ආශීර්වාද හෝ ශාප—අදදින අපහට ආදර්ශ
“ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.”—1 කොරින්ති 10:11.
1. යමෙකු මෙවලමක් පරීක්ෂා කර බලන්නාක් මෙන්, අප කුමන පරීක්ෂාව කළ යුතුද?
ආලේප කර තිබෙන තීන්තවලට යටින් බැඳෙන නොපෙනෙන මලකඩ හේතුවෙන්, යකඩින් සාදන ලද උපකරණයක් විඛාදනය වීමට පටන්ගත හැක. මතුපිටෙහි මලකඩ දක්නට ලැබෙන්නේ සෑහෙන කාලයක් ගෙවීයෑමෙන් පසුවයි. ඒ හා සමානව මෙම පිරිහීම හේතුවෙන් බරපතළ ප්‍රතිවිපාක ඇතිවීමටත්, එය අනුන්ගේ අවධානයට ලක්වීමටත් බොහෝ කාලයකට පෙර පවා, යමෙකුගේ හෘදයේ ආකල්ප හා ආශා පිරිහීමට පටන්ගත හැක. යම් උපකරණයක මල බැඳෙනවාද කියා අප එය ඥානවන්තව පරීක්ෂා කර බලන්නාක් මෙන්, අපේ හදවත් හොඳින් පරීක්ෂා කර බැලීමත්, කාලීන නඩත්තුවත් අපේ ක්‍රිස්තියානි අඛණ්ඩතාව රැකගැනීමට ඉවහල් විය හැක. වෙනත් අන්දමකින් පැවසුවහොත්, දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලැබීමටත් දිව්‍ය ශාප මඟහැරීමටත් අපට හැකි වනු ඇත. මේ දේවල පිළිවෙළේ සමාප්තියට මුහුණ දෙන අයහට පුරාණ ඉශ්රායෙල් කෙරෙහි ප්‍රකාශ වූ ආශීර්වාද හා ශාප අර්ථවත් නොවන බව ඇතමෙකු කල්පනා කරනවා විය හැක. (යෝෂුවා 8:34, 35; මතෙව් 13:49, 50; 24:3) කෙසේවෙතත්, එය සැබෑවක් නොවේ. පළමුවන කොරින්ති 10වන පරිච්ඡේදයෙහි විස්තර කර තිබෙන පරිදි, ඉශ්රායෙල් ආශ්රිත අවවාදාත්මක ආදර්ශවලින් අපට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.
2. කාන්තාරයෙහි ඉශ්රායෙල්වරුන්ගේ අද්දැකීම් පිළිබඳව 1 කොරින්ති 10:5, 6 පවසන්නේ කුමක්ද?
2 ප්‍රේරිත පාවුල්, මෝසෙස් යටතේ සිටි ඉශ්‍රායෙලිතයන් සමඟ ක්‍රිස්තුස්වහන්සේ යටතේ සිටින ක්‍රිස්තියානීන්ව සමාන්තර කොට දක්වයි. (1 කොරින්ති 10:1-4) ඉශ්රායෙල් ජනයාට පොරොන්දු දේශයට ඇතුල්වීමට ප්‍රස්තාව තිබූ නමුත්, “ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.” එනිසා පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසීය: “ඉදින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.” (1 කොරින්ති 10:5, 6) හෘදයෙහි ආශාවන් පෝෂණය කරනු ලබන බැවින්, පාවුල් සඳහන් කරන අවවාදාත්මක ආදර්ශවලට අප අවනත විය යුතුය.
රූප වන්දනාවට එරෙහිව අවවාද කිරීම
3. රන් වස්සා සම්බන්ධයෙන් ඉශ්රායෙල්වරුන් පව් කළේ කෙසේද?
