සිරගෙයි සිටින්නාවුන්ට ආත්මික නිදහස ගෙන දීම
“අපි ඕගොල්ලෝ එනකං බලාගෙන හිටියා.” “පහුගිය දවස් ටිකේ, ඕගොල්ලන් මෙහේ එන එක මම හීනෙනුත් දැක්කා.” “අපිව නිතරම ඇවිල්ලා බලලා යන්න කාව හරි පත් කෙරුවට ගොඩාක් ස්තූතියි.” “අපි ලබන්න වටින්නේ නැති වුණත් යෙහෝවාගෙන් අපිට ලැබෙන හැම ආශීර්වාදයකටමත් එයාගේ සංවිධානය නියම වෙලාවට දුන්න ආත්මික ආහාරවලටත් අපි ස්තූති වෙන්න කැමතියි.”
මෙවැනි කෘතඥපූර්වක වදන්වලට හේතුව කුමක්ද? මේවා මෙක්සිකෝවේ විවිධ සිරගෙවලට සීමා වෙලා ඉන්න අයගෙන් ලැබුණු වදන් සමහරකි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් ඔවුන්ට ලැබෙන අවධානය ඔවුන් අගය කරන අතර, එතුළින් සිරගෙය තුළදීම ආත්මික නිදහස ඔවුන්ට ලැබී තියෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්, මෙක්සිකෝවේ බන්ධනාගාර 42කට සීමා වෙලා ඉන්න අයගේ ආත්මික අවශ්‍යතාවන්වලට නොකඩවා ආවතේව කරනවා. මෙම ස්ථානවලට කියන්නේ සෙන්ත්රො රෙයාඩප්·තස්ʹයොන් සොස්ʹයල් (සාමාජීය පුනරුත්ථාපන මධ්‍යස්ථාන) කියලයි. මේ සිරගෙවල් සමහරක ක්‍රිස්තියානි රැස්වීම්ද නිතිපතා පවත්වනවා; තවද එයින් හොඳ ප්‍රතිඵලද නෙළාගෙන තියෙනවා. උදාහරණයක් හැටියට, ළඟදී කළ එක් ගණන් කිරීමකදී, මේ ස්ථානවල මිනිසුන් 380ක් රැස්වීමට සහභාගි වෙමින් හිටියා. ඒ අවස්ථාව වන විට සාමාන්‍යයෙන් බයිබල් පාඩම් 350ක් විතර පවත්වමින් හිටියා. තිස්හත්දෙනෙක් දේශනා සේවය පටන්ගන්න සුදුසුකම් ලබා තිබූ අතරම තිස්දෙදෙනෙක් තමන්ගේ ජීවිත යෙහෝවාට කැප කරලා, මෙය වතුර බව්තීස්මයෙන් සංකේතවත් කරලා තිබුණා.
වැඩය කරන අයුරු
මේ ස්ථානවල යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ දේශනා කිරීමේ වැඩය කරගෙන යන්නේ කොහොමද? පළමුව ඔවුන් වැඩකටයුතු බලාකියාගන්න බලධාරීන් හමු වෙලා, සිරගෙට ඇතුල් වීම සඳහා ලිඛිත අවසරපතකට අයැදුම් කර, මෙම බැහැදැකීම්වල අරමුණ පැහැදිලි කරනවා—එනම් සිරකරුවන්ට තමන්ගේ ජීවිතයේ ගුණය වැඩිදියුණු කරගෙන දෙව්ට සතුටු වන අන්දමින් සේවය කරන්නේ කොහොමද යන්න කියා දීමටයි.
මේ හැම අවස්ථාවකදීම අධිකාරීන් ඔවුන්ගේ අවසරය දී තියෙනවා. සිරකරුවන්ට ඉදිරිපත් කෙරෙන බයිබලයේ උපදෙස්, මෙම බලධාරීන් අගය කරනවා. මෙම ස්ථානවල පනවා ඇති ආරක්ෂිත රෙගුලාසිවලට යෙහෝවාගේ සාක්ෂිකරුවන් යටත් වන බව සිරගෙයි අධිකාරීන්ගේ අවධානයට යොමු වෙලා තියෙනවා. මෙම බැහැදකින උපස්ථායකයන්ට ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීම සඳහා, කාර්යාල, කෑම කාමර හා කම්මල් පාවිච්චි කරන්න ඉඩ දී තිබෙනවා. එක ස්ථානයක සාක්ෂිකරුවන්ට රාජ්යශාලාවක් ගොඩනඟන්නත් අවසර ලැබුණා. ගිනිකොනදිග මෙක්සිකෝවේ සංචාරක අවේක්ෂකයෙක් පැවසූ පහත දැක්වෙන අද්දැකීමෙන් මෙය පෙනී යනවා.
