විශ්වාසය තැබිය හැකි දෙවියන්වහන්සේට සේවය කිරීම
කිමොන් ප්රෝගාකිස් පැවසූ පරිදි
එය 1955 වසරේ ඉතා සීතල සැන්දෑවක්. බඩු විකුණන කවුන්ටරයක වැඩ කළ, වයස අවුරුදු 18ක් වූ අපේ පුතා, නිවසට ආපසු ආවේ නැති නිසා, මගේ බිරිඳ වන යානූලේ සහ මම කලබල වෙන්ට පටන්ගත්තා. බලාපොරොත්තු නොවුණු විදිහට, පොලිස් භටයෙක් අපේ දොරට තට්ටු කළා. “ඔබේ පුතා බයිසිකලය පැදගෙන ගෙදර එද්දී වාහනයකට හැප්පිලා, අන්තරා වෙලා” කියා ඔහු පැවසුවා. පසුව ඔහු මදක් ඉදිරියට නැමී රහසින් මෙසේ කීවා: “එය අත්වැරැද්දක් කියලා ඔවුන් ඔබට කියාවි, මං කියන දේ විශ්වාස කරන්න, ඒක මිනීමැරුමක්.” ප්‍රදේශයේ පූජකයා හා සමහරක් පරාහමුදා නායකයන් ඔහුව මරාදැමීමට කුමන්ත්‍රණය කර තිබුණා.
ආරවුල් සහ පීඩාවලින් පිරුණු කාලපරිච්ඡේදයකට පසුව ග්‍රීසිය යථා තත්වයට පත් වෙමින් තිබූ ඒ කාලයේදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් වීම අනතුරුදායක දෙයක් වුණා. ග්‍රීක ඔර්තඩොක්ස් පල්ලියේ හා පරාහමුදා සංවිධානවල බලය ගැන මම හොඳින් දැන සිටියා, ඒකට හේතුව වුණේ, අවුරුදු 15කට වැඩි කාලයකට, මම ඒවායේ ක්‍රියාශීලී සාමාජිකයෙක් හැටියට කටයුතු කර තිබීමයි. අවුරුදු 40කට විතර කලින් අපේ පවුලේ සිදු වුණු මෙම දුක්මුසු සිද්ධියට මඟ පෙන්වූ සිද්ධීන් ගැන ඔබට කියන්ට මට ඉඩ දෙන්න.
ග්‍රීසියේ ඇති දැඩිවීම
වර්ෂ 1902දී, ග්‍රීසියේ කාල්කීස් නගරයට කිට්ටුවෙන් පිහිටි කුඩා ගමක ජීවත් වූ පොහොසත් පවුලක, මම ඉපදුණා. මගේ පියා ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල ක්‍රියාශීලී ලෙස නිරත වූ අතර, අපගේ පවුලේ අය ග්‍රීක ඔර්තඩොක්ස් පල්ලියේ භක්තිවන්ත සාමාජිකයන්ව සිටියා. මගේ රටවැසියන්ගෙන් වැඩිදෙනෙකුට අකුරු කියවන්ටවත් ලියන්ටවත් බැරි කාලයකදී, මම දේශපාලන සහ ආගමික පොත් මහත් ආශාවෙන් කියවන කෙනෙක් බවට පත් වුණා.
විසිවන ශතවර්ෂය පටන්ගැන්මේදී තිබුණු දිළිඳුකම හා අයුක්තිය, වඩාත් හොඳ තත්වයන් ඇති ලෝකයක් සඳහා කැමැත්තක් මා තුළ ඇති කළා. මගේ රටවැසියන්ගේ කනගාටුදායක තත්වය නැති කර, දියුණුවක් ඇති කිරීමට ආගමට හැකි විය යුතුයි කියා මම සිතුවා. මගේ ආගමික ළැදියාව නිසා, අපේ ප්‍රජාවේ ග්‍රීක ඔර්තඩොක්ස් පල්ලියේ පූජකයා වෙන්න කියලා මගේ ගමේ ප්‍රධානීන් මට යෝජනා කළා. කොහොම වුණත්, මම පූජකාරාම බොහොමයකට ගිහින්, ඒවායේ ප්‍රධානීන් සහ බිෂොප්වරුන් එක්ක දිගු සාකච්ඡා පවත්වා තිබුණත්, ඒ වගේ වගකීමක් භාරගන්ට සූදානමක්වත් කැමැත්තක්වත් මට තිබුණේ නැහැ.
