දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට සැබවින්ම ඔබට හැකිද?
“කිසි මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක,” කියා දෙවියන්වහන්සේ ප්‍රකාශ කරනසේක. (නික්මයාම 33:20, NW) තවදුරටත්, බයිබල් කාලවල පටන්, කිසි මනුෂ්‍යයෙකු උන්වහන්සේ සමඟ කෙළින්ම අදහස් හුවමාරු කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. ඔබ කිසිදිනක කෙළින්ම නුදුටු හෝ නොඇසූ කෙනෙකු කෙරෙහි ගැඹුරු ස්නේහයක් වර්ධනය කරගැනීම දුෂ්කර බව හෝ කොහෙත්ම නොහැකි බව පවා පෙනෙන්ට නොතිබේද? සැබවින්ම විශ්වයේ මැවුම්කරුවාණන් සමඟ ප්‍රේමනීය සබඳතාවක් පවත්වාගත හැකිද?
දෙවියන්වහන්සේ කෙරෙහි උණුසුම් පෞද්ගලික ඇලුම්කමක් වර්ධනය කරගත හැකි බවට කිසිදු සැකයක් නොතිබිය යුතුය. ද්විතීය කථාව 6:5හි, ඉශ්රායෙල් ජාතියට මෙසේ අණ කරනු ලැබූ බව අපට කියවීමට තිබේ: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්රේමකරපන්න.” පසු කලකදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම ව්‍යවස්ථාව සිය අනුගාමිකයන්ට යළි තහවුරු කරමින් මෙසේ පැවසූසේක: “මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය.” (මතෙව් 22:37, 38) එවන් සබඳතාවක් පවත්වාගත නොහැකි නම්, දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට බයිබලය අපව උනන්දු කරනු ඇද්ද?
එහෙත් හුදෙක් යෙහෝවඃවහන්සේ එය අණ කරන නිසාම, අප උන්වහන්සේට ප්‍රේම කළ යුතු බව උන්වහන්සේ අපේක්ෂා කරනසේක්ද? නැත. දෙවියන්වහන්සේ ප්‍රථම මනුෂ්‍ය යුවළ මවනු ලැබුවේ, උන්වහන්සේට ප්‍රේම කිරීමේ හැකියාව ඇතුවය. තම මැවුම්කරුවාණන් සමඟ ප්‍රේමනීය සබඳතාවක් ඇති කරගැනීමට ආදම් සහ ඒවට බල කරනු ලැබුවේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේ කෙරෙහි ගැඹුරු ස්නේහයක් වර්ධනය කරගත හැකි ආකාරයකින්, දෙවියන්වහන්සේ ඔවුන්ව කදිම තත්වයන් මධ්‍යයෙහි තැබූසේක. දෙවියන්වහන්සේට සමීප වීමට හෝ උන්වහන්සේගෙන් ඈත්වීමට තෝරාගැනීම ඔවුන් සතුව තිබිණ.
ආදම් හා ඒව කැරලිගැසීම තෝරාගත්තෝය. (උත්පත්ති 2:16, 17; 3:6, 7) කෙසේවෙතත්, ඔවුන්ගෙන් පැවතෙන්නන්ට, මැවුම්කරුවාණන් සමඟ ප්‍රේමනීය සබඳතාවක් වර්ධනය කරගැනීමේ හැකියාව තිබෙනු ඇත.
සැබෑ දෙවියන්වහන්සේ සමඟ හැසිරීම
නිදසුනක් වශයෙන්, ආබ්‍රහම් දෙවියන්වහන්සේගේ “මිත්‍රයා” බව බයිබලයෙහි පෙන්නුම් කර තිබේ. (යාකොබ් 2:23) එහෙත් දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවක් භුක්තිවින්දේ ආබ්‍රහම් පමණක්ම නොවේ. යෙහෝවඃවහන්සේට අව්‍යාජ ස්නේහයක් විදහාපෙන්වූ හා “[සැබෑ, NW] දෙවියන්වහන්සේ සමඟ හැසුරු[ණු]” වෙනත් බොහෝ අසම්පූර්ණ මනුෂ්‍යයන් ගැන බයිබලය කතා කරයි.—උත්පත්ති 5:24; 6:9; යෝබ් 29:4; ගීතාවලිය 25:14; හිතෝපදේශ 3:32.
අතීතයේ විසූ දෙවියන්වහන්සේගේ සේවකයන්, උන්වහන්සේ කෙරෙහි ප්‍රේමය හා ස්නේහය ඇතුව ඉපදුණේ නැත. ඔවුන්ට එය වර්ධනය කරගැනීමට සිදු විය. ඒ කෙසේද? යෙහෝවා යන ස්වකීය පෞද්ගලික නාමයෙන් උන්වහන්සේව හඳුනාගැනීම මගිනි. (නික්මයාම 3:13-15; 6:2, 3) උන්වහන්සේගේ පැවැත්ම හා දේවත්වය පිළිබඳව අවබෝධයෙන් සිටීමෙනි. (හෙබ්‍රෙව් 11:6) උන්වහන්සේගේ ප්‍රේමනීය ක්‍රියා මත නිතර මෙනෙහි කිරීම මගිනි. (ගීතාවලිය 63:5) තමන්ගේ අභ්‍යන්තර සිතිවිලි යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේට ප්‍රකාශ කිරීමෙනි. (ගීතාවලිය 39:12) උන්වහන්සේගේ යහපත්කම පිළිබඳව ඉගෙනගැනීම මගිනි. (සෙකරියා 9:17) උන්වහන්සේව අමනාප කිරීම කෙරෙහි ගුණදායක බියක් වර්ධනය කිරීමෙනි.—හිතෝපදේශ 16:6.
ඔබට දෙවියන්වහන්සේගේ මිතුරෙකු වී උන්වහන්සේ සමඟ හැසිරිය හැකිද? ඔබට දෙවියන්වහන්සේව පෙනෙන්නේවත්, උන්වහන්සේගේ කටහඬ ඇසෙන්නේවත් නැති බව සැබෑය. කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේ ඔබට ‘උන්වහන්සේගේ මණ්ඩපයෙහි ආගන්තුකයෙකු’ මෙන්ම මිතුරෙකු වීමට ආරාධනා කරනසේක. (ගීතාවලිය 15:1-5) එබැවින් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට ඔබට හැකි වනු ඇත. එහෙත් ඔබට උන්වහන්සේ සමඟ සමීප හා ස්නේහවන්ත සබඳතාවක් වර්ධනය කරගත හැක්කේ කෙසේද?