මරණයෙන් පසු ජීවිතයක් තිබේද?
වසර දහස් ගණනාවක් පුරා ප්‍රශ්න දෙකක් මනුෂ්‍යයන්ව අන්දමන්ද කර තිබේ: එනම් මහලු වී, පසුකාලයකදී මියයෑමට අපට සිදු වන්නේ මන්ද? මරණයෙන් පසු යම් ආකාරයක සිහිසන් ජීවිතයක් තිබේද?
නවීන වෛද්‍ය විද්‍යාවේ සිත්ගන්නා සොයාගැනීම් තුළින් පවා, ඒකාන්ත හෝ සෑහීමට පත් විය හැකි උත්තරයක් ලබා දීමට නොහැකි වී තිබෙන බැවින්, පළමුවන ප්රශ්නය බොහෝදෙනෙකුව ව්‍යාකූල කර තිබේ.
දෙවන ප්‍රශ්නයට විවිධාකාර උත්තර බොහොමයක් තිබේ. කෙසේවුවත්, මරණයෙන් පසු සිහිසන් ජීවිතයක් තිබේද යන ප්‍රශ්නයට උත්තරයක් සොයද්දී, ජීවිතය මේ ජීවිතයට පමණක් සීමා නොවන බව ඒකාන්ත ලෙස විශ්වාස කරන අය හා සිහිසන් ජීවිතය මරණයේදී අවසන් වන බව තරයේ කියා සිටින අය අතර සාමාන්‍යයෙන් භේදයක් පවතී. මනුෂ්‍යයාට අපේක්ෂා කළ හැකි වන්නේ තමාගේ මේ කෙටි ජීවිත කාලය පමණක් බවට, තමන්ගේ මනසේ කිසිදු සැකයක් නැතැයි දෙවනුව සඳහන් කළ කණ්ඩායමෙන් වැඩිදෙනෙක් අපට පවසති. බොහෝදුරට මීට විරුද්ධව ගෙනෙන තර්කවලට, තම අදහස ගැන සෑහීමට පත් වූ මෙවැනි පිළිතුරක් ලැබේ: “අපිට මේවා කියන්න කවුරුත්ම ආයෙත් ඇවිල්ලා නැහැ නේද?”
මතභේදයට තුඩු දෙන වෙනත් ප්රශ්නවලදී මෙන්, තීරණයකට එළඹී නැති බොහෝදෙනෙක් සිටිති; තමුන් ඕනෑම තර්කයකට විවෘතව සිටින බව ඔවුහු කියා සිටිති. එහෙත් තවත් අය එතරම් ගණනකට නොගෙන මෙසේ උත්තර දෙනු ඇත, “ඒ කාලය එනකං අපිට බලා ඉන්න වෙයි!”
දීර්ඝ කාලයක් පුරා පවතින ප්‍රශ්නයක්
දුක් විඳීම ඉදිරියේ ඉවසිලිවන්තව කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රකට වූ, සුප්‍රසිද්ධ ප්රාචීනයෙකු වූ යෝබ් විසින් අවුරුදු 3,500කට පෙර, මරණයෙන් පසු ජීවිතය සම්බන්ධයෙන් කල්තියාම ප්‍රශ්නයක් ඉස්මතු කරනු ලැබීය. යෝබ් තමාගේ ප්රශ්නය ඉදිරිපත් කළේ මේ ආකාරයටය: “මනුෂ්‍යයා මියගිය විට භූමදානය කෙරේ; ඔහු තම අවසන් හුස්ම හෙළා, අභාවයට පත් වෙයි. මුහුදෙන් ජලය සිඳී යන්නාක් මෙන් හෝ ගං පත්ල සිඳී වියළී යන්නාක් මෙන්, මනුෂ්‍යයා මියගොස් යළි නොනැඟිටියි . . . මනුෂ්‍යයෙකු මියගිය විට, ඔහු යළි ජීවත් වේද?”—යෝබ් 14:10-14, නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්.
එහෙත් මරණයෙන් පසු ජීවිතයක් සම්බන්ධයෙන් විමසූ එකම පුද්ගලයා යෝබ් පමණක් නොවේ. “මළවුන්ගේ තත්වය” යන ශීර්ෂය යටතේ, එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් ඇන්ඩ් එතික්ස්, බොහෝ දේ හෙළි කරන මෙම තොරතුරු ඉදිරිපත් කරයි: “මරණයෙන් පසු මනුෂ්‍යයාගේ තත්වය මෙන්, ඔහුගේ ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ වෙනත් කිසිදු විෂයක් ඔහුගේ මනසට මෙතරම් තදින් කාවැදී නැත. ලෝකයේ සෑම ප්‍රදේශයකම වෙසෙන [ස්වදේශික ජනයාට] ආත්ම-ලෝකය සම්බන්ධයෙන්, එනම් එහි ජීවිතය, ගති ලක්ෂණ හා භූ දර්ශනය ගැන ඉතා පැහැදිලි සහ විවිධ සංකල්ප සාමාන්‍යයෙන් තිබේ. තවද මින් අදහස් වන්නේ, ඔවුන් එම විෂය කෙරෙහි අතිමහත් සැලකිල්ලක් දක්වන බවයි. මළවුන් සම්බන්ධයෙන් පැතිර පවතින බියක් තිබීමෙන් අදහස් කරන්නේ, මළවුන් තවමත් ජීවත් වී සිටින බවට වූ ඉපැරණි අදහස තවමත් බලපවත්වන බවයි. මරණය හේතුවෙන් කාය ශක්තිය අහිමි වී තිබිණ; එය හොඳින් පැහැදිලි වූ දෙයකි; එහෙත් ක්‍රියාත්මක වෙමින් පැවති වෙනත් ශක්ති ප්‍රභව තිබුණේ නැද්ද, එසේ නැතහොත්, සූක්ෂ්ම, අද්භූත ආකාරවලින් දිස්වීමට එම ශක්ති ප්රභවයන්ට හැකියාවක් තිබුණේ නැද්ද? මුලදී මනුෂ්‍යයන් ශරීරයෙන් වෙන් වූ හෝ වෙන් නොවූ, ආත්මයක්, ප්‍රාණයක් හෝ හොල්මනක් විශ්වාස කළත්, ඔවුන්ගේ අදහසට අනුව, මළවුන් තවමත් යම් ආකාරයක පැවැත්මක් ගෙන යනවායයි විශ්වාස කිරීමට ඇති තරම් හේතු තිබෙන බව පෙනෙන්ට තිබේ.”
මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද කියා හරියටම කිව නොහැකි වීම; මරණයෙන් පසු යම් ආකාරයක ජීවිතයක් පවතින බව ඒත්තුගෙන සිටීම; එසේ නැතහොත් ජීවිතය, මේ ජීවිතයට පමණක් සීමා වූ බව ඒත්තුගෙන සිටීම යන ඉහත සඳහන් කළ අදහස් තුනෙන් ඕනෑම එකක් ඔබත් විශ්වාස කරනවා විය හැක. කාරණය කුමක් වුවත්, ඊළඟ ලිපිය පරෙස්සමින් සලකා බැලීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. මරණයෙන් පසු සන්තෝෂවත් ජීවිතයක් සඳහා පුදුමාකාර අපේක්ෂාවක් තිබෙන බවත්, එය පැමිණෙනු ඇති ආකාරයත්, එමෙන්ම කොතැනකටද, කවදාද යන්නත් පිළිබඳව, බයිබලය මත පදනම් ඒත්තුගන්වනසුලු සාක්ෂි එහි තිබේද කියා සොයා බලන්න.