මෙතරම් දුක් වේදනා
“පෞද්ගලිකව හා සාමූහිකව මෙතරම් දරුණු දුක් වේදනා පවතින්නේ ඇයි . . . ? හැම අර්ථයක් පිටුපසම තියෙන සාරය දෙවි කියලා කිව්වත්, මේ ලෝකයේ තේරුමක් නැති දේවල්, නිරර්ථක දුක් වේදනා හා පාපය කොතරම් තියෙනවාද! නිච්චගේ චෝදනාව අනුව මේ දෙවි, කෲරයෙක්, වංචාකාරයෙක්, හොරෙක්, වධකයෙක් වෙන්න පුළුවන්ද?”—හාන්ස් කූං විසින් ලියූ ඔන් බීං ඒ ක්‍රිස්ටියන් නම් පොත.
කතෝලික දේවධර්මාධරයෙක් වන හාන්ස් කූං, බොහෝදෙනෙක්ව ව්‍යාකූල කරවන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන බව ඔබට පේනවා ඇති—සර්ව බලධාරි, ප්‍රේමනීය දෙවිකෙනෙක් මෙතරම් දුක් වේදනා පවතින්න ඉඩහරින්නේ ඇයි? මිනිසුන් එවැනි ප්‍රශ්නයක් අහනවා ඔබ අසා නැද්ද? දයානුකම්පාව තියෙන ඕනෑම කෙනෙක් “නොනැවතී ගලන රුධිරය, දහඩිය හා කඳුළු, වේදනාව, දුක හා භය, තනිකම හා මරණය” යනුවෙන් කූං විස්තර කරන දේවල් ගැන ශෝක වෙනවා. ඉතිහාසය පුරා දශලක්ෂ ගණනකගේ ජීවිත බිලිගෙන තියෙන, ත්‍රාසයෙන් හා ශෝකයෙන් මෙන්ම මහත් වේගයෙන් ගලායන ජලධාරාවකට හෝ ජලගැල්මකට එය හුඟක් සමානයි කිව්වොත් ඒක හරි.—යෝබ් 14:1.
‘වෙහෙස හා දුකින්ම’ පිරිලා
යුද්ධයෙන් ප්‍රතිඵල වන දුක් වේදනාව, එයට ගොදුරු වූ අයට විතරක් නෙවෙයි, ඒත් ගොදුරු වූ දරුවන්ගේ හා කුරිරු ආකාරයේ වධ හිංසාවට ලක් වූ වෙනත් අයගේ දෙමාපියන් හා ඥාතීන් වැනි ශෝක වෙන්න ඉතිරි වෙලා ඉන්න අයට හැඟෙන වේදනාව ගැන කල්පනා කරන්න. “පසුගිය අවුරුදු 10 පුරා, සන්නද්ධ ගැටුම්වලදී දරුවන් මිලියන 1.5ක් ඝාතනය කරනු ලැබූ” බව මෑතකදී රතු කුරුස සංවිධානය කියා සිටියා. වර්ෂ 1994දී රුවන්ඩාවල “පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් සියදහස් ගණනක් කුරිරු ආකාරයකින් හා ක්‍රමානුකූලව ඝාතනය කරනු ලැබූ” බව රතු කුරුස සංවිධානය වාර්තා කරනවා.