3 පාවුල්ගේ පළමු අවවාදය මෙයයි: “සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙල්ලා.” (1 කොරින්ති 10:7) මෙම අවවාදාත්මක ආදර්ශය වූ කලි, ඉශ්රායෙල්වරුන් මිසරයේ මාර්ගවලට යොමු වී, ප්රතිමාපූජක රන් වස්සෙකු සෑදීම සම්බන්ධයෙන්ය. (නික්මයාම 32වන පරිච්ඡේදය) ශ්‍රාවක ස්තේපන් මූලික ගැටලුව කුමක්දැයි ඇඟවීය: “අපේ පියවරු [දෙවියන්වහන්සේගේ නියෝජිත මෝසෙස්ට] කීකරුවෙන්ට නොකැමැතිව, ඔහු නෙරපා තමුන්ගේ සිත්වලින් මිසරය දෙසට හැරී, ආරොන්ට කථාකරමින්: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුවමැනවි. කුමක්හෙයින්ද මිසර දේශයෙන් අප ගෙනාවාවූ ඒ මෝසෙස්ට කුමක් වුණාද කියා නොදනිමුයයි කීවෝය. ඔව්හු ඒ දවස්වලදී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ගෙනැවිත්, තමුන්ගේ හස්තකර්ම ගැන ප්‍රීතිවුණෝය.” (ක්‍රියා 7:39-41) හිතුවක්කාර ඉශ්‍රායෙලිතයන්, රූප වන්දනාවට මඟ පෑදූ වැරදි ආශා “තමුන්ගේ සිත්” තුළ පැලපදියම් කරගත් බව සැලකිල්ලට ගන්න. ඔව්හු . . . වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් [ගෙනාවෝය].” එපමණක්ද නොව, ඔවුහු “තමුන්ගේ හස්තකර්ම ගැන ප්‍රීතිවුණෝය.” සංගීතය, ගී ගැයීම, නැටුම්, ආහාර පාන ගැනීම දක්නට ලැබිණ. සිදු වූ රූප වන්දනාව සිත් ඇදගන්නාසුලු විනෝදය ඇති කළ යමක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
4, 5. අප කුමන ප්රතිමාපූජක පිළිවෙත්වලින් වැළකී සිටිය යුතුද?
4 ප්‍රතිරූපී මිසරය, එනම් සාතන්ගේ ලෝකය විනෝදාස්වාදයට වන්දනාමාන කරනවා හා සමානය. (1 යොහන් 5:19; එළිදරව් 11:8) නළුවන්, ගායකයන් හා ක්‍රීඩා ශූරයන් මෙන්ම ඔවුන්ගේ නැටුම්, සංගීතය, විනෝදය හා වින්දනය පිළිබඳ ඔවුන්ගේ සංකල්පවලට නමස්කාරයක් බඳු ගෞරවයක් පිරිනමනු ලැබේ. යෙහෝවඃවහන්සේට නමස්කාර කරනවායයි කියා සිටින අතරතුර විනෝදාස්වාදයෙහි මුළුමනින්ම ඇලී ගැලී සිටීමේ වරදට බොහෝදෙනෙකු හසු වී ඇත. වරදක් කිරීම හේතුවෙන් ක්‍රිස්තියානියෙකුට තරවටු කිරීමට සිදු වන විට, බොහෝදුරට ඔහුගේ දුර්වල වූ ආත්මික තත්වය මත්පැන් පානයට, නැටුම්වලට හා යම් හෙයකින් රූප වන්දනාවට බෙහෙවින් සමාන වූ ආකාරයකින් විනෝද වීමකට සම්බන්ධ කළ හැක. (නික්මයාම 32:5, 6, 17, 18) සමහර විනෝදාස්වාද හිතකර වන අතර, ඉන් වින්දනයක්ද ලැබිය හැක. එහෙත් අදදින ලෞකික සංගීතය, නැටුම්, චිත්‍රපට හා වීඩියෝ වැඩිහරියක් දූෂිත මාංසික ආශාවලට උල්පන්දම් දෙයි.
