දෙවියන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් වනසේක
සිය 40ගණන්වල අගභාගයේ සිටින මරී, ජීවිතයේ බොහෝ දුක් ගැහැට විඳ ඇත. අවුරුදු දහයකට කලින් ඇයගේ ස්වාමිපුරුෂයාගේ කාමමිථ්‍යාචාරය දික්කසාදයකට මඟ පෑදීය. ඊට පසු, ඇගේ දරුවන් හතරදෙනාට තනි දෙමාපියෙකු ලෙස කාර්යභාරය ඉටු කිරීම සඳහා මරී මහත් ආයාසයක් දැරුවාය. එහෙත් ඇය තවමත් තනියෙන් සිටින අතර, ඇයට දරාගැනීමට සිදු වන තනිකම ඇතැම් අවස්ථාවලදී ඉවසිය නොහැකි යමක් සේ පෙනෙන්ට තිබේ. ‘මා ගැන සහ පියා නැති මගේ දරුවන් ගැන දෙවියන්වහන්සේ සලකන්නේ නැති බව මෙයින් අදහස් කරයිද?’ කියා මරී කල්පනා කරන්නීය.
ඔබ එවැනි විපත්තියක් අද්දැක තිබුණත් නැතත්, ඔබට මරීගේ හැඟීම් සම්බන්ධයෙන් සැබවින්ම අනුකම්පාවක් දැනිය හැකිය. අප සියලුදෙනාම පීඩාකාරි තත්වයන් විඳදරා තිබෙන අතර, යෙහෝවඃවහන්සේ අප වෙනුවෙන් කවදා, කෙසේ ක්‍රියා කරනු ඇද්ද කියා අප විසින් කල්පනා කර තිබෙනවා විය හැක. මෙම අද්දැකීම්වලින් සමහරක් අපට අද්දකින්ට සිදු වන්නේ, දෙවියන්වහන්සේගේ නීතිවලට අප ඇලී සිටීමේ ඍජු ප්‍රතිඵලයක් වශයෙන්ය. (මතෙව් 10:16-18; ක්‍රියා 5:29) අනික් ඒවා, අප අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන් සාතන් විසින් පාලනය කරනු ලබන ලෝකයක ජීවත්වීමෙන් ලබන ප්රතිඵලයකි. (1 යොහන් 5:19) ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “මුළු මැවිල්ල . . . එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳි.”—රෝම 8:22.
කෙසේවෙතත්, ඔබට දැඩි පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවීමෙන්, යෙහෝවඃවහන්සේ ඔබව අත්හැර තිබෙන බවවත්, ඔබගේ සුභසාධනය ගැන සැලකිල්ල නොදක්වන බවවත් අදහස් නොකරයි. ඔබට මේ ගැන සහතික විය හැක්කේ කෙසේද? දෙවියන්වහන්සේ ඔබ ගැන සැලකිල්ල දක්වන බව කුමකින් පෙන්වයිද?
ඉපැරණි ආදර්ශයක්
යෙහෝවඃවහන්සේ පුද්ගලයන් වශයෙන් මනුෂ්‍යයන් කෙරෙහි සැලකිල්ල දක්වන බවට බයිබලය පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරයි. දාවිත් ගැන සලකා බලන්න. මෙම තරුණ එඬේරාහට යෙහෝවඃවහන්සේ පෞද්ගලික සැලකිල්ලක් දැක්වූ අතර, “තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු” බව සොයාගත්සේක. (1 සාමුවෙල් 13:14) පසුව, රජ වශයෙන් දාවිත් පාලනය කළ විට, යෙහෝවඃවහන්සේ ඔහුට මෙසේ පොරොන්දු වූසේක: “නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ [සිටියෙමි].”—2 සාමුවෙල් 7:9.