සිවිල් යුද්ධය අතරතුරේදී
වසර ගණනාවකට පස්සේ, ඒ කියන්නේ 1941 අප්‍රියෙල් මාසයේදී, ග්‍රීසිය නාට්සි පාලනයට යටත් වුණා. මෙනිසා මිනීමැරුම්, සාගත, අමාරුකම් වගේම කෙළවරක් නැති මිනිස් වේදනාවලින් පිරුණු කනගාටුදායක කාලපරිච්ඡේදයක් පටන්ගත්තා. ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් හටගත් අතර, නාට්සි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ ගරිල්ලා කණ්ඩායම්වලින් එකකට මම බැඳුණා. ප්‍රතිඵලයක් හැටියට, මගේ නිවසට කිහිප වතාවක්ම ගිනි තබනු ලැබුවා, මට වෙඩි වැදුණා, ඒ වගේම මගේ බෝග වගාව විනාශ කරනු ලැබුවා. වර්ෂ 1943 මුල්භාගයේදී, රළු මතුපිටක් සහිත කඳුවලට පලායනවා හැර තෝරන්න වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. වර්ෂ 1944දී ජර්මානු පාලනය අවසන් වන තුරු අපි එහි රැඳී සිටියා.
ජර්මානුවන් ගියාට පස්සේ, රටේ දේශපාලන හා සිවිල් සටන් පටන්ගත්තා. මම සම්බන්ධ වෙලා හිටිය ගරිල්ලා සටන් කණ්ඩායම සිවිල් යුද්ධයේදී සටන් කරන ප්‍රධාන සටන්කාමී කණ්ඩායම්වලින් එකක් බවට පත් වුණා. යුක්තිය, සමානත්වය, මිත්‍රත්වය වගේ දේවල් ගැන තියෙන කොමියුනිස්ට්වාදී සංකල්පවලට මගේ සිත ඇදී ගියත්, ඒවායේ යථාර්ථය අන්තිමේදී මාව සම්පූර්ණයෙන්ම කලකිරුණු තත්වයකට පත් කළා. එම කණ්ඩායමේ මට උසස් තනතුරක් තිබූ නිසා, මිනිසුන්ව දූෂ්‍ය කරන්ට බලයට නැඹුරුවාවක් තිබෙන බව මට කෙළින්ම දැකගැනීමට හැකි වුණා. පෙනෙන විදියට උතුම් සිද්ධාන්ත සහ සංකල්ප තිබුණත්, ආත්මාර්ථකාමිත්වය හා අසම්පූර්ණකම නිසා හොඳම දේශපාලන අරමුණු පවා දූෂ්‍ය වෙනවා.
විශේෂයෙන්ම මාව පුදුමයට පත් කළ දෙය වුණේ, සිවිල් යුද්ධයේ විවිධ පැතිවල හිටිය ඔර්තඩොක්ස් පූජකයෝ ඒ අයගේම ආගමට අයිති අයව මරන්ට ආයුධ ගැනීමයි! මම මෙහෙම කල්පනා කළා,‘“කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය” කියා අනතුරු ඇඟවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තමන් නියෝජනය කරන බව මෙම පූජකයන් කියන්නේ කොහොමද?’—මතෙව් 26:52.
