තනිකඩභාවය—බාධාවකින් තොර ක්‍රියාකාරකම්වලට දොරටුවකි
“වියවුල් [බාධාවට පත්, NW] නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි [නිරතුරුවම, NW] යෙදී [සිටීම ඉන් අදහස් කෙරේ].”—1 කොරින්ති 7:35.
1. කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන් ගැන පාවුල්ට කිනම් තැතිගන්වන ආරංචි ලැබුණේද?
ප්‍රේරිත පාවුල් ග්‍රීසියේ පිහිටි කොරින්තියේ විසූ තම ක්‍රිස්තියානි සහෝදරයන් ගැන බලවත් සැලකිල්ලක් දැක්වූයේය. වසර පහකට පමණ කලින්, දුරාචාරය සඳහා ප්‍රසිද්ධ එම ධනවත් නගරයෙහි, ඔහු එම සභාව පිහිටුවා තිබුණේය. දැන්, එනම් පො.යු. 55දී පමණ කුඩා ආසියාවට අයත් එපීසයේ සිටින විට, සභාවේ බෙදීම් සහ පිළිකුල්සහගත දුරාචාර ක්‍රියාවකට ඉඩහරිමින් තිබීම පිළිබඳ තැතිගන්වන වාර්තාවන් කොරින්තියෙන් ඔහුට ලැබිණ. එපමණක් නොව, ලිංගික සම්බන්ධකම්, විවාහ නොවී සිටීම, විවාහය, වෙන්වීම සහ නැවත විවාහ වීම යන කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය මඟ පෙන්වීම ඉල්ලමින් පාවුල්ට කොරින්තිවරුන්ගෙන් ලිපියක් ලැබී තිබිණ.
2. කොරින්තියේ පැවති දුරාචාරය, පෙනෙන ප්‍රකාරයට එම නගරයේ විසූ ක්‍රිස්තියානීන්ට බලපාමින් තිබුණේ කෙසේද?
2 කොරින්ති නගරය පුරා පැවති අශික්ෂිත දුරාචාරය දෙයාකාරයකින් එම සභාවට බලපාමින් තිබූ බව පෙනෙන්ට තිබිණ. ඇතැම් ක්‍රිස්තියානීහු සදාචාර ප්‍රමිති සැහැල්ලුවට ගන්නා වාතාවරණයට නැඹුරු වූ අතර, දුරාචාරයට ඉඩහරිමින් සිටියහ. (1 කොරින්ති 5:1; 6:15-17) පෙනෙන විදිහට වෙනත් අය, නගරය පුරා පැවති ලිංගික දුරාචාරයට ප්‍රතික්‍රියාවක් වශයෙන්, විවාහකයන් පවා ලිංගික සබඳතාවලින් වැළකී සිටිය යුතුයයි දැඩි ලෙස නිර්දේශ කළෝය.—1 කොරින්ති 7:5.
3. පාවුල් කොරින්තිවරුන්ට යැවූ තමාගේ පළමු ලිපියෙහි මුලින්ම සඳහන් කළේ කුමන කාරණාද?
3 පාවුල් කොරින්තිවරුන්ට ලියූ දිගු ලිපියෙහි පළමුවෙන්ම අවධානය යොමු කරන ලද්දේ අසමගිය පිළිබඳව එහි පැවති ගැටලුවටය. (1 කොරින්ති 1-4 පරිච්ඡේද) මිනිසුන්ව අනුගමනය කිරීමෙන් වැළකී සිටින්ට ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය; එය මඟ පෑදිය හැක්කේ හානිකර නිකායභේදයන්ට පමණි. දෙවියන්වහන්සේගේ ‘හවුල් වැඩකරන්නන්’ හැටියට ඔවුන් එක්සත්ව සිටිය යුතුය. අනතුරුව, ඔහු සභාව සදාචාරාත්මකව පවිත්‍රව තබාගැනීම ගැන සුවිශේෂ උපදෙස් ඔවුන්ට දුන්නේය. (5වන හා 6වන පරිච්ඡේද) පසුව ප්‍රේරිතවරයා ඔවුන්ගේ ලිපියට අවධානය යොමු කළේය.
තනිකඩභාවය නිර්දේශ කෙරේ
4. “ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම මනුෂ්‍යයෙකුට හොඳය” කියා පවසන විට පාවුල් අදහස් කළේ කුමක්ද?
