වෙහෙසවූවන්ට ප්‍රේමනීය ආරාධනයක්
“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ, සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය [ප්රබෝධය, NW] දෙමි.”—මතෙව් 11:28.
1. ගලීලයේ තම තුන්වන දේශනා චාරිකාවේදී යේසුස්වහන්සේ කුමක් දුටුසේක්ද?
පොදු යුගයේ 32 වසර පටන්ගැනීමට ආසන්නයේදී, යේසුස්වහන්සේ ගලීල දිස්ත්‍රික්කයේ සිය තුන්වන දේශනා චාරිකාවේ යෙදෙමින් සිටිසේක. උන්වහන්සේ “ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක.” මෙසේ කරමින් සිටි උන්වහන්සේ, සමූහයා දැක, “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.”—මතෙව් 9:35, 36.
2. යේසුස්වහන්සේ ජනයාට උපකාර කළේ කෙසේද?
2 කෙසේවුවද, සමූහයා කෙරෙහි අනුකම්පාව දැනෙනවාට වඩා වැඩි යමක් යේසුස්වහන්සේ කළසේක. “ගොයමේ ස්වාමියාට,” එනම් යෙහෝවඃ දෙවියන්වහන්සේට යාච්ඤා කරන මෙන් සිය ගෝලයන්ට උපදෙස් දුන් පසු, ජනයාට උපකාර කිරීම සඳහා උන්වහන්සේ ඔවුන්ව පිටත් කර යැවූසේක. (මතෙව් 9:38; 10:1) ඉන්පසු, උන්වහන්සේ අව්‍යාජ සහනය හා සැනසීම ලැබෙන මාර්ගය පිළිබඳව සිය පෞද්ගලික සහතිකය ජනයාට පිරිනැමූසේක. මෙම හද උණුසුම් කරවන ආරාධනය උන්වහන්සේ ඔවුන් වෙතට විදහාපෑසේක: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය [ප්රබෝධය, NW] දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය [ප්රබෝධය, NW] ලැබෙන්නේය.”—මතෙව් 11:28, 29.
3. අදදින යේසුස්වහන්සේගේ ආරාධනය එක සමානව සිත්ගන්නේ මන්ද?
3 අද අප ජීවත් වන්නේ, බොහෝදෙනෙකුට දැඩි පීඩනයක් හා බරක් දැනෙන කාලයකය. (රෝම 8:22; 2 තිමෝති 3:1) ඇතමෙකුට, හුදෙක් ජීවිතය ගෙනයෑම සඳහා පමණක් තමන්ගේ කාලය සහ ශක්තිය කෙතරම් වැය වනවාද කිවහොත්, ඔවුන්ට තමන්ගේ පවුල, මිත්‍රයන් හෝ වෙනත් දේ සඳහා කාලයක් නැති තරම්ය. බොහෝදෙනෙක්, බරපතළ අසනීප, කරදර, මානසික පීඩන සහ වෙනත් කායික හා චිත්තවේගී ගැටලුවලින් බර වී සිටිති. පීඩාකාරි බවක් දැනෙන ඇතැම්හු, තම ඉඳුරන් පිනවීමෙන්, කෑමට, බීමට ඇලී ගැලී සිටීමෙන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පවා, සහනය ලැබීමට උත්සාහ කරති. ඇත්තෙන්ම මෙය, ඔවුන්ව විෂම චක්‍රයක් තුළට තල්ලු කරමින් තවත් ගැටලු සහ පීඩන ගෙන එයි. (රෝම 8:6) යේසුස්වහන්සේගේ ප්‍රේමනීය ආරාධනය එදා මෙන්ම අදත් කදිමට ගැළපෙන බව පැහැදිලිය.
4. යේසුස්වහන්සේගේ ප්‍රේමනීය ආරාධනයෙන් ප්‍රයෝජන ලැබීම පිණිස, අප කිනම් ප්‍රශ්න සලකා බැලිය යුතුද?
