙම ලිව්වා: “නුඹට යහපත පිණිස ඔහු [දෙවිගේ] සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු [දෙවිගේ] සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.” ‘විරුද්ධව සිටීමෙන්’ විනිශ්චය තීන්දුවකට යටත් වෙන්න ඔවුන්ට වුවමනා නොකරන නිසා, බලය ලත් අධිකාරින් විසින් එවන් නීති ක්‍රියාත්මක කරන විට ක්‍රිස්තියානීන් “මුලාදෑනිකමට විරුද්ධ” නොවෙයි.—රෝම 13:1-4; තීතස් 3:1.

අදාළ සාධක පරෙස්සමින් සැලකිල්ලට ගැනීමේදී, කායිසර් විසින් කරන යම් ඉල්ලීම්වලට යටත් වෙනවාද නැද්ද කියන එක ක්‍රිස්තියානීන් සලකා බැලිය යුතුයි. පාවුල් මෙසේ උපදෙස් දුන්නා: “සියල්ලන්ට [බලය ලත් අධිකාරීන්ට] දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න.” (රෝම 13:7) මූල්‍යමය බදු හා සම්බන්ධයෙන්ද මෙය අදාළ වන බව පැහැදිලියි. (මතෙව් 22:17-21) මාර්ග පිරිසිදු කිරීම හෝ කායිසර් විසින් නියම කරන කාර්යයන් අතර තිබෙන අනෙක් වැඩ කිරීම සඳහා තම කාලය සහ ශ්‍රමය යෙදවිය යුතුයි කියා කායිසර් කියනවා නම්, ඊට යටත් වෙනවාද නැද්ද කියන එක ගැන සෑම ක්‍රිස්තියානියෙක්ම තීරණය කළ යුතුයි.—මතෙව් 5:41.

ජූරි සභිකයෙකු හැටියට කටයුතු කිරීම, කායිසර්ට අයිති දේ කායිසර්ට පිරිනැමීම හා සම්බන්ධව පවතින දෙයක් ලෙස සමහර ක්‍රිස්තියානීන් සලකා තියෙනවා. (ලූක් 20:25) ජූරි සභාවක රාජකාරියට අයත් කාර්යය වන්නේ, සාක්ෂිවලට සවන් දී, අදාළ සිද්ධිය හෝ නීතියට සම්බන්ධ කරුණු ගැන අවංක විනිශ්චයක් ඉදිරිපත් කිරීමයි. උදාහරණයක් හැටියට, මහ ජූරි සභාවකදී නම් නඩු විභාගය සම්බන්ධයෙන් යමෙක් ඉදිරිපත් කරන සාක්ෂි වලංගුද නැද්ද කියන එක තීරණය කරයි; වරදකාරිත්වය ඔවුන් තීන්දු කරන්නේ නැහැ. සාමාන්‍ය නඩු විභාගයක් ගැන කියන්න පුළුවන් වෙන්නේ මොනවාද? සිවිල් නඩුවකදී, හානිය හෝ වන්දිය නියම කරන්නේ ජූරි සභාව වෙන්න පුළුවන්. අපරාධ නඩුවකදී, වරදකරු බවට තීන්දු කිරීමට අදාළ සාක්ෂි සහය දක්වනවාද කියන එක තීරණය කරන්න සිදු වන්නේ ඔවුන්ටයි. ව්‍යවස්ථාවෙන් නියම කර තියෙන මොන දඬුවමද දිය යුත්තේ කියන එක සමහර අවස්ථාවලදී ඔවුන් නිර්දේශ කරනවා. ඉන්පසු, “නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස” හෝ “නපුර කරන්නන්ට දඬුවම පිණිස” ආණ්ඩුව තමන්ගේ බලතල පාවිච්චි කරනවා.—1 පේතෘස් 2:13.

