වයස අවුරුදු සීයයි, තවමත් ශක්තිමත්ව
රැල්ෆ් මිචෙල් පැවසූ පරිදි
මෙතෝදිස්ත දේශනාකරුවෙක් වූ මගේ පියා සාමාන්‍ය උසකින් යුත් මනුෂ්‍යයෙක් වුණා. වර්ෂ 1895 පෙබරවාරි මම උපත ලැබූ අ.එ.ජ. උතුරු කැරොලිනා, ඇෂ්විල්හි, ඇතුළුව අනුපිළිවෙළට බොහෝදුරට කුඩා නගර අතරින් වසර දෙකකට හෝ තුනකට වරක් ඔහුව පල්ලියෙන් පල්ලියට මාරු කරනු ලැබුවා. ඉතින් මා ඇති දැඩි වුණේ ක්‍රිස්තියානි ලෝකය පිළිබඳ සෑහෙන දැනුමක් ඇතුවයි.
ඔවුන් කියන පරිදි “ආගම ලබාගැනීමට,” යෞවන දරුවෙකු ලෙස, පුනරුත්ථාපන රැස්වීම්වල ශුද්ධාත්මයෙන් පූර්ණ වීම පිණිස “ශෝකවන්නන්ගේ ආසනය” වෙත මඟ පෙන්වනු ලැබුවා මට මතකයි. මගේ පව් පාපෝච්චාරණය කිරීමටත්, දස පනත රක්ෂා කිරීමටත්, හොඳ ළමයෙකු වීමටත් මට පවසනු ලැබුවා. මෙලෙස මම මැරුණු විට ස්වර්ගයට යනවා ඇත. ‘හොඳයි,’ ‘මම ස්වර්ගයට යන්ට තරම් හොඳ මදි නිසා නිරයට යාවි කියා මට හිතෙනවා’ කියා මම මටම කියාගත්තා. බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩිහිටියන් පමණක්—විශේෂයෙන්ම දේශනාකරුවන් ජීවත් වන බව මම සිතුවා.
නහඹර වයසට එන්ට පෙර සිටම, මම ආගමේ ඇති කුහකභාවය තේරුම්ගැනීමට පටන්ගත්තා. එක් උදාහරණයකට, පොදු සම්මේලනයේදී බිෂොප්වරයාගේ අරමුදලට විශාල මුදල් සම්භාරයක් සැපයීමට පමණක්, මගේ පියා තම පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතා පරිත්‍යාග කරනවා. මෙමගින් ඔහුට වඩාත් විශාල පල්ලියකට පත්වීමක් ලැබේයයි ඔහු බලාපොරොත්තු වුණා. කපු වගාකරන්නෙකුද වූ එක් ප්‍රාදේශික දේශනාකරුවෙකු මට මතකයි. ඔහු ප්‍රසිද්ධ තනතුරක් ලබාගැනීමට ඇති ආශාවෙන්, කපු මිටි සියයක් විකුණා, සාක්කුව පිරෙන්න මුදල් අරගෙන සම්මේලනයට ගියා. බොහෝදුරට දේශනාකරුවන්ගෙන් යුත් සබයෙන් පුළුවන් තරම් මුදල් ප්‍රමාණයක් ඔවුන් ලබාගෙන තිබුණු බවක් පෙනුණු විට, මෙම කපු වගා කරන දේශනාකරුවා උඩ පැන මෙසේ කෑගැසුවා: “මෙපමණද ඔබ ඔබගේ බිෂොප්ට දෙන්නේ? ඩොලර් පහක් දෙන සෑම දේශනාකරුවෙකුට, මමත් ඩොලර් දහයක් බැගින් සම්මාදම් කරනවා!” ඩොලර් දාහකට වැඩි ප්‍රමාණයක් එකතු කරනු ලැබූ අතර, බිෂොප් මෙම පුද්ගලයාව මගේ පියාගේ මුලසුන භාර වැඩිමහල්ලා ලෙස පත් කළා. මෙවන් පත් කිරීමක් දෙවියන්වහන්සේගෙන් පැමිණි බව මට විශ්වාස කරන්ට නොහැකි වුණා. එතැන් පටන් මම ආගම හා සම්බන්ධ ඕනෑම දෙයක් කෙරෙහි සැකයෙන් පිරී සිටියා.