4 ඔවුන් “හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය” බව යේසුස්වහන්සේ දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවකින් පෙලඹෙන්ට තරම්, උන්වහන්සේගේ කාලයේ විසූ එම ජනයා යටත් වී සිටියේ කුමකටද? ඔවුන්ට ඔවුන් මත පටවන ලද පීඩාකාරි බර සහ රැගෙන යෑමට තිබූ බර කුමක් වීද? තවද යේසුස්වහන්සේගේ ආරාධනය ඔවුන්ට උපකාරවත් වන්ට යන්නේ කෙසේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීම, වෙහෙසවූවන් උදෙසා යේසුස්වහන්සේ දී ඇති ප්‍රේමනීය ආරාධනයෙන් ප්‍රයෝජන ගැනීමට අපට බෙහෙවින් උපකාරවත් වනවා ඇත.
‘වෙහෙසවෙන හා බර උසුලන’ අය
5. යේසුස්වහන්සේගේ ජීවිතයේ මෙම සිද්ධිය මතෙව් විසින් වාර්තා කිරීම උචිත වූයේ මන්ද?
5 යේසුස්වහන්සේගේ දේවසේවය තුළ මෙම සිද්ධිය මතෙව් පමණක් වාර්තා කිරීම උනන්දුව දනවනසුලුය. අයබදු එකතුකරන්නෙකුව සිටි, එමෙන්ම ලෙවී යනුවෙන්ද හඳුන්වනු ලැබූ මතෙව්, ජනයා දරාගෙන සිටි එක් විශේෂ පීඩාකාරි බරක් ගැන හොඳින් දැන සිටියේය. (මතෙව් 9:9; මාර්ක් 2:14) ඩේලි ලයිෆ් ඉන් ද ටයිම් ඔෆ් ජීසස් නම් පොත මෙසේ පවසයි: “මුදලින් සහ ද්‍රව්‍යවලින් [යුදෙව්වන්ට ගෙවීමට තිබූ] බදු ඉතා අධික බර සහිත විය, තවද ඒවා අතිශයින්ම බර වූයේ එකවරම ඔවුන්ට දෙයාකාරයක බරක් ගෙවීමට වූ නිසාය, ඒවා නම් ආණ්ඩුවේ බදු හා ආගමික බදුය; මින් එකක්වත් සැහැල්ලු ඒවා වූයේ නැත.”
6. (අ) යේසුස්වහන්සේගේ කාලයේ භාවිත වූ බදු ක්‍රමය කුමක් වීද? (ආ) බදු එකතුකරන්නන්ට එතරම් නරක කීර්ති නාමයක් තිබුණේ මන්ද? (ඇ) තම සෙසු ක්‍රිස්තියානීන්ට කුමක් සම්බන්ධයෙන් මතක් කිරීමේ අවශ්‍යතාවක් පාවුල්ට හැඟුණිද?
6 මේ සියල්ලම විශේෂයෙන්ම පීඩාකාරි වූයේ එම අවදියේ තිබූ බදු ක්‍රමය නිසාය. රෝම නිලධාරීහු, ප්‍රදේශය තුළ බදු එකතු කිරීමේ අයිතිය වඩාත් ඉහළම මිලකට භාර දෙන්නන්හට පිරිනැමූහ. අනික් අතට, ඔවුහු බදු එකතු කිරීමේ එම වැඩය අධීක්ෂණය කිරීම සඳහා ප්‍රදේශයේ ප්‍රජාව අතර ජනයාව යොදාගත්හ. මෙම පිරමිඩ ක්රමයේ නියැලී සිටි සෑම කෙනෙක්ම තමාගේ කොමිස් මුදල හෙවත් කොටස එකතු කිරීම ගැන කිසිම ගානක් නැතුව ක්‍රියා කළේය. උදාහරණයක් වශයෙන්, “සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්” ගැන ලූක් වාර්තා කළේය. (ලූක් 19:2) “සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ” සාකෙවුස් සහ ඔහු යටතේ සේවය කළ අය තමන්ගේ වස්තුව ගොඩගැසුවේ ජනයාගේ දුඃඛිත තත්වය මැද බව පෙනෙන්ට තිබේ. එවන් ක්‍රමයක් මැද පෝෂණය වූ වැරදි භාවිතය සහ දූෂණය නිසා, ජනයා විසින් අයබදු එකතුකරන්නන්ව පව්කාරයන් සහ ගණිකාවන් අතරට ගණන් ගන්නා ලද අතර, තවද බොහෝ අවස්ථාවලදී මෙය යෝග්‍ය දෙයක් වූවා විය හැක. (මතෙව් 9:10; 21:31, 32; මාර්ක් 2:15; ලූක් 7:34) ජනයාට ඉසිලිය නොහැකි බරක් දැනුණ හෙයින්, රෝම වියගහ යටතේ කුපිත වී ක්‍රියා කිරීමට නොව, නමුත් “සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දීපල්ලා” යනුවෙන් තම සෙසු ක්‍රිස්තියානීන්ට මතක් කිරීමේ අවශ්‍යතාව ප්‍රේරිත පාවුල්ට හැඟුණේය.—රෝම 13:7අ; සසඳන්න ලූක් 23:2.