ලිංගික ක්‍රියා සඳහා දරුවන්ව යොදාගන්නා දුරාචාරිකයන් සිදු කරන වේදනාවද අප අමතක නොකළ යුතුයි. දරුවන් රැකබලා ගන්නා සේවකයෙකුගේ අතින් ලිංගික අතවරයට ලක්වීමෙන් පස්සේ, සියදිවි නසාගත් තම පුතා ගැන ශෝක වෙන එක මවක් මෙහෙම ප්‍රකාශ කළා: “මගේ පුතාට අතවර කළ ඒ මිනිහා . . . ඔහුව හා තවත් පිරිමි ළමයින් කිහිපදෙනෙක්ව හිතන්නවත් බැරි විදිහකට ක්‍රමානුකූලව වනචර ආකාරයකින් විනාශ කරලා දැම්මා.” ඒ විතරක් නොවේ, බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට ගත්, “කිසි ගානක් නැතුව අවුරුදු 25ක් පුරා පැහැරගෙන යෑම්, දූෂණ, වධ හිංසා හා ඝාතන සිදු කළ” අයට සමානව, හිතක් පපුවක් නැතුව මිනීමැරුම් කරන අය හෝ මිනිසුන් මරාගෙන මරාගෙන යන අයට ගොදුරු වී ඇති අයගේ බිහිසුණු වේදනාව ගත්තොත් මොනවා කියන්නද? ඉතිහාසය පුරා පුරුෂයන් හා ස්ත්‍රීන් එකිනෙකාට දුක හා වේදනා දෙන ආකාරයෙන් පමුණුවලා තියෙන හානිවලට කිසිම සීමාවක් නැහැ කියලයි පෙනෙන්න තියෙන්නේ.—දේශනාකාරයා 4:1-3.
චිත්තවේගීය හා ශාරීරික අසනීපවලින් ඇති වන වේදනාවත්, ප්‍රේම කරන කෙනෙක් අකාලයේ මියයන විට, පවුල්වලට පහර දෙන ශෝකය නිසා ඇති වන දැඩි වේදනාවත් මෙයට එකතු කරන්න පුළුවන්. සාගතයට හෝ වෙනත් ස්වාභාවික ආපදාවලට ගොදුරු වන අයට දැනෙන ශෝකයද සැලකිල්ලට ගත යුතුයි. අප ජීවත් වන අවුරුදු 70 හෝ 80 ‘වෙහෙස හා දුකෙන්’ පිරී පවතිනවා කියලා කිව්ව මෝසෙස්ගේ ප්‍රකාශයට වැඩිදෙනෙක් එකඟ වෙනවාට කිසි සැකයක් නැහැ.—ගීතාවලිය 90:10.
දෙවිගේ අරමුණේ කොටසක්ද?
සමහරු කියා සිටින ආකාරයට, නිරතුරුවම පවතින මෙම දුක් වේදනාව දෙවිගේ යම් තේරුම්ගත නොහැකි අරමුණක කොටසක් වෙන්න පුළුවන්ද? ‘පරලොවෙහි’ ජීවිතය භුක්ති විඳින්න, අපට දැන් දුක් විඳින්න අවශ්‍යද? “මියැදෙන්න වගේම දිරාපත් වෙන්න සලස්වන දුක් වේදනා, ජීවත් වී ආත්මයක් වීම සඳහා මනුෂ්‍ය ජීවයට අත්‍යවශ්‍ය වෙනවා” කියා ප්‍රංශ දාර්ශනික ටෙයර් ඩ’ ෂර්ඩන් විශ්වාස කළ දේ සැබෑවක්ද? (ද රිලිජන් ඔෆ් ටෙයර් ඩ’ ෂර්ඩන්; ඇල අකුරු අපේය.) එහෙම කියලා කොහොමටවත් කියන්න බැහැ!
සැලකිල්ල දක්වන නිර්මාතෘවරයෙක් වුවමනාවෙන්ම මාරාන්තික පරිසරයක් මවලා, එහි බලපෑම්වලින් මනුෂ්‍යයන්ව ගැළවූ විට තමා දයානුකම්පිතයි කියලා කියයිද? කොහෙත්ම නැහැ! ප්‍රේමනීය දෙවිකෙනෙක් එවැනි දෙයක් කරන්න ඕනෙ ඇයි? එහෙමනම්, දෙවි දුක් වේදනාවලට ඉඩ දෙන්නේ ඇයි? දුක් වේදනා කවදාහරි අවසන් වෙයිද? ඊළඟ ලිපිය මේ ප්‍රශ්න සාකච්ඡා කරයි.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
WHO photo by P. Almasy