5 සැබෑ ක්‍රිස්තියානීහු රූප නමස්කාරයට යටත් නොවෙති. (2 කොරින්ති 6:16; 1 යොහන් 5:21) ප්රතිමාපූජක විනෝදාස්වාදයට ඇබ්බැහි වී, ලෞකික ආකාරයකින් විනෝද වීමෙහි ඇලී ගැලී සිටීමේ අහිතකර බලපෑම්වලින් පීඩා විඳීමේ අවදානමට හසුවීම ගැන අපි එකිනෙකා පරෙස්සම් වෙමු. අපි ලෞකික බලපෑම්වලට යටත් වන්නෙමු නම්, නොදැනුවත්වම පාහේ වේදනාකාරි තෘෂ්ණා හා ආකල්ප මනසෙහි හා හෘදයෙහි පැලපදියම් විය හැක. මේවා නිවැරදි නොකෙරේ නම්, සාතන්ගේ පිළිවෙළ නමැති ‘කාන්තාරයෙහි හෙළාදමනු ලැබීම’ අවසාන ප්‍රතිඵලය විය හැක.
6. විනෝදාස්වාදය සම්බන්ධයෙන් කුමන ඒකාන්ත ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට සිදු විය හැකිද?
6 රන් වස්සා හා සම්බන්ධ සිද්ධියේදී මෝසෙස් කළාක් මෙන්, ඇත්තෙන්ම “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මෙසේ පවසයි: “ස්වාමීන්වහන්සේගේ පක්ෂයට සිටින්නේ කවරෙක්ද, ඔහු මා වෙතට ඒ[වා]”! අප සැබෑ නමස්කාරය සඳහා ස්ථිරව සිටින බව පෙන්වීමට ඒකාන්ත පියවර ගැනීම ජීවිත ගළවන ක්‍රියාමාර්ගයක් විය හැක. නීච කරවන බලපෑම් මුලිනුපුටා දැමීමට මෝසෙස්ගේ ලෙවී ගෝත්‍රය වහාම ක්‍රියා කළේය. (මතෙව් 24:45-47; නික්මයාම 32:26-28) එනිසා, විනෝදාස්වාදය, සංගීතය හා වීඩියෝ යනාදිය සම්බන්ධයෙන් ඔබ කරන තේරීම් පරෙස්සමින් පරීක්ෂා කර බලන්න. එය යම් හෙයකින් දූෂිත නම්, යෙහෝවඃවහන්සේට පක්ෂව ඔබේ ස්ථාවරය ගන්න. යාච්ඤාපූර්වකව දෙවියන්වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, විනෝදාස්වාදය හා සංගීතය සම්බන්ධයෙන් ඔබේ තේරීම්වල වෙනස්කම් කොට, මෝසෙස් රන් වස්සා විනාශ කළාක් මෙන්, ආත්මික වශයෙන් හානිකර ද්‍රව්‍ය විනාශ කර දමන්න.—නික්මයාම 32:20; ද්විතීය කථාව 9:21.
7. අපට උපමේය හෘදය ආරක්ෂා කළ හැක්කේ කෙසේද?
7 හෘදයේ විඛාදනයට එරෙහිව කටයුතු කිරීමට අපට හැක්කේ කෙසේද? දේවවචනය උත්සාහවන්තව අධ්‍යයනය කොට, එහි සත්‍යතා අපේ මනස් හා හදවත් තුළට කිඳා බැසීමට ඉඩහැරීමෙන් එසේ කළ හැක. (රෝම 12:1, 2) අප ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා යා යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. (හෙබ්‍රෙව් 10:24, 25) උදාසීනව රැස්වීම්වලට යෑම, මල බැඳුණු පැල්ලමක් උඩින් තීන්ත ආලේප කිරීම හා සම කළ හැක. යම් කලකට අප ඉන් දීප්තිමත් විය හැකි මුත්, යටින් පිහිටි ගැටලුව ඉන් විසඳෙන්නේ නැත. ඒ වෙනුවට, කල්තියා සූදානම් වීම, මෙනෙහි කිරීම හා රැස්වීම්වලට ක්‍රියාශීලීව සහභාගි වීම මගින්, අපේ උපමේය හෘදයේ සැඟවුණු ස්ථානවල පවතින විඛාදනයට තුඩු දෙන මූලධාතු, ප්‍රබල ක්‍රියාශීලීබවකින් යුතුව ඉවත් කිරීමට අපට හැකි වේවි. දේවවචනයට ඇලී සිටීමට මෙය අපට උපකාර කරන අතර, ඇදහිල්ලේ පරීක්ෂා විඳදරාගැනීමටත් “සියලු ආකාරයෙන්ම සම්පූර්ණව” සිටීමටත් අපව ශක්තිමත් කරනු ඇත.—යාකොබ් 1:3, 4; හිතෝපදේශ 15:28.
