පෘතුගාලයේ—බයිබල් සත්‍යය පතළ කිරීම
උතුරේ කාමීන්යා සිට දකුණේ වීලා රෙයාල් ඩ සාන්ටෝ අන්ටෝන්යො දක්වා, මසුන් ඇල්ලීමට යොදාගැනෙන වර්ණවත් බෝට්ටු දහස් ගණනක්, පෘතුගාලයේ අත්ලාන්තික් වෙරළෙහි කිලෝමීටර් 800ක ප්‍රදේශයක් පුරා දැකගත හැක. ‘නැව්වලින් මුහුදේ ගොස් ඇති’ ධීවරයන් සියවස් ගණනාවක් පුරා එසේ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් පෘතුගීසීන්ගේ ප්‍රධාන ආහාරය මාළු වී තිබේ.—ගීතාවලිය 107:23.
පසුගිය වසර 70 මුළුල්ලේ, පෘතුගාලයේ වෙනත් ආකාරයක මසුන් ඇල්ලීමක් සිදු කරමින් පවතී. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සංකේතාත්මක මසුන් දසදහස් ගණනකට ශුභාරංචිය ගෙන ඒමෙහි කාර්යබහුලව සිටිති. (මතෙව් 4:19) වර්ෂ 1995, මැයි මාසයේදී රාජ්‍ය ප්‍රචාරකයන් 44,650ක නව වාර්තාවක් තිබිණ—එය වැසියන් 210කට, 1ක පමණ අනුපාතයකි. ඇතැම් නගරවල අනුපාතය ඉන් අඩක් පමණි.
සේවකයන් බොහෝදෙනෙකු සිටින නිසා, බොහෝ පෙදෙස්වල සාක්ෂිදැරීමේ බල ප්‍රදේශ සෑම සතියකම පාහේ ආවරණය කරනු ලැබේ. මෙලෙස, වෙනත් අය සමඟ බයිබලයේ තිබෙන බලාපොරොත්තුව බෙදාගැනීම සඳහා විවිධ පිවිසීම් භාවිත කිරීමට පෘතුගීසි සාක්ෂිකරුවෝ ඉතා උනන්දුවෙන් සිටිති. එසේය, හැකි සෑම අයුරකින්ම බයිබල් සත්‍යය දැනුම් දීමේ වැදගත්කම ඔවුහු අගය කරති.—1 කොරින්ති 9:20-23.
ආගමික වශයෙන් නැඹුරුවාවක් දක්වන අයට උපකාර කිරීම
එක්දහස් නවසිය අනූඑකේ ජන සංගණනයකට අනුව, පෘතුගාලයේ වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි සියයට 70ක් රෝමානු කතෝලිකයෝ බව කියා සිටිති. එසේ තිබියදීත්, මනුෂ්‍යයන් අතර බයිබලය සම්බන්ධයෙන් දැනුම හීන වී ගොස් තිබේ. ජෝර්නාල් ඩ නෝටේෂස් නම් පුවත්පත මෙසේ ප්‍රකාශ කළේය: “මෙය වනාහි කතෝලික ලෝකයේ පවතින විශාල ඛේදවාචකයන්ගෙන් එකකි: එනම් බයිබලය සම්බන්ධයෙන් නොදැනුවත්කම!” මෙවැනි තත්වයක් ඇති වන්නේ මන්ද? පෘතුගීසි එස්ප්රේසෝ නම් පුවත්පත පිළිතුර වෙත යොමු දක්වයි. ෆැටිමාහි පැවති පූජකවරුන් 500දෙනෙකු ඇතුළත් රැස්වීමක් සම්බන්ධයෙන් වාර්තා කරමින්, එම පුවත්පත මෙසේ ප්‍රකාශ කරයි: “නායක දේවගැතිවරයාට අනුව, පූජකවරයෙකු විශේෂයෙන්ම ‘ප්‍රකාශකයෙකු’ වශයෙන් තමාගේ තනතුර නැවත පිහිටුවාගැනීමට හැකි වන පරිදි, නිමක් නොමැති සේ පෙනෙන්ට තිබෙන අමතර ක්‍රියාකාරකම්වලින් තමාවම නිදහස් කරගැනීමට අවශ්‍යතාවක් තිබේ. . . . පූජකවරයෙක් සුවිශේෂය දේශනා කිරීම සඳහා තමාගේ ආත්මය යෙදවුවහොත්, වෙන ක්‍රියාකාරකම් සඳහා ඔහුට කාලය ඉතිරි වන්නේ නැත.”