පළමු ලෝක යුද්ධයේදී එක්සත් ජනපදය ආරවුලකට පටලැවුණු නිසා, මා බලෙන් යුද හමුදාවට බඳවාගනු ලැබුවා. අපගේ රට වෙනුවෙන් පක්ෂපාතීව සටන් කිරීමට හමුදා භටයන් වූ අපට, යුද හමුදා පුරෝහිතයා දුන් දේශනාව මට හොඳට මතකයි, එහෙත් මෙය ආගම කෙරෙහි තිබූ මගේ අප්‍රියතාව තවත් වැඩි කරන්ට වුණා. මගේ ඉලක්කය ඉන් ගැළවී මගේ අධ්‍යාපනය අවසන් කර, ඉන්පසු විවාහ වීමයි. අනාගතය සඳහා ඇති මගේ සැලසුම්වල ආගමට කිසිම ස්ථානයක් තිබුණේ නැහැ.
ආකල්පයේ වෙනසක්
වර්ෂ 1922දී යෞවන ස්ත්‍රියක් වන ලුවීස් සමඟ මම ප්‍රේමයෙන් බැඳුණා. බලන කොට, ඈ භක්තිවන්ත කතෝලිකයෙක්, එමනිසා අපි විවාහ වීමට තීරණය කළ විට, ඈට කතෝලික විවාහයක් අවශ්‍ය වුණා. එහෙත්, කිසිම වර්ගයක ආගමික උත්සවයක් මට අවශ්‍ය වුණේ නැති නිසා, නිව් යෝර්ක් නගරයේ නගර සභා ගොඩනැඟිල්ලක විවාහ වීමට ඇය එකඟ වුණා.
ආරම්භයේදී අපට කිසිම ආගමික ගැටුමක් තිබුණේ නැහැ. මට ආගම කෙරෙහි කිසිම විශ්වාසයක් නොමැති බවත්, ඒ පිළිබඳව සඳහන් කිරීමක්වත් නොමැති තරමට අපට හොඳින් ජීවත් විය හැකි බවත්, මම පැහැදිලිව ඇයට පහදා දුන්නා. 1924 හා 1937 වර්ෂ අතරතුර එක දිගටම අපට දරුවන් ලැබුණා —අන්තිමේදී අපට පිරිමි ළමුන් පස්දෙනෙක්ද, ගැහැනු ළමුන් පස්දෙනෙක්ද සිටියා! අපගේ දරුවන් කතෝලික පාසැලකට යැවීමට ලුවීස්ට අවශ්‍ය වුණා. මොනම ආකාරයකවත් ආගමික පුහුණුවක් ඔවුන්ට දීමට මට අවශ්‍ය නොවූ නිසා, ඒ පිළිබඳව අපි තර්ක කරන්ට වුණා.