4 ඔහු තම ලිපිය මෙසේ ඇරඹීය: “ඉඳින් නුඹලා විසින් ලියනලද කාරණා ගැනය. ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම මනුෂ්‍යයෙකුට හොඳය.” (1 කොරින්ති 7:1) මෙහිදී “ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම” යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ, කාමුක වින්දනයක් ලබාගැනීම සඳහා ස්ත්‍රියක කායිකව ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමය. පාවුල් එවිටමත් වේශ්‍යාකම හෙළාදැක තිබුණු නිසා, ඔහු අනතුරුව සඳහන් කරමින් සිටියේ විවාහ විධිවිධානය තුළ සිදු වන ලිංගික සබඳතා ගැනය. එබැවින්, පාවුල් තනිකඩව සිටීම නිර්දේශ කරමින් සිටියේය. (1 කොරින්ති 6:9, 16, 18; සසඳන්න උත්පත්ති 20:6; හිතෝපදේශ 6:29.) තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ලීවේය: “නුමුත් අවිවාහකයන්ටද වැන්දඹුවන්ටද මා කියන්නේ ඔවුන් මා ලෙසම පැවතී සිටියොත් ඔවුන්ට හොඳය කියාය.” (1 කොරින්ති 7:8) පාවුල් අවිවාහකයෙකු විය, ඇතැම්විට කනවැන්දුම් පුරුෂයෙකු වූවා විය හැක.—1 කොරින්ති 9:5.
5, 6. (අ) පූජකාරාමයක ගත කරන ජීවිත-රටාවක් පාවුල් නිර්දේශ කරමින් නොසිටි බව පැහැදිලි වන්නේ මන්ද? (ආ) පාවුල් තනිකඩභාවය නිර්දේශ කළේ මන්ද?
5 ඇතැම්විට කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට, තාපස ජීවිතය හෝ තම ආශාවන් මර්දනය කිරීම උසස් ලෙස සැලකූ ඉගැන්වීම් ඇතුළත්ව තිබූ ග්‍රීක දර්ශනවාදය ගැන යම් දැනුමක් තිබෙන්ට ඇත. ක්‍රිස්තියානීන් සියලුම ලිංගික සබඳතාවලින් වැළකී සිටීම ‘යහපත්’ දෙයක්ද කියා කොරින්තිවරුන් පාවුල්ගෙන් ඇසීමට එය හේතු වූවා විය හැකිද? පාවුල් දුන් පිළිතුරෙහි ග්‍රීක දර්ශනවාදී අදහස් ඇතුළත් නොවීය. (කොලොස්සි 2:8) තනිකඩ පුද්ගලයන් වෙනත් අයට වඩා විශේෂ ශුද්ධබවකින් යුත්, තමන්ගේ ජීවන රටාව හා යාච්ඤා මගින් තමුන්ගේම ගැළවීමට දායක විය හැකි බවත් අඟවමින්, කතෝලික දේවධර්මාචාරයන් කරන්නාක් මෙන්, විවාහයෙන් වැළකී, පූජකාරාමයක හෝ කන්‍යාරාමයක පැවිදි ජීවිතයක් ගත කිරීම ඔහු කිසිවිටක නිර්දේශ නොකළේය.
6 “මේ කාලයේ තිබෙන විපත්තිය නිසා” පාවුල් තනිකඩභාවය නිර්දේශ කළේය. (1 කොරින්ති 7:26) ක්‍රිස්තියානීන් අද්දකිමින් සිටියාවූද, විවාහය මගින් තවත් අසීරු කළ හැකිවූද දුෂ්කරතාවන්ට ඔහු යොමු දක්වමින් සිටියා විය හැක. (1 කොරින්ති 7:28) අවිවාහක ක්‍රිස්තියානීන්ට ඔහුගේ උපදේශය වූයේ මෙයයි, එනම්: “මා ලෙසම පැවතී සිටියොත් ඔවුන්ට හොඳය.” කනවැන්දුම් පුරුෂයන්ට ඔහු මෙසේ පැවසීය: “නුඹ . . . භාර්යාවකුගෙන් නිදහස්ව සිටිනෙහිද? භාර්යාවක් නොසොයන්න.” ක්‍රිස්තියානි වැන්දඹුවක සම්බන්ධයෙන් ඔහු මෙසේ ලීවේය: “ඈ සිටින ලෙසම සිටින්නීනම්, මාගේ විනිශ්චයේ හැටියට ඈ වඩා වාසනාවන්තියක්ය. දෙවියන්වහන්සේගේ ආත්මය . . . මටත් [ඇතැයි] සිතමි.”—1 කොරින්ති 7:8, 27, 40.
