නවීන-දින ඇතන්ස්හි සියලු ආකාර ජනයා කරා ළඟාවීම
පොදු යුගයේ 50දී පමණ ප්‍රේරිත පාවුල් ඇතන්ස් වෙත ගිය විට, එය තවදුරටත් එහි සම්භාවනීය අතීතයේ කීර්තිය භුක්තිවින්දේ නැතත්, නගරය වැදගත් වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වී තිබිණ. එක් ඓතිහාසික කෘතියක් මෙසේ ප්‍රකාශ කරයි: “[ඇතන්ස්], ග්‍රීසියේ ආත්මික හා කලා රාජධානිය ලෙසද, එමෙන්ම එම යුගයේ උගතුන්ගේ හා බලවන්තයන්ගේ බැහැදැකීම් සඳහා අතිඅනර්ඝ ස්ථානයක් ලෙසද දිගටම පැවතිණ.”
එහි සිටියදී, යුදෙව්වන්ට, මිථ්‍යාදෘෂ්ටික ඇතීනියානුවන්ට හා විවිධ ස්ථානවලින් පැමිණි බොහෝදෙනෙකුට දේශනා කිරීමට පාවුල්ට ප්‍රස්තාව ලැබුණා විය හැක. සෝදිසියෙන් සිටින හා දක්ෂ ගුරුවරයෙකුව සිටි ඔහු එක් දේශනාවකදී පැවසුවේ, දෙවියන්වහන්සේ “සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද” දුන් බවත්, උන්වහන්සේ “එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය [මැවූ]” බවත්, තවද උන්වහන්සේ “ලෝකයා” විනිශ්චය කරනු ඇති බැවින්, “[ඔවුන්] සියලු තැන්හි මනස්ස්ථාපනය වන්නට” යුතු බවත්ය.—ක්‍රියා 17:25-31, නව අනුවාදය.
විවිධත්වයකින් යුත් ක්ෂේත්රයක්
මෑත දශකවලදී ඇතන්ස්, සෑම තැන්වලින් පැමිණෙන ජනයාගේ සිත්ගන්නා නගරයක් බවට යළි පත්වී ඇත. රාජ්‍ය දූතයන් සහ හමුදා කාර්ය මණ්ඩල, විදේශ දූත මෙහෙයන්වල කොටසක් වශයෙන් පැමිණ ඇත. අප්‍රිකාවෙන් හා මැදපෙරදිගෙන් පැමිණෙන යෞවනයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් එහි පදිංචි වී සිටිති. අප්‍රිකාවෙන්, ආසියාවෙන් හා නැඟෙනහිර යුරෝපයේ රටවලින් සංක්‍රමණය වී සිටින වැඩකරුවන් එහි රොක් වී ඇත. පිලිපීනයෙන් බොහෝදෙනෙකුද, ගිනිකොනදිග ආසියාවෙන් වෙනත් අයද, ගෘහ සේවක සේවිකාවන් ලෙස රැකියා සොයා එහි පැමිණ ඇත. තවද අසල්වැසි රටවලින් හා ලොව වටා කලබල ස්ථානවලින් නිරතුරුවම සරණාගතයෝ ගලා එති.
රාජ්‍ය ශුභාරංචියේ දේශීය දේශනාකරුවන් සඳහා මෙම තත්වය අභියෝගයක් ඉදිරිපත් කරයි. තාවකාලික පදිංචිකරුවන්ගෙන් වැඩිදෙනෙකු ඉංග්‍රීසි කතා කරන නමුත්, ඇතමුන් කතා කරන්නේ තම මව් බස පමණි. මෙම ජනයා බොහෝ විවිධ සංස්කෘතික හා ආගමික පසුතලයන් නියෝජනය කරති. අමුත්තන් අතර ඔබට නාමික ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, බෞද්ධ භක්තිකයන්, ප්රාණවාදීන්, අඥෙයවාදීන් සහ අදේවවාදීන් සොයාගත හැක. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විවිධ පසුතලයන්වල ජනයාට ගැළපෙන පරිදි, තම ඉදිරිපත් කිරීම් සකස් කරගැනීමට ඉගෙනිය යුතුය.