වේශ්‍යාකමට එරෙහිව අවවාද කිරීම
8-10. (අ) පළමුවන කොරින්ති 10:8හි සඳහන් කර තිබෙන්නේ කවර අවවාදාත්මක ආදර්ශයද? (ආ) මතෙව් 5:27, 28හි සොයාගත හැකි යේසුස්වහන්සේගේ වදන් ප්‍රයෝජනදායක ලෙස අදාළ කළ හැක්කේ කෙසේද?
8 පාවුල්ගේ ඊළඟ උදාහරණයේදී අපට මෙසේ උපදෙස් දී තිබේ: “ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.”a (1 කොරින්ති 10:8) ප්‍රේරිතවරයා යොමු දක්වමින් සිටියේ ඉශ්රායෙල්වරුන් බොරු දෙවිවරුන්ට වන්දනාමාන කොට, “මෝවබ් දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට” පටන්ගත් අවස්ථාවටය. (ගණන් කථාව 25:1-9) ලිංගික දුරාචාරය මරණය ගෙන දෙන්නකි! දුරාචාරමය සිතුවිලි හා තෘෂ්ණාවන්ට ගින්නක් සේ ඇවිළීමට ඉඩහැරීම හෘදයෙහි “මල බැඳීමට” ඉඩහරිනවා හා සමානය. යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.”—මතෙව් 5:27, 28.
9 නෝවාගේ දවසේ ජලගැල්මට පෙර අකීකරු දේවදූතයන්ගේ නීච කරවන සිතුවිලිවල ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ දෙය, ‘ස්ත්‍රියක දෙස රාගයෙන් බැලීමේ’ ප්‍රතිවිපාකයට සාක්ෂියකි. (උත්පත්ති 6:1, 2) දාවිත් රජුගේ දිවියේ වඩාත් ඛේදනීය සිදුවීම්වලින් එකක් අවුළණු ලැබුවේ, ඔහු ස්ත්‍රියක දෙස නුසුදුසු ආකාරයෙන් දිගටම බැලූ නිසා බවද මතක තබාගන්න. (2 සාමුවෙල් 11:1-4) ඊට වෙනස්ව, විවාහක පුරුෂයෙකු වූ ධර්මිෂ්ඨ යෝබ්, ‘කන්‍යාවක් දෙස ඕනෑකමින් නොබලන පිණිස, තම ඇස් සමඟ ගිවිසුමක් කළ’ අතර, එමගින් දුරාචාරයෙන් වැළකී, අඛණ්ඩතාව පවත්වන්නෙකු බව ඔප්පු කළේය. (යෝබ් 31:1-3, 6-11) ඇස් හදවතේ කවුළුවලට සම කළ හැක. තවද දුෂ්ට දේවල් බොහොමයක් නික්මෙන්නේ දූෂිත හෘදයකිනි.—මාර්ක් 7:20-23.