තනිකඩව සිටීමට බල කිරීමක් නැත
7, 8. කිසිම ක්‍රිස්තියානියෙකුට තනිකඩව සිටීමට පාවුල් බල කරමින් නොසිටි බව පැහැදිලි වන්නේ කුමකින්ද?
7 පාවුල් මෙම උපදෙස් දුන් විට නිසැකවම ඔහුව යෙහෝවඃවහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වනු ලැබිණ. විවාහ නොවී සිටීම සහ විවාහය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ කරුණු සියල්ලෙහිම සමබරතාවක් හා සංයමයක් දැකිය හැක. ඔහු මෙය විශ්වාසවන්ත වීම හෝ අවිශ්වාසවන්ත වීම හා සම්බන්ධ කාරණයක් ලෙස නොදක්වයි. ඒ වෙනුවට, එය නිදහස් කැමැත්ත හා බැඳි ප්රශ්නයකි; තනිකඩභාවය රකිමින් නිර්මලව සිටිය හැකි අය සඳහා වැඩි වාසියක් ඇති බව නිර්දේශයෙන් පැහැදිලි වේ.
8 “ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම මනුෂ්‍යයෙකුට හොඳය” කියා සඳහන් කිරීමෙන් අනතුරුව, පාවුල් ඊට මෙසේ එකතු කළේය: “නුමුත් වේශ්‍යාකම් [පැතිර පවතින, NW] නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.” (1 කොරින්ති 7:1, 2) ‘මා සිටින ලෙසම සිටින්ට’ කියා අවිවාහකයන්ට සහ වැන්දඹුවන්ට උපදෙස් දීමෙන් අනතුරුව ඔහු විගස මෙසේ පැවසුවේය: “එහෙත් ඔවුන්ට ආත්ම දමනය නොහැකි දෙයක් නම් ඔව්හු විවාහ වෙත් වා. කාමරාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම යහපති.” (1 කොරින්ති 7:8, 9, නව අනුවාදය) නැවතත්, කනවැන්දුම් පුරුෂයන්ට ඔහුගේ උපදේශය වූයේ මෙයයි, එනම්: “භාර්යාවක් නොසොයන්න. එහෙත් විවාහවුවත් එයින් නුඹට පාපයක් නැත.” (1 කොරින්ති 7:27, 28) මෙම සමබර උපදේශයෙන් තෝරාගැනීමේ නිදහස පිළිබිඹු වෙයි.
9. යේසුස්වහන්සේ සහ පාවුල් පැවසූ පරිදි, විවාහය මෙන්ම තනිකඩභාවයද යෙහෝවඃවහන්සේගෙන් ලැබෙන දීමනාවන් වන්නේ කෙසේද?
9 විවාහය මෙන්ම තනිකඩභාවයද දෙවියන්වහන්සේගෙන් ලැබෙන දීමනා බව පාවුල් පැහැදිලි කළේය. “සියලු මනුෂ්‍යයෝ මා සිටින ලෙසම සිටිත්නම් කැමැත්තෙමි. එසේවී නුමුත් එක්කෙනෙකුට මේ ප්‍රකාරයටද වෙන කෙනෙකුට ඒ ප්‍රකාරයටද දෙවියන්වහන්සේගෙන් එකිනෙකාට නියමවූ දීමනාවක් ඇත්තේය.” (1 කොරින්ති 7:7) යේසුස්වහන්සේ පැවසූ දෙය ඔහුගේ මනසේ තිබුණු බවට කිසිම සැකයක් නැත. විවාහය දෙවියන්වහන්සේගෙන් පැමිණි විධිවිධානයක් බව තහවුරු කිරීමෙන් පසු, රාජ්‍ය කටයුතුවල නිරත වීම සඳහා කැමැත්තෙන්ම තනිකඩභාවය තෝරාගැනීම විශේෂ දීමනාවක් බව, යේසුස්වහන්සේ මෙසේ පැහැදිලි කළසේක: “පුළුවන්කම [දීමනාව, NW] ලැබූ අය මිස හැම දෙනාටම මේ කීම පිළිගන්ට බැරිය. මක්නිසාද මවු කුසින් නපුංසකව උපන් තැනැත්තෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරනලද නපුංසකයෝද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේ [ඒ සඳහා ඉඩ කඩ සලසාගත හැකි තැනැත්තා, ඒ සඳහා ඉඩ කඩ සලසාගනීවා, NW].”—මතෙව් 19:4-6, 11, 12.
තනිකඩභාවයේ දීමනාව සඳහා ඉඩ කඩ සලසාගැනීම
10. තනිකඩභාවයේ දීමනාව සඳහා ‘ඉඩ කඩ සලසාගැනීමට’ යමෙකුට හැක්කේ කෙසේද?