දාවිත් “දුෂ්කරතාවන්ගෙන් ආරක්ෂිත” ජීවිතයක් ගත කළ බව ඉන් අදහස් කරයිද? නැත, දාවිත්ගේ පාලන සමයට පෙර සහ ඒ අතරතුර, ඔහු දැඩි පරීක්ෂාවලට මුහුණ දුන්නේය. රජ බවට පත්වීමට වසර ගණනාවකට පෙර, මිනීමරු සාවුල් රජ විසින් ඔහුව කුරිරු අයුරින් ලුහුබඳින ලදි. ඔහුගේ ජීවිතයේ මෙම කාලපරිච්ඡේදය තුළදී, දාවිත් මෙසේ ලීවේය: “මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය . . . හෙල්ල සහ ඊගස් වැනි දත් [ඇති] . . මනුෂ්‍ය පුත්‍රයන් [අතරෙහිය].”—ගීතාවලිය 57:4
එහෙත් මෙම විපත්ති කාලය පුරා වුවත්, යෙහෝවඃවහන්සේගේ පෞද්ගලික සැලකිල්ල තමාට ලැබෙන බව දාවිත්ට ඒත්තුගොස් තිබිණ. “මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව,” කියා ඔහු යෙහෝවඃවහන්සේට කරන ලද යාච්ඤාවකදී ප්‍රකාශ කළේය. එසේය, යෙහෝවඃවහන්සේ මුළු දුෂ්කර අවධියම ලේඛනගත කළා හා සමාන බව දාවිත්ට හැඟිණ. එවිට දාවිත් තවදුරටත් මෙසේ පැවසුවේය: “ඔබේ බඳුනෙහි [සම් බඳුනෙහි, NW] මාගේ කඳුළු එකතු කළ මැනව; ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද?”a (ගීතාවලිය 56:8, නව අනුවාදය) මෙම උපහැරණය සමඟින්, තත්වය පිළිබඳව පමණක් නොව, නමුත් එහි චිත්තවේගීය බලපෑම පිළිබඳවද යෙහෝවඃවහන්සේ දැන සිටි බවට වූ ඔහුගේ ඒකාන්ත විශ්වාසය දාවිත් ප්‍රකාශ කළේය.
ඔහුගේ ජීවිතයේ අවසානය වන විට, පෞද්ගලික අද්දැකීම තුළින් දාවිත්ට මෙසේ ලිවීමට හැකි විය: “මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක. ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරනසේක.” (ගීතාවලිය 37:23, 24) ඔබගේ පරීක්ෂා නොනැවතී දිගටම පැවතුණත්, යෙහෝවඃවහන්සේ ඔබගේ විඳදරාගැනීම දකින අතර, එය අගය කරන බවට ඔබට නිසැක විය හැක. පාවුල් මෙසේ ලීවේය: “නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.
තවදුරටත්, ඔබගේ මාර්ගයේ කුමන බාධකයක් තැබුවත්, එය විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය සැපයීමෙන් ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීමට යෙහෝවඃවහන්සේට හැක. “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය,” කියා දාවිත් ලීවේය, “නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.” (ගීතාවලිය 34:19) ඇත්තෙන්ම, “ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්,” යෙහෝවඃවහන්සේගේ ඇස් “පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය” කියා බයිබලය අපට පවසයි.—2 ලේකම් 16:9.
යෙහෝවඃවහන්සේ ඔබව ඇදගත්සේක
යෙහෝවඃවහන්සේ පෞද්ගලික සැලකිල්ල දක්වන බවට අමතර සාක්ෂි යේසුස්වහන්සේගේ වදන්වලින් දැකිය හැක. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.” (යොහන් 6:44) එසේය, ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා යෙහෝවඃවහන්සේ ජනයාට පෞද්ගලිකව උපකාර කරනසේක. කෙසේද? එය බොහෝදුරට කරනු ලබන්නේ, රාජ්‍ය දේශනා කිරීමේ සේවය තුළිනි. මෙම සේවය “සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස” ක්‍රියා කරන බව සැබෑ වුවත්, එය පෞද්ගලික පදනමක් මත ජනයා වෙත ළඟා වෙයි. ඔබ ශුභාරංචි පණිවිඩයට ඇහුම්කන් දී ඊට ප්‍රතිචාරය දැක්වන බවට වූ කාරණය, යෙහෝවඃවහන්සේ ඔබ කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් දක්වන බවට සාක්ෂියකි.—මතෙව් 24:14.