මෙම නවකයන්ගෙන් වැඩිදෙනෙකු අසීරු කාලවල් අද්දැක තිබෙන හෙයින්, ඔවුන්ට බොහෝවිට ජීවිතයේ අර්ථය ගැන හා අනාගත අපේක්ෂා ගැන ප්‍රශ්න තිබේ. ඇතමුන් බයිබලය ඉතා උසස් කොට සලකන අතර, එය පවසන දෙය පිළිගැනීමට අසීරුතාවක් නොමැත. විවිධත්වයකින් යුත් මෙම ප්‍රදේශයේ වැඩිදෙනෙක් යටහත් පහත්, මෘදු හා සත්‍යයට සාගින්නෙන් සිටිති. ඔවුන් තම පවුලෙන් හා නිවාස වාතාවරණයෙන් ඈත්ව සිටින බැවින්, සත්‍යය සෙවීමට ඔවුන්ට නිදහස්බවක් හැඟේ.
මෙම බල ප්‍රදේශය ආවරණය කිරීම සඳහා 1986දී, ඇතන්ස්හි පළමු ඉංග්‍රීසි සභාව සංවිධානය කරනු ලැබීය. වර්ධනය මවිත කරවන දෙයක් වී ඇත. ඉකුත් වසර පහ තුළදී, නවකයන් 80දෙනෙකු පමණ බව්තීස්ම වී ඇත. ප්‍රතිඵලය වනාහි ඇතන්ස්හි අරාබි සභාවක්, පෝලන්ත සභාවක් හා යම් කලකට, ප්‍රංශ කණ්ඩායමක් පිහිටුවා තිබීමය. ඉංග්‍රීසි සභාවේ ඇතැම්හු උතුරෙහි වූ තෙසලනීකි, ඉරාක්ලියොන්හි, ක්රීත්හි හා ඇතන්ස්හි වරාය වන පිරුයැෆස්වල එවැනි වෙනත් සභා හා කණ්ඩායම්වලට උපකාර කිරීමට ගොස් ඇත්තාහ. ඇතන්ස්හි සත්‍යය ඉගෙනගෙන ඇති විදේශීන්ගෙන් සමහරෙකු මුණගැසීමට ඔබ කැමතිද?
ජාතීන් ආශාවන දේ පැමිණේ
එරිට්‍රියාවේ, අස්මාරහි උපන් ටොමස් කතෝලික භක්තිකයෙකු ලෙස හැදී වැඩුණේය. වයස 15දී, ඔහු ආශ්‍රමයකට ඇතුල් වූයේය. ඔහු ආශ්රමාධිපතිවරයෙකුගෙන් මෙසේ ඇසුවේය: “එක දෙවිකෙනෙකු දෙවිවරුන් තිදෙනෙකු විය හැක්කේ කෙසේද?” ආශ්රමාධිපති මෙසේ පිළිතුරු දුන්නේය: “ආත්මික දේවල් ගැන පාප්තුමා පවසන දේ අප පිළිගන්නා නිසා. ඇරත්, මෙය අභිරහසක්, එය වටහාගැනීමට ඔබ බාල වැඩියි.” ආශ්රමයේ පස්වසරක් සිටි පසු, පල්ලියේ හැසිරීම හා ඉගැන්වීම් නිසා බලාපොරොත්තු සුන් කරගෙන, කලකිරී සිටි ටොමස්, එය අත්හැර ගියේය. එහෙත්, ඔහු සත්‍ය දෙවියන් සොයායෑම අත්හැර තිබුණේ නැත.