වර්ෂ 1939 මුල්භාගයේදී ආගම කෙරෙහි වූ මගේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරන යම් කිසිවක් සිදුවුණා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන හෙන්රි වෙබර් සහ හැරී පයට් නිව් ජර්සේ, රොසෙල්හි පිහිටි මගේ නිවසට ආවා. මට සාකච්ඡා කිරීමට කිසිම උනන්දුවක් නැති මාතෘකාවක් පිළිබඳව ඔවුන්ට කතා කිරීමට අවශ්‍ය වූ බව ඉක්මනින්ම මට පැහැදිලි වුණා—එනම් ආගම. ගමේ සිටි පූජකයන් පැවසුවේ, ‘මිනීනොමරව’ කියාය, එහෙත් ‘ඔබගේ රට වෙනුවෙන් යුද්ධ කරන්න,’ යනුවෙන් පුරෝහිතයන් පැවසූ දෙයින්, මගේ ඇදහිල්ල තවමත් තිත්ත තත්වයක තිබුණා. මොනතරම් කුහකකමක්ද! මෙම සාක්ෂිකරුවන් දෙදෙනාව මම හරිගස්වනවා කියා මම කල්පනා කළා. මම ඔවුන්ට මෙසේ පැවසුවා: “ඔබට යමක් කීමට මට ඉඩ දෙන්න.” “ඔබගේ ආගම සැබෑ නම්, එවිට අනික් සියල්ලම බොරු විය යුතුයි. අනික් ඒවායින් එකක් පමණක්වත් සැබෑ නම්, එවිට ඔබගේ ආගම ඇතුළුව ඉතිරි සියල්ලම බොරු විය යුතුයි. තිබිය හැක්කේ එක් සැබෑ ආගමක් පමණයි.” මගේ පුදුමය වැඩි කරමින් ඔවුන් මා සමඟ එකඟ වුණා!
ඊළඟට, ඔවුන් මගේ බයිබලය ගෙන 1 කොරින්ති 1:10 පෙරළන මෙන් මගෙන් ඉල්ලා සිටියා. එහි මම මෙසේ කියවන්ට වුණා: “ඉතින්, සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි.” මෙම ශුද්ධ ලියවිලි පදය මගින් මම කුතුහලයට පත් වුණා. ඒත් එක්කම, මෙම මිනිසුන් දෙදෙනා යම් වර්ගයක ලබ්ධියකට මා සම්බන්ධ කිරීමට උත්සාහ කරනවාදෝ කියා මම භය වුණා. එහෙත් මම යමක් ඉගෙනගත්තා—එනම් ක්‍රිස්තියානීන් අතර බෙදීම් නොතිබිය යුතු බවයි. මගේ මනසේ වෙනත් බොහෝ ප්‍රශ්න තිබුණා. එක් උදාහරණයකට, මරණින් පසු ආත්මයට කුමක් සිදුවේද? එම ප්රශ්නය ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට මම කොතරම් සතුටු වෙනවාද! එහෙත්, එය නිවස තුළ බොහෝ දරාගැනීමට බැරි ආගමික මතභේදයක් ඇති කරයි කියා මම සිතුවා.
එවිට පුරුෂයන් දෙදෙනාගෙන් කෙනෙක් මෙසේ පැවසුවා: “ලබන සතියේද නැවත පැමිණ ඔබ සමඟ කතා කිරීමට අපි කැමතියි.” ඔවුන්ව උපායශීලී ලෙස යන්ට හරින්ට මම උත්සාහ කළත්, මගේ භාර්යාව කතා කළා. “රැල්ෆ්, නැවත පැමිණිය හැක්කේ කවදාදැයි ඔවුන්ට දැනගන්න අවශ්‍යයි,” යනුවෙන් මගේ භාර්යාව පැවසුවා. ඈ උනන්දුමත් කතෝලිකයෙකු වූ නිසා මෙය මා පුදුමයට පත් කළා! ‘කොහොම හරි, ආගම නමැති මාතෘකාව යටතේ එකඟ විය හැකි සමහරක් කරුණු අපට සොයාගත හැකි වේවි’ කියා මම සිතුවා. එනිසා ඊළඟ සිකුරාදා හෙන්රි වෙබර් සහ හැරී පයට්ගේ නැවත පැමිණීමට මම එකඟ වුණා.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට මා පටන්ගත්තේ එලෙසයි. මින් වැඩි කලක් යන්ට පෙර, නිව් යෝර්ක් නගරයේ මැඩිසන් ස්ක්වැයාර් ගාර්ඩ්න්හි පැවති සමුළුවකට පැමිණෙන ලෙස මට ආරාධනය කළා. වර්ෂ 1939 ජූනි 25වන දින ජෝසෆ් එෆ්. රදර්ෆඩ් විසින් දෙන ලද “ආණ්ඩුව සහ සාමය,” යන කතාව මම සිහිපත් කරන්නේ උද්යෝගයෙන්ය. පැමිණ සිටි 18,000දෙනාගෙන් මමත් කෙනෙකු වුණා. ජාත්‍යන්තර ලෙස ගුවන් විදුලි-දුරකථන තරංග පාවිච්චි කිරීම මාර්ගයෙන්, සම්බන්ධ කළ අය ඇතුළත්ව සැබවින්ම, 75,000දෙනෙකු කතාවට සවන් දුන්නා.