7. රෝම දණ්ඩ නීති ජනයාගේ පීඩාකාරි බරට තවත් බරක් වූයේ කෙසේද?
7 “භයවෙන්ට නිස්සාට භයවෙයල්ලා; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරපල්ලා” යයි පාවුල් ක්‍රිස්තියානීන්ට මතක් කළේය. (රෝම 13:7ආ) රෝමවරු තම කෲරකම් සහ දැඩි දණ්ඩන නීති සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටියහ. ජනයාව තමන්ට නතුව තබාගැනීම පිණිස, කසෙන් තැලීම, කෝටුමස් කිරීම, සිරගෙයි දස වධදීම සහ ඝාතනය කරනු ලැබීම බොහෝවිට යොදාගැනිණ. (ලූක් 23:32, 33; ක්‍රියා 22:24, 25) යුදෙව් නායකයන්ට පවා තමන්ට රිසි පරිදි එවන් දඬුවම් කිරීමට බලය දෙන ලදි. (මතෙව් 10:17; ක්‍රියා 5:40) සහතිකවම එවන් ක්‍රමයක් ඒ යටතේ ජීවත් වූ සෑම කෙනෙකුහට අතිශයින්ම මර්දනකාරි විය, නොඑසේනම්, පීඩාකාරි විය.
8. ආගමික නායකයන් ජනයා මතට පීඩාකාරි බරක් පැටවූයේ කෙසේද?
8 කෙසේවුවද, ඒ සමයේ රෝම බදු සහ නීතිවලට වඩා ආගමික නායකයන් විසින් පොදු ජනයා මත පටවන ලද පීඩාකාරි බර වඩාත් දරුණු යමක් විය. ඇත්තවශයෙන්ම, යේසුස්වහන්සේ විසින් ජනයාව “වෙහෙසවෙන්නාවූ බර උසුලන්නාවූ” අය වශයෙන් විස්තර කරන විට, උන්වහන්සේගේ මූලික අවධානය යොමු වූයේ මේ වෙතට බවක් පෙනෙන්ට තිබේ. පීඩිත ජනයාට බලාපොරොත්තුවක් හා අස්වැසිල්ලක් දෙනවා වෙනුවට, එම ආගමික නායකයෝ, “උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති” යයි යේසුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 23:4; ලූක් 11:46) සුවිශේෂ තුළ, ආගමික නායකයන්ව—විශේෂයෙන්ම ලියන්නන් හා ඵරිසිවරුන්ව—අහංකාර, හිතක් පපුවක් නැති, කුහක කණ්ඩායමක් ලෙස විස්තර කොට තිබෙනවා කෙනෙකුට පහසුවෙන් දැකගත හැක. ඔවුහු පොදු ජනයා නූගත්, අපිරිසිදු අය හැටියට හෙළා දුටු අතර, ඔවුන් අතර සිටි විදේශීන්ව පිළිකුල් කොට සැලකූහ. ඔවුන්ගේ ආකල්පය ගැන එක් විවරණයක් මෙසේ නිරීක්ෂණය කරයි: “මේ කාලයේ අශ්වයෙකු පිට වැඩියෙන් බර පටවන මිනිසෙකුව නීතිය ඉදිරියේ චෝදනාවට ලක්වෙයි. කිසිම ආගමික පුහුණුවක් නොලැබූ ජනකායක් මත නීති 613කට වඩා වැඩි ගණනක බරක් පැටවූ, එමෙන්ම ඔවුන්ට උපකාරය සඳහා කිසිවක් නොකර, අභක්තිකයන් ලෙස ඔවුන්ව හෙළාදුටු මිනිසෙකු ගැන කුමක් කිව හැකිද?” ඇත්තෙන්ම, නියම පීඩාකාරි බර වූයේ, මෝසෙස්ගේ නීතිය නොව, නමුත් ජනයා මත පැනවූ අතිමහත් සම්ප්‍රදායන් ගොන්නයි.
