යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය ඇතුව වර්ධනය වීම
වර්ෂ 1995 සැප්තැම්බර් මස 18වනදා සවස පවත්වන ලද කැප කිරීමේ වැඩසටහනේදී, නිව් යෝර්ක්හි බෘක්ලින්වල සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය පිහිටි ස්ථානයේ වර්ධනයට යෙහෝවඃ දෙවියන්වහන්සේ සැබවින්ම ආශීර්වාද කර තිබෙන බව හුවා දැක්වීය.
කැප කිරීමේ වැඩසටහනට 6,000කට අධික පිරිසක් සවන් දුන්හ. වැඩසටහන මූලිකව පවත්වනු ලැබූ බෘක්ලින්හිද, නිව් යෝර්ක්හි පැටර්සන් හා වොල්කිල්ට ආසන්නයේ පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශාල ගොඩනැඟිලි පහසුකම්වල හා කැනඩාවෙහි ටොරොන්ටෝවලට ආසන්නයේ පිහිටි ඔවුන්ගේ ශාඛාව ඇතුළු වෙනත් ස්ථානවලද ඔවුහු එක්රැස් වූහ. බෘක්ලින් හැර වෙනත් ස්ථානවල රැස් වූ අය එම වැඩසටහනට සවන් දුන්නේ දූරකථන සම්බන්ධතා මාර්ග ඔස්සේය.
හද උණුසුම් කරවන වැඩසටහනක්
වැඩසටහනට සවන් දෙමින් සිටි ස්වේච්ඡා සේවකයෝ වන බෙතෙල් සාමාජිකයෝ, 16,400කට අධික සංඛ්‍යාවකින් යුත් ලෝක ව්‍යාප්ත බෙතෙල් පවුලේ සාමාජිකයන්ගෙන් විශාල කණ්ඩායමක් වූහ. එවන් සාමාජිකයන් රටවල් සියයක පමණ සේවය කරන අතර, එහිදී ඔවුහු ලොව පුරා තිබෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 78,600කට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා බයිබල් පොත් පත් මුද්‍රණය කිරීම හා ඊට රුකුලක් දෙන සේවාවන් සපයති.
පස්වරු 6:30ට ගීතිකාවකින් හා කාල් ක්ලයින් විසින් ඉදිරිපත් කළ යාච්ඤාවකින්ද කැප කිරීමේ වැඩසටහන ආරම්භ වූ විට, සතුටුදායක අපේක්ෂාව බලවත් විය. වැඩසටහනේ සභාපති වූ ලොයිඩ් බැරි, එම උත්සවයේ වැදගත්කම පිළිබඳව කෙටි ප්‍රකාශයන් සමඟින් සියල්ලන්වම උණුසුම්ව පිළිගත්තේය. ඇල්බර්ට් ෂ්රෝඩර් සතියේ මුරටැඹ පාඩම කෙටියෙන් පැවැත්වූ අතර, ඉන්පසුව ඩැනියල් සිඩ්ලික් “බෙතෙල්හි අපගේ පරිශුද්ධ සේවය” යන මැයෙන් විනාඩි 15කට පමණ කතා කළේය. වැඩසටහනේ මුලින් කතා කළ මෙම සහෝදරයන් සියලුදෙනාම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ය.
“නවාතැන් සඳහා වැඩි වෙමින් පවතින අපගේ අවශ්‍යතා සපුරාලීම, 1974-1995,” සහ “බෘක්ලින්හි බෙතෙල් අලුත්වැඩියා හා ඉදි කිරීමේදී කැපීපෙනෙන්ට තිබූ අවස්ථා” නම් වූ වැඩසටහනේ ඊළඟ කොටස් දෙක, කැප කරන ලද ගොඩනැඟිලි ඉදි කිරීම හෝ ලබාගැනීමේදී කැපීපෙනෙන්ට තිබූ අවස්ථා හුවා දැක්වීය. එම ප්‍රකාශයන් මගින් අවධානය යොමු කරනු ලැබුවේ, බෙතෙල් සාමාජිකයන් දාහක් පමණ දැන් පදිංචි වී සිටින, මෑතකදී වැඩ නිමා වූ නවාතැන් ගොඩනැඟිල්ල වෙතටයි. අංක 90 සෑන්ඩ්ස් වීදියේ පිහිටි අඩි 378ක් උසැති මෙම නිවස, මුද්‍රණ කර්මාන්ත ශාලා සංකීර්ණයට යාබදව පිහිටා තිබේ.
වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි සභාපති මිල්ටන් හෙන්ෂල් විසින් ඉදිරිපත් කරනු ලැබූ කැප කිරීමේ කතාව, එම වැඩසටහනේ මූලිකාංගය විය. යෙහෝවඃවහන්සේගේ සේවයේ භාවිත කිරීම සඳහා වූ ගොඩනැඟිලි කැප කිරීම සම්බන්ධයෙන් ඔහු බයිබලය මත පදනම් පූර්වාදර්ශ අවධාරණය කළේය. ගීතිකාවකින් පසුව, පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන කැරි බාබර් විසින් ඉදිරිපත් කරන ලද යාච්ඤාවකින් එම වැඩසටහන අවසන් කරන ලදි. එහෙත් එම වැඩසටහනේ විශේෂාංග සමහරක් කවරේද?
කැප කරනු ලැබූ ගොඩනැඟිලි
වර්ෂ 1969 මැයි 2වනදා,a අන්තිම වතාවට බෘක්ලින්හි බෙතෙල් නවාතැන් ගොඩනැඟිල්ලක් කැප කිරීමෙන් පසුව, නවාතැන් ගොඩනැඟිලි 17ක් ඊට එකතු කර තිබෙන බව බෙතෙල් නිවාස අවේක්ෂක වන ජෝර්ජ් කවුච් පැහැදිලි කළේය. මේවා අලුත ගොඩනඟනු ලැබූ නිවාස හෝ මිලට ගෙන අලුත්වැඩියා කරනු ලැබූ ගොඩනැඟිලි හෝ විය. මෙම නවාතැන් ගොඩනැඟිලි 17ද, 1940 ගණන්වලදී මිලට ගනු ලැබුවත් බෙතෙල් නවාතැන් ගොඩනැඟිලි වශයෙන් නවීකරණය කරන ලද කුඩා ගොඩනැඟිලි දෙකක්ද, එමෙන්ම 1982 මාර්තු 15වනදා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විධායක කාර්යාල ගොඩනැඟිලි කැප කරනු ලැබීමෙන් පසුව ගොඩනඟන ලද හෝ මිලට ගන්නා ලද කර්මාන්ත ශාලාව සහ කාර්යාල ගොඩනැඟිලිද ඇත්තෙන්ම මෙම කැප කිරීමට ඇතුළත් විය.
අංක 360 ෆර්මන් වීදියේb පිහිටි ගොඩනැඟිල්ල, කැප කරනු ලැබූ ගොඩනැඟිලි අතර විශාලතම එක විය. මුලින්ම 1928දී ගොඩනඟනු ලැබූ එය, 1983 මාර්තු 15වනදා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් මිලට ගනු ලැබ, සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලදි. ඊට වර්ග මීටර් 93,000ක, එසේත් නැතහොත් හෙක්ටාර 9ක පමණ ඉඩ ප්‍රමාණයක් තිබේ. ඉදිරියේ ජලාශයක් ඇති මෙම සංකීර්ණයේ ඉඩ ප්‍රමාණයෙන් තුනෙන් පංගුවක් පමණ නැව්ගත කිරීමේ අංශය සඳහා වෙන් කොට තිබේ. කැප කරනු ලැබූ වෙනත් ගොඩනැඟිලි අතර, 175 පර්ල් වීදියේ පිහිටි කර්මාන්ත ශාලාව සහ මෑත වසර තුළ ගොඩනඟනු ලැබූ විශාල ගරාජද ඇතුළත් විය.
අමතර නිවාස පහසුකම් අවශ්‍ය වීමට හේතුව
අන්තිම වතාවට 1969දී බෘක්ලින් බෙතෙල්හි නවාතැන් ගොඩනැඟිල්ලක් කැප කරනු ලැබූ අවස්ථාවේදී, දේවරාජ්‍ය පිළිබඳ ශුභාරංචිය ලොව පුරා දේශනා කරමින් සිටි සාක්ෂිකරුවන්ගේ උපරිම සංඛ්‍යාව වූයේ 13,36,112කි. එහෙත් 1995දී 51,99,895දෙනෙකු එසේ කරමින් සිටි අතර, මෙය කලින් සංඛ්‍යාවට වඩා 3.5 ගුණයක වැඩිවීමකි! මෙසේ බයිබල් පොත් පත්වල වැඩි වන ඉල්ලුමේ වේගයටම නිෂ්පාදනය කිරීම සඳහා, 1969දී විධිමත් සාමාජිකයන් 1,042දෙනෙකුගේ සිට දැන් නවාතැන් 22ක වෙසෙන 3,360දෙනෙකු දක්වා බෘක්ලින් බෙතෙල් පවුල වර්ධනය වී තිබේ!