10 යේසුස්වහන්සේ සහ පාවුල් යන දෙදෙනාම තනිකඩභාවය ‘දීමනාවක්’ හැටියට හැඳින්වුවත්, එය සමහර අයට පමණක් අත් කරගත හැකි ආශ්චර්යවත් දීමනාවක් බව ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙක් නොපැවසූහ. එම දීමනාව සඳහා “සෑමදෙනාටම ඉඩ කඩ සලසාගත නොහැක” [NW] යයි යේසුස්වහන්සේ පැවසූ අතර, එසේ කිරීමට හැකි අයට “ඒ සඳහා ඉඩ කඩ සලසාගනීවා” කියා උන්වහන්සේ උපදෙස් දුන්සේක; යේසුස්වහන්සේ සහ පාවුල් එසේ ඉඩ කඩ සලසාගත්තෝය. “කාමරාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම යහපති” කියා පාවුල් ලියූ බව සැබෑවකි; එහෙත් ඔහු කතා කරමින් සිටියේ ‘ආත්ම-දමනය නැති’ අය ගැනය. (1 කොරින්ති 7:9, න.අ.) ක්‍රිස්තියානීන්ට දැවෙන කාමරාගයෙන් වැළකී සිටීමට හැකි බව පාවුල් තම කලින් ලිපිවලදී පැහැදිලි කළේය. (ගලාති 5:16, 22-24) ආත්මයෙන් හැසිරීම යන්නෙන් අදහස් කරන්නේ, අපගේ ජීවිතයේ සෑම පියවරකටම මඟ පෙන්වනු ලැබීමට යෙහෝවඃවහන්සේගේ ආත්මයට ඉඩහැරීමය. යෞවන ක්‍රිස්තියානීන්ට මෙය කළ හැකිද? ඔවුන් යෙහෝවඃවහන්සේගේ වචනය කිට්ටුවෙන් අනුගමනය කරනවා නම් එසේ කළ හැක. ගීතිකාකරු මෙසේ ලීවේය: “තරුණයෙක් [හෝ තරුණියක්] තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.”—ගීතාවලිය 119:9.
11. ‘ආත්මික ලෙස හැසිරීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
11 රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට, සඟරාවල සඳහන් ලිපි, පොත් සහ ගී පද වැනි මාධ්‍යයන්වල පුළුල්ව පැතිර ඇති නිර්බාධ අදහස්වලට විරුද්ධව සිටීම මෙයට අයත් වේ. එවන් අදහස් මාංසික නැඹුරුවාවකින් යුක්තය. තනිකඩව සිටීම සඳහා ඉඩ කඩ සලසාගැනීමට වුවමනා කරන ක්‍රිස්තියානි තරුණයෙකු හෝ තරුණියක ‘මාංසික ලෙස නොව ආත්මික ලෙස හැසිරිය යුතුය. මක්නිසාද මාංසික ලෙස සිටින්නෝ මාංසික දේවලටද [මාංසික දේවල් කෙරෙහි තම මනස් යොමු කරති, NW] ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති [තම මනස් යොමු කරති, NW].’ (රෝම 8:4, 5) ආත්මික දේවලට ධර්මිෂ්ඨ, නිර්මල, ප්‍රේමනීය හා ගුණවන්ත දේවල් අයත් වේ. යෞවන මෙන්ම මහලු ක්‍රිස්තියානීන් ‘ඒ දේවල් නොකඩවාම මෙනෙහි කිරීම’ යහපති.—පිලිප්පි 4:8, 9.
12. තනිකඩභාවයේ දීමනාව සඳහා ඉඩ කඩ සලසාගැනීමට, බොහෝවිට අයත් වන්නේ කුමක්ද?