10 අපි යේසුස්වහන්සේගේ වදන් අදාළ කරගන්නෙමු නම්, කාමෝද්දීපන කෘති බැලීමෙන් හෝ සෙසු ක්‍රිස්තියානියෙකු, රැකියා ස්ථානයේ කෙනෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් දුරාචාරමය සිතුවිලිවල නිමග්න වීමෙන් පාලනයකින් තොරව වැරදි සිතුවිලි පැවතීමට අපි ඉඩ නොහරින්නෙමු. නිකම්ම විඛාදනය පිසදැමීමෙන් ලෝහයකින් මල බැඳීම ඉවත් කළ නොහැක. එබැවින්, සුළු වැදගත්කමකින් යුත් යමක් සේ සලකමින් දුරාචාරමය අදහස් හා ප්රවණතා සුළු කොට නොතකන්න. දුරාචාරමය නැඹුරුවාවන් ඉවත් කරගැනීමට දැඩි ක්‍රියාමාර්ගයන් ගන්න. (මතෙව් 5:29, 30, සසඳන්න.) පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ අවවාද කරයි: “පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසාපල්ලා. මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස . . . පැමිණෙන්නේය.” එසේය, ලිංගික දුරාචාරය වැනි දේවල් හේතුවෙන්, දෙවියන්වහන්සේගේ ශාපයේ ප්‍රකාශයක් වශයෙන්, ‘උන්වහන්සේගේ උදහස පැමිණෙන්නේය.’ එබැවින් මේ දේවල් සම්බන්ධයෙන් අපේ ශරීරයේ අවයවයන් ‘නැසීම’ අපහට ඇති අවශ්‍යතාවකි.—කොලොස්සි 3:5, 6.
කැරලිකාර පැමිණිලිවලට එරෙහිව අවවාද
11, 12. (අ) පළමුවන කොරින්ති 10:9හි දී තිබෙන්නේ කවර අවවාදයද, තවද එහි සඳහන් කරන ලද සිද්ධිය කුමක්ද? (ආ) පාවුල්ගේ අවවාදය අපට බලපෑ යුත්තේ කෙසේද?
11 පාවුල් ඊළඟට මෙසේ අවවාද කරයි: “අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.” (1 කොරින්ති 10:9) ඒදොම්හි දේශ සීමාව අසල කාන්තාරයේ ගමන් කරද්දී, ඉශ්රායෙල්වරු “දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය” ආශ්චර්යවත් ලෙස සපයා තිබූ “මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.” (ගණන් කථාව 21:4, 5) නිකම් සිතා බලන්න! එම ඉශ්‍රායෙලිතයෝ, ‘දෙවියන්වහන්සේට විරුද්ධව කතා කරමින්’ උන්වහන්සේගේ සැපයුම් නින්දිතයයි කියමින් සිටියෝය!
12 තම පැමිණිලි මගින්, ඉශ්රායෙල්වරු යෙහෝවඃවහන්සේගේ ඉවසීම පරීක්ෂාවට ලක් කරමින් සිටියෝය. යෙහෝවඃවහන්සේ ඔවුන් අතරට විෂඝෝර සර්පයන් එවා, ඔවුන්ගෙන් බොහෝදෙනෙකු සර්පයන්ගේ දෂ්ට කිරීම් හේතුවෙන් මියගිය බැවින්, ඔවුහු දඬුවම් නොලබා නොසිටියෝය. ජනයා පසුතැවිලි වීමෙන් හා මෝසෙස් ඔවුන් වෙනුවෙන් කන්නලව් කිරීමෙන් පසුව, එම වසංගතය නවත්වන ලදි. (ගණන් කථාව 21:6-9) විශේෂයෙන් දෙවියන්වහන්සේටත් ස්වකීය දිව්‍යාණ්ඩු විධිවිධානවලටත් එරෙහිව කැරලිකාර, පැමිණිලි කරනසුලු ස්වභාවයක් විදහා නොපෙන්වීමට, මෙම සිද්ධිය අපහට නිතැතින්ම අනතුරු ඇඟවීමක් සේ ක්‍රියා කළ යුතුය.
මැසිවිලි නැඟීමට එරෙහිව අවවාද
13. පළමුවන කොරින්ති 10:10 අවවාද කරන්නේ කුමකට එරෙහිවද, තවද පාවුල්ගේ මනසෙහි තිබුණේ කවර කැරලිගැසීම පිළිබඳවද?
