“ට්‍රය’හි ශුද්ධ ලෝගුව”
අවුරුදු 2,000ක් දක්වා දිවයන ඉතිහාසයක් තිබෙන නගරයක් වන ට්‍රය’, ජ’මනියේ පැරණිතම නගරයයි.a සියවස් ගණනාවක් පුරා ට්‍රය’ කතෝලික පල්ලිය සමඟ බලවත් ලෙස සබඳකම් පවත්වා තිබුණා. වර්ෂ 1996දී, ට්‍රය’හි ප්‍රධාන දෙව් මැදුර එම නගරය තරම්ම පැරණියයි කියනු ලබන පූජා වස්තුවක් ප්‍රදර්ශනය කළා. එය ට්‍රය’හි ශුද්ධ ලෝගුව නමින් හඳුන්වනු ලබනවා.
එම ලෝගුවේ දිග මීටර් 1.57ක් වන අතර, එය මීටර් 1.09ක් පළලය; එමෙන්ම එහි අත් වැලමිට ගාවට කපා තියෙනවා. එය කපු රෙදිවලින් මසා තිබෙන අතර, වාල්ෆා’ට්ස්ෆ්‍යූර’ ට්‍රය’ උන්ට් උම්ගෙබුං (ට්‍රය’ හා එහි අවට ප්‍රදේශවල වන්දනා ගමනකට මාර්ගෝපදේශ) යන හාන්ස්-යෝඅකිම් කාන්ගේ පොතට අනුව එය පිටත වස්ත්‍රයක් හැටියට අඳිනු ලැබූ එකක් වෙන්න පුළුවන්. ඇතැම් තක්සේරුවල මෙම මුල් වස්ත්‍රය, දෙවන හෝ පළමුවන සියවස තරම් ඈතට දිවයන දින ගණනය කරලා තියෙනවා—නමුත් මෙයින් වැඩි කොටසක් සියවස් ගණනාව පුරා වෙනත් රෙදිපිළිවලින් අලුත්වැඩියා කරලා නැවත ශක්තිමත් කර තියෙනවා. මෙම දින ගණනය නිවැරදි නම්, මෙය ඉතා දුර්ලභ ඇඳුමක් වනු ඇති අතර, උනන්දුව දනවන කෞතුක වස්තුවක්ද වනු ඇත.
කෙසේවෙතත්, ඇතැම් අය තරයේ කියා සිටින්නේ, මෙම වස්ත්‍රය දුර්ලභ දෙයක් වෙනවා පමණක් නොව, නමුත් ශුද්ධ දෙයක්ද වන බවයි; ඒ නිසා එයට ශුද්ධ ලෝගුව යන නම පටබැඳිලා තියෙනවා. මෙය මෙසේ වන්නේ, එය යේසුස් ක්‍රිස්තුස් විසින් අඳින ලද මූට්ටු නොකරන ලද ඇතුල් වස්ත්‍රයට සමාන වන නිසයි. (යොහන් 19:23, 24) “ශුද්ධ ලෝගුව” ඇත්තටම මෙසියස්ට අයිති වූවක් බව ඇතැම් අය කියා සිටිනවා.
ලෝගුව ට්‍රය’ වෙත පැමිණි ආකාරය තවමත් සැක සහිත දෙයකි. එය “අධිරාජ්‍ය බිසව වූ හෙලනා, එනම් මහා කොන්ස්ටන්ටයින්ගේ මව විසින් නගරයට පරිත්‍යාග කරනු ලැබූ බව” එක් ආශ්‍රේය කෘතියක් සඳහන් කරයි. ලෝගුව ට්‍රය’හි තිබුණු බවට තියෙන මුල්ම විශ්වාස කටයුතු වාර්තාව ලැබුණේ 1196දී බව කාන් ප්‍රකාශ කරයි.
ප්‍රධාන දෙව් මැදුරේ තැන්පත් කර තිබෙන ලෝගුව, 16වන සියවසේ පටන් කාලෙන් කාලෙට ප්‍රදර්ශනය කරනු ලැබුවා. නිදසුනක් වශයෙන්, මෙය 1655දී කරනු ලැබුවා; එනම් ට්‍රය’ නගරයට බෙහෙවින් වියදම් සහිත වූ තිස් අවුරුදු යුද්ධයෙන් පසුවයි. වන්දනාව මතකයේ තබාගැනීම සඳහා සිහිවටන විකිණීමෙන් ක්‍රමක්‍රමයෙන් මහත් ආදායමක් උපයාගෙන තියෙනවා.