අමතර නවාතැන් සඳහා, වර්ෂ 1974 සිට 1995 දක්වා තිබූ අවශ්‍යතාව සපුරාලනු ලැබූ ආකාරය ජෝර්ජ් කවුච් විස්තර කළේය. එක්දහස් නවසිය හැත්තෑගණන්වල මුල්භාගයේදී, වර්ධනය වෙමින් පැවති බෙතෙල් පවුලට නවාතැන් පහසුකම් සැපයීම සඳහා, යාබද පිහිටි ටවර්ස් හෝටලයේ තට්ටු කිහිපයක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් බද්දට ගන්නා ලදි. වර්ෂ 1973 දෙසැම්බර් මාසයේදී, වොච් ටවර් සමිතියේ එවකට සභාපතිව සිටි නේදන් නෝර්, ‘1974 ඔක්තෝබර් 1 වන විට, ටවර්ස් හෝටලයෙන් ඉවත්වීමට’ සමිතිය අදහස් කළ බව, බෙතෙල් කාර්යාලයට හා ටවර්ස්හි කළමනාකාර කාර්යාලයට ලීවේය.
ටවර්ස්හි විසූ බෙතෙල් සාමාජිකයන්ට නවාතැන් පහසුකම් සැපයීමට තැනක් නොතිබූ නිසා, තමා කම්පා වූ බව සහෝදර කවුච් පැවසුවේය. ටවර්ස් කළමනාකරණ මණ්ඩලයද කම්පනයට පත් විය, මන්දයත් තමන්ගේ නඩත්තුව සඳහා ඔවුන් සමිතියේ කුලී මුදල මත රඳා සිටි බැවිනි. එම හෝටලය මිල දී ගන්නා මෙන් ටවර්ස්හි කළමනාකරණ මණ්ඩලය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් අයැද සිටීම එහි ප්‍රතිඵලය විය. “අප මෙම වටාපිටාවේ සිටි කාලයේ පටන් ඔබලා ගණනින් වැඩි වී තිබෙන නිසා මෙම ගොඩනැඟිල්ල ඔබට අවශ්‍යයි,” යනුවෙන් ඔවුහු පැවසූහ.
සමිතියේ නියෝජිතයන්ගේ පිළිතුර වූයේ: “කුලී නිවැසියන්ගෙන් එය පිරී පවතිනවා. අපි එය මිල දී ගන්නවා නම්, අපට අපගේම අය එහි දමන්ට අවශ්‍යයි.”
“ඔබට ඒ ගොඩනැඟිල්ල හිස් කරලා දෙන්නම්,” යනුවෙන් ටවර්ස් කලමනාකරණ මණ්ඩලය පොරොන්දු විය. කෙටි කලකට පසුව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ටවර්ස් ගොඩනැඟිල්ල යෝග්‍ය මිලකට ලබාගත්හ. “සහෝදර නෝර් එම ලිපිය ලීවේ මන්ද?” යනුවෙන් පුදුමයෙන් මෙන් අසා සිටි සභාවෙන් කවුච් ඇසුවේය. “ඔහුත් නොදැන සිටින්ට ඇති, නමුත් ටවර්ස් හෝටලය වොච් ටවර් සමිතියට විකිණීමට හේතු වූයේ එම සිද්ධියයි.”
මුල් බෙතෙල් නිවසට තිබූ පාරට එහායින් ඇති, ප්‍රසිද්ධ මාගරට් හෝටලය කලින් තිබූ ස්ථානය වන 97 කොලොම්බියා හයිට්ස්ද යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මිල දී ගත් ආකාරය එම කථිකයා විස්තර කළේය. පිහිටීම නියම එකකි, මන්දයත් මහාමාර්ගයට යටින් උමඟක් හෑරීමෙන් බෙතෙල් සංකීර්ණයත් සමඟ එය පහසුවෙන් සම්බන්ධ කළ හැකි බැවිනි. වර්ෂ 1980 පෙබරවාරි මාසයේදී, එම ගොඩනැඟිල්ල නවීකරණය කරන අතරතුර, ගින්නකට හසු වී දැවී ගියේය. ඉන්පසුව එම ඉඩමේ නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට අයිතිකරුට දුෂ්කර වූ නිසා, ඔහු එම ඉඩම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට විකුණුවේය.
