විශාරදයන් විසින් ලියන ලද සුවිශේෂය
“මා කවුරුය කියා මනුෂ්‍යයෝ කියද්ද?” (ලූක් 9:18) යේසුස්වහන්සේ අවුරුදු දෙදහසකට පමණ පෙර, සිය ශ්‍රාවකයන්ගෙන් එසේ විමසූසේක. ඒ කාලයේදී, මෙම ප්රශ්නය මතභේදයට තුඩු දෙන්නක් විය. දැන්, විශේෂයෙන්ම යේසුස්වහන්සේ වටා ගෙතුණු නත්තල් සමය අවට කාලයේදී මෙම මතභේදය උග්‍ර වී ඇති බව පෙනේ. මනුෂ්‍යවර්ගයාව මුදවාගැනීම සඳහා, යේසුස්වහන්සේව ස්වර්ගයෙන් එවනු ලැබූ බව බොහෝදෙනෙක් විශ්වාස කරති. ඔබ විශ්වාස කරන්නේ ඒ දෙයමද?
ඇතැම් විශාරදයෝ තවත් මතයක් ඉදිරිපත් කරති. ආගම හා සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය මාර්කස් ජේ. බෝග් මෙසේ කියා සිටියි: “ලෝකයේ පාපය උදෙසා මියයෑමට සිටි දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙස තමන් පිළිබඳව ඉගැන්වූ යේසුස්වහන්සේගේ සංකල්පය ඓතිහාසික වශයෙන් සත්‍යයක් නොවේ.”
සැබෑ යේසුස්වහන්සේ වනාහි, බයිබලය තුළ අපට කියවීමට තිබෙන පුද්ගලයාට වඩා වෙනස් කෙනෙකු බව වෙනත් විශාරදයෝ කියා සිටිති. සුවිශේෂ සියල්ලම ලියනු ලැබුවේ, යේසුස්වහන්සේගේ මරණයෙන් දශක හතරක් හෝ ඊට වැඩි කාලයකට පසුව බවත්, ඒ වන විට යේසුස්වහන්සේගේ සැබෑ අනන්‍යතාවට අමතර දේවල් එකතු කර තිබුණු බවත් ඇතැම්හු විශ්වාස කරති. ගැටලුව වූයේ, දේවල් පිළිබඳ සුවිශේෂ ලේඛකයන්ගේ මතකය නොව, නමුත් ඔවුන් එය අර්ථකථනය කළ ආකාරය බව විශාරදයෝ ප්‍රකාශ කරති. යේසුස්වහන්සේගේ මරණයෙන් පසු, ශ්‍රාවකයෝ උන්වහන්සේ දෙස වෙනස් කෝණයකින් බැලීමට පටන්ගත්හ; එනම් දෙවියන්වහන්සේගේ පුත්‍රයා, ගැළවුම්කාරයා හා මෙසියස් ලෙසටය. යේසුස්වහන්සේ හුදෙක් තැනින් තැන ගමන් කළ උගතෙකු හා සමාජීය විප්ලවකාරි පුද්ගලයෙකු පමණක් වූ බව ඇතැම් අය නිර්භීතව කියා සිටිති. එවැනි දේ පරම සත්‍යය බව විශාරදයෝ ප්‍රකාශ කරති.