මීට පටහැනිව, පෘතුගාලයේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බයිබල් සත්‍යය හැකි සෑම ආකාරයකින්ම දැනුම් දීමෙහි කඩිසරව යෙදී සිටිති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ අවංක කතෝලිකයෝ බයිබලය සම්බන්ධයෙන් දැනුම ලබාගනිමින් සිටිති.
කාර්ලොටා භක්තිවන්ත කතෝලිකයෙක් වූ අතර, ආගමික නිකායක යෞවන සමාජයක සාමාජිකාවක් වූවාය. සාක්ෂිකරුවෙකු වූ ආන්ටෝන්යෝ සේවය කළ බාලාංශ පන්තියක ඈ ගුරුවරියක්ද වූවාය. ස්ථාවර පුරෝගාමියෙක් නැතහොත් පූර්ණ-කාලීන දේවසේවකයෙකු වශයෙන්, ආන්ටෝන්යෝ කෑම පැය තුළදී තම සෙසු සේවකයන් සමඟ බයිබලය සම්බන්ධයෙන් කතා කිරීමට සැමවිටම උත්සාහ කළේය. එක් දිනක් කාර්ලොටා නිරාගින්න සහ මරිය වන්දනාව පිළිබඳ විශ්වාසය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසුවේය. මෙම විෂයන් සම්බන්ධයෙන් බයිබලය උගන්වන දේ ආන්ටෝන්යෝ ඇයට පෙන්නූ අතර, බයිබල් සාකච්ඡා බොහොමයක් සඳහා මෙය ආරම්භය විය. කාර්ලොටා ප්‍රාදේශීය රාජ්‍ය ශාලාවේ ඇයගේ ප්‍රථම රැස්වීමට පැමිණි විට, මෙය ඇගේ සිතට තදින් කාවැදිණ. කෙසේවුවත්, රැස්වීම් පවත්වන වේලාවන් ඇය අයත්ව සිටි ආගමික නිකායේ රැස්වීම් පවත්වන වේලාවන් සමඟ ගැටිණ. ඇයට තීරණයක් ගැනීමට සිදු වන බව ඈ වටහාගත්තාය. ඈ කුමක් කරනු ඇද්ද?
කාර්ලොටා යෞවන සමාජයේ සියලුම අය රැස් කර, ඇය ඉල්ලා අස්වීමේ හේතුව බයිබලයෙන් පැහැදිලි කළාය. සියල්ලෝම ඇයගේ තීරණය විවේචනය කළ මුත්, ස්ටෙලා නම් එක් තරුණියක් ඉතා සාවධානව සවන් දුන්නාය. කාර්ලොටා ස්ටෙලා සමඟ පසුව කතා කළ විට, ඈ ජීවිතයේ මූලාරම්භය සහ අරමුණ සම්බන්ධයෙන් ප්‍රශ්න බොහොමයක් ඇසුවාය. කාර්ලොටා ඇයට ලයිෆ්—හෞ ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්?a නමැති පොත දී ඇය සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තාය.
මේ අතරතුර කාර්ලොටා කදිම ආත්මික ප්‍රගතියක් ලැබූ අතර, 1991දී බව්තීස්ම ලබා, ඊට මාස හයකට පසු ස්ථාවර පුරෝගාමියක ලෙස සේවය කිරීමට පටන්ගත්තාය. වර්ෂ 1992 මැයි මාසයේදී ඈ සහ ආන්ටෝන්යෝ විවාහ වූ අතර, ඔවුන් දෙදෙනාම වඩාත් අවශ්‍යතාව තිබෙන අසල්වැසි සභාවක පුරෝගාමී සේවයේ දිගටම නියැළෙමින් සිටිති. ස්ටෙලා ගැන කුමක් පැවසිය හැකිද? ඈ 1993 මැයි මාසයේදී බව්තීස්ම වූ අතර, දැන් ස්ථාවර පුරෝගාමියක ලෙස සේවය කරන්නීය.