13 කාන්තාරයෙහි සිටි ඉශ්රායෙල්වරුන් හා සම්බන්ධ සිය අවසාන උදාහරණය සඳහන් කරමින් පාවුල් මෙසේ ලියයි: “නුඹලා නොකොඳුරල්ලා, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.” (1 කොරින්ති 10:10) කෝරා, දාතාන්, අබීරාම් සහ ඔවුන්ගේ සගයන් දිව්‍යාණ්ඩු ප්‍රතිපත්ති උල්ලංගනය කරමින් මෝසෙස්ගේ හා ආරොන්ගේ අධිකාරයට අභියෝග කළ විට, කැරැල්ලක් ඉස්මතු විය. (ගණන් කථාව 16:1-3) කැරලිකරුවන්ගේ විනාශයෙන් පසු, ඉශ්රායෙල්වරු මැසිවිලි නැඟීමට පටන්ගත්තෝය. මෙය සිදු වූයේ කැරලිකරුවන්ගේ විනාශය අසාධාරණ බවට ඔවුන් තර්ක කිරීමට පටන්ගත් නිසාය. ගණන් කථාව 16:41 මෙසේ ප්‍රකාශ කරයි: “පසුවදා ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලා ස්වාමීන්වහන්සේගේ සෙනඟ මැරුවහුයයි කීවාය.” එම අවස්ථාවේදී යුක්තිය ඉෂ්ට කරනු ලැබූ අන්දම දෝෂාරෝපණයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, දිව්‍ය බලයෙන් එවන ලද වසංගතයකින් ඉශ්රායෙල්වරුන් 14,700දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.—ගණන් කථාව 16:49.
14, 15. (අ) සභාව තුළට කපටි ලෙස ඇතුල් වූ ‘අභක්තික මනුෂ්‍යයන්ගේ’ පාපවලින් එකක් කුමක් වීද? (ආ) කෝරා හා සම්බන්ධ සිද්ධියෙන් කුමක් උගත හැකිද?
14 පොදු යුගයේ පළමු සියවසේදී, ක්‍රිස්තියානි සභාව තුළට සූක්ෂ්ම ලෙස ඇතුල්වූ ‘අභක්තික මනුෂ්‍යයෝ,’ බොරු ගුරුවරුන් මෙන්ම මැසිවිලිනඟන්නන් බව ඔප්පු වූහ. මෙම මනුෂ්‍යයෝ ‘අධිපතිකම සුළු කරමින්, උත්තමයන්ට,’ එනම් එවකට පැවති සභාව ආත්මිකව අධීක්ෂණය කිරීමේ වගකීම පවරා තිබූ අභිෂේක ලත් පුරුෂයන්ට ‘නින්දා කරමින්’ සිටියෝය. මෙම අභක්තික අපදෘෂ්ටිකයන් සම්බන්ධයෙන් ශ්‍රාවක යූද් මෙලෙසද පැවසීය: “ඔව්හු මැසිවිලි කියන්නෝය, කොඳුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය.” (යූද් 3, 4, 8, 16) අදදින, සමහර පුද්ගලයන් තමුන්ගේ හදවත් තුළ ආත්මික ලෙස විඛාදක ආකල්පයක් වර්ධනය වීමට ඉඩහරින නිසා, ඔවුහු මැසිවිලි නඟන්නෝ බවට පත් වෙති. බොහෝදුරට සභා අධීක්ෂණයෙහි යෙදෙන අයගේ අසම්පූර්ණකම් කෙරෙහි අනවශ්‍ය අවධානයක් යොමු කරන ඔවුහු, ඔවුන්ට විරුද්ධව මැසිවිලි නැඟීමට පටන් ගනිති. ඔවුන්ගේ මැසිවිලි නැඟීම හා පැමිණිලි කිරීම, ‘විශ්වාසවන්ත දාසයාගේ’ ප්‍රකාශන විවේචනයට භාජන කිරීම දක්වා පවා දුරදිග යා හැක.