දුෂ්කරතාවට මුල් වූ නියම හේතුව
9. යේසුස්වහන්සේගේ කාලයේ සිටි ජනයාගේ තත්වය, සාලමොන්ගේ දවස්වල විසූ ජනයාගේ තත්වය සමඟ සැසඳුණේ කෙසේද?
9 ඇතැම් අවස්ථාවල ජනයා මත පටවනු ලැබූ බර කොතරම් වීද යත්, දුප්පත්කම හාත්පස පැතිර ගොස් තිබිණ. මෝසෙස්ගේ නීතිය මගින් පනවනු ලැබූ සාධාරණ බදු ගෙවීමට ඉශ්රායෙල්වරුන්ට සිදුවිණ. පසුව, සාලමොන්ගේ පාලන සමයේදී, දේවමාළිගාව සහ වෙනත් මන්දිර ගොඩනැඟීම වැනි ඉතා වියදම් සහිත ජාතික ව්‍යාපෘතීන් කෙරෙහි ජනයා සැලකිලිමත් වූහ. (1 රාජාවලිය 7:1-8; 9:17-19) එහෙත්, ජනයා “කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූ [බවත්] . . . සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යුදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය” කියාත් බයිබලය අපට කියයි. (1 රාජාවලිය 4:20, 25) මේ වෙනස සිදුවීමට හේතුපාදක වූයේ කුමක්ද?
10. පළමු සියවස වන විට ඉශ්රායෙලයේ තත්වයට හේතු වූයේ කුමක්ද?
10 එම ජාතිය නිර්මල නමස්කාරයේ රැඳී සිටින තාක් කල්, ඔවුහු යෙහෝවඃවහන්සේගේ අනුමැතිය භුක්තිවිඳ, අතිවිශාල ජාතික වියදමක් තිබියදී පවා, සුරක්ෂිතභාවය සහ සෞභාග්‍යය සමඟින් ආශීර්වාද ලැබූහ. කෙසේවුවද, ඔවුන් ‘[උන්වහන්සේ] වෙතින් ඉවත්ව ගොස්, [උන්වහන්සේගේ] ආඥාද පනත්ද නොපැවැත්වුවොත්,’ බරපතළ විපාක විඳීමට ඔවුන්ට සිදුවනු ඇති බවට යෙහෝවඃවහන්සේ අනතුරු ඇඟවූසේක. ඇත්තවශයෙන්ම, “ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.” (1 රාජාවලිය 9:6, 7) කාරණා සිදුවූයේද ඒ ආකාරයටමයි. ඉශ්රායෙලය විදේශ ආධිපත්‍යය යටතට පැමිණියේය, තවද වරක් තේජාන්විත රාජ්‍යයක්ව තිබූ දෙය, නිකම්ම යටත්විජිතයක් බවට පත්විය. තම ආත්මික බැඳීම් නොසලකා හැරීම සම්බන්ධයෙන් විඳීමට සිදුවූ විපාකය මොනතරම්ද!
11. ජනයා “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය” බවට යේසුස්වහන්සේට හැඟුණේ මන්ද?