ඔහු ඇතන්ස්වලට ගොස් ටික දවසකට පසු දිනක්, “නීරෝගීකම සහ සන්තෝෂය ඔබගේ විය හැක” යන තේමාව සහිත කවරය තිබූ මුරටැඹ පිටපතක් ඔහුගේ දොර ළඟ තිබී ඔහුට සම්බ විය. ඔහු එය කීප වතාවක් කියෙව්වේය. එම සඟරාවේම, අප පළමුව දෙවියන්වහන්සේගේ රාජ්‍යයත්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සෙවිය යුතුයයි ඔහු කියෙව්වේය. (මතෙව් 6:33) ටොමස් දණගසා, මෙය කරන්නේ කෙසේදැයි තමන්ට පෙන්වන මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලමින් මෙසේ පොරොන්දු විය: “ඔබේ රාජ්‍යය සොයන ආකාරය ඔබ මට පෙන්වනවා නම්, ඔබට සේවය කරන අයුරු ඉගෙනීමට මගේ ජීවිතයෙන් මාස හයක් මම කැපකරන්නම්.” ඉන්පසු සති හතරක් ගෙවී ගියාට පසු, සාක්ෂිකරුවෝ දෙදෙනෙක් ඔහුගේ දොරට තට්ටු කළෝය. එම මොහොතේම ටොමස් බයිබල් පාඩමක් පිළිගත් අතර, මාස දහයකට පසුව ඔහු බව්තීස්ම වූයේය. ඔහු මෙසේ පවසයි: “යෙහෝවඃවහන්සේ ඇත්තෙන්ම මගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා, උන්වහන්සේ තම සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වීමට මට ප්‍රස්තාව ලබා දුන්නා. දැන් මගේ ජීවිතයේ උන්වහන්සේගේ රාජ්‍යය හා ධර්මිෂ්ඨකම පළමුකොට සෙවීමට උන්වහන්සේගේ ප්‍රේමය මාව පොලඹවනවා.”
ගෙයින් ගෙට දේශනා කරන අතරතුර, වෙනත් සාක්ෂිකාරියන් දෙදෙනෙකුට දොරසීනුවක් ළඟ විදේශ නමක් සහිත පුවරුවක් දක්නට ලැබිණ.
“ඔබට මොනවද ඕනෙ?” දොරට සවි කර තිබූ දූරකථනයෙන් ස්ත්‍රියකගේ කටහඬක් පැමිණියේය.
බයිබලය වෙත උනන්දුවක් දක්වන ඉංග්‍රීසි කතා කරන ජනයා සොයාගැනීමට තමන් වෑයම් කරමින් සිටි බව එක් සාක්ෂිකාරියක් පැවසීය.
“ඔබ මොන ආගමේද?” කාන්තාව ඇසුවාය.
“අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්.”
“ආ, ඒක හොඳයි! උඩ තට්ටුවට එන්න.”
ඔවුන් එසේ කළ අතර ආරෝහක දොර විවෘත වනවාත් සමඟම, තරමක නිෂේධාත්මක ආකල්පයක් ඇති හැඩි දැඩි මිනිසෙක් එහි සිටගෙන සිටියේය. එහෙත් ස්ත්‍රිය ඇතුලේ සිට කතා කළාය.
“ඔවුන්ට ඇතුළට එන්න ඉඩඅරින්න. මට ඔවුන් සමඟ කතා කරන්න ඕනෙ.”
ඇය ඇගේ සැමියාගේ ක්‍රීඩා කණ්ඩායම සමඟ ලෝකයේ නොයෙකුත් තැන්වලට ගමන් කළ බවත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සොයාගැනීමට ඇය යාච්ඤා කරමින් සිටියේ, පෙරදින බවත් හෙළි විය. එබැවින් එම මොහොතේම බයිබල් පාඩමක් පටන්ගැනිණ. ඔවුන්ට ග්‍රීසියේ ගත කිරීමට තිබුණේ සීමිත කාලයක් බැවින්, සතියකට පාඩම් තුනක් පිළියෙළ කෙරුණු අතර, සති දහයකදී සදා ජීවනය පොත අවසන් කරනු ලැබීය.
