‘අපට යාච්ඤා කරන්ට ඉගැන්නුව මැනව’
‘ස්වාමීනි, අපට යාච්ඤා කරන්ට ඉගැන්නුව මැනව.’ මෙම අයැදුම කරන ලද්දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙකු විසිනි. (ලූක් 11:1) නම සඳහන් නොකරන ලද මෙම ගෝලයා යාච්ඤාව සඳහා ගැඹුරු අගය කිරීමක් තිබූ පුද්ගලයෙකු බව පැහැදිලිය. ඒ හා සමානව අදදින සැබෑ නමස්කාරකයෝද එහි වැදගත්කම අවබෝධ කරගනිති. සියල්ලටම වඩා, යාච්ඤාව වනාහි විශ්වයේ සිටින ශ්‍රේෂ්ඨතම තැනැන්වහන්සේ විසින් සවන් දෙනු ලැබීමේ ප්‍රස්තාව අප ලබන මාර්ගයකි! මෙය කල්පනා කර බලන්න! ‘යාච්ඤා අසන තැනැන්වහන්සේ’ අපගේ ඕනෑ එපාකම් සහ කාන්සාවන්ට පෞද්ගලික අවධානය යොමු කරනසේක. (ගීතාවලිය 65:2) වඩාත් වැදගත් වන්නේ, යාච්ඤාව මාර්ගයෙන්, අපට දෙවියන්වහන්සේට ස්තුතිය හා ප්‍රශංසාව පිරිනැමීමට හැකිවීමයි.—පිලිප්පි 4:6.
කෙසේවෙතත්, ‘අපට යාච්ඤා කරන්ට ඉගැන්නුව මැනව’ යන වචන බැරෑරුම් ප්‍රශ්න සමහරක් මතු කරයි. ලොව පුරා විවිධ ආගම් දෙවියන්වහන්සේ වෙතට ළඟාවීමේ ක්‍රම බොහොමයක් භාවිත කරයි. එහෙත් යාච්ඤා කිරීමට හරි හා වැරදි ආකාරයක් තිබේද? උත්තරයක් වශයෙන්, යාච්ඤාව සම්බන්ධ වන ප්‍රසිද්ධ ආගමික චාරිත්‍ර කිහිපයක් ගැන අපි පළමුව සලකා බලමු. ලතින් අමෙරිකාවේ පිළිපදිනු ලබන චාරිත්‍ර කෙරෙහි අපි අවධානය යොමු කරමු.
රූප සහ “ආරක්ෂක මුනිවරුන්”
සාමාන්‍යයෙන් ලතින් අමෙරිකානු රටවල වැසියන් ඉතා භක්තිමත් අයය. නිදසුනක් වශයෙන්, මෙක්සිකෝව පුරා “ආරක්ෂක මුනිවරුන්ට” යාච්ඤා කිරීමේ ප්‍රසිද්ධ සිරිත කෙනෙකුට නිරීක්ෂණය කළ හැක. සැබවින්ම, ජනයා “ආරක්ෂක මුනිවරුන්” සඳහා උත්සව පැවැත්වීම පිණිස විශේෂ දින වෙන් කර තබා සිටීම මෙක්සිකානු නගරවල චාරිත්‍රානුකූල දෙයකි. මෙක්සිකානු කතෝලිකයෝ විවිධාකාරයේ සුරුවම් රැසකටද යාච්ඤා කරති. කෙසේවෙතත්, කුමන “මුනිවරයාගෙන්” පිහිට අයදින්නේද යන්න, නමස්කාරකයා කුමන ආකාරයේ අයැදුමක් කිරීමට කැමැත්තක් දක්වන්නේද යන්න මත රඳා පවතී. කෙනෙකු විවාහ වීමට කලත්‍රයෙකු සොයන්නේ නම්, ඔහුට අන්තෝනි “මුනිවරයාට” ඉටිපන්දමක් පත්තු කළ හැක. යමෙකු මෝටර් රථ සංචාරයක් ආරම්භ කරන විටදී, සංචාරකයන්ගේ, විශේෂයෙන්ම මෝටර් රථ ධාවකයන්ගේ ආරක්ෂකයා වන ක්‍රිස්ටෝෆර් “මුනිවරයාට” තමාව භාර කළ හැක.