වර්ෂ 1946 සිවිල් යුද්ධ සමයේදී, මධ්‍යම ග්‍රීසියේ ලැමීයා නම් නගරය අසල මම සැඟවී සිටියා. මගේ ඇඳුම් හොඳටම දිරලා තිබුණා, ඉතින් වෙස්මාරු කරගෙන නගරයට ගිහින්, නගරයේ හිටිය ඇඳුම් මහන්නෙකුට කියලා අලුත් ඇඳුම් ටිකක් මහගන්න මම තීරණය කළා. මම එතැනට එද්දී සැර විවාදයක් පැවැත්වෙමින් තිබුණා, මමත් ඊට සම්බන්ධ වී, දේශපාලනය ගැන නොව, නමුත් මා කලින් ප්‍රිය කළ දෙය ගැන, එනම් ආගම ගැන කතා කරන්ට පටන්ගත්තා. එය බලා සිටි අය, මගේ දැනුම් තේරුම් ඇති අදහස් සැලකිල්ලට ගනිමින්, එක්තරා ‘දේවධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු’ සමඟ කතා කරන්ට මට යෝජනා කළා. විගසම, ඔවුන් ඔහුව ගෙන ඒමට ගියා.
විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක් සොයාගැනීම
පසුව ඇති වූ සාකච්ඡාවේදී, මගේ විශ්වාසයන්ට ඇති පදනම මොකක්ද කියා “මහාචාර්යවරයා” මගෙන් ඇහුවා. “ශුද්ධ වූ පියතුමන්ලා වගේම ලෝක ව්‍යාප්ත සිනොඩ් සභා,” කියා මම උත්තර දුන්නා. ඊට විරුද්ධව යමක් කියනවා වෙනුවට, ඔහු ඔහුගේ කුඩා බයිබලය මතෙව් 23:9, 10ට පෙරළා, යේසුස්වහන්සේගේ වචන කියවන මෙන් මගෙන් ඉල්ලා සිටියා: “පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියල්ලා. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය. නුඹලා නායකයෝයයි කියවා නොගනිල්ලා. මක්නිසාද නුඹලාගේ නායකයාණෝ එක්කෙනෙක්මය, එනම් ක්‍රිස්තුස්වහන්සේය.”
මෙය මට අලුත් දෙයක් වුණා! මේ මිනිසා සත්‍යය කතා කරමින් හිටිය බව මට තේරුණා. ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු හැටියට තමාව හඳුන්වා දුන් විට, කියවීම සඳහා මම ඔහුගෙන් පොත් පත් සමහරක් ඉල්ලා සිටියා. ඔහු මට ලයිට් නම් පොත ගෙනත් දුන්නා, ඒක එළිදරව් පොත ගැන විස්තර කරන පොතක්, ඉතින් මම ඒක සැඟවී සිටි ස්ථානයට ගෙන ගියා. එළිදරව් පොතේ යොමු දක්වන මෘගයන් බොහෝ කාලයක සිට මට අභිරහසක් වෙලා තිබුණා, නමුත් මේවා අපේ 20වන ශතවර්ෂයේ පවතින දේශපාලන සංවිධාන නියෝජනය කරන බව මම දැන් දැනගත්තා. අපගේ කාලයට ගැළපෙන ප්‍රායෝගික අර්ථයක් බයිබලයට තිබෙන බවත්, එය මම ඉගෙනගත යුතු බවත්, එහි සත්‍යයන්ට අනුව මගේ ජීවිතය හැඩගැස්විය යුතු බවත් මම තේරුම්ගන්ට පටන්ගත්තා.