12 තනිකඩභාවයේ දීමනාව සඳහා ඉඩ කඩ සලසාගැනීම, බොහෝවිට පුද්ගලයෙකුගේ හෘදය එම ඉලක්කය මත තබා, එය ලුහුබැඳීමේදී උපකාරය සඳහා යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීම හා සම්බන්ධ කාරණයකි. (පිලිප්පි 4:6, 7) පාවුල් මෙසේ ලීවේය: “ස්ථිර සිතින් යුක්තව සිටින්නාවූද, ඕනෑකමක් නැත්තාවූද, තමාගේම කැමැත්ත ගැන බලය ඇත්තාවූද, තමාගේ කන්‍යාව [කන්‍යාභාවය හෝ බ්‍රහ්ම චර්යාව, NW] රක්ෂාකරන්ට තමාගේ සිතින් නියමකරගත්තාවූද තැනැත්තේ යහපතක් කරයි. මෙසේ තමාගේ කන්‍යාව [කන්‍යාභාවය හෝ බ්‍රහ්ම චර්යාව, NW] විවාහකරදෙන [විවාහය වෙනුවෙන් පුදන, NW] තැනැත්තේ යහපතක් කරයි; විවාහකර නොදෙන [විවාහයට නොපුදන, NW] තැනැත්තේ වඩා යහපතක් කරයි.”—1 කොරින්ති 7:37, 38
අරමුණක් සහිතව තනිකඩව සිටීම
13, 14. (අ) අවිවාහක හා විවාහක ක්‍රිස්තියානීන් අතර ප්‍රේරිත පාවුල් කළ සැසඳීම කුමක්ද? (ආ) විවාහ වූ අයට වඩා, තනිකඩ ක්‍රිස්තියානියෙකුට “යහපතක්” අත් වන්නේ කෙසේද?
13 නිකම්ම තනිකඩව සිටීමෙන් යහපතක් සිදු නොවේ. එසේනම්, එයින් “යහපතක්” අත් වන්නේ කිනම් අර්ථයෙන්ද? එය සැබවින්ම රඳා පවතින්නේ පුද්ගලයෙකු එයින් අත් වන නිදහස භාවිත කරන ආකාරය මතය. පාවුල් මෙසේ ලීවේය: “ඔබ සිත් තැවුලින් තොර ව සිටිනවාට මම කැමැත්තෙමි. අවිවාහක තැනැත්තේ ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේ දැ යි සිතමින් උන් වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය. විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේ දැයි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය. මෙලෙස ඔහුගේ සිතෙහි දෙගිඩියාවක් පවතී. අවිවාහක ස්ත්‍රිය හෝ කන්‍යාව හෝ ඈ ශාරීරික ලෙස හා ආධ්‍යාත්මික ලෙස ස්වාමීන් වහන්සේට කැප ව සිටින සේ උන් වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නී ය. එහෙත් විවාහක ස්ත්‍රිය තම පුරුෂයා සතුටු කරන්නේ කෙසේ දැ යි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නී ය.” “මා මෙසේ කියන්නේ නුඹලාට මලපතක් තබන පිණිස නොව, සුදුසු දේ සඳහාත්, නුඹලා වියවුල් [බාධාවට පත්, NW] නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි [නිරතුරුවම, NW] යෙදීසිටින පිණිසත්, නුඹලාගේම ප්‍රයෝජනයටය.”—1 කොරින්ති 7:32-34, න.අ., 1 කොරි 7:35.
14 තමාගේ අවිවාහක තත්වය මාංසික ඉලක්ක අත් පත් කරගැනීම සඳහා යොදවන තනිකඩ ක්‍රිස්තියානියෙකු, විවාහක ක්‍රිස්තියානීන්ට වඩා “යහපතක්” නොකරයි. ඔහු තනිකඩව සිටින්නේ ‘රාජ්‍යය’ වෙනුවෙන් නොව පෞද්ගලික හේතුන් නිසාය. (මතෙව් 19:12) අවිවාහක පුරුෂයා හෝ ස්ත්‍රිය ‘ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දැක්විය’ යුතු අතර, ‘ස්වාමීන්වහන්සේව ප්‍රසන්න කර,’ “වියවුල් [බාධාවට පත්, NW] නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි [නිරතුරුවම, NW] යෙදී” සිටිය යුතුය. මෙයින් අදහස් කරන්නේ යෙහෝවඃවහන්සේට සහ ක්‍රිස්තුස් යේසුස්වහන්සේට සේවය කිරීම සඳහා නොබෙදුණු අවධානයක් දීමය. අවිවාහක ක්‍රිස්තියානි පුරුෂයන් සහ ස්ත්‍රීන් විවාහක ක්‍රිස්තියානීන්ට වඩා “යහපතක්” කරමින් සිටින්නේ එසේ කරනවා නම් පමණි.
බාධාවකින් තොර ක්‍රියාකාරකම්
15. පළමුවන කොරින්ති 7වන පරිච්ඡේදයේදී පාවුල් ඒත්තුගන්වන්ට උත්සාහ කරන මූලික කරුණ කුමක්ද?