ඊළඟ ක්‍රීඩා සමය ඔවුන්ව ග්‍රීසිය වෙත යළි ගෙනෙනු ලැබීය. බිරිඳ යළි පාඩම ඇරඹූ අතර විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කළාය. මාස කීපයකට පසු, ඈ බව්තීස්ම නොලත් ප්රචාරිකාවක ලෙස යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ දේශනා වැඩයෙහි හවුල් වූ අතර, විගස ඇගේ ප්‍රථම බයිබල් පාඩම ආරම්භ කළාය. කවරෙකු සමඟද? සාක්ෂිකරුවන් ගැන හා තම බිරිඳ තුළ ඇති වී තිබෙන වෙනස්කම් ගැන හොඳ පැහැදීමක් ඇති වී සිටි ඇගේ සැමියා සමඟය.
රෙපරමාදු දේවගැතියෙකුගේ පුත්‍රයා වන ඇලන් දකුණු අප්‍රිකාවෙහි හැදී වැඩුණේය. ඉතා බාල වයසේම, බයිබලය දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන් ලත් එළිදරව් වීමක් බව ඔහුට ඒත්තුගියේය. තම ආගම ගැන සෑහීමට පත් නොවූ ඔහු, දර්ශනය හා දේශපාලනය වෙත හැරුණු නමුත්, වෙන කවදාටත් වඩා මෙය හිස්බවේ හැඟීමක් ඔහු තුළ පහළ වීමට සැලසීය. ග්‍රීසියට යෑමෙන් පසු, ඔහු තුළ වූ හිස්බවේ හැඟීම වැඩිවර්ධනය විය. තම ජීවිතයට අරමුණක් නැති බවත්, තමා ගමන් කරමින් සිටින්නේ නියම තැනකට නොයන පාරක බවත් ඔහුට හැඟිණ.
එක් රාත්‍රියකදී යමක් සිදුවිණ. “මා දණින් හිඳ දෙවියන්වහන්සේට හෘදයේ ඇති සියල්ල පැවසුවා,” යයි ඇලන් විස්තර කරයි. “මගේ ජීවිතයේ ක්‍රියාමාර්ගය සඳහා දුක් කඳුළින් යුක්තව, උන්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් වෙත මාව යොමු කරන්න කියා මා දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියා. මා උන්වහන්සේගේ ආලෝකයේ මඟ පෙන්වීම තුළ ගමන් කරන බවට පොරොන්දු වුණා.” එම සතිය තුළදී, ඔහු ගබඩාවක සිටියදී, සාක්ෂිකාරියකව සිටි ස්ත්‍රියක වූ කළමනාකාරිය සමඟ සංවාදයකට හවුල් වූයේය. එම සංවාදය ඇලන්ගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කිරීමට දායක විය. “ඉන්පසු දිනවලදී, මා භක්ත්‍යාදරයෙන් රැකගත් විශ්වාසයන්—එනම් පැහැදිලිව බයිබල් ඉගැන්වීම් නොවූ ත්‍රිත්වය, නිරාගින්න, ආත්මයේ අමරණීයභාවය—බොරු බවට ඔප්පු වූ සැටි මා දුටුවා.” රාජ්‍ය ශාලාවේදී, ඔහු සමඟ බයිබලය පාඩම් කිරීමට සාක්ෂිකාර යුවළක් ඉදිරිපත් විය. ඔහු එය පිළිගත් අතර ශීඝ්‍ර ප්‍රගතියක් පෙන්නුම් කළේය. “සත්‍යය මට සතුටු කඳුළු වගුරවන්ට සැලැස්වූ අතර, එය මාව නිදහස් කළා,” යයි ඇලන් සිහිපත් කරයි. වර්ෂයකට පසු ඔහු බව්තීස්ම විය. අද ඔහු ප්‍රාදේශීය සභාවේ උපස්ථායක සේවකයෙකු වශයෙන් සතුටින් සේවය කරයි.