යෞවන ෆ්රාන්සිෂ්කෝ ආගමට ඉතා ලැදි පුද්ගලයෙක් වූයේය. සෑම ඉරිදා උදෑසනකම ඔහු පූජාවටත්, සවසට ජපමාලය කටපාඩමින් කීමටත් ගියේය. ඔහු පූජාව පවත්වන කාලය තුළදී, පූජකවරයාට උපකාර කරමින් සංක්රිස්තියන්වරයා ලෙස සේවය කළේය. යම් දිනයක ඔහුව “සාන්තුවරයෙකු” කරන ලෙස පවා ඉල්ලමින් ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කළේය!
ෆ්රාන්සිෂ්කෝට ඇත්තටම බයිබලයක් අවශ්‍යව තිබුණු අතර, ඔහුගේ මිතුරෙක් පාවිච්චි කිරීම සඳහා එකක් දුන්නේය. දෙවියන්වහන්සේට යෙහෝවා කියා නමක් තිබෙන බව දැනගැනීමෙන් ඔහු පුදුමයට පත් වූයේය. (නික්මයාම 6:3; ගීතාවලිය 83:17) නමස්කාරයේදී දෙවියන්වහන්සේ පිළිම භාවිත කිරීම තහනම් කරන බව නික්මයාම 20:4, 5හි කියෙවූ විට, ඔහු ඊටත් වඩා පුදුමයට පත් වූයේය! පල්ලිය පිළිමවලින් පිරී තිබෙන බැවින් මෙම වියවුල තේරුම්ගැනීම සඳහා උපකාර කරන මෙන් ඔහු දෙවියන්වහන්සේට ඉතා උනන්දුවෙන් යාච්ඤා කළේය. දින කිහිපයකට පසුව ඔහුට කලින් පාසැලේ සිටි මිතුරෙකු මුණගැසුණු අතර, රෑ පාසැලින් ඔහු ඉවත් වූයේ මන්ද කියා විමසුවේය.
“මම දැන් ඊටත් වඩා හොඳ රෑ පාසැලකට යනවා,” කියා ඔහුගේ මිතුරා පිළිතුරු දුන්නේය.
“ඒ මොන පාසැලක්ද, අනිත් එක ඔයා මොනවද ඉගෙනගන්නේ?” කියා ෆ්රාන්සිෂ්කෝ ඇසුවේය. ඔහු මිතුරාගේ පිළිතුරෙන් සම්පූර්ණයෙන්ම පුදුමයට පත් වූයේය.
“මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ බයිබලය පාඩම් කරනවා,” කියා මිතුරා ඔහුට පැවසීය. “ඔබත් කැමතිද මා සමඟ එන්න?”
ඔහුගේ ප්‍රථම රැස්වීමේදී දුටු දෙය—එනම් සතුටු, සිනහ මුසු මුහුණු; මනුෂ්‍යයන් සියලුදෙනාම එකිනෙකා සමඟ උණුසුම්, මිත්‍රශීලී ආකාරයකින් කතා කරන අයුරු; දරුවන් ඔවුන්ගේ දෙමාපියන් සමඟ වාඩි වී කියනු ලැබූ දේට සවන් දෙමින් සිටින ආකාරය, ෆ්රාන්සිෂ්කෝට කිසිසේත් විශ්වාස කළ නොහැකි දෙයක් විය.
“මෙතනට මම අමුත්තෙක් වුණත්, මමත් පවුලේ කෙනෙක් කියා මට හැඟුණා!” කියා ෆ්රාන්සිෂ්කෝ කියා සිටියේය. එදා පටන් ඔහු නිතිපතාම රැස්වීම්වලට පැමිණෙමින් සිටී. දැන් ෆ්රාන්සිෂ්කෝ සභාවේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන අතර, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ දේවවචනයේ අඩංගු උදාර රාජ්‍ය පොරොන්දු තුළ ප්‍රීති වෙයි.