15 මෙම පරිච්ඡේදයේදී පාවුල් කළ සම්පූර්ණ තර්කය මෙසේ දැක්විය හැක: විවාහය නීති විරෝධී දෙයක් නොවන අතරම, යම් තත්වයන්වලදී ඇතැම් අයට එය යෝග්‍ය වුවත්, අඩුම බාධාවකින් යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අවශ්‍ය ක්‍රිස්තියානි පුරුෂයන්ට හෝ ස්ත්රීන්ට තනිකඩභාවය වාසිදායක බවට කිසිම සැකයක් නැත. විවාහක තැනැත්තා “දෙගිඩියාවක්” ඇතුව සිටියත්, අවිවාහක ක්‍රිස්තියානි පුද්ගලයා ‘ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන’ තම මනස යොමු කර තබාගැනීමට නිදහස ඇතුව සිටී.
16, 17. තනිකඩ ක්‍රිස්තියානියෙකුට තම මනස වඩා හොඳින් ‘ස්වාමීන්වහන්සේගේ කාරණා’ කෙරෙහි යොමු කර තබාගත හැක්කේ කෙසේද?
16 විවාහ වූ අයට වඩා අවිවාහක ක්‍රිස්තියානීන්ට වැඩි නිදහසක් ඇතුව තම මනස යොමු කළ හැකි ස්වාමීන්වහන්සේගේ කාරණා මොනවාද? වෙනත් අවස්ථාවකදී, යේසුස්වහන්සේ “දෙවියන්වහන්සේගේ දේ”—එනම්, ක්‍රිස්තියානියෙකුට කායිසර්ට දිය නොහැකි දේවල් ගැන කතා කළසේක. (මතෙව් 22:21) මේ දේවලට මූලිකවම ක්‍රිස්තියානියෙකුගේ ජීවිතය, නමස්කාරය හා දේවසේවය සම්බන්ධව පවතී.—මතෙව් 4:10; රෝම 14:8; 2 කොරින්ති 2:17; 3:5, 6; 4:1.
17 සාමාන්‍යයෙන් තනිකඩ පුද්ගලයෝ යෙහෝවඃවහන්සේගේ සේවය සඳහා කාලය යෙදවීමට වැඩි නිදහසක් ඇතුව සිටිති; එය ඔවුන්ගේ ආත්මිකත්වය හා දේවසේවය පුළුල් කරගැනීමට උපකාරවත් විය හැක. පෞද්ගලික පාඩම සහ මෙනෙහි කිරීම සඳහා වැඩි කාලයක් ගත කිරීමට ඔවුන්ට හැක. විවාහ වූ පුද්ගලයන්ට වඩා, තම කාලසටහනට වඩාත් පහසුවෙන් බයිබල් කියවීම ඇතුළත් කිරීමට තනිකඩ ක්‍රිස්තියානීන්ට හැක. රැස්වීම්වලට සහ ක්ෂේත්‍ර සේවයට වඩා හොඳින් සූදානම් වීමට ඔවුන්ට පුළුවන. මේ සියල්ලම ‘ඔවුන්ගේම ප්‍රයෝජනය’ සඳහාය.—1 කොරින්ති 7:35.
18. ‘බාධාවට පත් නොවී’ යෙහෝවඃවහන්සේට සේවය කිරීමට තමන්ට වුවමනා බව තනිකඩ සහෝදරයන් බොහෝදෙනෙකුට පෙන්විය හැක්කේ කෙසේද?
18 උපස්ථායක සේවකයන් හැටියට සේවය කරන තනිකඩ සහෝදරයන් බොහෝදෙනෙකුට යෙහෝවඃවහන්සේට මෙසේ පැවසිය හැක: “මම මෙහිය; මා යැවුව මැනව.” (යෙසායා 6:8) උපස්ථායක පුහුණු පාසැලට සහභාගි වීම සඳහා ඔවුන්ට අයදුම් කළ හැක; අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමට නිදහස්ව සිටින තනිකඩ උපස්ථායක සේවකයන් සහ වැඩිමහල්ලන් සඳහා එම පාසැල සූදානම් කර ඇත. තමන්ගේ සභාවෙන් බැහැරව සේවය කිරීමට නිදහසක් නොමැති සහෝදරයන්ට පවා, උපස්ථායක සේවකයන් හෝ වැඩිමහල්ලන් හැටියට තමන්ගේ සහෝදරයන්ට සේවය කිරීම සඳහා තමන්වම ඉදිරිපත් කළ හැක.—පිලිප්පි 2:20-23.
19. තනිකඩ සහෝදරියන් බොහෝදෙනෙකු ආශීර්වාද ලබා ඇත්තේ කෙසේද, එමෙන්ම සභාවට ආශීර්වාදයක් වීමට ඔවුන්ට හැකි එක් ආකාරයක් කුමක්ද?