“එක්දහස් නවසිය අනූඑකේ මුල්භාගයේදී ටෙවාන්·ට·පෙක්, වහාකාවල, සිරගෙයක් බැහැදකින්න ගිය වෙලාවේදී, එහෙ ආත්මික සාගින්නක් තියෙනවා කියලා අපිට තේරුණා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා, අපිට බයිබල් පාඩම් 27ක් පටන්ගන්න පුළුවන් වුණා. සිරගෙදර ඉන්න අයට තිබුණ උනන්දුව නිසා සභාරැස්වීම් පහක් පවත්වන්න සැලසුම් කෙරුවා. යෙහෝවාට පුදුම ප්‍රේමයක් පෙන්වපු එක සිරකරුවෙක්, රැස්වීම් පවත්වන්න පුළුවන් වෙන්න සිර භූමිය තුළ රාජ්යශාලාවක් ගොඩනඟන්න තීරණය කළා. එයා සිරගෙයි ප්‍රධානියා ළඟට ගිහිල්ලා මේ දේ කරන්න අවසරය ඉල්ලුවා; ඒ වගේම අධිකාරීනුත් බොහොම සහයෝගයෙන් කටයුතු කළා. එක්දහස් නවසිය අනූදෙකේ දෙසැම්බර් මුල හරියේදී, ශුභාරංචියේ ප්‍රචාරකයන් හැටියට සිරකරුවන් හයදෙනෙක් සුදුසුකම් ලැබුවා. දකින්න තිබුණ ප්‍රගතිය නිසා සිරගෙය ඇතුළේ සිහි කිරීමේ උත්සවය පවත්වන්න කටයුතු සැලසුම් කළා. සංකේත, ඒ කියන්නේ රොටියි, මුද්රිකපානයයි ගේන්න, සිරගෙයි ප්‍රධානියාගෙන් අවසරය ඉල්ලුවා; ඉතින් පැය හතරක සංවාදයකට පස්සේ අවසරය දුන්නා.
“හැබැයි හරියටම එක්දහස් නවසිය අනූතුනේ, අප්‍රියෙල් තුන්වෙනිදා (සිහි කිරීමේ උත්සවයට දවස් තුනකට ඉස්සෙල්ලා) සමහර සිරකරුවන්ව නිදහස් කළා. ප්‍රචාරකයෙක් වෙලා හිටපු එක් කෙනෙක්ට මුදාහැරීමේ පත්‍රය ලැබුණාම, එයාට සිහි කිරීමේ උත්සවය ඉවර වෙනකං ඉන්න අවසර ලබාගන්න, සිරගෙයි ප්‍රධානියාට කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මේක අහලා ප්‍රධානියා පුදුම වුණා; මොකද මේක සාමාන්‍ය ඉල්ලීමක් නෙවෙයිනෙ; හැබැයි සිරගෙයි තියන්න යන සිහි කිරීමේ උත්සවය ගැන සිරකරුවාට තියෙන උනන්දුව දැකලා, එයා අවසර දුන්නා. සිහි කිරීමේ උත්සවයට 53දෙනෙක් ඇවිල්ලා හිටියා; ඉතින් වැඩසටහන ඉවර වෙද්දී ඒගොල්ලන්ගේ ඇස්වල සතුටු කඳුළු පිරිලා තිබුණා. අපි මේ කට්ටියට ‘නිදහස් සෙරේʹසො’ කියලා කියන්න තීරණය කළා; මොකද මේගොල්ලන් ආත්මික අතින් ගත්තොත් නිදහස්නෙ.”