නයිජීරියාවෙන් පැමිණෙන එලිසබත්, විවිධ පල්ලිවලට දෙවියන්වහන්සේව සොයා ගොස් තිබුණත් තෘප්තියක් ලබා නැත. ඇයව වඩාත්ම තැතිගැන්වූයේ නිරාගින්නෙහි සදාකාල වධවිඳීමේ ඉගැන්වීමය. ඇය තම පවුල සමඟ ඇතන්ස්වලට පැමිණි විට, සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඇගේ නිවසට පැමිණි අතර, බයිබල් පාඩමක් ආරම්භ කරනු ලැබීය. දෙවියන්වහන්සේ ජනයාව ගින්නෙහි වධ කරනු නොලබන නමුත්, උන්වහන්සේ පාරාදීස පොළොවක සදාකාල ජීවනය සඳහා බලාපොරොත්තුව සපයන බව ඉගෙනීමට එලිසබත් සතුටු වූවාය. ඇයට ඇගේ හතරවන දරුවා ලැබෙන්ට සිටි අතර, ඇයට එය ගබ්සා කරන්ට වුවමනා විය. එවිට ඈ ජීවිතයේ පවිත්‍රතාව සම්බන්ධ යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිය බයිබලයෙන් ඉගෙනගත්තාය. දැන් ඇයට ප්‍රියකරු දියණියක් සිටී. එලිසබත් ඉතා ඉක්මනින් ප්‍රගතියක් දැක්වූ අතර වැඩිකල් නොගොස් බව්තීස්ම වූවාය. ඇයට දරුවන් හතරදෙනෙකු සිටියත්, පූර්ණ-කාලීන රැකියාවක් තිබුණත්, සෑම මාසයකම වාගේ ඇයට උපකාරික පුරෝගාමී සේවයේ යෙදෙන්ට හැකිවේ. ඇගේ සැමියා බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගන්නවා දැකීමට ඇය ආශීර්වාද ලබා ඇත. ඈ මෙසේ පවසන්නීය: “යෙහෝවඃවහන්සේටත්, උන්වහන්සේගේ ප්‍රේමනීය සංවිධානයටත් ස්තුතිවන්ත වන්න, මට අවසානයේදී සැබෑ දෙවියන්වහන්සේ සහ සැබෑ නමස්කාරය සොයාගන්න ලැබුණා.”
විවිධත්වයෙන් යුත් මෙම ක්ෂේත්රයේ වැඩිදෙනෙකු වීථි සේවයේදී මුණගැසෙන නමුත්, ඔවුන්ගේ උනන්දුව වැඩිවර්ධනය කිරීමට දැඩි වීර්යයක් අවශ්‍ය වේ. සියෙරා ලියොන්වලින් පැමිණෙන සැලේ නම් තරුණ ස්ත්‍රියකගේ සිද්ධිය මෙය විය. සාක්ෂිකාරයෙක් ඇයට පත්‍රිකාවක් දී, ඇගේ ලිපිනය ගෙන, ඇයව ගොස් බැලීමට සැලසුම් යෙදුවේය. සැලේ උනන්දුවක් දක්වා බයිබල් පාඩමක් පිළිගත් නමුත්, වැඩ හා වෙනත් අපහසුතාවලින් ඇතිවන පීඩා හේතුවෙන් එය නිතිපතා පවත්වන්ට නොහැකි විය. එවිට ඈ අලුත් ලිපිනයක් නොසපයා හදිසියේම පදිංචිය වෙනස් කළාය. මුල් ලිපිනයට යමින් සාක්ෂිකාරිය දැඩි වෑයමක් දැරූ අතර, අවසානයේදී සැලේ ඇගේ අලුත් නිවසට පැමිණෙන මෙන් සාක්ෂිකාරියට පණිවුඩයක් යැවුවාය.