අල්ලා සිරගත කරනු ලැබ
ඉන් ටික කාලයකට පස්සේ, සෙබළුන් මම සැඟවී සිටි ස්ථානයට කඩා වැදී, මාව අත්අඩංගුවට ගත්තා. ඉන්පසු අඳුරු සිර කුටියකට දමනු ලැබුවා. මාව අත්අඩංගුවට ගන්ට අවශ්‍යව තිබුණත්, මම යම් කලකට කට්ටි පනිමින් සිටි දාමරිකයෙකුව සිටි නිසා, මට මරණ දණ්ඩනය ලැබේවි කියා මම හිතුවා. එහි මගේ කුටියේ සිටිද්දී, මා සමඟ මුලින් කතා කළ සාක්ෂිකරුවා මාව බලන්න ආවා. යෙහෝවඃවහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට ඔහු මට දිරිගැන්වුවා. මම එසේ කළා. රටින් පිටුවහල් කර, මාස හයකට මාව ඊකරීයාහි යිජීයාන් දිවයිනේ තැබීමට නියම කළා.
මම එහි පැමිණි මොහොතේ පටන් මාව හඳුන්වා දුන්නේ කොමියුනිස්ට්වාදියෙකු වශයෙන් නොවේ, ඒ වෙනුවට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වශයෙනුයි. බයිබල් සත්‍යතාවන් ඉගෙනගත් වෙනත් අයවත් මෙම දූපතට පිටුවහල් කර එවා තිබුණා, ඉතින් මම ඔවුන්ව සොයාගත් අතර, අපි නිතිපතා බයිබලය එකට පාඩම් කළා. ශුද්ධ ලියවිලිවලින් බොහෝ දැනුම ලබාගැනීමටත්, විශ්වාසය තැබිය හැකි දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේ ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමටත් ඔවුන් මට උපකාර කළා.
වර්ෂ 1947දී, මගේ දඬුවම් කාලය අවසන් වූ විට, ජන අභිචෝදකයාගේ කාර්යාලයට මාව කැඳවනු ලැබුවා. මගේ හොඳ හැසිරීම නිසා පුදුමයට පත් වුණ බව ඔහු මට පැවසුවා. නැවත වරක් මාව පිටුවහල් කරනු ලැබුවොත්, ඔහුගේ නම නිර්දේශයක් හැටියට පාවිච්චි කරන්න කියා ඔහු පැවසුවා. පිටුවහල්ව සිටි ඒ කාලයේදී මගේ පවුලේ අය අතීනසයට පදිංචියට ගොස් සිටි අතර, එහි යෑමෙන් පසු මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් සමඟ ආශ්‍රය කිරීමට පටන්ගත්තා, ඉක්මනින්ම යෙහෝවඃවහන්සේට වූ මගේ කැපවීම මම බව්තීස්මයෙන් සංකේතවත් කළා.
අන්‍ය ආගමකට හැරීම නිසා චෝදනා ලැබ
අන්‍ය ආගමකට හැරවීම තහනම් කරමින්, 1938 සහ 1939 වසරවලදී පනවන ලද නීති යටතේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට දශක ගණනාවක් පුරා ග්‍රීසිය චෝදනා ඉදිරිපත් කළා. මේ නිසා, 1938 සිට 1992 දක්වා සාක්ෂිකරුවන් 19,147දෙනෙක්ව ග්‍රීසිය අත්අඩංගුවට ගෙන තිබුණා, එමෙන්ම අධිකරණයෙන් පනවන ලද සිර දඬුවම් කාලයේ එකතුව අවුරුදු 753ක් වූ අතර, ඉන් අවුරුදු 593ක්ම ඇත්තෙන්ම සිරභාරයේ ගත කරනු ලැබුවා. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම නිසා පෞද්ගලිකව මාව 40 වතාවකට වැඩියෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා, එමෙන්ම විවිධ සිරගෙවල්වල මම මාස 27ක් ගත කර තියෙනවා.