මෙම ස්ථානවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය බොහෝ සෙයින් අගය කොට සලකනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණීම සිරකරුවන්ගේ වේගවත් පුනරුත්ථාපනයට “ප්‍රතිකර්මයක්” ලෙස, මේ බන්ධනාගාරවලින් එකක් භාරව ඉන්න තැනැත්තා ප්‍රසිද්ධියේ අනුමත කළා.
සාර්ථක පුනරුත්ථාපන වැඩසටහනක්
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මෙම ක්‍රියාකාරකම, සිරකරුවන් බොහෝදෙනෙක්ගේ සම්පූර්ණ පුනරුත්ථාපනයට හේතු වෙලා තියෙනවා. සිරකරුවන්ව නිදහස් කිරීමෙන් පසුව, ඔවුන් නැවත සැහැසියාවේ ජීවිත ක්‍රමයකට හැරී යන එක බොහෝවිට සත්‍යයක් වුණත්, දේවවචනයේ පණිවිඩය සත්‍යවශයෙන්ම පිළිගෙන ඇති අය තමන්ගේ ජීවිත සම්පූර්ණ වෙනසකට ලක් කර තියෙනවා. ඔවුන්ගේ විපර්යාසය අපට පාවුල්ගේ වචන සිහි කරවයි: “වේශ්‍යාකම්කරන්නෝවත් . . . සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය. නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මය . . . තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.”—1 කොරින්ති 6:9-11.
ඔවුන් තමන්ගේ හැඟීම් පළ කරන විට, ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ සිදු වී ඇති පුදුමාකාර වෙනස හොඳින් පැහැදිලියි. කම්පෙච්·ඡෙ නගරයේ කම්පෙච්·ඡෙ සිරගෙයි ඉන්න මිගෙʹල් එය මේ විදියට කිව්වා: “දෙවන පේතෘස් 3:13 හා මතෙව් 5:5හි වාර්තා වෙලා තියෙන බලාපොරොත්තුව ඇති වෙනත් බැටළුවන්ගෙන් කෙනෙකු හැටියට මාවත් ගණන්ගන්න පුළුවන් කියලා මම අද සන්තෝෂෙන් කියන්න කැමතියි.” කෝබෙන්, කම්පෙච්·ඡෙ සිරගෙයි ඉන්න හොසේ මේ විදිහට අදහස් දැක්වුවා: “මම සිරකාරයෙක් වුණත්, මගේ අපරාධය බොහොම බරපතළ වුණත්, මට තේරෙනවා යෙහෝවා හරිම දයාවන්ත ඒ වගේම මගේ යාච්ඤාවලටයි කන්නලව්වලටයි ඇහුම්කන් දෙන කෙනෙක් කියලා. මගේ වැරදිවලට සමාව දීලා මගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙන කාලයේ, දේවරාජ්‍යය ගැන ශුභාරංචිය බෙදාහරින්න මට අවස්ථාවක් දෙන්න ඔහුට පුළුවන්. දේවරාජ්‍යයේ පොරොන්දුවලින් අපිට ප්‍රයෝජන ලබන්න පුළුවන් වෙන විදිහට අපිව ඇවිල්ලා බලලා යන්න කාලය ගත්ත එක ගැන අපේ වැඩිමහල්ලන්ට බොහොම ස්තූතියි. මොනතරං සතුටුදායක ආශීර්වාදයන්ද! මම හිරකාරයෙක් කියලා මට කියන්න පුළුවන්ද? බැහැ, මොකද කිව්වොත් මට ඕන කරන නිදහස යෙහෝවා මට දීලා තියෙනවානේ.”