යේසුස්වහන්සේ පිළිබඳ “විශාරද” මතය
ඔවුන්ගේ “විශාරද” මතය ආරක්ෂා කිරීම සඳහා, යේසුස්වහන්සේ සම්බන්ධයෙන් අධිස්වාභාවික ලෙස පෙනෙන්ට තිබෙන ඕනෑම දෙයක් ඉවත් කිරීමට විවේචකයන් මහත් ආශාවෙන් සිටින බව පෙනෙන්ට තිබේ. නිදසුනක් වශයෙන්, කන්යාවකගෙන් ඉපදීම, යේසුස්වහන්සේගේ අවජාතකභාවය වසං කිරීමට උපයෝගි කරගත් යමක් බව සමහරු පවසති. යෙරුසලමේ විනාශය එහි “ඉටුවීමෙන්” පසුව සුවිශේෂවලට ඇතුළත් කර තිබෙන බව උදක්ම කියා සිටීමෙන්, වෙනත් අය යෙරුසලමේ විනාශය පිළිබඳ යේසුස්වහන්සේගේ අනාවැකි ප්‍රතික්ෂේප කරති. යේසුස්වහන්සේගේ සුව කිරීම් වනාහි, මනුෂ්‍යයන්ට මානසික වශයෙන් බලපෑම් කරන යමක්, එනම් මනඃකායික යමක් බවද සමහරු පවසති. ඔබේ මතයට අනුව, මෙවැනි යෝජනා සත්‍යයක්ද එසේ නැතහොත් විකාර යමක්ද?
තමන්ගේ ව්‍යාපාරය බිඳවැටීමෙන් වැළැක්වීම සඳහා, යේසුස්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් නැවත නැඟිටුවීම නිර්මාණය කරනු ලැබූ බවට ඇතැම් විශාරදයෝ කියා සිටිති. කොහොම වුණත්, විශාරදයෝ මෙසේ තර්ක කරන පරිදි, යේසුස්වහන්සේගේ අනුගාමිකයන් උන්වහන්සේ නැතුව බල රහිතව සිටි බැවින්, ඔවුහු තමන්ගේ ස්වාමීන්වහන්සේගේ ක්‍රියා විශ්වාස කළ හැකි යමක් සේ දැක්වීමට අමතර තොරතුරු එකතු කළෝය. ඇත්තෙන්ම, නැවත නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේ නොව, ක්‍රිස්තු ධර්මය බව විශාරදයෝ පවසමින් සිටියෝය. තොරතුරු සම්බන්ධයෙන් විශාරදයන් අයුතු ප්‍රයෝජන ගන්නා බව එයින් පෙනී යනවා නම්, යේසුස්වහන්සේව මරණයට පත් කරනු ලැබුවේ නැති බවට වූ, දේවධර්මාධාරවරියක වන බාබ්රා තීරිංගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? යේසුස්වහන්සේ සිය වධ කණුවේ ඇණ ගසනු ලැබීමෙන් බේරී තවදුරටත් ජීවත් වූ අතර, දෙවරක් විවාහ වී දරුවන් තුන්දෙනෙකුගේ පියෙකු වූ බව ඈ විශ්වාස කරන්නීය.
මෙම ප්‍රකාශයන් සියල්ල විශාරදයන් බොහෝදෙනෙකු යේසුස්වහන්සේව පිළිගන්නා එකම ගණයකට ගෙන එයි: එනම් ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු, සාමාන්‍ය යුදෙව් පුරවැසියෙකු හා සමාජ ප්රතිසංස්කාරකයෙකු ලෙස මිස, “බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ට” පැමිණි දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙස නොවේ.—මතෙව් 20:28.