කෙසේවෙතත්, එවන් චාරිත්‍ර ආරම්භ වූයේ කොතැනින්ද? ස්පාඤ්ඤ ජාතිකයන් මෙක්සිකෝවට පැමිණි විට, මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට කැප වූ ජනකායක් ඔවුන් සොයාගත් බව ඉතිහාසය පෙන්නුම් කරයි. ලෝස් ආස්ටෙකාස්, හෝම්බ්රෙ ඉ ට්රිබූ (ඇස්ටෙක්වරු, මිනිසා සහ ගෝත්‍රය) නම් තම පොතෙහි වික්ටෝ වෝල්ෆ්ගාං වෝන් හාගන් මෙසේ පවසයි: “පෞද්ගලික දෙවිවරු සිටියෝය, සෑම පැළෑටියකටම ඊට ආවේනික වූ දෙවිකෙනෙක්ද, සෑම ක්‍රියාවකටම ඊට ආවේනික වූ දෙවිකෙනෙක් හෝ දේවතාවියක්ද සිටියෝය, සියදිවි නසාගැනීම සඳහා පවා දෙවිකෙනෙක් සිටියේය. යාකාටෙකූට්ලි ව්‍යාපාරිකයන්ගේ දෙවියා විය. මෙම බහුදේවවාදී ලෝකයේ, සියලුම දෙවිවරුන්ට නිශ්චිත ලෙස විස්තර කරන ලද නැඹුරුවාවන් හා ක්‍රියාකාරකම් තිබිණ.”
මෙම දෙවිවරුන් හා කතෝලික “මුනිවරුන්” අතර තිබූ සමානකම් කෙතරම් පැහැදිලිව තිබුණාද කිවහොත්, ස්වදේශිකයන්ව “ක්‍රිස්තියානි කරවීමට” ස්පාඤ්ඤ ජයග්‍රාහකයන් වෑයම් කළ විට, මොවුහු පහසුවෙන්ම ඔවුන්ගේ බැඳීම රූපවල සිට පල්ලියේ “මුනිවරුන්” වෙත පිරිනැමූහ. මෙක්සිකෝවේ සමහර කොටස්වල පිළිපදිනු ලබන කතෝලික ධර්මයේ මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භයන් ද වෝල් ස්ට්‍රීට් ජර්නල්හි ලිපියක් පිළිගත්තේය. එක් ප්‍රදේශයක ජනකායකගෙන් ගරුබුහුමන් ලබන “මුනිවරුන්” 64දෙනාගෙන් වැඩිදෙනෙකුම “මායාවරුන්ගේ විශේෂිත දෙවිවරුන්ට” අනුරූප වන බව එය සඳහන් කරයි.
“මුනිවරුන් හා පොළොවේ සිටින අය අතර ස්ථිර කුලුපග බැම්මක් පිහිටුවා තිබේ, . . . එම බැම්ම, ක්‍රිස්තුස්වහන්සේ සහ දෙවියන්වහන්සේ සමඟ ඇති සබඳතාව අඩු කරනවා වෙනුවට, එය වඩාත් සඵල කර ගැඹුරු කරයි,” යනුවෙන් නිව් කැතලික් එන්සයික්ලොපීඩියා තර්ක කරයි. එහෙත් පැහැදිලිවම මිථ්‍යාදෘෂ්ටික ඇදහිල්ලේ ලකුණක් වන බැම්මකට, සැබෑ දෙවියන්වහන්සේ සමඟ ඇති කෙනෙකුගේ සබඳතාව ගැඹුරු කිරීමට හැක්කේ කෙසේද? එවන් “මුනිවරුන්ට” ඉදිරිපත් කරනු ලබන යාච්ඤා, සැබවින්ම දෙවියන්වහන්සේව සතුටු කරනු ඇද්ද?