සහෝදර කවුච් මෙසේ සඳහන් කළේය: “මේ ගොඩනැඟිලිවල හැම එකකම පිටුපස සිත් ඇදගන්නා කතන්දරයක් තිබෙනවා, එම කතන්දර එක් දෙයකට යොමු දක්වනවා, එනම් එම විශේෂිත ගොඩනැඟිල්ල ලබාගැනීමට දෘශ්‍යමාන සංවිධානයට යෙහෝවඃවහන්සේ මඟ පෙන්වීම දුන් බවයි.”
අංක 90 සෑන්ඩ්ස් නවාතැන පිටුපස ඇති කතන්දරය
අංක 90 සෑන්ඩ්ස් වීදියේ පිහිටා ඇති නවාතැන් ගොඩනැඟිල්ල අලුත්ම එමෙන්ම විශාලතම එක වේ. වර්ෂ 1986 දෙසැම්බර් මාසයේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් එම ඉඩම මිල දී ගනු ලැබූ විට, 160 ජේ වීදියේ විශාල කර්මාන්ත ශාලාවක් පිහිටා තිබිණ.c එම කර්මාන්ත ශාලාව කඩා දමනු ලැබූ අතර, එම ඉඩමේ තට්ටු-30ක නවාතැන් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට අවසර ලැබූ බව 1990 අගෝස්තු 30වනදා බෙතෙල් පවුලට දන්වන ලදි.
පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන තියඩෝර් ජැරැස් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී, 90 සෑන්ඩ්ස් වීදියේ පිහිටි නවාතැන් ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා අවසර දෙනු ලැබූ ආකාරය, සමිතියේ බෘක්ලින් කර්මාන්ත ශාලා අවේක්ෂක මැක්ස් ලාර්සන් විස්තර කළේය. වර්ෂ 1965දී සිදු වූ දෙය තීරණාත්මක එකක් වූ බව සහෝදර ලාර්සන් පැහැදිලි කළේය.
එදා, සමිතියේ අනෙක් කර්මාන්ත ශාලාවලට යාබදව තට්ටු-දහයේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට සමිතියට වුවමනා විය, එහෙත් එම ඉඩමේ කලාපීකරණයට අනුව අවසර තිබුණේ තට්ටු-දෙකේ ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට පමණි. අලුත යෝජනා කරන ලද කර්මාන්ත ශාලාව සඳහා ගොඩනැඟිලි සැලැස්ම සූදානම් කිරීමට ගෘහ නිර්මාණ ශිල්පියෙකු එකඟ වූ නමුත්, ඔහු මෙසේ පැවසුවේය: “ඒවා මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් මං ලජ්ජාවට පත්වන්ට යන්නේ නැහැ.” ප්‍රමිති හා ඇපැල් මණ්ඩලය විසින් එම ඉඩම සඳහා වූ කලාපීකරණ ප්‍රමිති කිසිදාක වෙනස් නොකරන බව ඔහුට සහතික විය. එම ගොඩනැඟිලි සැලසුම් අනුමත කරනු ලැබූ විට, ඔහු පුදුමයෙන් මෙසේ පැවසුවේය: “ඔබ කොහොමද එය කරවාගත්තේ!”
ඊට හේතුව, අපගේ තට්ටු-දහයේ කර්මාන්ත ශාලාව සඳහා එම ඉඩම නැවත කලාපීකරණය කරනු ලැබූ විට, 160 ජේ වීදියේ පිහිටි ගොඩනැඟිල්ල ඇතුළු, යාබද ඉඩම්ද නැවත කලාපීකරණය කරනු ලැබීම බව ලාර්සන් තවදුරටත් පැවසුවේය. එමෙන්ම, ඉඩම නැවත කලාපීකරණය කරනු ලැබීමෙන් හෝටලයක් ඉදි කිරීටම අවසර ලැබීම පුදුමයට හේතුවකි. එහෙත්, අඩුම වශයෙන් ඊට වසර 25කට පමණ පසුව, නව බෙතෙල් නිවසක් ගොඩනැඟීමට තැනක් සොයන තුරු, එය කව්රුත් කවදාවත් ගණනකට නොගත් කරුණක් වූ බව සහෝදර ලාර්සන් සඳහන් කළේය. ඉන්පසුව කලාපීකරණය පිළිබඳ නියමය නැවත සොයාගනු ලැබිණ!