කාල්කීස්හි සිටි ග්‍රීක ඔර්තඩොක්ස් පූජකයෙකුට මම ලිවූ ලියුමක ප්‍රතිඵලයක් ලෙස වරක් මාව අත්අඩංගුවට ගනු ලැබුවා. ක්රිස්න්ඩම් ඕර් ක්‍රිස්ටියෑනිටි—විච් වන් ඊස් “ද ලයිට් ඔෆ් ද වර්ල්ඩ්”? යන පොත්පිංචය සියලුම පූජකයන්ට යවන මෙන් 1955දී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවලින් ඉල්ලා සිටියා. මම ලිපියක් යැවූ එක් උසස් පෙළේ පූජකයෙක් මම අන්‍ය ආගමකට හරවන බවට පැමිණිලි කර තිබුණා. නඩු විභාගයේදී, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන සැබෑ ක්‍රිස්තියානීන්ට දේශනා කිරීමට තිබෙන බැඳීම පැහැදිලි කරමින්, සාක්ෂිකාර නීතිඥවරයා සහ ප්‍රාදේශීය නීතිඥවරයා දක්ෂ විදිහට කරුණු ඉදිරිපත් කළා.—මතෙව් 24:14.
අධිකරණයේ මුලසුන දරන විනිශ්චකාරයා දේවස්ථානයේ නායක පූජකතුමාගෙන් (බිෂොප් යටතේ පල්ලියේ උසස් තනතුරක් දරන කෙනෙක්) මෙසේ ඇසුවා: “ඔබ ලිපියයි පොත්පිංචයයි කියෙව්වාද?”
“නැහැ, මම ලියුම් කවරය ඇරිය ගමන්ම ඒක ඉරලා විසි කළා!” කියා ඔහු පරුෂ අන්දමින් උත්තර දුන්නා.
“එහෙනම් මේ මිනිසා ඔබව අන්‍ය ආගමකට හරවන්න හැදුවා කියලා ඔබ කියන්නේ කොහොමද?” මුලසුන දරන විනිශ්චකාරයා විමසුවා.
ඊළඟට අපේ නීතිඥවරයා පොදු පුස්තකාලවලට පොත් පරිත්‍යාග කර තිබූ මහාචාර්යවරුන් සහ වෙනත් අය ගැන උදාහරණ සඳහන් කළා. “ඒ අය වෙනත් අයව අන්‍ය ආගමකට හරවන්ට උත්සාහ කළා කියලා ඔබ කියනවාද?”, ඔහු ඇසුවා.
එවන් ක්‍රියාකාරකම් අන්‍ය ආගමකට හැරවීමක් අදහස් නොකළ බව පැහැදිලියි. “වරදකරු නොවේ” යන තීරණය ඇසූ විට, මම යෙහෝවඃවහන්සේට ස්තූති කළා.
මගේ පුතාගේ මරණය
මගේ පුතා ජෝර්ජ්ටත් නිතර හිරිහැර කරනු ලැබුවා. සාමාන්‍යයෙන් ඔර්තඩොක්ස් පූජකයන්ගේ පෙලඹවීම යටතේ මෙය සිදු වුණා. යෞවනයෙක් හැටියට ජ්වලිතව දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීම නිසා, ඔහුවත් හුඟක් අවස්ථාවලදී අත්අඩංගුවට ගත්තා. අන්තිමේදී, විරුද්ධකාරයන් ඔහුව නැති කිරීමට තීරණය කළා. ඒත් එක්කම අපි හැමෝටම දේශනා කිරීම නවත්වන්න කියා අනතුරු අඟවන පණිවුඩයක් යවන්ටත් ඒ අය තීරණය කළා.
ප්‍රාදේශීය ග්‍රීක ඔර්තඩොක්ස් පූජකයත් සමහර පරාහමුදා නායකයනුත් අපේ පුතාව මරන්න කුමන්ත්‍රණය කර තිබුණු බව ජෝර්ජ්ගේ මරණය ගැන දන්වන්න ආව පොලිස් භටයා කීවා. එවන් භයානක කාලවලදී මේ වගේ “අනතුරු” සාමාන්‍ය දෙයක් වුණා. ඔහුගේ මරණය නිසා ඇති වුණු දුක තිබුණත්, ඒකෙන් සිද්ධ වුණේ දේශනා සේවයේ ක්‍රියාකාරිව සිටින්ටත් යෙහෝවඃවහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන්ම විශ්වාසය තබන්ටත් තිබුණු අපගේ අධිෂ්ඨානය ශක්තිමත් වීම විතරයි.
යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අන්‍යයන්ට සහය වීම
එක්දහස් නවසිය හැටගණන්වල මැදභාගයේදී, මගේ බිරිඳත් ළමයිනුත් අතීනසයේ ඉඳලා කිලෝමීටර 50ක් විතර ඈතින් පිහිටා තියෙන වෙරළාසන්න නගරයක් වන ස්කාලා ඕරෝපස්හි ග්‍රීෂ්ම මාස කිහිපය ගත කළා. ඒ කාලයේදී, සාක්ෂිකරුවන්ගෙන් කිසිම කෙනෙක් එහි ජීවත් වුණේ නැති නිසා, අපි අසල්වැසියන්ට අවිධිමත්ව සාක්ෂිදැරුවා. ඒ පළාතේ ජීවත් වෙන සමහරක් ගොවීන් සතුටුදායක ප්‍රතිචාරයක් දැක්වූවා. දවාලේදී, වැඩි කාලයක් පිරිමි අය කුඹුරුවල වැඩ කළ නිසා, අපි ඔවුන් සමඟ රාත්රියේදී බයිබල් පාඩම් පැවැත්වුවා, ඔවුන්ගෙන් කිහිපදෙනෙක් සාක්ෂිකරුවන් බවට පත් වුණා.
යෙහෝවඃවහන්සේ අපේ උත්සාහයන්ට ආශීර්වාද කරන විදිහ දැකලා, අවුරුදු 15කට ආසන්න කාලයක් පුරා අපි උනන්දුව දැක්වූ අයත් එක්ක බයිබල් පාඩම් පවත්වන්ට සෑම සතියකම එහි ගියා. එහි අපි සමඟ පාඩම් කළ 30දෙනෙක් පමණ බව්තීස්මය දක්වා දියුණුවක් ලබා තිබෙනවා. මුලින්ම පාඩම් කණ්ඩායමක් සකස් කරනු ලැබූ අතර, එහි රැස්වීම් පැවැත්වීමට මම පැවරුම් ලැබුවා. පසුව කණ්ඩායම සභාවක් බවට පත් වුණා. අද එම ප්‍රදේශයේ සාක්ෂිකරුවන් 100කට වඩා වැඩිදෙනෙකුගෙන් මාලාකාසා සභාව සකස් වී තියෙනවා. අපි උපකාර කළ හතරදෙනෙකු දැන් පූර්ණ කාලීන දේවසේවකයන් හැටියට සේවය කරනවා දැකීමෙන් අපි සන්තෝෂ වෙනවා.
අගනා උරුමයක්
මම මගේ ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කළායින් ටික කාලයකට පස්සේ, මගේ බිරිඳ ආත්මිකව දියුණු වී බව්තීස්ම ලැබුවා. පීඩාවලින් පිරුණු අමාරු කාලපරිච්ඡේදය අතරතුරේදී, ඇගේ විශ්වාසය ශක්තිමත්ව තිබුණා. ඇගේ අඛණ්ඩතාව ස්ථිරව හා නොසැලෙන අන්දමින් ඇය පවත්වාගත්තා. මම නිතර නිතර සිරගත වීම නිසා විඳින්ට සිදු වුණු පීඩා ගැන ඇය කිසිම දවසක පැමිණිලි කළේ නැහැ.