යෙහෝවඃවහන්සේ ස්වකීය ශුද්ධාත්මය තුළින්, පුද්ගලයන්ව උන්වහන්සේගේ පුත්‍රයා වෙත සහ සදාජීවනය නමැති බලාපොරොත්තුව වෙත අදිනු ලබනසේක. ඕනෑම සීමාවන් හා අසම්පූර්ණකම් උරුම වී තිබුණත්, එකිනෙකාට ආත්මික සත්‍යයන් වටහාගෙන අදාළ කරගැනීමට මෙය ඉවහල් වේ. ඇත්තෙන්ම කියනවා නම්, දෙවියන්වහන්සේගේ ස්ප්රීතුවේ උපකාරය නොමැතිව කෙනෙකුට දෙවියන්වහන්සේගේ අරමුණු වටහාගත නොහැක. (1 කොරින්ති 2:11, 12) පාවුල් තෙසලෝනිකවරුන්ට ලීවාක් මෙන්, “සියල්ලන්ටම ඇදහීම නැත.” (2 තෙසලෝනික 3:2) යෙහෝවඃවහන්සේ ස්වකීය ආත්මය සපයන්නේ, උන්වහන්සේ විසින් අදිනු ලැබීම ගැන කැමැත්තක් පළ කරන අයට පමණි.
යෙහෝවඃවහන්සේ මනුෂ්‍යයන්ව අදිනු ලබන්නේ, උන්වහන්සේ පුද්ගලයන් වශයෙන් ඔවුන්ට ප්‍රේම කරන නිසාත් ඔවුන් ගැළවීම ලබාගන්නවාට කැමති නිසාත්ය. යෙහෝවඃවහන්සේ පෞද්ගලික සැලකිල්ල දක්වන බවට මොනතරම් ස්ථිරසාර සාක්ෂියක්ද! යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මේ බාලයන්ගෙන් එක්කෙනෙක්වත් විනාශවෙනවාට ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ කැමති නොවනසේක.” (මතෙව් 18:14) එසේය, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ සෑම කෙනෙකුම විශිෂ්ට පුද්ගලයෙකු ලෙස වැදගත්ය. එමනිසා පාවුල්ට මෙසේ ලිවීමට හැකි විය: “උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාක[දෙනසේක].” (රෝම 2:6) තවද ප්‍රේරිත පේතෘස් මෙසේ ප්‍රකාශ කළේය: “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ [තනි පුද්ගලයා] උන්වහන්සේට ප්‍රසන්න[ය].”—ක්‍රියා 10:34, 35.
යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන්
මනුෂ්‍යයන් කෙරෙහි දෙවියන්වහන්සේගේ පෞද්ගලික සැලකිල්ල, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ සිදු කළ ප්රාතිහාර්යයන් තුළින් හැඟීම් දනවන ආකාරයකින් නිරූපණය කරන ලදි. මෙම සුව කිරීම් ගැඹුරු හැඟීමකින් සිදු කරන ලදි. (මාර්ක් 1:40, 41) “පියාණන්වහන්සේ යමක් කරනවා . . . දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට” යේසුස්වහන්සේට “බැරි” නිසා, උන්වහන්සේගේ දයානුකම්පාවෙන් යෙහෝවඃවහන්සේ සෑම සේවකයෙකු කෙරෙහි දක්වන සැලකිල්ල හද දනවන ආකාරයකින් නිරූපණය කරයි.—යොහන් 5:19.
මාර්ක් 7:31-37හි වාර්තා කර තිබෙන, යේසුස්වහන්සේ සිදු කළ ප්රාතිහාර්යය පිළිබඳ වාර්තාව සලකා බලන්න; මෙහිදී යේසුස්වහන්සේ ගොළු බිහිරෙකු සුව කළසේක. උන්වහන්සේ “රහසින් [එම මිනිසා] සමූහයා කෙරෙන් අහකට ගෙන [ගිය],” බව බයිබලය සඳහන් කරයි. එවිට, “ස්වර්ගය දෙස බලා, සුසුම්ලා: එප්ඵාතා, එනම් ඇරේවයි ඔහුට කීසේක.”