සැලේ ඇගේ ගර්භිණීභාවයේ අවසාන මාසවල සිටියා වුවත් දැන් පාඩම වඩා ස්ථාවර විය. දරුවාගේ උපතින් පසු, සැලේ බව්තීස්ම නොලත් ප්‍රචාරිකාවක් බවට පත්වූවාය. මේ සියල්ල පහසු බව පෙනෙන්ට තිබිය හැකි වුවත්, එය එසේ වූයේ නැත. පෙරවරු 6:30 වන විට, ඇගේ දරුවා බසයෙන් ළදරු පාසැලට ගෙන යෑම සඳහා බසයෙන් පැය භාගයක්ද, එතැනින් යළි බසයෙන් රැකියාවට යෑමට තවත් පැයක්ද ගත කිරීම සඳහා ඇයට සූදානම් වන්ට සිදුවේ. ඇය පිරිසිදු කිරීමේ වැඩය අවසන් කර යළි නිවස බලා පිටත් වන්නීය. රැස්වීම පැවැත්වෙන රාත්‍රීවලදී නැතහොත් ඇය ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට, ඇගේ සැමියාගෙන් විරුද්ධවාදීකම් තිබුණත්, ඈ යෑමට හා ඒමට තවත් පැයක් බැගින් ගතවන ගමනක යෙදෙයි. ඔහුට ප්‍රේමය හා ඉවසීම පෙන්වන අතරතුරේදීම, ඈ කැපවීම හා බව්තීස්මය දක්වාම වැඩිදියුණු වූවාය. ඇගේ සැමියා ගැන කුමක් කිව හැකිද? ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමට පැමිණි අතර බයිබලය පාඩම් කිරීමට එකඟ වූයේය.
කදිම ප්‍රතිඵලවලින් ආශීර්වාද ලැබ
මේ අයගෙන් වැඩිදෙනෙකු ඇතන්ස්හි පදිංචිව සිටින්නේ තාවකාලිකවය. බොහෝදෙනෙක් නෑදෑයන් සහ මිත්‍රයන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමට තම මව් රට බලා යති. වෙනත් අය විවිධ බටහිර රටවලට යන අතර යෙහෝවඃවහන්සේට දිගටම සේවය කරති. ග්‍රීසියේ පදිංචිව සිටින අය, වෙනත් රටවලින් පැමිණ සිටින තම රටවැසියන්ටද සාක්ෂිදැරීමෙන් හොඳ ප්‍රතිඵල භුක්තිවිඳිති. වෙනත් අවස්ථාවලදී සත්‍ය බීජ ඵලගත්තේ අමුත්තන් වෙනත් රටකට ගොස්, සාක්ෂිකරුවන් මුණගැසුණායින් පසුව පමණි.
මේ සියල්ල යෙහෝවඃවහන්සේ ජාතිභේදය නොසලකන බවට ඔප්පු කරයි. උන්වහන්සේට බියවන හා ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සෑම ජාතියකම ජනයාව උන්වහන්සේ පිළිගන්නාසේක. (ක්‍රියා 10:34, 35) ද්‍රව්‍යවාදී වාසි තකා වෙනත් රටකට ගිය එවැනි බැටළුගුණැති ජනයා සඳහා, ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා මහත් ආශීර්වාද ලැබී තිබේ—එනම් සැබෑ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේ ගැන හා නව ලොවක සදා ජීවනය පිළිබඳ ස්වකීය පොරොන්දුව පිළිබඳ දැනුමයි. එසේය, නවීන-දින ඇතන්ස්හි විදේශභාෂාව කතා කරන අය වෙත යෑමට දරන වෑයම්වලට, ඇත්තෙන්ම යෙහෝවඃවහන්සේ මහඟු ලෙස ආශීර්වාද කර ඇත!
[16වන පිටුවේ පින්තූර]
බොහෝ රටවලින් පැමිණෙන ජනයාට ඇතන්ස්හිදී ශුභාරංචියට සවන් දීමට ලැබේ