11 තමා දුටු ජනයා “හිරිහැර විඳිමින් විසිර ගොස්” සිටිය බවට යේසුස්වහන්සේට හැඟීයෑමට හේතුව අවබෝධ කරගැනීමට මේ සියල්ල අපට උපකාර වෙයි. සමස්තයක් වශයෙන් ගත් කල, මේ වනාහි දෙවියන්වහන්සේගේ නීතිය අනුව ජීවත් වීමට උත්සාහ කරමින් පිළිගත හැකි ආකාරයකට තම නමස්කාරය කරගෙන ගියාවූ, යෙහෝවඃවහන්සේගේ ජනයා හෙවත් ඉශ්‍රායෙලිතයෝ වූහ. කෙසේවෙතත්, දේශපාලනික හා වාණිජ බලවේගයන් විසින් පමණක් නොව, නමුත් ඔවුන් අතර සිටි ඇදහිල්ල අතහැර ගිය ආගමික නායකයන් විසින්ද, ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගෙන ඔවුන්ට හිරිහැර කරන ලදි. ඔවුන් සිටියේ “එඬේරෙකු නැති බැටළුවන් ලෙස[ය]” මන්ද, ඔවුන් වෙනුවෙන් කතා කිරීමටවත්, ඔවුන් ගැන සැලකිල්ල දැක්වීමටවත්, කිසිවෙක් නොසිටියේය. කටුක යථාර්තයන් සමඟ කටයුතු කිරීමට ඔවුන්ට උපකාර අවශ්‍ය විණ. යේසුස්වහන්සේගේ ප්‍රේමනීය මෘදු ආරාධනය කොතරම් කාලෝචිත වූවාද!
අදදින යේසුස්වහන්සේගේ ආරාධනය
12. අදදින දෙවියන්වහන්සේගේ සේවකයන්ට හා වෙනත් අවංක ජනයාට දැනෙන පීඩන මොනවාද?
12 අදදිනද දේවල් බොහෝ ආකාරවලින් ඒ හා සමානය. අවංක ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන ජනයාට දැනෙන්නේ දේවල දූෂිත පිළිවෙළින් ඇතිවන පීඩන හා බලපෑම් දරාගැනීමට තරම් දුෂ්කර වැඩි බවය. තම ජීවිත යෙහෝවඃවහන්සේට කැප කර තිබෙන අය පවා, මෙම බලපෑමට හසුවෙති. යෙහෝවඃවහන්සේගේ සේවකයන් අතර සමහරදෙනෙකුට, තමන්ගේ සියලු වගකීම් ඉටු කිරීමට ඔවුන්ට වුවමනා වුවත්, ඒවා ඉටු කිරීම එන්ට එන්ටම ඔවුන්ට අපහසු වී ඇති බව වාර්තා පෙන්නුම් කරයි. ඔවුහු පීඩාකාරි බරවලින් මිරිකී, වෙහෙසී, වැහැරී ගොස් සිටිති. සෑමදෙයක්ම පසෙකට දමා වෙනත් කොතැනක හෝ ගොස් තමන්ම තනිව නිස්කලංකව තැන්පත්භාවයක් ලැබීම සහනයක් වනු ඇතැයි ඇතමුන්ට හැඟේ. ඔබටත් කවදා හෝ ඒ ආකාරයෙන් හැඟී ගොස් තිබෙනවාද? ඔබට සමීප කවරෙකු හෝ ඒ තත්වයේ සිටින බව ඔබ දන්නවාද? එසේය, යේසුස්වහන්සේගේ හද උණුසුම් කරවන ආරාධනය, අදදින අපට ඉමහත් අරුතක් ලබා දෙයි.
13. සහනය සහ ප්රබෝධය ලැබීමට අපට උපකාර කිරීමට යේසුස්වහන්සේට හැකි බවට අපට සහතික විය හැක්කේ මන්ද?