යේසුස්වහන්සේ මෙම මිනිසාව සමූහයා කෙරෙන් අහකට ගෙන ගියේ මන්ද? බොහෝදුරට, හරියට කතා කළ නොහැකි බිහිරෙකුට, බලා සිටින්නන් ඉදිරියේ කතා කිරීමට යම් ලජ්ජාවක් දැනිය හැකි බැවිනි. යේසුස්වහන්සේ මෙම පුද්ගලයාගේ නොසන්සුන් බව දුටුවා විය හැකි අතර, ඔහුව රහසින් සුව කිරීමට තෝරාගත්තේ එනිසාය. එක් බයිබල් විශාරදයෙක් මෙසේ නිරීක්ෂණය කරයි: “යේසුස්වහන්සේ මෙම මිනිසාව නිකම්ම රෝගියෙකු ලෙස සැලකුවේ නැත; ඔහුව පුද්ගලයෙකු ලෙස සැලකූ බව මුළු කතාවෙන් අපට විචිත්‍ර ලෙස පෙන්නුම් කරනවා. මෙම මිනිසාට විශේෂ අවශ්‍යතාවක් සහ විශේෂ ගැටලුවක් තිබුණා, යේසුස්වහන්සේ ඉතා මෘදු සැලකිල්ලකින් ඔහුගේ හැඟීම් නොරිදවන සහ ඔහුට තේරුම්ගත හැකි ආකාරයකින් ඔහු සමඟ කටයුතු කළා.”
යේසුස්වහන්සේ මනුෂ්‍යයන්හට පෞද්ගලික සැලකිල්ලක් දැක්වූ බව මෙම වාර්තාව පෙන්නුම් කරයි. ඔබ කෙරෙහිත් උන්වහන්සේ එලෙසම සැලකිලිමත් වන බවට ඔබට සහතික විය හැකිය. උන්වහන්සේගේ යාගික මරණය, ගලවාගත හැකි මනුෂ්‍යවර්ගයාගේ මුළු ලෝකය කෙරෙහි ප්‍රේමයේ ප්‍රකාශයක් වූ බව සැබෑවකි. එහෙත් මෙසේ ලියූ පාවුල් මෙන්, එම ක්‍රියාව පෞද්ගලිකව අදාළ කරගැනීමට ඔබට හැක: ‘දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් . . . මට ප්‍රේම කර, මා උදෙසා තමන්වම පාවා දුන්සේක.’ (ගලාති 2:20) ‘තමා දුටු තැනැත්තා පියාණන්වහන්සේ දැක තිබූ’ බව යේසුස්වහන්සේ පැවසූ බැවින්, යෙහෝවඃවහන්සේටත් ස්වකීය සේවකයන් සෑම කෙනෙකු කෙරෙහිම එවන් සැලකිල්ලක් තිබෙන බවට අපට නිසැක විය හැකිය.—යොහන් 14:9.
යෙහෝවඃවහන්සේ විපාක දෙන්නෙකු බවට පත් වනසේක
බයිබලයේ හෙළි කර තිබෙන පරිදි, දෙවියන්වහන්සේගේ පෞද්ගලිකත්වයේ සෑම අංගයක්ම දැනගැනීම උන්වහන්සේ පිළිබඳ දැනුම ලැබීමට ඇතුළත් වේ. යෙහෝවඃවහන්සේ යන නාමයෙහි අරුත වනාහි, “උන්වහන්සේ සිදුවීමට සලස්වනසේක” යන්නය, එනම් යෙහෝවඃවහන්සේගේ කැමැත්ත ඉටු කරගැනීම සඳහා උන්වහන්සේ තෝරාගන්නාවූ ඕනෑම දෙයක් වීමට සැලැස්වීමට උන්වහන්සේට හැකි බව අඟවයි. ඉතිහාසය පුරා උන්වහන්සේට විවිධාකාර භූමිකා හිමි වී ඇත, ඒවාට මැවුම්කරුවාණන්, පියාණන්, පරමාධිපති සමිඳාණන්, එඬේරාණන්, සේනාවල යෙහෝවඃවහන්සේ, යාච්ඤා අසන තැනැන්වහන්සේ, විනිශ්චයකරුවාණන්, උත්තරීතර ගුරුවරයාණන් සහ මිදුම්කරුවාණන් ඇතුළත් වේ.b
දෙවියන්වහන්සේගේ නාමයේ සම්පූර්ණ අරුත අගය කිරීම සඳහා අප යෙහෝවඃවහන්සේ විපාක දෙන තැනැන්වහන්සේ ලෙස හඳුනාගැනීමටද අවශ්‍ය වේ. පාවුල් මෙසේ ලීවේය: “ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.”—හෙබ්‍රෙව් 11:6.