මිනීමරන්නන්, දූෂකයන්, ගෙවල් ගිනිලන්නන්, සොරුන් හා වෙනත් අයව ප්‍රතිපත්තිගරුක ක්‍රිස්තියානීන් බවට පත් කරවන්නේ මොකක්ද? ඉහත සඳහන් වුණු මිනිසුන්ට අනුව, විපර්යාසයන් කිරීමට දේවවචනය සතු බලය හා සත්‍යවශයෙන්ම භක්තිමත් මිනිසුන් සමඟ කරන හොඳ ආශ්‍රයයි. මෙම පුනරුත්ථාපන වැඩසටහනේ ඇති සාර්ථකත්වය, සීනලො·අ, මසට්ලන් බන්ධනාගාරයට සීමා වෙලා ඉන්න, ටිබුර්ʹස්·යොගේ උදාහරණයෙන් නිදර්ශනය වෙනවා. සීනලො·අ, කොන්කොර්දිʹයාහි බන්ධනාගාරයට සීමා වෙලා හිටි ඔහුට, එහිදී ඔහුගේ කෝපාවිෂ්ටගතිය නිසා ප්‍රශ්න ඇති වුණා. යෙහෝවාගේ සාක්ෂිකාරියක් වූ ඔහුගේ භාර්යාවට, ඔහු කලින් අඩන්තේට්ටම් කළ අතර, ඔහුව බැහැදැකීමට ඇය බන්ධනාගාරයට පැමිණි විටත් ඇයට එසේම කළා. ඇය ඉවසිලිවන්තව කටයුතු කළා; ඒ වගේම ඔහුව බැහැදකින්නත් දිගටම ආවා; එනිසා පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක කියන පොත ගේන්න කියලා ඔහු ඇයට කිව්වා; ගෙනත් දුන්නායින් පස්සේ, ඔහු එය තනියෙන්ම පාඩම් කරන්න පටන්ගත්තා.a ඊට පස්සේ, ඔහු සමඟ පාඩම් කරන්න බන්ධනාගාරයට යම් කෙනෙක් එවන්න කියලා ඔහු ඉල්ලා සිටියා. ඔහු ආත්මික ප්‍රගතියක් ලබන්න පටන්ගත් අතරම, වෙනත් අය එක්ක ඔහු පවත්වන සම්බන්ධතාවන් යහපත් අතට හැරුණා. ඔහුව බයිබලය පාඩම් කරන කණ්ඩායමක් ඉන්න මසට්ලන් සිරගෙට මාරු කළ අතර, ඔහු දැන් ප්‍රචාරකයෙක්. ඔහු මෙසේ තම අදහස් දක්වයි: “දැන්, මගේ නෝනයි, ළමයි ටිකයි ඒ වගේම බන්ධනාගාරෙ ඉන්න යාළුවෝ එක්ක, මෙතනම බයිබල් සත්‍යයන් අහන්න පුළුවන් වෙන එක ගැන මං හරිම සන්තෝසයි. ඒ වගේම හෙට අනිද්දට මාව නිදහස් කරයි කියලා මට හිතෙනවා; එතකොට මට පුළුවන් වෙයි හැම එක්රැස්වීමකටම, හැම රැස්වීමකටම යන්න.”
තවද, කොන්රාදො කියන තැනැත්තා, තමාගේ ජීවිතයේ කරගන්න ලැබුණු වෙනස්වීම් ගැන බොහෝ සෙයින් සන්තෝෂ වෙනවා. ඔහුට විවාහය තුළ කොපමණ ගැටලු තිබුණාද කිවහොත් ඔහුගේ භාර්යාව ඔහුව අතහැර ගියා. එමනිසා ඔහු මත්ද්‍රව්‍යවල පිහිට පැතුවා. කාලය ගෙවී යත්ම ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවට පත් වුණා. මරිජුවානා හා කොකේන් තොගයක් ප්රවාහණය කිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුට සිර දඬුවම නියම කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළ කණ්ඩායමක් සිරගෙයි සිටි අතර, ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන්න ඔහුට ආරාධනා කළා. ඔහු තම අදහස් මෙයාකාරයට දක්වයි: “රැස්වීම් ක්‍රමානුකූලව පවත්වපු විදිහත්, ප්රකාශනවල ආධාරයෙන් කරුණු හොයා බලපු විදිහත්, ඒ වගේම හැම දෙයක්ම බයිබලය මත පදනම් වෙලා තිබුණ නිසාත් මගේ හිතට ඒක අල්ලලා ගියා. ඒ නිසා මම ඒ වෙලාවේම කිව්වා මට බයිබලය පාඩම් කරන්න ඕනෙ කියලා; ඒ වගේම රැස්වීම්වලට පැමිණෙන්නත් පටන්ගත්තා.” එය සිදු වුණේ 1993 ජනවාරි මාසයේදී. දැන් කොන්රාදො සිරගෙයින් නිදහස් වී ඇති අතර, ක්‍රිස්තියානි සභාව තුළ ප්‍රගතිය ලබමින් ඉන්නවා.