එහෙත් කාරණා හැම දෙයක්ම ලෙහෙසියෙන් හා පහසුවෙන් සිදු වූයේ නැහැ. කතෝලික පූජක චාර්ල්ස් කොග්ලන්ගේ අනුගාමිකයන් එක්රැස්වීම විසුරුවා හැරීමට තීරණය කර තිබුණා, තවද සැබවින්ම වාගේ, සහෝදර රදර්ෆඩ්ගේ කතාවේ මැද හරියේදී පමණ කෝපයට පත් මිනිසුන් සිය ගණනක් පැමිණ හූ කියමින් සහ කෑ ගසමින් “හිට්ලර්ට ප්‍රශංසා වේවා!” සහ “ෆ්‍රැන්කෝට ජය වේවා!” වැනි උද්යෝග පාඨ කියන්ට පටන්ගත්තා. එහි කොතරම් කැලඹීමක් තිබුණද කිව්වොත් කෝලහාලය දුරකථන මාර්ගයෙන් අසාගත හැකි වුණා! කැරලිකාර පිරිස මැඩපවත්වන්ට නිලධාරීන්ට විනාඩි 15ක් පමණ ගත වුණා. නොනැවතී කරන ලද අත්පොළසන් නාදය මගින් සබය ඔහුට අනුබල දුන් නිසා, දිගටම සහෝදර රදර්ෆඩ් කතාව පවත්වමින් සිටියා.
දැන් සැබවින්ම මම කුතුහලයට පත් වුණා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව මෙතරම් බද්ධ වෛරයක් ඇති කිරීමට කතෝලික පූජකයෙක් පෙලඹෙන්නේ ඇයි? පූජක පක්ෂයට මා වැනි මිනිසුන් අසනවාට කැමති නැති යමක් සහෝදර රදර්ෆඩ් දේශනා කරන්නාවූ දෙයෙහි තිබිය යුතුයයි මම සිතාගත්තා. එමනිසා දියුණුව ලබමින් බයිබලය අධ්‍යයනය කිරීම නොනවත්වා කරගෙන ගියා. අවසානයේදී, 1939 ඔක්තොම්බර් මස, වතුර බව්තීස්මය මාර්ගයෙන් යෙහෝවඃවහන්සේට මගේ කැපවීම සංකේතවත් කළා. ඊළඟ වසරේදී මගේ දරුවන්ගෙන් සමහරක් බව්තීස්ම වූ අතර, මගේ බිරිඳ ලුවීස් 1941දී බව්තීස්මය ලැබුවා.
පරීක්ෂාවලට මුහුණ දීම
මම සත්‍යය පිළිගෙන වැඩි කලක් යන්ට පෙර, මගේ අම්මා මියගිය නිසා අවමංගල්‍ය කටයුතු සඳහා උතුරු කැරොලිනාවට නැවත පැමිණීමට සිදු වුණා. මෙතෝදිස්ත පල්ලිය ඇතුළෙහි පවත්වනු ලබන බැවින්, හොඳ හෘදය සාක්ෂියක් ඇතුව කටයුතුවලට සහභාගි වීමට නොහැකි බව මට හැඟුණා. එහෙයින් ගමන ආරම්භ කිරීමට පෙර මම මගේ පියාට දුරකථනයෙන් අමතා මිනිය අවමංගල්‍ය ශාලාවක තබන්ට පැවසුවා. ඔහු එකඟ වුණා, එහෙත් මම එහි පැමිණි විට, සැබවින්ම මම ඔවුන් සමඟ සම්බන්ධ වේයයි සිතූ ඔවුන්, පල්ලිය කරා ගමන් කරමින් සිටියා.