සහෝදර ලාර්සන් එම සිද්ධිය මෙලෙස විස්තර කළේය: “අපගේ තට්ටු-30 නවාතැන් ගොඩනැඟිල්ල සඳහා පිඹුරුපත් සූදානම් කර ඒවා ඉදි කිරීමේ අංශයට අප ගෙන ගිය විට, අපට මෙසේ කියනු ලැබුවා: ‘එතන ඔබට නවාතැනක් ඉදි කිරීමට බැහැ. ඒ සම්පූර්ණ ප්‍රදේශයම නිෂ්පාදන කලාපයට අයිති වන අතර, ඔවුන් ඒක ඔබලා වෙනුවෙන් වෙනස් කරන්නේ නැහැ.’
“ ‘ඔවුන් එය වෙනස් කිරීම අවශ්‍ය නැහැ,’ යනුවෙන් අපි නිලධාරීන්ට දැනුම් දුන්නා. ‘දැනටමත් හෝටලයක් සඳහා ඒක කලාපීකරණය කරලයි තිබෙන්නේ.’ ඔවුන් ලියකියවිලි පරීක්ෂා කළ විට, ඒක ඔවුන්ට අදහාගත නොහැකි තරම් දෙයක් වුණා! ඉතින්, අපගේ තට්ටු-30 ගොඩනැඟිල්ල අපට ලැබුණේ ඒ විදිහටයි,” යනුවෙන් ලාර්සන් අවසන් කළේය.
යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය පැහැදිලි වේ!
බයිබල් ගීතිකාකරුවෙක් මෙසේ ලීවේය: “ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති.” (ගීතාවලිය 127:1) යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට කිරීමට අණ කළ ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයට පහසුකම් සැපයීම සඳහා වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඉදි කිරීමේ කටයුතුවලට යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය තිබී ඇති බව පැහැදිලිය.—මතෙව් 24:14; 28:19, 20.
වර්ෂ 1995 සැප්තැම්බර් 18වනදා එම වැඩසටහනට සවන් දීමට වරප්‍රසාද ලත් අය, යෙහෝවඃවහන්සේගේ සේවකයන්ගේ ලෝක මූලස්ථානයේ වර්ධනය මත යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය තිබෙන බවට සාක්ෂි දැකගැනීමෙන් ඉමහත් ප්‍රීතියට පත් වූහ. යෙහෝවඃවහන්සේගේ සෙනඟ උන්වහන්සේ අණ කරන දේ නොකඩවා කරත්ම, උන්වහන්සේගේ ආශීර්වාදය ගැන ඔවුන්ට සහතික විය හැක.
[පාදසටහන්වල]
a ද වොච්ටවර්, 1969 ජූනි 15, 379-82 දක්වා පිටු.
b මුරටැඹ 1982 දෙසැම්බර් 1, 16-24 දක්වා පිටු.
c එවේක්! 1987 දෙසැම්බර් 22, 16-18 දක්වා පිටු.
[23වන පිටුවේ පින්තූරය]
90 සෑන්ඩ්ස් වීදිය • 1995
[24, 25වන පිටුවේ පින්තූර]
කැප කරනු ලැබූ අමතර නවාතැන් ගොඩනැඟිලි සමහරක්
97 කොලොම්බියා හයිට්ස් • 1986
බොස්සර්ට් හෝටලය, 98 මොන්ටිගු වීදිය • 1983
34 ඔරේන්ජ් වීදිය • 1945
ස්ටැන්ඩිෂ් හෝටලය, 169 කොලොම්බියා හයිට්ස් • 1981
67 ලිවිංස්ටන් වීදිය • 1989
108 ජොරේල්මොන් වීදිය • 1988
ටවර්ස් හෝටලය, 79-99 විලෝ වීදිය • 1975
[26වන පිටුවේ පින්තූර]
175 පර්ල් වීදිය • 1983
69 ඇඩම්ස් වීදිය • 1991
360 ෆර්මන් වීදිය • 1983