19 අදහස් විමසීමට හා විශ්වාසය තැබීමට මූලිකත්වය ගන්නා පුරුෂයෙකු නැති තනිකඩ සහෝදරියන්, ‘තමන්ගේ බර යෙහෝවඃවහන්සේ මත තැබීමට’ වැඩියෙන් නැඹුරු විය හැක. (ගීතාවලිය 55:22; 1 කොරින්ති 11:3) යෙහෝවඃවහන්සේට තිබෙන ප්‍රේමය නිසා තනිකඩව සිටින සහෝදරියන්ට මෙය විශේෂයෙන්ම වැදගත් වේ. යම් කාලයක් ගත වූ පසු ඔවුන් විවාහ වීමට බලාපොරොත්තු වන්නේ නම්, එය “ස්වාමීන්වහන්සේ තුළ පමණක්” සිදු විය යුතුය; එනම් යෙහෝවඃවහන්සේට කැප වූ කෙනෙකු සමඟ පමණක් විවාහ විය යුතුය. (1 කොරින්ති 7:39) වැඩිමහල්ලෝ තමන්ගේ සභාවන්වල අවිවාහක සහෝදරියන් සිටීම ගැන ස්තුතිවන්ත වෙති; මෙම සහෝදරියෝ නිතරම අසනීප හා මහලු අයව බැහැදැක ඔවුන්ට උපකාර කරති. මෙයට හවුල් වන සියල්ලන්ටම එය සන්තෝෂය ගෙන එයි.—ක්‍රියා 20:35
20. තමන් ‘බාධාවට පත් නොවී ස්වාමීන් කෙරෙහි නිරතුරුවම යෙදී සිටින’ බව බොහෝ ක්‍රිස්තියානීන් පෙන්වමින් සිටින්නේ කෙසේද?
20 “වියවුල් [බාධාවට පත්, NW] නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි [නිරතුරුවම, NW] යෙදී [සිටීම]” සඳහා යෞවන ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් තමන්ගේ තත්වයන් සකස් කරගෙන ඇත්තාහ. (1 කොරින්ති 7:35, NW) පූර්ණ-කාලීන දේවසේවකයන්, මිෂනාරිවරුන් හෝ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලවල සේවය කරන්නන් හැටියට ඔවුහු යෙහෝවඃවහන්සේට සේවය කරති. ඇරත් ඔවුන් මොනතරම් සන්තෝෂවත් කණ්ඩායමක්ද! ඔවුන් සමඟ ඇසුරු කිරීම මොනතරම් ප්රබෝධයක් ගෙන දෙයිද! ඇත්තෙන්ම, ඔවුන් යෙහෝවඃවහන්සේගේ සහ යේසුස්වහන්සේගේ ඇස් ඉදිරියෙහි ‘පිනි මෙනි’.—ගීතාවලිය 110:3.
සැමදා තනිකඩව සිටීමට බාරයක් නැත
21. (අ) විවාහ නොවන බවට බාරයක් වීමට පාවුල් දිරිමත් නොකළ බව පැහැදිලි වන්නේ මන්ද? (ආ) ‘යෞවනයේ මල් පූදින විය පසු කොට සිටීම’ සම්බන්ධයෙන් කතා කරන විට පාවුල් ඇඟවූයේ කුමක්ද?
21 පාවුල්ගේ උපදේශයේ දැකිය හැකි ප්‍රධාන කරුණක් වන්නේ, තනිකඩභාවය සඳහා තමන්ගේ ජීවිතයේ ඉඩ කඩ සලසාගැනීමෙන් ක්‍රිස්තියානීන් “යහපතක්” කරන බවය. (1 කොරින්ති 7:1, 8, 26, 37) කෙසේවෙතත්, විවාහ නොවන බවට බාරයක් වීමට ඔහු ඔවුන්ට කිසිවිටෙකත් ඇරයුම් නොකරන්නේය. ඊට පටහැනිව ඔහු මෙසේ ලීවේය: “නුමුත් යමෙක් තමාගේ කන්‍යාව [කන්‍යාභාවය, NW] ගැන තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බව සිතේ නම්, ඈ ඇගේ [ඔහු තම, NW] තරුණ කාලය [යෞවනයේ මල් පූදින විය, NW] පසුකොට සිටී නම්, ඕනෑකමක්ම තිබේ නම්, ඔහු කැමති දෙයක් කෙරේවා; ඔහු පව් නොකරයි; ඔව්හු විවාහවෙත්වා.” (1 කොරින්ති 7:36) ‘යෞවනයේ මල් පූදින විය පසු කොට සිටීම’ යනුවෙන් පරිවර්තනය කර ඇති තනි ග්‍රීක් වචනය (හයි·පʹර·ක්මොස්) වචනාර්ථයෙන් ගත් කල, එයින් අදහස් වන්නේ “උත්සන්න වූ අවස්ථාව පසු කිරීම” වන අතර, ලිංගික හැඟීම් වැඩියෙන් ඇවිස්සෙන වයස් සීමාව පසු කිරීමට එය යොමු දක්වයි. එනිසා වසර ගණනාවක් තනිකඩව සිට, පසු කාලයකදී තමන් විවාහ විය යුතුයයි හැඟෙන අය, සහකාර ඇදහිලිවන්තයෙකු විවාහ කරගැනීමට සම්පූර්ණයෙන්ම නිදහස්ව සිටිති.—2 කොරින්ති 6:14.