එහෙත් මම එසේ කළේ නැහැ, මෙය මගේ පවුලේ යම් කැලඹීමක් ඇති කළා. මගේ සහෝදරිය වන එඩ්නා සහ මා නිතරම සමීපව සිටියත්, අම්මාගේ අවමඟුලෙන් පසු ඇය මා සමඟ කතා කළේ නැහැ. මම ලිපි ලියුවත් ඒවාට ඇය මට පිළිතුරු සැපයුවේ නැහැ. සෑම ගිම්හානයකම ගුරුවරුන්ගේ පාඨමාලාවලට පැමිණීම සඳහා ඇය නිව් යෝර්ක් නගරයේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පැමිණි විට, මම ඇය බැහැදැකීමට උත්සාහ කළා. එහෙත් ඇය කාර්යබහුලයයි කියමින් මා වෙතින් හැරී ගියා. මම ඇයට හිරිහැර කරන්නාක් මෙන් පෙනෙන්ට තිබුණ නිසා, යථාකාලයේදී මම මගේ උත්සාහය අත්හැරියා. ඇගෙන් නැවත තොරතුරු ලබාගැනීමට පෙර බොහෝ වර්ෂ ගතවේවි.
එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අනිකුත් බොහෝ දරුවන් මෙන්, කොඩියට ආචාර කිරීමට ප්‍රතික්ෂේප කිරීම නිසා 1941දී මගේ දරුවන්ගෙන් හයදෙනෙකුවද පාසැලෙන් ඉවත් කරනු ලැබුවා. නීත්‍යනුකූල අධ්‍යාපන අවශ්‍යතාව සපුරාගැනීම සඳහා, සාක්ෂිකරුවෝ රාජ්‍ය පාසැල් යනුවෙන් ඔවුන්ගේම පාසැල් පිළියෙළ කළා. මගේ දරුවන් ගිය නව පාසැල පිහිටි ස්ථානය වූයේ නිව් ජර්සේ, ලේක්වුඩ්හි කලින් තිබූ හෝටලයක්ය. රාජ්‍ය ශාලාවක් පළමු මහලේ තිබුණ අතර, ඒ සමඟ පන්ති කාමර, කුස්සිය සහ කෑම කන ස්ථානය තිබුණා. ගැහැනු ළමයින්ගේ නිදන කාමර දෙවන මහලේ තිබුණ අතර, පිරිමි ළමුන්ගේ නිදන කාමර තුන්වන මහලේ තිබුණා. එය හොඳ පාසැලක් වුණා. නේවාසික ළමුන්ගෙන් බොහෝදෙනෙකු සති අන්තයේ පමණක් ඔවුන්ගේ ගෙවල්වලට ගියා. වඩාත් දුර ජීවත් වූ අය දෙසතියකට වරක් ගෙදර ගියා.
මම සත්‍යයට පැමිණි මුල් වර්ෂවල සිට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයෝ නමින් හඳුන්වන පුරෝගාමියෙකු වීමට මා තුළ දැවෙන ආශාවක් තිබුණා. වර්ෂ 1941දී සාන්ත ලොයිස්, මිස්සෝරිහි පැවති සමුළු වැඩසටහනේ එක් සහෝදරයෙක් දරුවන් 12දෙනෙකු ඇති දැඩි කරමින්, ඔහුට පුරෝගාමී සේවය කළ හැකි වූයේ කෙසේදැයි පැවසුවා. ‘ඔහුට 12දෙනෙකු සමඟ පුරෝගාමී සේවය කළ හැකි නම්, මට 10දෙනෙකු සමඟ පුරෝගාමී සේවය කළ හැකියි’ කියා මම සිතුවා. කෙසේවෙතත්, වසර 19ක් ගතවන තෙක් මගේ තත්වයන් මට පුරෝගාමී සේවය කිරීමට ඉඩ දුන්නේ නැහැ. අවසානයේදී, 1960, ඔක්තොම්බර් 1වන දින, ස්ථාවර පුරෝගාමියෙකු ලෙස යෙහෝවඃවහන්සේට සේවය කිරීම ආරම්භ කිරීමට මට හැකි වුණා.