නෑදෑයන් සමඟ සත්‍යය බෙදාගැනීම
ලිස්බන් ප්‍රදේශයේ ස්ථාවර පුරෝගාමියක වූ මන්වෙලා, ඇයගේ පවුලේ අය ඇතුළු සියලුදෙනාටම කරුණාවෙන් සාක්ෂිදැරීමට දැරූ දැඩි උත්සාහය හේතුවෙන් ආත්මික මසුන් බහුල ලෙස අල්ලාගැනීමට හැකිකම ලැබුවාය. ඔවුන් අතර, සටන් ශාස්ත්රයේ සහ ආයුධ භාවිතයේ පුහුණු කරනු ලැබූ ඇයගේ මාංසික සහෝදරයා වූ ජෝසේ එද්වර්ඩෝ සිටියේය. ඔහු බොහෝ වතාවක්ම නීතිය කඩ කර තිබුණු බැවින්, චෝදනා 22ක් මත නඩු විභාගවලට ඔහුව ඉදිරිපත් කළ අතර, අවසානයේදී, අවුරුදු 20ක සිරගත කිරීමේ දඬුවමක් නියම කරනු ලැබීය. ඔහු කෙතරම් දරුණු පුද්ගලයෙක්ද කිවහොත්, සෙසු නේවාසිකයෝ පවා ඔහුට බියෙන් සිටියෝය, තවද ඔහුව දැඩි ආරක්ෂිත සිර කූඩුවක තබනු ලැබීය.
වසර හතකට මන්වෙලා ඉවසිලිවන්ත ලෙස ජෝසේ එද්වර්ඩෝව බැහැදැකීමට ගිය නමුත්, ඔහු සැමවිටම ඇගේ බයිබල් පණිවිඩය ප්‍රතික්ෂේප කළේය. අවසානයේදී, ලයිෆ්—හෞ ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්? නමැති පොත ප්‍රකාශයට පත් කරනු ලැබූ විට, ඔහු එය පිළිගත් අතර බයිබල් පාඩමක් ආරම්භ කරනු ලැබීය. ඔහු ඔහුගේ හැසිරීමේ අතිවිශාල වෙනස්කම් විගස සිදු කළේය. ඊට සතියකට පසු ඔහු සිරකරුවන් 200දෙනෙකුටද, ඊට පසු සතියේ තවත් 600දෙනෙකුටද පෞද්ගලික සාක්ෂියක් දුන්නේය. අනික් සිර මැදිරිවල සිටින සිරකරුවන්ව බැහැදැකීමට පවා ඔහුට අවසර ලැබිණ. ඔහුගේ හැසිරීමේ පුදුමසහගත වෙනස හේතුවෙන්, එම දණ්ඩන නියමය වසර 15කට අඩු කරන ලදි. වසර 10ක් සේවය කිරීමෙන් පසු, ඔහුව පරිවාසය යටතේ නිදහස් කරන ලදි. එතැන් පටන් වසර පහක් ගත වී තිබෙන අතර, ජෝසේ එද්වර්ඩෝ දැන් ප්‍රාදේශීය සභාවේ උපස්ථායක සේවකයෙකු වශයෙන් සේවය කරන බව්තීස්ම ලත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක්ය. සැබවින්ම ‘බැටළුවා සමඟ වෘකයා වාසය කරන’ බවට නිදසුනකි!—යෙසායා 11:6.
ඇයගේ පවුලේ අයට සාක්ෂිදැරීම සඳහා මන්වෙලා දිගටම ගත් ප්රයත්නය හේතුවෙන්, ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ වෙනත් සාමාජිකයන් හතරදෙනෙකුට යෙහෝවඃවහන්සේගේ සේවයේ ක්‍රියාශීලී පුද්ගලයන් බවට පත්වීමට උපකාර කිරීමේ ප්‍රීතිය භුක්තිවිඳීමට ඇයට හැකි වී තිබේ. ඇයගේ ස්වාමිපුරුෂයා දැන් උපස්ථායක සේවකයෙක්ය.