13 තම ප්‍රේමනීය ආරාධනය ඉදිරිපත් කිරීමට පෙර, යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.” (මතෙව් 11:27) යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ පියාණන් අතර ඇති මෙම සමීප සම්බන්ධතාව හේතුකොටගෙන, අපට සහතික කරනු ලබන්නේ, යේසුස්වහන්සේගේ ආරාධනය පිළිගෙන උන්වහන්සේගේ ගෝලයන් බවට පත්වීම මගින්, අපට යෙහෝවඃවහන්සේ සමඟ, එනම් ‘සියලු සැනසිල්ලේ දෙවියන්වහන්සේ’ සමඟ පෞද්ගලික සම්බන්ධතාවකට ඇතුළත් විය හැකි බවයි. (2 කොරින්ති 1:3; සසඳන්න යොහන් 14:6.) මීට අමතරව, ‘උන්වහන්සේට සියල්ල භාර දී තිබෙන’ නිසා, අපගේ පීඩාකාරි බරවල් සැහැල්ලු කිරීමට බලය සහ අධිකාරය තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පමණි. කිනම් ඒවාද? දූෂිත දේශපාලනික, වාණිජමය හා ආගමික ක්‍රම මගින් පටවා ඇති බර මෙන්ම, අපගේම උරුම වූ පාපය හා අසම්පූර්ණකම් මගින් පටවා ඇති බරවල්ය. ආරම්භයේ පටන්ම මොනතරම් බිය සැක දුරු කරන සහනදායක සිතිවිල්ලක්ද!
14. ප්රබෝධය සැපයීමට යේසුස්වහන්සේට හැකි වූයේ කිනම් වෙහෙසීමෙන්ද?
14 යේසුස්වහන්සේ මෙසේද පැවසූසේක: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි.” (මතෙව් 11:28) සහතිකවම යේසුස්වහන්සේ කතා කරමින් සිටියේ අමාරු වැඩවලට විරුද්ධව නොවේ, මන්ද, තමන් කරන වැඩ ඉතා වීර්යයෙන් කරන ලෙස යේසුස්වහන්සේ සිය ගෝලයන්ට බොහෝවිට උපදෙස් දුන්සේක. (ලූක් 13:24) එහෙත් ‘වෙහෙසීම’ (“මහන්සි වී වැඩ කිරීම,” කිංඩම් ඉන්ටර්ලීනියර්) අඟවන්නේ, බොහෝවිට කිසිම වටිනා ප්‍රතිඵලයක් නොමැතිව දීර්ඝ කාලයක් බලවත් තෙහෙට්ටුවකින් වැඩ කිරීමයි. තවද, ‘බර වී සිටීම,’ සාමාන්‍ය ධාරිතාවකට වඩා ඉක්ම වූ බරකින් පීඩා විඳීම යන අදහස ගෙනහැර පායි. මෙම වෙනස, සැඟවුණ නිධානයක් සොයන මනුෂ්‍යයෙකුට හා ශ්‍රම කඳවුරක අගල් කපන මනුෂ්‍යයෙකු අතර වෙනසට සමාන කළ හැකිය. ඔවුහු එක සමාන අමාරු වැඩක් කරති. එක පුද්ගලයෙකු වැඩය උනන්දුවෙන් භාරගනී, නමුත් අනික් තැනැත්තාට එය නිමාවක් නැති අප්‍රියජනක වහල් වැඩකි. වෙනසක් ඇති කරන්නේ වැඩයේ අරමුණයි, නැතහොත් එවැන්නක ඌනතාවයි.
15. (අ) අප අපගේ කර මත මහා පීඩාකාරි බරක් රැගෙන යන බවට අපට හැඟුණහොත්, අප අපෙන්ම ඇසිය යුත්තේ කුමන ප්‍රශ්නද? (ආ) අපේ පීඩාකාරි බරවල මූලාශ්‍රය ගැන කුමක් පැවසිය හැකිද?
15 ඔබ ‘වෙහෙසට පත්වී, බර උසුලා සිටින’ බවත්, බොහෝ දේවලට ඔබගේ කාලය හා ශක්තිය වැය වන බවත්, ඔබට හැඟෙනවාද? ඔබ රැගෙන යන බර ඔබට දරාගැනීමට බැරි තරම් බරින් වැඩි බව ඔබට හැඟේද? එය එසේනම්, ‘මා වෙහෙසෙන්නේ කුමකටද? මා රැගෙන යමින් සිටින්නේ කිනම් ආකාරයේ බරක්ද?’ යනුවෙන් ඇසීම උපකාරවත් විය හැක. මේ සම්බන්ධයෙන්, මීට වසර 80කටත් ඉහත එක් බයිබල් ටීකාකරුවෙක් මෙසේ නිරීක්ෂණය කළේය: “අප ජීවිතයේ පීඩාකාරි බරවල් ගැන සලකා බැලුවහොත්, ඒවා වර්ග දෙකකට වැටේ; මේවා තමන් විසින්ම පටවා ගත් ඒවා සහ නොවැළැක්විය හැකි ඒවා ලෙස අපට නම් කළ හැක: එනම් අපගේ ක්‍රියා නිසා ඇති වන පීඩාකාරි බරවල් සහ අපගේ ක්‍රියාවන් නිසා ඇති නොවන පීඩාකාරි බරවල් යනුවෙන්ය.” අනතුරුව ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය: “දැඩි ආත්ම සෝදිසියක් කළ පසු, පුදුමසහගත ලෙස අප සොයාගන්නේ, අපගේ පීඩාකාරි බරවලින් කොතරම් වැඩි හරියක් අප විසින්ම පටවාගත් ඒවා බවයි.”