යම් ජූරි සභාවක සාමාජිකයෙකු හැටියට කටයුතු කිරීමට තමාගේ හෘද සාක්ෂිය මගින් ඉඩ නොදෙන බව ක්‍රිස්තියානියෙකුට හැඟෙයි නම්, ඒ ගැන කියන්න පුළුවන් මොනවද? ජූරි සභාවක කටයුතු කිරීම ගැන බයිබලයේ සඳහන් කරන්නේ නැහැ; ඒ නිසා ඔහුට කියන්න බැහැ, ‘ඕනෑම ජූරි සභාවක සේවය කරන එක මාගේ ආගමට විරුද්ධ දෙයක්’ කියලා. අදාළ නඩුව මත පදනම්ව, ඔහුට කියන්න පුළුවන්, යම් විශේෂ නඩු විභාගයක් සඳහා කැඳවන ජූරි සභාවක සාමාජිකයෙකු හැටියට කටයුතු කිරීම, තමාගේ පෞද්ගලික හෘද සාක්ෂියට විරුද්ධ බව. යම් නඩුවක් නිකම්ම ලෞකික නීතිය මගින් නොව, බයිබල් දැනුම මගින් පුහුණු කර තියෙන තමාගේ සිතුවිලි හා සම්බන්ධව පවතින ලිංගික දුරාචාරය, ගබ්සාව, මිනිමැරුම හෝ වෙනත් ගැටලුවක් හා සම්බන්ධව පවතී නම් එය එසේ විය හැකියි. කොහොම වුණත්, සැබෑ තත්වයකදී, ඔහුව තෝරාගත් නඩු විභාගය එවන් ගැටලු හා සම්බන්ධව පැවතීමට බොහෝදුරට ඉඩ කඩ තියෙනවා.

විනිසුරුවන් විසින් නියම කළ දඬුවමට තමා යම් විදිහකින් වගකීමෙන් බැඳී සිටිනවාද නැද්ද කියන දෙය මේරූ ක්‍රිස්තියානියෙක් සලකා බලයි. (සසඳන්න උත්පත්ති 39:17-20; 1 තිමෝති 5:22.) වරදකරු බවට නියම කළ තීන්දුවක යම් වරදක් තිබේ නම් හා මරණ දඬුවම පනවා තිබේ නම්, එම තීන්දුව දුන් ජූරි සභාවේ සාමාජිකයෙක්ව සිටි ක්‍රිස්තියානියෙක් ලේවල වරදට හවුල් වනු ඇද්ද? (නික්මයාම 22:2; ද්විතීය කථාව 21:8; 22:8; යෙරෙමියා 2:34; මතෙව් 23:35; ක්‍රියා 18:6) යේසුගේ නඩු විභාගයේදී, “මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන . . . නිදොස්වෙ[න්න]” පිලාත්ට වුවමනා වුණා. යුදෙව්වෝ සිය කැමැත්තෙන්ම මෙහෙම කිව්වා: “ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේ[වා].”—මතෙව් 27:24, 25.

ආණ්ඩුව විසින් කළ නියෝගයට අනුව, ක්‍රිස්තියානියෙක් ජූරි සභාවේ රාජකාරියට වාර්තා කර, විනිසුරු බලවත් ලෙස ඉල්ලා සිටියද, යම් විශේෂ නඩුවකට සහය දැක්වීම තමාගේ පෞද්ගලික හෘද සාක්ෂිය මගින් ඉඩ නොදීම හේතුවෙන්, දඩ මුදලක් ගෙවීම හෝ සිර දඬුවමකට යටත් වීම හෝ වේවා එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ඔහු සූදානමින් සිටිය යුතුයි.—1 පේතෘස් 2:19.

අවසාන වශයෙන් කාරණා විභාග කර බැලීමේදී, ජූරි සභාවක රාජකාරිය කිරීම හා සම්බන්ධ කාරණයට මුහුණ දී සිටින සෑම ක්‍රිස්තියානියෙක්ම, බයිබලය පිළිබඳ ඔහුගේ අවබෝධය හා ඔහුගේම පෞද්ගලික හෘද සාක්ෂිය මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියා තීරණය කළ යුතුයි. සමහර ක්‍රිස්තියානීන් ජූරි සභාවේ රාජකාරිය සඳහා වාර්තා කර, සමහර ජූරි සභාවල සේවය කර තියෙනවා. දඬුවම් පැමිණවීම හමුවේ පවා ප්‍රතික්ෂේප කිරීමට තමන් තුළ දැඩි පෙලඹීමක් ඇති වන බව වෙනත් අයට හැඟී ගොස් තිබෙනවා. තමා කරන්න යන්නේ මොනවාද කියන එක සෑම ක්‍රිස්තියානියෙකුටම තීරණය කරන්න සිදු වෙන අතර, අනිත් අය ඔහුගේ තීරණය විවේචනය නොකළ යුතුයි.—ගලාති 6:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න