15 ශුද්ධ ලියවිලිමය විෂයක් සම්බන්ධයෙන් අවංක ප්‍රශ්න ඇසීම උචිතය. එහෙත් කිට්ටු මිතුරු කැලක් අතර පවතින විවේචනාත්මක සාකච්ඡා තුළදී දක්නට ලැබුණු නිෂේධාත්මක ආකල්පයක් අප වර්ධනය කළොත් කුමක් කිව හැකිද? අපෙන්ම මෙසේ ඇසීම උචිතය, ‘මෙය කෙළවර වෙන්ට යන්නේ කොහෙන්ද? මැසිවිලි නඟන්නේ නැතුව, ප්‍රඥාව සඳහා නිහතමානීව යාච්ඤා කිරීම ඊට වඩා හොඳ නැද්ද?’ (යාකොබ් 1:5-8; යූද් 17-21) මෝසෙස්ගේ හා ආරොන්ගේ අධිකාරයට විරුද්ධව කැරලි ගැසූ කෝරා මෙන්ම ඔහුගේ අනුබලදෙන්නන්, තම දෘෂ්ටිකෝණය වලංගු බව කෙතරම් ඒත්තුගෙන සිටියාද කිවහොත් ඔවුහු තම චේතනා පරීක්ෂා කර නොබැලූහ. ඒ කෙසේවෙතත්, ඔවුහු සහමුලින්ම වැරදිසහගත වූහ. කෝරා හා අනික් කැරලිගැසූවන්ගේ විනාශය ගැන මැසිවිලි නැඟූ ඉශ්‍රායෙල්වරුද වැරදිසහගත වූහ. අපේ චේතනා පරීක්ෂා කිරීමටත්, මැසිවිලි නැඟීම හෝ පැමිණිලි කිරීම ඉවතලෑමටත්, අපව ශෝධනය කිරීමට යෙහෝවඃවහන්සේට ඉඩහැරීමටත් අපව පෙලඹවීමට එවන් ආදර්ශවලට ඉඩහැරීම කෙතරම් ඥානවන්තද!—ගීතාවලිය 17:1-3.
ඉගෙනගෙන, ආශීර්වාද භුක්තිවිඳින්න
16. පළමුවන කොරින්ති 10:11, 12හි අවවාදයේ සාරය කුමක්ද?
16 දිව්‍ය ආනුභාවය යටතේ, පාවුල් අවවාදාත්මක පණිවිඩ ඇතුළත් ලැයිස්තුව මෙම අවවාදයෙන් අවසන් කරයි: “ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය. එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.” (1 කොරින්ති 10:11, 12) ක්‍රිස්තියානි සභාව තුළ අපේ ස්ථාවරය අපි කිසිවිටකත් සුළු කොට නොතකමු.
17. අපේ හෘදයේ නුසුදුසු චේතනාවක් තිබේයයි අපට හැඟේ නම්, අප කුමක් කළ යුතුද?
17 යකඩ මල බැඳීමට ප්‍රවණතාවක් දක්වන්නා සේ, පව්කාර ආදම්ගෙන් පැවතෙන්නන් වන අපි, නපුර කෙරෙහි නැඹුරුවාවක් උරුම කරගෙන සිටින්නෙමු. (උත්පත්ති 8:21; රෝම 5:12) එබැවින්, අපේ හදවතේ නුසුදුසු චේතනාවක් තිබෙන බව අපට දැනෙනවා නම්, අප අධෛර්යයට පත් නොවිය යුතුය. ඒ වෙනුවට, අපි අධිෂ්ඨානපූර්වක ක්‍රියාමාර්ගයක් ගනිමු. යකඩ තෙතමනයකින් යුත් වාතාශ්රයකට හෝ දාහක වාතාවරණයකට නිරාවරණය කරනු ලබන විට, එහි විඛාදනය බෙහෙවින් වේගවත් වේ. නීච විනෝදාස්වාදය, හාත්පස පැතිරුණු දුරාචාරය හා නිෂේධාත්මක මානසික නැඹුරුවාවන්ගෙන් යුත් සාතන්ගේ ලෝකයේ ‘වාතයට’ නිරාවරණය වීමෙන් අප වැළකී සිටීම අවශ්‍යය.—එපීස 2:1, 2, NW.
18. මිනිස්වර්ගයාගේ වැරදිසහගත ප්රවණතා සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ කර ඇත්තේ කුමක්ද?