ඉස්ʹලස් මරීʹඅස්
මෙක්සිකෝවේ ඉස්ʹලස් මරීʹඅස් ලෙස හඳුන්වන දූපත් හතරකින් යුත් භය උපදවන සිරකඳවුරක් තියෙනවා. සිරකරුවන්ට මෙම දණ්ඩනීය දූපත්වල නිදහසේ සැරිසරන්න පුළුවන්. සමහරු තමන්ගේ අඹුදරුවන් සමඟ එහි ජීවත් වෙනවා.
එහි කුඩා සභාවක් පිහිටුවා තියෙනවා. මසට්ලන් සිට මසකට වතාවක් එතැනට සහෝදරයන් තුන්දෙනෙක් ගමන් කරන අතර, ඔවුන් රැස්වීම් පවත්වන්න උපකාර කරනවා; පොත් පත් සපයනවා; එමෙන්ම දිරිගැන්වීමද ලබා දෙනවා. සමහර අවස්ථාවලදී චාරිකා අවේක්ෂකයා ඔවුන්ව බැහැදකින්න යනවා. විස්සේ සිට 25ක සාමාන්‍යයක් පැමිණෙනවා. බව්තීස්ම ලත් ප්‍රචාරකයන් හතරදෙනෙක් හා බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් දෙදෙනෙක් ඉන්නවා. “සමහර අය ඉරිදා රැස්වීම්වලට එන්න කිලෝමීටර් 17ක් [සැතපුම් 10ක්] ඇවිදිනවා; ඒ වගේම පෙරෙට්ටුවේ නම් කතා කරද්දී හිර කුටියේ ඉන්න ඕනෙ නිසා ඒගොල්ලන්ට රැස්වීම ඉවර වුණ හැටිය යන්න සිද්ධ වෙනවා. ඒත් හයියෙන් ඇවිද්දත්, එතනට යන්න පැය දෙකකට වැඩිය යනවා” කියා සංචාරක අවේක්ෂක වාර්තා කරනවා. එම සිරකඳවුර තුළ සත්‍යය ඉගෙනගත් එක සහෝදරයෙක් පැවසුවේ: “කලින් මම මෙතනින් නිදහස් වෙන්නෙ කොයි වෙලාවෙද කියලා බලං හිටියෙ; හැබැයි දැන් ඒක යෙහෝවාට කැමති වෙලාවක සිදු වුණාදෙං; මොකද කොහොම වුණත් මට මේක ඇතුළේ දැන් ගොඩක් වැඩ කරන්නත් තියෙනවා.”
යෙහෝවාව සතුටු කරන්න මාර්ගයක් සොයමින් ඉන්න අවංක අයව නිදහස් කිරීමට, සත්‍යයේ බලය ඔවුන් මත ක්‍රියා කරන බව දකින්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. සිරගෙය තුළ සත්‍යය ඉගෙනගත් අයගෙන් දොළොස්දෙනෙක්ට වැඩිය දැන් නිදහස ලැබී තිබෙන අතර, ඔවුන් බව්තීස්ම වී, අදදින දෙව්ගේ සේවකයන් හැටියට දැහැමි ජීවිත ගත කරමින් ඉන්නවා. ඉන් සමහරෙක් සභා වැඩිමහල්ලන් වෙලා තියෙනවා. හදවත් සුව කිරීමටත් මිනිසුන්ව යහමඟ යවන්නත් බයිබලයට ඇති බලය චමත්කාරජනක ලෙස මෙයින් නිදර්ශනය වෙලා තියෙනවා. වැරදි කිරීම නිසා සිරගත වූ අය, දේවවචනයේ ආලෝකයේ මාවතට පිවිසීමත් සමඟම, යේසුස් පොරොන්දු වූ සැබෑ නිදහස ඔවුන් අද්දකිනවා; එනම්: “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේය.”—යොහන් 8:32; ගීතාවලිය 119:105.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.
[23වන පිටුවේ පින්තූරය]
බොහෝදෙනෙක්, තමන් සිරභාරයේ ඉද්දී ඉගෙනගත් ක්‍රිස්තියානි සත්යතාවලින් ප්‍රයෝජන ලැබුවා