අදදින යෙහෝවඃවහන්සේට පූර්ණ හදින් සේවය කිරීමට තෝරාගන්නවුන් සඳහා, උන්වහන්සේ පාරාදීස පොළොවක් මත සදාකාල ජීවිතයක් පොරොන්දු කර තිබෙනසේක. එම උදාර පොරොන්දුවේ ඉටුවීම සඳහා අප බලාපොරොත්තුවෙන් සිටීම ආත්මාර්ථකාමී ක්‍රියාවක් නොවන අතර, කෙනෙකු එහි ජීවත්වීම සම්බන්ධයෙන් කල්පනා කිරීම හිතුවක්කාර දෙයක්ද නොවේ. මෝසෙස් ‘විපාකය දෙස ඉතා ඕනෑකමින් බැලුවේය.’ (හෙබ්‍රෙව් 11:25) ඒ හා සමානවම, විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සඳහා දෙවියන්වහන්සේගේ පොරොන්දුවේ ඉටුවීම සම්බන්ධයෙන් පාවුල් උනන්දුවෙන් බලා සිටියේය. ඔහු මෙසේ ලීවේය: “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.”—පිලිප්පි 3:14.
විඳදරාගන්නාවූ අයට යෙහෝවඃවහන්සේ පොරොන්දු වී තිබෙන විපාකය දෙස ඔබටත් ඕනෑකමින් බලා සිටිය හැක. එම විපාකය අපේක්ෂාවෙන් සිටීම වනාහි, දෙවියන්වහන්සේ පිළිබඳ ඔබගේ දැනුමෙත්, උන්වහන්සේගේ සේවය තුළ ඔබගේ විඳදරාගැනීමෙත් අනිවාර්ය කොටසකි. එබැවින් යෙහෝවඃවහන්සේ ඔබ සඳහා රැස් කර තිබෙන ආශීර්වාද සම්බන්ධයෙන් දිනපතා මෙනෙහි කරන්න. මුලින් සඳහන් කළ මරී, මෙය කිරීම සඳහා විශේෂ ප්රයත්නයක් දරා ඇත. “මගේ ජීවිතයේ මුල් වරට, මෑතකදී, යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාව මට අදාළ වන බව මා පිළිගත්තා.” කියා ඈ ප්‍රකාශ කරන්නීය. “යෙහෝවඃවහන්සේ මට පුද්ගලයෙක් වශයෙන් සැලකිල්ල දක්වන බව මට හැඟෙන්ට පටන්ගන්නවා. මම අවුරුදු 20කටත් වඩා කාලයක් ක්‍රිස්තියානියෙක්ව සිටියත්, මා මෙය ඇත්තෙන්ම විශ්වාස කිරීමට පටන්ගත්තේ මෑතකදී පමණයි.”
මරී මෙන්ම මිලියන සංඛ්‍යාත අය, බයිබලය අධ්‍යයනය කර එය හෘදයාංගම ලෙස මෙනෙහි කිරීම තුළින්, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට කණ්ඩායමක් ලෙස පමණක් නොව, නමුත් පුද්ගලයන් ලෙසද සැලකිල්ල දක්වන බව ඉගෙනගනිති. ප්‍රේරිත පේතෘස් මෙය කෙතරම් ඒත්තුගෙන තිබුණාද කිවහොත්, ඔහු මෙසේ ලීවේය: “උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර [දෙවියන්වහන්සේ] පිට තබාපල්ලා.” (1 පේතෘස් 5:7) එසේය, දෙවියන්වහන්සේ ඔබ ගැන සලකනසේක!