18 අප උරුම කරගෙන තිබෙන වැරදි ප්රවණතාවලට එරෙහිව කටයුතු කිරීම සඳහා, යෙහෝවඃවහන්සේ මිනිස්වර්ගයාට මාර්ගය සපයා තිබෙනසේක. ස්වකීය ඒක-ජාතක පුත්‍රයාණන්ව දුන්නේ, උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට සදාකාල ජීවනය ලබාගත හැකි වන පිණිසය. (යොහන් 3:16) අපි යේසුස්වහන්සේගේ පියවර සමීපව අනුගමනය කොට, ක්‍රිස්තු බඳු පෞද්ගලිකත්වයක් විදහාපෙන්වමු නම්, අප අනුන්ට ආශීර්වාදයක් වනු ඇත. (1 පේතෘස් 2:21) එමෙන්ම අපි ශාප නොව, දිව්‍ය ආශීර්වාද ලබන්නෙමු.
19. ශුද්ධ ලියවිලිමය ආදර්ශ සලකා බැලීමෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
19 පුරාණයේ විසූ ඉශ්‍රායෙලිතයන්ට සමානව අදදින අප වැරදි කිරීමට නැඹුරුවාවක් දැක්වුවද, අපහට මඟ පෙන්වීම සඳහා දෙවියන්වහන්සේගේ සම්පූර්ණ ලිඛිත වචනය අප සතුය. එහි පිටු තුළින්, මිනිස්වර්ගයා සමඟ යෙහෝවඃවහන්සේ කටයුතු කර තිබෙන අන්දම ගැනත්, “දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වන” ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය මගින් පැහැදිලි වන උන්වහන්සේගේ ගුණාංග ගැනත් අපි ඉගෙනගනිමු. (හෙබ්‍රෙව් 1:1-3; යොහන් 14:9, 10) යාච්ඤාව හා ශුද්ධ ලියවිලි උත්සාහවන්තව අධ්‍යයනය කිරීමෙන්, “ක්‍රිස්තුස්වහන්සේගේ සිත” අපට ලබාගත හැක. (1 කොරින්ති 2:16) පරීක්ෂා හා අපේ ඇදහිල්ලේ වෙනත් පරීක්ෂණවලට මුහුණ දීමට අපට සිදු වන විට, පුරාණ ශුද්ධ ලියවිලිමය ආදර්ශ, විශේෂයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශිෂ්ට ආදර්ශය සලකා බැලීමෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක. අපි එසේ කරන්නෙමු නම්, දිව්‍ය ශාප ක්‍රියාත්මක වීම අද්දැකීමට අපට සිදු නොවනු ඇත. ඒ වෙනුවට, අප දැන් යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය භුක්තිවිඳින අතර, සදාකාලයට උන්වහන්සේගේ ආශීර්වාද භුක්තිවිඳිනවා නොඅනුමානය.
[පාදසටහන]
a ද වොච්ටවර් 1992 ජූලි 15, 4වන පිටුව බලන්න.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ රූප වන්දනාකරුවන් නොවන ලෙසට දුන් පාවුල්ගේ උපදෙස් අදාළ කරගැනීමට අපට හැක්කේ කෙසේද?
◻ වේශ්‍යාකමට එරෙහිව දුන් ප්‍රේරිතවරයාගේ අවවාදයට අවනත වීම සඳහා කුමක් කිරීමට අපට හැකිද?
◻ අප මැසිවිලි නැඟීමෙන් හා පැමිණිලි කිරීමෙන් වැළකී සිටිය යුත්තේ මන්ද?
◻ ශාප නොව නමුත් දිව්‍ය ආශීර්වාද අපට ලබාගත හැක්කේ කෙසේද?
[18වන පිටුවේ පින්තූරය]
දිව්‍ය ආශීර්වාද ලැබීමට කැමති නම්, අප රූප වන්දනාවෙන් වැළකී සිටිය යුතුය
[20වන පිටුවේ පින්තූර]
මලකඩ ඉවත් කළ යුතුවා සේම, අපේ හදවත්වලින් නුසුදුසු තෘෂ්ණා ඉවත් කිරීමට අපි ඒකාන්ත ක්‍රියාමාර්ගවල නිරත වෙමු