කොන්තයේ මූලාරම්භය
තවත් ප්‍රසිද්ධ චාරිත්‍රයක් කොන්තයේ භාවිතය හා සම්බන්ධ වේ. කොන්තය වනාහි, “ඇට පනහක් හෝ එකසිය පනහක් අමුණා ඇති දිග නූලක් වන අතර, ඇට දහයෙන් දහයට වෙන් කිරීමට විශාල ප්‍රමාණයේ ඇටය බැගින් අමුණා තිබේ, නූලේ දෙකෙළවර එක් කර කුරුසයක් සම්බන්ධ කොට තිබේ, අදදින භාවිත වන කොන්තයේ නූලේ දෙකෙළවර එක් වන ස්ථානයේ සිරස් අතට පහළට තවත් ඇට තුනක් අමුණා, ඊට පසුව කුරුසයක් සම්බන්ධ කර ඇති වැළක් බව ඩික්සියෝනාර්යෝ එන්සික්ලොපෙඩිකෝ හිස්පානෝ ආමෙරිකානෝ (හිස්පැනික් අමෙරිකන් එන්සයික්ලොපිඩික් ඩික්ෂනරි) විස්තර කරයි.
කොන්තය පාවිච්චි කරන ආකාරය පැහැදිලි කරමින්, එක් කතෝලික ප්රකාශනයක් මෙසේ පවසයි: “ශුද්ධ කොන්තය වනාහි, අපගේ මිදීම සම්බන්ධ අබිරහස් ගැන කරනු ලබන වාචික හා මානසික යාච්ඤා ක්රමයකි. එය කොටස් 15කින් සමන්විතය. එක් එක් කොටසකට, ස්වාමීන්ගේ යාච්ඤාවක්, නමෝමරිය දහයක් සහ ත්‍රිත්ව ස්තෝත්‍රය කටපාඩමින් කීම ඇතුළත්ය. සෑම කොටසක් අතරතුරේදී අබිරහසක් මෙනෙහි කරනු ලැබේ.” අබිරහස් වනාහි කතෝලිකයන් විසින් දැන සිටිය යුතු ධර්මයන් හෝ ඉගැන්වීම් වේ, තවද මෙම අවස්ථාවේදී ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය, දුක් වේදනා හා මරණය වෙත යොමු දක්වයි.
ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “ක්‍රිස්තියානි ධර්මය තුළ කොන්තයක් ඇතුව යාච්ඤා කිරීමේ පුරාණ ක්‍රම ආරම්භ වූයේ මධ්‍ය කාලීන යුගවලදීය, එහෙත් පුළුල්ව පැතිර තිබුණේ 1400 ගණන්වල සහ 1500 ගණන්වලදීය.” කොන්තය පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම කතෝලික ධර්මයට සීමා වූ දෙයක්ද? නැත. ඩික්සියෝනාර්යෝ එන්සික්ලොපෙඩිකෝ හිස්පානෝ ආමෙරිකානෝ මෙසේ ප්‍රකාශ කරයි: “ඒ හා සමාන ඇට, මුස්ලිම්, ලාමාවාදී සහ බෞද්ධ වන්දනාවේ භාවිතයේ පවතී.” ඇත්තෙන්ම, එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් ඇන්ඩ් රිලිජන්ස් මෙසේ අදහස් පළ කරයි: “මහම්මත් භක්තිකයන් කොන්තය බෞද්ධයන්ගෙන් ලබාගත් බවත්, කුරුස යුද සමයේදී කිතු බැතිමතුන් මහම්මත් භක්තිකයන්ගෙන් ලබාගත් බවත්, යෝජනා කර තිබේ.”
යාච්ඤා ගණනාවක් නැවත නැවත කීමට අවශ්‍ය වන විට, කොන්තය හුදෙක් මතක් කරගැනීමේ උපකාරකයක් ලෙස භාවිත කරන බවට සමහරු තර්ක කරති. එහෙත් එහි භාවිතය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ සතුටු වනසේක්ද?
එවන් චාරිත්‍රවල සුදුසුබව හා වලංගුභාවය පිළිබඳව සැක කිරීමට හෝ තර්ක කිරීමට හෝ අපට අවශ්‍ය නැත. යාච්ඤා කරන්නේ කෙසේද කියා ඉගැන්වීමට තම අනුගාමිකයන් කළ ඉල්ලීමට යේසුස්වහන්සේ අධිකාරිත්වයෙන් යුතුව ප්‍රතිචාරයක් දැක්වූසේක. උන්වහන්සේ පැවසූ දේ ඇතැම් පාඨකයන්ව දැනුවත් කරනු හා සමහරවිට පුදුමයට පත් කරනු ඇත.
[3වන පිටුවේ පින්තූර]
කතෝලිකයෝ සාමාන්‍යයෙන් කොන්ත ඇට භාවිත කරති. ඒවායේ මූලාරම්භය කුමක්ද?