[පාදසටහන්වල]
a සම් බඳුනක් වනාහි, සත්ව සමකින් යුත් භාජනයක් වූ අතර, එය ජලය, තෙල්, කිරි, මුද්‍රිකපානය, බටර් සහ චීස් වැනි දෑ තැබීමට භාවිත කරන ලදි. ඉපැරණි බඳුන්, විශාල වශයෙන් ප්‍රමාණයෙන් සහ හැඩයෙන් වෙනස් වූ අතර, ඉන් සමහරක් සම් මලු විය, වෙනත් ඒවා මූඩි සහිත කුඩා කටක් ඇති භාජන විය.
b විනිශ්චයකාරයන් 11:27; ගීතාවලිය 23:1; 65:2; 73:28; 89:26; යෙසායා 8:13; 30:20; 40:28; 41:14; බලන්න. වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත, නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්—විත් රෙෆරන්සස්හි උපග්‍රන්ථය 1J පිටු 1568ද බලන්න.
[6වන පිටුවේ කොටුව]
නැවත නැඟිටීම—දෙවියන්වහන්සේ සැලකිල්ල දක්වන බවට සාක්ෂියකි
සෑම පුද්ගලයෙකු කෙරෙහිම දෙවියන්වහන්සේ සැලකිල්ල දක්වන බවට ඒත්තුගන්වනසුලු සාක්ෂියක් යොහන් 5:28, 29හි සොයාගත හැක: “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [යේසුස්වහන්සේගේ] හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව එන්නෝය.”
මෙහි ටේʹෆොස් (මිනි වළ) වෙනුවට, ම්නෙ·මෙයිʹයොන් (සිහිකිරීමේ සොහොන) නම් ග්‍රීක් වචනය භාවිත කර තිබීම උනන්දුව දනවනසුලුය. ටේʹෆොස් නම් වචනය නිකම්ම වැළලීම යන අදහස ගෙනහැර දක්වයි. එහෙත් ම්නෙ·මෙයිʹයොන් නම් වචනයෙන්, මියගිය පුද්ගලයාගේ වාර්තාව මතකයේ තිබෙන බව අඟවයි.
මේ සම්බන්ධයෙන්, නැවත නැඟිටුවීම සඳහා යෙහෝවඃ දෙවියන්වහන්සේගෙන් අවශ්‍ය වන්නේ කුමක්දැයි නිකම් කල්පනා කර බලන්න. කෙනෙකුව නැවතත් ජීවනයට ගෙන ඒමට නම්, ඔහුගේ හෝ ඇයගේ උරුම වූ විශේෂ ගතිලක්ෂණ සහ සම්පූර්ණ මතකය ඇතුළු සියලු දේ සම්බන්ධයෙන්ම උන්වහන්සේ දැන සිටිය යුතුය. එම පුද්ගලයාට එම අනන්‍යතාව නැවත ලබා දීමට හැකි වන්නේ එවිට පමණි.
ඇත්තවශයෙන්ම, මිනිස් දෘෂ්ටිකෝණයෙන් බලන කල එය කළ නොහැකි වුවත්, “දෙවියන්වහන්සේට සියල්ලම පුළුවන.” (මාර්ක් 10:27) කෙනෙකුගේ හෘදයේ තිබෙන්නේ කුමක්ද කියා පවා උන්වහන්සේට නිශ්චය කළ හැකිය. කෙනෙකු මියගොස් ශතවර්ෂ ගණනාවක් ගත වුවත්, ඔහු සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ මතකය නොවරදිනසුලුය; එය පහවන්නේ නැත. (යෝබ් 14:13-15) එබැවින් ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් ගැන සඳහන් කරද්දී, ඔවුන්ගේ මරණයෙන් ශතවර්ෂ ගණනාවකට පසුව පවා, යෙහෝවඃවහන්සේ “මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ උදෙසා ජීවත්ව සිටි[ත්],” කියා පැවසීමට යේසුස්වහන්සේට හැකි විය.—ලූක් 20:38.
එබැවින් මියගිය බිලියන ගණන් අය යෙහෝවඃ දෙවියන්වහන්සේගේ මතකයෙහි සම්පූර්ණ විස්තර සහිතව සිටිති. දෙවියන්වහන්සේ පුද්ගලයන් වශයෙන් මනුෂ්‍යයන් ගැන සැලකිල්ල දක්වන බව පෙන්වීමට මොනතරම් මවිතකර සාක්ෂියක්ද!
[7වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ තමන් සුව කළ පුද්ගලයන් කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් දැක්වූසේක