16. අප අප මතම අඥාන ලෙස කිනම් පීඩාකාරි බර පටවා ගන්නවා විය හැකිද?
16 අප අප මතම පටවාගන්නවා විය හැකි පීඩාකාරි බරවලින් සමහරක් මොනවාද? අදදින අප ජීවත් වන්නේ, ද්‍රව්‍යවාදී, සැපසෙල්ලමට ප්‍රේම කරන, දුරාචාර ලෝකයකය. (2 තිමෝති 3:1-5) කැපවූ ක්‍රිස්තියානීහු පවා ලෝකයේ මෝස්තර හා ජීවන රටාවන්වලට යටවීමට නිරන්තර පීඩනයකට ලක් වෙති. “මාංසයේ තෘෂ්ණාවද, ඇස්වල තෘෂ්ණාවද, යමෙකුගේ ජීවන රටාව ප්‍රදර්ශනය කිරීමද” ගැන ප්‍රේරිත යොහන් ලීවේය. (1 යොහන් 2:16, NW) මේවා අපට පහසුවෙන්ම බල පෑ හැකි ප්‍රබල බලවේගයන්ය. වැඩියෙන් ලෞකික සුඛවිහරණය විඳීම සඳහා හෝ එක්තරා ජීවිත රටාවක් පවත්වාගෙන යෑම සඳහා ඇතැම්හු විශාල ණය බරවලට වැටී යෑමට කැමති වී තිබෙන බව දැනගන්ට ලැබී තිබේ. තමන්ගේ ණය ගෙවීම පිණිස, තම රැකියාවල අතිකාල වැඩ කිරීමට හෝ රැකියා කිහිපයක් කිරීමට තමන්ට සිදුවන බව ඔවුන්ට හැඟෙන්නේ ඉන්පසුවය.
17. බර දැරීමට වඩාත් අමාරු කරවිය හැක්කේ කිනම් තත්වයටද, මෙයට සහනයක් ගෙන දිය හැක්කේ කෙසේද?
17 වෙනත් අයට තිබෙන දේ තබාගැනීම හෝ වෙනත් අය කරන දේ කිරීම වැරදි නැති බවට යම් පුද්ගලයෙකු තර්ක කළද, ඔහු තමාගේ බරට අනවශ්‍ය ලෙස දේවල් එකතු කරගනිමින් තිබෙනවාද කියා විග්රහ කර බැලීම වැදගත්ය. (1 කොරින්ති 10:23) පුද්ගලයෙකුට රැගෙන යා හැක්කේ එක්තරා යම් ප්‍රමාණයක බරක් බැවින්, තවත් බරක් ගැනීම පිණිස, යම් දෙයක් ඉවත් කළ යුතුය. බොහෝවිට සිදුවන්නේ, අපගේ ආත්මික සුභසාධනයට අත්‍යවශ්‍ය දේවල්—එනම් පෞද්ගලික අධ්‍යයනය, රැස්වීම්වලට පැමිණීම සහ ක්ෂේත්‍ර සේවයේ නියැලීම—පසෙකට දැමීමයි. මෙහි ප්‍රතිඵලය නම්, ආත්මික ශක්තිය අහිමි වී යෑමයි, මින් සිදුවන දෙය නම්, බර දරාගැනීම තවත් අමාරු වීමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එවන් අන්තරායක් ගැන අනතුරු ඇඟවූයේ මෙසේ පැවසූ විටය: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගනිල්ලා.” (ලූක් 21:34, 35; හෙබ්‍රෙව් 12:1) යමෙක් බර වී වෙහෙසට පත්වී සිටින්නේ නම්, මලපතක් හඳුනාගැනීම හා ඉන් බේරීයෑම දුෂ්කරය.
