යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩුවේ තීන්දුව
කල් දැමීම් කීපයකින් පසු, ග්‍රීසියේ තෙසලොනිකිහි අභියාචනාධිකරණය, අවසානයේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාර ස්ත්‍රීන් හතරදෙනෙකුට විරුද්ධව නඩුව ඇසීමට 1995 ජූනි 8දා එක්රැස් විය. ඔවුන්ට විරුද්ධව ගෙනා පැමිණිල්ල කුමක්ද? ග්‍රීක් නීතිය මගින් දශක පහකට වඩා පෙර සිට තහනම් කර තිබෙන අන්‍ය ආගමකට හැරවීම.
කෙසේවුවද, අධිකරණය එක්රැස් වූ අවස්ථාව වන විට, අභිචෝදනය සඳහා ප්‍රධාන සාක්ෂිකරුවා—ස්ත්‍රීන් හතරදෙනාට විරුද්ධව නඩු පැවරූ පූජකයා—ජීවතුන් අතර සිටියේ නැත. ඔහු වෙනුවට සාක්ෂි දීමට වෙනත් පූජකයෙකු වෑයම් කළ නමුත්, අධිකරණය ඔහුගේ ආයාචනය පිළිගත්තේ නැත. මෙබැවින්, නඩු ඇසීම විනාඩි 15කට සීමාවීම පුදුමයක් නොවේ! විනිශ්චයකරුවා වෙනත් අභිචෝදන සාක්ෂිකරුවන්ව විභාග කළ අතර, ආගමට හැරවීමේ අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් විත්තිකරුවන් වරදකරුවන් නොවන බව තීරණය කළේය. මෙම තීරණය අඟවන්නේ, මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය මගින් 1993දී ගත් තීරණයට ගරු කිරීමට සහ ඊට ඇලී සිටීමට ග්‍රීක් අධිකරණ කැමති බවය.
අභිචෝදනය සඳහා සාක්ෂිදැරූ ස්ත්‍රීන් තිදෙනා, සාක්ෂිකාර විත්තිකාරියන් වෙත පැමිණ මුළු හෘදයෙන්ම ඔවුන්ට සතුට පළ කරනවා දැකීම විශේෂයෙන්ම පුදුමසහගත දෙයක් විය. “සිද්ධ වුණ හැම දෙයක් සඳහාම අපට සමාවන්න,” යයි ඔවුන්ගෙන් කෙනෙක් පැවසුවාය. ඈ මෙසේද පැවසුවාය: “ඒක අපේ වැරැද්ද නෙවෙයි. ඔබලාට චෝදනා කිරීමට පූජකයා අපට බල කළා. දැන් ඔහු ජීවතුන් අතර නෑ, ඔබලා අපේ ගමටත්, අපේ ගෙවල්වලටත් එනවාට අපි කැමතියි.”
මෙයාකාරයෙන්, යෙහෝවඃවහන්සේ නැවතත් ග්‍රීසියෙහි සිටින ස්වකීය ජනයාට පුදුමාකාර ජයග්‍රහණයක් අත්කර දුන්සේක. ග්‍රීසියෙහි වර්ෂ 1938දී සහ 1939දී අන්‍ය ආගමකට හැරවීම සම්බන්ධ නීති සම්මත කෙරිණ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පීඩා කිරීමට මෙම නීතිය යොදාගැනීම වැරදි බව 1993 මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය නියම කළේය.—1993 සැප්තැම්බර් 1 මුරටැඹ 27-31 පිටු බලන්න.