“මම ඔවුන්ට පයින් ගසා කස පහර දී එළවා දමනවා”
සාක්ෂිකරුවන් මරියා ඩෝ කාර්මෝව හමුවීමට පැමිණි විට ඈ ලිස්බන්හි උප නගරයක ජීවත්ව සිටියාය. ඇයට අසන්ට ලැබූ දේවලට ඇය ආශා වූ බැවින්, නිවසේදී බයිබල් පාඩමක් පවත්වන්න හැකිද කියා ඇය ඇගේ ස්වාමිපුරුෂයා වන ආන්ටෝන්යෝගෙන් විමසුවාය. “ඒ ගැන හිතන්නවත් එපා!” කියා ඔහු ඇයට පිළිතුරු දුන්නේය. “මම කවදාහරි අපගේ නිවසේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සිටිනවා දුටුවොත්, ඔවුන්ට පයින් ගසා කස පහර දී එළවා දමනවා.” ආන්ටෝන්යෝ කරාටේ උපදේශකවරයෙක් වූ අතර, තුන්වන ශ්‍රේණියේ කළු පටි හිමියෙක් වූයේය. එනිසා ඇයගේ බයිබල් පාඩම වෙනත් ස්ථානයක පැවැත්වීමට මරියා ඩෝ කාර්මෝ තීරණය කළාය.
පසුව ආන්ටෝන්යෝට කරාටේ හා සම්බන්ධ දින අටක පාඨමාලාවක් සඳහා එංගලන්තයට යෑමට සිදු වූ අතර, මරියා ඩෝ කාර්මෝ මගේ බයිබල් කතන්දර පොත යන ප්රකාශනය ඔහුගේ සූට්කේසය තුළට පරෙස්සමින් දැමුවාය.b ආන්ටෝන්යෝගේ ගමනේදී බොහෝ කාල වේලාවක් තිබුණු බැවින්, ඔහු එම පොත කියෙව්වේය. ආපසු පැමිණෙන ගුවන් ගමනේදී, කුණාටුවකින් ඉතා දරුණු ලෙස ගුවන් යානය සෙලවුණු අතර, එය තොටුපොළට ගොඩ බැස්සවීමෙහිලා දුෂ්කරතා තිබිණ. ඔහුගේ ජීවිතයේ පළමු වතාවට ආන්ටෝන්යෝ යෙහෝවඃවහන්සේට යාච්ඤා කළේය.
ආන්ටෝන්යෝ නිවසට ගිය විට, ඔහුගේ බිරිඳ සමඟ බයිබලය අධ්‍යයනය කළ සාක්ෂිකරුවා ඔහුව රැස්වීමකට ආරාධනා කළේය. ඔහු එම ආරාධනාව පිළිගත් අතර, එහි සිටින සියලුදෙනාම ඉතා මිත්‍රශීලී බව සොයාගත්තේය. බයිබල් පාඩමක් සඳහා කටයුතු පිළියෙළ කරනු ලැබූ අතර, කෙටි කලකට පසු, ඔහුට යම් තීරණ ගැනීමට සිදු වන බව ආන්ටෝන්යෝ දැනගත්තේය. ඔහු කරාටේ ඉගැන්වීම අත්හැරිය අතර, තම ශිෂ්‍යයන්ට දැන් සහ සදාකාලයටම සාමකාමී ජීවිත ගත කරන ආකාරය ඉගැන්වීමට පටන්ගත්තේය. කළු පටි හිමියෙක් වූ ඔවුන්ගෙන් එක්කෙනෙක් දැන් බව්තීස්ම ලත් ක්රිස්තියානිවරයෙක්ය.
ආන්ටෝන්යෝ සම්බන්ධයෙන් පවසනවා නම්, ඔහු 1991 අප්‍රියෙල් මාසයේදී බව්තීස්ම කරනු ලැබීය. ඔහු බව්තීස්ම වූ දිනයට පසු දිනය පටන්, උපකාරික පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට පටන්ගත්තේය. ඉන් මාස හයකට පසු ඔහු ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරන්ට පටන්ගත් අතර, ඉක්මනින්ම ඔහු නිවාස බයිබල් පාඩම් 12ක් පවත්වමින් සිටියේය. වර්ෂ 1993 ජූලි මාසයේදී ඔහුව සභාවේ උපස්ථායක සේවකයෙක් වශයෙන් පත් කරනු ලැබීය.
නිතර වැඩ කරනු ලබන බල ප්‍රදේශ තුළ
රටේ බොහෝ පෙදෙස්වල, බල ප්‍රදේශය සෑම සතියකම පාහේ වැඩ කරනු ලැබේ. සාක්ෂිකරුවන් ඔවුන්ගේ “මසුන් ඇල්ලීමේ” ක්‍රියාකාරකම්වලට ඵලදායී ලෙස උර දෙන්නේ කෙසේද?