මෙම සියවස තුළ “ශුද්ධ ලෝගුව” නැරඹීමට වන්දනා ගමන් තුනක් තිබිලා තියෙනවා—එනම් 1933දී, 1959දී හා 1996දී. වර්ෂ 1933දී, වන්දනා ගමන නිවේදනය කරනු ලැබුවේ, හිට්ල’ව ජ’මානු රයික් ආණ්ඩුවේ චාන්සලර්වරයෙක් හැටියට පත් කළ දවසේදීමයි. එකම දිනයේ මේ සිදුවීම් දෙකම අහම්බෙන් සිදුවීම, වන්දනා ගමන හා බැඳි තත්වය කැපීපෙනෙන්ට සලස්වන බව කාන් සඳහන් කරයි. නිල ඇඳුමෙන් සැරසුණු නාට්සි හමුදා බල ඇණි ප්‍රධාන දෙව් මැදුරෙන් පිටත සිටින වන්දනාකරුවන් සඳහා හමුදා ආචාර පෙළපාලියකින් සැදී සිටියා. එම අවුරුද්දේදී, මනුෂ්‍යයන් මිලියන දෙකහමාරක් එම වස්ත්‍රය නැරඹුවා.
අවුරුදු ගණනාවක් ට්‍රය’හි පදිංචි වී සිටි හ’බට් නම් පුද්ගලයෙක්, 1959 හා 1996 වන්දනා ගමන් දෙක සැසඳීමකට භාජන කළා. “වර්ෂ 1959දී, සෑම මංසන්ධියකම වාගේ සිහිවටන විකුණන කඩ කාමර තිබුණු අතර, වීථි සෙනඟගෙන් පිරිලා තිබුණා. මේ අවුරුද්දේ, හැම දෙයක්ම ගොඩාක් නිශ්ශබ්දයි.” ඇත්තටම කිව්වොත්, 1996දී වස්ත්‍රය නැරඹුවේ 7,00,000ක් පමණි; එය 1959දී නැරඹූ සංඛ්‍යාවට වඩා මිලියනයකින් අඩුය.
ලෝගුව නැරඹීමට ඔවුන් යන්නේ මන්ද?
එම වස්ත්‍රය, පිදුම් ලැබිය යුතු දෙයක් හැටියට නොසැලකිය යුතු බව පල්ලිය අවධාරණය කරනවා. මූට්ටු නොකරන ලද වස්ත්‍රය සලකනු ලබන්නේ, පල්ලියේ එක්සත්භාවයේ සංකේතයක් වශයෙනි. වන්දනා ගමන පිළිබඳව නිවේදනය කරන විට ෂිපීටාල් බිෂොප්වරයා මෙසේ පැවසූ බව ෆ්‍රැක්ෆුර්ට්‍ර ඇල්ගෙමයින් ට්සයිටු වාර්තා කරයි: “අපේ ලෝකයේ පවතින අසාමාන්‍ය තත්වය හින්දා, අසීරු පිළිතුරු දීමේ අභියෝගයට ක්‍රිස්තියානීන් වන අපි ලක් වෙනවා. වැඩි වශයෙන් සිදු වී තියෙන වෛරය, කුරිරුකම හා සාහසිකකමට විරුද්ධව නැඟී සිටීමට අපට සිදු වෙනවා.” සළුව නැරඹීම, කෙනෙකුට එක්සත්කම පිළිබඳව මතක් කරයි කියලා බිෂොප්වරයා පැහැදිලි කළා.
එහෙත් පල්ලියේ එක්සත්කම ගැන මතක් කර දීමට කෙනෙකුට “ශුද්ධ ලෝගුව” අවශ්‍ය වන්නේ මන්ද? ලෝගුවට හානි සිදු වුවහොත්, කොටස්වලට කැඩී ගියහොත්, එසේ නැතහොත් වංචාවක් බවට එළිදරව් කරනු ලැබුවොත් කුමක් වනු ඇද්ද? එවිට පල්ලියේ එක්සත්භාවය අන්තරාවට ලක් වනු ඇද්ද? ට්‍රය’වලට වන්දනා ගමනක යෙදිය නොහැකි මනුෂ්‍යයන් ගැන කුමක් කියන්න පුළුවන්ද? පල්ලිය තුළ එක්සත්භාවය පවත්වාගැනීම සම්බන්ධයෙන් ඔවුන් දක්වන්නේ අඩු සැලකිල්ලක්ද?
මුල් ක්‍රිස්තියානීන්ට ක්‍රිස්තියානි එක්සත්කම මතක් කර දීම සඳහා යම් වස්තු අවශ්‍ය වූ බව ශුද්ධ ලියවිලිවල කිසිදු සඳහන් කිරීමක් නොකරයි. ඇත්තවශයෙන්ම, ප්‍රේරිත පාවුල් මෙම වචන සමඟින් ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවා: “අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.” (2 කොරින්ති 5:7) ඒ හේතුවෙන් සැබෑ ක්‍රිස්තියානීන් භුක්ති විඳින එක්සත්කම, විස්තර කර තිබෙන්නේ, ‘ඇදහිල්ලේ ඒකත්වයක්’ ලෙසටයි.—එපීස 4:11-13.
[පාදසටහන්වල]