සහනය හා ප්රබෝධය
18. තමා වෙතට පැමිණි අයට යේසුස්වහන්සේ ඉදිරිපත් කළේ කුමක්ද?
18 එමනිසා, යේසුස්වහන්සේ ප්‍රේමනීය ලෙස මීට පිළියම ඉදිරිපත් කළසේක: “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය [ප්රබෝධය, NW] දෙමි.” (මතෙව් 11:28) මෙහි මතෙ 11:29වන වගන්තියේ “ප්‍රබෝධ කරනවා” සහ “ප්රබෝධය” යන වචන පැමිණෙන්නේ, “සබත්” හෝ “සබත් පැවැත්වීම” සඳහා වූ හෙබ්‍රෙව් වචන ගෙනහැර දැක්වීමට, සෙප්ටුඅජින්ට් අනුවාදයේ යොදාගැනෙන ඒවාට අනුකූල ග්‍රීක් වචනවලිනි. (නික්මයාම 16:23) මෙසේ, තමන් වෙතට එන්ට යන අයට තවත් වැඩ නොතිබෙනු ඇත කියා යේසුස්වහන්සේ පොරොන්දු වූයේ නැත, නමුත් උන්වහන්සේ පොරොන්දු වූයේ, දෙවියන්වහන්සේගේ අරමුණට එකඟව ඔවුන් කළ යුතු වැඩට ඔවුන් සූදානම් කරවනු පිණිස, උන්වහන්සේ ඔවුන්ව ප්‍රබෝධවත් කරනු ඇති බවටය.
19. යමෙකු ‘යේසුස්වහන්සේ වෙතට පැමිණෙන්නේ’ කෙසේද?
19 එහෙත්, යමෙක් ‘යේසුස්වහන්සේ වෙතට පැමිණෙන්නේ’ කෙසේද? සිය ගෝලයන්හට යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාම නොසලකා, තමාගේ [වධ කණුව, NW] රැගෙන, මා අනුව [දිගටම, NW] ඒවා.” (මතෙව් 16:24) මෙබැවින්, යේසුස්වහන්සේ වෙතට පැමිණීම යනුවෙන් අඟවන්නේ, යමෙකු තම කැමැත්ත දෙවියන්වහන්සේගේ සහ ක්‍රිස්තුස්වහන්සේගේ කැමැත්තට යටත් කොට, වගකීම්වල එක්තරා බරක් භාරගෙන, දිගටම ඒවා දරාගෙන ඉදිරියට යෑමය. මේ සියල්ල දරාගත නොහැකි තරම් ඉල්ලීමක්ද? වැය කළ යුතු දෙය දරන්ට බැරි තරම්ද? යේසුස්වහන්සේ වෙහෙසවූවන්ට මෙම ප්‍රේමනීය ආරාධනය කළ පසු උන්වහන්සේ පැවසූ දෙය සලකා බලන්න.
ඔබට මතකද?
◻ යේසුස්වහන්සේගේ දවසේ ජනයා බර වී සිටියේ කිනම් ආකාරවලින්ද?
◻ ජනයාගේ දුෂ්කරතාවල සැබෑ හේතුකාරකය කුමක් වීද?
◻ අපට මහත් බරක් තිබෙන බව දැනේ නම්, අප අපවම සෝදිසි කර බැලිය යුත්තේ කෙසේද?
◻ අප අප මතම අඥාන ලෙස කිනම් බර පටවාගන්නවා විය හැකිද?
◻ යේසුස්වහන්සේ පොරොන්දු වූ ප්රබෝධය ලබාගැනීමට අපට හැක්කේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
අප අප මතටම ගෙනෙනවා විය හැකි සමහරක් බර මොනවාද?
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy of Bahamas Ministry of Tourism