පසුගිය වසර ගණනාව පුරා, අපි එකට හුඟක් බයිබල් පාඩම් පැවැත්වුවා. ඒ වගේම ඇය ඇගේ සරල ඒවගේම උද්යෝගිමත් එළඹීම්වලින් ඵලදායක විදියට හුඟදෙනෙකුට උපකාර කළා. දැනට, ඇයට සඟරා මාර්ගයක් තියෙනවා, ඇය විසින් නිතිපතා මුරටැඹ සහ පිබිදෙව්! බෙදාහරින මිනිස්සු හුඟදෙනෙක් ඒකට ඇතුළත්.
මගේ ප්‍රේමනීය සහකාරිය හුඟක් උපකාර කළ නිසා, ජීවතුන් අතර සිටින අපේ ළමයි තුන්දෙනාත්, මුනුපුරු මිනිපිරියන් හයදෙනෙක් සහ ඔවුන්ගේ ළමයි හතරදෙනෙක් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සියලුදෙනාත්, යෙහෝවඃවහන්සේගේ සේවයෙහි ක්‍රියාශීලීව යෙදෙනවා. මගේ බිරිඳටත් මටත් මුහුණ දෙන්ට සිද්ධ වුණ පීඩා වගේම දරුණු විරුද්ධවාදිකම් සමඟ කටයුතු කරන්ට ඔවුන්ට සිද්ධ නොවුණත් ඔවුන් යෙහෝවඃවහන්සේ කෙරෙහි ඔවුන්ගේ සම්පූර්ණ විශ්වාසයම තබා තිබෙනවා, ඒ වගේම උන්වහන්සේගේ මාර්ගවල ඔවුන් දිගටම ගමන් කරමින් සිටිනවා. නැවත නැඟිටීමේදී අපගේ ප්‍රේමණීය ජෝර්ජ් පැමිණෙද්දී ඔහුත් එක්ක ආයෙත් එකතු වෙන්ට ලැබෙන එක අපි හැමෝටම මොනතරම් සතුටක් වේවිද!
යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අධිෂ්ඨානය ඇතුව
පසුගිය වසර ගණනාව තුළ, යෙහෝවඃවහන්සේගේ ආත්මය උන්වහන්සේගේ ජනයා මත ක්‍රියා කරනවා මම දැක තිබෙනවා. මනුෂ්‍ය උත්සාහයන් කෙරෙහි අපේ විශ්වාසය තබන්ට බැරි බව වටහාගන්ට, උන්වහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වනු ලබන සංවිධානය මට උපකාර කර තිබෙනවා. වඩාත් හොඳ අනාගතයක් ගැන කරන ඔවුන්ගේ පොරොන්දු නිෂ්ඵලයි, සැබෑ තත්වය නම් ඒවා නිකම්ම නිකම් ලොකු බොරුවක් පමණක් වීමයි.—ගීතාවලිය 146:3, 4.
වයසට යෑම වගේම සෞඛ්‍ය ගැටලු තිබුණත්, මගේ ඇස් යොමු වෙලා තියෙන්නේ රාජ්‍යය බලාපොරොත්තුවේ සැබෑ තත්වය වෙතටයි. බොරු ආගමට කැපවීමෙන් හා දේශපාලනය මාර්ගයෙන් වඩා හොඳ තත්වයක් ගෙන ඒමට උත්සාහ කිරීම සඳහා මම ගත කළ අවුරුදු ගණනාව ගැන මම ඇත්තෙන්ම පසුතැවිලි වෙනවා. මගේ ජීවිතයේ ආ පස්සට යන්න මට අවස්ථාවක් ලැබුණොත්, විශ්වාසය තැබිය හැකි දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට සේවය කරන්ට තීරණය කරන බවට කිසිම සැකයක් නැහැ.
(කිමොන් ප්රෝගාකිස් මෑතකදී මියගියේය. ඔහුට භූමික බලාපොරොත්තුවක් තිබිණ.)
[26වන පිටුවේ පින්තූරය]
කිමොන් හා ඔහුගේ බිරිඳ යානූලේ, මෑතකදී ගත් ඡායාරූපයක