සෑම නිවසකම සෑම පුද්ගලයෙකුවම මුණගැසීමට ජාඌ උත්සාහ කරයි. එක් ස්ත්‍රියක බැහැදකින අවස්ථාවේදී, නිවසේ වෙනත් අය වෙසෙනවාද කියා ඔහු ඇයගෙන් විමසුවේය. ඇයගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයන් දෙදෙනා වෙසෙන නමුත්, ඔවුන් වැඩ කරන නිසා නිවසට පැමිණෙන්නේ සවසට පමණක් බැවින් ඔවුන්ව මුණගැසීම එතරම් පහසු දෙයක් නොවන බව ඈ පිළිතුරු දුන්නාය. එබැවින් ජාඌ එම ප්‍රදේශයේ සිටින වෙනත් පුද්ගලයන්ව බැහැදකින්ට ගියේය. පැය එකහමාරකට පමණ පසු මිනිසෙක් ඔහු වෙතට පැමිණියේය.
“ඔබට මා සමඟ කතා කිරීමට අවශ්‍ය බව පැවසුවා,” කියා එම මිනිසා ජාඌට පැවසුවේය. “ඔබට කුමක් අවශ්‍යද කියා කරුණාකරලා කියන්න.”
“සමාවෙන්න, ඒත් මම ඔබව අඳුරන්නේ නැහැ,” කියා පුදුමයට පත් ජාඌ පිළිතුරු දුන්නේය. “ඔබ කවුද?”
“මම ආන්ටෝන්යෝ, මම ඉන්නේ මේ පාරේ. ඔබට අපේ පවුලේ අනිත් අය සමඟ කතා කිරීමට අවශ්‍ය බව මගේ මවට කියලා තිබුණා, එනිසා ඔබට කුමක් අවශ්‍යද කියලා දැනගන්න ආවා.”
ජාඌ ආන්ටෝන්යෝට සම්පූර්ණ සාක්ෂියක් දුන් අතර, ඔහු සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළේය. දෙවන පාඩමෙන් පසු, එම පාඩම සතියකට දෙවරක් පැවැත්විය හැකිද කියා ආන්ටෝන්යෝ ඇසුවේය. හුදෙක් මාස හතරක් ඇතුළත, ඔහු ජාඌ සමඟ එකතු වී තමාගේම පාරේ ශුභාරංචිය දේශනා කිරීමට පටන්ගත්තේය. මාස තුනකට පසු ඔහු බව්තීස්ම විය. මෑතකදී ඔහුගේ මව බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තාය. දේවසේවයේදී පවුලේ සිටින සෑම සාමාජිකයෙක් සමඟම කතා කිරීමට උත්සාහ කිරීම කෙතරම් වැදගත්ද!
පෘතුගාල ජලයෙහි තවමත් බහුලව ආත්මික මසුන් ඇල්ලීමක් කිරීමට තිබෙන බව, එවන් ප්රබෝධජනක අද්දැකීම් පෙන්නුම් කරයි. මෙම රටේ වෙහෙස වී ක්‍රියා කරන සාක්ෂිකරුවන්ට යෙහෝවඃවහන්සේ ප්රගතිශීලී බයිබල් පාඩම් දහස් ගණනක් සමඟින් ආශීර්වාද කර තිබෙනසේක. සෑමදෙනෙකුටම බයිබල් සත්‍යය දැනුම් දීම සඳහා ඔවුන් තව තවත් වැඩියෙන් මාර්ග දිගටම සොයමින් සිටිනවාත් සමඟම, පිලිප්පියේ ක්‍රිස්තියානීන්ට පැවසූ ප්‍රේරිත පාවුල්ගේ වචන, අදදින සැබවින්ම පෘතුගාලයේ ඉටු වෙමින් පවතී: එනම් “සියලු ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලබනසේක.”—පිලිප්පි 1:18.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
[23වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ස්පාඤ්ඤය
පෘතුගාලය
[24, 25 පිටුවේ පින්තූර]
පෘතුගාලයේ සාක්ෂිකරුවෝ බයිබල් සත්‍යය දැනුම් දීම සඳහා සෑම ප්‍රස්තාවක්ම යොදාගනිති