මවිතකර බැහැදැක්මක්
වර්ෂ 1975දී, මගේ සහෝදරිය වන එඩ්නාගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. දැන් මට වයස අවුරුදු 80ක් වුණා, ඇයව නොදැක හෝ ඇගේ කටහඬ නොඇසී වසර 20ක් පමණ කාලයක් ගත වී තිබුණා. ඇය ගුවන් තොටුපොළේ සිට මට ඇමතූ අතර, ඇය සහ ඇගේ සැමියාව කැඳවාගෙන යෑමට මට පැමිණෙන්ට කිව්වා. නැවත එඩ්නාව දැකීමට ලැබීම සතුටට කරුණක් වුණා, එහෙත් වඩාත්ම මවිතකර දෙය පැමිණෙන්ට තිබුණේ ඉදිරියේදීය. නිවස කරා එන විටදී, ඇගේ සැමියා මෙසේ පැවසුවා, “ආගමකට වෙනස් වූ කෙනෙකු ඔබට සිටියි.” ඔහු කුමක් අදහස් කළේදැයි මම දැනසිටියේ නැහැ. අපි නිවසට පැමිණි පසු, තවත් වරක් ඔහු මෙසේ පැවසුවා, “මෙහි ආගමකට වෙනස් වූ කෙනෙකු ඔබට සිටියි.” මගේ බිරිඳ නිවැරදිව එක පාරටම තේරුම්ගත්තා. මගේ සහෝදරිය දෙස හැරෙමින් ඇය මෙසේ ඇසුවා, “එඩ්නා, ඔබ සාක්ෂිකාරියක්ද?” “ඇත්තෙන්ම ඔව්,” යනුවෙන් ඇය පිළිතුරු දුන්නා.
එඩ්නා සත්‍යය පිළිගැනීමට පැමිණියේ කෙසේද? හොඳයි, 1972දී, අපගේ භේද වූ සම්බන්ධතාව නැවත ගොඩනැංවීමට උත්සාහයක් ලෙස, මම ඇයට මුරටැඹ ත්‍යාග දායකයක් යවා තිබුණා. වසරකට පමණ පසු, එඩ්නා රෝගාතුර වූ නිසා ඇයව නිවසට සීමා කරනු ලැබුවා. ඔතන ලද කඩදාසිය පිටින්ම, ඇගේ ලියන මේසය මත තවමත් සඟරා තිබුණා. කුතුහලය නිසා එඩ්නා ඉන් එකක් දිගහැර කියවන්ට පටන්ගත්තා. සඟරාව කියවා නිම කිරීමෙන් පසු ඈ, ඈ තුළම මෙසේ සිතාගත්තා, ‘මෙය තමා සත්‍යය!’ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඈ බැහැදැකීම පිණිස නිවසට පැමිණෙන විට, ඈ මුරටැඹ සඟරා රාශියම කියවා තිබුණා. ඈ බයිබල් පාඩමක් පිළිගත් අතර, යථාකාලයේදී ඈ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු බවට පත් වුණා.