ඇතැම්විට අවුරුද්දේ මේ කාලය වන විට, යේසුස්වහන්සේ ගව ඔරුවේ ඉපදුණු බව පවසන සුවිශේෂයේ ඇතැම් කොටස් ඔබ කියවා තිබෙනවා වන්ට පුළුවන. එසේ නැතහොත් ඔබට එවැනි වාර්තා පල්ලියේදී අසන්ට ලැබුණා විය හැකිය. ඔබ සුවිශේෂ වාර්තා, වටිනා හා විශ්වාස කළ හැකි යමක් හැටියට පිළිගත්තෙහිද? එසේනම්, මෙම කම්පිත කරවන තත්වය සැලකිල්ලට ගන්න. යේසුස්වහන්සේගේ සම්මන්ත්‍රණය ලෙස හඳුන්වන එක්තරා සම්මන්ත්‍රණයක, විශාරදයන් කණ්ඩායමක් 1985 සිට අවුරුද්දකට දෙවතාවක් යේසුස්වහන්සේගේ වචනවල නිරවද්‍යතාව නිශ්චය කරගැනීම සඳහා එක්රැස් වී තිබේ. යේසුස්වහන්සේ පැවසූ බවට බයිබලය කියා සිටින දේ, උන්වහන්සේ සැබවින්ම පැවසූසේක්ද? සම්මන්ත්‍රණයට පැමිණ සිටි සාමාජිකයෝ, උන්වහන්සේ කළ සෑම ප්‍රකාශයක් සඳහාම වර්ණවත් පබළුවලින් ඡන්ද දැමූහ. රතු පබළුවකින් අදහස් කළේ, යම් ප්‍රකාශයක් සැබවින්ම යේසුස්වහන්සේ විසින් පවසනු ලැබූ බවයි; යේසුස්වහන්සේ එය පැවසුවා විය හැකිය යන්න රෝස පාට පබළුවකින් අදහස් කෙරිණ; අළු පාට පබළුවකින් ඇඟවූයේ, සැක සහිත බවයි; තවද කළු පබළුවකින් අසත්යබවක් අඟවනු ලැබීය.
යේසුස්වහන්සේ පැවසුවායයි පවසන ලද වචන සියයට 82ක් පමණ, උන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු නොලැබූ බව යේසුස්වහන්සේගේ සම්මන්ත්‍රණයේ ප්‍රකාශ කර තිබෙන බව දැනගැනීමෙන් ඔබ කලබලයට පත් විය හැක. විශ්වාස කළ හැකි බව සලකනු ලැබුවේ මාර්ක්ගේ සුවිශේෂයේ එක් උපුටා දැක්වීමක් පමණි. “බේරාගත නොහැකි ආකාරයකින්” ලූක්ගේ සුවිශේෂය බොරු ප්රචාරයන්වලින් පිරී තිබුණු බව පවසනු ලැබීය. යොහන්ගේ සුවිශේෂයේ පේළි තුනක් හැර ඉතිරි ටිකට අසත්‍ය බව අඟවන, කළු පබළුවලින් ඡන්ද ලැබුණු අතර, ඉතිරි ඒවාට සැක සහිත බව අඟවන අළු පබළුවලින් ඡන්දය ලැබිණ.
ශාස්ත්‍රඥයන්ට වඩා වැඩි යමක්
ඔබ විශාරදයන් සමඟ එකඟ වන්නෙහිද? යේසුස්වහන්සේ පිළිබඳව බයිබලයෙහි සොයාගැනීමට තිබෙනවාට වඩා නිවැරදි විස්තරයක් ඔවුහු අපට ඉදිරිපත් කරමින් සිටින්නහුද? මෙම ප්‍රශ්න වනාහි, විශාරද විවාදයකට වඩා වැඩි දෙයකි. බයිබලයට අනුව දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව එව්වේ, “උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස” බව ඔබට අවුරුද්දේ මේ කාලය තුළදී සිහි කර දෙනවා විය හැක.—යොහන් 3:16.
යේසුස්වහන්සේ, අප ස්වල්ප වශයෙන් දන්නා, තැනින් තැන ගමන් කළ උගතෙකු පමණක් වූවා නම්, උන්වහන්සේ කෙරෙහි ‘ඇදහිල්ල පෙන්වීම’ නිෂ්ඵල දෙයක් වනු ඇත. අනික් අතට, යේසුස්වහන්සේ සම්බන්ධයෙන් බයිබලයෙහි විස්තරය සත්‍යය වන්නේ නම්, අපේ සදාකාල ගැළවීම මෙයට සම්බන්ධ වී තිබේ. එබැවින්, අප මෙම ප්‍රශ්නයට උත්තරය දැනගත යුතුය: යේසුස්වහන්සේ පිළිබඳ සත්‍යය බයිබලයේ අඩංගුද?