22. ක්‍රිස්තියානියෙකු යොවුන් වියේ මුල් අවදියේදීම විවාහ නොවීම සෑම පැත්තකින්ම වාසිදායක වන්නේ මන්ද?
22 යෞවන ක්‍රිස්තියානියෙකු බාධාවකින් තොරව යෙහෝවඃවහන්සේට සේවය කිරීමට යොදන වසර ගණන නැණවත් ආයෝජනයකි. එම කාලය, ඔහුට හෝ ඇයට ප්‍රායෝගික ප්‍රඥාව, අද්දැකීම් සහ තීක්ෂ්ණ බුද්ධිය අත් කරගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙයි. (හිතෝපදේශ 1:3, 4) රාජ්‍ය කටයුතු වෙනුවෙන් තනිකඩව සිටි පුද්ගලයෙකු පසු කාලයකදී විවාහ වීමට තීරණය කරයි නම්, විවාහ ජීවිතයේ හා ඇතැම්විට දෙමව්පියෙකු වීමේ වගකීම් ඉසිලීමට වඩාත් සුදුසු ස්ථාවරයක සිටී.
23. විවාහ වීමට කල්පනා කරන ඇතැම් අයගේ මනස්වල කුමක් තිබිය හැකිද, එහෙත් ඊළඟ ලිපිවලදී සලකා බලනු ලබන්නේ කිනම් ප්‍රශ්නයද?
23 වසර ගණනාවක් තනිකඩව පූර්ණ-කාලීනව යෙහෝවඃවහන්සේට සේවය කර ඇති ඇතැම් ක්‍රිස්තියානීහු, පූර්ණ-කාලීන සේවයේ ඇතැම් අංගවල දිගටම සේවය කිරීමේ අරමුණ ඇතුව තම අනාගත කලත්‍රයාව පරෙස්සමින් තෝරාගනිති. සැබවින්ම මෙය ප්‍රශංසනීය දෙයකි. ඇතැම් අය තමන්ගේ සේවයට කිසිම අයුරකින් බාධා කිරීමට තම විවාහයට ඉඩ නොහැරීමේ අදහස ඇතුව විවාහ වීම ගැන කල්පනා කරති. එහෙත් ඔහු හෝ ඇය තනිකඩව සිටි කාලයේදී මෙන්, යෙහෝවඃවහන්සේට කරන තම සේවය කෙරෙහි මනස යොමු කර තබාගැනීමට නිදහස්ව සිටිනු ඇති බව විවාහක ක්‍රිස්තියානියෙකු සිතිය යුතුද? ඊළඟ ලිපියේදී මෙම ප්රශ්නය සලකා බලනු ලැබේ.
පුනරීක්ෂණය
◻ කොරින්ති සභාවට ලිපියක් ලිවීමට අවශ්‍යතාවක් තිබූ බව පාවුල්ට හැඟී ගියේ මන්ද?
◻ පූජකාරාමයක ගත කරන ජීවිත-රටාවක් පාවුල් නිර්දේශ කරමින් නොසිටි බව අප දන්නේ මන්ද?
◻ යමෙකුට තනිකඩභාවය සඳහා ‘ඉඩ කඩ සලසාගත’ හැක්කේ කෙසේද?
◻ තනිකඩ සහෝදරියන්ට තමන්ගේ තනිකඩභාවයෙන් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද?
◻ “බාධාවට පත් නොවී” යෙහෝවඃවහන්සේට සේවය කිරීමට තිබෙන තම නිදහසින් ප්‍රයෝජන අත් කරගැනීමට තනිකඩ සහෝදරයන්ට හැක්කේ කිනම් ආකාරවලින්ද?