අහිමිවීම සමඟ කටයුතු කිරීම
යථාකාලයේදී, මගේ බිරිඳ වූ ලුවීස්ට දියවැඩියාව වැළඳුණා, ඇගේ තත්වය තවත් දරුණු වූ අතර, 1979දී වයස අවුරුදු 82දී ඈ මියගියා. ලුවීස් මැරුණු විට, එය හරියට මගේ එක් පැත්තක්ද මැරුණා වාගේ තිබුණා. මගේ මුළු ලෝකයම නතර වුණා. කුමක් කළ යුතුදැයි මම දැන සිටියේ නැහැ. අනාගතය සඳහා මට කිසිම සැලසුමක් තිබුණේ නැති නිසා, මට ඉතා අධික ලෙස දිරිගැන්වීම අවශ්‍ය වුණා. එක් සංචාරක අවේක්ෂකයෙකු වන රිචඩ් ස්මිත්, මගේ පුරෝගාමී සේවය දිගටම කිරීමට මට දිරිගැන්වූවා. මට වැඩිම සැනසිල්ලක් ලැබුණේ, මරණය හේතුවෙන් ප්‍රේමනීයයන් අහිමි කරගත් අයට සැනසිල්ලක් දීමෙනි.
වර්ෂ 1979දී වොච් ටවර් සමිතිය ඉශ්‍රායෙලයට යෑමට සංචාරක ගමනක් සංවිධානය කළ අතර, මමද එයට ඉදිරිපත් වුණා. මෙම ගමන මට වඩාත් උනන්දු කරවන්නක් වූ නිසා, මම නිවසට පැමිණි විට, නැවත පුරෝගාමී සේවයටම ගියා. එතැන් පටන් සෑම වසරකම, රටේ තවත් කොටසක පැවරුම් නොලද හෝ කලාතුරකින් කරන ලද බලප්‍රදේශවල සිටින්නන්ට උපකාර කිරීම වගකීමක් බවට මා පත් කර තිබෙනවා. මම වයසින් මුහුකුරා සිටියත්, මෙම වරප්‍රසාදයෙහි නියැලී සිටීමට මට තවමත් හැකි වී තිබෙනවා.
පසුගිය වසර ගණනාව තුළදී මගේ තක්සේරුවට අනුව 50දෙනෙකුට පමණ ජීවනයේ මාර්ගයේ යෑමට උපකාර කිරීමෙන් ලද ප්‍රීතිය මට තිබෙනවා. මගේ දරුවන්ගෙන් බොහෝදෙනෙකුම සත්‍යයේ සිටිනවා. දූවරුන්ගෙන් දෙදෙනෙකු ස්ථාවර පුරෝගාමීන් ලෙස සේවය කරනවා. තවත් දියණියක් වන ලුවීස් බ්ලැන්ටන්, ඇගේ සැමියා වන ජෝර්ජ් සමඟ නිව් යෝර්ක්හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරන අතර, මගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු බොහෝ වසර ගණනාවකට වැඩිමහල්ලෙකු ලෙස සේවය කර තිබෙනවා.
ඇත්තවශයෙන්ම, අපගේ ආදී දෙමව්පියන්ගෙන් අසම්පූර්ණකම උරුම කරගැනීම හේතුවෙන්, අපි සියලුදෙනාම අසනීපවලට හා මරණයට යටත්ව සිටිනවා. (රෝම 5:12) නිශ්චිතවම මගේ ජීවිතය වේදනා සහ පීඩාවලින් නිදහස්ව තිබුණේ නැහැ. දැනට මම මගේ වම් කකුලේ සන්ධි ප්‍රදාහය වැළඳීම හේතුවෙන් පීඩා විඳිනවා. සමහර වේලාවලදී එය මට වඩාත් වේදනාව ගෙන දුන්නත්, එය මගේ ක්‍රියාශීලීභාවය නතර කර නැහැ. එසේ නොවන්ට මම යාච්ඤා කරනවා. මට දිගටම ක්‍රියාශීලීව සිටින්ට අවශ්‍යයි. මගේ දැඩි කැමැත්ත නම්, යෙහෝවඃවහන්සේගේ නම සහ අරමුණ දැනුම් දීමට මට හැකි සියල්ලම කිරීමත්, අන්තිමය දක්වා පුරෝගාමී සේවයේ දිගටම පැවතීමත්ය.
[23වන පිටුවේ පින්තූරය]
මගේ දියණිය රීටා සමඟ